Tuesday, December 27, 2016

මට කැමතිද?

මට කැමතිද?


අහස පුරා සායම් ගෑ හීන ගොඩක්
පාට සේදිලා දැන්නම් නැහැනෙ හැඩක්
ආයෙ ආයෙ තිරිහන්වෙන නාකි කතක්
ඇහැක් ගහල ටෝක් කරන් යනව අපිත්
පාටි දාල හිනා වෙලා ෆොටෝ අරන්
මධු සමයත් කළුවරේම නොදැක යමක්
බබා හම්බුණහමයි දන්නේ මේ පරණ එකක්
ඩිවෝස් කරගන්න වලි කෑව තරම්
පෙරහැරේම ඒකිව ගෙන ආව හරක්
දැන් ඉදගෙන හූල්ලනව අහක බලන්
ඩෙනිම ගලවලා ආයෙම සාය ඇදන්
ඒකි ආයෙ එනු ඇත නිතඹ වනන්
තිතට අල්ලලා තැන අපෙ ඇවිළෙන මදන යකුන්
ගේම ගහයි ලෙසටම ජයමංගල ගීත කියන්
දැන් මේකට උත්තරයක් හිතල අනේ
පොට යනවා කොයි මොහොතක හිතේ මගේ
ටිකක් ලේසි උත්තරයක් හිත අගට එබෙයි
ඒකිට රතු නයිටියක් අන්දලා දුහුල්
ඇද අකුලල පැදුරක බුදියන්න හිතයි
ඒත් ඉතිං බඩවෙන්නේ අර ඇගමයි
පුරුදු ලෙසට ඉපදේවී මළ දරුවන්
පළු යව යව ඒ ගෑණිගෙ දශක ගණන්
පාට මාරු කර කර හැඩ සාරි ඇදන්
තවත් අවුල්නම් සාරිය මදිව ගියොත්
කැත වහන්න චේ සන්නාම දරන්
පාට පාට සාරි වලට
රතු ජංගි ඇන්දුවා තරගෙට ඉතිං අපිත්
තව කෙල්ලොත් ඉන්නවාද කියල හිටං
හිතන්නවත් ඉඩදුන් නෑ දපනෙ දාන්
විහිළු සිනා ගල් මුල් මැද එඩිය අරන්
හීන මන්දිරෙන් බැහැල එන්න ඔයත්
පය නොතිබ්බ උද්‍යානය හොයන් යන්න
අපිට කියල පෙම්වතියක් ළගට ගිහින්
රතු රෝස මලක් දී නෑඹුල් අතට හෙමින්
මට කැමතිද අහමුද අපි ෆැන්ටසිය බිදන්

(රිවිහාර පින්නදුව)

Sunday, December 25, 2016

අරුම නොවේ මටනම් ගැබ් නොගැනීම

අරුම නොවේ මටනම් ගැබ් නොගැනීම


සුන්දර සිහින රන්දා පෙරදාක
මහමග ඇවිද ගිය හැටි
මතකයි මට තාම
බත් පැකටුත් බෙදුවා උන් පොරකාලා
මාතලන්ගෙ රුහිරු සුවද
ළග හිරවෙයි හද තාම
6% දෙන්න කියා පස් කෑවා
ගිණිගත් හිසෙහි රස්නෙන්
උන් ගිණි තැප්පා
සරම් ගළවලා කලිසන් අන්දන්න
මල් පෙරහැරෙ ගෙනෙවිත්
මස් වළදට අතගැහුවා
කළතා එකට
නිල් කොළ රතු බුරියානි
කැව්වා අපිට
තව කාපං මගෙ මැණිකේ කියාලා
ඉස්මුරුත්තෙ මත බැහැලා ඇහැරෙද්දී
කළිසමේම බඩගිහිල්ල නොදැනීම
සටන් පාඨ මග ඇරෙද්දි
සව් කොළ විරුවන්ට
අපේ එවුන් මහ මග
6% ඉල්ලනවා තාම
නිලංකාර නොවී දෑස් දල්වාන
ලේසි නැතත් බැද්දෙ නොපැන
වරෙන් මචං මේ පාරෙන්
සල්ලි වලින් හුස්ම ගන්න
හර්කියුලිස් පරද්දන්න
ඉතිං අපිත් සයනේ රැුය ගෙව්වාට
අරුම නොවේ මටනම් ගැබ් නොගැනීම
පුරුෂ ධාතු නැති සංසර්ගෙකි ඒක

(රිවිහාර පින්නදුව)

Saturday, December 10, 2016

ඉහිරිලා කිරි සිහින



ඉහිරිලා කිරි සිහින


හදවතට මගඇරී තානම
රිදුම් දෙයි ගැහෙනා හැම වරම
සුදු මැණික හිනාවුණු හැමතැනම
මතකයන් රකුස් වෙස් ගෙන
භය කරණවා මාව
රොබරෝසියා මල් සෙවණට
මිමිණුව රහස් අතීතෙක
ඉකිගසනවා ඇති දැනුත්
ගාලූමුවදොරට වී තනියම
සිහින දහදියෙන් දෝවනය කර
තැනූ කැදැල්ල පේ‍්‍රමයේ
නුඹයි සිත්තම් කළේ රෝස පාටින්
තවරලා කිරි සුවද
නෙරාවිත් ආදරය
දින සති ගෙවුණි නොදැනිම
තෙවන සීනුව නාදවන විටම
මංගල දර්ශනය අද්දර
වේදිකාවට ගිණි ඇවිලූණි
ඉන්නවයි කියන තිස්තුන් කෝටියක්
දෙවියන් සිහිකර අයදිනා කල පිහිටක්
එකෙකුටවත් ඇහුන් නැති හැටියක්
තොපි බුදිද වී තවුතිසාවට
හීන් දහඩිය නැගුණි
ෆාමසියෙ බිල දැක
පාළුකර ඇගෙ කණකර
සැරසුවා රිසිට් එකකින්
මගෙ පර්ස් එක
රැජිණත් එක්කලම
කුමරියත් ගිහින් ස්වර්ගෙට
මහ දවල් ගිගුම් දෙමින්
අකාලේ ඇදහැලෙන්නට විය
දෙගොඩතලා කදුළු වැහි
පාළු වූ මාළිගෙහි
කැරපොත්තනි තනි රකිනු
ආපදා ණයක් ගෙන
පියවා ගත නොහැකි ආපදාවකි
ඉහිරිලා කිරි සිහින
ජීවිතෙන් ඵලක් වෙද
හීන නැති මිනිහෙකුට

(රිවිහාර පින්නදුව)

Tuesday, December 6, 2016

මතක උළලේනි

මතක උළලේනි


වසන්තයේ ඉම අසළ
සිසිරයේ සීතලෙන්
නිබද ඈ පෙළෙනවා
සිනහ ඉඩෝරෙටවත් නොසිදෙන
කදුළක් නෙතග රදවනා
මතක උළලේනි
ඉල්මහේ හදවතේ කැදලි බැද
මූසල හඩින් හඩලනා
කුළුදුල් තොල්පෙති අතර
ඔහු රදවලා ගිය
ආදරේ රහ තාම
හැමදාම රෑ ඈ රහ බලනවා
ඉකිගසා අඩන කළ
ඔහු දැකපු හීනයම
මිරිකලා දමන්නද
ලේ ලකුණු මග වැටුණු
විසික්කා දමා ඇති
රතුපාට අවනඩුව
දෑකැති මිටි රැුගෙන
කෙම්බිම සොයා දිවගිය උන්
විකිණෙන්නෙ සිල්ලරට
හිත කීරි ගැහෙනා
පේ‍්‍රමයේ ඇරයුමට
රතු සමනල සිහිනයක
බර කෙසේ දරන්නට හැකිද
සුදු පාට පිච්ච මලකට
අදටත් සමරද්දි
කළුගල් සදිසි බර මතකයන්
ඈ යන්නෙ නෑ ඒ පැත්තෙවත්
ඇගේ පේ‍්‍රමය තුරුළු කරගෙන
ඔහු කොහේ හරි සැතපිලා ඇති
සාක්ෂි දරා පරපුරක
ඔහුගෙ පේ‍්‍රමයෙ උරුමය රැුගෙන
තනි යහනෙ ඈ
තවම මග බලන්නී
ඔහුගෙ ඇරයුමට පෙර දවසෙ
උගුරෙ සිරවෙච්ච වචනයක්
වමාරා නිදොස්වන්නට
රතුපාට ලෝකයක
සුදුපාට තවරන්න බැරිකමට
ඈ නිහඩ වෙන්න ඇති
ඉල්මහේ බර දරන්
තාමත් සමනල්ලූ
සිරිපාදෙ හොයනවා ඇති

(රිවිහාර පින්නදුව)

අදාලයි බ්‍රෝ

අදාලයි බ්‍රෝ


කොම්පැණිකාරයො දෙන
මැහිතෙල් ගහලම
රජරට ගොවියන්ට
වකුගඩු අමාරුවලූ මචං

ඉතිං උඹයි මායි රජරටද ---යො
අපි ගොවියොද --තො
අදාල නෑ බ්‍රෝ
ඉම්මු ආතල් එකේ

ගාමන්ට් වල කෙල්ලන්ට
හරියට පඩි දෙන්නෑලූ බ්‍රෝ
-ජ්- කරන්න යන්නත්
කාඞ් එකක් ගන්න  ඕනෙලූ

උඹේ කෑල්ල
ගාමන්ට් එකක නෙමෙයිනෙ --යො
අදාල නෑ බ්‍රෝ

උදේ වැඩට යනව
රෑ වෙලා ගෙදර එනව
තව  ඕටී කරණව
පුලූවන්නම් නිවාඩු දවසට
පාට් ටයිම් පාරක් අදිනව
මේකද ජීවිතය බ්‍රෝ

ලීස් කරල කාර් එකක් ගත්තනෙ
අදාල නෑ බ්‍රෝ
ඇදපන් තව උගුරක්

අරුන් කියනව සයිටම් අහෝසි කරන්නලූ
අධ්‍යාපනේ විකුණන්න බෑලූ

සයිටම් එපා කියන්න
අපේ -කේ ගෙඩිද
අනිත් අතට ගෝල්ඞ් ලීෆ් ගන්න
සල්ලි නැතුව බීඩි උරන අපිට
ලක්ෂ එකසිය විස්සක් ගෙවල
මොන සයිටම්ද
ඉතිං  ඕක  ඕනෙ කියන්නෙත් මොකටද
අදාල නෑ බ්‍රෝ

අන්න උඹේ අම්මට සනීප නෑලූ
බෙහෙත් ගන්න සල්ලි එවන්නලූ

අම්මටසිරි
දැන් මොකද කරන්නෙ මචං

කරන්න දෙයක් නෑ
අදාල නෑ බ්‍රෝ

(රිවිහාර පින්නදුව)

Saturday, November 26, 2016

සයිටම් ජාතිවාදියෝ

සයිටම් ජාතිවාදියෝ


ජාතිය කියන්නෙ එක්තරා අනන්‍යතාවයක්. හුදෙක්ම ජනවර්ගයක් පමණක් නෙමෙයි ආගම්, කුලය, ප‍්‍රදේශ මේ ආදී විදිහට වෘත්තීන් තුළ දක්නට ලැබෙන ස්වාභාවයන් දක්වා විවිධ ස්වරූපයන්ගෙන් විවිධ තලවල මේ තත්වය අපිට දකින්න පුලූවන්. මෙහිදී අදාළ කණ්ඩායමට විවිධ පොදු අනන්‍යතාවයන් පවතිනවා. කතා කරණ භාෂාව, අදින පළදින විදිහ, ආහාර, සිරිත් විරිත් මේ ආදී විදිහට එම අනන්‍යතාවයන්ගේ ස්වරූපය පවා විවිධයි. ආසියානු පසුගාමීත්වයන්ද පවතින ලංකාව ඉංදියාව වැනි සමාජවල මෙවන් ප‍්‍රවණතාවයන් වැඩියි. ඒ වගේම නවලිබරල්වාදයේ ව්‍යාප්තියත් සමගම සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදය වැනි කරුණු එක්ක යම් මට්ටමකින් ලිබරල්වාදය විසින් මෙවැනි ප‍්‍රවණතා නැති කරණවා වැනි මතයක් පැවතියත් එක් මට්ටමකින් එහාට එයම එය පෝෂණය කරණ ආකාරය හදුනාගන්න පුළුවන්. මීට බලපාන ආර්ථික හේතූන් ආදිය ගැනත් ඒ ගැන තේරුම් ගැනීමේදී අවදානය යොමුකරන්න අවශ්‍යයයි. ජනපි‍්‍රය පාසල්වල බිග් මැච් සමයේ හා ඒ ආශි‍්‍රතව නඩත්තුවෙන මනෝභාවයන්, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක හෝ  එවැනි වෙනත් පීඨයක ශිෂ්‍යයාවක් සාමාන්‍යයෙන් කලා පීඨයේ ශිෂ්‍යයෙකු සමග පේ‍්‍රම සබදතාවක් ඇතිකර නොගැනීම, කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමය අවකාශයන් තුළ ඉංග‍්‍රීසි උගත් නාගරික බුද්ධිමතුන්ගෙන් බාහිර අයෙකුගේ මතවාදයන් කෙරෙහි දක්වන හෙළා දකිනා ස්වරූපයේ නොසැළකිල්ල මේ ආදී බොහෝ හැසිරීම් අපිට මෙහිදී මෙම එකම මූලයක් සමග සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති ආකාරය හදුනාගත හැකිය. ආස්වාදනීයම කාරණය මෙම එක වර්ගයක ජාතිවාදයක් ප‍්‍රතික්ෂේප කරණ එය නැති කිරීමට තීරණාත්මකව මැදිහත්වෙන පිරිස්ම තවත් තැනක ජාතිවාදයේ වෙනත් ස්වරූපයකින් ආතුරවීමයි.
පසුගිය සමයේ ගොඩනැගුනු මුස්ලිම් විරෝධී සිංහළ බෞද්ධ අන්තවාදයට එරෙහිව ප‍්‍රගතිශීලීව මැදිහත්වූ මගේ මිතුරෙක්ම පාසලේ ක‍්‍රිකට් තරග හෝ වෙනයම් අවස්ථාවන්ට අදාළව නඩත්තුවෙන අනිත් අය මොක්කුන්ද අපි තමයි පොරවල් පන්නයේ මනෝභාවයට ගොදුරුවීම හා එය නඩත්තු කිරීමට දායකවීම, සමාජ තත්වයන් හා ආර්ථික කරුණු මත වෙනස් කොට සැළකීමට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ පෙනී සිටින මගේ මිතුරෙක්ම බොදු බල සේනාව වැනි සංවිධාන වල මතවාදයන් නියෝජනය කිරීම, ශිෂ්‍ය සංගමය මගින් පෙන්වන චිත‍්‍රපටයක් නරඹා ඒ තුළින් මතුවෙන අතීත සමාජයේ කුල පීඩනය ගැන කතා කරණ වෛද්‍ය පීඨයේ මගේ මිතුරියකට කලා පීඨයේ සොයුරෙකුගේ පෙම් ඇරයුම විහිළුවක් වීම ආදී අපිට ජීවිතයේ හමුවෙන බොහෝ එකිනෙකට පරස්පර හැසිරීම් අප තේරුම් ගතයුත්තේ මේ අනුවය. මෙහිදී අප සියල්ලන් එකම මඩගොහොරුවක විවිධ තැන්වල එරී අනෙකා මඩ නාගෙන සිටිනු බලමින් සිනහසෙන තත්වයක් නිර්මාණයවී ඇත. ඒ අනුව එක් අවස්ථාවක යම් අන්තවාදයකට විරුද්ධව පෙනී ඉන්නා අයෙකුගේ මැදිහත්වීම ඔහු වෙනත් තැනක වෙනත් ස්වරූපයක අන්තවාදයකට එකගවීම තුළ නිශේධවී යයිද?
එලෙස පාරිශුද්ධ මැදිහත්වීමක් පමණක් වලංගුවන්නේනම් එවැන්නක් කළ හැක්කේ ආගම් වල හමුවෙන දෙවියන් වහන්සේ කෙනෙකුට හෝ අරහත් තත්වයට පත්වූ කෙනෙකු වැනි අයට පමණක් වනු ඇත. එබැවින් යම් අයෙකුගේ එවැනි මැදිහත්වීමක් අප භාරගත යුතු අතර නැවත වෙනත් තැනකදී ඔහු සම්බන්ධවන ජාතිවාදයකට අදාළව ඔහුට විරුද්ධ අන්තය ගැනීමටද අපිට සිදුවනු ඇත. එලෙසම අනෙක් අයෙකුගේ එවැනි අන්තවාදයකට විරුද්ධවීම තුළ ඔහුට ඔහු තුළ සිටින අන්තවාදී යක්ෂයන් හා සටන් කිරීමට ඔහුටද සවිය ලැබෙනු ඇත. එසේම මෙම විවිධ ජාතිවාදයන්ගෙන් ජනනයවන සමාජමය හානිය විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට අදාලව වෙනස් වෙයි. 83 කළු ජූලියට ආසන්න කාල සීමාව තුළ සිංහළ දෙමළ ජාතිවාදයන් තීරණාත්මක විය. පසුගිය ආසන්න කාල සීමාව තුළ මතුවූ තත්වයන් තුළ සිංහළ මුස්ලිම් ජාතිවාදයන් තීරණාත්මක විය. සියළු අකාරයේ එවන් ජාතිවාදයන්, අන්තවාදයන්ට එරෙහි වන අතර එවැනි සුවිශේෂී තත්වයන්ට අදාල අපගේ මැදිහත්වීම අපට තීරණය කිරීමට සිදුවනු ඇත.
මුදල් මත පදනම්ව සමාජයේ ස්ථරයන් අතර ඇතිවන වෙනස් කොට සැළකීම් හුදු ජාතිවාදයකට ගොනු කිරීම ලියුම්කරුට ගැටළු සහගතය. නමුත් ඒ තුළත් අප පෙර සදහන් කළ ජාතිවාදමය ස්වරූපය පවතින බැවින් ඒ පිළිබදව මූලික අවධානය යොමු කරමි. සයිටම් වගේම භීඊඵ වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ටද අදාළව තියෙන කාරණය තමයි නිශ්චිත ආදායම් මට්ටමක් පෙන්නල ඒ සීමාවට උඩ අයට විතරක් එන්න දෙන එක. මේක අසාධාරණයි කියල කිව්වහම සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ වෙන්නෙ දුප්පත් අයට යන්න රජයේ විශ්වවිද්‍යාල  ඕන තරම් තියෙනවනෙ සල්ලි තියෙන අයට යන්න ඒ වගේ ඒව තිබ්බම මොකද?, රජයට හැමෝටම උසස් අධ්‍යාපන අවස්ථා දෙන්න බැහැ ඉතිං ඒකට පුද්ගලික ආයෝජකයන්ගෙ උදව්වත් ගන්න  ඕනෙ වගේ උත්තර. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම යන කාරණයත් එක්ක ඔය කාරණයන්ගෙ යථාර්තය ගැන මේ ලිපියෙ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මේ සාකච්ඡුාව ඇතුලෙ එක් කාරණයක් මතුකරන්න උත්සහ ගන්නව. නිකමට හිතන්න උසස් අධ්‍යාපන අවස්ථා සීමිත හින්ද රජය විශ්වවිද්‍යාලයක් හදල ඒකට එක ජාතියක අය විතරක් හරි ආගමක අය විතරක් එන්න කිව්වොත් ඒක සාධාරණ වෙයිද? අනිත් ආගම් වල අයට නැත්තන් ජාතීන් වල අයට පොදුවේ යන්න වෙන විශ්වවිද්‍යාල තියෙන්නෙ එහෙම එකේ මෙහෙම එකක් හදල ඒ මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න දුන්නට මොකද? වගේ දෙයක් උත්තරයක් විදිහට අපිට භාරගන්න පුළුවන්ද? විශේෂයෙන්ම පාලකයින් ප‍්‍රතිපාදන කප්පාදු කරල පොදුවේ අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාවන් තව තවත් අහිමි කරණ තත්වයක එහෙම විශ්වවිද්‍යාලයක් හැදුවොත් මොකක් වෙයිද? අදාල ජාතියේ ජාතිවාදී ස්ථරයන් හැරෙන්න හැමෝම කියයි උසස් අධ්‍යාපන අවස්ථා සීමත වෙන එකේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ ජාතියෙ අයට විතරක් නෙමෙයි හැමෝටම. අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවල ඒ අවස්ථාවන් පුළුල් කරන් නැතුව එක ජාතියක අයට විතරක් යන්න විශ්වවිද්‍යාල හදන එක වැරදියි. ඒවට හැමෝටම යන්න ඉඩහදල දෙන්න කියල.
අපිට අර කළින් කතා කරපු ජාතිවාදයන්ගේ විවිධ ස්වරූප අතර ගැටුම හම්බෙන්නෙ මෙතනදි. කළින් කිව්ව කල්පිත විශ්වවිද්‍යාලය හැදුවොත් ඒකට විරුද්ධව මරාගෙන මැරෙන්න ලෑස්තිවෙන සමහර අයට භීඊඵ එකේ මුදල් සීමාවක් දාල එක්තරා ස්ථරයකට විතරක් එන්න කියද්දි ඒක මාර වැඩක් වෙනව, සයිටම් එකට විරුද්ධ වෙන එක පසුගාමී කුහකයන්ගෙ වැඩක් වෙනව. (දැන් ඉතිං ලක්ෂ අටේ ශිෂ්‍ය ණය තියෙන හින්ද හැමෝටම සමාන අවස්තා තියෙනව වැනි ව්‍යවහාර භාෂාවේ ගොන් ජෝක් වලින් මෙයට පිළිතුරු නොලැබෙනු ඇත) NSBM එකේ වෙළද දැන්වීමක එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පහසුකම් ගැන විස්තර දකිද්දී මට මතක්වූයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල සහෝදරයින් කොරිඩෝවල පවා මෙට්ට පැදුරු එළාගෙන රැය ගතකරණ ආකාරයයි. ආර්ථිකමය සාධක මත සමාජ කණ්ඩායම් දෙකකට කරණ වෙනස් කොට සැළකීම මෙමගින් පැහැදිලි වෙයි. (එහෙනම් අධ්‍යාපනය විකුණන එකට විරුද්ධ නොවී ඒවට වැඩිපුර පහසුකම් ඉල්ලූවහම හරිනෙ වැනි අදහසක් හිතට නැගේනම්, පිලිතුර අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමෙන් ඇතිවන අර්බුදය සම්බන්ධ සංවාදයන් තුළ හමුවෙනු ඇත. මෙම ලිපිය තුළ අධ්‍යාපනයේ අර්බුදය නොව සමාජය තුළ ඇති මුදල මත වෙනස් කොට සැළකීම ගැන අවධානය යොමු කරයි)
අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු හැම කාරණයක් තුළම මෙම වෙළද පල සමාජය තුළ මුදලේ ජාතිවාදය කි‍්‍රයාත්මක වෙයි. එහි හැඩය තේරුම් ගැනීමට මෙවර අයවැය සියුම්ව නිරීක්ෂණය කිරීම ප‍්‍රමාණවත් වෙයි. එය ආර්ථිකය හසුරුවන වෙළද පැලැන්තියක් මත පදනම්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙටි කාලීනව හා දිගුකාලීවනව තෘප්ත කිරීම පදනම් කරගනිමින් ගොඩනැගී ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට මුං ඇටවල මිළ අඩු කරණවා වැනි ලොලි පොප් ලබාදී ඇත. ඒ අර්ථයෙන් මෙය ජාතිවාදී අයවැයකි. යම් මූල්‍ය ශක්‍යතාවයක් සහිත ස්ථරයක් වෙනුවෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගා අපි අධ්‍යාපන අවස්ථා පුළුල් කරණවා යැයි බෙරිහන් දෙන අතර සමාජයේ සාමාන්‍ය ස්ථරයන්ගේ පිරිස් උසස් අධ්‍යාපන සම්මත අවස්ථාවන් අහිමි වන විට එයට විකල්පයක් ලෙස භාවිතා කරණ බාහිර උපාධි අවස්ථාවන් කප්පාදු කරයි. පහුගිය කාලයේ ආණ්ඩුවෙන් යෝජනා වුණු මන්දිර බද්ද, සුපිරි වාසි බද්ද වැනි බදු ආණ්ඩුව හකුලා ගන්නා අතර අගමැතිවරයා විසින් එයට හේතුව ලෙස දක්වන්නේ විවිධ පිරිස් එයට විරුද්ධවූ නිසා එය අහෝසි කළ බවයි. අපි එම බදු අහෝසි කරන්නට කළ එකදු උද්ඝෝෂණයක්, පාගමනක් දුටුවේ නැත. එසේවත් නොකර අගමැතිවරයාගෙන් කරණු ලැබූ හුදු ඉල්ලීමකින් ඔහු එය අහෝසි කර ඇත. දැන් මට මතක්වන්නේ සරසවි ඉදිරියේ මාස ගණනක් තිස්සේ තියෙන සත්‍යග‍්‍රහයන්ය, සයිටම් අහෝසි කිරීම හා අධ්‍යාපනය විකිණීමට එරෙහි පාගමන් හා ඒවාට එල්ලවූ ප‍්‍රහාරයන්ය, එවායේදී තුවාල ලද සොයුරන් හා සිරගතවූ අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සොයුරන්ය. ඔවුන්ගේ ඉල්ලීම් වලට අගමැතිවරයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ශිෂ්‍ය නායකයින්ට  ඕනෙ විදිහට නටන්න ලෑස්ති නෑ කියමිනි. එම විරෝධය ගොනු වන්නේ සමාජයේ පොදු ජනයාගෙනි නැත්නම් එක් ස්ථරයකිනි. මන්දිරබදු විරෝධය එන්නේ තවත් සුළුතර ස්ථරයකිනි. අගමැතිවරයා තමන් නටන්නේ කාගේ උවමනාවන්ට අනුවද යන්න අපට පැහැදිලි කරදී ඇත. මේ අනුව මුදල් මත පදනම්වූ සමාජයේ විවිධ ස්ථරයන්ට වෙනස් කොට සැළකීමේ ජාතිවාදයක් කි‍්‍රයාත්මකවෙයි. එම ස්ථරයට අවැසි ලෙස සියල්ල තීරණය වෙයි. සයිටම් අර්බුදය තුළද තවත් බොහෝ දෑ අතර මේ ජාතිවාදයේ ස්වරූපයන් අපට හදුනාගත හැකිය. ඉතිං අද දවසේ දේශපාලනයේ ප‍්‍රගතිශීලීත්වය මනිනුයේ ස්පාටකස් ටෙලිනාට්‍ය මාලාව නරඹන අතර තුර වහල් හිමියන්ට බැනීමෙන් හෝ රොබින් හුඞ් නරඹන අතර ෂෙරීෆ්ලාට බැනීමෙන් නොවන අතර මුදල් මත පදනම්වූ මෙකී ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්නා මට්ටම අනුවය.

( රිවිහාර පින්නදුව )

Monday, October 17, 2016

වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


අපේ ආච්චි අම්මා පොඩි කාලෙ මට වෛද්‍යවරයෙක් වෙන්න කියල කිව්වෙ එහෙම උනොත් රස්සාව කරණ ගමන් පිං කරන්නත් පුලූවන් කියල. හැබැයි ඒ ආච්චි අම්මම අන්තිම දවස්වල රෝහලේ නවත්තන්න ගියහම මුලින් වාට්ටුවෙ වෛද්‍යවරයගෙ පුද්ගලික ප‍්‍රතිකාර කරණ තැනට ගිහින් සල්ලි ගෙවල කථා කරල ඊළගට තමයි රෝහලට ඇතුලත් කරන්නෙ. නැත්තන් හොදට බලන්නෙ නැහැලූ. පිං කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ මව්පියන් සිහිකරන අයනම් එම වාට්ටුවේදී මට හමුවිය. වෛද්‍යවරුන්ගේ භූමිකාවේ හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටළුව ගැන සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමතුන් යැයි හදුන්වන පිරිස් ටොකු අනිමින් පවසන්නට අවැසි නැත. එය ඔවුන් අත්දැකීමෙන්ම දනී. වෛද්‍යවරුන්ගේ මෙවැනි තවත් බොහෝ අඩුපාඩු ගැන සංවාදය ඇරඹෙන්නේ සයිටම් අහෝසි කිරීමේ අරගලය තීව‍්‍රර වීමත් සමගය. මේවන විට සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරුන් පිළිබදව සමාජයේ ඇති මෙම අදුරු චිත‍්‍රයට මුවාවෙමින් සයිටම් විරෝධී අරගලයෙන් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීමේ කුමන්ත‍්‍රණයකි. අප එය නිවැරදිව කියවා ගත යුතුව ඇත.
සල්ලි තියෙන අයට යන්න පුද්ගලික රෝහල් තිබුණට මොකද වැනි අදහසකින් ආරම්භවී අද වන විට සල්ලි තිබුණත් නැතත් විවිධ පරීක්ෂණ හා තවත් බොහෝ දේට පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවී ඇත. එය අපේ රටේ සෞඛ්‍ය අංශවල කරේ තබා නිදහස් වෙන්නට උත්සහ කළද වෙළද පල ක‍්‍රමය තුළ යථාර්තය මෙය බව ලෝකයම සාක්ෂි දරයි. එවැනි ක්ෂේත‍්‍රයක වෘත්තිකයන්ද එහි ගොදුරු බවට පත්ව ලාභය පසු පසම එළවන තැනට වැටීම පුදුම වීමට දෙයක් නොවෙයි. කවුරුන් හෝ එහි වැරැුද්දක් දකීනම් කළ යුත්තේ මෙවැනි දොස්තරලා අපේ සල්ලි වලින් බිහිවෙනවට වඩා එයාලම ගෙවල හැදුනම හොදයි, ප‍්‍රයිවට් ෆැක්ටිස් හොදයි ප‍්‍රයිවට් කැම්පස් තමයි නරක මුන්ගෙ කුහකකම සයිටම් එක වහන්න හොද නැහැ වගේ කතා කියමින් සිටීම නොව කළ යුත්තේ සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් බවට පත්වීම නිසා තමන් අත්විදින යථාර්තය හෙට දවසෙ ඒ විදිහට අධ්‍යාපනයට අදාලව අත්විදින්න වෙන්න දෙන් නැතුව සයිටම් එකටත්, අධ්‍යාපනය යම් පිරිසකගේ ලාභය වැඩි කරණ මාර්ගයක් කරගන්න ඉඩ හදන පාලකයන්ගෙ ප‍්‍රතිපත්තියටත් විරුද්ධවෙන එකයි.
වෛද්‍ය පීඨයක ඉගෙන ගන්නා මගේ මිත‍්‍රයෙක් සරසවියට ගිය අළුත දිනක් පැවසුවේ ”අපේ බැජ් එකේ ඩොක්ටර්ස්ල වෙන්න ආපු තුන්දෙනෙක් ඉන්නවා” කියාය. වෛද්‍ය පීඨයකට වෛද්‍යවරයෙක් වීමට හැර වෙන ඇතුල්වීමට හේතුවක් නැති බැවින් එය විමසද්දී ඔහු පැවසුවේ අනෙක් සියළු දෙනාම  ඕලෙවල් හොදට පාස් හින්ද හැමෝම තෝරගන්න නිසා ජීව විද්‍යාව තෝරගත්ත අය බවය. වෙනත් විෂයන්ට වෘත්තීන්ට කැමැත්තෙන් සිටි එනමුදු සමාජීය තෙරපුම නිසා වෛද්‍යවරයන් ඉංජිනේරුවන් වීමට යොමුවූ බොහෝ දෙනෙකු අපිට මුණ ගැසෙයි. තරගකාරී අධ්‍යාපනය තුළ සිසුවෙකුට තම ළමා කාලයේ සෙල්ලම් බත් උයන එක පැත්තකින් තබා අමතර පංති යාමට සිදුවේ. යොවුන්වියේ ආදර සබදතා වැනි දේ පසක තබා දිවා ? පාඩම් කිරීමට සිදුවෙයි. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ පිටුපස කලාතුරකින් අයෙකුට හැර මෙවැනි අහිමිවූ දෑ බොහෝය. එසේම සරසවිය තුලද ආතතිකාරී ඉගෙනුම් කි‍්‍රයාවලියක් පවතින අතර සිසුන් සියදවි නසාගැනීම වැනි තත්වයන් කරා පත්වන්නේ හේතු රහිතවම නොවෙයි. මෙහිදී තමන් ස්වාභාවයෙන් කැමති විෂයන් වෘත්තීන් අතහැර මේ විෂයන් වෙත යොමුවන සිසුන්ගේ පීඩාව අධික වෙයි. අවසන රැුකියාවට පැමිණි කල වෛද්‍යවරයෙකුවීමේ ආසාව නැති බහුතර ශිෂ්‍යයින් රෝගීන්ට ප‍්‍රතිකාර කර ආස්වාදයක් නොලබන අතර එම තැනට පැමිණීමට ඔවුන් ජීවිතේ බොහෝ දේ ගෙවා දමා ඇති තත්වයක් තුළ ඉවක් බවක් නැතිව මුදල් සොයමින් තම සිහින තුළ මවා ඇති ලොකු ගෙයක් හොද කාර් එකක් පසුපස ඔවුන් ඉබාගාතේ දිවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එලෙසම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පඩි වැඩි කරණ විට එහෙමනම් පඩි අතර පරතරය තියාගන්න අපෙත් වැඩි කරන්න  ඕනෙ වගේ තර්කයන් ඔවුන් වෙතින් ගොඩනැගීමද අපට තේරුම් ගත හැකිය. මන්දයත් ජීවිතයම කැපකොට තමාට අදාල නොවන, තෘප්තියක් නොලබන වෘත්තියකට ඇතුල්වීමට බලකෙරුණ ඔවුන් එවැනි සමාජයේ විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වීම සිතාගත හැකිය. එසේ නොවේනම් ඔවුන්ට තමන්ගේ ජීවිතේ සාදාගත් රිත්තකයන්ට පිලිතුරක් නොලැබෙනු ඇත.
දැන් මේ අර්බුදයට විසදුම කුමක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සමගම කියන සටන් පාඨයක් වන අධ්‍යාපනයේ නිදහස යන්න තුළ මීට පිලිතුරු ඇත. එම සංවාදය තවම සමාජය වෙත ගෙන ඒමට හැකියාව ලැබී නැත. ඒ පිලිබදව මේ ලිපියේම කතා කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. කෙසේ නමුත් එම එකදු කාරණයකටවත් විසදුම සයිටම් එකට ඉඩදීම හෝ අධ්‍යාපනයට වෙළද පලට විවෘත කිරීමෙන් නොලැබෙන බවත් එමගින් අර්බුදය තවත් සංකීර්ණ වන බවත් අප පැහැදිලි කරගත යුතුය. වෛද්‍යවරුන්ට පාඩමක් උගන්වන්නට සයිටම් එකට ඉඩදිය යුතු බවට එන තර්කයේදී මෙලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්වීමෙන් පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ස්ථරයන්හි ජනතාවය. බොහෝ විට වෛද්‍යවරුන්ට කෙලෙස හෝ මේ අධ්‍යාපනයට නියම වෙන මිළ ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. සයිටම් වැනි ආයතන සාදා පුලූවන් තරම් වෛද්‍යවරුන් බිහිකර වෛද්‍යවරුන්ගේ සංගමයේ ආධිපත්‍ය බිදදැමිය යුතුයැයි යමෙක් සිතයිනම්, එලෙස බිද දැමුවත් එහි වැඩවසම් ලක්ෂණ අවම වී නවලිබරල් නරුමත්වය එම වෘත්තියට දැනටත් වඩා රිංගන එක හැරෙන්නට එමගින් ප‍්‍රගතිශීලී වෙනසක් ඇතිවේ යැයි බලාපොරොත්තු තැබීම විහිළුවකි. ඉංදියාව වැනි අපට සමාන ආර්ථික හා සමාජීය තත්වයන් ඇති රටක තත්වය මෙහිදී අවධානයට ගත හැකිය. වෛද්‍යරුන් සමග පවත්නා තරහකට ඔවුන්ට ටොක්කක් ඇනීමට අධ්‍යාපනයට මෙතරම් හානියක් වන තීරණයකට එළඹිය යුතුද යන්න සිතා බැලිය යුතුය.
එසේනම් මෙම වෙද බමුණු කුලය බිද දමන්නේ කෙසේද? අධ්‍යාපනය සිල්ලරට විකුණන්නට ඉඩදීමෙන් එය සිදුනොවේ. එය සිදුවිය යුත්තේ වෛද්‍ය වෘත්තිකයින් තුළින්මය. ඔවුන් සමග කරණ දේශපාලනයක් හරහාය. එය සරළව මෙසේය, අද වන විට පුද්ගලිකව වෛද්‍ය සේවාවන් සැපයීම පිළිබදව වෛද්‍ය පීඨ තුළ සංවාදයක් ඇතිවී ඇත. නිදහස් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොකළ යුතුයි කියන අප සෞඛ්‍ය වෙළදපලකරණයේ දංගෙඩියට දැක්වීමට දායකවීම යුක්ති සහගත නොවන බවට ඔවුන් අතර සංවාදයක් ඇතිවෙමින් ඇත. හුදු වෛද්‍ය සිසුවාගේ අනෙන්‍යතාවයෙන් ඔබ්බට ගිය දේශපාලනිකව දියුණු සහෝදර සහෝදරියන් වෛද්‍ය පීඨ තුලින් බිහිවෙමින් ඇත. මෙම සහෝදර සහෝදරියන් හෙට දින සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් කිරීමටද එරෙහිව පෙනී සිටිනු ඇත. වෙනත් ශ්‍රේණි වල පඩි වැඩි කිරීමේ අරගලයන්ට එරෙහි නොවනු ඇත. සෞඛ්‍ය වෙළද මාෆියාවන්ගෙන් ගළවා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් විසින් පවතින වෙද බමුණු කුලය බිද දමනු ඇත. සත්‍ය ලෙසම එය බිද දැමිය යුත්තේ එලෙසය. ඒ සදහා වෙද සිසුන් සමග උරනුර ගැටී කරණ දුෂ්කර දේශපාලන අභ්‍යාසයක් අපට ඇත. එය පත්තරයකට ලිපියක් ලියනවා, සම්මන්ත‍්‍රණයක කතාවක් කරණවා වැනි පහසු දෙයක් නොවනු ඇත. එනමුදු සැබෑ විසදුම ඇත්තේ එතනය.

(රිවිහාර පින්නදුව)
දේශය
2016.09.18


Sunday, September 25, 2016

ජීවිතේට ඕනෙලූ ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ

ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ
ඔයා ළග හිනැහෙන්න
මතකයේ පිටු අතර
රෝස පෙති අලවන්න
හිත් කොනක් කොනිත්තන්
පොඞ්ඩක් තරහවෙන්න
ආදරෙන් ආයෙමත්
උණුසුමේ ගුලිවෙන්න
ජීවිතේ තනුවත් පදවැලත්
ඔබවෙන්න
පේ‍්‍රමයේ සිතාරයන්
සංගීතය දෙන්න
අහස දෙස බලාගෙන
මන්දාකිණියෙ කෙළවර හොයන්න
පිච්ච මල් අතුරල
ඉරට පාරක් හදන්න
පාර පේන් නැත්තන්
කණාමැදිරියන්ට අපි එක්ක
එන්න කියන්න
මැක්ඩොනල්ඞ් එකට ගිහින්
බොම්බයිමොටයි කන්න
මගෙ ඩයරිය පීරල
ඔයාගෙ නමත්
තැනින් තැන ලියන්න
ආයෙ හම්බෙන දවසට
ඒ පුරුදු ගස් සෙවණට
ආදරේ අරගෙන එන්න

(රිවිහාර පින්නදුව)


Saturday, September 24, 2016

කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි
කොඩියක ළෙලෙන
වනයක හඩ දෙන
සිංහයෝ වන්නෙමු අපි
කොල්ලූපිටියේ වේලෙන
මුහුදු රළ පිස නැගෙන
ලූණු රහයි ජීවිතේ
ඒකත් සතුටක් අපිට
මෙලෝ රහක් නැති
මිනිස් ජීවිත අතර
දිවා රෑ නියොන් එළි අද්දර
නිළංකාර දෑස් රිද්දන
ගද ගගහ කුණුවෙන නගරෙක
ආයෙ අපි මොනව කරන්නද ලස්සන
තුන්තිස් පැයේ නිදි නැතිව
නැගෙන වාහන හඩ
තවත් දහසක් ඝෝෂා මැද
තිබුණ හද කීරි ගැහෙනා නිහඩ බව
උන් ඇවිත් හඩනගා
බිදදමන සද
විකුණන්න එපා මොරදුන්නට
තේරේවිද මේ ටවුමට
විකිණීමම ස්වර්ගයද නිවනද වූ කල
තවත් සිය දහසක් ඇහැරවන්නට
ගිගුම් දුන් දසදහසක් හඩවල්
දුම් වලා මැද කදුළු
සිනහ නැගුනා සිංහ මුවගට
සිමෙන්තියෙන් සැදුණු බව අමතකව
වෙර දැරුව පාද සොලවන්න
කඩා පනිනට බැරියර් මතට
ආයෙ එනවැයි සපථ කොට
උන් ගියා සමුගෙන
ඉතිං නූඹලා කවදාද ආයෙ එන්නෙ
අපි ඉන්නෙ බලාගෙන
මියැදුණු හංදියක
මොහොතකට ජීවත් වෙන්න
සිංහයෝ අපි
කොල්ලූපිටියේ වේලෙන

(රිවිහාර පින්නදුව)



Thursday, September 22, 2016


නිල් අහස් තලේ අගේ

වැට් හින්ද වැඩි වෙලා


හෝඩි පොතෙ අකුරු ගලවා
විකුණන්නෙ සිල්ලරට
”අ” යන්නේ අම්මා මෙච්චරයි
”ආ” යන්නෙන් ආච්චි
අඩු කළා මේ උත්සව සමයට
අකුරු දෙකක් ගත්තොත්
එකක් දෙනවා නිකන්
පමා නොවන්න
මහත්වරුනි තොග සීමිතයි
සාමා අමර සල් ගසත් එක්කම
පැකේජ් එක වාසියි
තව කීයක් හරි දුන්නොත්
නයනවත් ගතහැකි
නිල් අහස් තලේ අගේ
වැට් හින්ද වැඩි වෙලා
පළවෙනිද ඉදන්
කෝම්පිට්ටු මිළ ඉහළට
පහසු ගෙවීමේ ක‍්‍රමයට
අපෙන් ගන්න චක්කරේ

(රිවිහාර පින්නදුව)


Wednesday, September 21, 2016

මං ඉපදිලා තියෙන්නෙ උන්ට ලාභ හොයල දෙන්න


මං ඉපදිලා තියෙන්නෙ

උන්ට ලාභ හොයල දෙන්න


මං ඉපදුණේ පුද්ගලික රෝහලක
අම්ම ලෝන් එකක් දාලයි
ගෙවල තිබුණෙ ඒකට
මොළේ වැඩෙන්න
අහවල් දේ තියෙන
කිරිපිටි පැකට් ගන්න
බැරිමරගාතෙ තාත්ත  ඕටී කරලයි
ගෙව්වෙ ඉස්කෝලෙට
අපේ වෙඩින් එක
අර ටීවී එකේ පෙන්නුව විදිහට
ෆොටෝ ෂූට් සෙටි බැක්
නහුතයක් දේවල්
තාම අපි ණය ගෙවනවා
හරිම සන්තෝෂයෙන්
ලොකු ගෙයක් හදන්න
හොද කාර් එකක් ගන්න
මහන්සියට ටිකක් නවතින්න
ඉඩක් නෑ ජීවිතේ
වස උනත් කන දේ
හිතන්න එපා කන්න
ලෙඩ උනාට භයවෙන්න එපා
අත ළගම ඉස්පිරිතාලෙ
සල්ලි ගෙවන පරක්කුවට
බෙහෙත් දෙන හිත පිරෙන්න
මරණයත් ලස්සනට තියෙන්න  ඕනෙ
හොද මිනී පෙට්ටියක් එහෙම
අන්තිමට ජීවිතේ
හර බැර කරල ගත්තම
අපි ඉපදිලා තියෙන්නෙ
උන්ට ලාභ හොයල දෙන්න

(රිවිහාර පින්නදුව)


Friday, July 29, 2016

මස්තිෂ්ක අන්ධකාරය

මස්තිෂ්ක අන්ධකාරය


මිනිස්සු සිය ගණනින් මැරෙන්න ගන්නවත් එක්කම රට පුරා හිදිසි තත්වයක් ප‍්‍රකාශ කරනව. විද්‍යාගාරවල පරීක්ෂණවල ඉදන් බලි තොවිල් වෙනකම් හැම විදිහකින්ම මිනිස්සු උත්තරයක් හොයන්න මහන්සි ගන්නව. නගර පිටින් පාළුවෙලා ඒ භයානක හැගීම් විරහිත අන්ධකාරෙ ගිලෙද්දි වෙන කරන්න දෙයක් නැති තැන නගර ගම් පිටින් මරණයට හුදෙකලා කරන්න තීරණය වෙනව. කවුරුත් විශ්වාස කරයිද මේ අන්ධකාරය පටන් ගන්නෙ ආලෝකමත් පුංචි සුන්දර ගමකින් කියල. සමහර විට අන්ධකාරය හරිම තැනින් පැතිරෙන්න පටන් ගත්ත වෙන්න ඇති, ඒ තමන්ගෙ ප‍්‍රතිපක්ෂය වෙච්ච ආලෝකය තුළින්ම ඒ අන්ධකාරයට ඉපදෙන්න දීල.
    ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
ගම සුන්දරයි නගරය කැතයි කියන කතාව ඇත්තද බොරුද කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව ගමේ තවම මොකක්දෝ සාමූහිකත්වයක් තියෙනව, ඒකෙන් ගමට ඔය වෙල් එළිවල තියෙනවයි කියන ලස්සනට වඩා ලස්සනක් ගේනව. ගම කතාබහේදි මොන තරම් උඩින් උස්සල තිබ්බත් අවුරුද්දට ගිහින් එන්න යනව මිසක් ඔච්චර හොදයි කියන ගමේ නවතින්න කවුරුත් කැමති නෑ. කොහොම හරි නිවාඩුවට කැම්පස් එකේ යාළුවො දෙන්නෙක් එක්ක පොඩි මාමලගෙ ගමට යන්න හිතුවෙ වෙනසකටත් එක්කයි. ඒ ගම මේ වගේ කාලෙක හොයා ගන්න අමාරු විදිහෙ හුදෙකලා වෙච්ච බිමක්. ළගම තියෙන බස් එකක් යන පාරට එන්නත් ඒ මිනිස්සු ගොඩක් දුර පයින් එන්න  ඕනෙ. ඒ හින්දමද කොහෙද ඒ මිනිස්සුන්ගෙ ලෝකය ගමෙන් එහාට පැතිරෙන්නෙ හරිම අඩුවෙන්. මේ හුදෙකලා බව නිසාම ගමට අනෙන්‍යය වෙච්ච සංස්කෘතික ලක්ෂණ ගොඩක් තියෙනව. කොහොම උනත් ඒ මිනිස්සු හරිම මිත‍්‍රශීලී වගේම විනෝදකාමීයි. රටේ අනිිත් මිනිස්සුන්ට වගේ පාරට බස් එකක් නැති එක, විදුලිය නැති එක වගේ දේවල් එයාලට හිතන්න තරම්වත් දෙයක් නෙමෙයි ඒ හින්ද මොන තරම් අඩුපාඩුකම් මැද උනත් ඒ මිනිස්සු සැහැල්ලූවෙන් උන්නා. ගම මැද්දෙ සතියට සැරයක් දෙසැරයක් පැදුරු සාජ්ජයක් තියෙනව. ගමට කවුරු හරි අමුත්තො ආව දවසට ඒක අනිවාර්යයි. ගමේ හැම ගෙදරකම දොර හැම කෙනෙක්ටම විවෘතයි. ගමේ කොල්ලො ටිකත් හරිම මිත‍්‍රශීලියි. දකින දකින තැන ඇවිත් කතා කරනව. යාළුවො දෙන්නත් එක්ක මෙහෙ එන්න හිතුවෙ වෙනසකටත් එක්කයි.
ටවුමෙ ඉදල සෑහෙන දුරක් බස් එකේ ඇවිත් පන්සල පහුවෙලා ටිකක් ගියහම තියෙන නුග ගහ ගාවින් බහිද්දිම මට හරිම අමුත්තක් දැනුන. එතනින් ගමේ අය දෙතුන් දෙනෙකුත් බැස්ස. මෙතනින් බහින්නෙ ගමට යන්න කියල හැමෝම දන්නව ඉතිං මෙතනින් බහින කෙනෙක්ගෙන් කවුද කින්ද මන්ද කියල අහන්න, බඩු මොනව හරි තිනෙවනම් උස්සන් යන්න, ගමේ අලගිය මුලගිය තැන් ඔක්කොම යනකම් කියන්න මේ මිනිස්සුන්ට ඒ එන අමුත්තව කළින් අදුනගෙන ඉන්න  ඕනෙ නෑ මං දන්න තරමින්. ඒත් අද ඒ මිනිස්සු හරිම නිහඩයි. මං කළින් ගමට ආව පාර මේ ගොඩක් දෙනෙක් මාව හොය හොය ඇවිත් කතා කරපු හින්ද ඇදුනුම් කමට නිකමට හිනාවුනා විතරයි.  ඒ හිනාවත් උදේට ජොගින් පාත් එකේ දුවන මිනිස්සු මූණට හම්බෙන අයට ගුඞ් මෝනිං කියනව වගේ හරිම ව්‍යාජයක්. පැය එක හමාරක විතර පයින් ගමන පුරාම තිබ්බෙ ගුප්ත නිහඩ බවක්. ඒත් මං දන්න ගමේ මිනිස්සුනම් හැම තිස්සෙම ළග ඉන්න අයත් එක්ක මොනව හරි ආගිය තොරතුරු කතා කරණව. මෙතන මිනිස් කට හඩකට ඇහුනෙ අපි තුන්දෙනා මොනව හරි කුටු කුටු ගාපු එක විතරයි. පුරුදු නැති හින්ද පාරෙ සමහර තැන් වලදි බෑග් උස්සන් අපිට යන්න් අමාරු වෙද්දි එයාල උදව් කළා. ඒත් ඒ උදව් කරල පුරුද්දට මිසක් හැම වෙලේම අපි අතර ලොකු දුරක් දැනුනෙ.
ඒ ඇත්තටම මං දන්න පොඩි මාම නෙමෙයි. කළින් පාර බස් එකෙන් බහින තැනට පැය ගානකට කළින් ඉදන් ඇවිත් ඉදල මාව එක්කගෙන ගිය පොඩි මාමගෙන් අද හම්බවුණේ කොහොමද පුතා කියල වචන දෙක තුනකට සීමා වෙච්ච රාජකාරිමය පිළිගැනීමක්. පොඩි මාමගෙ දුව පොඩි කෙල්ල ගිය පාර ආපු වෙලාවෙ අයියෙ අයියෙ කියල මගෙ පස්සෙමයි. කියවනව කියවනව ඉවරයක් නෑ. ඒකට අද ඒ කෙල්ල ගොළුවෙලා නෑ කියල දැනගන්න මට පැය ගාණක් ගියා. අමුත්තෙක් ආව කියල ගමේම මිනිස්සු යනින් එනින් ගමන් ගෙට ගොඩවෙලා අදුනගෙන යනව වෙනුවට ගාණක්වත් තිබුන් නෑ කාටවත්. නිකන් අපි පොඩි මාමලගෙ ගෙදර කාමරයක් කුළියට අරන් නැවතිලා වගෙයි. ගමේ කොල්ලො ටික පේන්නවත් හිටියෙ නැති හින්ද මං උන් ටි‍්‍රප් එකක්වත් ගිහින් කියල හිතුවට උන් ඔක්කොම ගෙවල් අස්සට වෙලා උන්නා. වෙනද ගම මැද්දෙ තිබුණ පැදුරු සාජ්ජ දැන් කෙරෙන් නෑ කියලම් පැහැදිලියි. වෙනද ගමේම කොල්ලො මාත් එක්ක ඇවිදින්න ආවට මේ පාර අපිට උදව්වට පාර පෙන්නන්න කෙනෙක් හොයා ගන්න නැතිවුණා. ගමේ ඉස්කෝලෙ වහලද කියලත් මට හිතුන, වෙනද හැතැම්මක් තියා පොඩි උන්ගෙ කෑගැහිල්ල. ගිය පාර මං කැම්පස් එකේ කියල ආරංචි වෙලා ඉස්කෝලෙ ටීචර් මාව එක්කන් කරන් ගිහින් ළමයින්ට කතා කරන්න කිව්ව. ආයෙ ආවොත් අනිවාරෙන්ම ඉස්කෝලෙ පැත්තෙ එන්නත් කිව්ව. මං අද ඉස්කෝලෙටම ගිහින් මගෙ යළුවන්වත් අදුන්නල දීල කතා කළාට හිනාවුණා ඇරෙන්න ටීචර්ගෙන් වෙන කිසිම ප‍්‍රතිචාරයක් ලැබුන් නෑ. ගිය පාර මං එද්දි සිංදු කිය කිය, ළමයි එක්ක සෙල්ලම් කර කර ඉගැන්නුව ඇය අද පුටුව උඩට වෙලා පාඩම කියවනව.
මගෙ යාළුවො දෙන්න අපහු එන ගමනම ආවෙ මට බැන බැන. ඒක හරිම සාධාරණයි. සතියක් ගමේ නතර වෙලා ඉන්න ගියපු අපි දවස් තුනෙන් ආපහු ආව. ඇත්තටම ඒ දවස් තුනත් අපි ගෙව්වෙ හරිම අසහනෙන්. ඇත්තටම අපිට දැනුනෙ මළවුන් මැද්දෙ ජීවත් වෙනව වගේ හැගීමක්. අපි ගමට ආපු එක වගේම ගිය එකත් කාටවත් අදාල වුණේ නැහැ. මාමනම් නිකන් නමට වගේ අපිව ඇරලවන්න ටික දුරක් මගටත් ආව. ගිය පාර වගේ උස්සගෙන යන්න බැරි තරම් බඩු ගොඩවල් යද්දි ගමේ මිනිස්සු ගෙනත් දුන්නෙ නෑ. මං ආයෙ එනකම්ම පැය ගාණක් කල්පනා කළේ ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ කියල. ටවුමට ආවට පස්සෙ ටවුමෙ පොඞ්ඩක් අපි ඇවිද්ද එතනදි අපි ගමට ගිහින් එන ගමන් කියල කිව්වම එතන හිටපු මනුස්සයෙකුත් කිව්ව ගමේ මිනිස්සු දැන් වෙනද වගේ නෙමෙයි හරිම අමුතුයි කියල. ඇත්තටම පොඩි මාමලට මොකක් හරි කියාගන්න බැරි කරදරයක්වත් වෙලාද? මට කීප සැරයක්ම අහන්නම හිතුනත් පස්සෙ අන්තිමට අහන් නැතුව හිටිය. කොහොම හරි කැම්පස් එක ආයෙ පටන් අරන් වැඩ වැඩි වෙද්දි මේ දේවල් මතකයේ පල්ලන් බැස්ස. ඔය අතර දවසක් මගෙ අර යාලූවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ පෙම්වතිය මාව හොයන් ඇවිත් අඩ අඩ කියන්න ගත්තෙ මගෙ යාලූව දැන් ගොඩක් වෙනස් වෙලා හරියට කතා කරන්නෙවත් නෑ කියල. එතකොටයි මට කල්පනා වෙන්න ගත්තෙ ඒ මනුස්සය අපි එක්කත් දැන් එහෙමයි කියල. ළගදි ඩ‍්‍රාමා එකක් බලන්න යන්න එන්න කිව්වම වෙනද ඒවට අපිවත් ඇදගෙන දුවන මනුස්සය මහන්සියි කියල හොස්ටල් එකට වෙලා හිටිය. මගෙ යාලූව විතරක් නෙමෙයි එයාගෙ රූම් එකේ සෙට් එකම දැන් වැඩි කතා බහක් නෑ වෙනම ලයින් එකක් දෙන්නෙ කියල කැම්පස් එකේ තැන තැන කතා කරන්න ගනිද්දියි මට පොඩි මාමලගෙ ගම මතක්වුණේ. මෙතන මොකක් හරි අවුලක් තියෙනව.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

කැම්පස් එකේ ළමයින්ගෙ හැසිරීම අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා කියල අපිට පරීක්ෂා කරන්න ආව. වෙනද වගේ කැම්පස් එකේ අරගල මොකුත් තිබ්බෙ නෑ. කලා උළෙලවල් වගේ දේවල්, තැන තැන පෙම් සුව විදින පෙම්වතුන් මේ හැමදේම අඩුවෙන්න ගත්ත. මේ අසාමාන්‍යකම ටික කාලයක් යද්දි රටේ තැනින් තැන මතුවෙන්න ගත්ත. ඒ හැම තැනක්ම මොන විදිහකින් හරි කැම්පස් එකේ කාට හරි සම්බන්ධ වෙලා තිබුණ. ඒක වසංගතයක් ලෙඬේ මොකක්ද කියලවත් අපිට තේරෙන්නෙ නැති. අපේ පරීක්ෂණ වලට රජය දිගටම මැදිහත්වුණා. ඒව කෙළින්ම රජයේ භාරයට ගත්තා. ඈත ගමක මිනිස්සු හදුනා නොගත් මොළේ ඉදිමීමේ රෝගයකින් මැරෙන්න ගන්නවත් එක්කම හැමදෙයක්ම එළිවෙන්න ගත්ත. ඇත්තටම මොළය ඉදිමෙනව කිව්වට ඒක මොළේ කුණු වෙනව කිව්වොත් හරි. ඊළගට කැම්පස් එකේ ළමයිනුත් ඒ ලෙඩෙන්ම මැරෙන්න ගන්නවත් එක්කම රටම අසහනයට පත්වුණා. රජයේ රහසිගත පරීක්ෂණාගාර වලට ඒක නවත්තන්න බැරි වෙද්දි ආපහු අපිව මේ වැඩ වලට සම්බන්ධ කරගත්ත. මුළින් අපිට හරියටම තොරතුරු නොදී අපි ලවා වැඩකරගන්න හැදුවත්, ඒ දේවල් හංගන් ඉන්න බැරිවුණා වැඩි දවසක්. අන්තිමට ඒ යක්ෂයාගේ පරීක්ෂණය එළිවුණා.
පාලකයන්ට අවශ්‍යය වෙනවා මිනිස්සුන්ව තමන්ට  ඕනෙ විදිහට පාලනය කරගන්න. ඒත් ආර්ථික අර්බුද එද්දි මානව සමාජය එහි හරයන්ගෙන් අභාවයට යද්දි මිනිස්සු ඒවට විරුද්ධව නැගී සිටින එක වළක්වන්න බැරිවෙනව. පොළිසිය, උසාවිය, ජනමාධ්‍ය මේ විදිහට පාලකයන්ට තියෙන හැම ආයුධයක්ම පාවිච්චි කළාට පස්සෙත් අර්බුදයේ උච්චතම නිමේෂයන් වලදි මිනිස්සුන්ගේ මේ නැගිටීම් නවත්තන්න ඔවුන්ට බැරි වෙනව. ඒකට ඔවුන්ට සාම්ප‍්‍රදායික උත්තර වලට වඩා වෙනස් උත්තරයක්  ඕනෙ වෙනව. ඒකට ඔවුන් හොයාගන්න ආයුධය පනුවො. පනුවො කිව්වට ඇත්තටම ක්ෂුද්‍ර ජීවියෙක් මොළයෙ ජීවත්වෙන. උන් ජීවත්වෙන්නෙ මොළයෙ නියුරෝන වල ප‍්‍රබල ආවේග වලින් නිපදවෙන ශක්තිය උරාගෙන. ඒකෙන් මිනිස්සුන්ට ආදරය, සහෝදරකම් වගේ ප‍්‍රබල මානවීය හැගීම් නැතිවෙලා යනව. නැතිවෙලා යනව කිව්වට ඒව ඇතිවෙනව ඒත් ඒ ආවේගයන් අර ක්ෂුද්‍ර ජීවීන් උරාගන්නව. එතකොට අපිට ඒ හැගීම් දැනෙන් නෑ. ඒ අය පරීක්ෂණයට යොදාගන්නෙ සමාජෙන් හුදෙකලා වෙලා ඉන්න ඈත පිටිසර ගමක්. ඒ පරීක්ෂණය සාර්ථකව අවසානයට ළංවෙමින් තියෙනව ඒ ගමට හදිස්සියෙම නිවාඩුවකට කැම්පස් එකේ ළමයි වගයක් එනකන්.
ඒ රෝගය මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්නෙ නැති විදිහටයි හදල තිබිල තියෙන්නෙ. ඒත් අර ආපු ළමයි අතරින් කෙනෙක්ගෙ ජාන සැකැස්මෙ මොකක් හෝ වෙනසක් නිසා ඔහු මේ රෝගය මිනිසෙක්ගෙන් බෝවුණු පළවෙනි රෝගිය වෙනව විතරක් නෙමෙයි, එයාගෙ ශරීරය ඇතුළෙ මේ ක්ෂුද්‍ර ජීවිය වර්ධනය වෙනව මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්න පුලූවන් විදිහට. ඒකයි කැම්පස් එක ආශ‍්‍රයෙන් මේ ලෙඬේ හැම තැනම පැතිරෙන්න ගන්නෙ. ඔය අතර පරීක්ෂකයො නොහිතපු තවත් දෙයක් වෙනව. ඒ මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ කි‍්‍රයාකාරීත්වය හින්ද ටිකෙන් ටික මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වෙන්න ගන්නව. සරළව මොළය මිය යනව. අන්තිමට ඒ භයානක පරීක්ෂණය මානව ඛේදවාචකයක් වෙනව. මේ ගතවෙන තත්පරේදිත් අපි ඒක වළක්වන්න ක‍්‍රම හොයනව. දැනට අපිට නිරෝගී අයට ඒක බෝවෙන එක වළක්ව ගන්න ක‍්‍රමයක් තියෙනව. රෝගය වැළදුනු අය බේරගන්න ක‍්‍රමයක් තමයි තවම නැත්තෙ. අපිට මේ විද්‍යාගාර ඇතුළෙ ඒකට කොහොම හරි උත්තර හොයාගන්න ලැබෙයි හැබැයි පාලකයන්ටනම් එයාලගෙ ප‍්‍රශ්නෙට අර්බුදයට යන්න දෙනවා ඇරෙන්න උත්තරයක් හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ.

(රිවිහාර පින්නදුව)

Tuesday, July 19, 2016

හිරගෙර ටිකක් විවේකෙන් ඉදපන්

හිරගෙර ටිකක්
විවේකෙන් ඉදපන්


රෑ වෙනව එළිවෙනව
වෙලාවක් මතක නැති
කෑවද බීවද
මතකයේ ඉඩක් නැති
හමුවෙනා හැමදාම
බෑග් එක එල්ලගෙන
කොහේ හරි දුවන
උන් හුගක් භය කෙරුව
පොඩි එකා උඹ ඇකා
නිවාඩු නැති අරගලයෙ
අලූත් අවුරුද්දටත්
උඹ හිටියෙ අට්ටාලෙ
කදුළු ගෑස් බැටන් පොළු
ජීවිතේ කොටසක් වෙච්ච
මේ සමාජය හිරකරණ
බැරියර් අද්දර
නිල් කොළ රතු හීනවල
වීරයො හුරතල් වෙද්දි
බැරියර් පෙරළන්න
භය නැතුව කර තිබ්බ
උඹට මහන්සියක්
දැනෙන් නැතිබව ඇත්ත
ඒත් මේ නිවාඩු කාලෙ
රෑ දවාලෙ වෙනස දැකපන්
හිර ගෙදර ටිකක්
විවේකෙන් ඉදපන්
එලියට ආවට පස්සෙ ආයෙත්
උඹට දැනෙන්නෙ නැතිවෙයි
මිනිස්සු නිදියන්න  ඕනෙ
කන්න බොන්න  ඕනෙ

(රිවිහාර පින්නදුව)

Monday, July 4, 2016

හුදෙකලාව අහිමිව

හුදෙකලාව අහිමිව


එලාම් එක පුරුදු විදිහට වදිනව. මං වගේම ඔරලෝසුවත් දන්නෙ නැහැ ඌ මොකටද මේ වැඬේ කරන්නෙ කියල ඒත් ඌ හැමදාම උදේට කෑගහල මාව ඇහැරනව. අදත් ඇදේ මං ළගින් කවුද නිදාගෙන තියෙනව. මං දවස් ගාණක්ම ? තිස්සෙ නැගිට නැගිටත් බැලූව, කවුරුවත් නෑ හැබැයි කවුරු හරි ඉදල තියෙනව. පුරුදු විදිහට ඇද ළග මේසෙ උඩ උදේ තේක හදල. හැමදාම උදේ මං ඇහැරෙන්නෙම මේ උභතෝකෝටිකයත් එක්ක. ඇත්තටම කවුද මේව කරන්නෙ. මගෙ ඇදුම් හිටපු ගමන් හේදිලා වැල් වල තියෙන්නෙ කොහොමද? මං ඔෆිස් ගිහින් එද්දි ගෙවල් දොරවල් අතුගෑවිලා අස්පස් වෙලා තියෙන්නෙ කොහොමද? ඇත්තම මේක අගක් මුලක් නැති ප‍්‍රශ්නයක්, මං ඔෆිස් යන එකේ ඉදන්ම. දන්න කියන කාලෙක ඉදන් මේ ලෝකෙ ඉන්නෙ මං විතරයි. අනිත් මිනිස්සුන්ට මොකද වුණේ? කොච්චර මතක් කළත් මතක් වෙන් නැති අතීතෙක ඒ හේතුව වැළලිලා. මට මේ ලෝකෙ අන්තිමට මිනිස්සු හිටිය මතක මීට අවුරුදු පහළවකට වගේ කළින් දවසක. මට ඡුායාවල් වගේ මතකයි මං යාළුවො වගයක් එක්ක මුහුදු වෙරළෙ සිංදු කිය කිය ඉන්නව. එදා තමයි මේ ලෝකෙ අන්තිමට මිනිස්සු හිටියෙ. ඒ අය මැරිලද? නැත්තන් වෙන ලෝකෙකට ගිහින්ද? එහෙමත් නැත්තන් මාව මේ වෙන සමාන්තර ලෝකෙකට ඇදිල ගිහිල්ලවත්ද? නැත්තන් කවුරු හරි පිස්සු විදඥාඥයෙකුගෙ පරීක්ෂණාගාරෙකද මං මේ ඉන්නෙ? හැම දෙයක්ම ප‍්‍රශ්න විතරයි. කවදාවත් උත්තර නෑ. පුරුදු විදිහට ලෑස්තිවෙලා පහළට එද්දි මේසෙට උදේ කෑම ඇරල. කටට දෙකට පාන් කෑල්ලක් කාල පොඩි උන් දෙන්නෙක්ගෙ ඉස්කෝල බෑග් දෙකකුත් අරන් මං කාර් එකට නැග්ග. කාර් එකට නගිද්දි වැහිල තිබුණු ගේට්ටුව නැගල බලද්දි ඇරල. හැමදාම ඔෆිස් එකට ගිහින් බලද්දි අර පොඩි ළමයින්ගෙ බෑග් දෙක නෑ. හැබැයි ගෙදරට හවස එද්දි ඒව සාලෙ සෙටිය උඩ තියෙනව. පුරුද්දට ළමයි නැති ඉස්කෝලෙ ගාව ටිකක් වාහනේ නතර කරන් ඉදල ඔෆිස් එකට ආවෙ. පැමිණීමේ ලේඛනේ අදත් කට්ටිය අත්සන් කරල. මං මගෙ කැබින් එකට ගිහින් ටිකකින් ආයෙ ඇවිත් බලද්දි මගෙ නමට යටිනුත් තවත් අය අත්සන් කරල. ඒත් කවුරුත් නෑ. ටික වෙලාවකට ආපු ගමන් ෆේස් බුක් ගියා. සිය ගණනක් යාළුවො එක එක ඒව ෂෙයාර් කරණව, මගෙ ඒවට ලයික් කරණව, හිටපු ගමන් මාවත් ටැග් කරණව. ඒත් කවුරුත් නෑ. දැනට විනාඩි දෙක තුනකට කළින් මගෙ එහා පැත්තෙ කැබින් එකේ ඉදන් ගහල අප්ලෝඞ් කරපු සෙල්ෆියක්. මං දුවගෙන ගිහින් ඒ කැබින් එකේ බැලූව, කවුරුත් නෑ. හැබැයි මං යද්දි කලබලේට අරන් ගිය ලියුමටනම් අත්සනක් ඇවිත් කොහෙන් හරි.
හැමදාම උදේට අළුතින් ෆයිල් ටිකක් මගෙ මේසෙට එනව ගිණුම් වාර්තා තියන්න. දවල් කෑම වෙලාව වෙනකන් මට ඔළුව උස්සන්න වෙලාවක් ලැබෙන් නෑ. දවල්ට කන ගමනුයි මට ටිකක් හිතන්න වෙලාවක් ලැබෙන්නෙ. මං ඒ වෙලාවට ගොඩක් කල්පනාවෙන් ඉන්නෙ, මොකද මට දෙතුන් දවසක්ම මිනිස්සු වගයක් හිනාවෙවී කතා කරනව ඇහුන මං ළගින්ම. එක දවසක් හදිස්සියෙම මං ඉස්සරහ පුටුවෙ මිනිහෙක් ඉන්නව පෙනිල නොපෙනී ගියා වගේ වුණා. සමහර විට ඒ හැම දෙයක්ම මගෙ හිතේ ඇදුන මනස්ගාත වෙන්න ඇති. වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක් වෙන්න ඇති භය හිතෙන ඇහැරුණාම හැමදේම හරියයි කියල. ඒත් ඒක එහෙම නෑ. මගෙ මේසෙ උඩට එකපාරට කොහෙන්ද තේ කෝප්පයක් ආවහමයි මට මතක් වුණේ තව ටිකකින් යන්න  ඕනෙ කියල. මං ළග එක ෆයිල් එකක් තියෙනව ඒකෙ තියෙන්නෙ බෝඞ් මීටින් වල වාර්තා. ඒකට අනුව ඊයෙත් මං ඒකෙ කතා කරල තියෙනව. ටිකක් වේලාසන ඔෆිස් එකෙන් ඇවිත් මං හෝටල් කාමරේකට වෙලා පැය දෙක තුනක් නිදාගෙන උන්නා. මං සතියකට දෙකකට සැරයක් මේ විදිහට හෝටල් කාමරේට ඇවිත් ඉදල යනව. ඒකෙන් මගෙ හිතට පොඩි සැහැල්ලූවක් වගේ දෙයක් දැනෙනව. ආයෙම ගෙදරට යන්න පාරට ආව. ගෙවල් ගාව බිල්ඩිමක් හදනව මං හැමදාම ඒක දිහා හොදට බලන් යන්නෙ දවසෙන් දවස ඒ බිල්ඩිම හැදෙනව. ඊට ටිකක් එහායින් ෆිල්ම් හෝල් එක. හිටපු ගමන් දවසක මං ඒකට ගිහින් ෆිල්ම් එකක් බලල එනව. මං එහෙම දවසක් ගිහින් ඇවිත් සාක්කුව බලද්දි ටිකට් හතරක් තිබිල හම්බුණා. හදිස්සියෙම තාප්පෙක ලොකුවට ලියල තියෙනව දැක්කා ඔයාට හුදෙකලාවවත් නෑ කියල. මං මීට කළින් දවසකුත් වෙන තැනක මේ විදිටම ලියල තියෙනව දැක්ක හැබැයි දවසකට පස්සෙ ඒක එතන තිබුණ් නෑ. මං වාහනේ පාරෙ පත්තකින් නවත්තල එතන්ට ගිහින් බැලූව. ඒකෙ පොඩියට ලියල තිබුණ අපි ඔයාව හොයන් එන්නම් කියල. එතනම දාල තිබුණ අගුරු කෑල්ලකින් මාත් ඒකට යටින් මගෙ ලිපිනය ලිව්ව.
මං අළුත් බලාපොරොත්තුවකින් දවසක් දෙකක් සතියක් බලන් හිටිය. ඒත් මොකුත් වුණේ නැහැ හැමදේම පරණ විදිහමයි. ඉරිදට මං ගෙදර ඉන්නෙ. ඉරිද හවසට යනව මුහුදු වෙරළට. ගිහින් ඇවිදිනව හවස් වරුවම. වෙරළ කෙළවර තියෙනව බංකු වගයක් මං ගිහින් ඉර බැහැල යනව බලන් ඉන්නව එතන්ට වෙලා. මං ඒ හැමදාම ඉස්සො වඬේ කනව. ඒ කොහොමද කියල මට අදහසක් නෑ. එදත් වෙරළට ගිහින් ඇවිත් නාගෙන මං ප‍්‍රවෘත්ති බල බල හිටියෙ. එ්ව මට කොහොමද අදාල වෙන්නෙ කියල මට අදහසක් නැතිවුණාට මං හැමදාම අනිවාර්්‍යයෙන් ප‍්‍රවෘත්ති බැලූව. ඔය අතරයි ගෙදර බෙල් එක වැදෙනව ඇහුණෙ. මගෙ හෘදස්පන්ධනයත් වැඩිවුණා, රුධිරය වේගෙන් ගලන් ඇවිත් හදවත ඇතුළෙ තෙරපෙනව මට හොදටම දැනෙන්න ගත්ත. දොර ගාවට තියන අඩියක් ගානෙ පපුව ගැහෙන එක වැඩි වෙන්න ගත්ත. මං දොර අරිද්දි දොර ඉස්සරහ මගෙ වයසෙ විතර මනුස්සයෙක් හිනාවෙවී හිටගෙන ඉන්නව. ඒ මනුස්සය මාව හොදට අදුනනව වගේ මගෙ සැප දුක අහන ගමන් ගෙට ඇවිත් වාඩිවුණා. තාප්පෙ ලියල තිබුණු ලිපිනෙ හොයාගෙනලූ ආවෙ. අවුරුදු නෙමෙයි දශක ගාණකට පස්සෙ පණ තියෙන මිනිහෙක් මං ඉස්සරහ. මේ වෙනකම් ජීවිතේ පිරෙව්ව ප‍්‍රශ්න ගොන්නක් මට ඒ මනුස්සයගෙන් අහන්න තියෙනව. එයා කොහෙන්ද ආවෙ? මේ ලෝකෙ අනිත් මිනිස්සුන්ට මොකද වුණේ?
ඒත් මං වචන නැතුව එයා ඉබාගාතෙ කියන දේවල් අහන් උන්න. මේ ඔයාගෙ වයිෆ් වෙන්න  ඕනෙ කියල එයා කිව්ව විතරයි එතනට තේ අරගෙන ගෑණු කෙනෙක් හිනාවේගෙන ඇවිත් තේ ටික එතනින් තියල මං ළගින් වාඩිවුණා. එතකොට මෙයාද මගෙ බිරිද? අර ඇදේ එහා පැත්තෙ මං ළගින් නිදාගෙන තියෙන්නෙ මෙයාද? එතකොට එක පාරට කොහෙන්ද මතුවුණේ? මේ අපේ පොඞ්ඩ කියල ඇය මගෙ කකුල් දෙක ළග උන්නු පොඩි එකෙක් වඩාගෙන අමුත්තට පෙන්නද්දි මං පළවෙනි පාරට ඒ ළමයව දැක්කෙ? තව ටිකක් ලොකු ගෑණු ළමයෙක් බිත්තියට මුවා වෙලා අපි දිහා බලන් ඉන්නව මං දැක්ක. ඒ අය ටිකක් එහාට වෙනකන් ඉදල අමුත්ත වටේ කැරකැවි කැවී උන්නු කතාව පටන් ගත්ත. ”මං දන්නව ඔයා මොන තරම් කලබල වෙලාද ඉන්නෙ කියල. මටත් පළවෙනි දවසෙ ඔහොම දැනුණ. ඔයාට මගෙන් අහන්න ගොඩක් දේවල් ඇති ඒත් ඒවට ඔයාම උත්තර හොයාගනී. ආයෙ දවසක අපි ඉක්මනට හම්බෙමු. මං නම්බර් එක දීල යන්නන්. මං ඉන්නෙත් මේ කිට්ටුව” මං ඔහුත් එක්කම දොර ගාවට යනකම් ගියා. යන්න කළින් එක ප‍්‍රශ්නයක් අහන්න තිබුණ මට. ඔයාට හුදෙකලාවවත් නෑ කියන එකේ තේරුම මොකක්ද? ”අපිට අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හුදෙකලා වෙන්න පුළුවන් ඒත් අනිත් මිනිස්සු කියල කට්ටියක් නැත්තන් එතන හුදෙකලාවවත් නෑ. එතන තියෙන්නෙ දරුණු රික්තකයක් විතරයි” ඔහු පාර දිගේ ඇවිදන් ගිහින් නොපෙනී ගියා. පාරෙ හැම තැනම මිනිස්සු.
මගෙ හොදම යාළුව කතා කරල අද පරිස්සමට ගෙදර ආවද කියල ඇහුව. ලබන සතියෙත් වෙරලෙ ඇවිදින්න එන්න කිව්ව. ඇය උයල දුන්නු බත් එකත් අරන් පොඩි උන් දෙන්නත් එක්ක ඉස්කෝලෙට ගහින් එයාලව එතනින් බැස්සුව. හැම තැනම සුදු ඇදගත්ත පොඩි උන්. වාහන තදබදේ මැද්දෙම අමාරුවෙන් ආව ඔෆිස් එකට. කැබින් එකට යනකන් දෙපැත්තෙ හැමෝටම මෝනින් කිය කිය ආව. වැඩ පටන් අරන් ටික වෙලාවකින් ආව ගෑණු කෙනෙක් මේක එදා දාල ගිහින් තිබුණ කියල පෑනක් මේස උඩ තියල අමුතු විදිහට හිනාවෙලා ගියා. සතියකට දෙකකට සැරයක් මං හෝටල් කාමරේකට යන්නෙ මොකද කියලත් මට දැන් පැහැදිලියි. හවස ගෙදර එන ගමන් තවත් තාප්පෙක ඔයාට හුදෙකලාවත් නෑ කියල ගහල තියෙනව මං වගේම තව කෙනෙක් ඒක ඉස්සරහ හිටගෙන කියවනව. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු අතර අපි හැමෝම තනි තනි හුදෙකලා ලෝකවල. ඇත්තටම බැලූවොත් හුදකලාවත් අහිමි ලෝකවල. මූණකට හෝදගෙන එළියට බැස්සෙ මගෙ ආගන්තුක මිත‍්‍රයා හම්බෙන්න යන්න. එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් මට තියෙනව. මාව පහුකරන් දන්න නොදන්න මිනිස්සු සිය ගාණක් යනව. ඒ හැම කෙනෙක්ම තමන් විතරක් ඉන්න ලෝකවල. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් නැති භයානක හිස් කමක් ඒ ඇස් වල පිරිල. මං හිතන්නෙ මට වෙලාව ඇවිත්. මාව පහුකරන් ගිය නන්නාදුනන මනුස්සයෙක්ගෙ පිටට අත තියල මං ඇහුව ටිකක් කතා කරන්න පුලූවන්ද කියල. පුදුමයෙන් ආතුර වෙච්ච ඒ ඇස් මනුස්සයෙක්ව දැක්කෙ අවුරුදු ගාණකින් කියල මං දන්නව. දැන් මං මේ මනුස්සයට ඒ කකාව කියන්න  ඕනෙ ”ඔයාට හුදෙකලාවත් නෑ”.

(රිවිහාර පින්නදුව)



Tuesday, June 14, 2016

කණ්නාඩි ත්‍රස්තවාදියෝ


කණ්නාඩි ත්‍රස්තවාදියෝ


ජීවිතේ සිදුවෙන සමහර අහඹු දේවල් ජීවිතේම වෙනස් කරණව. හැබැයි ඒ අහඹුව අපි ඉස්සරහට එද්දි අපි ඒක භාරගන්න ලෑස්ති වෙලා හිටියෙ නැත්තන් ඒකත් ජීවිතේ හැම විනාඩියක් ගානෙම වෙන කෝටි ප්‍රකෝටි ගාණක් දේවල් ජීවිවලින් තවත් එකක් විතරක් වෙයි. හරියට බස් එකක යද්දි පහු කරන් යන ලයිට් කණුවක් වගේ. තවත් වෙලාවකට මට හිතෙනව මේ දේවල් ඇත්තටම අහඹුවක්ද? නැත්තන් කවුරු හරි කරපු දෙයක්ද? කාලය ගැන මං මේ තරම් සවිඥාණික වෙච්ච දවසක් මට මතක නෑ. ගතවෙන හැම තත්පරයක් තත්පරයක් ගාණෙම මං ජීවත් වෙනව. ඒ හැම තත්පරේකටම මට වටිනාකමක් තියෙනව. ජීවිතේ වැදගත්ම නිමේෂෙකට ළං වෙමින් ඉද්දි එහෙම වෙන එක පුදුමත් නෑ. මං හරිම ලෝබ කමින් හුස්ම ගන්නව. මේ තරම් හුස්මක ආස්වාදයක් මට කවදාවත් ලැබිල නෑ. ජීවිතේ පළවෙනි පාරට පෙම්වතියකගෙන් හාදුවක් ලැබෙද්දිවත් මං මේ තරම් ආස්වාදයක් විදල නෑ. ඒක රමණයටත් එහා ගිය උන්මාදනීය ආස්වාදයක්. මං ආලෝකයත් අදුරත් අතර නිමේෂයක් ගතකරමින් ඉන්නෙ. කොහෙන්දෝ පටන් ගත්ත මතකයන් මගෙන් එළියට ඇවිත් මං ඉදිරියේ අවකාශයේ හැසිරෙන්න ගත්ත. මං අම්මගෙ කුසෙන් එළියට එන හැටි, දණ ගාන හැටි, මුළින්ම ඇවිදපු දවස, පළවෙනියට ඉස්කෝලෙට ගිය දවස මේ හැම දෙයක්ම. ඇත්තටම මේ මතකයන් ටික අකුළගෙන ගිහින් වෙන කාගෙ හරි ඉස්සරහ දිග ඇරියොත් එයාටත් වැඩි අමුත්තක් දැනෙන එකක් නෑ. මොකද එහෙන් මෙහෙන් වෙච්ච මග ඇරීම් ඇරෙන්න ලොකුවට වෙනසක් කියල කියන්න දෙයක් අපේ මතකයන් අතර නෑ ඒ දවස එනකම්. ඔව් මේ හැම වෙනසකටම මුල කණ්නාඩියක්. සත්තකින්ම නිකම්ම නිකන් මූණ බලන කණ්නාඩියක්.
කණ්නාඩිය, පුංචි කාලෙ ඉදල අපිට හරිම අරුම පුදුම දෙයක්. ඒ ගැන එක එක කතා අපි අහල තියෙනව. කොහොම හරි අපේ හිත් වලට කාවද්දල තිබුණෙ කණ්නාඩිය කියන්නෙ භයානක නපුරු දෙයක් කවදහරි හමුබවුණොත් ඒකෙන් පුළුවන් තරම් ඈත්වෙන්න කියල. ඉස්සර මිනිස්සු කණ්නාඩියෙන්ලු මූණ බැලුවෙ. දැන් කණ්නාඩි වෙනුවට හැමෝම ගාව තියෙන ෆෝන් වල ඉස්සරහ කැමරාව තියෙනව. ගෙවල් වලත් බිත්තියෙ ලොකු තිරයක් තියෙන මේ වගේ මූණ බලන උපකරණ හයි කරල තියෙනව. දුප්පත් ගෙවල් වල වතුර භාජනයක් තියල තියෙනව. ඉස්සර මිනිස්සු ගමනක් යද්දි බෑග් එකේ සාක්කුවෙ එහෙමත් මේ භයානක කණ්නාඩිය දාගෙන යනවලු. ඒ දවස් වල කණ්නාඩියත් නිකන් පෑනක් පොතක් පැන්සලක් වගේම තවත් දෙයක් විතරයි. කාලෙකට පස්සෙ ඒ හැම දෙයක්ම වෙනස්වුණා. මිනිස්සුන්ට කණ්නාඩි වලින් යක්ෂයො පේන්න ගත්ත. ඒ දවස්වල හැමදේම අවුල් වුණාලු. ගොඩක් මිනිස්සු භයවෙලා ඉස්පිරිතාල වලටත් ගේන්න අරන්. අන්තිමට හැම තැනම තිබුණ කණ්නාඩි එකතු කරල විනාශ කරල තියෙනව. කණ්නාඩි හදන එක තහනම් කරල. තහනමෙන් ටික කාලයක් යනකන් මිනිස්සු අතර එහෙන් මෙහෙන් ඉතුරුවුණු කණ්නාඩි තිබිල තියෙනව. ඒත් පස්සෙ ඒවගෙනුත් සැරෙන් සැරේ මිනිස්සු භය වෙන්න ගත්ත හින්ද කණ්නාඩි ළග තබා ගන්න එක අපරාධ වරදක් කළා. අන්තිමට වසූරිය වෛරසේ වගේම කණ්නාඩිත් මේ මහ පොළවෙන් තුරන් කරල තියෙනව. අන්තිම කණ්නාඩියත් විනාශ කරල පොලව කණ්නාඩිවලින් තොර බිමක් කරපු දවස අදටත් අපි සමරනව. මේ දේවල් වෙද්දි අපේ පරම්පරාව ඉපදිලත් නෑ. අපේ තාත්තටත් යන්තම් අවුරුදු  හතරක් පහක් විතර ඇතිලු. තාත්තටනම් යාන්තමින් වගේ මතකයිලු කණ්නාඩිය කියන එක ගැන. ඉස්සර සීය ඉන්න කාලෙනම් මහගෙදර තිබුනු කණ්නාඩි මේසයක් ගැන, ආච්චි අම්මට සීය තරුණ කාලෙ තෑගි දීපු පොඩි කණ්නාඩියක් ගැන, බාබර් සාප්පු වල බිත්තියෙ හයිකරල තිබුණ ලොකු කණ්නාඩි ගැන මේ විදිහට දහසකුත් කතා කියනව. ආච්චි අම්ම පුංචි කාලෙ බිත්තියෙ එල්ලල තිබුණු කණ්නාඩියක් ගලවන්න ගිහින් ඒක ඇගට වැටිල, බිදිල ඒකට කැපිල වෙච්ච තුවාල කැලලක් ආච්චි අම්මගෙ කකුලෙ තිබුණ. දෙක වසරෙ සිංහල අච්චු පොතෙත් තිබුණ කණ්නාඩිය කියල පාඩමක්. මං ටිකක් ලොකු වෙද්දි සීය කණ්නාඩිය ගැන වෙනස් විදිහෙ දේවල් එහෙන් මෙහෙන් මට කියන්න ගත්ත. මට ලොකුවට ඒ කියපු දේවල් තේරුණෙත් නෑ. ඒත් සීය හැම තිස්සෙම කිව්ව දෙයක් තමයි කණ්නාඩි නෙමෙයි වැරදි කියල. එහෙමනම් මොකක්ද, කවුද වැරදි? කොහොම හරි ආච්චි අම්මයි අපේ අම්මයි හැමෝම සීයට කෑගහන්න ගත්ත පොඩි එකාගෙත් ඔළුවත් අවුල් කරන්න එපා කියල. පස්සෙ සීයත් ඒ කතා අඩු කළා.
සීයගෙ අවසන් කටයුතු ඉවරවෙලා ටික කාලෙකින් මහ ගෙදර කඩල එතන අලුතින් ගෙයක් හදන්න අපේ ගෙදර අය ලෑස්ති වුණා. මහ ගෙදර තිබුණ බඩු ඔක්කොම අපේ ගෙදර පිටිපස්සෙ තිබ්බ ගබඩා කාමරේට ඇද්ද. කුළු ගෙඩි පාරවල් එකින් එක වැදිල මහගෙදර බිමට සමතලා වෙද්දි මොකක්දෝ බරක් පපුවට දැනුනෙ මගෙ විතරක් නෙමෙයි කියල තේරුණේ පිටිපස්ස බලද්දි ගෙදර අනිත් අයගෙත් මූණවල් දකිද්දියි. හැන්දෑවෙලා ඒ වැඩ ඔක්කොම ඉවර කරල ගෙදර කට්ටිය ආගිය කතා කතා කර කර තේ බොද්දි මං මගේ තේකත් අරගෙන ගබඩා කාමරේට ආව. මේ පොළවෙ එක පරම්පරාවක් ඇස් අයාගෙන මං දිහා බලන් ඉන්නව වගේ හැගීමක් මට කාමරේ ඇතුලෙදි දැනුණ. ඒ පීඩනේට ආපහු යන්න දොර දිහාට හැරුනම අදුරු කාමරයත් ආලෝකවත් දොරත් අතර මං අතරමං වුණා. ටික වෙලාවක් ඉද්දි මට තේරුණේ මේ කාමරෙන් පැනල යනවට වඩා දෙයක් මෙතන තියෙනව කියල. මේ හැම මේසයක් පුටුවක්ම හුස්ම ගන්නව මට දැනුණ. ඒව මට කොහෙට හරි පාර කියනව වගේ. ඔය අතරෙයි කාමරේ කෙළවරම තිබුණ පරණ පෙට්ටගම මං දැක්කෙ. සීය ඉන්නකන් කාටවත් ඕකට ළං වෙන්න දුන් නෑ. ඊට පස්සෙත් ඕකෙ දාල තිබුණ ආච්චි අම්මගෙ රත්තරන් බඩු වගයක් ගන්න ඇරිය ඇරෙන්න කාටවත් ඒ පරණ පෙට්ටගම ගැන වගේ වගක් තිබුණ් නෑ. යතුරත් යතුරු කටේම තිබුණ හින්ද මං අමාරුවක් නැතුව පෙට්ටගම ඇරගත්ත. පරණ සාරි වගයක්, පොඩි පිත්තල බඩු වගයක් ඔය විදිහට එක එක දේවල් තිබුණ. ඒත් එහෙමටම කියල දෙයක් නෑ. ඒත් හදිස්සියෙම හම්බුන දෙයින් මගෙ ඇග හිරි වැටුණ ඒ කණ්නාඩියක වටේ ආවරණයක් මං හිතන විදිහට. සමහර විට ඒක වෙන්න ඇති සීය අර ආච්චි අම්මට තෑගි දුන්නයි කියපු එක. ඒකෙ කණ්නාඩිය අයින් කරල මිටකුත් එක්ක බෑග් එකක වගේ දාගෙන යන්න පුළුවන් පොඩි එකක්. ඒකෙ මිටේ ලස්සනට ලියවැල් කැටයම් වගේකුත් තියෙනව. ඒව ලස්සන වුණාට එතිල එතිල හරියට කණ්නාඩිය ගැන අපි අහපු කතා වගේම පැටලෙවිල. ඒක ආයෙම පෙට්ටගමේ පතුලෙම තියල මං එලියට ආව. ඒත් මට දැනුන මොකක්දෝ අඩුවක්. ආයෙ ගිහින් පෙට්ටගමේ තිබුණු හැම දෙයක්ම එළියට ගත්ත. ඒත් කිසිම අමුතු දෙයක් තිබුන් නෑ. එහෙම වෙන්න බෑ. බඩු අස්සෙ තිබුණු පිරිත් පොත අතට ගත්තෙ නිකමට. සීය කවදාවත් මේ පොත බලනව මං දැකල නෑ හැබැයි හැමදාම හවසට සීය පිරිත් කිව්ව. එතනත් මට නොතේරුන දෙයක් තිබුණ, වෙසක් පෝයටවත් පන්සල් නොයන, ආච්චි අම්ම දෙවිය ලෝකෙ අපාය ගැන කියද්දි ඇත්තටම ඕව තියෙනවද කියල උඹ කොහොමද දන්නෙ කියල අහන සීය ඇයි හැමදාම පිරිත් කිව්වෙ? මං පිරිත් පොත පෙරළල බැලුව පරණ වෙච්ච අදුරු පැහැ ගැහුණු කඩදාසි පිටු අතර කණ්නාඩියක් දිළිසෙන්න ගත්ත.
මිනිස්සු තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න භාෂාව හදාගත්ත, වඩා තියුණු හැගීම් දනවන්න ඒ භාෂාව ටික ටික දියුණු කළා. ඒත් අපිට දැනෙන හැම හැගීමකටම වචන දෙන්න තවම අපිට පුළුවන් වෙලා නෑ. මං හිතන්නෙ ඒ වෙලේ දැනුණ හැගීමත් එහෙම එකක් වෙන්න ඇති. ඒ කණ්නාඩිය ඇතුළින් මං දැක්කෙ යක්ෂයෙක්. ඒ පෙනුම භයානක වගේම අප්‍රිය ජනකයි. කණ්නාඩිය ආපහු පිරිත් පොත ඇතුළටම ගියා. මට මතක විදිහට මං පෙට්ටගම තිබුණ විදිහටම හැදුව, අමාරුවෙන් ඇවිදන් ගෙදරට ආව සිහිය එද්දි හිටියෙ ඉස්පිරිතාලෙ. දවස් ගාණක්ම අඩුවෙන් නැතුව උණ ගැනිල උන්න. හැමදාම රෑ හීනෙන් භයවෙලා කෑගහන්න ගත්ත. ඉස්සර කණ්නාඩි තිබුණ කාලෙ මේ වගේ ලෙඩක් හැදුණ ගමන් කණ්නාඩියක් දැකල කියල හිතනව. ඒත් දැන් දන්න කියන කාලෙකින් කවුරුත් කණ්නාඩියක් දැකල ලෙඩවෙලා නැති හින්ද කවුරුත් එහෙම හිතුවෙ නැහැ. අම්මලනම් මං සීයගෙ අවතාරෙ දැකල භයවෙලා කියල හිතල ගෙදර පිරිතකුත් කියන්න ලෑස්ති වුණා. හැබැයි පිරිත් කියන්න කියන්න මගෙ ලෙඬේ වැඩිවුණා. එතකොට අම්මල හිතුව මට සීයගෙ අවතාරෙ වැහිල කියල ඊට පස්සෙ කට්ඨඩියෙක් ගෙන්නල තොවිලෙකුත් කළා. ටික දවසකින් උණ අඩුවෙලා ගියා. ඊට පස්සෙයි මං නිවී සැනසිල්ලෙන් උනේ මොකක්ද කියල හිතන්න ගත්තෙ. ඒක කණ්නාඩියක්, පුංචි කාලෙ ඉදන් මාව කුතුහලයෙන් පිරෙව්ව ඒක කණ්නාඩියක්. මොන තරම් දේවල් උනත් මොකක්දෝ හේතුවක් හින්ද මම කණ්නාඩිය ගැන කාටවත් කියන්න ගියෙ නෑ. වෙලාවකට හිතුන ඒක මං හිතෙන් මවා ගත්ත විකාරයක්ද කියලත්. ඒ හින්දම මාස දෙක තුනකට පස්සෙ ආයෙත් මං ගියා ගබඩා කාමරේට ඔව් ඒ යක්ෂයෙක් ඌ මං දිහා බලන් හිටියෙ හරිම පෙරේත බැල්මකින්. මට ආයෙත් උණ ගැනුණ වුනාට මේ පාර දවසෙන් දෙකෙන් බැහැල ගියා. ඔය විදිහට තවත් කාලයක් ගතවුණා. ඒ මුළු කාලෙම මං මේ ගැන හිතුව. මට මේ කණ්නාඩිය ගැන කට හරි කියන්න පුළුවන්, ඊට පස්සෙ පොළිසියෙන් ඇවිත් ඒක අරන් ගිහින් විනාශ කරල දායි. ආයෙ පත්තරවල කණ්නාඩි ගැන විශේෂාංග ලිපි දෙක තුනක් යයි. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද? මං ආයෙම ගබඩා කාමරේට යන්න තීරණය කළා. මේ පාර යන්න කළින් හොදට කල්පනා කරල හිත හදාගෙන ගියෙ. කොච්චර භයානක උනත් මේ පාර මං කණ්නාඩියෙ ඉන්න යක්ෂය දිහා ටිකක් බලන් උන්න. ටිකක් බලන් ඉද්දි මට උගෙ හුරු කමක් දැනෙන්න ගත්ත. දෙවියො කියල එකෙක් ඉන්නවනම් උගෙ නාමෙට ඒ යක්ෂය වෙන මොකෙකවත් නෙමෙයි ඒ මං. දැනුයි මට සීය පොඩි කාලෙ කිව්ව කතාව තේරෙන්නෙ කණ්නාඩිය වැරදි නෑ, කණ්නාඩිය හරි. අපිටයි වැරදිලා තියෙන්නෙ. කණ්නාඩියෙන් පේන්නෙ මගෙ ඇත්තම ප්‍රතිබිම්බයම තමයි. ඒ කියන්නෙ ඇත්තටම මම යක්ෂයෙක්.
මගෙ ජීවිතේම එදා ගබඩා කාමරේ ඇතුළෙදි වෙනස් වුණා. ඇත්තටම අපි යක්ෂයො කියන එක අපෙන් හංගල අපේ ඇත්ත විදිහ අපිට පේන හින්ද කණ්නාඩි නැතිකරල. අපි යක්ෂයො වුන එකට උත්තරේ කණ්නාඩි නැති කරල ඒ ප්‍රශ්නය මග අරින එක නෙමෙයි. ඒ ඇත්තට මුහුණ දෙන එක. ඒ හැන්දාවෙ මං ඒ හැන්දෑ කළුවරත් එක්කම මුහුවෙලා ගබඩාකාමරෙන් එළියට ආව. මං සුළගක් වුණා, එහෙම නැත්තන් මට එහෙම වෙන්න ඕනෙ වුණා. හඹාගෙන යන්න ඕනෙ වුණා හැම මිනිහෙක් ගාවටම, ගිහින් කියන්න උඹල මිනිස්සු නෙමෙයි යක්ෂයො කියල. කොහොමද මං මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්නෙ? ඒකට මං මුහුණ දුන්නු අහඹුව අනිත් අයටත් මුණ ගස්වන්න ඕනෙ වෙනව. මගෙ පුංචි කාලෙ ඉදල හොදම යාළුව ඉන්නෙ අපේ ගෙවල් ගාවමයි. දවසක් මං එහෙට කයියක් ගහන්න ගිය වෙලාවක එද්දි එයාගෙ කාමරේ කොට්ටෙ යටින් අර කණ්නාඩිය තියල ආව. පහුවෙනිද උදේ ෆෝන් එකට කාඞ් එකක් දාගන්න හන්දියට ආවමයි තවත් යාළුවෙක්ගෙන් දැනගත්තෙ අර යාළුවට සනීප නෑ කියල. මං ඉක්මනට ඒ පැත්තට ගියා, මොකද මං දැනන් හිටිය එයාට මට කියන්න ලොකු කතාවක් තියෙනව කියල.
එහා ගමේ රොමේෂ්ගෙ මාමට අයිති වත්තක් තිබුණ අතඇරල දාපු, අපි මුළින්ම කණ්නාඩි හදන්න පටන් ගත්තෙ එතනින්. වැඩි කාලයක් යන්න කළින් කණ්නාඩි ආපහු තැනින් තැන හම්බෙන්න ගත්ත. ඒක රටේ හැම තැනටම පැතිරෙන්න ගන්නවත් එක්කම හමුදාව පොළිසිය මේ හැම එකකම ප්‍රධාන වැඬේ කණ්නාඩි හොය හොය විනාශ කරණ එක වුණා. ඒත් විනාශ කරන්න කරන්න තව තවත් කණ්නාඩි හැදෙන්න ගත්ත. ඊට පස්සෙ කණ්නාඩි එක්කම ඒව හදන බෙදන අයවත් විනාශ කරන්න පටන් ගත්ත. මිනිස්සු උදේ ඇහැරිලා දොර අරිද්දි දොර ඉස්සරහ කණ්නාඩි තියල ගිහින් තිබුණ. එළිවෙද්දි හන්දි වල ලයිට් කණු වල හැමෝටම පේන්න කණ්නාඩි හයි කරල ගිහින් තිබුණ. කැම්පස් වල පොත් අස්සෙ අතින් අත පොඩි කණ්නාඩි මාරු වෙන්න ගත්ත. අල්ල ගන්න කණ්නාඩි බෙදන මිනිස්සු ප්‍රසිද්ධියෙ එල්ලල මරන්න නියම වුණා. සිය ගණනක් මැරුවත් කණ්නාඩි දවසෙන් දවස හැම තැනම පැතිරෙන්න ගත්ත. පත්තර වලට අලුත් වචනයක් එකතුවුණා. ඒ “කණ්නාඩි ත්‍රස්තවාදියො”.
අපේ කණ්නාඩි හදන තැන් ගොඩක් හමුදාවට අහුවුණා. ඒ මොනව උනත් කණ්නාඩි බෙදන එක නතර වුන් නෑ. මිනිස්සු මුල්ම දවස් වල කණ්නාඩියක් දැක්කම භයේ දිව්වට පස්සෙ ඒව තියෙන තැන් හොයන් යන්න පටන් ගත්ත. හමුදා කදවුරු ඇතුළටත් කණ්නාඩි එන්න ගන්නවත් එක්කම අපිට එරෙහි මර්දනය දෙකෙන් එකක් බේර ගන්න තීරණාත්මක තැනකට ආව. නිකන් කණ්නාඩි ගිහින් තැන තැන තිබ්බටම හරි ගියෙත් නෑ. කර්මාන්ත ශාලා ඇතුළට ව්‍යාපාරෙ අය සේවකයො විදිහට රස්සා ඉල්ලන් ගිහින් මාස ගණන් එතන වැඩ කරණ ගමන් ටික ටික තමයි වැඬේ කරන් ගියෙ. සමහර ගෙවල් ඉස්සරහ කණ්නාඩි තියල යන පාරක් ගානෙ ඒ මිනිස්සු ඒක බිදල දානව. හත් අට සැරේ එහෙම කළාට පස්සෙ තමයි සමහරු ඇත්තටම මෙච්චර නහින්න මොකක්ද මේ කියල බලන්නෙ. සමහර පැති වල මිනිස්සු ප්‍රසිද්ධියෙ කණ්නාඩි වෙනුවෙන් පෙනී ඉන්න ගත්ත. මුළින් ගම් පිටින් අල්ලන් ගියාට දිගටම එහෙම වෙන්න ගත්තම ඒක නවත්ත ගන්න බැරිවුණා. ඒ ගම්වල මිනිස්සු ගමට ඇතුල්වෙන තැන ලොකු කණ්නාඩියක් හයි කළා. ඒ වගේම පාරවල් වල හැම තැනම.
මං නම් දහයකින් විතර සැරින් සැරේ පෙනී හිටිය. ව්‍යාපාරෙ වැඩවලට රටේ හැම තැනම යන්න වුණා. ඒ කරවල වාඩියක් මැද්දෙ අළුතින් හදපු කණ්නාඩි හදන තැනක වැඩ පටන් ගන්න දවස. අලුතින් සම්බන්දවෙච්ච ධීවරයො කට්ටියකුත් හිටිය. අපි ටිකක් ලොකුවට හදපු කරවල වාඩියක් ඇතුලෙ සාකච්ඡා කර කර හිටියෙ. කොහොම හරි මේ වැඬේ ගැන ඔත්තුවක් ගිහින්, හමුදාවෙන් මේ පැත්තට එනවා කියල පණිවිඬේ ආවෙත් හමුදාවෙන්ම තමයි. හැමෝම විසිරෙන්න තීරණය කළා. අපි ටික දෙනෙක් බෝට්ටුවක නැගල ධීවරයො වගේ එතනින් එන්න ආව. ඒත් බෝට්ටු තොටුපළින් බහිද්දි එතන්ට හමුදාව ඇවිත්. මාළු අල්ලන්න ගියා වගේ රගපාල එතනින් හෙමින් මාරු වෙන්න හැදුවත් හරි ගියේ නෑ. ගෙම්බො ඇහිදින්න වගේ අපි එක එක්කෙනාව අල්ල ගත්ත. ජීප් එකට නග්ගද්දියි මං දැක්කෙ අත් දෙකට මාංචු දාල බිම බලාගෙන ඉන්න කදවුරේ උන්නු අපේ මනුස්සයව. එතනින් එහාට මගෙ කටේ දත් දෙකක් නැති වෙච්ච එකයි වම් අත තැන් දෙකකින් කැඩිච්ච එකයි විතරයි වැඩි අමාරුවක් වුණේ නැහැ අනිත් අයට වුණ දේවල් එක්ක. අධිකරණයෙන් තීන්දුව ආව මාව එල්ලල මරන්න. මේ දවස් වල කණ්නාඩි ත්‍රස්තවාදියෙක් කියල උසාවියට ගේන අයට මරණ දඩුවම දෙන්නෙ නිකන් ගං වතුර ආධාර බෙදන්නා වගේ. පත්තර වලට ටීවී වලට හොදට රහ කරන්න නිව්ස් එකක් ලැබුණ. හෙට උදේ මගෙ මරණය වාර්තා කරන්න හැමෝම බලාගෙන ඇති. දැන් ඒ පණිවිඩය යන්න ඕනෙ දුර ගිහින්. ඒ හින්ද මං ගියාට කමක් නෑ.
කවුරු උනත් මේ හිර ගෙදර හදපු මනුස්සයට ස්තුති කරන්න ඕනෙ නැගෙනහිර පැත්තට කවුළුවක් දැම්මට. උස වැඩි හින්ද එළිය බලන්න බැරි වුණාට ඒකෙන් ඉර එළිය ඇතුලට ආව හොදට. උදේ ඉර එළියෙ විටමින් ඩී විතරක් නෙමෙයි අපේ ජීවිත ඇතුළෙ හිස්තැන් පුරවන මොකක්දෝ මන්ද නොදන්නා සංඝටකයකුත් තියෙනව මං හිතන විදිහට. උණුසුම් ආස්වාස වාතය මගෙ නහර වැල් දිගේ ආත්මයම උණුසුම් කරමින් ගලනව. හදවත ගැහෙන හඩ මට හොදට ඇහෙනව ඇත්තටම ඒක තනුවක්, හරි අපූරුයි. ඉස්සර මගෙ හදවතේ ගැස්මට මෙහෙම තනුවක් තිබ්බෙ නැහැ. ඔහෙ ඉබාගාතෙ හදවත ගැහුණ. ඒත් ඒ තනුව ඇහෙන කාලය අවුරුදු මාස සති ගෙවිල මිනිත්තු ගාණට ඇවිත්. හෙමිහිට මගෙ හිර කුටියෙ දොර ගාවට ආවෙ බන්ධනාගාරෙ ඉන්න අපේ කෙනෙක්. තියෙන ආරක්ෂාවත් එක්ක එයාලට මාව මෙතනින් බේරගන්න විදිහක් නෑ කියල මට හොදටම පැහැදිලියි. මේ අය එහෙම වෙන එක ගැන හිටියෙ හරිම වරදකාරී හැගීමකින්. යකඩ කූරු අතරින් ඒ ඇගිලි මං තදින් මිරිකගෙන හිනාවුණේ ඒ අය හිතින් විදවන්න ඕනෙ නැති හින්ද. මාව මෙතනින් එළියට ගන්න බැරිවුණාට එයාලට මගෙ අන්තිම කැමැත්ත ඉෂ්ඨ කරන්න පුලුවන් වෙලා. ඒ සීයගෙ කණ්නාඩිය.
             ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
කණ්නාඩිය මගෙ අතින් ගන්නවත් එක්කම ඔහු වෙනම ලෝකෙක තනිවුණා. ඔහු කණ්නාඩිය දිහා බලාගෙන හිනාවෙන්න ගත්ත. ඇස් වලින් මතුවෙච්ච කදුළු බිංදු දෙකක් හරිම ආසාවෙන් ඒ අසහාය මනුෂ්‍යයාගෙ කම්මුල් සිප ගනිමින් පහළට ඇදුණ. එක මොහොතකට මට විශ්වාස කරන්නත් අමාරු වුණා අපි පුරාවෘතයක් වගේ අහළ තියෙන ඒ මනුෂ්‍යමද මේ ඉන්නෙ කියල. ඇත්තටම ඔහු හරිම සාමාන්‍ය කෙනෙක්. කණ්නාඩිය තුළින් ඔහු බලන් ඉන්න ඔහුගෙ ප්‍රතිබිම්බය මම දැක්කෙ ඒ වෙලාවෙයි. ඒක විශ්වාස කරන්න අමාරුයි. ඒ මනුස්සයෙක්. තවත්නම් සැක කරන්න කිසිම දෙයක් නෑ. වැරැද්ද කණ්නාඩි වල නෙමෙයි අපෙයි. ඒ  එක්කම ඔහුව අරන් යන්න කට්ටිය ආව. යන ගමන් මං ළගදි මට ඇහෙන නෑහෙන ගාණට ඔහු කිව්ව “කිසිම දෙයක් අහඹු නෙමෙයි කවුරු හරි ඔයා ඉස්සරහට ගෙනත් අත ඇරිය දේවල් ඒ”  කියල. ඔහුගෙ මරණය වුණ විදිහ පියවරෙන් පියවර විස්තර කරන්න තරම් හිතක් මට නෑ. ඒත් එක දෙයක්, මරණමංචකයෙදිත් ඔහුගෙ දෙතොලෙ වචන දස දහස් ගණනකින්වත් කියා ගන්න බැරි පණිවිඩයක් ගුලිවුණු විශ්මිත මදහසක් තිබුණ මතක් කරණ පාරක් ගාණෙ මාව හිරි වැටෙන. අන්තිමට කාලෙකට පස්සෙ මේ පොළවෙ මනුස්සයෙක් අවසන් හුස්ම හෙළුව.



(රිවිහාර පින්නදුව)

Tuesday, June 7, 2016

කාක බෝ සමිදු පිහිටයි


කාක බෝ සමිදු පිහිටයි


මලසුනක් නැති
සුවද දුම් කට්ටකුමංජල් නැති
හන්දියෙ වැඩ ඉන්න කාක බෝ සමිදු
ටවුමෙ පිස්සු හිගන්නි විතරක්ම
උදේ හවස මල් පුදන
පිරිත් වෙනුවට හැන්දෑවට
බීල වෙරිවුණ ඇන්ටන් අයියගෙ
තනු කැඩුණු ජෝතිපාලගෙ සිංදු ඇහෙන
හැමදාම හැඩ මවන
කාක් බෙටි පින්තාරුව මත
බුලත් කෙළ මල් රටා
ඉර මැරුණු කළුවරේ
ගාණ අඩු දෙවගනන්
සළු උනා බෝධිය පිටිපස්සෙ
බත් පැකට් එකක ගල් භාගෙක
නිවන් පතා
බෝධි පූජා තියන
තවත් දවසකට
කොල්ලො සෙට් එකට
අභ්‍යවකාශ මධ්‍යස්ථානය
රොකට් නැතුව හදට යන
අපල දුරුවෙන්න
වෘත්තීය සමිතියෙ පෝස්ටර්
නිතර ඇළවෙන
හදිස්සියට මිනිස්සු
කවර් වෙලා හුජ්ජ කරණ
උදේ හවස
ඉබාගාතෙ දුවන
දහසක් දෙන දෙස
අකම්පිතව බලා සිටින
රන්වැටක් නැති
කාක බෝ සමිදු
සෙවණ දෙනවාද අපිට
සල්ලි මරගනන් පැරද
නව ලොවක සිහිනයෙන්
අරහත් වෙන්නට
තී‍්‍රවිල් බජාර් එකේ සෙට් එක
ජෝගියට පාක් එකේ එල්ලූව
බෝඞ් එක
හිතයි මට අපේ ගෙදරත් ගහන්නට
කාක බෝ සමිදු පිහිටයි
සාධු කාක් සාධු කාක් සාධු කාක්

(රිවිහාර පින්නදුව)



Saturday, June 4, 2016

බිරිදකට ටෙන්ඩර් කැදවනු ලැබේ

බිරිදකට ටෙන්ඩර් කැදවනු ලැබේ


ඔයා මට කොච්චර ආදරේද?
ඇහුවට මං දන්නෙ නෑ කියන්නට
පත්තරයක සොසේජස් එකක
සබන් කෑල්ලක පෑන්ටියක
අර්තාපල් පන්සීයක
උපාධියක වකුගඩුවක
ගාණනම් දන්නවා
අම්මගෙ ආදරේ
ඇන්කර් පැකට් කීයද?
තාත්තගෙ රැුකවරණය
සෙලින්කෝ රක්ෂණ ඔප්පුවක ගාණට
ඇත්තටම ආදරේ
නිල්පාට චොකලට් එකක ගාණද?
මං දන්නෙ නෑ කියන්නට
දළ ජාතික නිෂ්පාදනයට
ආදරේ ගන්න බැරිද
හදිස්සියකට උගස් කරන්න
කොටස් වෙළද පල බලල
වැඩි මිළට විකුණන්න
මං දන්නෙ නෑ කියන්නට
තරහ වෙන්න එප ාමං එක්ක
මං දන්නෙ විකුණන්න විතරයි
අනිත් උන් දන්නෙත් එච්චරයි
ශිෂත්ව පංතියෙ ඉදල
අපිව පුරුදු කරල තියෙන්නෙ ඒකටයි
කැම්පස් එකට ගෙවන්න
කන්‍යාභාවය විකුණන
අද දවසෙ හොර රහසෙ
හෙට පත්තර වලත් දැන්වීම් යද්දි
අවුලක් නෑ
වෙළද පල පැතිරෙන්න
දෙන්න  ඕනෙ හැමතැනම
අස්සක තියෙන කන්‍යාපටලෙකටවත්
බේරෙන්න දෙන්න බෑ
ජීවිතය බිලිගත්ත අසහනය පීඩාව
ගුද මාර්ගෙකින් හරි පිටකරගන්න
දියුණු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල
දේශපාලනික අවබෝධයෙන් යුතු
වගකීම් සහගත පුරවැසියො
කොලූ ගැටව් සොය සොයා
හික්කඩු වැල්ලෙ පෝළිම් ගැහෙද්දි
රට ගිය අම්මගෙ අඩුව
දුවගෙන් පිරිමහගන්න එක
තාත්තලට සිම්පල් ප්ලෑන් එකක් වුණු සමාජෙක
ඉතිං අපි කතා කරමු
ආර්ථික සංවර්ධනය ගැන
වෙළදපල ආර්ථිකය ගැන
කෙස් පැළෙන තර්ක
පදුරු කුණුහරුප
ඔරේන්ජ් ජූස් බොන ගමන්
කියන්න හදපු දේ අමතකත් වෙනවා
රත්තරනෙ ඉක්මනට මට
ආදරේට ලන්සුවක් දෙන්න
ගොඩ මඩ දෑවැද්දකින්
නැත්නම් උසස් රැුකියාවකින්
බැරිමනම් ආස්වාදනීය සංසර්ගයකට
සරාගී සිරුරකින්
පරක්කු වෙන්න එපා
අම්මලත් මේ දවස්වල
බිරිදකට ටෙන්ඩර් කැදවලා

(රිවිහාර පින්නදුව)

Thursday, June 2, 2016

පෝරුවක් උඩ උඩබලාගෙන

පෝරුවක් උඩ උඩබලාගෙන


පෝරුවක් උඩ
හීනියට මං හිනාවෙන
ඔහුත් හොරැුහින් බලා
ආයෙම බිම බලාගෙන
නෑසියන් පිරිවරාගෙන
මොණරකොළ සුභපැතුම්
ලියුම් කවරවල හංගන
සුදු පිරුවටක ලේ ලකුණු
හංගන්න ලිගුවක් මග බලාගෙන
මැහුන් අතරින්
කන්‍යාපටලෙටත් හිනායන
ටටා කිව් සරසවි පේ‍්‍රමයට
අපි ඇන්ද පෝස්ටරයක
අකුරුවාගෙමයි අමුතුයි හැඩයි
ඒ කාලෙ ආලය
උපාධිය හිලව්වට
උගත් රූමත්කම ප්‍රෙමෝෂන්
පත්තරේ වචන ගාණට
හැඩවුණු මංගල සීනු
මොනවත් උනොත් වගකියාවිද
පොරොන්දම් ගැළපුව ග‍්‍රහලෝක
ප්ලෑන්කර ඇත හැමදේම
අම්මට වදින්නෙත්
මූණ හරවලා කැමරාවට
යද්දි ටිකක් ඇඩුවොත්
ලස්සනට තියේවි වීඩියෝ එක
මධුසමයෙ සුව සොයාගෙන
කදුනගිනකොට උඩරටට
කාර් එකක
රත්වෙලා මං
කල්පනා කළා මග දිගට
කොහෙදිද මගඇරුණෙ
මට මාව

(රිවිහාර පින්නදුව)

Wednesday, June 1, 2016

නෙළුම් කුළුණට උන්ව පේන්නෙ පොඩියට

නෙළුම් කුළුණට

උන්ව පේන්නෙ පොඩියට



නෙළුම් කුළුණට
උන්ව පේන්නෙ පොඩියට
කොටුවෙ රත්වුණු පාරවල් උඩ
රතුකොඩි අරන්
කෑමොර දෙමින්
ඇවිදගෙන යනකොට
හිනහත් යන්න ඇති
නෙළුම් කුළුණට
ඈතින් පේන කැම්බල් ප්ිය
නිල්පාට කිරුළපණ රතුපාට
පිට්ටනි වහන් වේදිකා දෙදරද්දි
රැල්ලට නොයා උන් එක්ක
මුන් මොනවද මේ කරන්නෙ
හිතුනාද නිකමට උඹට
අගුල් වැටුණු කන්වලින්
නිලංකාර ඇස් වලින්
නිල් කොළ රතු හීනවල
මහදවල් බුදියද්දි
දියවන්නාවෙ ආසන
පාරම්බාන්න ඡුන්ද ගොඩවල් නැතුව
පැරදෙන පැත්තටම
ජයක් හොයාගෙන සෙල්ලම් කරණ
ජනපි‍්‍රය නොවන දේ වෙනුවෙන්
පෙනී ඉන්නට ඇති දහිරිය
උරගානවා උන් අද
වැස්සට තෙමෙමින් උන්නු
උණුසුම් හදවත් වලින්
නැගෙන රාවය
අතඅරින්නටම බලකරණ සමාජෙක
අරගලය තව තවත් ආදරෙන්
වැළදගන්නට දිරි දෙවන
උන්ගෙ ඇස් මතින්
ඉතිං මං දකිනවා
උදාවෙන හෙට ලොවක අරුණැල්ල
නෙළුම් කුළුණ මචං උඹ දන්නවද
ඒ පුංචි මිනිස්සු
හරි උසයි මටනම්
උඹටත් වඩා ඇත්තමයි
උන් ඉන්න තැන හිටගන්න
උන් කියන දේ
භය නැතුව මොරදෙන්න
ලේසි නෑ මිනිහෙකුට
පුංචි ශරීර ඇතුළෙ හැංගුන
යෝධයෙකුට මිසක

(රිවිහාර පින්නදුව)

Saturday, May 28, 2016

ආදරණීය ලන්සුව

ආදරණීය ලන්සුව


කාලෙකින් වහින වැස්සට ඉස්සරනම් මං කොච්චර ආසද? පොළවට වැහි බිංදු පළවෙනි පාරට වැටෙද්දි එන සුවද මේ ලෝකෙ ඔය සුවදයි කියන කිසිම මලකින් මට දැනෙන් නෑ. ඒ සුවද නහයෙන් පෙනහැල්ල හරහා මගෙ ලේ වලට මුහුවෙලා මගෙ ඇග පුරාම යනව මට දැනෙනව. ජනේලයක් ගාවට හරි දොර ගාවට හරි වෙලා ඒ සුවද විද විද වැස්ස දිහා බලන් ඉන්නෙ මං මොන තරම් ආසාවෙන්ද? ඔය වගේ වෙලාවට අම්ම කහට එකක් හදල ගෙනත් දෙනව ඒකෙන් දැනෙන සනීපෙ කේජී පාරකින්වත් හම්බවෙන්නෙ නැහැ. ඒකට මෙහෙට වැස්ස වැටෙනව කියනවත් එක්කම දැනෙන්නෙ හරිම අපි‍්‍රය හැගීමක්. පොඞ්ඩක් පොළව තෙමෙද්දිම කුණු කාණු උතුරල පාරෙ වාහන හිරවෙලා මහා කාලගෝට්ටියක් වෙනව. එහෙමයි කියල මෙහෙ වගේ නෙමෙයි ගම හරි ෂොක් කියල කියන්න මං ලෑස්ති නෑ. මටනම් ඔය දෙකම කාලකණ්නි නවාතැන්. ජනෙල් වීදුරුවට වැටුණු වැහි බිංදු සති ගාණක් එකතුවෙලා තිබුණු ¥විලි තට්ටු හෝදගෙන පහළට වැටෙනව. ඉර නෙළුම් කුළුණට මුවා වෙලා මාත් එක්ක හැංගිමුත්තන් කරණව. ඒකට කමක් නෑ උඹ විතරක් නෙමෙයි මාත් එක්ක ඔය සෙල්ලම කරන්නෙ. නෙළුම් කුළුණ තමයි දැන් මගෙ ජීවිතේ ළගින්්ම ඉන්න කෙනා. ජීවිත කාලෙම ළගින් ඉන්නව කියල ගාමන්ට් එකේ ගේට්ටුව ගාව මග බලපු බයිසිකල් අනංගයො දෙතුන් දෙනාම ළගින් හිටියෙ හතර පස් පාරක් උන්ගෙ පුරුෂ ධාතු මගෙ ඇගේ තැන්පත් කරණකන් විතරයි. ඒකට නෙළුම් කුළුණ, මං කොහේ ගියත් එයා මං දිහා බලාගෙනමයි ඉන්නෙ. ? දෙගොඩ හරියෙ බෝඩිමේ ජනේල ගාවට ආවත් එයා ඉන්නව මං කියන දේ අහන්න බලාගෙන. මට මොනතරම් දේවල් කියන්න තියෙනවද එයාට හැමදාම. මං බලන් ඉන්නෙ දවසක් එනකන් ඔය නෙළුම් කුළුණ මේ ටවුමම පොඩිකරන් බිමට කඩාවැටෙනකන්. එදාට මටත් ඒකට යට වෙන්න තියෙනවනම් මොන තරම් වාසනාවක්ද? ඇත්තටම මිනිහෙකුට මැරෙන්න තියෙන ක‍්‍රම වලින් මොන තරම් දුර්ලභ ක‍්‍රමයක්ද නෙළුම් කුළුණකට යටවෙලා මැරෙන එක. එහෙම උනානම් නෙළුම් කුළුණෙයි මගෙයි පේ‍්‍රමය සදාකාලික වේවි. අනාගත පේ‍්‍රමවන්තයො හරිම ආස්වාදයෙන් අපේ ආදර කථාව ගැන කතා කරාවි. සමහර විට හිතේවි මට පිස්සු කියල, ඒත් ඇත්තටම මාව මේ තරම් කලක් ජීවත් කෙරෙව්වෙ ඒ පිස්සුවම තමයි. මගේ ජීවිතේ අරමුණ බලාපොරොත්තුන පරමත්වය මේ හැමදේම ඒ පිස්සුවයි.
බාත් රූම් එකේ සද්දෙ අඩුවුණා. මං හිතන්නෙ තව ටික වෙලාවයි තියෙන්නෙ මට. බල්ලෙක් බලූ කූඩුවෙන් එළියට පැනගන්න මොන තරම් ආසාවකින්ද ඉන්නෙ. ඒ වගේ මමත් ගමෙන් එළියට පැන ගන්න කොච්චර පෙරුම් පිරුවද? මං ස්වර්ගය හොයාගෙන පියාඹන කිරිල්ලියක් වෙලා හිටියෙ. ගාමන්ට් එකේ රස්සාව ලොතරැුයියක් කියල හිතුවට ඒක නිකන් මට සෙක්කුවක් වගේ ගලවගන්න බැරුව එකම තැන කැරකෙන්නවුණු හරකෙක් වගේ මම. චූ දාන්න යන්නත් අවසර ගන්නවුණු පහළොස් දාහෙ වහල් සේවෙ, බෝඩිමට කෑමට ගියාට පස්සෙ නංගිට යවන්න කියල ආයෙ අමුතුවෙන් මොකුත් ඉතුරුවෙන් නෑ. හැබැයි අපි මහන ඇදුම් එහෙදි විකුණන ගණන් ඇහෙද්දි ඇත්තටම අපි මාසෙන් දෙකෙන් අවුරුද්දක්  හොදට කාල බීල ඉන්න තරම් සල්ලි හොයල තියෙන්න  ඕනෙ. එ්කි හොදට ඉගෙන ගෙන ඉක්මනට ගමෙන් ආවොත් හොදයි මොකද එහෙම නැතොත් ගමේ හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු එකතුවෙලා ඒකිවත් ? දානෙට වළදාවි. මට හොදට මතකයි පන්සලේ අසූහාර දාහෙ පහන් පූජාව දවසෙ පොඩි කෙල්ලෙක්ගෙ විලාපයක් සාධුකාර අස්සෙ කාටවත් ඇහෙන් නැතුව දියවෙලා ගිය හැටි. අම්ම හෙණ ඉල්ලූව විදිහට  ඕව වදිනවනම් අපේ ගෙදරටත් අකුණු සන්නායක හයිකරන්න  ඕනෙ වෙනව කියල ඇත්තටම අම්ම නොදන්නවමද කියලත් මට සැකයි.
මල්ලිකා අක්කා එයාගෙ අළුත් ෆෝන් එකෙන් හැමදාම සෙල්ෆි ගන්නව, අළුත් ඇදුම් හෑන්ඞ් බෑග් සෙරෙප්පු හැමදාම පට්ට ගහන සායවල් දෙක තුනක් තියෙන අපිට ඒක හරිම පුදුමයක්. එයා කරණ පාට් ටයිම් ජොබ් එකට මාත් සෙට් වෙන්න හිතුවෙ ඒකයි. මතකයි පළවෙනි දවසෙ අතේ ගුළි කරපු දාහෙ කොළ දෙක තුනත් තද කරන් රෑ එළි වෙනකන් කොට්ටෙ බදාගෙන හොරාට ඇඩුව. ඊළග දවසෙ අඩලම උණ ගත්ත. නිවාඩු නැති හින්ද උණට වෙවුල වෙවුලම මැෂිම පෑගුව. අම්ම අසනීප වෙනවත් එක්කම ප‍්‍රශ්න වැඩි උනා පාට් ටයිම් ෆුල් යටිම් උනා. අන්තිමට මගෙ ආත්මය හිරිවැටිල වගේ මං ඔහේ ජීවත් වෙන්න ගත්ත. මං විතරක් නෙමෙයි මට හිතෙන්නෙ අනිත් හැමෝම නිර්වින්දනය වෙලා ජීවත්වෙන්නෙ. ඇත්තටම ජීවත් වෙනව කිව්වට ඒක ජීවත් වෙනවමත් නෙමෙයි මරණය හම්බෙනකන් මොනව හරි කරන්න  ඕනෙ හින්ද කාලය ගෙවල දාන එක වගේ දෙයක්. මං දැන් මිනිස්සු කීයක් එක්ක බුදියල තියෙනවද කියල මට මතකත් නෑ. අපේ අම්මට එහෙමනම් ඒ තරම් මිනිස්සු එක්ක බුදියගන්න සංසාරේ තව ගොඩක් දුර යන්නවේවි. ඒ මිනිස්සු මට කඩාපනින්නෙ හරියට වෘකයො මුවෙක්ට කඩා පනිනන වගේ. ඒත් එයාල දන් නෑ මං වගේම එයාල හැමෝමත් අපිට හරියට නොතේරෙන වෘකයෙක්ගෙ ගොදුරු කියල. ඒ වෘකය කොහෙට හරි වෙලා අපි දිහා බලාගෙන හිනාවෙනව ඇති. සමහර දවසට රෑට ඒ වෘකය උඩු බුරනව මට ඇහෙනව. ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල බැලූවහමයි තේරෙන්නෙ ඒක හැම පැත්තෙන්ම එනව කියල. හැම තැනින්ම මං ඇතුළෙත් ඌ උඩුබුරනව.
”පෑන්ටිය ඉරන්න එපා මිනිහෝ ටිකක් ඉන්න ගලවනකන්” එහා කාමරේ නංගිි කෑ ගහනව. ඒක ගලවල තියන්නත් බෑනෙ උන්ටම ඒක ගලවන්නත්  ඕනෙලූනෙ. ඉන්ටනෙට් එකෙන් එක එක ඒව බලල ඒව බලල නැති ගෑණිට කටක් ඇරල මෙහෙම කරමු කියන්න බැරි හින්ද අපිත් එක්ක ඒවගෙ තියෙන හැම මගුලම කරන්න එනව. පෑන්ටිය කියද්දිමයි මතක්වුණේ ඔය කැම්පස්වල කෙල්ලන්ගෙ ඩෙනිම් ගලවන එකට විරුද්ධව කෑගහන කී දෙනෙක් මගෙ පෑන්ටිය ගලවල ඇත්ද? දැන් එතකොට ඩෙනිම ගලවන එක නරකයි ඩෙනිමට යටින් අදින පෑන්ටිය ගලවන එක හොදයිද දන් නෑ. හැබැයි මංනම් මේ වෙනකන් එකෙක්ටවත් මගෙ පෑන්ටිය ඉරන්න දීල නෑ, කොහොම හරි පරිස්සන් කරගත්ත. අමරසිරි පීරිස්ගෙ ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ සිංදුවට පණ්ඩිත සාහිත්‍ය විචාර දෙන කීප දෙනෙකුගෙම දත් පාරවල් මගෙ ළැමේ තියෙනව. කළුවර පහළ පාරට ඇවිත් අහසෙ තරු එක දෙක පායන්න පටන් අරන්. නෙළුම් කුළුණෙ මුදුනෙ ලයිට් දාල නෙළුම් කුළුණත් තරු තරමටම උසයි කියලයි මට හිතෙන්නෙ. මේ වෙලාවටයි මතක් වෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ යාළුවෙලා උන්නු උඩ පන්තියෙ කොල්ල හොරාට දෙන ලව් ලෙටර්ස්. මායි යාළුවො දෙතුන් දෙනෙකුයි එකට ඒව කියවනව වගේම උත්තරේ ලියන්නෙත් එකට. හැමෝම එහෙන් මෙහෙන් අහුල ගන්න වචන කෑලි දාල හැමෝම ආස සිංදු කෑලි දාල ඒව නිකන් ආදරේ බඩගිහින් වගේ උනාට හරිම ලස්සනක් තිබුණෙ. අපේ සෙට් එකම බලන් උන්නෙ ඒ කොල්ල මට ලියුමක් දෙනකන්. දැන්නම් මට උගෙ මූණක්වත් මතක නෑ. දැන් ඇදට නොගියොත් මුට මළ පනිනව දෙතුන් පාරක්ම කකුලෙනුත් ඇද්ද.
මිනිස්සු රෑට නිදාගත්තට මේ ටවුමෙ සමහර දේවල් ඇහැරෙන්නෙ රෑට. අද රෑට වැඩ දෙකයි. එක වැඩක් ඉවර වෙලා හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ වෑන් එක පහළ නතර කරල හෝන් ගහනව. ලොජ් එකෙන් බැහැල පාරට එද්දිම පෝස්ටර් මිටියක් උස්සන් කොල්ලො දෙන්නෙක් බයිසිකලේකින් ඇවිත් පාර එහා පැත්තෙ පෝස්ටර් අලවනව. මට උන් දෙන්නව මීට කළිනුත් දෙතුන් පාරක් හම්බෙලා තියෙනව මේ විදිහටම. හෙල්මට් දාල මූණවල් අදුනගන්න බැරි උනාට උන්ගෙ ඇස් ගිණි අරන් තිබුන් නෑ. මොනව උනත් උන් හැමදාම පෝස්ටර් අලවන්නෙ පාරෙ එහා පැත්තෙ ඉතිං අපිට පේන්නෙ නැහැ. උන් දන්නෑ අපිට පාර පැනල ඇවිත් උන්ගෙ පෝස්ටර් කියවන්න තරම් අමාරුවක් නෑ කියල. සමහර වෙලාවට විප්ලවේට සෙට් වෙන්න කෙල්ලන්ට කන්‍යාභාවය තියෙන්න  ඕනෙද දන්නෑනෙ. ඉතුරුව කුණු කානු වතුරට උඩින් පැන පැන මං වෑන් එකට නැගගත්ත.රෑ මැද්දෙ නෙළුම් කුළුණ මෙතනදිත් මං දිහාම බලන් ඉන්නව. වෙලාවකට නෙළුම් කුළුණට මං ළගට එන්න බැරුව ලොකු අසරණකමකින් ඉන්නව වගේ දැනෙනව. එක දවසක් මං ගියා නෙළුම් කුළුණ ගාවටම ඒත් එතන හිටපු කාලකණ්ණි සිකියුරිටිකාරයෙක් මට ළගට යන්න දුන් නෑ. ජාති දෙකක ආදරයක් දරා ගන්න බැරි ලෝකයක් කොහොමද ඇත්තටම මනුස්සයෙකුයි නෙළුම් කුළුණකුයි අතර තියෙන ආදරයක් දරාගන්නෙ. උන්ට තේරෙන්නෙවත් නැතුව ඇති එහෙම ආදරයක් තියෙන්න පුළුවන් කියල. අපේ බෝඩිමේ පහළ කාමරේක නපුංසකයො සෙට් එකක් නැවතිලා ඉන්නව. ඔය එකෙක් ළග ගෙදරක කොල්ලෙක්ට ලව් කළා. දැකලයින් දැකල නෑ එහෙම ආදරයක් ඌට ඒ කොල්ලගෙන් පිට ජීවිතයක් තිබුණෙම නෑ. ඉස්සර සල්ලි අඩුවක් දැනෙද්දි ඔය මොකෙක් හරි අසහනකාරයෙක් එක්ක ගිහින් කීයක් හරි හොයාගන්න එකත් ඒ ආදරේ ගැන තිබ්බ ගෞරවේට ඒක නතර කළා. අපිට කියල එක එක කෑම ජාති හද හදඅ ර මනුස්සයට යැව්ව. කොහොම හරි උන්ගෙ කාමරේ එකෙක් හංදියෙ කොල්ලො සෙට් එකත් එක්ක හුරතල් වෙන වෙලාවක මේ කතාව කියල ඒක මුළු වත්තෙම පැතිරිලා හැමෝම අර කොල්ලව බයිට් එකට ගන්න අරන්. ඌට මළපැනල අපේ එකාව හොයන් ඇවිත් බෝඩිම ඉස්සරහදිම අමු කුණුහරුපෙන් බැන බැන තඩිබෑව හොදට අපි මැද්දට පැනල නතර නොකරන්න මූ එතනම ඉවරයි. ඒකට අඩ අඩ ඒක දවස් ගාණක් බෝඩිමටම වෙලා උන්නා. එක දවසක් පොලිසිය බෝඩිමට ඇවිත් ඒක කෝච්චියට පැනල කියල කිව්ව. වළදාන්න දෙයක්වත් ඉතුරුවෙලා නෑ. මූ නපුංසකයෙක් හින්ද ගෙදරින් එළවල සෑහෙන කාලයක් අපි ඉතිං ඉස්පිරිතාලෙටම වළදාන්න කිව්ව. මට තේරෙන් නෑ මෙතනදි වැරදි අර කොල්ලද මේ කතාව වත්තෙ කොල්ලන්ට කිව්ව නපුංකයද අර කොල්ලව බයිට් කරපු කොල්ලො ටිකද නැත්තන් තමන්ගෙ වගේම අහවල් එකක් තිබුණ එකෙක්ට ලව් කරපු ඒ අහිංසකයද කියල. උගෙ ආදරේ මොකෙක්ටවත් තේරුන් නෑ. එහෙව් එකේ අපි දෙන්නගෙ ආදරේ කාට තේරෙයිද? 
පාන්දර හතරයි බෝඩිමේ ඇදට වැටෙද්දි, දන් ඉතිං නිදාගන්නනම් පුළුවන් දවල් එකොළහ දොළහ වෙනකන් උනත්. එච්චරයි ඉතිං හොදකට තියෙන්නෙ. නිදාගන්න හිතක් නැති හින්ද සිගරට් එකකුත් පත්තුකරන් ජනේලෙ ගාවට ගියෙ නෙළුම් කුළුණත් එක්ක ටිකක් නිදහසේ ඉන්න. අද දවසටම අපිට කතා කරන්න හම්බවුණේ නැහැනෙ. පහළ වැලේ වනල බේරගන්න බැරි හින්ද උඩ ජනෙල් ගාව ඇදපු රෙදි වැලේ වනපු යට ඇදුම් වලින් වතුර බේරෙනව තවම. ඒව අස්සෙන් එයා දිහා බලද්දි මොකක්ද වගේ ටිකක් එහා මෙහා කරල ඉඩ හදාගත්ත. ආයෙත් වැස්ස පටන් ගත්ත අපේ ආදරේට ඉරිසියාවෙ වගේ. තව ටිකකින් එළිය වැටේවි තවත් තෙත බරිත දවසකට මිනිස්සු එළියට බහීවි, පුරුදු විදිහටම ඉර බහිනකන් එහෙ මෙහෙ දුවාවි. රෑ වෙද්දි ගෙවල් අස්සට රිංගල ටෙලි නාට්‍යයක් බලල නිදාගනීවි. නිකන් අපේ බෝඩිම ඉස්සරහ කඩපිළේ ඉන්න කටු බල්ල වගේ ඌත් නැගිට්ට වෙලාවෙ ඉදන් කඩපිළේ වැඩ ඉවරවෙනකන් ඔහේ හතර අතේ දුවනව කොහෙද දුවන්නෙ මොකටද දුවන්නෙ කියල ඌවත් දන් නෑ. දැන් ඇති, අපි දෙන්නට තනියම කතා කරන්න  ඕනෙ. අපි දිහා බලන් ඉන් නැතුව ඔයා ඔයාගෙ ගමන දුවන්න. ඉතිං රත්තරනෙ ඔයා දන්නවද වැඩක්..........





(රිවිහාර පින්නදුව)

Tuesday, May 24, 2016

ආදරේ ඇහිදින්න


 ආදරේ ඇහිදින්න


මං එක්ක
වෙරළට ඇදෙන
රැළිගාන ගනින්න
ඒ ගාණට හාදු මට
දෙනවද අහන්න
ඉතිං නුඹ ආසද

කණාමැදිරියො අල්ලන්න
උන්ව අහසෙ අලවන්න
දැන් ලස්සනද අහන්න
ඉතිං  නුඹ ආසද

රෝස පෙති බර වැඩිද
සමනළ තටු රළු වැඩිද
ගිණි අව්වෙ සීතළ වැඩිද
කොච්චර ළගින් උන්නත්
තව ළගට එන්නයැයි කියන්න
ඉතිං නුඹ ආසද

සටන් පාඨ මොරදෙන
අරගල බිමක් මැද
හිටි හැටියෙ මා එක්ක
පෙම් ගීයක් ගයන්නට
ඉතිං නුඹ ආසද

පේ‍්‍රමයේ හුස්මකටත්
තියෙනවද මොන තරම් අගයක්
කාසි කොළ අතර එය
ඇත්තටම අරගලයක්
ඒ සටන ඇවිළෙනකොට
හදවතත් ගිණි අවියක්
ඒ සටන දිනනදා
ඉතිං නුඹ ආසද
ආදරේ ඇහිදින්න

(රිවිහාර පින්නදුව)

Tuesday, May 10, 2016

තියෙනවද උඹලට නිදහසක්?



තියෙනවද උඹලට නිදහසක්?


බොටුව මිරිකල
දහඩිය උරන
කලාපෙ සොයුරියන්ගෙන්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

අට්ටාලවල වේලෙන
මහපාරෙ ගුටිකන
බඩට නොකා අකුරු ඇහිදින
සරසවියෙ හොස්ටල් එකට ඇවිත්
අහනවා මං 
තියෙනවද උඹලට නිදහසක්?

පොහොර මිටියට පොරබදින
වී ටික ගෙදර පැළවෙන
නරක්වුණු වකුගඩුව
සිහිකර සිතින් අඩන
නියරට ඇවිත් විටක් කකා
අහනවා මං 
තියෙනවද උඹලට නිදහසක්?

ස්මාට් ෆෝන් එක අතේ අරන්
පාන්දර වැඩට දුවන
රෑ වෙලා කෝච්චියෙ හිරවෙලා
ආයෙම ගෙදර දුවන
වයින් කරල අතඇරපු ජීවිතේ
රෑ වෙනව එළිවෙනව
මහා ලොකු වෙනසක් නැති
ෆේස් බුක් එකේ ඇර
සෙල්ෆියක හංගලා ඇර
ජීවිතයක් කොහෙත් නැති
ලන්ච් ටයිම් එකේ ළගින් ඉදන්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

ලලිත්ගෙන් කූගන්ගෙන්
කුමාර් ගුණරත්නම්ගෙන්
තවත් සිය දහසකගෙන්
සිරකුටියෙ යකඩ කූරු අතරින්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

නිදහස සමරන්න
සිංහ කොඩි දැම්ම
හැම ගෙදරක් ගාණෙම ගිහින්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

(රිවිහාර පින්නදුව)


Wednesday, March 16, 2016

මට බයයි කවි ලියන්නට පේ‍්‍රමයට



මට බයයි
කවි ලියන්නට පේ‍්‍රමයට


මට බයයි
කවි ලියන්නට පේ‍්‍රමයට
පන්හිදක් සවිමත්ද ඒ තරම්
ලේ ඇට මිදුළු විනිවිදින හැගීමක්
තුඩගින් එළියට ගන්න
බසක් පරිනතද ඒ තරම්
හදවතම සලිතවන ස්වරයක්
වචනවල සිරකරලන්න
කඩදාසි  ඕනෑද මොනතරම්
හැගීමක අරුත පවසන්න
සුන්දර යමක් වේද කොහෙවත්
ඇගෙ සිනහවකට උපමා දෙන්න
මීවිත සොයා දිය හැකිවේද
ආලය සේ මත්වෙන්න
වෙදදුරෙක් දෙජස පවසන්න
ඇය සේම සුව සදන
කවියෙක්ද මා ඒ තරම්
හැගුම් කවියක ගුලිකරලන්න

(රිවිහාර පින්නදුව)


Thursday, March 10, 2016

ගන්න කූල් වතුර බෝතලයක්


ගන්න කූල් වතුර බෝතලයක්


ජීවිතේ කොහෙද සීතළ
රත්වෙලා ගිණිගන්නව
හැමදාම හැමතැනම
රෑට ගෙදර යද්දි
පොඩි උන්ගෙ බඬේ ගින්දර
උන්ගෙ බඩ බොකු විතරක් නෙමෙයි
මගේ පපු කැවුත්තත් පුච්චන
සින්නවෙන අම්මගෙන් ලැබුණු රන් මාලය
ඉවරවුණු ගෑස් එක
ඇගේ හීල්ලිල්ලෙන්
රෑ සයනයම ගිණිගත්ත
ඒ රස්නෙ හින්දම නින්ද දුරගිය
අපි දෙන්න කතා නැතුව
සිවිලිමේ වතුර බේරුණු පාරවල්
හැඩ බලන
ඉස්කෝලෙට ගෙවන්න
ටියුෂන් එකේ මේ මාසෙ 
කාඞ් එක ගන්නට
පොඩියි කියල නෑ
උන් ඉන්නෙත් ගින්දරින්
ලයිට් බිල් වතුර බිල්
ගෙවල් කුලී තව හුගක්
මාසෙ අන්තිමට 
ගිණි ගන්නව නෙමෙයි
බෝම්බ පුපුරනව සාලෙ මැද්දෙම
ඉතිං වැඩ ඇරිල
ගෙදර යන 
කෝච්චියෙ හිරවෙලා රත්වෙන
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
හුස්මක් ගන්න ඉඩක් හොයන
උඹලව තලාගෙන
කෝච්චියෙ උඩ පහළ යන
මං දන්නව හොදට
උඹලත් පිච්චෙනව
මං වගේම ගින්දරින්
ඒත් අනේ මගෙ ගින්දර
ටිකක් හරි නිවිල යන්න
සීතළ වතුර බෝතලයක් අරන්
කීයක් හරි දෙන්න
තරගෙට වඬේ විකුණන මල්ලි
පනහට සීයට වඬේ ඔතනව
රතු පත්තර පිටුවල
තව බෝතලයක් දෙකක් විකිණුනොත්
මමත් පනහක වඬේ
අරන් යනව රතු පත්තර පිටුවක ඔතපු
අහුවෙන හැමදේම කියවන
පොඩි එකා කියවනව ඒකත්
අපි වගේ ගින්දරට
සීතළ වතුර විකුණන් නැතුව
උන්වත් හොයාවි
ගින්දර නිවන විදිහක්

(රිවිහාර පින්නදුව)