Saturday, March 7, 2020


හසලක ගාමිණීට තිලීපන් හම්බුන් නැති කරුමය

(තිලීපන්ට හසලක ගාමිණී හම්බුන් නැති කරුමය)


අපි කවුරුත් දන්න නමක් තමයි හසලක ගාමිණී නැත්තන් කෝප‍්‍රල් ගාමිණී කුලරත්න. තමන්ගෙ හමුදා කදවුරට එල්ලවන ප‍්‍රහාරයකදි LTTE සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය පුරවපු බුල්ඩෝසරයක් කදවුරේ ආරක්ෂක කපොලූ බිදගෙන කදවුර ඇතුල්වෙන්න උත්සහ කරනව. බුල්ඩෝසරය කදවුර ඇතුලට ආවොත් තමන්ගෙ කදවුර සතුරන් අතට පත්වෙනව කියල ගාමිණී තේරුන් ගන්නව ඔහුට තත්පර කිහිපයක් තුළ තීරණයක් ගන්න වෙනව. ඔහු බෝම්බ දෙකක් අත් දෙකට අරන් අර බුල්ඩෝසරයට පනිනව. බුල්ඩෝසරය නතරවෙනව අලිමංකඩ කදවුර බේරෙනව ඒ එක්කම ගාමිණී කුලරත්න හසලක වීරය වෙනව. ඔහුගෙ නමට සිංහලෙන් කවි සිංදු ලියවෙනව, පිළිම හැදෙනව, පහුගිය දවස්වල තාප්ප වල චිත‍්‍ර අදින ටෙ‍්‍රන්ඞ් එක වෙලාවෙ තාප්පවලත් හසලක ගාමිණීවත් ඇදෙනව. දකුණට ගාමිණී  වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.

අපි වැඩි දෙනෙක්ට එච්චරම හුරු නැති හුරු උනත් වැඩිය දන්නෙ නැති නමක් තමයි යාපනේ තිලීපන්. ඉංදු ලංකා ගිවිසුමත් සමග ඉංදියානු හමුදාවට ආරක්ෂක කටයුතු භාරදීල ලංකාවෙ හමුදාව උතුරෙ මෙහෙයුම් වලින් අයින් වෙනවත් එක්කම ඇතිවෙන ඉංදියානු හමුදාවේ ම්ලේඡ්චය හැසිරීමට එරෙහිව ඉංදියානු හමුදාව උතුරෙන් ඉවත් කරන්න බලකරමින් තිලීපන් 1987 සැත්තැම්බර් 15 නල්ලූර් කෝවිල අසළ මාරාන්තික උපවාසයක් ආරම්භකරනව. ඒක ලෙමන් පෆ් කකා කරපු ෂෝ එකක් නෙමෙයි ඇත්තම මාරාන්තික උපවාසයක්. දිනෙන් දින දුර්වල වෙමින් දින 12ක් පුරාවට මේ මාරාන්තික උපවාසය දිගහැරෙනව. කවුරුත් තිලීපන්ට තැඹිලි වතුර පොවන්න එන්නෙ නෑ. තිලීපන් තමන්ව රෝහලකට ගෙනියන්න දෙන්නෙ නැහැ. අන්තිමට තමන් විශ්වාස කල අරමුණක් වෙනුවෙන් තිලීපන් සිය ජීවිතය පුදනව. තිලීපන් නමට දෙමළෙන් කවි සිංදු ලියවෙනව, නල්ලූර් කෝවිල ගාව පිළිමයක් හදනව (2010 දි ඒක කඩනව). උතුරට තිලීපන් වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.
 ඔය වීරයො දෙන්නම සමුඅරන් දශක දෙකකට විතර පස්සෙ දවසක හැම තැනම රතිඤ්ඤා පත්තුවෙන්න ගත්තා, අපි ජාතික කොඩි අරන් අපි පාරවල් ගාණෙ දිව්වා. හංදියක් ගාණෙ කිරිබත් උයල කෑව, කැව්වා. අපේ මෙච්චරක් උන්ගෙ මෙච්චරක් මැරිල උන්ගෙ ගාණ මෙච්චරකින් වැඩියි, මතකයි අපි ගණන් හැදුව, එක වීරයෙක්වත් හිටියෙ නෑ කියන්න ඔය ඉලක්කන් ගාණට කොහෙ හරි අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුව ගිණි අරන් කියල. ගාමිණියි තිලීපනුයි වගේ හම්බෙන්න හිටපු, ආදරෙන් එකිනෙකා වැළදගන්න හිටපු මිනිස්සු කී දාහක් එකිනෙකා හමුනොවීම දෙපැත්තට වෙඩිතියාගෙන සමුගන්න ඇතිද? විජේවීරට ඇයි බැරිවුනේ ගාමිණීටයි තිලීපන්ටයි මැයි දිනේට කොළඹට එන්න කියන්න. එහෙම වුනානම් උන් දෙන්නා එකට ජාත්‍යන්තර ගීතය කියන්න තිබුණ. 

ගාමිණීල තිලීපන්ල විජේවීරල දහස් ගාණක් මේ පොළවෙ වැළලූනාට පස්සෙ අද දවසෙ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නෙ? අපි කොහෙටද යනනෙ? ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ සිරුරු දිරල පොළවට පොහොර වෙනවට වඩා ඒ මරණවලට අපිට දෙන්න පුලූවන් සාධාරණත්වයක් නැද්ද? සරළව දැන්වත් ගාමිණයිි තිලීපනුයි එක පැත්තකට ඇවිත් හරි පැත්තට වෙඩි තියන්න ලෑස්තිද? ඒ දෙන්නට එකතු වෙන්න තැනක් හදන්න විජේවීර ලෑස්තිද? උඹ මම අපිත් තිලීපන්ව හම්බෙන් නැතුවම මැරිල යන්න  ඕනෙද? විජේවීර පාර කොයි පැත්තෙන්ද? ගාමිණී වරෙන් තිලීපන්ව හම්බෙන්න යන්න.

රිවිහාර පින්නදුව