Showing posts with label සටහන්. Show all posts
Showing posts with label සටහන්. Show all posts

Saturday, August 24, 2024

මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?


 මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීම ගැන යම් කතාබහක් ඇතිවෙලා තියෙනව. මොනම තත්වයක් යටතේ වුනත් ඒක ගොඩක් වටිනවා. ලංකාවෙ ප්‍රාදේශීය සභාවක නැත්තන් සමූපකාරෙක ඉදලම දේශපාලන ආකෘති ඇතුලෙ ආධිපත්‍ය අරන් තියෙන්නෙ ප්‍රභූ සමාජ ස්ථරයක්. ( පහල ස්ථරවල අය ඇත්තෙම නෑ කියල නෙමෙයි කියන්නෙ) මේකෙ යම් තරමක හරි වෙනසක් දැක්කෙ ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ(වෙනම ශිෂ්‍ය කියල දේශපාලනයක් නෑ මේ කියන්නෙ ඒ ආකෘතිය ගැන) . ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ බොහෝ දුරට මූලිකත්වය අරන් ඉන්නෙ ග්‍රාමීය පහල ප්‍රාන්තික තරුණයින්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ මොනතරම් අඩුපාඩු සීමාකම් මැද වුනත් ශිෂ්‍ය දේශපාලනය වාමාංශික නැඹුරුවක් සහ විකල්ප සංස්කෘතික අභ්‍යාසයක් සමග ක්‍රියාත්මක වෙන නිසයි.

පහුගිය කාලෙ මේ ක්‍රමයේ අර්බුදයත්, පාලකයන්ගේ අසමත්කමත් නිසා පවතින ක්‍රමවේදය ගැනම මිනිස්සු අතර කලකිරීමක් ඇතිවුනා. "225 ම එපා" වගේ වචන වලින් ප්‍රකාශවුනේ ඒ දේ. ජනාධිපතිවරයාට රටත් දාල යන්න වෙන තත්වයක් ආව. මේ දේවල් එක්ක ගම් වල තිබ්බ ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය සෙලවීමකට ලක්වුනා. සාම්ප්‍රදායික දේශපාලන බලකදවුරු වලින් බැහැරව ජාතික ජනබලවේගය වැනි පාර්ශවයන්ට පුලුල් අවස්ථාවන් විවර වෙන්නේ මේ අවකාශය ඇතුලෙයි.

දැන් ප්‍රශ්නයට අමුවෙන් ආවොත් ප්‍රභූ දේශපාලනය පරද්දනව කියන්නෙ මොකක් හරි පුටුවක ප්‍රභූ සමාජ ස්ථරයෙන් බැහැර කෙනෙක් වාඩි වෙන එකද? ( ඒකත් වෙන්න ඕනෙ) ඒක එහෙමනම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවුනහම ඒක වෙන්න ඕනෙ. ඇත්තටම අපි කතා කරන ප්‍රභූ දේශපාලනය පවතින ආර්ථික හා සමාජ ක්‍රමයත් එක්ක බද්ධවෙලා තියෙන්නෙ. ඇත්තටම ප්‍රභූ දේශපාලනයේ සැබෑ සාරය, සැබෑ අරමුණ තියෙන්නෙ මේ ආර්ථික ක්‍රමය ඇතුලෙ. එහෙමනම් මේ සමාජ ආර්ථික ක්‍රමයන් වල යම් ආකාරයක රැඩිකල් වෙනසක් නොකර මේ ප්‍රභූ දේශපාලනයේ මරණයක් හෝ පරාදයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

අප තේරුම්ගත යුතු අනෙක් සත්‍යනම් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් මේ මතුව ඇති විරෝධයේ උත්සන්නිය තාවකාලික හා නුදුරු අනාගතයේදී එම දේශපාලන ස්ථරයට යම් දුරකට පෙර පැවති තත්වයට පත්කර ගැනීමේ හැකියාවක් ඇති බවය. 2022 අරගලය අවසන්වූ ආසන්න කාලයේ සහ දැන් ඇති සමාජයේ නැමියාවන් කියවා ගතහොත් මෙය තේරුම්ගත හැකියි. කොටින්ම රාජපක්ෂ දේශපාලනය පවා තව වසර පහකින් හෝ දශකයකින් ගිලිහුනු බලය නැවත ලබාගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නගමින් තිබෙනවා. එහෙනම් පීඩනය උඩ ගොඩනැගිල තියෙන මේ සමාජ විරෝධය දේශපාලනිකව වෙනත් තලයකට ඔසවා තැබීමකින් තොරව ඒ විරෝධය මත වෙනත් දේශපාලන ව්‍යාපාරයන්ට යා හැකි ගමන ඉතා කෙටියි. එ් අනුව අප බොහෝ දෙනෙකුගේ සිහින මාළිගාවන් එළැඹෙන මැතිවරණයෙන් හෝ ඊට පසු කෙටි කාලයකින් බිද වැටීමට නියමිතයි.

එහෙනම් සමාජයේ ගොඩනැගී තියෙන මෙම විරෝධය සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විරෝධයක් දක්වා ඔසවා තැබීමේ අවශ්‍යාතාවයක් තියෙනව. අපි වෙනසක් බලාපොරොත්තු වෙනවනම් එය අනිවාර්යයක්. නමුත් මේ පවතින තත්වය තුල ජන අරගල සන්ධානය හැරෙන්නට වෙනත් කිසිදු පාර්ශවයක් එය සිදුකරන බවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව ජනඅරගල සන්ධානයේ මෙම මැතිවරණය තුල භූමිකාව වන්නේ ඡන්ද ලබාගැනීම හෝ ඡන්ස සංඛ්‍යාව පමණක් නොව මෙම විරෝධය සමාජ ගතකිරීමයි. එසේ නොවන්ට මැතිවරණයත් සමගම IMF හෝ එම ආර්ථික ක්‍රියාවලිය විකල්ප නොමැති දේවභාෂිත බවට සමාජය හමුවේ භෞතීස්ම වන්නට නියමිතයි.

මේ මොහොතේ ජාතික ජන බලවේගය මෙම සමාජ ආර්ථික වෙනස්කම් සම්බන්ධ කාරණය මගහරිමින් සිටිනව හරියට සජිත් අනුර එක්ක විවාදය මගහරිද්දි NPP එක ආර්ථික කමිටු අතර විවාදය මග ඇරිය වගේ. මේ වෙලාවෙ ආන්දෝලනාත්මක දේවල් කියන් නැතුව ෂේප් එකේ ඡන්දෙ ගොඩ දාන එක එයාලගෙ උපක්‍රමය කියන එක පැහැදිලියි සහ ඒක ඔවුන්ගේ තෝරාගැනීම. ඒත් අපේ මිතුරන් විශ්වාස කරන විදිහට NPP එක දිනල එයාල ඇත්තටම මේ ප්‍රභූ දේශපාලනය අවසන් කරන්න හිතනවනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාලට සිද්ධවෙනව මේ මගඅරිමින් සිටින කලාපයට පය තියන්න. එහෙම වෙනවනම් ඒකට අවම හෝ අවකාශයක් විවර වෙන්නෙ ජනඅරගල සන්ධානය විසින් මේ මොහොතේ සමාජගත කරන මතවාදයන් සමගයි. එහෙම නොවෙන්නට ඔවුන් මැතිවරණය තුල හැසිරෙන ආකාරයට ප්‍රභූ දේශපාලනය නැතිනම් එම ආර්ථික සමාජ ක්‍රමයට එරෙහිව ඔවුන් තියන පළමු පියවරේදිම ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩු බලය පවා අස්ථාවර වෙන්න පුලුවන්. (මේ ඔක්කොම එයාල හිතන් ඉන්න විදිහට දිනුවොත්)

දැන් මේ රටේ ප්‍රභූ දේශපාලන ස්ථරය දිහා බැලුවොත් එයාල ඉතිහාසයේ ගතකරපු අමාරුම කාලයක් ගතකරල මේ එයාලගෙ පැත්තෙන් ඉහ ගහගෙන එන කාලෙ. ඇත්තටම එයාලට ඕනෙ මේ කාලෙ ටයිම් පාස් කරල දාන්න. කලින් කිව්ව වගේ පුද්ගල චරිත ගැන විරෝධය එයාලට ඉක්මනට ගොඩදාගන්න පුලුවන් ඉස්සරහදි. ඒත් විරෝධය එයාලගෙ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගොඩනැගුනොත් ඒක එයාලට අමාරු වෙනවා.

එහෙමනම් ප්‍රභූ දේශපාලනයේ පරාජයක් ගැන හිතනවනම් මේ වෙලාවෙ කලයුතු වන්නේ පීඩනය තුලින් ප්‍රභූ දේශපාලඥයින් ගැන ගොඩනැගී තිබෙන විරෝධය අවබෝදය තුලින් එය ප්‍රභූ ආර්ථික සමාජ ක්‍රම විරෝදයක් දක්වා ඔසවා තැබීමයි. යම් මොහොතක ප්‍රභූ දේශපාලනය තීරණාත්මක පරාජයක් ලබන්නේනම් ඒ මෙම දුෂ්කර ව්‍යායාමයේ සාර්ථකත්වය මත පමණයි.

 

රිවිහාර  පින්නදුව

Saturday, July 3, 2021

දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව


 දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව

මේ දවස් වල බුකියෙ ජුගුස්සාජනක වලියක් දකින්න තියෙනවග වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයින් අතර මෙම ආරෝවල වෙලාවකට ජෝක් එකක් වගේ පෙනුනට ඇත්තටම ඒක අපි හැමෝම මුහුණ දෙන ගැටලූවක හරස් කඩක්. මේ වලිය කැම්පස් කාලෙ ඉදන්ම තියෙනව. අනිත් ෆැකල්ටි වල ළමයිගෙන් මෙඩිකල් එකට ගොඩක් තැන්වල තියෙන්නෙ සෑහෙන විවේචනයක්. සයිටම් අරගලය වෙලාවෙ අනිත් ෆැකල්ටි වලට මෙඩිකල් එකත් එක්ක එකට වැඩකරන්න කතා කරන්න ගියහම, තමන්ගෙ වැඬේට විතරයි එන්නෙ කියන එකේ ඉදන් කෙල්ලගෙන් බූට් එකක් කාපු කොල්ලෙක් එයා ගැන විවේචනය කරනකොට වගේ චෝදනා වැලක්. අනිත් පැත්තෙන් මෙඩිකල් ෆැකල්ටිවල ළමයින්ට තිබුණෙ අනිත් අයගෙ ඊරිසියාව වගේ විග‍්‍රහයක්. ඒත් ගැටලූව එහෙම සරලව මහන්තත්වෙටයි ඉරිසියාවටයි ලඝු කරන්න පුලූවන්ද?

පාසලේ මාත් එක්ක සාමාන්‍ය පෙළ හා ඊට පහල පන්තිවල අධ්‍යාපනය ලබපු විවිධ විෂයන්ට දක්ෂතා දැක්වුව විවිධ හැකියා තිබුණ ගොඩක් යාලූවො හිටිය. සමහර දේවල් එයාලගෙ ජීවිතේ කොටස් වගේ තිබුණෙ. එත් ඒ ගොඩක් දෙනෙක් දැන් ඉංජිනේරුවො නැත්තන් වෛද්‍යවරු එහෙමත් නැත්තන් ඒ විෂයන් ආශි‍්‍රත වෙනත් රස්සාවල. වෙනත් ක්ෂේත‍්‍රයක වැඩකාරයෙක් වෙන්න හිටපු එකෙක් වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙලා ඔහේ ජීවිතේ ටයිම් පාස් කරල දානව. තමන් ආදරය කරපු කොල්ල ඉද්දි තමන් අකමැති මනුස්සයෙක්ව බැදල දවස ගාණෙ ඌ එක්ක බුදියන්නයි, උගෙ යට ඇදුම් හෝදන්නයි වෙච්ච ගෑණියෙක් වගේ ඉන්න වෙලා. මේ ගැටලූවෙ එක පැත්තක් පටන් ගන්නෙ මෙතනින්.

සෞඛ්‍ය සේවක වර්ජනයේ රෝගීන් මුහුණ දෙන අපහසුව වගේ විවේචන ටිකකට පැත්තකින් තියල අපිට මෙතන්ට අදාල කාරණය ගත්තොත් ශ්‍රේණි අතර පරතරයන් වෙනස් කිරීමට අදාල ඉල්ලීමකට වෛද්‍යවරු බහුතරයකගෙ විරෝදය එල්ලවෙලා තියෙනව දැක්කාග ඒ කාලෙ අපි වගේ මහන්සිවෙලා පාඩම් නොකර දැන් හොර පාරෙන් අපේ මට්ටමට එන්න හදනවා වගේ විවේචන එම ඉල්ලීමට අදාලව මං දැක්කාග වෛද්‍යවරු ඉංජිනේරුවො නීතීඥයො ලියන මං ඇතුලූ හැමෝම මේ යක්ෂයාගේ අධ්‍යාපන රටාව ඇතුලෙ දැන් මේ ඉන්න තැන්වලට එන්නේ කෝම්පිට්ටු උයන්න  ඕනෙ කාලෙ ශිෂ්‍යත්ව පංති වල ටැග් ගැහිලා ලව් කරන්න වල බහින්න  ඕනෙ කාලෙ රිවිෂන් ගිහින් ජිවිතේ ඇරියස් පුරෝගෙනග :සමාවෙන්න ව්‍යතිරේකී පුද්ගලයො ඉන්න පුලූවන්ල ඒත් මං කතා කරන්නෙ පොදු තත්වයෆ අනිත් අතින් අපි බහුතරයක් කරන්නෙ අපිට අදාල නැති රස්සාල ඒ කිව්වෙ මං කලින් කිව්ව වගේ අපි ආස වෙන දේකට ඒත් අපිට රස්සාව විදිහට අපේ ජීවිතේ කරගන්න වෙලා තියෙන්නෙ තවත් දෙයක්ග තමන්ට තමන් විදිහට නැතුව වෙන කෙනෙක් විදිහට ජීවත්වෙන්න වෙලාග ඉතිං තමන් කරණ දෙයින් තමන්ට සතුටක් නෑග ඉතිං ජීවිතේ හැම මගුලක්ම උකස් කරල පොඩි කාලෙ ඉදල සාර්ථකත්වය කියල මවපු රෙද්දෙ හීනයක් පස්සෙ දුවන් ආපු අපිල දැන් පෙරේතයො කුම්බාණ්ඩයො වගේ සල්ලි හොය හොය වලිකන එකේ හරිල සමාජෙ වැඩි වටිනාකමක් නැත්තන් බමුණු කුලේ සැළකිල්ලක් බලාපොරොත්තු වෙන එකෙත් ඒක නැතිවුනහම මළපනින එකෙත් වැරැුද්දක් නැහැග මොකද අපි කියල වෙන මොනව කරන්නද?

ඊළගට අපි මහන්සිවෙලා පාඩම් කරපු නිසා මෙතන ඉන්නෙ, අනිත් අය එහෙම කරල නෑ කියන එක අමූලික සාපේක්ෂ ඇත්තක්. අපිත් එක්ක එක පංතිවල හිටපු සමහරු ගත්තු ආතල් අපි ගත්තෙ නැහැ. ඒ කැපකිරීම නිසා අපි මෙතන ඉන්නව. ඒක හරි, හැබැයි ඒක පරම සත්‍යත් නෙමෙයි කියන එක මතක තියාගන්න වෙනව. නිකමට වෛද්‍ය පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි, කලා පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි පවුල් පසුබිම් සංසන්දනය කලොත්, අපිට දකින්න ලැබෙන දෙයක් තමයි වෛද්‍ය පීඨයේ ඉන්නෙ සමස්ථයක් විදිහට යම් හෝ ආර්ථික ස්ථාවරත්වයක් ඇති පවුල්වල ලමයි කියන එක. මේ තත්වය ඉස්සරට වඩා පහුගිය දශකයක විතර කාලයක වේගයෙන් වෙනස් වෙමින් පවතිනව. [ඒ කියන්නෙ වෛද්‍ය පීඨවල දුප්පත් අම්මල තාත්තලගෙ ළමයි නෑ කියන එකවත්, කලා පීඨවල සමාජයේ ඉහළ ස්ථරවල දෙමාපියන්ගෙ ළමයි නෑ කියන එකවත් නෙමෙයි] උසස්පෙළ කියන්නෙ අධිතරගකාරී විභාගයක් වෙලා, ඉතිං ඒ තරගෙ සමාන තත්වයන් යටතේ නෙමෙයි වෙන්නෙ. ඉතිං පහළ ස්ථරයකින් තරගකාරීත්වය වැඩිම වෛද්‍ය පීඨයකට වගේ තේරෙන්නෙ එහෙමත් කෙනෙක්. අපි ඉන්න තැන තීරණය වෙලා තියෙන්නෙ, අපි පාඩම් කරපු එකෙන්ම විතරක් නෙමෙයි. යම් මට්ටමකට තාත්තගෙ පඩිය මතත් තීරණය වෙච්ච දෙයක් කියන එක නොසළකා හරින්න බැහැ.

අපි එකිනෙකාට තියෙන්නෙ එකිනෙකට වෙනස් හැකියාවන් හා නැඹුරුතාවයන්. අපේ අධ්‍යාපන ක‍්‍රමය එක් හැකියාවක් විතරක් මනින, ඒකට විතරක් වටිනාකමක් දෙන දෙයක්. ප‍්‍රසිද්ධ උදාහරණයක් ගත්තොත්, කැළේක ඉස්කෝලයක් තියෙනවා. ඒකට කැළේ සත්තු ඔක්කොම එනව ඉගෙනගන්න. කැලේ ඉස්කෝලෙ විභාගෙ විදිහට පවත්වන්නෙ උස ගහකට වේගෙන් නගින එක. ඉතිං වදුරා පළවෙනිය වෙනව. හැමෝම එයාව අගය කරනව, එයාට වටිනාකම් දෙනවා. මාලූවට ගස් නගින්න බැහැ. එයා අසමත් කියල ලේබල් කරනව. හැබැයි කොහෙන්වත් මාලූවගෙ පීනන්න තියෙන හැකියාව මනින් නෑ. ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙත් නැහැ. අපි කැමති නැත්තන් අපිට නැඹුරුතාවයක් තියෙන දෙයක් කැපවීමෙන් කරන්න අපි පෙළඹෙනවා. එත් අපිට එහෙම නැඹුරුතාවයක් නැති දෙයක් වෙනුවෙන් කැපවෙන එක, එහෙම නැඹුරුතාවයක් තියෙන දෙයක් වෙනුවෙන් කැපවෙනව වගේ ලේසි නෑ. හරියට හිතන්න, මං කි‍්‍රකට් ගහන්න ආසයිල මගෙ යාලූව රගර් ගහන්න ආසයි. ඒත් කි‍්‍රකට් ගහන එකට විතරක් වටිනාකමක් දෙනව. මං කැමති දේ හින්ද ඒ වෙනුවෙන් දාගෙන ෆැක්ටිස් කරන එක මට ඒ තරම් දෙයක් නෙමෙයි. ඒත් මගේ යාලූව කි‍්‍රකට් වලට කැමති නැහැ. ඒත් එයාට කි‍්‍රකට් ගහන්න වෙනව. මං වගේ එයා කැපවීමෙන් කි‍්‍රකට් ගහන්න පෙළඹෙන් නෑ. ඉතිං මං කි‍්‍රකට් ටීම් එකට තේරෙනව. හැමෝම කියනව මං මහන්සිවුණා, මගෙ යාලූව මහන්සිවුණේ නැහැ කියල. ඒත් ඇත්තටම කි‍්‍රකට් වලට නැතුව රගර් වලට වටිනාකම දුන්නනම්, ඔය දේම අනිත් පැත්තට කියවෙයි. ඒ හින්ද අපි මහන්සිවෙලා පාඩම්කලා, අනිත් අය කලේ නැහැ, ඒ හින්දයි මේ වෙනස. ඒකට කරන්න දෙයක් නැහැ කියන එක ඇත්ත වුනාට, ඒ කථාව සම්පූර්ණයෙන්ම සාධාරණයි කියන්න අමාරුයි.

දැන් අපි මොකද කරන්න ඕනෙ? ඇත්තටම එක් එක් වෘත්තීන්ට දීල තියෙන එකිනෙකට වෙනස් සමාජ වටිනාකම් හා මුල්‍ය වටිනාකම් නැතිකරන්න නැත්තන් සාපේක්ෂව අඩුකරන්න  ඕනෙ. එතකොට හැමෝම වෘත්තීන් කිහිපයක් පස්සෙ දුවන එක නතරවෙයි. වෛද්‍යවරයෙක් වෙන්න  ඕනෙ කෙනා වෛද්‍යවරයෙක් වෙයි, මෝටර් කාර්මිකයෙක් වෙන්න   ඕනෙ කෙනා බොරුවට වෛද්‍යවරයෙක් නොවී තමන් කැමති වෘත්තීයට අදාල උසස් අධ්‍යාපනයක් ලබාගනීවි. අධ්‍යාපනයේ තියෙන මේ අස්වාභාවික, ළමයින්ගේ ළමා කාලය මකබාවන තරගය අඩුවේවි. දැන් උසස් කියල කියන වෘත්තීන් වල අයටත් විශේෂයෙන් ඉහළයි කියල සමාජ මට්ටමක් නඩත්තු කරන්න  ඕනෙ නැතිනිසා, බොරුවට සුපෝඛභෝගී වාහනයක් ලොකු ගෙයක් අරන් ලීසිං වලට ණය වලට හිරවෙලා දගලන්නෙ නැතුව, සැහැල්ලූවෙන් ඉන්න පුල්වන් වෙයි. සරළවම තමන්ට තමන් විදිහට ජීව්ත්වෙන්න ඉඩක් තියෙන, ඒ හින්ද ඇරියස් අඩු සමාජයක් බිහිවෙයි.

දැන් ඔය කිව්ව්ට මේ දේවල් කරන්න පුලූවන්ද? ඔව් ඒක ලේසි නෑ. හැබැයි ඒකනම් උත්තරේ අපිට ඒක කරන්නම වෙනව. අනික ඇත්ත කතාව, ඒක මොකක් හරි පනතක් ගෙනල්ල පඩි අඩුකරනව හරි වැඩිකරනව වගේ හරි සරළ දෙයක් නෙමෙයි. මං කළින් කිව්ව දේවල් සමස්ථ සමාජයක වෙන වෙනසක එක් පැතිකඩක් විතරයි. අපිට අපේ චින්තනයේ සීමාවන්ගෙන් එහාට හිතන්න වෙයි. මොකද අපේ චින්තනයත් මේ සිස්ටම් එකේම කොටසක් නිසා. සචේතනිකව දේශපාලනය කරන්න වෙයි. ඒ කිව්වෙ ඡුන්දෙ දාන එක හරි ඡුන්දෙ ඉල්ලන එක හරි නෙමෙයිග [ඒවත් අයිතියි] සමාජ වෙනසක් වෙනුවෙන් වැඩකරන එක. 

රිවිහාර පින්නදුව


Saturday, June 19, 2021

පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”


 පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”

මං මූලික අධ්‍යාපනය ලැබුවෙ ගෙවල් ගාව ඉස්කෝලෙන්. ඇත්තටම ගෙවල් ගාව ඉස්කෝල දෙකක් තිබුණ, දැනට අපි ඒ දෙකට ලොකු ඉස්කෝලෙයි පොඩි ඉස්කෝලෙයි කියමු. පොඩි ඉස්කෝලෙ තිබුණෙ සාපේක්ෂව ආර්ථික මට්ටමින් පහළ බහුතරයක් ජීවත් වෙච්ච ප‍්‍රදේශයකට කිට්ටු වෙන්න, ලොකු ඉස්කෝලෙ පැත්තෙ ගොඩක් දුරට හිටියෙ සාපේක්ෂව යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණ පිරිසක්. ඉතිං ලොකු පොඩි ඉස්කෝල වල ළමයි සංයුතිය හැදුනෙ කොහොමද කියල ආයෙ අමුතුවෙන් කියන්න  ඕනෙ නැහැනෙ. මාත් ගියෙ ලොකු ඉස්කෝලෙට, ලොකු ඉස්කෝලෙ කිට්ටුවට වෙන්න ළමා නිවාසයක් තියෙනව. මං ඉස්සර ඉස්කෝලෙට යද්දි මට හම්බෙනව ළමා නිවාසෙ ළමයි පෝළිමට ඉස්කෝලෙ යනව. එයාල ලොකු ඉස්කෝලෙ පහු කරන් ඒක ඉස්සරහින්ම ඈතින් තියෙන පොඩි ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයින්ව ලොකු ඉස්කෝලෙට ගන්නෙ නැහැ. පොඩි ඉස්කෝලෙට තිබුණෙ ගොඩක් අඩු පහසුකම් වගේම ඒ ඉස්කෝලෙට යන ළමයි මේ විදිහයි කියල හැදුන මතයකුත් තිබුණ ඉතිං පොඩි ඉස්කෝලෙ කිට්ටුව හිටිය යමක් කමක් කරගන්න පුලූවන් හැමෝමත් තමන්ගෙ ළමයින්ව කොහොම හරි ලොකු ඉස්කෝලෙට දාගත්ත. මේ එකෝමත් එක කාලෙක වෙච්ච අතීත කතාව.

දැන් අපි එමු වර්තමාන කතාවට. මං ජීවත්වෙන්නෙ අර්ධ නාගරික ප‍්‍රදේශයක, ඒ වගේම මැද පංතිය කියල අපිම කියා ගන්න බහුතරයක් ඉන්න පැත්තක. දැන් අපි කලින් කතා කරපු පොඩි ඉස්කෝලෙ වැහිල ගිහිල්ලා. ඉස්කෝ්ලෙ පටන් ගන්න වෙලාවට හංදියට ගියොත් බලන්න පුලූවන් පොඩි ඉස්කෝලෙ පැත්තෙ ඉන්න ලමයිනුත් අපේ ගෙවල් පහුකරන් ලොකු ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයිනුත් දැන් යන්නෙ ලොකු ඉස්කෝලෙට. දැන් කලින් ලොකු ඉස්කෝලෙට ගිය පවුල් වල ළමයි දැන් කොහෙද යන්නෙ? ඇත්තටම පොඩි ඉස්කෝලෙට ගිය ළමයින්ටත් ලොකු ඉස්කෝලෙට යන්න පුලූවන් වෙලාද? නැත්නම් ලොකු ඉස්කෝලෙ ටික ටික පොඩි ඉස්කෝලයක් වෙන්න යනවද? එතකොට ලොකු ඉස්කෝලෙ වෙන්නෙ මොකක්ද?

අධ්‍යාපනය වගේ දේවල් වෙළද භාණ්ඩ කරන්න එපා කියල මං කියන්නෙ නැහැ මොකද ඒක ඇති වෙනකන් කියල තියෙන්නෙ. එහෙම නැතුව අපි දැනටමත් වෙලා තියෙන දේවල් ගැනත් ඒ ඇසුරෙන් සාධාරණව ඉස්සරහට වෙන්න තියෙන දේවලූත් කතා කරමු. අපේ පැත්තෙ කලින් මුදල් ගෙවල ඉගෙන ගන්න කියල තිබුනෙ ගම්පහ ටවුමෙ තිබුණ ඉන්ටර් නැෂනල් එක විතරයි. ඒකෙ නමවත් මට මතක නෑ අපි කිව්වෙ ඒකට එහෙම. ඒත් දැන් රජයේ ඉස්කෝලෙ ගාණටම පෞද්ගලික පාසල්. ළගදිම රජයෙ ඉස්කෝල හොයාගන්නවත් නැති ඒව වෙයි, මොකද දිගටම පෞද්ගලික පාසල් ඇරෙනව ඒකට සමගාමීව රජයේ ඒව වැහෙනව. රෝයල් ඉන්ස්ටිටුයුට් එකේ ලස්සන දැවැන්ත ගොඩනැගිල්ල ඉදිවෙන්නෙ අපේ ලොකු ඉස්කෝලෙ පේන මානෙ. පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකට වෙනම වටිනාකමක් ලැබෙනව. පුලූවන් හැමෝම තමන්ගෙ ළමයින්ව පෞද්ගලික පාසල් වලට දානව. තමන්ගෙ ළමය යන්නෙ ආණුඩුවෙ ඉස්කෝලෙට කියල කියන එක ලැජ්ජාවට දෙයක් වෙනව. ඉතිං බැරි අයත් බැරිමරගාතෙ තමන්ගෙ ළමයිවත් පෞද්ගලික පාසල් වලට දානව. කරකියා ගන්නම දෙයක් නැති කෙනෙක් ආණ්ඩුවෙ ඉස්කෝලෙට ඉතුරු වෙනව. එක එක මිළ ගණන් වලට එක එක බ‍්‍රෑන්ඞ් වල පෞද්ගලික පාසල් ඇරෙනව. අන්තිමට ඉස්කෝල ඇරල තිබුණ දවසක ඉස්කෝල ඇරෙන වෙලාවක මං බස් එකට නැග්ග. කළින් වගේ නෙමෙයි ඉස්කෝල වල නිළ ඇදුම් වල පාටින්ම ළමයි බෙදිල. පෞද්ගලික පාසල් වල ළමයිගෙ තිබුණ යම් ආකාරයක ආඩම්බරකාර බැල්මත් රජයේ පාසලේ ළමයින්ගෙ තිබුණ යම් විදිහක තමන් දෙවන පෙල පිරිසක් කියන පීඩාකාරී හැගීමත් මං ඒ ඇස්වල දැක්ක. ටික වෙලාවකට මං තැතිගත්ත. අපි කොහෙටද මේ යන්නෙ?

සල්ලි තියෙන අය පෞද්ගලික පාසල් යනව, නැති අය රජයෙ පාසල් වලට යනව වගේ සරළ අහිංසක දෙයක් නෙමෙයි වෙළදපල කියන්නෙ. රජයේ සුභසාධන වියදම් කප්පාදුව වගේ දේවලූත් මේ එක්ක එකතුවෙලා තියෙනව. දැන් ලොකු ඉස්කෝලෙ වියදම් රජයෙන් ලැබෙන මුදලින් කවර් කරන්න බැහැ. ඒකේ සැළකිය යුතු බරක් දෙමාපිය සංගම්, ආදිශිෂ්‍ය සංගම් දැරුව. දැන් මේ අර්බුදය පොඩි ඉස්කෝලෙ වැහිල නතරවෙන්නෙ නැහැ. ඊළග වටේ ලොකු ඉස්කෝල වලටත් එනවා. වෙනද ලොකු ඉස්කෝලෙට ආපු සමාජ ස්ථරයෙ බහුතරයකගෙ ළමයි දැන් යන්නෙ පෞද්ගලික පාසල් වලට. වෙනද පොඩි ඉස්කෝලෙ දෙමාපිය සංගමේ හිටපු අය තමයි දැන් ලොකු ඉස්කෝලෙ දෙමාපිය සංගමේ ඉන්නෙ. එයාලට ලොකු ඉස්කෝලෙ වියදම් දරන්න බැහැ. අනිත් අතට ආදිශිෂ්‍ය සංගම් පරණ යාලූවො ටික ආයෙ සෙට් වෙන එක ඇරෙන්න ගොඩක් දුරට පවතින්නෙ තමන්ගෙ දරුවව ඉස්කෝලෙට දාගන්න පදනමෙන්. දැන් ලොකු ඉස්කෝලෙ ආදිශිෂ්‍යයන්ගෙ ළමයි යන්නෙ පෞද්ගලික පාසල් වලට. ඉතිං කළින් වගේ ආදිශිෂ්‍ය සංගම් වලිනුත් පාසලට ලබෙන හයිය අඩුවෙනව. ඉතිං පොඩි ඉස්කෝල විතරක් නෙමෙයි ලොකු ඉස්කෝලත් ටික ටික අභාවයට යන්න ගන්නව. නගරබද ප‍්‍රදේශවලින් බැහැරව ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් මේ තත්වය මීට වඩා වෙනස් ස්වරූප වලින් පවතිනවා. ළගදිම ගමට නැතත් ගමට ළගම ටවුමට පෞද්ගලික පාසල් එන්න ගනීවි. දැනටමත් ගොඩක් ග‍්‍රාමීය පාසල් වැහිල තියෙනව. අපේ පොඩි ඉස්කෝලෙ වැහුන වගේ නෙමෙයි ගමේ ඉස්කෝලෙ වැහුනම ඒ ලමයිට ඉස්කෝලෙ යන්න සෑහෙන දුරක් ගෙවලා ටවුමෙ ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතිං දුප්පත් සමාජීය වශයෙනුත් පහල අඩියක ඉන්න අම්මල තාත්තලගෙ ගොවිතැනකට උදව් කරනගමන් ඉස්කෝලෙ එන ගොඩක් දෙනෙක්ගෙ පාසල් ගමනත් එහෙන්ම නතර වෙනව. පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරල තිබුණ ටවුමෙ ඉස්කෝලෙට යන්න විදිහක් නැතුව හැමදාම වහල දාල තියෙන ඉස්කෝලෙට ඇවිත් ඉදල යන දරුවෙක් ගැන, පාසලක් නැතුව සිය දිවි නසාගත්ත දරුවො ගැන. මේ අර්බුදයේ රෝග ලක්ෂණ විතරයි. සැබෑ අර්බුදය ඊට වඩා ගොඩක් භයානකයි.

අර්බුදයෙ අනිත් පැත්ත තමයි ඔය පෞද්ගලික පාසල් වලට දරුවන්ව යවන දෙමාපියන්ගෙ තත්වය. ඇත්තටම බහුතරයක් පෞද්ගලික පාසල් වලට යවන්නෙ පුලූවන් කමකට නෙමෙයි. එක පැත්තකින් රජයේ පාසල් පද්ධතිය දුර්වල වෙලා අනිත් පැත්තට පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකත් එක්ක ඇතිවෙන සමාජීය කාරණය. මං ජීවත්වන ප‍්‍රදේශයේ වගේම මගෙ වෘත්තියෙ යෙදෙන බහුතරයක් තමන්ගෙ දරුවො යවන්නෙ පුද්ගලික පාසල් වලට. මං දැකල තියෙනව පාසල් ගාස්තු ගෙවන්න වෙන කාල වලදි ඒ අය විදින පීඩාව. මේ සිස්ටම් එකේ දැනටමත් අපිට සත්තු වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සතෙක් තම ජීවිත කාලෙම ගත කරන්නෙ කන්න මොනව හරි හොයාගන්න වර්ගයා බෝ කරන්න වගේ දේවල් වලට. අපිත් කන්න බොන්න ගෙවල් හදන්න රැුයක් දවාලක් නැතුව ඉබාගාතෙ දුවනව ඇරෙන්න එතනින් එහා ජීවිතයක් තියෙනවද? දැන් මෙතනදිත් දරුවන්ගෙ ඉස්කෝලෙටත් ගෙවන්න වෙද්දි ඒකටත් එක්ක වැඩිපුර වැඩ කරන්න වෙනව. දරුවො එක්ක ඉන්න තියෙන ටික කාලෙත් කැප කරල තාත්තලට  ඕටී කරන්න වෙනවා. ජීවිතේ තවත් මේ උගුලෙ හිරවෙනවා. තවම මේ අර්බුදය පටන් ගත්ත විතරයි. පාසල් ගාස්තු ගෙවන්නෙ නැතුව ළමයින්ව පාසලෙන් අයින් කරල දරුවන්ට යන්න පාසලක් නැතුව හඩාවැටෙන දෙමව්පියන්ව මං පහුගිය කාලෙ දැක්ක.
අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දි, ආණ්ඩු ගේන එක එක පනත් වලට විරුද්ධ වෙද්දි අපිට විරුද්ධව කතා කරපු අපේ අරගල ජෝක් එකට ගත්තු අයත් හිටිය. හැබැයි ඒ අයගෙත් සීමාවක් තිබුන. මොකද ඒ අයත් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ සමහරු විශ්වවිද්‍යාල වලටත් ගියෙ නිදහස් අධ්‍යාපනයෙන්. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ ඒ හින්ද ටික කාලයක් හරි මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න  ඕනෙ කියල තමන්ට ලැබුන විදෙස් රැුකියාව අතඇරපු අය මං දැකල තියෙනව. මට මතකයි සංජීව පුෂ්පකුමාර ඉගිලෙන මාලූවො චිත‍්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත්ත වෙලාවක ඒ සම්මානය වෙනුවෙන් ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට ඒ බදු ගෙව්ව මිනිස්සුන්ට ස්තුති කරනව. ඉතිං මේ මිනිස්සුන්ගෙ නිදහස් අධ්‍යාපනයට තිබ්බ ලව් එකත් එක්ක සමහර තීරණ ආණ්ඩු වලට ගන්න බැරි වුනා. හැබැයි තව ටික කාලෙකින් පරම්පරාවක් එනව මේ පෞද්ගලික පාසල් ඇතුලින් නිදහස් අධ්‍යාපනය ගැන මෙලෝ මලදානයක් අදාල නැති. මිළ විතරක් දන්න පරම්පරාවක අනාගතය මීට වඩා යහපත් එකක් වේවිද?

ඉස්සරහට අධ්‍යාපනයේ අද අපි දකින ස්වරූපයේ තරගකාරීත්වය අඩුුවෙයි. මොකද ගෙවල ගන්න වෙන එකේ මොන තරගයක්ද? (නැත්තට නැති වෙනව නෙමෙයි) කොහොම හරි ටියුෂන් වෙළද පල අඩුවෙයි. මොකද සුපර් මාර්කට් ව්‍යාප්ත වෙද්දි සිල්ලර බඩු කඩ වැහිල යනව. තාම මේ පෞද්ගලික පාසල් අර්බුදය හරියටම මතුවෙලා නැහැ. සමහර ප‍්‍රදේශවල තවම හරියට ව්‍යාප්ත වෙලත් නැහැ. නාගරික අර්ධ නාගරික පැතිවල දැන් ටික ටික ඒ අර්බුදයේ රෝග ලක්ෂණ මතුවෙමින් තියෙනව. අපි මැදිහත්වෙලා මේක වෙනස් නොකලොත් තව කාලෙකින් සමහර ඉංදියානු චිත‍්‍රපටවල පාසල් අධ්‍යාපනය ගැන අපි දකින් විදිහෙ දේවල් අපිට දකින්න ලැබේවි. ඛේදවාචකයේ වින්දිතයින් විදිහට ගොඩක් දෙනෙක් අධ්‍යාපනයෙන් පිටමං වේවි. මං මුලින්ම ගිය පාගමන තමයි අධ්‍යාපනයට 6% ක් ඉල්ලලා අන්තරෙන් නුවර ඉදල කොළඹට ආපු පාගමන. ඒකෙ මං උස්සන් ගිය සටන් පාඨයම තමයි ආයෙමත් මෙතනත් දාන්න වෙන්නෙ  "Education not for sale"

(රිවිහාර පින්නදුව)

Tuesday, August 4, 2020

සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න..... ඇවිත් පිපෙන්න....



සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න..... ඇවිත් පිපෙන්න....


මෙය මා ලියන වෙලාව වන විට බොහෝ දෙනෙකු ඡුන්දය දෙන්නට යාම සදහා දත් මදිනවා විය යුතුය. කිසිදු වෙනසක් සිදුනොවනු ඇත. පුරුදු මුහුණත් තහඩු ටිකෙන්ම පාර්ලිමේන්තුව සැරසෙනු ඇත. කෙසේ නමුත් මැතිවරණ ආසන්න කාලය තුල සුපුරුදු පරිදි මාගේ මිතුරන් බොහෝ දෙනෙකු දේශපාලනිකව සකී‍්‍රයව සිටිනු මට දැකගත හැකිවිය. නමුත් එම දේශපාලනික ආශ්වාදයේ පරමත්වයට අද ඔබේ ඡුන්දය පෙට්ටියට දැමීමෙන් පසු හෝ හෙට ප‍්‍රතිඵල ඇසීමෙන් අවසන් වෙනවානම් එය හුදු දේශපාලනික ස්වයංවින්දනයක්ම වනු ඇත. කිසිදු නව දේශපාලනික ජනිතයක් එයින හට නොගැනෙනු ඇත. මේ ගෙවෙන්නේ මෙම නාටකයේ පොතේ ගුරු භූමිකාවයි. සැබෑ රංගනය ආරම්භවන්නේ හෙටින් පසුවයි. එබැවින් තිරය ඇරුණු සැනින් වේදිකාවෙන් බැස යන්නට සූදානම් නොවන්න.

දැනටත් එහෙන් මෙහෙන් මතුව ඇති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ඵක්‍ක්‍ ගිවිසුම, අවශේෂ වනාන්තර සම්බන්ධ නීති ආදී දහසකුත් එකක් දේ හෙටින් පසුව සැබෑ යක්ෂයා ලෙසින්ම පැමිණ අපව අරගලයට කැදවනු ඇත. මා හට හැගෙන යථාර්තය නම් මෙම මැතිවරණයෙන් කිසිදු වෙනසක් සිදුනොවන අතරම තත්වය තවත් භයානක කරනු ඇත. එසේනම් හෙට අපට පිළතුරු සොයන්නට වෙන්නේ අරගල බිම් වලය. ඒ හැර විකල්පයක් නොවනු ඇත.

යම් මට්ටමකින් හෝ අරගලයන් සමග සම්බන්ධවී ඇති අයෙක් බැවින් මගේ බොහෝ මිතුරන් මා හමුවූ විට එය සිදුකල යුත්තක් බව පවසා මා හට සුභ පතයි. අරගලයන්ට සම්බන්ධ අනෙකුත් සගයින්ගේ අත්දැකීමද මීට සමානය. එම මිත‍්‍රත්වයේ සුභ පැතුම් ආදරයෙන් වැළදගන්නා අතරම පැවසිය යුත්තේ අරගලය යනු අපගේ උපන්දිනය හෝ විවාහ මංගල්‍යය නොවන බවයි. අද මැතිවරණය තුල දේශපාලනිකව සකී‍්‍රය වන බොහෝ මිතුරන් හෙටින් පසු සැබෑ ගැටළුව අප ඉදිරියට පැමිණෙන විට ගැලරියට ගොස් පොප් කෝන් කන්නට පටන් ගන්නා අතර ඇතමෙක් ගැලරියෙන් හෝ සොයා ගැනීමට නොහැකිවෙයි. එබැවින් හෙට අරගලයට සුභ පතන්නන් නොව අරගලකරුවන් අවැසිව ඇත. මේ යථාර්තය තුල අනාගතය තීරණය වන්නේ අද ඡුන්දයෙන් නොව (එහි තීරණය වන්නට දැන් දෙයක් නැත. වෙන දේ අප සැවොම දනී* හෙට අරගලයෙන්ය. සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න... ඇවිත් පිපෙන්න...

රිවිහාර පින්නදුව

Friday, May 15, 2020

තරගයේ වීරයා කවුද?


තරගයේ වීරයා කවුද?


මේ දවස්වල කට්ටිය කොරෝනා තරගයේ වීරයා තෝරනව. ගෝඨාභයද? මහින්දද? පවිත‍්‍රාදේවිද? ජනමාධ්‍යත් කොරෝනා වල අපේ සාර්ථකත්වය ගැන වාර්තා කරන්නෙ හරියට ඉස්සර ක‍්‍රීඩා පුවත්වල අපේ කි‍්‍රකට් කණ්ඩායම තරගාවලියක් දිනපුවහම කියනව වගේ. ඒත් මේ දේවල් අස්සෙ මතුකරගන්න  ඕනෙ වැදගත්ම සාකච්ඡුාවක් අපිට මග ඇරෙනව කියල හිතෙනව. ඒ තමයි සෞඛ්‍යය නැත්නම් නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය.

පහුගිය දශක තුන හතරක කාලය අපි වෙළදපල මෝහනය ඇතුලෙ ගෙවල දැම්ම. කඩයකට ගියහම ඇස් නිළංකාර වෙන්න එක එක දේවල් පිරිල. ටීවී එකේ පාරවල් දිගට වෙළද දැන්වීම් නිකන් පැණි රස කඬේක අතරමංවුණු ඇඹලයො වගේ අපිත් කොහෙද යන්නෙ මොකද කරන්නෙ වගේ වගක් නැතුව ඔහේ දිව්ව. කඩවල් වල බඩු පුළුවන් තරම් ගෙදර ගෙනල්ලා පුරව ගත්ත. අපි ගෙදරට බඩු ගේන්න ගේන්න කඬේට තවත් අලූත් බඩු එන්න ගත්ත. ඒව ගන්න වැඩි වැඩියෙන් සල්ලි හොයන්න අපි තවත් හයියෙන් දුවන්න ගත්තා. හති දාන්නවත් නතරවෙන්නෙ නැතුව අපි දිව්වා. මේ තරගෙ දිනන්න,  ඕන මගුලක් කරන්න පුරුදු වුනා. සොම්බි ෆිල්ම් එකක මොකක් හරි සද්දයක් අවම ඔහේ ඒ පැත්තට දුවන සොම්බි වගේ අපිත් දිව්ව. ඉස්සරහින්ම දිව්ව සොම්බියට අපි සාර්ථකයි කිව්ව. අපි විකුණුව  ඕන දෙයක්,  ඕන කෙනෙක්,  ඕන හැගීමක් අපි විකුණුවා කිසි කැතක් නැතුව.

මිනිස් සමාජෙ අපි අද භුක්ති විදින හැම දෙයකටම ඉතිහාස කතාවක් තියෙනව. ඒ කියන්නෙ අද අපි දකින හැම දෙයක් පිටිපස්සෙම ඉතිහාසයක් තුල මිනිස්සු හෙලූව ශ‍්‍රමයක් තියෙනව. ඒක ටිකක් සරළ කුණු හරුපෙකින් කිව්වොත් අද අපි දකින ගොඩක් දේවල් අද මේ තියෙන තත්වයට එන්න ඉතිහාසයෙ ගොඩක් මිනිස්සු මහන්සිවෙලා තියෙනව. ඔය කතාව මුලින්ම කැම්පස් එකේදි මට කිව්ව සහෝදරය ගත්ත උදාහරණයම ගත්තොත් මුලින්ම කවුරු හරි මිනිහෙක් නැත්තන් වානරයෙක් ගින්දරෙන් වතුර උණු කරන්න පටන් ගන්න ඇති, පස්සෙ කවුරු හරි ඒකට අඩුවක් තිබුණොත් හොදයි කියල හිතන්න ඇති, තවත් කෙනෙක් අත පිච්චෙන් නැති වෙන්න අඩුව තාප සන්නයනය අඩු දේකින් හදන්න ගන්න ඇති, තවත් කෙනෙක් තාපය පිට නොවෙන්න ආවරණය වෙච්ච භාජනයක් පාවිච්චි කරන්න ඇති, තවත් කෙනෙක් දැන් වගේ කේතලේට කටක් දාන්න හිතන්න ඇති, ඊටත් පස්සෙ ඒක ලිපක තියන් නැතුව විදුලියෙන් පාවිච්චි කරන්න විදිහක් හදන්න ඇති. මේ විදිහට අද අපි දකින කේතලය වෙනකන් කේතලය දියුණු කරන්න ඉතිහාසයක් ඇතුලෙ මිනිස්සු ගොඩක් දෙනෙක් මහන්සි වෙලා තියෙනව. මේක සමහර අයටනම් විස්තර කරන්න දෙයක් නැති හොදට දන්න සරළ දෙයක් වෙන්න ඇති. ඒත් මං මේක ලියන්නෙ තණමල්විල කොල්ලෙක් බලල ඒක ගැන සමාජ දේශපාලනික පසුබිම් ලියන අයට නෙමෙයි දෙවෙනි ඉනිම බලල අනුහස්ගෙ ආදරේ ගැන වදවෙන අයටයි.

කේතලයක් හදා ගන්න මිනිස්සු පරම්පරා ගාණක් ඒ තරම් මහන්සිවුණානම් වෛද්‍ය විද්‍යාව වගේ දෙයක් අද තියෙන තත්වයට ගන්න මොන තරම් ශ‍්‍රමයක් හෙළන්න ඇතිද කියල අපිට හිතාගන්න පුලූවන්. අත්හදා බැලීම් කීයක් ඉතිහාසය ඇතුලෙ වරදින්න ඇතිද? ජීවිත කීයක් අනාගතයක් වෙනුවෙන් කැපවෙන්න ඇතිද? වෛද්‍යවරුන් වෙනුවෙන් හිප්‍රොක‍්‍රටික්ස් සහ හෙද සේවය වෙනුවෙන් නයිටිංගේල් වැනි පරමාදර්ශයන් බිහිවන්නේද එම ෙඓතිහාසික කැපකිරීම් තුලයි. ඒ අනුව මෙම වෛද්‍ය ක්ෂේත‍්‍රය පිටුපස ඇත්තේ සමාජීය ශ‍්‍රමයකි. ඒකියන්නෙ හිතන්න ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගමට එන්න පාරක් හදනව, දැන් ඒක එක් ආකාරයක සමාජීය ශ‍්‍රමයකි. ඒ වගේම ඒ පාර ගමේ හැමෝටම අයිතියි. කවුරුවත් කාගෙන්වත් ඒ පාරෙ යන්න අවසර ගන්න  ඕනෙ නැහැ. සමාජීය ශ‍්‍රමයක ප‍්‍රතිලාභද සමාජීය වියයුතුයි.

පහුගිය දශක හතරක කාලය ඇතුලෙ වෙළදපල පූජනීයත්වයට පත්වීම ඇතුලෙ අධ්‍යාපනය සෞඛ්‍යය වගේ දේවල් වලටත් වෙළදපල භෞතීස්මය දෙන්න පටන් ගත්ත. අධ්‍යාපනයට අදාලව ගත්තොත් කවුරු මොනව කිව්වත් ජෝගියට ගත්තත් අන්තරේ උන් පාරෙ පාරෙ ගුටිකාපු හින්දම (අනිත් බලවේගවල උදව් ඇතුව* අධ්‍යාපනය විශේෂයෙන් උසස් අධ්‍යාපනයෙ සමහර ක්ෂේත‍්‍රයන් වෙළදවලකරණයට විවරවුනේ සාපේක්ෂව අඩුවෙන්. හැබැයි සෞඛ්‍යයට අදාලව ඒ වගේ කැපී පෙනෙන විරෝධයක් එල්ලවුනේ නැහැ. ඒකෙ ප‍්‍රතිඵල අපි දකිනව රජයේ රෝහල් සමහර වෙලාවට අර සුපිරි වෙළද සංකීර්ණයක මැද විවෘත අවකාශෙ බංකු දාල බඩු ගන්න එන මිනිස්සුන්ට විවේක ගන්න හදල තියෙන තැන් වගේ. රජයේ රෝහල වටේ පෞද්ගලික රෝහල්, රසායනාගාර, බෙහෙත් ශාලා නිකන් අර සූර පප්ප කතාවෙ පප්පන්ගෙ ගම වටේ රෝමන් කාරයන්ගෙ කදවුරු හදල වගේ. දැන් සුපිරි වෙළද සංකීර්ණෙ විවෘත අවකාශෙට එන මිනිස්සු ඊළගට විවිධ බඩු ගන්න වටේ තියෙන සාප්පු වලට යනව වගේ රජයේ රෝහලට බෙහෙත් ගන්න කවුරු හරි එක්ක එන කෙනෙකුටත් වෙනව අර වටේ රෝමන් කදවුරු වගේ තියෙන පෞද්ගලික ආයතන වලට ගිහින් රුධිර පරීක්ෂණ කරන්න, බෙහෙත් අරන් එන්න. මේක නිකම්ම රාජ්‍ය අංශයක අකර්යක්ෂමතාවයක් නෙමෙයි යම් ක්ෂේත‍්‍රයක් වෙළදපලට විවෘත කිරීම ඇතුලෙ ඇතිවෙන්නට නියමිත අනිවාර්ය තත්වයක්. පෞද්ගලික පාසල් ව්‍යාප්තියත් එක්ක නුදුරු අනාගතයක ලංකාවේ පාසල් පද්ධතියටත් මේ ඉරණම අත්වීමේ අවදානම තියෙනව.

ලෝකය පුරාමත් තත්වය මේකයි. අවිආයුධ වෙළදාමටත් වඩා ලාභ දායක වෙළදාමක් වෙලා ෙඖෂධ වෙළදාම. විවිධ අර්බුද කාලවල අනෙකුත් වෙළදාම් විටින් විට කඩාවැටුනත් ෙඖෂධ වෙළදාමට එවැනි අර්බුද ආශිර්වාදයක් වෙනව මිසක් කඩා වැටෙන් නෑ. කොරෝනා පැතිරුනත්, ලෝක යුද්ධයක් ආවත් එයාලගෙ බිස්නස් එක දුවනව හොදට. මේ ෙඖෂධ මාෆියාව ලෝකය පුරා ප‍්‍රකෝටිපතියන් බිහිකරන ආකරයක් බවට පත්වෙද්දි ලොව පුරා දිළින්දන් මිලියන ගණනින් මරණය වෙත ගෙනයන සාපයක් බවට පත්වෙනව. දැන් මේ සමාගම් සමාජයක් විදිහට වසර දහස් ගණනක් තිස්සෙ මිනිස්සු ගොඩනගපු දැනුම තමන්ගෙ ප‍්‍රාග්ධනය යොදාගෙන අත්පත් කොටගෙන තිබෙනව. හිපොක‍්‍රටිස්ගෙ නැත්නම් ඊටත් පෙර ඉදන් විවිධ මිනිස්සු තමන්ගෙ ජීවිතයන් පවා කැපකරමින් මෙම දැනුම ගොඩනැගුවෙ සමාජයක් සුවපත් කරන්න වුනාට දැන් ඒ සියළු කැපකිරීම් බහුජාතික සමාගම් කිහිපයක ලාභය වෙනුවෙන් භාවිතා වෙද්දි. ඒ දැනුමේ උරුමකරුවන් වෙච්ච අපි‍්‍රකානු ආසියානු කලාප වල මිනිස්සු මිලියන ගණනින් ෙඖෂධ සමාගම් වල ගබඩාවල තොග ගණනින් අදාල ෙඖෂධ ගබඩාකරල තියෙද්දි මැරෙනව. මේක අතිශෝක්තියක් නෙමෙයි ලෝකෙ සෑම වසරකම ෙඖෂධ තියෙන, සුවකල හැකි රෝගවලින් ෙඖෂධ නොමැති නිසා මිය යන පිරිස ගණින්න වෙන්නෙ මිලියන ගණන් වලින්.

ලංකාවත් ඔය ජාවාරමේ ගොදුරක් වෙනවට අමතරව පහුගිය ආසන්න කාලය පුරාවටම දැඩි ෙඖෂධ හිගයක් පවතිනව. පාලකයො හැමෝම අරයට මෙයාට ඇගිලි දික්කරනව. ඒත් අපි හැමෝම දන්න ඇත්ත මේ ජාවාරම්කාර සමාගම්වල සෙවණැලි ඔය කොතනත් තියෙනව. එක බහුජාතික සමාගමක කෘෂි රසායන මාෆියාවට වකුගඩු දෙක නරක්වෙලා ඒකට බෙහෙත් ගන්න තවත් සමාගමකට තමන්ගෙ සේසතම දෙන්න වෙච්ච ගොවි ගම්මාන පිටින් අපිට රජරටින් හොයාගන්න පුලූවන්. තමන්ගෙ ගෙවල් දොරවල් නැතිවෙලා දරුවන්ටත් දුක්විදින්න වෙයි කියල බෙහෙත් නවත්තල ඔහෙ මැරෙන්න බලන් ඉන්න මිනිස්සු  ඕන තරම් මේ රටේ හොයාගන්න පුලූවන්. මහරගම පිළිකා රෝහලේ මෑත දවස්වල ඇතිවෙච්ච ෙඖෂධ හිගය තමන්ගෙ දුව පුතා පිළිකා රෝගයට ගොදුරුවෙලා ගිණිගත්ත ගෙවල් කීයකට ප්‍රෙට්රල් බෝම්බ විසිකරන්න ඇත්ද?
කොරෝනාත් ලෝකයට ඔප්පු කලා සෞඛ්‍ය වගේ දේවල් වෙළද භාණ්ඩ කරගෙන ලෝකයට ඉස්සරහට දුවන්න බැහැ කියන කාරණය. අපේ රටේ පහුගිය කාලෙ මහ ඉහළින් අගය කරපු නිදහස් සෞඛ්‍යට විකල්ප විදිහට ලෝකෙ අත්හදා බලපු සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයන්ගේ අසාර්ථකත්වය හෙළිවෙන්න ගත්ත. සෞඛ්‍ය රක්ෂණාවරණය අහිමිව රෝහල් වලට නොගොස් නිවසේ සිට මියගිය කොරෝනා ආසාදිතයින් ගැන පුවත් අපට පහුගිය කාල සීමාව පුරා දියුණු රටවලින් අහන්න ලැබුනා. 

සෞඛ්‍ය ඒ වගේම පරිසරය මේ දේවල් දිහා බලද්දි පැහැදිලි වන කාරණය නම් අපිට තවදුරටත් මේ විදිහට ඉස්සරහට යන්න බැහැ කියන දේයි. කොරෝනා සමහර විට අනතුරු ඇගවීමක් වෙන්න පුලූවන් මහා විනාශයකට පෙර අපිට වෙනස් වෙන්න. මේ සටහනේ අරමුණ නිදහස් සෞඛ්‍ය ගැන ආයෙමත් කතා කරන්න පටන් ගන්න කියල ඔයාලට ආරාධනය කරන්න. ඒ වෙනුවෙන් පෙනී ඉන් අඩගහන්න. 

නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු....

රිවිහාර පින්නදුව

Monday, May 11, 2020

එන්න හුස්ම ගන්න ශරීර ඇතුලෙ මැරෙන්න

එන්න හුස්ම ගන්න ශරීර ඇතුලෙ මැරෙන්න


අපි ජීවිතේ ආගන්තුක අත්දැකීම් ගොඩකට මේ දවස් වල මුහුණ දෙමින් ඉන්නව. ගේ ඇතුලට වෙලා ඉන්නව ඇරෙන්න තව වෙනස් දෙයක් මං සමාජ මාධ්‍ය වල දකිනව. මගේ සමහර මිතුරන්ට ලස්සනට සිංදු කියන්න පුලූවන් කියල මං දන්නෙ දැන්. ගිටාර් ගහනව, චිත‍්‍රපටි බලල ඒව විචාරය කරණව, පොත් කියවල උපුටා ගැනීම් දානව, තණමල්විල කොල්ලෙක් බලල සංවාද කරණව. කොරෝනා හින්ද අපි එකිනෙකාගෙන් ඈත් වෙලා ඉන්නව කියනව ඒත් කවදාවත් නැති තරමට හැමෝම ළංවෙලා ඉන්නව කියලයි මට දැනෙන්නෙ. මැසෙන්ජර්, වට්ස් අප්, තව එක එක අලූත් ඇප් හොය හොය කට්ටිය චැට් කරණව පරණ ඉස්කෝලෙ යාළුවො, කැම්පස් එකේ යාලූවො සමහරු උන්නද මළාද දැනගන්නෙත් කාලෙකට පස්සෙ දැන්. මේ අලූත් මිනිස්සු මෙච්චර කල් කොහෙද හිටියෙ? 

ඇත්තටම මේ තමයි ඇත්ත අපි. සිංදු කියන, ගිටාර් ගහන, යාලූවො එක්ක පැය ගණන් පච හලන්න ආස ඇත්ත අපි. ඒත් කළින් අපි සිංදු කිය කිය, කයිය ගගහ හිටියනම් අපි අසාර්ථක මිනිස්සු වෙනවා. අපි හැමෝටම තිබ්බ අපේ මොකක්ද එක ඉරාගෙන පස්සෙන් එළවන්න සාර්ථකත්වයක් නැත්නම් හීනයක්. වෙලා තියෙන්නෙ ඒ හීනය වෙනුවෙන් අපිට අපිවම අතඅරින්න වෙලා. මෙතන තියෙන භයානකම දේ මේ තරම් මිළක් ජීවිත වලින් ගෙවල අපි හැබෑ කරගන්න දගලන්නෙ අපේ හීනයක්ද නැත්නම් ඇත්තටම අපිට  ඕනෙ කරණ සාරථකවත්ය කියල වර නගන දෙයක්ද? ඔයාට කොළඹ ඉදල කුරුණෑගලට යන්න  ඕනෙනම් කිසිම ප‍්‍රශ්නයක් නෑ යන්න. ඒත් ඇත්තටම ඔයාට ගාල්ලට යන්න  ඕනෙකම තියෙද්දි වෙන කාට හරි කුරුණෑගලට යන්න  ඕනෙ වෙනව, එයා ඔයාට ඒත්තු ගන්නව ඔයාට යන්න  ඕනෙ කුරුණෑගලට කියල. ඉතිං ඔයා හිතනව ඔයාට කුරුණෑගල යන්න  ඕනෙ කියල, ඔයා කුරුණෑගල යනව, අර මනුස්සය ඔයාගෙ වාහනේ එල්ලිලා එයාගෙ ගමන යනවා. මෙන්න මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. අපි අපේ ජීවිතය පුරාවට ගාල්ලට යන්න  ඕනෙකම තියෙද්දි දණගාගෙන බඩගාගෙන කුරුණෑගලය යන්න දගලනව. අපිට අදාල නැති ගමනකට ජීවිතේ කියනව.
මේ සිස්ටම් එක දුවවන්න අපේ පණ කඩන් දුවන දිවිල්ල  ඕනෙ. ලීස් කරල කාර් එකක් ගන්න ඒකෙ වාරික භාගයක් විතර ගෙවල ඉවර වෙද්දි ඒක විකූණල තව එකක් ගන්න ලෝන් එකක් දාල ලොකු ගෙයක් හදන්න, ඊලගට ඒවගෙ වාරික ගෙවන්න රැුයක් දවාලක් නැතුව වැඩ කර කර නහින්න. ඔයා මට අලූතින් ලීස් කරල කාර් එකක් ගන්න  ඕනෙ නෑ කියල තීරණය කරන තැන ලීසිං ගෙවන්න නැති හින්ද හතරෙන් පස්සෙ  ඕටී කරන්න  ඕනෙ නෑ ගෙදර ගිහින් පුතත් එක්ක කි‍්‍රකට් ගහනව කියල තීරණය කරන තැන මේ ප‍්‍රාග්ධනය ගොඩ ගැසීමේ සිස්ටම් එක අවුල් යනවා. 

දැන් එතකොට අපි මොකද කරන්නෙ? මෙහෙන්ම ගෙදරට වෙලා ඉන්නවද? වනගත වෙනවද? ඇත්තටම කාලෙකට කළින් ජාත්‍යන්තර කම්කරු දිනය නම්කරන්න හේතු වෙච්ච හේමාකට් අරගලයෙදිත් කම්කරුවන් ඉල්ලූවේ මේ දේ, ඒ කියන්නෙ ජීවිතය, ඒ කිව්වෙ පැය 08ක වැඩ දිනයක්.  අපි හැමෝම වැඩ කරන්න  ඕනෙ, ඒ අපේ ජීවිතය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එහෙම නැතුව කාගෙ හරි ලාභ ඉලක්කයක් වෙනුවෙන් නෙමෙයි. මේක නිකන් වැඩකට නැති වාමාංශික ටෝක්ස් ටිකක් කියල දැනෙනව ඇති. ඒත් අපි මේ බිත්තර කටුව ඇතුලෙ ඉන්නකන් අපි ලෝකය දකින්නේ ඒක කියව ගන්නේ මේ බිත්තර කටුවේ සීමාවන්ට යටත්ව. ඒත් අපිට ඇත්තටම ජීවිතය දකින්න  ඕනෙනම් බිත්තර කටුව කඩාගෙන එළියට එන්න වෙනවා.  ඕව කරන්න පුලූවන්ද? හීන විතරයි වගේ ගොඩක් දේවල් අපිට දැනෙන්නෙ අපි මේ බිත්තර කටුව ඇතුලෙ ඉන්න නිසා. බිත්තරේ ඇතුලෙ කොහොමත් ගොඩක් දේවල් කරන්න බැරි හීන විතරයි හැබැයි මේ ලෝකෙ හැමදාම ඉස්සරහට ගියෙ මිනිස්සු මේ බිත්තර කටුව කඩාගෙන එළියට ආපු වෙලාවල් වලයි.

මං දැක්ක කෝටිපති ව්‍යාපාරිකයෙක් අපිට මේ අර්බුදෙන් ගොඩ එන්න මහන්සි වෙලා වැඩකරන්න කියල කියනව. මට මතක්වුනේ එයාගෙ ෆැක්ටරියක උදේ ඉදන් ? වෙනකන්  ඕටී ත් එක්ක වැඩ කරල පුලූවන්නම් වෙන අහල පහල ෆැක්ටරියක නයිට් ෂිෆ්ට් එකත් ඇදල දාන මගෙ මිතුරෙක්ව. ඇත්තටම කළින් අපි කිසිම වැඩක් නොකර උඩ බලන් හිටියද? එහෙන් මෙහෙන් කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අපි ගොඩක් දෙනෙක් ජීවිතේ කියල වැඩ කරන එක තමයි කළේ. ජීවිතේම මොකක් හරි කම්පැනියකට කඹුරන එක කරගත්තු මිනිස්සු තව අමුතුවෙන් මොනව මහන්සි වෙලා වැඩකරන්නද?

දැන් ආයෙ අපි ටික ටික අපේ පුරුදු ජීවිත වලට යනව. ඒ කියන්නෙ අපි ආයෙ සිංදු කියන් නැද්ද? ගිටාර් ගහන් නැද්ද? අපිට තේරුන් ගන්න වෙනවා මැරිච්ච ශරීර හුස්ම ගන්න එකට නෙමෙයි ජීවිතය කියන්නෙ කියල. අපිට වෙනව ඒ අහිමි කරපු ජීවිත වෙනුවෙන් අරගල කරන්න. එහෙම නැත්තන් හුස්ම ගන්න ශරීරයක් ඇතුලෙ මැරෙන්න. තියෙන තත්වයත් එක්ක හෙට ලෝකය ආයෙමත් ජාතිකවාදයේ අදුරු ලෙන් තුළට ගාල්වෙලා පරණ ඇටකටු ලෙවකන්න ගනීවි. හැබැයි ඒ අතර කොමියුනිට්ස් සමාජක‍්‍රමයන් වගේ දේ ගැනත් මිනිස්සුන්ට අලූතින් හිතන්න ඉඩක් ලැබේවි. මොකද දැන් මිනිස්සුන්ට වගේම පෘථුවියටත් මහන්සි දැනිලා තියෙන්නෙ.

(රිවිහාර පින්නදුව)

Sunday, April 5, 2020

සිහිනයට වෙඩි වදින කල පේ‍්‍රමයට පියඹන්නට ඉඩදිය යුතුය


සිහිනයට වෙඩි වදින කල පේ‍්‍රමයට පියඹන්නට ඉඩදිය යුතුය


අපිට අපේ ජීවිත වල යථාර්තය සිනමාව හෝ වෙනයම් නිර්මාණයක් තුල දකින්නට එතරම් කැමැත්තක් නැත. ඒ වෙනුවට තිරය මත දිවෙන ෆැන්ටසියක් දෙස බලා සිටින්නට ආසා කරන්නෙමු. Carnival Row ෆැන්ටසිය දෙස බලා සිටින අපිට සමාජ යථාර්තයන් ඇගට පතට නොදැනී අභිමුඛ වෙයි.
සත්වයන්ගේ යම් යම් අංග ලක්ෂණ සහිත වෙනස් මනුෂ්‍යය කොට්ඨාෂයන් ජීවත්වෙන ප‍්‍රදේශයන් සතුරන් ආක‍්‍රමණය කිරීමත් සමග එම පිරිස් Burgue නගරය වෙත සරණාගතයන් ලෙසින් සංක‍්‍රමණය වන්නට වෙයි. මෙම සුළු ජාතික මනුෂ්‍යය වර්ග නගරයේ සුළු රැුකියාවන්ගේ නිරතවෙයි. ඔවුන් නිරන්තරයනේ වෙනස් කොට සැළකීම් වලට භාජනය වන අතර දිනෙන් දින එම පිරිස ඉහළ යෑමත් සමග ඔවුන්ට එරෙහි විරෝධයද උස්සන්න වන්නට වෙයි. එම අර්ධ මනුෂ්‍යයින් විරෝධී ව්‍යාපාරයන් පවා ඇතිවන අතර එම අර්ධ මනුෂ්‍යයින්ට පහරදීම්, ඝාතනයන් නගරයේ තැනින් තැන වාර්තා වන්නට වන අතර ඔවුන් අර්ධ මනුෂ්‍යයින් වන බැවින් එම ඝාතනයන්ට එතරම් අවදානයක් යොමු නොවෙයි. මේ අතර එම අර්ධ මනුෂ්‍යය කොට්ඨාෂයන් අතරද අන්තනවාදී ව්‍යාපාර ඇතිවන අතර මිනිසුන්ගෙන් වන වෙනස්කම් අර්ධ මනුෂ්‍යයන් මෙවැනි අන්තවාදී සංවිධාන වෙත වේගයෙන් තල්ලූකර දමන ආකාරය නාට්‍යය තුල හමුවන චරිත හරහා මැනවින් නිරූපණය කෙරෙයි.
නගරය තුල පියෑඹීම තහනම්ය. තටු සහිත මිනිසුන්ගේ අනෙන්‍යතාවය පියෑඹීම වන අතර නගරය තුල සිටිනවානම් ඔවුන්ට ඔවුන් නොවී වෙනත් තැනැත්තන් ලෙසින් ජීවත්වීමට බල කෙරෙයි. නමුත් තටුවක අගක මතුපිට වෙනස අභිබවා හදවත් තුල සැගව සිටි වෙනසක් නැති මනුෂ්‍යයා පේ‍්‍රමය තුලින් උපත ලබන ආකාරය Agreus හා Imogen ගේ ආදරය අපට කියා දෙයි.  
තටු තියෙන මිනිසුන්, අං තියෙන මිනිසුන් මේ කල්පිතයන් යටින් දිවෙන්නේ මෑත කාලීන යුරෝපය තුල ඇතිවූ දේශපාලන යථාර්තයි. තම දේශපාලන බලය තහවුරු කර ගැනීම සදහා පාලකයින් ජාතිවාදය යොදාගන්නා ආකාරයත් ඒ තුළ උපක‍්‍රමිකව ව්‍යාජ සතුරෙක් නිර්මාණය කරන ආකාරයත් නාට්‍යය තුළ මෙන්ම අපි අපේ ජීවිත තුලත් අත් දැක හා අත්දකිමින් සිටී. වෙනස ඇත්තේ තටු ඇති මිනිසුන් තටු නැති මිනිසුන් වෙනුවට සැබෑ ලොව එය සිංහළ හා දෙමල හෝ සිංහල හා මුස්ලිම්වීම පමණි.
නාට්‍ය පුරාවට Philo හා Vingette ආදර කතාව දිව යන අතර අතුරු කතා හා චරිත සියල්ල අවසානය වන විට ආකර්ෂණීය ලෙස එකිනෙක බැදෙයි. මනුෂ්‍යය වර්ග අතර යුද්ධයකට අවැසි වටපිටාවක් නිර්මාණය වන වාතාවරණයක පළමු කතා මාලාව අවසන් වෙයි.

රිවිහාර පින්නදුව

Saturday, March 7, 2020


හසලක ගාමිණීට තිලීපන් හම්බුන් නැති කරුමය

(තිලීපන්ට හසලක ගාමිණී හම්බුන් නැති කරුමය)


අපි කවුරුත් දන්න නමක් තමයි හසලක ගාමිණී නැත්තන් කෝප‍්‍රල් ගාමිණී කුලරත්න. තමන්ගෙ හමුදා කදවුරට එල්ලවන ප‍්‍රහාරයකදි LTTE සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය පුරවපු බුල්ඩෝසරයක් කදවුරේ ආරක්ෂක කපොලූ බිදගෙන කදවුර ඇතුල්වෙන්න උත්සහ කරනව. බුල්ඩෝසරය කදවුර ඇතුලට ආවොත් තමන්ගෙ කදවුර සතුරන් අතට පත්වෙනව කියල ගාමිණී තේරුන් ගන්නව ඔහුට තත්පර කිහිපයක් තුළ තීරණයක් ගන්න වෙනව. ඔහු බෝම්බ දෙකක් අත් දෙකට අරන් අර බුල්ඩෝසරයට පනිනව. බුල්ඩෝසරය නතරවෙනව අලිමංකඩ කදවුර බේරෙනව ඒ එක්කම ගාමිණී කුලරත්න හසලක වීරය වෙනව. ඔහුගෙ නමට සිංහලෙන් කවි සිංදු ලියවෙනව, පිළිම හැදෙනව, පහුගිය දවස්වල තාප්ප වල චිත‍්‍ර අදින ටෙ‍්‍රන්ඞ් එක වෙලාවෙ තාප්පවලත් හසලක ගාමිණීවත් ඇදෙනව. දකුණට ගාමිණී  වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.

අපි වැඩි දෙනෙක්ට එච්චරම හුරු නැති හුරු උනත් වැඩිය දන්නෙ නැති නමක් තමයි යාපනේ තිලීපන්. ඉංදු ලංකා ගිවිසුමත් සමග ඉංදියානු හමුදාවට ආරක්ෂක කටයුතු භාරදීල ලංකාවෙ හමුදාව උතුරෙ මෙහෙයුම් වලින් අයින් වෙනවත් එක්කම ඇතිවෙන ඉංදියානු හමුදාවේ ම්ලේඡ්චය හැසිරීමට එරෙහිව ඉංදියානු හමුදාව උතුරෙන් ඉවත් කරන්න බලකරමින් තිලීපන් 1987 සැත්තැම්බර් 15 නල්ලූර් කෝවිල අසළ මාරාන්තික උපවාසයක් ආරම්භකරනව. ඒක ලෙමන් පෆ් කකා කරපු ෂෝ එකක් නෙමෙයි ඇත්තම මාරාන්තික උපවාසයක්. දිනෙන් දින දුර්වල වෙමින් දින 12ක් පුරාවට මේ මාරාන්තික උපවාසය දිගහැරෙනව. කවුරුත් තිලීපන්ට තැඹිලි වතුර පොවන්න එන්නෙ නෑ. තිලීපන් තමන්ව රෝහලකට ගෙනියන්න දෙන්නෙ නැහැ. අන්තිමට තමන් විශ්වාස කල අරමුණක් වෙනුවෙන් තිලීපන් සිය ජීවිතය පුදනව. තිලීපන් නමට දෙමළෙන් කවි සිංදු ලියවෙනව, නල්ලූර් කෝවිල ගාව පිළිමයක් හදනව (2010 දි ඒක කඩනව). උතුරට තිලීපන් වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.
 ඔය වීරයො දෙන්නම සමුඅරන් දශක දෙකකට විතර පස්සෙ දවසක හැම තැනම රතිඤ්ඤා පත්තුවෙන්න ගත්තා, අපි ජාතික කොඩි අරන් අපි පාරවල් ගාණෙ දිව්වා. හංදියක් ගාණෙ කිරිබත් උයල කෑව, කැව්වා. අපේ මෙච්චරක් උන්ගෙ මෙච්චරක් මැරිල උන්ගෙ ගාණ මෙච්චරකින් වැඩියි, මතකයි අපි ගණන් හැදුව, එක වීරයෙක්වත් හිටියෙ නෑ කියන්න ඔය ඉලක්කන් ගාණට කොහෙ හරි අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුව ගිණි අරන් කියල. ගාමිණියි තිලීපනුයි වගේ හම්බෙන්න හිටපු, ආදරෙන් එකිනෙකා වැළදගන්න හිටපු මිනිස්සු කී දාහක් එකිනෙකා හමුනොවීම දෙපැත්තට වෙඩිතියාගෙන සමුගන්න ඇතිද? විජේවීරට ඇයි බැරිවුනේ ගාමිණීටයි තිලීපන්ටයි මැයි දිනේට කොළඹට එන්න කියන්න. එහෙම වුනානම් උන් දෙන්නා එකට ජාත්‍යන්තර ගීතය කියන්න තිබුණ. 

ගාමිණීල තිලීපන්ල විජේවීරල දහස් ගාණක් මේ පොළවෙ වැළලූනාට පස්සෙ අද දවසෙ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නෙ? අපි කොහෙටද යනනෙ? ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ සිරුරු දිරල පොළවට පොහොර වෙනවට වඩා ඒ මරණවලට අපිට දෙන්න පුලූවන් සාධාරණත්වයක් නැද්ද? සරළව දැන්වත් ගාමිණයිි තිලීපනුයි එක පැත්තකට ඇවිත් හරි පැත්තට වෙඩි තියන්න ලෑස්තිද? ඒ දෙන්නට එකතු වෙන්න තැනක් හදන්න විජේවීර ලෑස්තිද? උඹ මම අපිත් තිලීපන්ව හම්බෙන් නැතුවම මැරිල යන්න  ඕනෙද? විජේවීර පාර කොයි පැත්තෙන්ද? ගාමිණී වරෙන් තිලීපන්ව හම්බෙන්න යන්න.

රිවිහාර පින්නදුව

Wednesday, February 7, 2018

ජවිපෙන් ටයිම් පාස් කිරීම


ජවිපෙන් ටයිම් පාස් කිරීම


මැතිවරණය විසින් සමාජයේ සියලූම සංවාදයන් අනුභව කර ඇති මොහොතක බුකිය තුළ ඇතිවී ඇති එක් තත්වයක් ගැන ලියන්න හිතුව. ඒත් මේ සංවාද විවාද හැම මගුලක්ම මැතිවරණයේ දිග පළලට සාපේක්ෂව බුකියේ එක්තරා කවයක අපේ ආතල් අපිට ආතල් පන්නයේ දෙයක් වුවද වැදගත්කම අඩුවෙන් නෑ. පහුගිය මැතිවරණයේ වගේම මේකෙදිත් ලිබරල් බුද්ධිමතුන්, සිවිල් කි‍්‍රයාකාරිකයින් පිරිසක් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නව දකින්න ලැබෙනව. ජවිපෙත් මැතිවරණයේ තමන්ගේ ප‍්‍රධානම ආභරණය බවට පත්කරගෙන ඉන්නේ කලාකරුවන් ඇතුලූ මෙම ස්ථරයයි. මේ අදහස් ඒ හැම දෙනාටම එකවගේ අදාල නොවුණට හැමදෙනාටම අඩුවැඩි වශයෙන් අදාල වෙනව.
සමාජජාල අවකාශය ප‍්‍රමුඛව කාලෙන් කාලෙට එක එක සීසන් එනව. මේ මැතිවරණ සීසන් එකේ තමන්ගෙ අනන්‍යතාවය නඩත්තු කරගන්නෙ කොහොමද කියන එක මේ ගොඩක් දෙනෙක්ට ප‍්‍රශ්නයක් වෙනව. එතනදි පොඩි වෙනසකුත් එක්ක රැුඩිකල් ගතියකුත් ඇතුව ඒ කාලය ගෙවල දාන්න ජවිපෙ එයාලට උදව් වෙනව. හැබැයි ඉතිං එයාල දෙයියනේ කියල ජවිපෙත් එක්ක තියෙන ගැට්ට නඩත්තු කරණ ගමන් තමයි මේක කරන්නෙ. ඒකියන්නෙ ඡුන්දෙන් පස්සෙ ආයෙ අපිට කදුලූ ගෑස් කන වෙලාවක එහෙන් මෙහෙන් හරි හම්බෙන්නෙ අර පරණ ජවිපෙ මූණවල් ටික මිසක් මේ හාදයො නෙමෙයි. එයාල වගවීමක් ඇතුව ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල එයාල බලාපොරොත්තු වෙනව කියන වෙනස වෙනුවෙන් මේ සීසන් එකෙන් පස්සෙ කි‍්‍රයාකාරී වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ එයාල හොයන්නෙ මේ රැුය ගෙවල දාන්න ගෑණියෙක් මිසක් දීග කන්න බිරිදක් නෙමෙයි. අවුල තියෙන්නෙ එයාල ගෑණියෙක් එක්ක බුදියන එක ගැන නෙමෙයි ඒ ගෑණි එක්ක ඉදල හදන දරුවො දාන ඉස්කෝල ගැන හිටං අපේ හිත්වල අදහසක් හදන එකයි.
අපි මේ සමාජ ක‍්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙනවනම් අනිවාරයෙන්ම යායුතු දුෂ්කර මාර්ගයක් තියෙනව. එහෙම නැතුව විවේකෙට විනෝදෙට එහෙමත් නැත්තන් හිතේ තියෙන අවුල මැකෙන්න ඔය පුලූ පුලූවන් මොන මොනව හරි කලා කියල සමාජය වෙනස් වෙන් නෑ. නුවරටනම් යන්න  ඕනේ කදු නැගගෙන කොළඹ නුවර පාරෙ යන්න  ඕනෙ. මුහුදු හුළග වැදි වැදී ගාලූ පාර දිගේ මාතර යන එකට කියන්නෙ නුවර යනව කියල නෙමෙයි මාතර යනව කියලයි. ඒ කියන්නෙ පූර්ණ කාලීනව හැමෝම දේශපාලනය කරන්න  ඕනෙ, ඒක විතරයි දේශපාලනය කියන එක නෙමෙයි. අපි සමාජ වෙනසක් වෙනුවෙන් ගෙවන්නෙ විනාඩි පහද ඒ විනාඩි පහ රැල්ලට මාකට් වෙන්න අරින් නැතුව හරි දිශාවට ස්ථානගත කළ යුතුයි.
මේ සමාජයේ ඉදිරි පියවරයන් තියන්න වෙන්නෙ ජනතාව තමන්ගෙ දේශපාලන බලය අභ්‍යාස කරන තත්වයක් ඇතුලෙයි. ඔවුන් දේශපාලනික සවිඥාණිකත්වයකට කි‍්‍රයාකාරීත්වයකට තල්ලූකර ගන්න විදිහක් තමයි හොයන්න  ඕනෙ. එතනදි මැතිවරණත් ඒ සදහා යොදාගන්න පුලූවන් උපකරණයක්. ඒත් මේ වෙද්දි ප‍්‍රධාන පක්ෂ වල වගේම ජවිපෙ මැතිවරණ ප‍්‍රවේශය ඇතුලෙ මැතිවරණය මිනිස්සු තව තවත් දේශපාලනයෙන් ඈත් කරවන වහන්තරාවක් බවට පත්වෙලා තියෙන්නෙ. උඹල අපිට ඡුන්දෙ දීල බුදිය ගනිල්ල අපි ගේම ගහන්නම්, අපි තමා වැඬේට කියාපු පොරවල් වගේ අදහසක් තමයි මැතිවරණයෙන් මිනිස්සුන්ගෙ ඔලූවලට යවන්නෙ. මිනිස්සුත්  ඕව අපිට අයිති වැඩ නෙමෙයි අපිට කරන්න තියෙන්නෙ ඡුන්දෙ දීල චූ කරල බුදිය ගන්න එක වගේ අදහසක තමයි මිනිස්සුත් ඉන්නෙ, මේ දේවල් වලින් ඒ අදහස තව තවත් ඔලූ ඇතුලෙ පත්තියන් වෙනව.
මෙතනදි ජවිපෙත් දිගින් දිගට මේ ස්ථරයන් ඇතුලූ මැදපන්තියේ ඡුන්ද පදනම් දිනාගැනීමට වැඩ තේරීම ඇතුලෙ ඔවුනුත් දන්නෙම නැතුව අතරමං වෙන්න නියමිතයි. සරළව මේ ඡුන්දෙදි ජවිපෙ කරණ කියන දේවල් ගැන පහළ ජවිපෙ සාමාජිකයන් විමසුවොත් ඔවුන්ට ඒ ගැන අදහසක් නෑ තියෙන්නෙ ඊළග ඡුන්දෙකදි බලය ගැනීම ගැන නඩත්තු කරණ හීනයක් විතරයි.
දරුවෙක් ලබන්නනම් සංසර්ගයේ යෙදෙන්නම වෙනව, එහෙම නැතුව කොච්චර හොදට ස්වයං වින්දනේ යෙදුනත් දරුවො ලැබෙන් නෑ. ඒ හින්ද මේ වෙලාවෙ ටයිම් පාස් කර ගන්න මොකක් හරි අටමගුලක් කරන් නැතුව සමාජ වෙනසක් වෙනුවෙන් වූ විශ්වාසය සමාජයට ගෙනියන්න කැපවෙමු. දහවෙනිදට ගිහිල්ල උඩපැනල  ඕනෙ එකෙක්ට ඡන්දෙ දීගන්න ඒත් මේ දේත් හිතල බලන්න. ඡුන්දෙ කාලෙට ෆෝම් වෙලා නටන නැට්ටුවො නෙමෙයි ජීවිතය ඇතුලෙ අරගලය අභ්‍යාස කරන මිනිස්සුයි මේ වෙලාවෙ  ඕනෙ කරන්නෙ.

රිවිහාර පින්නදුව

Tuesday, February 28, 2017

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

කාලෙක ඉදන් ලියන්න කියල හිතන් උන්නු කතාවක් මේ විදිහට ලියන්න හිතුවෙ පහුගිය දවසක සගයෙක් බුකියෙ පළවෙලා තිබුණ ති‍්‍රමා හා ධම්මික පෙරේරා අතර යම් සන්සන්දනයක ස්වරූපයේ අදහස් දැක්වීමක් මගේ අවධානයට යොමුකිරීමත් එක්කයි. ඇත්තටම ඒ සටහනේ තියෙන කරුණු සාමාන්‍යයෙන් පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදයේදී එක්තරා සමාජ ස්ථරයක් වෙතින් බහුලව පැවසෙන අදහස්. නමුත් ඒ ලේඛනයට ආකර්ෂණයක් ගෙනෙන්නෙ එය ධම්මික පෙරේරා හා පද්මසිරි තී‍්‍රමාවිතාන අතර කෙරෙන සංසන්දනය නම් අලංකරණය එයට එකතුවීමත් සමගයි. මේ ලිවීමට එය පදනම් කරගන්නෙ එහි ලියුම්කරු සමග තියෙන තරහක් හින්ද නෙමෙයි. එමගින් ඒ අදහස් නිශ්චිතව පෙළගස්වා ගන්න තියෙන පහසුව හින්දයි.
මෙහි පළවෙනි කාරණය පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් මිනිස්සු ඉගෙනගෙන රස්සා කරල ජීවිතේ ගොඩදාගන්නව රටටත් සේවයක් කරණව ඉතිං ඇයි ඒ මිනිස්සු ඉගෙනගත්තම තියෙන වැරැද්ද කියන කාරණය. ඒ එක්කම ති‍්‍රමාලගෙ අරගල වගේ දේවල් නොතිබෙන්න පුද්ගලික අධ්‍යාපන අවස්ථා පුළුල් වෙලා තවත් ගොඩක් දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාගන්න තිබුණ වගේම ඒ හරහා රටට අවශ්‍යය වෘත්තිකයන් ගොඩක් බිහිකරගන්න තිබුණ කියන අදහස. නිකන් කියවන් යද්දි හිතෙනව ඇත්තනෙ කියල. මෙතනදි මං අධ්‍යාපන අර්බුදය කියන චිත‍්‍රයෙ තවත් කොටසක් දිහාට අවධානය අරන් යනව. පහුගිය කාලය ඇතුළෙ අපිට අහන්න ලැබෙනව ඉස්කෝලෙ යන්න සපත්තු නැතුව එල්ලිලා මැරුණ ළමයෙක් ගැන, ඉස්කෝලෙ තීන්ත ගාන්න පොල් හොරකම් කරන්න වෙච්ච ළමයෙක් ගැන, ගෙදට්ට හොරෙන් ඉස්කෝලෙ ඇරිල ඇවිත් අහළ පහල පිරිමි එක්ක ලිංගික ශ‍්‍රමික වෘත්තියෙ යෙදිල සල්ලි හොයාගත්ත ළමයෙක් ගැන, අළුත් පාසල් වාරයට පොත් අරන් දෙන්න සල්ලි නැතුව නිල්වලා ගගට පැන්න අම්ම කෙනෙක් ගැන මේ විදිහට දවස ගාණෙ මේ වගේ සිදුවීම් ගැන අපිට අහන්න ලැබෙනව. ආණ්ඩුව කියන විදිහට ගත්තත් පහුගිය කාල සීමාව තුළ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමයින් පනස් දහසකට වැඩියෙන් පාසල් හැර ගිහින් තියෙනව. මහත්වරුනි මේ උසස් අධ්‍යාපනය නෙමෙයි නාමිකව හෝ නිදහස් අධ්‍යාපනය තියෙන රටක මූලික අධ්‍යාපනයට අදාල ඛේදවාචකයයි. දැන් උසස් අධය්‍යාපනයේ පටන් මේ විදිහට පිළිකාවක් වගේ පැතිරිලා තියෙන අධ්‍යාපනයේ අර්බුදයට පිළියම මොකක්ද? මෙතනදි ජනපි‍්‍රය තර්කය පුද්ගලික අධ්‍යාපනය යන්නයි. නමුත් අධ්‍යාපනයේ අර්බුදයේ වැඩිම පීඩාවට පත්වෙච්ච නැතිනම් මේ අර්බුදයෙන් අධ්‍යාපන අයිතිය දරුණු ලෙසම උල්ලංඝනය වුණ සමාජ කණ්ඩායම් වෙත හැරුනොත් ඒ කිසිවෙක්ට පුද්ගලික අධ්‍යාපනය විසදුම්ක් නෙමෙයි. එහෙනම් රනිල්ල පාගමන් ගිය විදිහට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම වගේ කි‍්‍රයාමාර්ග හරහා මූලික අධ්‍යාපනයේ සිට අධ්‍යාපන අවස්ථා පුලූල් කොට අධ්‍යාපනය ලැබීම අයිතියක් ලෙසින් තහවුරු කිරීමේ අවශ්‍යයතාවය පවතිනව. මෙතනදි මගේ මූලික තර්කය වෙන්නෙ සමස්ථයක් ලෙසින් ගත්තම අපි මුහුණ දෙන අධ්‍යාපන අවස්ථා අහිමිවීමේ ගැටළුවට අධ්‍යාපනය වෙළදපල ප‍්‍රවණතාවයන්ට නිරාවරණය කිරීමෙන් උත්තර ලැබෙන් නැහැ කියන කාරණයයි.
ඒ එක්කම නැගෙන තර්කය අධ්‍යාපන අවස්ථා අහිමිවීමට සමස්ථයක් ලෙස පුද්ගලික අධ්‍යාපනයෙන් විසදුමක් ලැබුන් නැතිවුණාට යම් පිරිසකට හරි ඒකෙන් ඉඩක් ලැබෙනව, ඇයි ඒකට විරුද්ධ වෙන්නෙ කියන කාරණය. ඒ තර්කයටම එකතුවෙනව පුද්ගලික අධ්‍යාපනය තිබුණට රාජ්‍යය අධ්‍යාපනයට හානියක් වෙන්නෑ කියන මතය. මෙතනදි කියන්න වෙන්නෙ ධම්මික පෙරේරල බබාලා නෙමෙයි කියලයි. මොකද යමක් වෙළද පලට විවෘත කළාට පස්සෙ ඒක එක තැන පල්වෙන්න දෙන්න විදිහක් නෑ ඒකට පැතිරෙන්න වෙනව ඒකෙ අනිවාර්ය තත්වයක් වෙන්නෙ රාජ්‍ය ව්‍යවසායන් යටතෙ නැත්තන් ලාභ අරමුණු කරනොගත් ආයතන යටතේ තියෙන අවකාශයන් අත්පත්කර ගන්න වෙනව. පුද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෙළද පල දිහා බැලූවොත් මේක පැහැදිලි වෙනව. මුලින් සල්ලි තියෙන යම් පිරිසකගෙ තෝරා ගැනීමක් වෙච්ච ඒක අද වෙද්දි සල්ලි තිබුණත් නැතත් ගෙවල් දොරවල් උගස් කරල හරි විවිධ පරීක්ෂණ ආදියට පුද්ගලික ආයතන වෙත යන්න වෙන එක අනිවාර්ය කාරණයක් වෙලා. ඒකෙ සමාජ යථාර්තය මොන තරම් අමිහිරිද කියන එක බස් එකක කෝච්චියක ගියහම වෛද්‍ය සහතික උස්සගෙන බෙහෙත් ගන්න සල්ලි හිගාකන මිනිස්සු ගාණෙන් පැහැදිලි වෙනව. ඒ හින්ද වෙළදපල අහිංසක පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් කරන් ඉන්න එකක් නෙමෙයි. පුද්ගලික පාසල් ප‍්‍රවණතාවය හින්ද රජයේ පාසල් ස්වාභාවික මරණයන් කරා ගමන් කරමිකන් තිබෙන ආකාරය, ටියුෂන් වැනි වෙළදපල ස්වාභාවයන් හින්ද උසස් අධ්‍යාපන අවස්ථාවන් වැනි කුසලතාව මත තීරණය වන කාරණන්ගේ සමාන ප‍්‍රවේශය අහිමිවී ඇති අකාරය වගේ අධ්‍යාපනයට අදාල උදාහරණයන්ගන්ද මේ කාරණයට අදාල ඉගි දැනටමත් පළවෙමින් තියෙනව. රාජ්‍ය අධ්‍යාපනයෙන් අවම ආවරණයක් වෙන සමහර ක්ෂේත‍්‍ර ඇතුළෙ තවම ඊට අදාල වෙළදපල සම්පූර්ණයෙන් ග‍්‍රහණය කරගන්න ව්‍යාප්ත වෙන්න බැරිවෙලා තියෙන තත්වයන් ඇතුළෙ අපිට අධ්‍යාපනය වෙළද පලට විවෘත කරණ එක අවුලක් නෑ වගේ හිතුනට එතන ඉදිරියෙදි ඛේදවාචකයක් වෙන්න නියමිත අවුලක් තියෙනව.
ගෑණු ළමයෙක් ඉන්නව, එයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි. හැබැයි මුහුණ විරූපියි. දැන් මං එයාගෙ ලස්සන ඇස් දෙකට ආසවෙලා එයාව කසාද බදිනවනම් ලස්සන ඇස්දෙක එක්ක විතරක් විවාහ වෙන්න බැහැනෙ විරූපී මුහුණත් ඒ එක්කම එනව. ඒ වගේ තමයි, අධ්‍යාපන අවස්ථා සීමිතවීම නිසා පීඩාවට පත්වෙන සමහර කෙනෙක්ට පෞද්ගලික අධ්‍යාපනය නිසා අස්වැසිල්ලක් නැත්නම් ජීවිතේ ගොඩදාගන්න පාරක් හැදෙනව වෙන්න පුලූවන්. ඒත් ඒක මත පදනම් වෙලා ඒ වෙළදපල කි‍්‍රයාවලියම සුජාතකරණය කරන්න බැහැ. ඒකෙන් කියවෙන් නැහැ ඒ හරහා අධ්‍යාපන අවස්ථාවන් ලබාගන්න අයට අධ්‍යාපන අවස්ථා අහිමි වෙන්න  ඕනෙ කියල. කියන්න තියෙන්නෙ ඒ ප‍්‍රශ්නෙට උත්තරය  ඕක නෙමෙයි. හිට්ලර්ගෙ පාලන කාලෙ සිරිපාල කියල සුද්දෙක් ජර්මනියෙ හිටිය. රැුකියා අවස්ථා අහිමිකමින් සිරිපාල ගොඩක් පීඩා වින්ද. ඔය අතර හිට්ලර්ගෙ වධකාගාරයක මරණ යුදෙව්වන්ව වළදාන්න සිරිපාල ඇතුළු පිරිසකට රැුකියාව ලැබෙනව. දැන් සිරිපාලලට රස්සාවක් ලැබෙන එක අවුල්ද? නෑ ඒක නියමයි. ඒත් එහෙමයි කියල හිට්ලර්ට වධකාගාර හදන්න ඉඩදෙන්න  ඕනෙද? සිරිපාලලට රස්සා ලැබෙනව කියන කාරණට දිහා විතරක් බලල හිට්ලර්ගෙ පාලනය ගැන තීරණයක් ගන්න එක හරිද? සිරිපාලලට රස්සා ලැබිය යුතුයි ඒත් ඒ හිට්ලර්ගෙ වධකාගාර හරහා නෙමෙයි.
ඊළග කාරණය කෙටියෙන් කව්වොත් ලංකාවෙ සමාජය ඇතුළෙ වෙළදපලට විරුද්ධ මතවාදයක් තහවුරුවෙලා තියෙනව ඒ හින්ද සයිටම් අහෝසි කරනු කියන කාරණය සමාජගත කරන්න ලේසියි. ති‍්‍රමා හරහා වන ඇගවුම්කාරකය සමාජය තුළ අධිපතිමතය කියන කාරණය. ඒ අදහසට යම් මට්ටමකින් එකගවෙන්න පුලූවන් ලක්ෂණ පැවතුනත් වෙළදපලවාදය සමාජය ඇතුළෙ කිදා බැහැල තියෙන්නෙ. ඒක එහෙම නොවෙන්න සයිටම් වගේ සටනක් උස්සගන්න අන්තරයට මෙච්චර කාලයක් මෙච්චර කට්ටක් කන්න  ඕනෙ වෙන්න නැහැ. පාරවල් ගාණෙ ගුටිකකා ගමින් ගමට මිනිස්සු දැනුවත් කර කර ඉන්න  ඕනෙ වෙන්නෙ නැහැ. අද ඇතිවෙලා තියෙන මේ සංවාද හෝ කතිකාවන් මීට අවුරුදු දෙක තුනකට කළින් මේ විදිහට තිබුණෙ නැහැ. සයිටම් හරහා මතුවෙන සංවාදය වෙළදපල ක‍්‍රමය වෙනුවෙන් පෙනී ඉන්න අයට උනත් ලේසියෙන් මගහැරයා හැකි අනිවාර්ය නොවන කාරණයක්ව පැවතුනේ. නමුත් පසුගිය කාලය පුරාම අතහරින් නැතුව සමාජය වෙත කරපු අඛණ්ඩ බලපෑම ඇතුළෙයි මේ වගේ කතාබහක් පවා ඇතිවෙන්න බලපාන තත්වයන් ගොඩනැගෙන්නෙ.
ඇත්තටම ආගම්වාදී ඇදහීමක් මේ මොහොතේ පවතින්නේ වෙළදපල ක‍්‍රමය සම්බන්ධවයි. අද පවතින් වෙළද සමාජයෙන් එහාට වූ සමාජ පැවැත්මක් නැහැ කියන වෙළදපල සම්බන්ධ අනුරාගී බැතිමත්භාවයකින් වැඩකරණ මිනිසුන්වයි අපි දකින්නෙ. අධ්‍යාපනය අයිතියක් ඒක වෙළදපලට විවෘත කරන්න බැහැ කියල කියද්දි කොහොමද එහෙම කියන්නෙ වගේ අදහසක් එක පාරට නැගෙන්නෙ ඒකයි. මේ සියල්ල කරන්නෙ දෙවියන් වහන්සේ එතනින් එහාට දෙයක් නැහැ වගේ ප‍්‍රශ්න කිරීමකින් තොරවයි මේ ක‍්‍රමය පිළිගන්නෙ වගේම ඊට වඩා වෙනස් ක‍්‍රමයක් ගැන අදහස් ප‍්‍රතික්ෂේප කරන්නෙත්. මේක හොදට කිරල මැන ගන්න පුලූවන් තැනක් තමයි අපි පොඩි ළමයින්ට ලොකු උනහම කවුරු වගේද වෙන්න කියන්නෙ කියන කාරණයෙන්. ඉස්සරම ගමේ ඉස්කෝලෙ මහත්තය, වෙද මහත්තය වගේ චරිත පරමාදර්ශවුණා. එවගෙ සමාජ පිළිගැනීම වගේ කාරණයන් එක්ක ඒ අදාළ පුද්ගලයින්ට ආරෝපණය කරපු යම් යම් මානවීය ගුණයන් තිබුණ. ළමයින්ට බල කෙරුනෙ ඒ වගේ කෙනෙක් වෙන්න. ඒත් අද දොස්තර කෙනෙක් වෙන්න නැත්තන් ඉංජනේරුවෙක් වෙන්න හරි වෙන මොකෙක් හරි වෙන්න හරි කෙරෙන බල කිරීම පිටිපස්සෙ තියෙන්නෙ අදාල වෘත්තිකයන්ට අදාල මානවීය ගුණයන් හරි වෙන මොකක් හරි නෙමෙයි ඒ අය සමාජයෙ අනිත් අයට සාපේක්ෂව වෙළද භාණ්ඩ වැඩියෙන් පරිභෝජනය කරණව. ඉතිං අරය වගේ වෙන්න මෙයා වගේ වෙන්න, එයානම් හරිම සාර්ථක මනුස්සයෙක් මේ වගේ කතා හැම එකක් පිටිපස්සෙම තියෙන්නෙ වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කරණ මිනිහෙක් වෙන්න කියන කාරණය. ඒ අනුව ජීවිතේ සතුට අරමුණ මේ හැමදේම වෙන්නෙ පුළුවන් තරම් වෙළද භාණ්ඩ පරිභෝජනය කරණ එක. පුළුවන් තරම් නැහිල ඉගෙනගන්නව කියල වෘත්තීය සුදුසුකම් හදාගෙන රැුයක් දවාලක් නැතුව නැහිල හම්බකරල පුලූවන් තරම් භාණ්ඩ ගොඩගහගන්න කියන වෙළද පලට අවශ්‍යය මනුෂ්‍යයව හදන කි‍්‍රයාවලියෙන් බැහැරට ඒ ජීවිත වල මොනවද තියෙන්නෙ? නව යොවුන් ගෑණු ළමයෙක්ගෙ තමන්ගෙ අනාගත ස්වාමිපුරුෂයා ගැන තියෙන චිත‍්‍රය ගත්තොත් ඒක සමාන වෙන්නෙ ධම්මික පෙරේරගෙ ස්වරූපයකට මිසක් ගෙවුණු බාට දාන වේලිච්ච තීන්ත පැල්ලම් වලින් අවපැහැවුණු අත් තියෙන ති‍්‍රමාට නෙමෙයි.
වෙළදපල ක‍්‍රමයේ බැතිමතුන්ට කියන්න තියෙන්නෙ ඒ මවන ස්වර්ගය වෙළදපල ක‍්‍රමයේ ශුද්ධවූ භූමීන් තුළ පවා පහුගිය දශකයක පමණ කාලය තුළ ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න අරන් තියෙන්නෙ. අසූව දශකය අග භාගයේ ඔබ විසින් අතුගා දමන ලද වාමාංෂික මිථ්‍යාදෘෂ්ඨික අවතාර වෙනස්වූ ආකෘතීන් හා ස්වරූප සොයමින් මතුවෙන්න අරන් තියෙනව. ඒ නිසා ඉතිහාසයේ ඒ තනි අශ්වයාගේ තරගය එය විසින්ම නිමාකරගනිම්න් ඇත. අන්තිමට ව්‍යතිරේඛ සාමාන්‍යකරණය කිරීම හරහා ඔප්පුවෙන මොකුත් නැහැ. ධම්මික පෙරේරා කියල සාමාන්‍ය මනුෂ්‍යයෙක් මේ වෙළදපල ඇතුළෙ ගේම ගහල සාර්ථකවෙද්දි ඒ එක මනුස්සය පිටිපස්සෙ ඒ ගේම ගහල කෙළ වෙලා වකුගඩුවත් විකුණන්න වුන සෝමදාසල, තමන්ගෙ අකමැත්තෙන් රැුයක් දවාලක් නැතුව තැන තැන එක එක මිනිස්සු එක්ක බුදියන්න වෙච්ච සෝමලතාල සිය දහසක් ඉන්නව කියන යථාර්තය අපිට මගහරින්න බැහැ. ධම්මික පෙරේරලගෙ පැවැත්ම රදාපවතින්නෙ මේ ගේම ෆේල් වෙන සෝමදාසල, සොමලතාල මත. එහෙම නැත්නම් ඒ මවන රූපය අනුව මහන්සිවෙලා පිස්සු කෙළින් නැතුව ගේම ගැහුවොත් මේ රටේ මිලියන 20ටම ධම්මික පෙරේරල වෙන්න පුලූවන් වෙද්දි රටේ ගැරඩින්ට පිහාටු එනවලූ. ඒ කාලෙට අහසෙ ලවක් දෙවක් නැතුව ගැරඩි පියාඹනවලූ. ඇත්තමයි... සත්තයි... නෙවිල් ප‍්‍රනාන්දු පල්ලා...

(රිවිහාර පින්නදුව)

Saturday, November 26, 2016

සයිටම් ජාතිවාදියෝ

සයිටම් ජාතිවාදියෝ


ජාතිය කියන්නෙ එක්තරා අනන්‍යතාවයක්. හුදෙක්ම ජනවර්ගයක් පමණක් නෙමෙයි ආගම්, කුලය, ප‍්‍රදේශ මේ ආදී විදිහට වෘත්තීන් තුළ දක්නට ලැබෙන ස්වාභාවයන් දක්වා විවිධ ස්වරූපයන්ගෙන් විවිධ තලවල මේ තත්වය අපිට දකින්න පුලූවන්. මෙහිදී අදාළ කණ්ඩායමට විවිධ පොදු අනන්‍යතාවයන් පවතිනවා. කතා කරණ භාෂාව, අදින පළදින විදිහ, ආහාර, සිරිත් විරිත් මේ ආදී විදිහට එම අනන්‍යතාවයන්ගේ ස්වරූපය පවා විවිධයි. ආසියානු පසුගාමීත්වයන්ද පවතින ලංකාව ඉංදියාව වැනි සමාජවල මෙවන් ප‍්‍රවණතාවයන් වැඩියි. ඒ වගේම නවලිබරල්වාදයේ ව්‍යාප්තියත් සමගම සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදය වැනි කරුණු එක්ක යම් මට්ටමකින් ලිබරල්වාදය විසින් මෙවැනි ප‍්‍රවණතා නැති කරණවා වැනි මතයක් පැවතියත් එක් මට්ටමකින් එහාට එයම එය පෝෂණය කරණ ආකාරය හදුනාගන්න පුළුවන්. මීට බලපාන ආර්ථික හේතූන් ආදිය ගැනත් ඒ ගැන තේරුම් ගැනීමේදී අවදානය යොමුකරන්න අවශ්‍යයයි. ජනපි‍්‍රය පාසල්වල බිග් මැච් සමයේ හා ඒ ආශි‍්‍රතව නඩත්තුවෙන මනෝභාවයන්, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක හෝ  එවැනි වෙනත් පීඨයක ශිෂ්‍යයාවක් සාමාන්‍යයෙන් කලා පීඨයේ ශිෂ්‍යයෙකු සමග පේ‍්‍රම සබදතාවක් ඇතිකර නොගැනීම, කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමය අවකාශයන් තුළ ඉංග‍්‍රීසි උගත් නාගරික බුද්ධිමතුන්ගෙන් බාහිර අයෙකුගේ මතවාදයන් කෙරෙහි දක්වන හෙළා දකිනා ස්වරූපයේ නොසැළකිල්ල මේ ආදී බොහෝ හැසිරීම් අපිට මෙහිදී මෙම එකම මූලයක් සමග සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති ආකාරය හදුනාගත හැකිය. ආස්වාදනීයම කාරණය මෙම එක වර්ගයක ජාතිවාදයක් ප‍්‍රතික්ෂේප කරණ එය නැති කිරීමට තීරණාත්මකව මැදිහත්වෙන පිරිස්ම තවත් තැනක ජාතිවාදයේ වෙනත් ස්වරූපයකින් ආතුරවීමයි.
පසුගිය සමයේ ගොඩනැගුනු මුස්ලිම් විරෝධී සිංහළ බෞද්ධ අන්තවාදයට එරෙහිව ප‍්‍රගතිශීලීව මැදිහත්වූ මගේ මිතුරෙක්ම පාසලේ ක‍්‍රිකට් තරග හෝ වෙනයම් අවස්ථාවන්ට අදාළව නඩත්තුවෙන අනිත් අය මොක්කුන්ද අපි තමයි පොරවල් පන්නයේ මනෝභාවයට ගොදුරුවීම හා එය නඩත්තු කිරීමට දායකවීම, සමාජ තත්වයන් හා ආර්ථික කරුණු මත වෙනස් කොට සැළකීමට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ පෙනී සිටින මගේ මිතුරෙක්ම බොදු බල සේනාව වැනි සංවිධාන වල මතවාදයන් නියෝජනය කිරීම, ශිෂ්‍ය සංගමය මගින් පෙන්වන චිත‍්‍රපටයක් නරඹා ඒ තුළින් මතුවෙන අතීත සමාජයේ කුල පීඩනය ගැන කතා කරණ වෛද්‍ය පීඨයේ මගේ මිතුරියකට කලා පීඨයේ සොයුරෙකුගේ පෙම් ඇරයුම විහිළුවක් වීම ආදී අපිට ජීවිතයේ හමුවෙන බොහෝ එකිනෙකට පරස්පර හැසිරීම් අප තේරුම් ගතයුත්තේ මේ අනුවය. මෙහිදී අප සියල්ලන් එකම මඩගොහොරුවක විවිධ තැන්වල එරී අනෙකා මඩ නාගෙන සිටිනු බලමින් සිනහසෙන තත්වයක් නිර්මාණයවී ඇත. ඒ අනුව එක් අවස්ථාවක යම් අන්තවාදයකට විරුද්ධව පෙනී ඉන්නා අයෙකුගේ මැදිහත්වීම ඔහු වෙනත් තැනක වෙනත් ස්වරූපයක අන්තවාදයකට එකගවීම තුළ නිශේධවී යයිද?
එලෙස පාරිශුද්ධ මැදිහත්වීමක් පමණක් වලංගුවන්නේනම් එවැන්නක් කළ හැක්කේ ආගම් වල හමුවෙන දෙවියන් වහන්සේ කෙනෙකුට හෝ අරහත් තත්වයට පත්වූ කෙනෙකු වැනි අයට පමණක් වනු ඇත. එබැවින් යම් අයෙකුගේ එවැනි මැදිහත්වීමක් අප භාරගත යුතු අතර නැවත වෙනත් තැනකදී ඔහු සම්බන්ධවන ජාතිවාදයකට අදාළව ඔහුට විරුද්ධ අන්තය ගැනීමටද අපිට සිදුවනු ඇත. එලෙසම අනෙක් අයෙකුගේ එවැනි අන්තවාදයකට විරුද්ධවීම තුළ ඔහුට ඔහු තුළ සිටින අන්තවාදී යක්ෂයන් හා සටන් කිරීමට ඔහුටද සවිය ලැබෙනු ඇත. එසේම මෙම විවිධ ජාතිවාදයන්ගෙන් ජනනයවන සමාජමය හානිය විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට අදාලව වෙනස් වෙයි. 83 කළු ජූලියට ආසන්න කාල සීමාව තුළ සිංහළ දෙමළ ජාතිවාදයන් තීරණාත්මක විය. පසුගිය ආසන්න කාල සීමාව තුළ මතුවූ තත්වයන් තුළ සිංහළ මුස්ලිම් ජාතිවාදයන් තීරණාත්මක විය. සියළු අකාරයේ එවන් ජාතිවාදයන්, අන්තවාදයන්ට එරෙහි වන අතර එවැනි සුවිශේෂී තත්වයන්ට අදාල අපගේ මැදිහත්වීම අපට තීරණය කිරීමට සිදුවනු ඇත.
මුදල් මත පදනම්ව සමාජයේ ස්ථරයන් අතර ඇතිවන වෙනස් කොට සැළකීම් හුදු ජාතිවාදයකට ගොනු කිරීම ලියුම්කරුට ගැටළු සහගතය. නමුත් ඒ තුළත් අප පෙර සදහන් කළ ජාතිවාදමය ස්වරූපය පවතින බැවින් ඒ පිළිබදව මූලික අවධානය යොමු කරමි. සයිටම් වගේම භීඊඵ වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ටද අදාළව තියෙන කාරණය තමයි නිශ්චිත ආදායම් මට්ටමක් පෙන්නල ඒ සීමාවට උඩ අයට විතරක් එන්න දෙන එක. මේක අසාධාරණයි කියල කිව්වහම සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ වෙන්නෙ දුප්පත් අයට යන්න රජයේ විශ්වවිද්‍යාල  ඕන තරම් තියෙනවනෙ සල්ලි තියෙන අයට යන්න ඒ වගේ ඒව තිබ්බම මොකද?, රජයට හැමෝටම උසස් අධ්‍යාපන අවස්ථා දෙන්න බැහැ ඉතිං ඒකට පුද්ගලික ආයෝජකයන්ගෙ උදව්වත් ගන්න  ඕනෙ වගේ උත්තර. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම යන කාරණයත් එක්ක ඔය කාරණයන්ගෙ යථාර්තය ගැන මේ ලිපියෙ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මේ සාකච්ඡුාව ඇතුලෙ එක් කාරණයක් මතුකරන්න උත්සහ ගන්නව. නිකමට හිතන්න උසස් අධ්‍යාපන අවස්ථා සීමිත හින්ද රජය විශ්වවිද්‍යාලයක් හදල ඒකට එක ජාතියක අය විතරක් හරි ආගමක අය විතරක් එන්න කිව්වොත් ඒක සාධාරණ වෙයිද? අනිත් ආගම් වල අයට නැත්තන් ජාතීන් වල අයට පොදුවේ යන්න වෙන විශ්වවිද්‍යාල තියෙන්නෙ එහෙම එකේ මෙහෙම එකක් හදල ඒ මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න දුන්නට මොකද? වගේ දෙයක් උත්තරයක් විදිහට අපිට භාරගන්න පුළුවන්ද? විශේෂයෙන්ම පාලකයින් ප‍්‍රතිපාදන කප්පාදු කරල පොදුවේ අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාවන් තව තවත් අහිමි කරණ තත්වයක එහෙම විශ්වවිද්‍යාලයක් හැදුවොත් මොකක් වෙයිද? අදාල ජාතියේ ජාතිවාදී ස්ථරයන් හැරෙන්න හැමෝම කියයි උසස් අධ්‍යාපන අවස්ථා සීමත වෙන එකේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ ජාතියෙ අයට විතරක් නෙමෙයි හැමෝටම. අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවල ඒ අවස්ථාවන් පුළුල් කරන් නැතුව එක ජාතියක අයට විතරක් යන්න විශ්වවිද්‍යාල හදන එක වැරදියි. ඒවට හැමෝටම යන්න ඉඩහදල දෙන්න කියල.
අපිට අර කළින් කතා කරපු ජාතිවාදයන්ගේ විවිධ ස්වරූප අතර ගැටුම හම්බෙන්නෙ මෙතනදි. කළින් කිව්ව කල්පිත විශ්වවිද්‍යාලය හැදුවොත් ඒකට විරුද්ධව මරාගෙන මැරෙන්න ලෑස්තිවෙන සමහර අයට භීඊඵ එකේ මුදල් සීමාවක් දාල එක්තරා ස්ථරයකට විතරක් එන්න කියද්දි ඒක මාර වැඩක් වෙනව, සයිටම් එකට විරුද්ධ වෙන එක පසුගාමී කුහකයන්ගෙ වැඩක් වෙනව. (දැන් ඉතිං ලක්ෂ අටේ ශිෂ්‍ය ණය තියෙන හින්ද හැමෝටම සමාන අවස්තා තියෙනව වැනි ව්‍යවහාර භාෂාවේ ගොන් ජෝක් වලින් මෙයට පිළිතුරු නොලැබෙනු ඇත) NSBM එකේ වෙළද දැන්වීමක එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පහසුකම් ගැන විස්තර දකිද්දී මට මතක්වූයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල සහෝදරයින් කොරිඩෝවල පවා මෙට්ට පැදුරු එළාගෙන රැය ගතකරණ ආකාරයයි. ආර්ථිකමය සාධක මත සමාජ කණ්ඩායම් දෙකකට කරණ වෙනස් කොට සැළකීම මෙමගින් පැහැදිලි වෙයි. (එහෙනම් අධ්‍යාපනය විකුණන එකට විරුද්ධ නොවී ඒවට වැඩිපුර පහසුකම් ඉල්ලූවහම හරිනෙ වැනි අදහසක් හිතට නැගේනම්, පිලිතුර අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමෙන් ඇතිවන අර්බුදය සම්බන්ධ සංවාදයන් තුළ හමුවෙනු ඇත. මෙම ලිපිය තුළ අධ්‍යාපනයේ අර්බුදය නොව සමාජය තුළ ඇති මුදල මත වෙනස් කොට සැළකීම ගැන අවධානය යොමු කරයි)
අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු හැම කාරණයක් තුළම මෙම වෙළද පල සමාජය තුළ මුදලේ ජාතිවාදය කි‍්‍රයාත්මක වෙයි. එහි හැඩය තේරුම් ගැනීමට මෙවර අයවැය සියුම්ව නිරීක්ෂණය කිරීම ප‍්‍රමාණවත් වෙයි. එය ආර්ථිකය හසුරුවන වෙළද පැලැන්තියක් මත පදනම්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙටි කාලීනව හා දිගුකාලීවනව තෘප්ත කිරීම පදනම් කරගනිමින් ගොඩනැගී ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට මුං ඇටවල මිළ අඩු කරණවා වැනි ලොලි පොප් ලබාදී ඇත. ඒ අර්ථයෙන් මෙය ජාතිවාදී අයවැයකි. යම් මූල්‍ය ශක්‍යතාවයක් සහිත ස්ථරයක් වෙනුවෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගා අපි අධ්‍යාපන අවස්ථා පුළුල් කරණවා යැයි බෙරිහන් දෙන අතර සමාජයේ සාමාන්‍ය ස්ථරයන්ගේ පිරිස් උසස් අධ්‍යාපන සම්මත අවස්ථාවන් අහිමි වන විට එයට විකල්පයක් ලෙස භාවිතා කරණ බාහිර උපාධි අවස්ථාවන් කප්පාදු කරයි. පහුගිය කාලයේ ආණ්ඩුවෙන් යෝජනා වුණු මන්දිර බද්ද, සුපිරි වාසි බද්ද වැනි බදු ආණ්ඩුව හකුලා ගන්නා අතර අගමැතිවරයා විසින් එයට හේතුව ලෙස දක්වන්නේ විවිධ පිරිස් එයට විරුද්ධවූ නිසා එය අහෝසි කළ බවයි. අපි එම බදු අහෝසි කරන්නට කළ එකදු උද්ඝෝෂණයක්, පාගමනක් දුටුවේ නැත. එසේවත් නොකර අගමැතිවරයාගෙන් කරණු ලැබූ හුදු ඉල්ලීමකින් ඔහු එය අහෝසි කර ඇත. දැන් මට මතක්වන්නේ සරසවි ඉදිරියේ මාස ගණනක් තිස්සේ තියෙන සත්‍යග‍්‍රහයන්ය, සයිටම් අහෝසි කිරීම හා අධ්‍යාපනය විකිණීමට එරෙහි පාගමන් හා ඒවාට එල්ලවූ ප‍්‍රහාරයන්ය, එවායේදී තුවාල ලද සොයුරන් හා සිරගතවූ අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සොයුරන්ය. ඔවුන්ගේ ඉල්ලීම් වලට අගමැතිවරයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ශිෂ්‍ය නායකයින්ට  ඕනෙ විදිහට නටන්න ලෑස්ති නෑ කියමිනි. එම විරෝධය ගොනු වන්නේ සමාජයේ පොදු ජනයාගෙනි නැත්නම් එක් ස්ථරයකිනි. මන්දිරබදු විරෝධය එන්නේ තවත් සුළුතර ස්ථරයකිනි. අගමැතිවරයා තමන් නටන්නේ කාගේ උවමනාවන්ට අනුවද යන්න අපට පැහැදිලි කරදී ඇත. මේ අනුව මුදල් මත පදනම්වූ සමාජයේ විවිධ ස්ථරයන්ට වෙනස් කොට සැළකීමේ ජාතිවාදයක් කි‍්‍රයාත්මකවෙයි. එම ස්ථරයට අවැසි ලෙස සියල්ල තීරණය වෙයි. සයිටම් අර්බුදය තුළද තවත් බොහෝ දෑ අතර මේ ජාතිවාදයේ ස්වරූපයන් අපට හදුනාගත හැකිය. ඉතිං අද දවසේ දේශපාලනයේ ප‍්‍රගතිශීලීත්වය මනිනුයේ ස්පාටකස් ටෙලිනාට්‍ය මාලාව නරඹන අතර තුර වහල් හිමියන්ට බැනීමෙන් හෝ රොබින් හුඞ් නරඹන අතර ෂෙරීෆ්ලාට බැනීමෙන් නොවන අතර මුදල් මත පදනම්වූ මෙකී ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්නා මට්ටම අනුවය.

( රිවිහාර පින්නදුව )

Monday, October 17, 2016

වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


අපේ ආච්චි අම්මා පොඩි කාලෙ මට වෛද්‍යවරයෙක් වෙන්න කියල කිව්වෙ එහෙම උනොත් රස්සාව කරණ ගමන් පිං කරන්නත් පුලූවන් කියල. හැබැයි ඒ ආච්චි අම්මම අන්තිම දවස්වල රෝහලේ නවත්තන්න ගියහම මුලින් වාට්ටුවෙ වෛද්‍යවරයගෙ පුද්ගලික ප‍්‍රතිකාර කරණ තැනට ගිහින් සල්ලි ගෙවල කථා කරල ඊළගට තමයි රෝහලට ඇතුලත් කරන්නෙ. නැත්තන් හොදට බලන්නෙ නැහැලූ. පිං කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ මව්පියන් සිහිකරන අයනම් එම වාට්ටුවේදී මට හමුවිය. වෛද්‍යවරුන්ගේ භූමිකාවේ හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටළුව ගැන සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමතුන් යැයි හදුන්වන පිරිස් ටොකු අනිමින් පවසන්නට අවැසි නැත. එය ඔවුන් අත්දැකීමෙන්ම දනී. වෛද්‍යවරුන්ගේ මෙවැනි තවත් බොහෝ අඩුපාඩු ගැන සංවාදය ඇරඹෙන්නේ සයිටම් අහෝසි කිරීමේ අරගලය තීව‍්‍රර වීමත් සමගය. මේවන විට සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරුන් පිළිබදව සමාජයේ ඇති මෙම අදුරු චිත‍්‍රයට මුවාවෙමින් සයිටම් විරෝධී අරගලයෙන් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීමේ කුමන්ත‍්‍රණයකි. අප එය නිවැරදිව කියවා ගත යුතුව ඇත.
සල්ලි තියෙන අයට යන්න පුද්ගලික රෝහල් තිබුණට මොකද වැනි අදහසකින් ආරම්භවී අද වන විට සල්ලි තිබුණත් නැතත් විවිධ පරීක්ෂණ හා තවත් බොහෝ දේට පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවී ඇත. එය අපේ රටේ සෞඛ්‍ය අංශවල කරේ තබා නිදහස් වෙන්නට උත්සහ කළද වෙළද පල ක‍්‍රමය තුළ යථාර්තය මෙය බව ලෝකයම සාක්ෂි දරයි. එවැනි ක්ෂේත‍්‍රයක වෘත්තිකයන්ද එහි ගොදුරු බවට පත්ව ලාභය පසු පසම එළවන තැනට වැටීම පුදුම වීමට දෙයක් නොවෙයි. කවුරුන් හෝ එහි වැරැුද්දක් දකීනම් කළ යුත්තේ මෙවැනි දොස්තරලා අපේ සල්ලි වලින් බිහිවෙනවට වඩා එයාලම ගෙවල හැදුනම හොදයි, ප‍්‍රයිවට් ෆැක්ටිස් හොදයි ප‍්‍රයිවට් කැම්පස් තමයි නරක මුන්ගෙ කුහකකම සයිටම් එක වහන්න හොද නැහැ වගේ කතා කියමින් සිටීම නොව කළ යුත්තේ සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් බවට පත්වීම නිසා තමන් අත්විදින යථාර්තය හෙට දවසෙ ඒ විදිහට අධ්‍යාපනයට අදාලව අත්විදින්න වෙන්න දෙන් නැතුව සයිටම් එකටත්, අධ්‍යාපනය යම් පිරිසකගේ ලාභය වැඩි කරණ මාර්ගයක් කරගන්න ඉඩ හදන පාලකයන්ගෙ ප‍්‍රතිපත්තියටත් විරුද්ධවෙන එකයි.
වෛද්‍ය පීඨයක ඉගෙන ගන්නා මගේ මිත‍්‍රයෙක් සරසවියට ගිය අළුත දිනක් පැවසුවේ ”අපේ බැජ් එකේ ඩොක්ටර්ස්ල වෙන්න ආපු තුන්දෙනෙක් ඉන්නවා” කියාය. වෛද්‍ය පීඨයකට වෛද්‍යවරයෙක් වීමට හැර වෙන ඇතුල්වීමට හේතුවක් නැති බැවින් එය විමසද්දී ඔහු පැවසුවේ අනෙක් සියළු දෙනාම  ඕලෙවල් හොදට පාස් හින්ද හැමෝම තෝරගන්න නිසා ජීව විද්‍යාව තෝරගත්ත අය බවය. වෙනත් විෂයන්ට වෘත්තීන්ට කැමැත්තෙන් සිටි එනමුදු සමාජීය තෙරපුම නිසා වෛද්‍යවරයන් ඉංජිනේරුවන් වීමට යොමුවූ බොහෝ දෙනෙකු අපිට මුණ ගැසෙයි. තරගකාරී අධ්‍යාපනය තුළ සිසුවෙකුට තම ළමා කාලයේ සෙල්ලම් බත් උයන එක පැත්තකින් තබා අමතර පංති යාමට සිදුවේ. යොවුන්වියේ ආදර සබදතා වැනි දේ පසක තබා දිවා ? පාඩම් කිරීමට සිදුවෙයි. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ පිටුපස කලාතුරකින් අයෙකුට හැර මෙවැනි අහිමිවූ දෑ බොහෝය. එසේම සරසවිය තුලද ආතතිකාරී ඉගෙනුම් කි‍්‍රයාවලියක් පවතින අතර සිසුන් සියදවි නසාගැනීම වැනි තත්වයන් කරා පත්වන්නේ හේතු රහිතවම නොවෙයි. මෙහිදී තමන් ස්වාභාවයෙන් කැමති විෂයන් වෘත්තීන් අතහැර මේ විෂයන් වෙත යොමුවන සිසුන්ගේ පීඩාව අධික වෙයි. අවසන රැුකියාවට පැමිණි කල වෛද්‍යවරයෙකුවීමේ ආසාව නැති බහුතර ශිෂ්‍යයින් රෝගීන්ට ප‍්‍රතිකාර කර ආස්වාදයක් නොලබන අතර එම තැනට පැමිණීමට ඔවුන් ජීවිතේ බොහෝ දේ ගෙවා දමා ඇති තත්වයක් තුළ ඉවක් බවක් නැතිව මුදල් සොයමින් තම සිහින තුළ මවා ඇති ලොකු ගෙයක් හොද කාර් එකක් පසුපස ඔවුන් ඉබාගාතේ දිවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එලෙසම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පඩි වැඩි කරණ විට එහෙමනම් පඩි අතර පරතරය තියාගන්න අපෙත් වැඩි කරන්න  ඕනෙ වගේ තර්කයන් ඔවුන් වෙතින් ගොඩනැගීමද අපට තේරුම් ගත හැකිය. මන්දයත් ජීවිතයම කැපකොට තමාට අදාල නොවන, තෘප්තියක් නොලබන වෘත්තියකට ඇතුල්වීමට බලකෙරුණ ඔවුන් එවැනි සමාජයේ විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වීම සිතාගත හැකිය. එසේ නොවේනම් ඔවුන්ට තමන්ගේ ජීවිතේ සාදාගත් රිත්තකයන්ට පිලිතුරක් නොලැබෙනු ඇත.
දැන් මේ අර්බුදයට විසදුම කුමක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සමගම කියන සටන් පාඨයක් වන අධ්‍යාපනයේ නිදහස යන්න තුළ මීට පිලිතුරු ඇත. එම සංවාදය තවම සමාජය වෙත ගෙන ඒමට හැකියාව ලැබී නැත. ඒ පිලිබදව මේ ලිපියේම කතා කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. කෙසේ නමුත් එම එකදු කාරණයකටවත් විසදුම සයිටම් එකට ඉඩදීම හෝ අධ්‍යාපනයට වෙළද පලට විවෘත කිරීමෙන් නොලැබෙන බවත් එමගින් අර්බුදය තවත් සංකීර්ණ වන බවත් අප පැහැදිලි කරගත යුතුය. වෛද්‍යවරුන්ට පාඩමක් උගන්වන්නට සයිටම් එකට ඉඩදිය යුතු බවට එන තර්කයේදී මෙලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්වීමෙන් පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ස්ථරයන්හි ජනතාවය. බොහෝ විට වෛද්‍යවරුන්ට කෙලෙස හෝ මේ අධ්‍යාපනයට නියම වෙන මිළ ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. සයිටම් වැනි ආයතන සාදා පුලූවන් තරම් වෛද්‍යවරුන් බිහිකර වෛද්‍යවරුන්ගේ සංගමයේ ආධිපත්‍ය බිදදැමිය යුතුයැයි යමෙක් සිතයිනම්, එලෙස බිද දැමුවත් එහි වැඩවසම් ලක්ෂණ අවම වී නවලිබරල් නරුමත්වය එම වෘත්තියට දැනටත් වඩා රිංගන එක හැරෙන්නට එමගින් ප‍්‍රගතිශීලී වෙනසක් ඇතිවේ යැයි බලාපොරොත්තු තැබීම විහිළුවකි. ඉංදියාව වැනි අපට සමාන ආර්ථික හා සමාජීය තත්වයන් ඇති රටක තත්වය මෙහිදී අවධානයට ගත හැකිය. වෛද්‍යරුන් සමග පවත්නා තරහකට ඔවුන්ට ටොක්කක් ඇනීමට අධ්‍යාපනයට මෙතරම් හානියක් වන තීරණයකට එළඹිය යුතුද යන්න සිතා බැලිය යුතුය.
එසේනම් මෙම වෙද බමුණු කුලය බිද දමන්නේ කෙසේද? අධ්‍යාපනය සිල්ලරට විකුණන්නට ඉඩදීමෙන් එය සිදුනොවේ. එය සිදුවිය යුත්තේ වෛද්‍ය වෘත්තිකයින් තුළින්මය. ඔවුන් සමග කරණ දේශපාලනයක් හරහාය. එය සරළව මෙසේය, අද වන විට පුද්ගලිකව වෛද්‍ය සේවාවන් සැපයීම පිළිබදව වෛද්‍ය පීඨ තුළ සංවාදයක් ඇතිවී ඇත. නිදහස් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොකළ යුතුයි කියන අප සෞඛ්‍ය වෙළදපලකරණයේ දංගෙඩියට දැක්වීමට දායකවීම යුක්ති සහගත නොවන බවට ඔවුන් අතර සංවාදයක් ඇතිවෙමින් ඇත. හුදු වෛද්‍ය සිසුවාගේ අනෙන්‍යතාවයෙන් ඔබ්බට ගිය දේශපාලනිකව දියුණු සහෝදර සහෝදරියන් වෛද්‍ය පීඨ තුලින් බිහිවෙමින් ඇත. මෙම සහෝදර සහෝදරියන් හෙට දින සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් කිරීමටද එරෙහිව පෙනී සිටිනු ඇත. වෙනත් ශ්‍රේණි වල පඩි වැඩි කිරීමේ අරගලයන්ට එරෙහි නොවනු ඇත. සෞඛ්‍ය වෙළද මාෆියාවන්ගෙන් ගළවා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් විසින් පවතින වෙද බමුණු කුලය බිද දමනු ඇත. සත්‍ය ලෙසම එය බිද දැමිය යුත්තේ එලෙසය. ඒ සදහා වෙද සිසුන් සමග උරනුර ගැටී කරණ දුෂ්කර දේශපාලන අභ්‍යාසයක් අපට ඇත. එය පත්තරයකට ලිපියක් ලියනවා, සම්මන්ත‍්‍රණයක කතාවක් කරණවා වැනි පහසු දෙයක් නොවනු ඇත. එනමුදු සැබෑ විසදුම ඇත්තේ එතනය.

(රිවිහාර පින්නදුව)
දේශය
2016.09.18


Thursday, July 16, 2015

ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


අහන්බෙන් ඇස ගැටුණු මෙම පෝස්ට් එකක් හා එහි වූ කමෙන්ට් තුළින් වමට ඉගෙන ගතයුතු යමක් වේ යැයි සිතුනි. එහි තිබුණේ ජවිපෙ දිනවමු ලෙස මහා මාර්ගයේ ලියූ ප‍්‍රකාශයකි. මෙම පෝස්ට් එක දැමූ හා කමෙන්ට් කළ පිරිසට මෙය අවුලකි. ජවිපෙන් ඔවුන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවේ. මේ වගේ වැඩ කළොත් ඡන්දය දෙන එක ගැන සිතා බැලීමට වන බවත් ඔවුන් පවසයි. අනිත් අතින් ඒ පිරිස සතුටු වන ආකාරයට දේවල් පෙළ ගැසෙමින් තිබෙයි. මෙහි අදහස් දක්වන ජවිපෙ සොහොයුරන් පවසන්නේද පාක්ෂියන්ද මේ ගැන කතා කරණ බවයි. ඒ ඔවුන් අතරේද මෙය අවුලක් යන අදහස මතුව ඇති බවයි. එසේම පෙර ඡන්ද ඉලක්ක කොට වැඩ විදිහට එක රැයින් පධාන පාරවල් විතරක් නෙමෙයි අතුරු පාරවල් පවා සීනු වලින් වැසූ යුගයක් තිබූ බව අපිට මතක ඉතිහාසයේද ඇත. අද එළෙස පචාරක උපකමයක් ලෙස පබලව යොදාගන්නා අයුරු දැකගැනීමට නොහැක.
ලංකාවේ මැද පන්තියට එජාපයේ ශී‍්‍රලනිපයේ ඇති අවුල් නැති හොද ධනේෂ්වර පක්ෂයක් (හොරකන් කරන් නැති බුද්ධිමතුන් ඉන්න දියුණු ධනේෂ්වර පක්ෂ මේ ආකාරය) ඕනෑ කර ඇත තමන්ගේ ඒ උවමනාවට ඔවුන් ජවිපෙ භාවිතා කරයි. පසුගිය කාලය පුරාවට ජවිපෙ සිදුකළේද මෙම කාර්යය භාරයයි. මැද පන්තියේ ඇතැම් ආස්වාදයන් බිදහල මහින්දට එරෙහි වීම, ව්‍යවස්ථා සංශෝදන ආදියම ප‍්‍රමුඛ කර ගැනීම (මේවාද ඇතැම් තැන්වල වම කළ යුතු අතර නමුදු වැඩේ එය කරගෙන ඒ තුළ ගිලීයාම අනෙකකි) වැනි දේ තුළ ඔවුන් මෙම පිරිසට ආස්වාදය ගෙන එන ලදී. හොදින් සමාජය දෙස බැලුවොත් රජරට වකුගඩු අර්බුදයේ පටන් ජවිපෙට තම සංවිධාන හා පිරිස් බලය යොදා ඉහළට එසවිය හැකිව තිබූ පීඩිත අරගල හා සටන් පාඨ රාශියක් තිබුණු නමුත් මහින්ද එළවීම 19 සම්මත කිරීම වැන්නකට හැර ඔවුන් ඒ අරගල කිසිවක් තම ශක්‍යතාවයට සාපේක්ෂව අතට ගත්තේ නැත. අවම වශයෙන් පීඩිත සටන් කරණ බලවේග මර්දනයට හෙට යොදාගන්නා පැය 48 අත්අඩංගුවට ගැනීමේ පනත, පාසල් වලින් ගාස්තු අය කිරීමේ පනත ආදියට පාර්ලිමේන්තුව තුළ අතක් උස්සා විරුද්ධව ඡන්දයක් පාවිච්චි කරන්නට හෝ ඔවුනට උවමනාවක් නොවුණා සේම පාක්ෂිකයන් වෙතින් මෙන්ම වෙන කිසිවෙකු ඒ පිළිබදව ඔවුන් ප‍්‍රශ්න කරණු නොදුටුවෙමු. නමුදු පාරෙහි සීනු ඇදීම ප‍්‍රශ්න කෙරෙන අතරම ජවිපෙ සහෝදරවරුද අපි ගෙනෙන විවේචනයන් හමුවේ ප‍්‍රතිප‍්‍රහාර දක්වන ලෙස නොව මෙය පිළිගන්නා සෙයක් දක්වන අතර මේ පිළිබදව තමන් කතා කරන බවද පවසයි. පෙරකී පනත් නොදුටුවා සේ මගහරින විට ‍පාක්ෂිකයින් ඒ පිළිබදව පාරේ ලිවීම ගැන තරමටවත් සංවාද ගත වූවාද යන්න සිතා බැලිය යුතුය
කම්හලේ බිත්ති මත අගුරු කැටයෙන් ලීව කුරුටු ගී මගේ මහ ගී පොතයි යැයි කීවේ නන්දාය මේ දෘෂ්ඨියෙන් බැලුවොත් එය තමන් සේවය කරණ තැන ලස්සනට තියෙන බිත්ති කැත කරණ අවුල් වැඩකි. පසුගිය කාලයේ ලලිත් කූගන් සහෝදරවරු අතුරුදහන් කළ විට හා කුමාර් සහෝදරයාගේ දේශපාලන නිදහස අහිමි කළ විට මෙම උපක‍්‍රමය පෙසප භාවිතා කරණ ලදී. සමාජවාදී තරුණ සංගමයෙන් ඉස්සර චේ ගේ මුහුණ තාප්ප පුරා ගසා ඒවා කැත කළ අතර අදද පෝස්ටර් තට්ටු ගැළවුණු වෙලාවක එහෙන මෙහෙන් චේ ගේ මුහුණ මතුවෙනවා දකිද්දී ගෙනෙන්නේ ආස්වාදයකි. වමේ සහොදරවරුන්ට කියන්නට ඇත්තේ සහෝ අපි බිත්ති තාප්ප පුරා ලියමු, ජවිපෙ දිනවමු හෝ පෙසප දිනවමු කියා නොව වමේ සඨන් පාඨ මේ හැම තැනම ලියමු. අප මැද පන්තීන් දිනාගත යුතු අතර ඒ ඔවුන්ට අවශ්‍ය දේ කර ව්‍යාපාරයේ සාරය දියකර හැරීමෙන් නොව අද ඔවුන් විකාරයක් හෝ අවුලක් සේ දකින ‍වමේ කතාවට ඔවුන් දිනාගැනීම තුළින්ය. එය ‍මේ වගේ පහසු නොවන වෙහෙසකර හා දිගු දුෂ්කර එමෙන්ම ජනපි‍්‍රය නොවන ව්‍යායාමයක් වනු ඇත. නමුදු වමේ ගමන ඇත්තේ එහිය. 
යමෙකු දියුණු ලෝකයක මේවා ග‍්‍රාම්‍ය උපක‍්‍රම ලෙස පැවසිය හැකිය. නමුදු යුරෝපය වැනි දියුණු ධනේෂ්වර රටවල පවා රැඩිකල් හා වාමාංශික කණ්ඩායම් තම සටන් තුළ මෙම වීදිවල සටන් පාඨ ලිවීමේ උපක‍්‍රමය භාවිතා කරයි. මේවා සිවිල් නීති කැඩීම් විය හැක ගැටළුවක් නැත ඒවා ඇත්තේ කැඩීමටය. (මෙය භය හිතෙන ප‍්‍රකාශයක් උවද මහත්මා ගාන්ධි පවා අනුගමනය කළ දෙයකි) අන්තරයට පා ගමන් නවතන්නට දිගින් දිගටම අධිකරණ නියෝග ගෙන එන විට ඒවා දිගින් දිගටම කඩ කළ අතර අවසන අධිකරණයම පොළිසියට නැවත මෙවැනි ඉල්ලීම් නොකරන ලෙස දැන්වීය. එම සිවිල් නීති කඩ නොකළේනම් සම සෞඛ්‍ය අරගලය ඇතුළු කිසිදු මෑතකාලීන සටනක් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නේ නැත. අවසනට සොහොයුරණි අපි මේ ලස්සන මැදට පැන වකුගඩු රෝගීන් ගැන කුණු කදු වලට යට වෙලා ජීවිත අපායක් වුණ මිනිසුන් ගැන කුරුටු ගා කැත කරමු. මේ නිහඩ බව මැදට පැන වෙළද කලාපවල නැහෙන සොයුරියො ගැන අධ්‍යාපනය විකුණන් කන එක ගැන බෙරිහන් දෙමු. ඔය ලස්සන කියන ඇස් නිලංකාරවෙන ෆැන්ටසියෙ තියෙන්නෙ ලේ කදුළු වලින් හැදුණු මානව ඛේදවාචකයක් මිසක් වෙන මොකුත් නෙමෙයි. එ් හින්ද ඕව කැත කරණ එකම තමයි කරන්න ඔනෙ.

(රිවිහාර පින්නදූව)

Friday, June 12, 2015

පෙම්වතුනි පෙරළා පහර දෙන්න


පෙම්වතුනි පෙරළා පහර දෙන්න


ආදරය මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී වචන කණ්ඩයකි. එම හැගීම අත්නොවිදි අයෙක්, සිත්ගත් ඔහු හෝ ඇය ගැන එම හැගීම ඇතිවූ මොහොත නැවත නැවත සිහිකරමින් ආස්වාදය නොකරන්නෙක් මනුෂ්‍ය වර්ගයා අතර නොමැත. මමත් මෙය සටහන් කරණ පරිඝණකයත් අතර මා විශ්වාස කරන ලෙෂ ඇති මූලිකතම වෙනස ආදරයයි. ආදරය ගැන කතා කරන්න හිතුනෙ සිදුවීම් දෙකක් හින්ද. එකක් පෙම්වතුන් යුවළක් දියළුමෙන් පහළට පැනල සියදිවි නසාගැනීමයි. අනික පෙම්වතෙක් තම පෙම්වතියට පිහියෙන් ඇන තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කිරීමයි. මෙතනදි මේ අවස්ථාවන් දෙකේදිම පොදු තත්වයක් දකින්න පුළුවන් ඒ තමයි ඒ අවස්ථා දෙකේදිම පෙම්වතුන් ජාතීන් දෙකකට අයත් වීමත් මෙම මරණයන් පිටුපස එය පැවතීමත්ය.
දියලූම ඇල්ලට අදාල ඉතිහාස පුරාවෘත්තයක් ඇත. එහි සදහන් ආකාරයට ජනවර්ග දෙකකට අයත් තරුණ යුවළක් පෙමින් වෙළෙන අතර සුපුරුදු පරිදි නෑදෑ පාර්ශවයන් එරෙහිවන අතර ඔවුන්ට දියළුමෙන් පහළට පැන සියදිවි නසාගැනීම හැර ආදරය රැුක ගැනීමට විකල්පයක් නැති තැනට තත්වයන් පෙළගැසේ. කම්පාවට පත්වෙන දෙවියන් එම කදු බෑවුමට සදාකාලිකව අඩන්නට නියම කරයි. දියළුම ඇල්ල සෑදෙන්නේ එම කතා පුවත අනුව එලෙසය. ඒ වසර දහස් ගණනක් පැරණි පුරාවෘත්තයකි. එවැන්නක් ජනවහරට එන්නට එකළ මේ හා  සමාන සිදුවීම් සිදුවන්නට ඇත. එදා මෙදා තුළ අපි අනන්තවත් ජාතීන් දෙකකට අයත් පෙම්වතුන්ගේ පේ‍්‍රම වෘත්තාන්තයන් අසා ඇත්තෙමු. කලාතුරකින් මිසක් ඒ සියළු පේ‍්‍රම කතා අවසන්වනුයේ ජාතියේ, වර්ගයේ, ග්‍රෝත‍්‍රයේ විෂබීජ ආසදනය වූ සමාජය එම පේ‍්‍රමයේ පණ නසා ඔවුන් වෙන් කිරීමෙන් හෝ ඔවුන්ට පෙරසේම පේ‍්‍රමයේ නාමයෙන් සියදිවි නසාගන්නා තැනට තල්ලූකර ඒ කතාවන් සියල්ලේ අවසන් පර්ච්ෙඡ්දය රචනා කරණ ලදී. 
දිනේෂ් හා ෆාතිමාගේ කතාවද එසේමය. උත්පැන්නේ ජාතීන් දෙකක නම් කවුදෝ සදහන් කළ වරදට ඔවුන්ගේ ආදරයට එරෙහිව සමාජය නැගීසිටි අතර පීඩනය දරාගැනීමට නොහැකි ෆාතිමා පේ‍්‍රමසබදතාව නතරකිරීමට උත්සහ කරයි.  එය දරාගැනීමට නොහැකිවෙන දිනේෂ් ඇයව මරාදමා තමන්ද සියදිවි නසාගනී. අපි අද ජීවත්වනනේ දියුණු සමාජයක යැයි අපිම කියමු. හැමෝම ගාව දියුණු ජංගම දුරකතන ඇත. අපි ගාලූ යන්නේ අධිවේගයෙනි, නෙළුම් කුළුණක් ඇත, කොටුවෙ අසසෙ ඇත. එහෙත් ජාතීන් දෙකක පෙම්වතුන් ආදරය කිරීම මහා වරදක් සේ දකින අපේ සිත් තවම ගල් යුගයේය. වසර දහස් ගණනකට පෙර මෙන්ම අදද දියළුමෙන් පැන පෙම්වතුන් මියයයි. තවම අප මානව සමාජයක් ලෙස පේ‍්‍රමය දිනා ගැනීමට අසමත්ව ඇත. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර (බොහෝ දුරට) ලිංගිකත්වය මත පදනම්ව ඇතිවෙන ආදරය නම් මානව බැදීම මානව සබදතා තුළ උත්තරීතරය. එය දිනා ගැනීමට පෙම්වතුන්ට කැරළි ගැසීමට කාලය උදාවී ඇත. 
ඔබ දෙවියන් විශ්වාස කරයි නම් මට ඔබට පැවසීමට ඇත්තෙ වෙනත් දෙවියෙකු හෝ ධර්මයක් විශ්වාස කරන ඔහුට හෝ ඇයට පෙම් කිරීමට එම දෙවියන් හෝ ධර්මය එරෙහිවේනම් ඔබ නොපමාව එම දෙවියන් හෝ ධර්මය අතහරින්න. මානව පේ‍්‍රමය වැනි මනුෂ්‍යත්වය තුළ ඇති වටිනා හැගීමක් තේරුම් ගැනීමට නොහැකි දෙවියන්ගෙන් හෝ ධර්මයෙන් ඇති ඵලය කුමක්ද? නැතිනම් අප දෙවියන් හෝ ධර්මය තේරුම් ගෙන ඇත්තේ වැරදි ලෙසටය.
වෙලාවකට ආගම හෝ ජාතිය මත පේ‍්‍රමයට හරස්වීම කොහෙවත් තියෙන ග‍්‍රහලෝක මත පේ‍්‍රමයේ මරණ සහතික ලියනවාට වඩා යහපත් යැයි සිතෙයි. ඔබ හා ඇය හෝ ඔහු මොනතරම් පෙම්කලත්, මොනතරම් ගැළපුනද ඵලක් නැත. සෙනසුරු හරියට නොතිබ්බොත් බ‍්‍රහස්පති වැරදි තැනක හිටියොත් ඔක්කොම හමාරය. කේන්දර නොගැළපීම මත වෙන් වෙන්න වුණ, හඩන දොඩන පෙම්වතුන් අපට  ඕනෑ තරම් හමුවෙයි. මං බලන් ඉන්නෙ විශාල වල්ගා තරුවතක් වැනි දෙයක් පැමිණ සෙනසුරුගේ ගැටී එය විනාශ වී හෝ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් වෙනස් වන තුරුය. ඒ අනුව පොළවේ අපේ ජීවිත හරිනම් උඩුයටිකුරු විය යුතුය. තරුණයෙකු හා තරුණියක පේ‍්‍රමයෙන් වෙලී ඔවුන්ගේ අනාගතය ගැන, දරුවන් ගැන අහිංසක හීන දකින අතර එම හීන අතරට කඩා පැන තොපිලගෙ අහවල් අහවල් ග‍්‍රහයො කොහෙද ඉන්නේ යැයි ඇසීම මටනම් ග්‍රෝති‍්‍රක නරුමවාදයකි.
මේ බාධක මැඩගෙන ඉදිරියට ආවද ඔබට තව කඩුළු පනින්නට ඇත. එකක් නම් ආර්ථික හා සමාජ තත්වයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ගැළපෙනවාද යන්න තීරණයට පවුල් දෙකේ ගෙවල්වල ප‍්‍රමාණය, පාවිච්චි කරණ වාහනයේ වර්ගය, ඉඩකඩම් ප‍්‍රමාණය සංසන්දනය කරනු ඇත. එය හරියට පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමට චෙස් අදින්නට දෙනවා වැනි වැඩකි. මෙහිදී පුදුම වන්නට දෙයක් නැත. අප සිටින්නේ මුදල් මත පදනම්වුුණු ඒ තුල අනෙකුත් සියළු වටිනාකම් හිරිවැටුණු සමාජයකය. ඒ තුළ මානව සබදතා පවා වෙළද ගණුදෙනු විනා අන් යමක් නොවෙයි. පුවත්පත් වල මංගල දැන්වීම් තීරු පරීක්ෂා කළහොත් මෙය පැහැදිලි වනු ඇත. මන්දයත් ලූහුඩු දැන්වීම් පිටුවේ දේපළ වෙළදාම් කොටසේ දැන්වීම් හා මෙම මංගල දැන්වීම් වෙනස් වන්නේ අගට එන මනාලයෙකු හෝ මනාලියක දෙමාපියන් හොයයි යන කොටසින් පමණි. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර මානව බැදීමක් ඇතිකර ගැනීමෙ සුදුසුකම මෙලෙස වෙළද ගිණුමක හර බැර සමබර කරන ආකාරයට තීරණය කිරීම විකෘතියකි. මෙම මිනිසුන්ට මොනවා හෝ කැවිලය. බඩ යන්නට විරේක බෙහෙතක් දී මෙය සුවවේදැයි බැලිය යුතුය. එහිදී පරිස්සම් විය යුතුය. මන්දයත් මේවන දේවල් දෙස බලන විට මස්තිෂ්කයද ඒ සමගම වැසිකිළි පෝච්චියට වැටිය හැකි බැවිනි. එක් අතකින් එයද කම් නැත, වැසිකිළි පෝච්චියක දමා හෝ එය සෝදා ගැනීම මීට වඩා යහපත්ය.
පෙම් කිරීමද කළ යුත්තේ රීති ගොඩක් මැදය. ටියුෂන් පංති අවසන් වී බස් නැවතුන් වල තැන තැන දොඩමළුවෙන පෙම්වතුන් සොයමින් දඩයමේ යන පොළිස් මහතුන් අප දැක ඇත. මැරයින්, කුඩු මුදලාලිල ළග රබර් කෂේරුකාවන් ඇති මොවුන් මේ පුංචි පෙම්වතුන් ළග සිංහ සෙයියාවෙන් මොරදෙයි. ලොව ලොකුම අපරාධය කළ එවුන්ට ලෙස නගරය මැද බැන වදී. මෙලෙස අපහාස දරා ගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා ලද අවස්ථාද අසන්නට ලැබෙයි. පෙම්වතුන් යුවළක් සිප වැළද ගැනීම මහා සදාචාර ඛේදවාචයක් ලෙස සළකන මෙම සමාජය, මන්තී‍්‍රන් ගැහැණු ළමුන් දූෂණය කොට පාටි දමා අත්අඩංගුවට ගත්විට ඔහුට සෙත් පතා පන්සල් වල බෝධි පූජා පවත්වයි. ඒ මෙත් පැතූ කටවල් වලින්ම ගේට්ටු ඉබ්බෙක් කැඩුවා කියා සරසවි සිසුන් සිරගත කරණ විට  ඕකුන්ට හොද වැඬේ කියයි. දිනපතා දහස් ගණනක් ගැහැණු ළමුන් ලිංගික ශ‍්‍රමිකයින් නොව වහළුන් ලෙස සිල්ලරට අළෙවි වන විට ගල් පිළිම සේ නොදැක්කා නොඇසුනා සේ තාප්පෙන් වට නළ ගෙදර සිටින දියණියට ලොලි පොප් රැුගෙන ගෙදර යයි. පඩි දවසට වගේ හිරිමල් රසයන් සොයා ඇදෙයි. එහෙව් සමාජයක පෙම්වතුන් යුවළක් බස් නැවතුමක පෙම් කිරීම මාර අවුලකි. මේ සමාජයේ ඊනියා සදාචාරවාදය රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. පෙම්වතුනි ළගම ඇති ජනාකීර්ණම නගරයට පැමිණ අපි සැවොම ප‍්‍රසිද්ධියේ සිප වැළදගමු.
ඉතිං පෙම්වතුනි, මානව බැදීම් නිෂ්ක‍්‍රීය කළ සමාජයක සැබෑ ආදරය අනිවාර්යයෙන්ම ක‍්‍රම විරෝධී භාවතයකි. මානව සමාජයේ පේ‍්‍රමය උදෙසා අරගල කිරීමට කාලය එළඹ ඇත. එවිට සමාජය ඔබට එරෙහිව නැගී සිටින් ඇත. අවශ්‍යයවන්නේ ඒ සමග ගැටීමට ධෛර්්‍යය ලබා ගැනීමය. ඇයගේ, ඔහුගේ දෑසට මොහොතකට එඹෙන්න, ඒ දෑස් තුල ඔබට අවැසි ධෛර්්‍යය සැගවී පවතිනු ඇත. අදහස් අතින් ඔබ ශක්තිමත් විය යුතුයි. මේ සරුව පිත්තල දිස්නයෙන් ඇස් නිළංකාරවන අන්ධකාරය තුළ ඔබ මංමුලා විය හැක. අවසාන වශයෙන් ඒ පේ‍්‍රමයේ පොදු සතුරාට එරෙහිව අප තනි තනිව නොව එක්ව සටන් කළ යුතුය. ඒ ආදරය දිනාගන්නා විට මේ ක‍්‍රමයෙහිද පවුරු පදනම්වල ඉරි ඇදෙනු ඇත. ආදරය පැහැදිලිවම ක‍්‍රම විරෝධී අරගලයකි. ඒ වඩා යහපත් සමාජයක් උදෙසා පේ‍්‍රමයේ අරගලය අද අප හමුවේ මගහැර යා නොහැකි සත්‍යයක් ලෙස නැගී සිටී. ඉතිං පෙම්වතුනි පෙරළා පහර දෙමු.

( රිවිහාර පින්නදුව )


Saturday, January 3, 2015

අපි ඔබේ ෆැන්ටසියට ගල් ගසමු............




අපි ඔබේ ෆැන්ටසියට ගල් ගසමු............


මේ ලියමන ආරම්භ කරන්නේ පෙද්ගලික කාරණාවක් සමගයි. මගේ දේශපාලන සගයෙකු හා තවත් අයෙකු කරණ කථාබහක් අහන්න ලැබුණ. කොහොමද? කුමාර් ගුණරත්නම් ආණ්ඩුවෙ උදව් නැතිව ලංකාවට එන්නෙ? ඔයාල ඔය කරන්නෙ ආණ්ඩුවෙ කොන්ත‍්‍රාත් එකක් නේද? සමාජවාදෙ පස්සෙ පුළුවන් මේ වෙලාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ටිකක් දිනාගන්න උදව් කරන් නැතුව ඔයාල මොනවද මේ කරණ විකාර? මගෙ මතකය ඊට මාස කීපයක් අතීතයට ගියා. ඒ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා සටනක්, පොළිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල වුණා. ගෑණු ළමයි ඇතුළු හැමෝම යනකන් දරාගෙන ඉදල මගේ සගය අන්තිමට ඉස්සරහින් ගෙනිච්ච බැනර් එකත් අරගෙන කදුළු ගෑස් මැද්දෙන් එන දසුන මට හොදට මතකයි. පා ගමන ඉවරවෙලා රැ යන ගමන් නුගේගොඩ හන්දියට වෙලා ඉද්දි කළින් කියපු මගේ සගයගෙ මිත‍්‍රය ඉහළ පෙළේ අවන්හලකින් එළියට එනව මට හම්බවුණා. ඔහු ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක්ට පා ගමන නිසා ඇතිවුණ වාහන තදබදය ගැන බැන බැන හිටියෙ. අද ඔහු මගේ සගයගෙන් අහනව ඔයාල ඇයි මිනිස්සුන්ට පොඩි හරි දෙයක් හරි දිනන්න උදව් කරන් නැතුව ආණ්ඩුවට කඩේ යන්නෙ? මට  මේ වෙලාවෙ අඩන්නද හිනාවෙන්නද හිතාගන්න බැරි වුණා. FB ආවම වමේ පෙරමුණ ආණ්ඩුවට කඩේ යනවලු, බැසිල්ලු උදව් කරන්නෙ, ගෝඨලු පස්සෙන් ඉන්නෙ, සල්ලි මෙච්චරක් ගත්තලු. ඔ්න එකක් කියාගන්න මෙච්චර වැඩ තියෙන වෙලේ කියල හිතුවට මේක ලියන් නැතුව ඉන්න බැරිවුණා.

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පැමිණීමත් සමග දියත් වී ඇති අවලාද වයාපාරය දෙස බලන කල ඇතිවන්නේ දුකකි. එයට මූලිකම හේතුව වී ඇත්තේ  වැඩි වශයෙන් වමේ හෝ යම් ආකාරය වමට බර දේශපාලනයක නිරතවන අපේම සහෝදරයින් වෙතින් මෙම අපවාද වැඩිපුර එල්ල වීමයි. මේ සරළ පැහැදිලි කිරීම ඒ සදහායි. කුමාර් සහෝදරයා ලංකාවට ගෙන්වා ගැනීමට දිගින් දිගටම උත්සහයක නිරතවුණා. ගොඩක් දෙනෙක් අහන එක ප‍්‍රශ්නයක් තමයි මේ දවස් වලම ගෙන්නුවෙ මෛතී‍ට ගහන්න නේද කියන එක. පැහැදිලිවම ඔහු මෙම මැතිවරණ සමය තුළ ගෙන්වා ගැනීමට කටයුතු කළේ මෙවන් සමයක අනවශ්‍ය දේවල් පටලවා ගැනීමට පාලකයින් දෙතුන් වතාවක් සිතන බැවිනි. මෙහිදී පළමුව ආණ්ඩුව බාධාකාරී ලෙස හැසිරී පසුව මෙම කාරණය මාධ්‍යයේ කතා බහට ලක්වන විට පහළ දැක්වෙන ලෙස ඒ වෙනුවෙන් අඛණ්ඩව කි‍්‍රයාමාර්ග ගන්නා විට නීතියට අනුව කි‍්‍රයාකිරීමට නිළධාරීන්ට ඉඩ දී පසකටවූයේ ඒ අනුවය.  එම කාරණය තේරුම් ගත හැකි යැයි විශ්වාස කරමි.

මීළගට මේ හා සම්බන්ධම චෝදනාවක්නම් මහින්ද, කුමාර් සහෝදරයා ගෙන්වා ගැනීමය උදව් කළා යන්නය. සහෝදරයා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවූයේ මෙම මැතිවරණ කි‍්‍රයාවලිය ආරම්භයත් සමගය ඒ වමේ පොදු අපේක්ෂකයා බවට ඔහු පත්කිරීමේ අදහසක්ද ඇතිවය. නීතියෙන් පිටත දිගින් දිගටම එල්ලවූ බාධාකිරීම් මැද ඔහුව ගෙන්වා ගැනීමට නොහැකිවූ අතර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් කිරීමේ අදහසද අත් හරින්නට සිදුවිය. එනමුදු මෙම කාලසීමාව තුළ සහෝදරයා ගෙන්වා ගැනීමේ උත්සහයේ දිගටම නිරතවිය මන්දයත් මෙම අවස්ථාවේ සහෝදරයා ගෙන්වා නොගතහොත් නැවත ඔහුව ලංකාවට ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර වන බැවිනි. කෙසේ හෝ ගන්නා ලද අඛණ්ඩ කි‍්‍රයාමාර්ග හමුවේ සහෝදරයා ගෙන්වා ගැනීමට හැකිවිය. ආණ්ඩුවේ උවමනාවට සහෝදරයා ගෙන්වනවානම් එය කළ යුතුව තිබුණේ මුළින්ය දීර්ඝකාලීනව කෙසේ වෙතත් මැතිවරණයට අදාලව සහෝදරයාගේ මැදිහත්වීම සීමිතය. ජනහමු දෙක තුනකට මාධ්‍ය සාකච්චාවකටකට දෙකකට වඩා සහභාගිවීමට ඔහුට ඉඩක් නැත. ඔහුට රටට ඇතුල්වීමට ඉඩ නොදී ඇතැම් විටෙක වමේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට තිබූ අවස්ථාව පවා අහිමි කළ ආණ්ඩුවේ උවමනාවට ඔහු පැමිණියා යන්න තුළ හාස්‍යකට වඩා යමක් පවතීද යන්න ගැටළු සහගතය.

මීළගට එන අවලාදය ද්විත්ව පුරවැසිබව සම්බන්ධ නීතියේ සිදුවූ වෙනස් වීම් සහෝදරයා ඉලක්කකොට සිදුවූවක් යන්නය. මූලික කාරණය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව කිසිම කටයුක්තක් කුමාර් සහෝදරයා සම්බන්ධයෙන් සිදු කොට නොමැති නිසා එය අදාල නොවන්නකි. සහෝදරයා ලංකාවේ පුරවැසියෙකි. කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ටේ‍්‍රලියාවේ පුරවැසියෙකු නොමැති අතර කුමාර් සහෝදරයා රටින් පිටවූයේ නොයෙල් මුදලිගේ අන්වර්ථ නාමයෙනි.ඔහු ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නවානම් එක්කෝ නොයෙල් මුදලිගේ නමින් ලංකාවේ පුරවැසිභාවය ගතයුතුය නැතිනම් කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ට්‍්‍රලියාවේ පුරවැසිභාවය ලබාගත යුතුය. එවැනි උත්සහයක් දරා නැති අතර ද්විත්ව පුරවැසි භාවයක් අවශ්‍යය මහින්දගේ කාගේ කවුරුන්ටදැයි සැවොම දනී. වමේ දේශපාලනය කිරීමේ වරදට තම උපන් බිමෙහිවත් සිටීමට ඇති අයිතිය අහිමි කළ කුමාර් සහෝදරයාෙගේ කුමාර් ගුණරත්නම් නම් වූ ලාංකීය පුරවැසි භාවය වෙනුවෙන් අප පෙනී සිටිමු. එම අරගලය තුළ විවිධ හේතූන් මත ලාංකීය පොළවෙන් නීතිවිරෝධීව පිටමන් කළ මාධ්‍යවේදීන් දේශපාලන කි‍්‍රයාදරයන්ගේ තම උපන් බිම වෙත වූ අයිතිවාසිකම වෙනුවෙන් අපි පෙනී සිටිමු.

වමේ පෙරමුණට එල්ලවන ප‍්‍රධානම චෝදනාව මෛතී‍්‍රට එරෙහි විවේචනයන් තුළින් මහින්දට උදව් කරනවා යන්නය. එයට දිය හැකි සරළම පිළිතුර මේ සමග ඇති වමේ පෙරමුණේ ජන රැලිවල සම්පූර්ණ වීඩියෝ දෙස බලා තීරණයක් ගන්නා ලෙසයි. අප මෛතී‍්‍රව විවේචනය කරමු ඒ දෙස බලා අප මහින්දට කඩේ යනවා කියන්නේනම් අප මහින්දට ගෙනෙන විවේචන දෙස බලා මෛතී‍්‍රට කඩේ යනවා කියන්නට ඊට වඩා ඉඩක් ඇත මන්දයත් ඔවුන් බලයේ සිටිනා ආණ්ඩ්ව ලෙස ස්වාභාවිකවම මෛතී‍්‍රට වඩා මහින්දව විවේචනය කර ඇත්තෙමු. මීට අමතරව අපගේ සටන් පාඨ ,පෝස්ටර්, අපට හිතවත් වෙබ් අඩවි, පුවත් පත් මේ සියල්ල පරීක්ෂාකරන ඔ්නෑම කෙනෙකුට අප මේ කරන්නේ මහින්දට කඩේ යෑමක්ද නැද්ද යන්න පැහැදිලිවනු ඇත. මේ පිළිබදව සාධාරණ සැකයක් ඇති සහෝදරයෙක් සහෝදරියක්වේනම් තැනින් තැන ඇසෙන දෙඩවිලි වලට සවන් නොදී ඒ පිළිබදව විමසා බලන්නට ආරාධනා කරමු. අපගේ විවේචනය දෙදෙනාටම එල්ලවන අතර පෙනුමේ සුළු වෙනස්කම් හැර මෙම දෙපාර්ශවයම සමාන බව ජනතාව අතර තහවුරු කරමින් විකල්ප දේශපාලන භාවිතාවක් කරා ඔවුන්ව පෙළඔවීමට මෙම මැතිවරණය තුළ විවර වන දේශපාලනික අවකාශය අප භාවිතා කරන්නට උත්සහ දරමු. එහිදී අපගේ සාර්ථක අසාර්ථකභාවය පිළිබද විවේචනයන් සහෝදරාත්මකව භාරගනිමු. මෙම අවලාදයේ ප‍්‍රමුඛයන් වන ජවිපෙ ආදරණීය සහෝදර සහෝදරියන්ට අපිට පැවසීමට ඇත්තේ අපිද ඔබ මෙන්ම දූෂිත පවුල් පාලනයට එරෙහි වීමේ සටන් පාඨය හඩ නැගුවෙමු. අප අතර වෙනස වන්නේ ඔබලා ඒකාධිපතියා පරදවමු යන තැනින් නතරවී මෛතී‍්‍ර දෙසට හොරෙන් ඇස් ගසන විට අප ඒකාධිපති මහින්ද පරදවමු තවත් ඒකාධිපතියෙකුට ඉඩ නොදෙමු වමේ බලයක් ගොඩනගමු ලෙසින් එම සටන් පාඨය පූර්ණ කළෙමු. ඔබ අප වෙහෙසී ගොඩනැගූ විරෝධයන්ගේ , බලවේගයන්ගේ ධජය ඉතිහාසය පුරාවට චන්ද‍්‍රකා මහින්ද දැන් මෛතී‍්‍රද සොරා ගත්තා මෙන් ධනපති පාලකයින්ට සොරා ගැනීමට නොහකි ධජයක් එසවීමට වෙහෙසෙන්නෙමු.

මේ මොනදේ කිව්වත් විවිධ තර්ක නගමින් මෙම කාරණය හෝද හෝද මඩේ දමන බව දනිමු. අමතර කාරණා කිහිපයක් මතුකළ යුතුය. අප විවේචනයන් ගෙනෙන විට මෙන්න මහින්දට කඩේ යනවෝ ලෙස බෙරිහන් දෙනවා මිස ඊට පිළිතුරු බැදීම මෙම පිරිස් මග හරින ලදී. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වැනි වදන් පුනරුච්චාරණය කරමින් තමන්ට එන විවේචනයන් මග ඇරීමේ මහින්දගේ ප‍්‍රාථමික දේශපාලනික භාවිතයෙහි සහ මෙහි ඇති වෙනස  ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වෙනුවට  මහින්දට කඩේ යනවා යන්න පුනරුච්චාරණය පමණක් බව හැගෙයි. එසේම අප නැගූ ප‍්‍රශ්න කිරීම් හමුවේ මුනිවත රැකි බොහෝ පිරිස් කුමාර් සහෝදරයාගේ පැමිණීමත් සමග දිගින් දිගටම ආණ්ඩුව සම්බන්ධ කරමින් චෝදනා නැගීම තුළ තවත් කාරණයක් මතුවෙයි. අප ආණ්ඩුවට වැඩ කරනවා වැනි ලේබලයක් අලවා අපගේ හඩ අවතක්සේරු කිරීමට බොහෝ උත්සහයන් දරණ ලදී. බැසිල්ගෙ සල්ලි වලින් පොස්ටර් ගහන්නෙ, නුගේගොඩ රැළියට ඉඩ වෙන් කරල දුන්නෙ මහින්ද මෙවැනි පදනම් විරහිත කාරණා රැසක් මතුකළ අතර ඒවා ඔවුන් සිතූ තරම් වැඩ කලේ නැත. කුමාර සහෝදරයාගේ පැමිණීම තුළ මඩ ගැසීමට ඔවුන් අවස්ථාවක් විවර කරගෙන ඇත. වමේ හෝ ප‍්‍රගතිශීලී ලෙස හදුන්වා ගන්නා දේශපාලනය මෙබදුද?

මෙම සටහන නිමාකරන්නට මත්තෙන්, ජනවාරි 8 වනදාට පසු මහින්ද හෝ මෛතී‍්‍ර ජය ලබනු ඇත. අපගේ ඡන්ද ප‍්‍රමාණය පෙන්වමින් අපට විසිළු කරනු ඇත. කෙසේ වෙතත් අප කාට හෝ කඩේ යනවාද යන්න තීරණයේදී මැතිවරණයට පෙර මෙම ප‍්‍රභූ දේශපාලනයෙන් බැහැරව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරුවන් සිසුන් ආදී බලවේග දියත් කළ අරගල තුළ අපගේ කි‍්‍රයාකාරීත්වය විමසා බලන්නට ආරාධනා කරමු. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කෑ ගසන බොහෝ දෙනෙකු නිදි වැදි මොහොතක සැබෑ ජනතා අයිතීන් වෙනුවෙන් අප පෙනී සිටියෙමු. අපගේ සහෝදරයින් ජීවිත පවා මේ ආණ්ඩුව උදුරා ගනිද්දී අප සටන් වැදුනෙමු. එයද ප‍්‍රමාණවත් නොවේනම් මෙම අවලාද දැනට විශ්වාස කරන්න මැතිවරණයෙන් සියල්ල අවසන් නොවන බැවින් එයින් පසු අපගේ කි‍්‍රයාකාරීත්වය තුළ අපව පරීක්ෂා කරන්න ඒ තුළ අප නිවැරදිනම් එදිනට මෙම අවලාද බොරු බව පිළිගන්න. මෙම මැතිවරණය තුල අපගේ මැදිහත්වීම සිත් රිදීමට හේතුවූ තවත් කාරණයක් නම් මේ සමාජය ගිලගෙන ඇති අර්බුදයන්ට විසදුම මහින්ද එළවා මෛතී‍්‍ර ගෙන ඒම වැනි සරළ කාරණයක් නොවන බවත් එයින් තාවකාලික රැවටීමක් විනා සැබෑ විසදුමක් නොලැබෙන බවත් අප ගොඩනගන තර්කය මේ සමාජයේ සැබෑ ප‍්‍රශ්නය විසදීමට තමන්ගේ ජීවිතයේ දේවල් කැපකරමින් දීර්ඝකාලීන අරගලයකට ප‍්‍රවේශවීමට අකමැති සැහැල්ලුවට මෙයට පිළිතුරු සොයන පිරිස් දකින ෆැන්ටසිය අප මැද්දට පැන මේ කියන දෙයින් බිද වැටෙන බැවිනි. මහින්ද හො මෛතී‍්‍ර තුළින් විසදුම් හොයන පිරිස් වලට, විශේෂයෙන්ම පොඩි හරි දෙයක් ලැබෙයිනෙ ඒකටවත් උදව් වෙන් නෑ කියන හිතවතුන්ටයි අවසන පැවසීමට ඇත්තේ ඔබේ ඡන්දය කාට හෝ දෙන්න එයින් පසුව කවුරු පුටුවේ ඉදගත්තත් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීම හමුවේ පැන නගින ගොවි කම්කරු සිසු අරගල බිම් තුළ දේශ පේ‍්‍රමයෙන් හෝ මෛති‍්‍රයෙන් බැටන් පොළු පාරවල්, කදුළු ගෑස් කමින් සැබෑ ජනතා ජයග‍්‍රහණ වෙනුවෙන් අපත් සමග සිටින්න. ගැටළුවක් නැත දැන් අපට බැන එදිනට එක්ව සටන් වදිමු. දැන් අපිටද බනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හඩනගා එදිනට තමන්ගේ කන්තෝරුකාමර තුළටම හෝ නිදන කාමර තුළටම ගුළිවී නොසිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඔබලාගේ සිත රිදුනානම් සමාවෙන්න අපි වකුගඩු නරක්වී මැරෙන්නට නියමිත ගොවියාට, පාසල් ගමන මග නතර කරන්නට වෙන දරුවාට දරුවන් සමග ගගට පැන මියෙන්නට තැත් කරණ අම්මාට වෙළද කලාපේ මැදපෙරදිග දියව යන සොයුරියන්ට කඩේ යන්නෙමු එබැවින් ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්න වලින් වහන්ව අකාසගතවූ 18 සංශෝධනය වැනි ව්‍යාජයන් තුළ ඔබලා ඔබලාට අවංකව මවා ගන්නා ලද ෆැන්ටසියට අපි ගල් ගසමු. තරහකට නෙමේ. 
ජය

 ඇමුණුම 1

කුමාර් ගුණරත්නම් සහෝදරයා ගෙන්වා ගැනීමට ආසන්න කාල සීමාව තුළ ගන්නා ලද කි‍්‍රයාමාර්ග

නොවැම්බර් මුල -
 ආගමන විගමන නිළධාරීන් හමුවී කුමාර් සහෝදරයා ගෙන්වා ගැනීමට අදාල කරුණු විමසා සිටීම
තැනින් තැනට යවමින් මග ඇරීම ඇර නිශ්චිත උත්තරයක් නොලැබුණු අතර දිගින් දිගටම විමසීම නිසා අවසන නීති විරෝධීව මෙරට රැදී සිටීමට හේතු දක්වමින් කුමාර් සහෝදරයාගෙන් ලිපියක් අවැසි බව දැන්වීය

නොවැම්බර් 27 -
හේතු දැක්වීමේ ලිපිය ලබාදීම
සතියක් ඇතුළත පිළිතුරු ලැබීම සාමාන්‍ය සම්ප‍්‍රදායවුවද මෙයට පිළිතුරු නොලැබුණි

දෙසැම්බර් 12 -
නැවත ලිපියකින් පිළිතුරු ඉල්ලා සිටිමින් ලංකාවට පැමිණීමට නොහැකිවීමට හේතු විමසා සිටීම
එයටද ප‍්‍රතිචාරයක් නොලැබුණි

දෙසැම්බර් 16 -
online visa ක‍්‍රමයට වීසා අයදුම් කිරීම
සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත පිළිතුරු ස්වයංකී‍්‍රයව ලැබිය යුතු වුවද එයද සිදු නොවුණි

දෙසැම්බර් 20 -
දුමින්ද නාගමුව සහෝදරයා හා චමීර කොස්වත්ත සහෝදරයා මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කිරීම
එයින්  පසුවද ආගමන විගමන නිළධාරීන්ගෙන් ප‍්‍රතිචාරයක් නොවුණි

දෙසැම්බර් 24 -
අජිත් කුමාර සහෝදරයා (පා.ම) ආගමන විගමන පාලකයා හමුවී ප‍්‍රතිචාරයක් නොදැක්වීමට හේතු සෘජුවම විමසා සිටීම
එහිදී අනවසරයෙන් රැදී සිටීමට අදාල දඩය ගෙවීම පමණක් බාධාවක්ව පවතින බව ආගමන විගමන පාලකවරයා පැවසීය
ඒ අනුව එදිනම සවස 1ට රු 39130ක දඩ මුදල ගෙවන ලදී



ඇමුණුම 2

කුමාර් ගුණරත්නම් සහෝදරයා සහභාගිවූ මාධ්‍ය සාකච්චාව

http://www.youtube.com/attribution_link?a=pjaY3Hch4r4&u=%2Fwatch%3Fv%3D7VYPk0KHlqE%26feature%3Dshare


ඇමුණුම 3

වමේ පෙරමුණට පොළිසියෙන් සිදුවූ බාධා කිරීම්

https://www.facebook.com/media/set/?set=a.714737418625549.1073741841.692458024186822&type=1


 ඇමුණුම 4

මහින්ද විවේචනය කිරීමට අදාල උදාහරණ

https://www.facebook.com/video.php?v=712953545470603

https://www.facebook.com/video.php?v=712950495470908

https://www.facebook.com/video.php?v=712946752137949

https://www.facebook.com/video.php?v=712935915472366

https://www.facebook.com/video.php?v=712934322139192



 ඇමුණුම 5

දුමින්ද නාගමුව සහෝදරයාගේ රූපවාහිනී කථාව

https://www.youtube.com/watch?v=3yPnL9QtrAs&feature=youtu.be

ඇමුණුම 6

නුගේගොඩදී පැවති වමේ පෙරමුණේ ජන රැලියේ සම්පූර්ණ වීඩියෝව

https://www.youtube.com/watch?v=JcZuqSoltZo&channel=flsocialistparty