Sunday, November 9, 2014

ඇත්තමයි රජතුමෝ.................




ඇත්තමයි රජතුමෝ.................


නිරිදුන් නුඹයි දෙරණට
රැපුසෙන් නසපු
ජය දද නගපු
අහස සොයන් උසයන
පින්වන්ත වෙහෙර
සයුරත් එක්ක පැටලෙන
වැව් දකින දසත
කළු ගලින් මතුවුණ
බුදුරුව අනේ සාදු
එනමුදු හිමියනි
බුදුවෙන්න පස්වාන්දහසකට
සමා අවසර බලු ගැත්තට
කාරණාවක් ඇත කියන්නට

මගේ ලොකු කෙල්ල
පින්වන්ති සිරියාවි
ගමටම හිටපු හැඩකාරි
වෙහෙරෙ වැඩ බලන්න ආවදා
නුඹ අරන් ගියෙ මාලිගාවට
අන්ත්පුරේ ඉන්නවලු
නුඹට මතකත් නැතුව ඇති
හිත් බැන්ද ඉලන්දාරිය එක්කල
එක වහළක් යටට වෙන්නට
හේනක් කොටාගෙන
සැනසිල්ලෙ හිනා වෙන්නට
උන් හීන මවපු හැටි 
සතුටින් බලන් උන්නෙ මන්
මූණට ටිකක් එරෙව්වට
රජ මැදුරෙ පට සේල
රජ භොජුන් රස උනත්
ඒකිට දැන් තිත්ත ඇති
ජීවිතේම නුඹ උදුර ගත්

නුඹ බලන් උන්නාට වෙහෙර ළග
ගල් ඇද්දෙ අපි නේද
වැවේ නම නුඹෙ උනත්
පස් ඇද්දෙ අපි නේද
පිළිමෙ රන් ගෑවාට
ඒව අපි දුන්නු බදු නේද
සෙල් ලිපියෙ නම කෙටුවෙ
නුඹේ විතරයි නේද
ඒවාට කම් නොමැත
අනේ මගෙ සාමිනේ
මගේ පොඩි කෙල්ල
ගෙට උනේ මේ ළගදි
අක්ක වාගෙම ඒකි
ගැටිස්සිය හැඩකාර
මා එක්ක හුරතල් වන
අහින්සක පොඩි කෙල්ල
වෙහෙරෙ කොත පළදවනදා
ආයෙමත් නුඹ එනව
ඌ එක්ක බුදියෑවෙ නැති නිසා
පරුමකය තටමන්නෙ
ඒකිවත් නුඹට දෙන්නට
අප්පච්චි මන් අසරණ
ඇත්තමයි රජතුමෝ
ඒකිවත් ගෙනියන්න ආවොතින්
කැතිගනව තෝව........

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=580620445348043&set=pb.100002002790094.-2207520000.1415586189.&type=3&theater )


No comments:

Post a Comment