Saturday, June 3, 2017

වේදනා නාශක නොවෙයි ඈ

වේදනා නාශක නොවෙයි ඈ


හුදෙකලා අන්ධකාරය අද්දර
දල්වලා හසකැන්
එළියවන්නේ ඇයයි
ජීවිතේ ගිම් නිවාලන
රිදුම් දෙන මතකයන් මත
ගල්වලා පේ‍්‍රමයේ ඔසු
වේදනා නාශක නොවෙයි ඈ
සුවයදෙයි නිට්ටාවටම
ආලයට භිය සදන
කොළඹ මංමාවත් දිගේ
දහසක් හඩවල් පරයමින්
ආදරේ හඩනගනවා ඇහෙනවද
සිදුහත් වෙන්න හැකිනම්
යශෝදරාවත් සමගින්
විමුක්තිය සොයාගෙන
අරගල බිමට යන්නට
වෙළදපල මාරසෙන් පරදිමින්
ලෝටස් වටරවුමෙ
ඉතිං අපි විදසුන් වඩමු
මාර දෙවිවරු රගයි
සිහින මවමින් දසත
නොරැවටී මාවතේ
දෑත් බැද ඇවිදන් යන්න
හාදු අනුමෝදන්ව අද
විහාරමහා දේවියෙදි අරහත් වෙන්න

(රිවිහාර පින්නදුව)

Friday, May 26, 2017

වම් ඉවුරෙ හිටගන්න

වම් ඉවුරෙ හිටගන්න


බලාපොරොත්තුවේ නියං සායෙන්
වේලිලා කරවෙච්ච පොළවට
නව ලොවක පැතුමන් දරාගෙන
පොද වැසක්ව පතිතවන්නට
එන්න සොයුරනි

ජීවිතේ හීන පැළකර
අස්වැන්න ගෙට ගන්න කළියෙන්
ණය හිලව්වට ජීවිතේ සින්නවුණු
සුසම් හෙළමින් උන්නු කාලය
අහවර කරන්නට
එන්න සොයුරනි

ජුකී මැෂිමට හාදු දෙන
ලස්සන රටා මවමින
ජීවිතේ ගෙතුම වැරදුණු
මහාමේරුව පතා ඇවිදින්
බොරළු කැටවත් නොමැතිවූයෙන්
හිනා තහනම් කලාපෙන්
මිදී ඉගිලෙන්න
එන්න සොයුරනි

ලොකු කාර් එතත ගෙයක
අජරාමර නිවනින් සැනසෙන්න
පොත් වනපොත් කරමින්
ධ්‍යාන වඩන
බුදුවෙන හීනෙක
සෝවාන් වෙන්න බැරිකොට
යශෝධරාවත් එක්කන්
දිසාපාමොක් තක්සලාවෙන්
එන්න සිදුහත්

තෝරුද මොරුද
සාලයොද හුරුල්ලොද
අපි උන්ට දැල් එලූවද
නැත්තන් කවුරු හරි
අපිට දැල එළලද
මේ දැල් ඉරාගෙන
හබල් ගා විගසින්
එන්න දියඹට

සෙල්ෆියක් ගන්නකොට හිනාවෙන
ඒත් කදුලූ නැතුව විලාප දෙන ජීවිතය
එකේ උණුසුම හොයන
කණ්නාඩියෙන් ටයි එකේ හැඩ බලන
මහවට රුහුණු කුමාරිට
හෙමි හෙමින් උදේ හවස මුමුණන
වගේ වගක් නැතුව
හතිහල හලා දුවන තරගෙන්
එන්න ජීවිතය හොයාගෙන

උඩරට කදුකර සිරියාව
හොයන්න එපා
හෙම්බත්වුණු මුහුණුවල
තේ දළු නෙළලම ගෙවුණු
ඇගිලි අතරට තුරුළුකර දහිරිය
එන්න සොයුරනි

රට කාසි ඉල්ලමට
ජීවිතේ ඔට්ටු දැමු
ගිණියම් වැලිකතර
සාරය උරාබොන
ඔය මුළුතැන්ගෙයින් දැන්
එන්න සාලෙට

ආදරෙන් වැළදගන්නට
අරගලය අතනාරිනා බව දිවුරා
ජවය ගන්නට
පාට නැති ලෝකෙට
රතුපාට සිත්තරුන්
ජීවිතේ සිතුවම් කරණ
ආරාධනා කුමටද
එන්න දැන් නුඹ
විසල් සිහින දකිනා
පුංචි මිනිසුන් එක්ක
දෙපයම පොළවේ තබා
වම් ඉවුරෙ හිටගන්න

(රිවිහාර පින්නදුව)



Saturday, May 20, 2017

වැලන්ටයින් දන්නවද?

වැලන්ටයින් දන්නවද?


නුඹ නමින් පේ‍්‍රමයක්
ඇත මගේ හදවතේ
පිළිගන්න ඉතිං දැන්
මගේ මේ ආදරේ
හීන මගඇරුණු ලෝකෙට
පණ ගැහෙන ප‍්‍රාර්ථනාවක්
අරන් එන්නේ නුඹලයි
අන්ධකාරයට හුරුවූ දෑස් අද්දර
දල්වලා පහන් එළි
මේ ඝනදුරු අන්ධකාරය
සදාකාලික නොවන වග
සිහිකරන්නේ නුඹලයි
මල් නොපිපෙනා බිමක
මලක් වී විකසිත වෙන්න
වෙර දරණ නුඹලාට
පුද නොදෙන පේ‍්‍රමයෙන්
ඵලක්වේවිද කාට
වැලන්ටයින් දන්නවද
සටන් පාඨ වලින්
ආදරෙයි කියනකොට
ඒක හරි ලස්සනයි
රෝස මල් වෙනුවට
පාප්ප බාල්දි අතට ගත්
චොක්ලට් පෙති නැති
ඒත් ප්ලේන්ටියෙන්
ඇස් වැහෙන්නට නොදෙන
සුමට පෙම්බස් නොමැති
ගොරහැඩි මුවින් සටන් පාඨ මොරදෙන
පෙම්බරය පෙම්බරිය
අද ආදරවන්තයින්ගේ දිනය
ඒ කියන්නේ නුඹලගේ දවස

(රිවිහාර පින්නදුව)


Thursday, May 18, 2017

සක්මනින් වඩිනට බැරි නිසා

සක්මනින් වඩිනට බැරි නිසා


සිවුර ඇතුළින් කකියනා ලේ
බවුන් වඩනට නොවේ
අරගල බිමට වඩිනට
ඉතිං ඉල්ලයි කෑ ගසා
සිහින ඇහැරෙන කණිසමේ අද
සැගවිලා ඉන්න හැටියක් නැතිවෙලා
අකුරු වළදන රුපුන් එනකොට
සක්මනින් වඩිනට බැරි නිසා
දිව ගියා මා පෙරමුණට
කෙලෙස වන්නද පමා
ජල ප‍්‍රහාර කදුළු ගෑස් මැද
ශාන්තිවාදී බණ කෙලෙස දෙසන්නද මං
උගුර ලේ රහ කරන්
මොර දුනෙමි සටන් පාඨ
රතන සූත‍්‍රය එය යැයි සිතා
දන් දුන්නම මල් පිදුවම
විතරමද පිනක් වෙන්නෙ
විකුණනා හෝඩි පොත
රකින අරගල බිමත්
පිං බිමක්ය මට
බෝ මළුව සේ අද
සිත නිවා සනහනා

(රිවිහාර පින්නදුව)


Monday, May 15, 2017

අකුරු අඩුවෙයි හෝඩි පොත්වල

අකුරු අඩුවෙයි හෝඩි පොත්වල


ඉතිං හරියනවද
වෙනුරල ති‍්‍රමාලව
හිරකරල තිබ්බහම පිළිමෙක
යුනියන් එකේ පිංතූර වල
තවත් අපි බලන් උන්නොත්
අකුරු අඩුවෙයි හෝඩි පොත්වල
බන්දේසිවල තියල
ගෙන ආවෙ කවුරුන්ද කවදද
නුඹට මට හිමි ලෝකය
දිනාගන්නට ඒ ලොව
කදුළු දහඩිය මත
සිතුවම් කරපු සිතුවමකි
රුධිරයෙන් අතීතෙක
මැක්ඩොනල්ඞ් කේ එෆ් සී
බ්‍රෙඞ් ටෝක් ෆැබ් එකත් පරාදයි
කැම්පස් කැන්ටිමේ
සීනිත් නැති තේ කොළත් නැති
ප්ලේන්ටි වල හයිය
කහ පාට වතුර වල
පරිප්පු ඇට හොයන
බත් එකකින් ලැබෙනවද
අධිබලැති ප්‍රෝටීන
කදුළු ගෑස් කාගෙන
බැරියර් පෙරළන්න
මම තනියෙන් ගොඩයමි ගච්ඡාමි
සිල් පදය පස් පාරක් කියල
පන්සිල් ගන්න ලෝකෙක
උත්තර හොයන එක එකට
ඒකත් ජයක් ලේසි නැති
ඉතිං වෙනුරලව නිදහස් කරන්න
ඔයත් එන්න අරගල බිමට
වෙනස් කරන්න බැහැ කියන ගොඩක් දේවල්
වෙනස් කරන්න පුලූවන් කියල
එහෙම හිතන්නවත් අකමැති
කොළඹ පාරවල් වල කෑගහන්න

(රිවිහාර පින්නදුව)

Sunday, May 7, 2017

මතකයන් පෙම්බරිය සමගින්

මතකයන් පෙම්බරිය සමගින්


ඉතිං මේ රෑ මැදියම
සිතිවිලි හෙමි හෙමින් ඇවිදින්
අතීතෙක තැනින් තැන කොනිත්තන
ජීවිතේ අරුමයකි
ඒ අරුම විදින්නෙමි
දුක් කදුළු තුටු සිනා
තැවරිලා ඇති මගට
ජීවිතය යැයි නම් දෙන්න
දවසෙ නිහඩම නිමේෂෙක
කොහේදෝ සැගව සිට
නැගිට මා වෙත ඇදෙන
මතකයන් පෙම්බරිය සමගින්
ඉතිං මා රමණයේ යෙදෙන
වචනයට හකුලන්න බැරි
හැගීමකින් ගැබ්ගෙන
ආයෙමත් උදෑසන ගබ්සා වෙන
මිදුලට පැන හිස හැරුන අත
තරු එළිය යට දුවන්න
ඇයව සොයන් ගොස්
හතිවැටෙන තුරු හාදු දෙන්නට
හොස්ටල් වල මේ වෙලාවෙත්
ඇහැරන් ඉන්න
සහෝදරවරු එක්ක ගිහින්
අරලියගහ මන්දිරේ තාප්පෙ
පෝස්ටර් අලවන්න
හිතෙන්නේ මට විතරද
විභාගෙන් බුදු බව පතා
සටහන් මත අනිමිසලෝචනයෙ යෙදෙමින්
නීරස වචන කටපාඩම් කරණකොට

(රිවිහාර පින්නදුව)



Tuesday, May 2, 2017

උන් මැරිල කියල එයාලට කියන්න

උන් මැරිල කියල එයාලට කියන්න


මට ඇහෙනවා හඩක් ඉකිබිදින
ඒත් ඉකිබිදින කිසිවෙක් නැති
වේදනා සුසුම් පමණක්ම ඉතිරි
හාල් මිල වැඩිවෙලා
බත් කන්න බැරිවෙද්දි
එහෙම රටක මිනිස් ජීවිත
මොන තරම් ලාභද
මතකයන් කප්පරක් දරාගත් පොළවක්
අපෙන් අහනව කවුද මේ මිනිසුන්
ඒත් අපි දන්නෙ කොහොමද
උන්ට කළියෙන් අපි මැරුණනෙ
ඉතිං උන්ට  ඕනෙවුණා
මේ ගැබ පලාගෙන ඉපදෙන්න
ඒත් අපි ලෑස්තිවුණේ නැහැ
හුස්ම ගන්න ජීවිතයකට
ඉපදෙන්න හදපු හැමෝම මැරුණ
නැත්තන් එහෙම අය හිටියෙ නැතිවුණා
අඩුම ගාණෙ මට කියන්න
උන්ව වැළලූව තැන
රතු මලක් තියල පස් පිඩලිමත
මදකට අතීතෙක මතකයන් ළග නවතින්න
උන්ව සිහි කරල සැරෙන් සැරේ අඩන
ලෙන්ගතු හිත්වලට
එකපාර අඩල ඉවරවෙන්න
උන් මැරිල කියල
එයාලට කියන්න

(රිවිහාර පින්නදුව)