Saturday, June 19, 2021

පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”


 පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”

මං මූලික අධ්‍යාපනය ලැබුවෙ ගෙවල් ගාව ඉස්කෝලෙන්. ඇත්තටම ගෙවල් ගාව ඉස්කෝල දෙකක් තිබුණ, දැනට අපි ඒ දෙකට ලොකු ඉස්කෝලෙයි පොඩි ඉස්කෝලෙයි කියමු. පොඩි ඉස්කෝලෙ තිබුණෙ සාපේක්ෂව ආර්ථික මට්ටමින් පහළ බහුතරයක් ජීවත් වෙච්ච ප‍්‍රදේශයකට කිට්ටු වෙන්න, ලොකු ඉස්කෝලෙ පැත්තෙ ගොඩක් දුරට හිටියෙ සාපේක්ෂව යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණ පිරිසක්. ඉතිං ලොකු පොඩි ඉස්කෝල වල ළමයි සංයුතිය හැදුනෙ කොහොමද කියල ආයෙ අමුතුවෙන් කියන්න  ඕනෙ නැහැනෙ. මාත් ගියෙ ලොකු ඉස්කෝලෙට, ලොකු ඉස්කෝලෙ කිට්ටුවට වෙන්න ළමා නිවාසයක් තියෙනව. මං ඉස්සර ඉස්කෝලෙට යද්දි මට හම්බෙනව ළමා නිවාසෙ ළමයි පෝළිමට ඉස්කෝලෙ යනව. එයාල ලොකු ඉස්කෝලෙ පහු කරන් ඒක ඉස්සරහින්ම ඈතින් තියෙන පොඩි ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයින්ව ලොකු ඉස්කෝලෙට ගන්නෙ නැහැ. පොඩි ඉස්කෝලෙට තිබුණෙ ගොඩක් අඩු පහසුකම් වගේම ඒ ඉස්කෝලෙට යන ළමයි මේ විදිහයි කියල හැදුන මතයකුත් තිබුණ ඉතිං පොඩි ඉස්කෝලෙ කිට්ටුව හිටිය යමක් කමක් කරගන්න පුලූවන් හැමෝමත් තමන්ගෙ ළමයින්ව කොහොම හරි ලොකු ඉස්කෝලෙට දාගත්ත. මේ එකෝමත් එක කාලෙක වෙච්ච අතීත කතාව.

දැන් අපි එමු වර්තමාන කතාවට. මං ජීවත්වෙන්නෙ අර්ධ නාගරික ප‍්‍රදේශයක, ඒ වගේම මැද පංතිය කියල අපිම කියා ගන්න බහුතරයක් ඉන්න පැත්තක. දැන් අපි කලින් කතා කරපු පොඩි ඉස්කෝලෙ වැහිල ගිහිල්ලා. ඉස්කෝ්ලෙ පටන් ගන්න වෙලාවට හංදියට ගියොත් බලන්න පුලූවන් පොඩි ඉස්කෝලෙ පැත්තෙ ඉන්න ලමයිනුත් අපේ ගෙවල් පහුකරන් ලොකු ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයිනුත් දැන් යන්නෙ ලොකු ඉස්කෝලෙට. දැන් කලින් ලොකු ඉස්කෝලෙට ගිය පවුල් වල ළමයි දැන් කොහෙද යන්නෙ? ඇත්තටම පොඩි ඉස්කෝලෙට ගිය ළමයින්ටත් ලොකු ඉස්කෝලෙට යන්න පුලූවන් වෙලාද? නැත්නම් ලොකු ඉස්කෝලෙ ටික ටික පොඩි ඉස්කෝලයක් වෙන්න යනවද? එතකොට ලොකු ඉස්කෝලෙ වෙන්නෙ මොකක්ද?

අධ්‍යාපනය වගේ දේවල් වෙළද භාණ්ඩ කරන්න එපා කියල මං කියන්නෙ නැහැ මොකද ඒක ඇති වෙනකන් කියල තියෙන්නෙ. එහෙම නැතුව අපි දැනටමත් වෙලා තියෙන දේවල් ගැනත් ඒ ඇසුරෙන් සාධාරණව ඉස්සරහට වෙන්න තියෙන දේවලූත් කතා කරමු. අපේ පැත්තෙ කලින් මුදල් ගෙවල ඉගෙන ගන්න කියල තිබුනෙ ගම්පහ ටවුමෙ තිබුණ ඉන්ටර් නැෂනල් එක විතරයි. ඒකෙ නමවත් මට මතක නෑ අපි කිව්වෙ ඒකට එහෙම. ඒත් දැන් රජයේ ඉස්කෝලෙ ගාණටම පෞද්ගලික පාසල්. ළගදිම රජයෙ ඉස්කෝල හොයාගන්නවත් නැති ඒව වෙයි, මොකද දිගටම පෞද්ගලික පාසල් ඇරෙනව ඒකට සමගාමීව රජයේ ඒව වැහෙනව. රෝයල් ඉන්ස්ටිටුයුට් එකේ ලස්සන දැවැන්ත ගොඩනැගිල්ල ඉදිවෙන්නෙ අපේ ලොකු ඉස්කෝලෙ පේන මානෙ. පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකට වෙනම වටිනාකමක් ලැබෙනව. පුලූවන් හැමෝම තමන්ගෙ ළමයින්ව පෞද්ගලික පාසල් වලට දානව. තමන්ගෙ ළමය යන්නෙ ආණුඩුවෙ ඉස්කෝලෙට කියල කියන එක ලැජ්ජාවට දෙයක් වෙනව. ඉතිං බැරි අයත් බැරිමරගාතෙ තමන්ගෙ ළමයිවත් පෞද්ගලික පාසල් වලට දානව. කරකියා ගන්නම දෙයක් නැති කෙනෙක් ආණ්ඩුවෙ ඉස්කෝලෙට ඉතුරු වෙනව. එක එක මිළ ගණන් වලට එක එක බ‍්‍රෑන්ඞ් වල පෞද්ගලික පාසල් ඇරෙනව. අන්තිමට ඉස්කෝල ඇරල තිබුණ දවසක ඉස්කෝල ඇරෙන වෙලාවක මං බස් එකට නැග්ග. කළින් වගේ නෙමෙයි ඉස්කෝල වල නිළ ඇදුම් වල පාටින්ම ළමයි බෙදිල. පෞද්ගලික පාසල් වල ළමයිගෙ තිබුණ යම් ආකාරයක ආඩම්බරකාර බැල්මත් රජයේ පාසලේ ළමයින්ගෙ තිබුණ යම් විදිහක තමන් දෙවන පෙල පිරිසක් කියන පීඩාකාරී හැගීමත් මං ඒ ඇස්වල දැක්ක. ටික වෙලාවකට මං තැතිගත්ත. අපි කොහෙටද මේ යන්නෙ?

සල්ලි තියෙන අය පෞද්ගලික පාසල් යනව, නැති අය රජයෙ පාසල් වලට යනව වගේ සරළ අහිංසක දෙයක් නෙමෙයි වෙළදපල කියන්නෙ. රජයේ සුභසාධන වියදම් කප්පාදුව වගේ දේවලූත් මේ එක්ක එකතුවෙලා තියෙනව. දැන් ලොකු ඉස්කෝලෙ වියදම් රජයෙන් ලැබෙන මුදලින් කවර් කරන්න බැහැ. ඒකේ සැළකිය යුතු බරක් දෙමාපිය සංගම්, ආදිශිෂ්‍ය සංගම් දැරුව. දැන් මේ අර්බුදය පොඩි ඉස්කෝලෙ වැහිල නතරවෙන්නෙ නැහැ. ඊළග වටේ ලොකු ඉස්කෝල වලටත් එනවා. වෙනද ලොකු ඉස්කෝලෙට ආපු සමාජ ස්ථරයෙ බහුතරයකගෙ ළමයි දැන් යන්නෙ පෞද්ගලික පාසල් වලට. වෙනද පොඩි ඉස්කෝලෙ දෙමාපිය සංගමේ හිටපු අය තමයි දැන් ලොකු ඉස්කෝලෙ දෙමාපිය සංගමේ ඉන්නෙ. එයාලට ලොකු ඉස්කෝලෙ වියදම් දරන්න බැහැ. අනිත් අතට ආදිශිෂ්‍ය සංගම් පරණ යාලූවො ටික ආයෙ සෙට් වෙන එක ඇරෙන්න ගොඩක් දුරට පවතින්නෙ තමන්ගෙ දරුවව ඉස්කෝලෙට දාගන්න පදනමෙන්. දැන් ලොකු ඉස්කෝලෙ ආදිශිෂ්‍යයන්ගෙ ළමයි යන්නෙ පෞද්ගලික පාසල් වලට. ඉතිං කළින් වගේ ආදිශිෂ්‍ය සංගම් වලිනුත් පාසලට ලබෙන හයිය අඩුවෙනව. ඉතිං පොඩි ඉස්කෝල විතරක් නෙමෙයි ලොකු ඉස්කෝලත් ටික ටික අභාවයට යන්න ගන්නව. නගරබද ප‍්‍රදේශවලින් බැහැරව ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් මේ තත්වය මීට වඩා වෙනස් ස්වරූප වලින් පවතිනවා. ළගදිම ගමට නැතත් ගමට ළගම ටවුමට පෞද්ගලික පාසල් එන්න ගනීවි. දැනටමත් ගොඩක් ග‍්‍රාමීය පාසල් වැහිල තියෙනව. අපේ පොඩි ඉස්කෝලෙ වැහුන වගේ නෙමෙයි ගමේ ඉස්කෝලෙ වැහුනම ඒ ලමයිට ඉස්කෝලෙ යන්න සෑහෙන දුරක් ගෙවලා ටවුමෙ ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතිං දුප්පත් සමාජීය වශයෙනුත් පහල අඩියක ඉන්න අම්මල තාත්තලගෙ ගොවිතැනකට උදව් කරනගමන් ඉස්කෝලෙ එන ගොඩක් දෙනෙක්ගෙ පාසල් ගමනත් එහෙන්ම නතර වෙනව. පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරල තිබුණ ටවුමෙ ඉස්කෝලෙට යන්න විදිහක් නැතුව හැමදාම වහල දාල තියෙන ඉස්කෝලෙට ඇවිත් ඉදල යන දරුවෙක් ගැන, පාසලක් නැතුව සිය දිවි නසාගත්ත දරුවො ගැන. මේ අර්බුදයේ රෝග ලක්ෂණ විතරයි. සැබෑ අර්බුදය ඊට වඩා ගොඩක් භයානකයි.

අර්බුදයෙ අනිත් පැත්ත තමයි ඔය පෞද්ගලික පාසල් වලට දරුවන්ව යවන දෙමාපියන්ගෙ තත්වය. ඇත්තටම බහුතරයක් පෞද්ගලික පාසල් වලට යවන්නෙ පුලූවන් කමකට නෙමෙයි. එක පැත්තකින් රජයේ පාසල් පද්ධතිය දුර්වල වෙලා අනිත් පැත්තට පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකත් එක්ක ඇතිවෙන සමාජීය කාරණය. මං ජීවත්වන ප‍්‍රදේශයේ වගේම මගෙ වෘත්තියෙ යෙදෙන බහුතරයක් තමන්ගෙ දරුවො යවන්නෙ පුද්ගලික පාසල් වලට. මං දැකල තියෙනව පාසල් ගාස්තු ගෙවන්න වෙන කාල වලදි ඒ අය විදින පීඩාව. මේ සිස්ටම් එකේ දැනටමත් අපිට සත්තු වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සතෙක් තම ජීවිත කාලෙම ගත කරන්නෙ කන්න මොනව හරි හොයාගන්න වර්ගයා බෝ කරන්න වගේ දේවල් වලට. අපිත් කන්න බොන්න ගෙවල් හදන්න රැුයක් දවාලක් නැතුව ඉබාගාතෙ දුවනව ඇරෙන්න එතනින් එහා ජීවිතයක් තියෙනවද? දැන් මෙතනදිත් දරුවන්ගෙ ඉස්කෝලෙටත් ගෙවන්න වෙද්දි ඒකටත් එක්ක වැඩිපුර වැඩ කරන්න වෙනව. දරුවො එක්ක ඉන්න තියෙන ටික කාලෙත් කැප කරල තාත්තලට  ඕටී කරන්න වෙනවා. ජීවිතේ තවත් මේ උගුලෙ හිරවෙනවා. තවම මේ අර්බුදය පටන් ගත්ත විතරයි. පාසල් ගාස්තු ගෙවන්නෙ නැතුව ළමයින්ව පාසලෙන් අයින් කරල දරුවන්ට යන්න පාසලක් නැතුව හඩාවැටෙන දෙමව්පියන්ව මං පහුගිය කාලෙ දැක්ක.
අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දි, ආණ්ඩු ගේන එක එක පනත් වලට විරුද්ධ වෙද්දි අපිට විරුද්ධව කතා කරපු අපේ අරගල ජෝක් එකට ගත්තු අයත් හිටිය. හැබැයි ඒ අයගෙත් සීමාවක් තිබුන. මොකද ඒ අයත් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ සමහරු විශ්වවිද්‍යාල වලටත් ගියෙ නිදහස් අධ්‍යාපනයෙන්. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ ඒ හින්ද ටික කාලයක් හරි මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න  ඕනෙ කියල තමන්ට ලැබුන විදෙස් රැුකියාව අතඇරපු අය මං දැකල තියෙනව. මට මතකයි සංජීව පුෂ්පකුමාර ඉගිලෙන මාලූවො චිත‍්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත්ත වෙලාවක ඒ සම්මානය වෙනුවෙන් ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට ඒ බදු ගෙව්ව මිනිස්සුන්ට ස්තුති කරනව. ඉතිං මේ මිනිස්සුන්ගෙ නිදහස් අධ්‍යාපනයට තිබ්බ ලව් එකත් එක්ක සමහර තීරණ ආණ්ඩු වලට ගන්න බැරි වුනා. හැබැයි තව ටික කාලෙකින් පරම්පරාවක් එනව මේ පෞද්ගලික පාසල් ඇතුලින් නිදහස් අධ්‍යාපනය ගැන මෙලෝ මලදානයක් අදාල නැති. මිළ විතරක් දන්න පරම්පරාවක අනාගතය මීට වඩා යහපත් එකක් වේවිද?

ඉස්සරහට අධ්‍යාපනයේ අද අපි දකින ස්වරූපයේ තරගකාරීත්වය අඩුුවෙයි. මොකද ගෙවල ගන්න වෙන එකේ මොන තරගයක්ද? (නැත්තට නැති වෙනව නෙමෙයි) කොහොම හරි ටියුෂන් වෙළද පල අඩුවෙයි. මොකද සුපර් මාර්කට් ව්‍යාප්ත වෙද්දි සිල්ලර බඩු කඩ වැහිල යනව. තාම මේ පෞද්ගලික පාසල් අර්බුදය හරියටම මතුවෙලා නැහැ. සමහර ප‍්‍රදේශවල තවම හරියට ව්‍යාප්ත වෙලත් නැහැ. නාගරික අර්ධ නාගරික පැතිවල දැන් ටික ටික ඒ අර්බුදයේ රෝග ලක්ෂණ මතුවෙමින් තියෙනව. අපි මැදිහත්වෙලා මේක වෙනස් නොකලොත් තව කාලෙකින් සමහර ඉංදියානු චිත‍්‍රපටවල පාසල් අධ්‍යාපනය ගැන අපි දකින් විදිහෙ දේවල් අපිට දකින්න ලැබේවි. ඛේදවාචකයේ වින්දිතයින් විදිහට ගොඩක් දෙනෙක් අධ්‍යාපනයෙන් පිටමං වේවි. මං මුලින්ම ගිය පාගමන තමයි අධ්‍යාපනයට 6% ක් ඉල්ලලා අන්තරෙන් නුවර ඉදල කොළඹට ආපු පාගමන. ඒකෙ මං උස්සන් ගිය සටන් පාඨයම තමයි ආයෙමත් මෙතනත් දාන්න වෙන්නෙ  "Education not for sale"

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment