Thursday, October 26, 2017

77 පෙරළියාලම්භන ප්‍රීතිය





77 පෙරළියාලම්භන ප්‍රීතිය


මොන තරම් ආඩම්බරද
77 ට හතළිහක් දැන්
ඔක්තෝම්බර් විප්ලවය වගේ
සමරමුද පාරවල් දිගේ කොඩි වන වන
ජේ ආර් ගෙ ෆොටෝ එකක්
බෙල්ල එල්ලගෙන
රනිල්ට ජයවේවා කිය කිය
ඇඩම් ස්මිත්ට වැද වැද
බලන්න සැමරුම් පාගමනෙ ලස්සන
ඉස්සරහින්ම එන්නෙ
රජරට වකුගඩු රෝගියො
මැහිතෙල් බෝතල් වලට
රෝහල් තුන්ඩු වලින් තට්ටු කර කර
අන්න ඊළගට විශ්වවිද්‍යාල ශිෂ්‍යයො
එනව හිස් කදුළු ගෑස් කෑන් වන වන
මැදපෙරදිග ගෘහසේවිකාවො
මොන තරම් සුන්දරද
යකඩ ඇණ උඩ දදා
මිනී පෙට්ටිවල නැගල එනකොට
ඉස්කෝලෙ යන්න නැති
හාර ලක්ෂ පනස්දාහක් පොඩි උන්
අර එන්නෙ රෙදි වවුචරෙන් හෙළුව වහගෙන
ළගම පාසල හොදම පාසල
සටන් පාඨ මොරදීගෙන
උපත් පාලන කොපු පුම්බල
බැලූම් බෝල වගේ එල්ලන්
කවුද මන්ද අර එන්නෙ
මීතොටමුල්ලෙන් ගෙනාපු
කුණු බෑග් කරේ තියාගෙන
ඊළගට ඔබට දිස්වන්නෙ
කොළොන්නාවෙ මිනිස්සු
අතුරුදහන්වුණු පුතාලගෙ රූප අරගෙන
මේ එන්නෙ යාපනේ අම්මල
ගිණිගත්ත ටයර් සෑයක් පෙරටු කොටගෙන
ඔන්න එනව දකුණෙ තාත්තල
අවපැහැගත් ඇහැළ මලින් සැරසිලා
අර නටන්නෙ 83 නැටුම් කණ්ඩායම
මහා වනහිස් සමතලා කළ
බැකෝ ඇත් රජු වඩිනවා
ඉතිං නැගිටල සාදු කියමුද
77 පෙරළියාලම්භන
ප්‍රීතියෙන් අපි ඔකදවී
දරාගන්නම බැරිම තැන අද
සරමෙ මළපහ වී වගෙයි

(රිවිහාර පින්නදුව)