Friday, June 12, 2015

පෙම්වතුනි පෙරළා පහර දෙන්න


පෙම්වතුනි පෙරළා පහර දෙන්න


ආදරය මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී වචන කණ්ඩයකි. එම හැගීම අත්නොවිදි අයෙක්, සිත්ගත් ඔහු හෝ ඇය ගැන එම හැගීම ඇතිවූ මොහොත නැවත නැවත සිහිකරමින් ආස්වාදය නොකරන්නෙක් මනුෂ්‍ය වර්ගයා අතර නොමැත. මමත් මෙය සටහන් කරණ පරිඝණකයත් අතර මා විශ්වාස කරන ලෙෂ ඇති මූලිකතම වෙනස ආදරයයි. ආදරය ගැන කතා කරන්න හිතුනෙ සිදුවීම් දෙකක් හින්ද. එකක් පෙම්වතුන් යුවළක් දියළුමෙන් පහළට පැනල සියදිවි නසාගැනීමයි. අනික පෙම්වතෙක් තම පෙම්වතියට පිහියෙන් ඇන තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කිරීමයි. මෙතනදි මේ අවස්ථාවන් දෙකේදිම පොදු තත්වයක් දකින්න පුළුවන් ඒ තමයි ඒ අවස්ථා දෙකේදිම පෙම්වතුන් ජාතීන් දෙකකට අයත් වීමත් මෙම මරණයන් පිටුපස එය පැවතීමත්ය.
දියලූම ඇල්ලට අදාල ඉතිහාස පුරාවෘත්තයක් ඇත. එහි සදහන් ආකාරයට ජනවර්ග දෙකකට අයත් තරුණ යුවළක් පෙමින් වෙළෙන අතර සුපුරුදු පරිදි නෑදෑ පාර්ශවයන් එරෙහිවන අතර ඔවුන්ට දියළුමෙන් පහළට පැන සියදිවි නසාගැනීම හැර ආදරය රැුක ගැනීමට විකල්පයක් නැති තැනට තත්වයන් පෙළගැසේ. කම්පාවට පත්වෙන දෙවියන් එම කදු බෑවුමට සදාකාලිකව අඩන්නට නියම කරයි. දියළුම ඇල්ල සෑදෙන්නේ එම කතා පුවත අනුව එලෙසය. ඒ වසර දහස් ගණනක් පැරණි පුරාවෘත්තයකි. එවැන්නක් ජනවහරට එන්නට එකළ මේ හා  සමාන සිදුවීම් සිදුවන්නට ඇත. එදා මෙදා තුළ අපි අනන්තවත් ජාතීන් දෙකකට අයත් පෙම්වතුන්ගේ පේ‍්‍රම වෘත්තාන්තයන් අසා ඇත්තෙමු. කලාතුරකින් මිසක් ඒ සියළු පේ‍්‍රම කතා අවසන්වනුයේ ජාතියේ, වර්ගයේ, ග්‍රෝත‍්‍රයේ විෂබීජ ආසදනය වූ සමාජය එම පේ‍්‍රමයේ පණ නසා ඔවුන් වෙන් කිරීමෙන් හෝ ඔවුන්ට පෙරසේම පේ‍්‍රමයේ නාමයෙන් සියදිවි නසාගන්නා තැනට තල්ලූකර ඒ කතාවන් සියල්ලේ අවසන් පර්ච්ෙඡ්දය රචනා කරණ ලදී. 
දිනේෂ් හා ෆාතිමාගේ කතාවද එසේමය. උත්පැන්නේ ජාතීන් දෙකක නම් කවුදෝ සදහන් කළ වරදට ඔවුන්ගේ ආදරයට එරෙහිව සමාජය නැගීසිටි අතර පීඩනය දරාගැනීමට නොහැකි ෆාතිමා පේ‍්‍රමසබදතාව නතරකිරීමට උත්සහ කරයි.  එය දරාගැනීමට නොහැකිවෙන දිනේෂ් ඇයව මරාදමා තමන්ද සියදිවි නසාගනී. අපි අද ජීවත්වනනේ දියුණු සමාජයක යැයි අපිම කියමු. හැමෝම ගාව දියුණු ජංගම දුරකතන ඇත. අපි ගාලූ යන්නේ අධිවේගයෙනි, නෙළුම් කුළුණක් ඇත, කොටුවෙ අසසෙ ඇත. එහෙත් ජාතීන් දෙකක පෙම්වතුන් ආදරය කිරීම මහා වරදක් සේ දකින අපේ සිත් තවම ගල් යුගයේය. වසර දහස් ගණනකට පෙර මෙන්ම අදද දියළුමෙන් පැන පෙම්වතුන් මියයයි. තවම අප මානව සමාජයක් ලෙස පේ‍්‍රමය දිනා ගැනීමට අසමත්ව ඇත. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර (බොහෝ දුරට) ලිංගිකත්වය මත පදනම්ව ඇතිවෙන ආදරය නම් මානව බැදීම මානව සබදතා තුළ උත්තරීතරය. එය දිනා ගැනීමට පෙම්වතුන්ට කැරළි ගැසීමට කාලය උදාවී ඇත. 
ඔබ දෙවියන් විශ්වාස කරයි නම් මට ඔබට පැවසීමට ඇත්තෙ වෙනත් දෙවියෙකු හෝ ධර්මයක් විශ්වාස කරන ඔහුට හෝ ඇයට පෙම් කිරීමට එම දෙවියන් හෝ ධර්මය එරෙහිවේනම් ඔබ නොපමාව එම දෙවියන් හෝ ධර්මය අතහරින්න. මානව පේ‍්‍රමය වැනි මනුෂ්‍යත්වය තුළ ඇති වටිනා හැගීමක් තේරුම් ගැනීමට නොහැකි දෙවියන්ගෙන් හෝ ධර්මයෙන් ඇති ඵලය කුමක්ද? නැතිනම් අප දෙවියන් හෝ ධර්මය තේරුම් ගෙන ඇත්තේ වැරදි ලෙසටය.
වෙලාවකට ආගම හෝ ජාතිය මත පේ‍්‍රමයට හරස්වීම කොහෙවත් තියෙන ග‍්‍රහලෝක මත පේ‍්‍රමයේ මරණ සහතික ලියනවාට වඩා යහපත් යැයි සිතෙයි. ඔබ හා ඇය හෝ ඔහු මොනතරම් පෙම්කලත්, මොනතරම් ගැළපුනද ඵලක් නැත. සෙනසුරු හරියට නොතිබ්බොත් බ‍්‍රහස්පති වැරදි තැනක හිටියොත් ඔක්කොම හමාරය. කේන්දර නොගැළපීම මත වෙන් වෙන්න වුණ, හඩන දොඩන පෙම්වතුන් අපට  ඕනෑ තරම් හමුවෙයි. මං බලන් ඉන්නෙ විශාල වල්ගා තරුවතක් වැනි දෙයක් පැමිණ සෙනසුරුගේ ගැටී එය විනාශ වී හෝ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් වෙනස් වන තුරුය. ඒ අනුව පොළවේ අපේ ජීවිත හරිනම් උඩුයටිකුරු විය යුතුය. තරුණයෙකු හා තරුණියක පේ‍්‍රමයෙන් වෙලී ඔවුන්ගේ අනාගතය ගැන, දරුවන් ගැන අහිංසක හීන දකින අතර එම හීන අතරට කඩා පැන තොපිලගෙ අහවල් අහවල් ග‍්‍රහයො කොහෙද ඉන්නේ යැයි ඇසීම මටනම් ග්‍රෝති‍්‍රක නරුමවාදයකි.
මේ බාධක මැඩගෙන ඉදිරියට ආවද ඔබට තව කඩුළු පනින්නට ඇත. එකක් නම් ආර්ථික හා සමාජ තත්වයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ගැළපෙනවාද යන්න තීරණයට පවුල් දෙකේ ගෙවල්වල ප‍්‍රමාණය, පාවිච්චි කරණ වාහනයේ වර්ගය, ඉඩකඩම් ප‍්‍රමාණය සංසන්දනය කරනු ඇත. එය හරියට පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමට චෙස් අදින්නට දෙනවා වැනි වැඩකි. මෙහිදී පුදුම වන්නට දෙයක් නැත. අප සිටින්නේ මුදල් මත පදනම්වුුණු ඒ තුල අනෙකුත් සියළු වටිනාකම් හිරිවැටුණු සමාජයකය. ඒ තුළ මානව සබදතා පවා වෙළද ගණුදෙනු විනා අන් යමක් නොවෙයි. පුවත්පත් වල මංගල දැන්වීම් තීරු පරීක්ෂා කළහොත් මෙය පැහැදිලි වනු ඇත. මන්දයත් ලූහුඩු දැන්වීම් පිටුවේ දේපළ වෙළදාම් කොටසේ දැන්වීම් හා මෙම මංගල දැන්වීම් වෙනස් වන්නේ අගට එන මනාලයෙකු හෝ මනාලියක දෙමාපියන් හොයයි යන කොටසින් පමණි. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර මානව බැදීමක් ඇතිකර ගැනීමෙ සුදුසුකම මෙලෙස වෙළද ගිණුමක හර බැර සමබර කරන ආකාරයට තීරණය කිරීම විකෘතියකි. මෙම මිනිසුන්ට මොනවා හෝ කැවිලය. බඩ යන්නට විරේක බෙහෙතක් දී මෙය සුවවේදැයි බැලිය යුතුය. එහිදී පරිස්සම් විය යුතුය. මන්දයත් මේවන දේවල් දෙස බලන විට මස්තිෂ්කයද ඒ සමගම වැසිකිළි පෝච්චියට වැටිය හැකි බැවිනි. එක් අතකින් එයද කම් නැත, වැසිකිළි පෝච්චියක දමා හෝ එය සෝදා ගැනීම මීට වඩා යහපත්ය.
පෙම් කිරීමද කළ යුත්තේ රීති ගොඩක් මැදය. ටියුෂන් පංති අවසන් වී බස් නැවතුන් වල තැන තැන දොඩමළුවෙන පෙම්වතුන් සොයමින් දඩයමේ යන පොළිස් මහතුන් අප දැක ඇත. මැරයින්, කුඩු මුදලාලිල ළග රබර් කෂේරුකාවන් ඇති මොවුන් මේ පුංචි පෙම්වතුන් ළග සිංහ සෙයියාවෙන් මොරදෙයි. ලොව ලොකුම අපරාධය කළ එවුන්ට ලෙස නගරය මැද බැන වදී. මෙලෙස අපහාස දරා ගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා ලද අවස්ථාද අසන්නට ලැබෙයි. පෙම්වතුන් යුවළක් සිප වැළද ගැනීම මහා සදාචාර ඛේදවාචයක් ලෙස සළකන මෙම සමාජය, මන්තී‍්‍රන් ගැහැණු ළමුන් දූෂණය කොට පාටි දමා අත්අඩංගුවට ගත්විට ඔහුට සෙත් පතා පන්සල් වල බෝධි පූජා පවත්වයි. ඒ මෙත් පැතූ කටවල් වලින්ම ගේට්ටු ඉබ්බෙක් කැඩුවා කියා සරසවි සිසුන් සිරගත කරණ විට  ඕකුන්ට හොද වැඬේ කියයි. දිනපතා දහස් ගණනක් ගැහැණු ළමුන් ලිංගික ශ‍්‍රමිකයින් නොව වහළුන් ලෙස සිල්ලරට අළෙවි වන විට ගල් පිළිම සේ නොදැක්කා නොඇසුනා සේ තාප්පෙන් වට නළ ගෙදර සිටින දියණියට ලොලි පොප් රැුගෙන ගෙදර යයි. පඩි දවසට වගේ හිරිමල් රසයන් සොයා ඇදෙයි. එහෙව් සමාජයක පෙම්වතුන් යුවළක් බස් නැවතුමක පෙම් කිරීම මාර අවුලකි. මේ සමාජයේ ඊනියා සදාචාරවාදය රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. පෙම්වතුනි ළගම ඇති ජනාකීර්ණම නගරයට පැමිණ අපි සැවොම ප‍්‍රසිද්ධියේ සිප වැළදගමු.
ඉතිං පෙම්වතුනි, මානව බැදීම් නිෂ්ක‍්‍රීය කළ සමාජයක සැබෑ ආදරය අනිවාර්යයෙන්ම ක‍්‍රම විරෝධී භාවතයකි. මානව සමාජයේ පේ‍්‍රමය උදෙසා අරගල කිරීමට කාලය එළඹ ඇත. එවිට සමාජය ඔබට එරෙහිව නැගී සිටින් ඇත. අවශ්‍යයවන්නේ ඒ සමග ගැටීමට ධෛර්්‍යය ලබා ගැනීමය. ඇයගේ, ඔහුගේ දෑසට මොහොතකට එඹෙන්න, ඒ දෑස් තුල ඔබට අවැසි ධෛර්්‍යය සැගවී පවතිනු ඇත. අදහස් අතින් ඔබ ශක්තිමත් විය යුතුයි. මේ සරුව පිත්තල දිස්නයෙන් ඇස් නිළංකාරවන අන්ධකාරය තුළ ඔබ මංමුලා විය හැක. අවසාන වශයෙන් ඒ පේ‍්‍රමයේ පොදු සතුරාට එරෙහිව අප තනි තනිව නොව එක්ව සටන් කළ යුතුය. ඒ ආදරය දිනාගන්නා විට මේ ක‍්‍රමයෙහිද පවුරු පදනම්වල ඉරි ඇදෙනු ඇත. ආදරය පැහැදිලිවම ක‍්‍රම විරෝධී අරගලයකි. ඒ වඩා යහපත් සමාජයක් උදෙසා පේ‍්‍රමයේ අරගලය අද අප හමුවේ මගහැර යා නොහැකි සත්‍යයක් ලෙස නැගී සිටී. ඉතිං පෙම්වතුනි පෙරළා පහර දෙමු.

( රිවිහාර පින්නදුව )


4 comments:

  1. //පෙම්වතුන් යුවළක් සිප වැළද ගැනීම මහා සදාචාර ඛේදවාචයක් ලෙස සළකන මෙම සමාජය, මන්තී‍්‍රන් ගැහැණු ළමුන් දූෂණය කොට පාටි දමා අත්අඩංගුවට ගත්විට ඔහුට සෙත් පතා පන්සල් වල බෝධි පූජා පවත්වයි.//
    ගින්දර...අපිට විකල්ප 2 තියෙන්නේ.
    1.පවත්නා ක්‍රමයටම යන්නන් වාලේ ගමන්කිරීම
    2.පෙරලා පහර දීම
    මං කැමතියි දෙවැනි එකට

    ReplyDelete