උස මදිද මගේ ප්‍රේමය.....................
හිම කුමරි නිදි සුව විදින
නුඹේ පාමුල
මගේ හදවත බරය
කදුළු නොනැගෙන්නට
දෑස් දල්වා හිදිමි
නපුරු කුඩ අම්මෙකුත්
කණ්නාඩියක් සාපයක්ව
වනයක අතරමන්වුණු
සොදුරුවූ සියුමැලිය නුඹ
පිය රජුගෙ හේවායො
දහසක් යුවතියන් සිල් බිදින
අදුරුවූ ලොවක
නුඹෙ මැදුර එළිය කල
පහන් දැල්වුණේ අප
කදුළු තෙල් දමා බව
නුඹ කවද දැන වුණිද
විස ඇපල් නුඹ කෑව
අපි වැව්ව ඇපල්
නුඹෙ මැදුරෙ
පිළිකන්නෙ කුණුවෙන
පොඩි එවුන් හාමතේ මිය යන
නුඹේ ඔය ඇස් හරින්නට
හාදුවක් ඕනෙමද
රජ කුමරුවෙක්ගෙන්
දහඩියට ඇග තෙමුණ
සුවද නැතිවෙද
හාදුවක මගෙ
තහනම්ද ආලය
උස නොවුණු සිරුරකට
අස්සයා පිටින් එන
කුමරුවන් කැන්දන් යාවි නුඹ
මැදුරෙ රස මසවුළු
වළදනා දින
නුඹටත් අමතකවේද
පැළක දුක් ගින්දර
ලොවටත් හොරෙන්
නුඹටත් හොරෙන්
අගුටුමිට්ටා වෙමි
නිදි කුමරිට පෙම් කරපු
උස මදිද මගේ ප්‍රේමය...............
( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=698632976880122&set=pb.100002002790094.-2207520000.1414998450.&type=3&theater )
No comments:
Post a Comment