Monday, November 3, 2014

බබාහේන් මස්සිනේ............




බබාහේන් මස්සිනේ............

සෙන්කොට්ටන් සුවදට පෙම් බැන්ද
බබා හේන් මස්සිනේ
හැත්තෑ වසක් පරක්කුවුණ
ලියුන් කඩදහියකි මේක
උඹ ගමෙන් යනදාම
හීන් රිදීගෙ කුසෙන්
බබානිස්ට ජාතක අවලමී මමයි
කරගහපු කරුමෙට

උඹ හොදට ඉගෙනගත්තලු
ලොකු කොම්පැනියත් උඹගෙලු
කොළඹ රටේ මන්දිරේක
වැජඹෙනව ඇත්තද
ඒත් බබා හේනයෝ
උඹ කරන්න තිබුනෙ ඕකද
පන්සලට ආව දවසෙ
උඹ ළගින් ආවෙ
සෙන්කොට්ටන් සුවදනම් නෙමෙයි
සල්ලි කොළ වලින් එන
කාළකන්නි කුණු කරෝල ගද

දැන් කුලය ගැන කතාවක්
එහෙමටම නෑ සත්තයි
ඒත් උඹේ කොම්පැනියෙ
ඇග දියකරන මගෙ මිනිහ
විදින්නෙම දුක්මයි
එදා අපෙන් කුණු හෝදගෙන
අපිටම වින කෙටුව
උන් වගේමයි දැන් උඹත්
මැෂිමට අහුවෙලා එක්තැන්වුණ
බෑනව දැන්මෙ දොට්ට
දීල සොච්චමක් දෑතට
පොඩි උන් බඩගින්නෙ අඩද්දි
මගෙ පපුවත් හීල්ලුව අම්මප
බලන් ඉන්න බැරිම තැනයි
මගෙ කෙල්ල උඹෙ ලේලි
පුක්කඩී රෙද්ද ඉස්සුවෙ
ටවුමෙ මහතුන්ට

සමසමාජ කාරයො
අතරමග නතරවුණා
චේ ගුආ කාරයොත්
සාධුකාර මැද්දෙම
වැළලුව දෙපාරක්
හීනයක්වත් නෑ අපිට
දැන් උඹට සන්තෝසද
ඒත් බබාහේනයෝ
මගෙ මුනුපුරා
යස ඉලන්දාරිය
ගමටම හිටපු පින්වන්ත දරුව
උපාධියවත් නොදී
වාසිටියෙන් පන්නපු
උඹෙ කොම්පැනියෙ යුනියන්කාරය
පෙරළනවලු ධනවාදෙ
ගේනවලු සමාජවාදෙ
මොන කුණුහරුපද
මට තේරෙන් නෑ ඕව
ඒත් ඌ කියන හැටියට
ඕක මොක කරල හරි
මොකක්ද එක ගේන පාටයි
මාත් ඉන්නෙ බලාගෙන
එදාට තම්බන්න
ලුණු මිරිසකුත් එක්ක
ගමටම කිරිබතක්
බබා හේනයෝ පරිස්සමින්

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=547979115278843&set=pb.100002002790094.-2207520000.1415004914.&type=3&theater )

No comments:

Post a Comment