Sunday, July 23, 2017

සමාගේ ගැබ් ගැනීම







සමාගේ ගැබ් ගැනීම


ඒක මුලූ පළාතම සසළ කරපු මිනීමැරුමක්. ඉස්කෝලෙ උදලූ ගාන්න තිබුණු උදැල්ලෙන් විදුහල්පතිතුමාට දොලොස්වතාවක් කොටල තිබුණ. අපි ඒ මරණයේ කතාවේ සාක්ෂිකාරයො. අපි කියන්නෙ මේ ඉස්කෝලෙ ඩෙස් පුටු ඇතුලූ හැම දෙයක්ම. පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සු වගේ සජීවී ජීව කොට්ඨාෂත් ඩෙස් පුටු වගේ හැගීම් විරහිතව ඉද්දි අපිට බල කෙරුණ සංවේදී වෙන්න. ඒ මිනීමරුව අමර. පංතියෙ උන්නු අහිංසකම ළමයින්ගෙන් කෙනෙක්. පංතියෙ කොස්ස සාක්ෂි දුන්න හැමදාම වගේ පංතිය අතුගානව වගේ පොදු වැඩ වලටත් සම්බන්ධවුණා කියල. ඇය සාමා. එච්චරම ආර්ථික හයියක් නැති පවුලක ළමයෙක්. හරිම ලස්සන ගෑණු ළමයෙක්. ඒ ළමයගෙ ඩෙස් එකටයි පුටුවටයි අනිත් ඩෙස් පුටු ඉරිසියා කළා. ඔව් මේක තවත් එක ආදර කතාවක් තමයි. මේ හතර මායිමේ අපි  ඕන තරම් ආදර කතා දැකල තියෙනව. ඒ හින්ද ඒව අපිට අරුම නැහැ. ඒත් මේක ඒ වගේම තවත් එක ආදර කතාවක්ම නෙමෙයි, මේක ටිකක් වෙනස්. මේ හැම දෙයක්ම අවසන යක්ෂයාගේ යුගය පටන් ගත්තා. මේ වෙද්දි ඉස්කෝලෙ නටඹුන් ගොඩක්. ඉතුරුවෙලා තියෙන්නෙ අන්ධකාරයයි, මූසල කමයි විතරයි.
සාමල, අමරල, නයනල පොඩි කාලෙ ඉදන් එකට මේ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ. හෝඩි පොතෙන් පටන් ගත්තු ගමන මේ වෙද්දි සාමාන්‍ය පෙළ පන්ති වෙනකම්ම ඇවිත්. සාමාන්‍ය පෙළින් මේ ඉස්කෝලෙ ඉවරයි. ඊට පස්සෙ ඉගෙන ගන්නවනම් ලොකු ඉස්කෝලෙට යන්න වෙනව. ඒකෙ ගණන් වැඩියි. ඒක හින්ද ගොඩක් දෙනෙක් සාමාන්‍ය පෙළ පන්තියෙන් ඉගෙනීම නවත්තනව. ඉස්සර ඉදන්ම පංතියෙ පළවෙනියට තරගය තිබුණෙ සාමයි අමරයි අතර. ඒ හින්දම පොඩි පන්ති වලදි දෙන්නට දෙන්න පෙන්නන්න බැහැ. හැබැයි ඉතිං දහය වසරෙ විතර ඉදල දෙන්නට දෙන්න නොදැක බැරිවුණා. අතින්වත් ඇල්ලූව නැති ඒක හරිම අහිංසක ආදරයක්. දෙන්නම හැමදාම උදේම ඉස්කෝලෙට එනව. පිට්ටනිය කෙළවර තිබුණ සල්ගහ යටට වෙලා පළවෙනි බෙල් එක ගහනකන් විතර දෙන්න ගොඩක් දවස් වලට කතා කර කර ඉන්නව. සාමයි අමරයි විතරක් නෙමෙයි ඉස්කෝලෙ යාලූවෙලා උන්නු කොල්ලො කෙල්ලො ගොඩක් දෙනෙක් මේ ගහ යටට එකතුවෙනව. ඒක හින්දම මේ සල්ගහට හැමෝම කිව්වෙ ලව් ගහ කියල. පොඩි පන්තිවල ළමයිට ශිෂ්‍ය නායකයො ඒ පැත්තට යන්න දුන්නෙ නැහැ. හැබැයි ඉතිං සිප ගැනීමකට වඩා දෙයක් මෙතන වුණෙත් නැහැ.
ඒ ආදර කතාවෙ පළවෙනි අවුරුද්ද විතර හරිම සුන්දරයි. මොකද දෙන්නට දෙන්න වචනයක්වත් කතා කළේ නෑ. මූණට හම්බුනත් බිම බලාගෙන යනව. හැබැයි ඒ දෙන්න විතරක් නෙමෙයි පංතියෙ හැමෝමත් දැනගෙන හිටිය මේ දෙන්න ආදරේ කරණව කියල. අමර සාමට ගත්ත උපන්දින තෑග්ග එයාට දෙන්න ලැජ්ජාවෙන් දවස් දෙක තුනක්ම එයා වටේ කැරකි කැරකි හිටිය. සල්ගහ යටදි අහම්බෙන් වෙච්ච පළමු අතින් ඇල්ලීම, සිප ගැනීම වගේ දේවලූත් මේ අතරට එකතුවෙනව. ඔය අතරෙ තව කතාවකුත් කියන්න  ඕනෙ. මේ පැත්තෙ මීට අවුරුදු පහකට විතර කළින් ලොකු කර්මාන්ත ශාලාවක් පටන් ගන්නව. ඒ පැත්තෙ රස්සාවක් නැතුව වේළි වේළි හිටපු කොල්ලො කෙල්ලන්ට රස්සා හම්බෙන හින්ද හැමෝම සතුටුවුණා. ඒත් අවුරුදු පහක් විතර යනවත් එක්කම ඒ පැත්තෙ පිළිකා රෝගීන් ගාණ පුදුම විදිහට වැඩිවෙන්න ගන්නවත් එක්කයි අර්බුදය එළියට ආවෙ. අන්තිමට කොහොම හරි ෆැක්ටරිය වහලදාද්දි ඒකෙ වැඩ කරපු ගොඩක් දෙනෙකුයි අහල පහල පදිංචි වෙලා හිටපු අයයි පිළිකා රෝගීන් වෙලා ඉවරයි. සාමගෙ තාත්තත් වැඩකළෙත් ඔය කර්මාන්ත ශාලාවෙ. ගෙදර කොදුනාරටිය ඇදට වැටුණට පස්සෙ වෙන දේ ගැන අහන්න දෙයක් නෑනෙ. කොහොම හරි ඉස්කෝලෙ වර්ෂ අවසාන විභාගෙ මුල් තැන ගන්න තුන්දෙනාට ඊළග අවුරුද්දෙ ඉගෙනගන්න ශිෂත්වයක් ලැබෙනව. ඒකෙ පිහිටෙන් සාම දිගටම ඉස්කෝලෙ ගියා.
ඒත් තාත්තගෙ ලෙඬේ වැඩත් එක්ක සාමට ඉස්කෝලෙ වැඩ ටිකක් අතපහුවුණා. වර්ෂ අවසාන විභාගෙ රිපෝට් එක දෙන දවසෙ වෙනද වගේ නෙමෙයි සාමගෙ පපුව ගැහෙන්න ගත්ත. හරියට අර වහල දාල තියෙන ෆැක්ටරියෙ මෝටරේ වගේ. පංතියෙ පළවෙනිය ගිය පාර වගේම අමර. දෙවෙනිය තුන්වෙනිය නම් කියල ඉවරයි. සාම හතරවෙනිය විදිහට නැගිටල ගිහින් වාර්තාව ගත්තට එයාට කිසිම දෙයක් ඇහුනෙවත් පෙනුනෙවත් නෑ. පුරුද්දට වගේ ආපහු ගිහින් ඉදගත්ත. දැන් ඇගේ හිතේ උත්තර නැති ප‍්‍රශ්න කෝටියක්. වෙන ළමයෙක් වගේ දැන් ඉස්කෝලෙ ගියා ඇති කියල ඉගෙනීම නවත්තන එක සාමට සරළ දෙයක් නෙමෙයි. එදා හැන්දෑවෙ සල් ගහ යට අමරගෙ උරහිස සාමගෙ කදුළු වලින් පෙගිල ගියා. ඇයට උරහිසට බරවෙන්න දෙනව ඇරෙන්න අමරට කියලත් උත්තරයක් තිබුණෙ නෑ සාමගෙ ප‍්‍රශ්නෙට. අලූත් පාසල් වාරෙට ළමයි ලියාපදිංචි වෙන්න ගන්නවත් එක්ක සාම ඇවිත් විදුහල්පතිතුමාව හම්බවුණා. විදුහල්පතිතුමාගෙ පුටුවට ඉහළින් බිත්තියෙ ජනාධිපතිතුමා හිනාවෙනව. පැත්තක බුදු කුටියකුත් තියෙනව. විදුහල්පතිතුමාගෙ මේසෙ උඩ කන්නංගර මහත්තයගෙ පිංතූරයක්. විදුහල්පතිතුමා ගාව තිබුණ සාමගෙ ප‍්‍රශ්නෙට උත්තරයක්. ඒත් එහෙමත් නෙමෙයි ඇත්ත ප‍්‍රශ්නෙ හරියටම පෙන්නන්න ක‍්‍රමයක්.
අවිනිශ්චිත දවසක හැන්දෑවක විදුහල්පතිතුමාගෙ කාර්යාලයේ දොර වැහුන. කන්නංගර මහත්තයගෙ මූණ ගාවම ඒ යක්ෂයාට උපත දෙන සංසර්ගය සිද්ධවුණා. සල්ගහ මුල ප‍්‍රාර්ථනා මියැදුණු දෑසින් සාම බලන් හිටිය ? අදුර එනවත් එක්කම වෙහෙසකර විදිහට සාම පිට්ටනිය හරහා ඇවිදගෙන යනව අපි දැක්ක. සල්ගහ පාමුල ලේ පැල්ලම් කවුරුත් දැක්කෙ නැහැ. මේ පැත්තෙ කැළේ හිටපු මිනීමරු කොටියෙක් ගැන ගමේ වැඩිහිටි අය කියන කතාවක් තියෙනව. ඒ දවස්වල මේ කොටිය හින්ද මුළු පැත්තම භයෙන් ඉදල තියෙන්නෙ. එක දවසක් කැළේ දර කපන්න ගිය මිනිහෙක් කොටිය ගොදුරු කර ගන්නවත් එක්කම මිනිස් ලෙයට රහ වැටිල ඒ භයංකාර මිනිස් දඩයම පටන් ගන්නව. කොහොම හරි සතියක් දෙකක් විතර යද්දි කොටිය විතරක් නෙමෙයි ලේ රහට කෑදර වෙන්නෙ කියල අපිට තේරුණා. සතියකට දවසක් දෙකක් සාමට ඉස්කෝලෙ හැන්දෑවෙ නතර වෙන්න වුණා. ඔය අතර මලකට සමනළයෙකුට සමහර දේවල් තවත් හංගන් ඉන්න බැරිවෙනව. දවසක් උදේ ඉස්කෝලෙ එන්න ලෑස්තිවෙද්දි සාමට වමනෙ යන්න ගන්නව.
කොටිය දැනන් හිටිය පුරුදු මංකඩ මිනිස්සු යන එන. ඒ අහල පහලට වෙලා හැංගිලා බලන් ඉන්න විතරයි තිබුණෙ. එදත් විදුහල්පතිතුමා ගෙදර යන්න ටිකක් පරක්කුවෙන දවසක්. කාර්්‍යාලෙ දොර ඇරෙන සද්දෙට විදුහල්පතිතුමා හෙමිහිට ඉස්සරහට හැරුණ. එතන හිටියෙ ඔහු බලාපොරොත්තුවුණු කෙනානම් නෙමෙයි. ඒ අමර හැබැයි අපිට පුරුදු අමර නෙමෙයි. ඉස්කෝලෙ පැත්තෙන් මිනිහෙක් බෙරිහන් දෙන සද්දෙ එදා හවස දෝංකාර දුන්න. අමරව පොළිසියෙන් අරන් යන දවසෙ ඉස්කෝලෙ හිටපු ළමයි ගුරුවරු විතරක් නෙමෙයි ඩෙස් පුටු වෙච්ච අපි පවා බලන් උන්නෙ අදහ ගන්න බැරුව. හැමෝම හිතුව ලොකු විනාශයක්වුණා කියල. ඒත් ඒ විනාශයේ ආරම්භය විතරයි. සැබෑ විනාශය සාමගෙ කුසේ වැඩෙමින් තිබුණ. ඒ සංසර්ගය නවත්ත ගන්න බැරිවුණ එකේ විපාකය ගොඩක් දරුණු වුණා.
කාලය ගෙවුණ සාමගෙ කුස පලාගෙන ඒ යක්ෂයාගෙ උපත සිදුවුණා. ඒ යක්ෂයගෙ බැල්ම මුලින්ම වැටුනෙ සාමලගෙ ඉස්කෝලෙට. ඒ විනාශය පටන් ගත්තෙ පිට්ටනිය කෙළවර සල්ගහ අකාලෙ මැරෙනවත් එක්කයි. ඉස්කෝලෙන් යක්ෂයාගෙ බලපෑම නතරවුණේ නැහැ. එතනින් එහාටත් යක්ෂයා යන්න ගත්තෙ විනාශය ඛේදවාචකයක් බවට පත්කරල. යක්ෂයගෙ අදුරු හෙවනැල්ල හැමතැනම පැතිරෙන්න ගත්ත. යක්ෂයගෙ උපතින් පස්සෙ යක්ෂයට එරෙහි අරගලය සරළ දෙයක්වුණේ නැහැ.  අද දිරල ගිය ඩෙස් බංකු ටිකක්, ගරා වැටුණු ගොඩනැගිලි ටිකක් විතරක් ඉතුරුවෙච්ච ඉස්කෝලෙක අපි සුදු ගවුම් නිල්් කොට කලිසන් ඇදගත්තු පොඩි උන් අපි වටේ දුව පැන ඇවිද්ද අතීතයක් ගැන හීන දකිනව. සල්ගස් හෙවණ නැති පිට්ටනිය කෙළවර අව් කාෂ්ඨකේ කි‍්‍රකට් ඉනිවලට ගත්ත පරණ කැඩිච්ච පුටුවක් තනියම අඩ අඩ ඉන්නව. සාමගෙයි අමරගෙයි ආදර කතාවට මොකද වුණේ කියල එතනින් එහාට අපි දන්නෙ නැහැ. හැබැයි ඒක හොද විදිහකට ඉවරවුණා කියලනම් හිතන්න අමාරුයි.

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment