Monday, November 3, 2014

නුඹ මගේ පුන්චි කිරිල්ලිය......................




නුඹ මගේ පුන්චි කිරිල්ලිය......................

මගේ උකුලට වෙලා
කිරි සිනා පාමිනා
ගොතගැහෙන වදනකින්
ආදරේ පවසනා
මගේ පොඩි දුවේ
නුඹේ දෑසට එබී
සිහිනයක් දකින්නෙමි

නුඹ මගේ පුන්චි කිරිල්ලිය
හෙට දවසෙ අත් තටු විදාලන
නුඹට පියඹන්න අහසක් කොහිද
මේ කූඩුවට නිදහසයැයි
කෙළසනම් පවසම්ද

දහඩියෙන් කදුළින් තැනුණු ලොවක
රත්තරන් රිදී වටිනවයි කියන
නරුමකම තවරගෙන
මිනිස්කම සගවන්න
බලකරණ ලෝකයක
දුවේ නුඹ නමින් ඇත
සටනක් අපිට ජයගන්න

දුවේ තනියෙන් දකින
හීනයක පාට නැත
හුදකලා ගමනක
ජය බිමක් හමුවේද
කදුළින් පන්නරය ලැබ
තියෙනවා නව ලොවක් 
දහඩියෙන් ගොඩනගන්නට
රතු ලෙයින් තෙත් උනත්
අම්මාට කියනු මැන
හඩන්නට දෙයක් නැත

කිරි සුවද හමනවා
නුඹ මුවින් නිබද
හුරතල් සිනහවක් දෙන
සැනසීම පවසන්න
පන්හිදට හැකිවේද
ඉතින් අම්මගෙ ළමැදට
තුරුළු කොට නුඹව
සමුගන්න අවසර දෙන්න
ඈ ගාව මහමෙරක්
ආදරේ ඇති නුඹට
කාටවත් වැඩියෙන්
මන් දන්නවා ඒක

දුවේ දිනුමක්
නිසැක නෑ අපිට
ඒත් පැරදුමක්
නොමැති සටනකි මේක
මගෙ සොහොන අද්දර
තබන්නට රෝස මල්
නොගෙනාවට කම් නැත
නුඹේ හදවත
අදිටනේ පහන් සිළු දල්වන්න
නුඹේ උන් එක්ක
අපිට මග වැරදි
තැන් හොදින් හැදිනගෙන
රතු මල් පිපුණු මාවතේ
අපිටත් වඩා දුර යන්න
නුඹ මගේ පුන්චි කිරිල්ලිය.............

( රිවිහාර පින්නදුව ) 
( https://www.facebook.com/photo.php?fbid=676573125752774&set=pb.100002002790094.-2207520000.1415004734.&type=3&theater )

No comments:

Post a Comment