Friday, May 15, 2020

තරගයේ වීරයා කවුද?


තරගයේ වීරයා කවුද?


මේ දවස්වල කට්ටිය කොරෝනා තරගයේ වීරයා තෝරනව. ගෝඨාභයද? මහින්දද? පවිත‍්‍රාදේවිද? ජනමාධ්‍යත් කොරෝනා වල අපේ සාර්ථකත්වය ගැන වාර්තා කරන්නෙ හරියට ඉස්සර ක‍්‍රීඩා පුවත්වල අපේ කි‍්‍රකට් කණ්ඩායම තරගාවලියක් දිනපුවහම කියනව වගේ. ඒත් මේ දේවල් අස්සෙ මතුකරගන්න  ඕනෙ වැදගත්ම සාකච්ඡුාවක් අපිට මග ඇරෙනව කියල හිතෙනව. ඒ තමයි සෞඛ්‍යය නැත්නම් නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය.

පහුගිය දශක තුන හතරක කාලය අපි වෙළදපල මෝහනය ඇතුලෙ ගෙවල දැම්ම. කඩයකට ගියහම ඇස් නිළංකාර වෙන්න එක එක දේවල් පිරිල. ටීවී එකේ පාරවල් දිගට වෙළද දැන්වීම් නිකන් පැණි රස කඬේක අතරමංවුණු ඇඹලයො වගේ අපිත් කොහෙද යන්නෙ මොකද කරන්නෙ වගේ වගක් නැතුව ඔහේ දිව්ව. කඩවල් වල බඩු පුළුවන් තරම් ගෙදර ගෙනල්ලා පුරව ගත්ත. අපි ගෙදරට බඩු ගේන්න ගේන්න කඬේට තවත් අලූත් බඩු එන්න ගත්ත. ඒව ගන්න වැඩි වැඩියෙන් සල්ලි හොයන්න අපි තවත් හයියෙන් දුවන්න ගත්තා. හති දාන්නවත් නතරවෙන්නෙ නැතුව අපි දිව්වා. මේ තරගෙ දිනන්න,  ඕන මගුලක් කරන්න පුරුදු වුනා. සොම්බි ෆිල්ම් එකක මොකක් හරි සද්දයක් අවම ඔහේ ඒ පැත්තට දුවන සොම්බි වගේ අපිත් දිව්ව. ඉස්සරහින්ම දිව්ව සොම්බියට අපි සාර්ථකයි කිව්ව. අපි විකුණුව  ඕන දෙයක්,  ඕන කෙනෙක්,  ඕන හැගීමක් අපි විකුණුවා කිසි කැතක් නැතුව.

මිනිස් සමාජෙ අපි අද භුක්ති විදින හැම දෙයකටම ඉතිහාස කතාවක් තියෙනව. ඒ කියන්නෙ අද අපි දකින හැම දෙයක් පිටිපස්සෙම ඉතිහාසයක් තුල මිනිස්සු හෙලූව ශ‍්‍රමයක් තියෙනව. ඒක ටිකක් සරළ කුණු හරුපෙකින් කිව්වොත් අද අපි දකින ගොඩක් දේවල් අද මේ තියෙන තත්වයට එන්න ඉතිහාසයෙ ගොඩක් මිනිස්සු මහන්සිවෙලා තියෙනව. ඔය කතාව මුලින්ම කැම්පස් එකේදි මට කිව්ව සහෝදරය ගත්ත උදාහරණයම ගත්තොත් මුලින්ම කවුරු හරි මිනිහෙක් නැත්තන් වානරයෙක් ගින්දරෙන් වතුර උණු කරන්න පටන් ගන්න ඇති, පස්සෙ කවුරු හරි ඒකට අඩුවක් තිබුණොත් හොදයි කියල හිතන්න ඇති, තවත් කෙනෙක් අත පිච්චෙන් නැති වෙන්න අඩුව තාප සන්නයනය අඩු දේකින් හදන්න ගන්න ඇති, තවත් කෙනෙක් තාපය පිට නොවෙන්න ආවරණය වෙච්ච භාජනයක් පාවිච්චි කරන්න ඇති, තවත් කෙනෙක් දැන් වගේ කේතලේට කටක් දාන්න හිතන්න ඇති, ඊටත් පස්සෙ ඒක ලිපක තියන් නැතුව විදුලියෙන් පාවිච්චි කරන්න විදිහක් හදන්න ඇති. මේ විදිහට අද අපි දකින කේතලය වෙනකන් කේතලය දියුණු කරන්න ඉතිහාසයක් ඇතුලෙ මිනිස්සු ගොඩක් දෙනෙක් මහන්සි වෙලා තියෙනව. මේක සමහර අයටනම් විස්තර කරන්න දෙයක් නැති හොදට දන්න සරළ දෙයක් වෙන්න ඇති. ඒත් මං මේක ලියන්නෙ තණමල්විල කොල්ලෙක් බලල ඒක ගැන සමාජ දේශපාලනික පසුබිම් ලියන අයට නෙමෙයි දෙවෙනි ඉනිම බලල අනුහස්ගෙ ආදරේ ගැන වදවෙන අයටයි.

කේතලයක් හදා ගන්න මිනිස්සු පරම්පරා ගාණක් ඒ තරම් මහන්සිවුණානම් වෛද්‍ය විද්‍යාව වගේ දෙයක් අද තියෙන තත්වයට ගන්න මොන තරම් ශ‍්‍රමයක් හෙළන්න ඇතිද කියල අපිට හිතාගන්න පුලූවන්. අත්හදා බැලීම් කීයක් ඉතිහාසය ඇතුලෙ වරදින්න ඇතිද? ජීවිත කීයක් අනාගතයක් වෙනුවෙන් කැපවෙන්න ඇතිද? වෛද්‍යවරුන් වෙනුවෙන් හිප්‍රොක‍්‍රටික්ස් සහ හෙද සේවය වෙනුවෙන් නයිටිංගේල් වැනි පරමාදර්ශයන් බිහිවන්නේද එම ෙඓතිහාසික කැපකිරීම් තුලයි. ඒ අනුව මෙම වෛද්‍ය ක්ෂේත‍්‍රය පිටුපස ඇත්තේ සමාජීය ශ‍්‍රමයකි. ඒකියන්නෙ හිතන්න ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගමට එන්න පාරක් හදනව, දැන් ඒක එක් ආකාරයක සමාජීය ශ‍්‍රමයකි. ඒ වගේම ඒ පාර ගමේ හැමෝටම අයිතියි. කවුරුවත් කාගෙන්වත් ඒ පාරෙ යන්න අවසර ගන්න  ඕනෙ නැහැ. සමාජීය ශ‍්‍රමයක ප‍්‍රතිලාභද සමාජීය වියයුතුයි.

පහුගිය දශක හතරක කාලය ඇතුලෙ වෙළදපල පූජනීයත්වයට පත්වීම ඇතුලෙ අධ්‍යාපනය සෞඛ්‍යය වගේ දේවල් වලටත් වෙළදපල භෞතීස්මය දෙන්න පටන් ගත්ත. අධ්‍යාපනයට අදාලව ගත්තොත් කවුරු මොනව කිව්වත් ජෝගියට ගත්තත් අන්තරේ උන් පාරෙ පාරෙ ගුටිකාපු හින්දම (අනිත් බලවේගවල උදව් ඇතුව* අධ්‍යාපනය විශේෂයෙන් උසස් අධ්‍යාපනයෙ සමහර ක්ෂේත‍්‍රයන් වෙළදවලකරණයට විවරවුනේ සාපේක්ෂව අඩුවෙන්. හැබැයි සෞඛ්‍යයට අදාලව ඒ වගේ කැපී පෙනෙන විරෝධයක් එල්ලවුනේ නැහැ. ඒකෙ ප‍්‍රතිඵල අපි දකිනව රජයේ රෝහල් සමහර වෙලාවට අර සුපිරි වෙළද සංකීර්ණයක මැද විවෘත අවකාශෙ බංකු දාල බඩු ගන්න එන මිනිස්සුන්ට විවේක ගන්න හදල තියෙන තැන් වගේ. රජයේ රෝහල වටේ පෞද්ගලික රෝහල්, රසායනාගාර, බෙහෙත් ශාලා නිකන් අර සූර පප්ප කතාවෙ පප්පන්ගෙ ගම වටේ රෝමන් කාරයන්ගෙ කදවුරු හදල වගේ. දැන් සුපිරි වෙළද සංකීර්ණෙ විවෘත අවකාශෙට එන මිනිස්සු ඊළගට විවිධ බඩු ගන්න වටේ තියෙන සාප්පු වලට යනව වගේ රජයේ රෝහලට බෙහෙත් ගන්න කවුරු හරි එක්ක එන කෙනෙකුටත් වෙනව අර වටේ රෝමන් කදවුරු වගේ තියෙන පෞද්ගලික ආයතන වලට ගිහින් රුධිර පරීක්ෂණ කරන්න, බෙහෙත් අරන් එන්න. මේක නිකම්ම රාජ්‍ය අංශයක අකර්යක්ෂමතාවයක් නෙමෙයි යම් ක්ෂේත‍්‍රයක් වෙළදපලට විවෘත කිරීම ඇතුලෙ ඇතිවෙන්නට නියමිත අනිවාර්ය තත්වයක්. පෞද්ගලික පාසල් ව්‍යාප්තියත් එක්ක නුදුරු අනාගතයක ලංකාවේ පාසල් පද්ධතියටත් මේ ඉරණම අත්වීමේ අවදානම තියෙනව.

ලෝකය පුරාමත් තත්වය මේකයි. අවිආයුධ වෙළදාමටත් වඩා ලාභ දායක වෙළදාමක් වෙලා ෙඖෂධ වෙළදාම. විවිධ අර්බුද කාලවල අනෙකුත් වෙළදාම් විටින් විට කඩාවැටුනත් ෙඖෂධ වෙළදාමට එවැනි අර්බුද ආශිර්වාදයක් වෙනව මිසක් කඩා වැටෙන් නෑ. කොරෝනා පැතිරුනත්, ලෝක යුද්ධයක් ආවත් එයාලගෙ බිස්නස් එක දුවනව හොදට. මේ ෙඖෂධ මාෆියාව ලෝකය පුරා ප‍්‍රකෝටිපතියන් බිහිකරන ආකරයක් බවට පත්වෙද්දි ලොව පුරා දිළින්දන් මිලියන ගණනින් මරණය වෙත ගෙනයන සාපයක් බවට පත්වෙනව. දැන් මේ සමාගම් සමාජයක් විදිහට වසර දහස් ගණනක් තිස්සෙ මිනිස්සු ගොඩනගපු දැනුම තමන්ගෙ ප‍්‍රාග්ධනය යොදාගෙන අත්පත් කොටගෙන තිබෙනව. හිපොක‍්‍රටිස්ගෙ නැත්නම් ඊටත් පෙර ඉදන් විවිධ මිනිස්සු තමන්ගෙ ජීවිතයන් පවා කැපකරමින් මෙම දැනුම ගොඩනැගුවෙ සමාජයක් සුවපත් කරන්න වුනාට දැන් ඒ සියළු කැපකිරීම් බහුජාතික සමාගම් කිහිපයක ලාභය වෙනුවෙන් භාවිතා වෙද්දි. ඒ දැනුමේ උරුමකරුවන් වෙච්ච අපි‍්‍රකානු ආසියානු කලාප වල මිනිස්සු මිලියන ගණනින් ෙඖෂධ සමාගම් වල ගබඩාවල තොග ගණනින් අදාල ෙඖෂධ ගබඩාකරල තියෙද්දි මැරෙනව. මේක අතිශෝක්තියක් නෙමෙයි ලෝකෙ සෑම වසරකම ෙඖෂධ තියෙන, සුවකල හැකි රෝගවලින් ෙඖෂධ නොමැති නිසා මිය යන පිරිස ගණින්න වෙන්නෙ මිලියන ගණන් වලින්.

ලංකාවත් ඔය ජාවාරමේ ගොදුරක් වෙනවට අමතරව පහුගිය ආසන්න කාලය පුරාවටම දැඩි ෙඖෂධ හිගයක් පවතිනව. පාලකයො හැමෝම අරයට මෙයාට ඇගිලි දික්කරනව. ඒත් අපි හැමෝම දන්න ඇත්ත මේ ජාවාරම්කාර සමාගම්වල සෙවණැලි ඔය කොතනත් තියෙනව. එක බහුජාතික සමාගමක කෘෂි රසායන මාෆියාවට වකුගඩු දෙක නරක්වෙලා ඒකට බෙහෙත් ගන්න තවත් සමාගමකට තමන්ගෙ සේසතම දෙන්න වෙච්ච ගොවි ගම්මාන පිටින් අපිට රජරටින් හොයාගන්න පුලූවන්. තමන්ගෙ ගෙවල් දොරවල් නැතිවෙලා දරුවන්ටත් දුක්විදින්න වෙයි කියල බෙහෙත් නවත්තල ඔහෙ මැරෙන්න බලන් ඉන්න මිනිස්සු  ඕන තරම් මේ රටේ හොයාගන්න පුලූවන්. මහරගම පිළිකා රෝහලේ මෑත දවස්වල ඇතිවෙච්ච ෙඖෂධ හිගය තමන්ගෙ දුව පුතා පිළිකා රෝගයට ගොදුරුවෙලා ගිණිගත්ත ගෙවල් කීයකට ප්‍රෙට්රල් බෝම්බ විසිකරන්න ඇත්ද?
කොරෝනාත් ලෝකයට ඔප්පු කලා සෞඛ්‍ය වගේ දේවල් වෙළද භාණ්ඩ කරගෙන ලෝකයට ඉස්සරහට දුවන්න බැහැ කියන කාරණය. අපේ රටේ පහුගිය කාලෙ මහ ඉහළින් අගය කරපු නිදහස් සෞඛ්‍යට විකල්ප විදිහට ලෝකෙ අත්හදා බලපු සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයන්ගේ අසාර්ථකත්වය හෙළිවෙන්න ගත්ත. සෞඛ්‍ය රක්ෂණාවරණය අහිමිව රෝහල් වලට නොගොස් නිවසේ සිට මියගිය කොරෝනා ආසාදිතයින් ගැන පුවත් අපට පහුගිය කාල සීමාව පුරා දියුණු රටවලින් අහන්න ලැබුනා. 

සෞඛ්‍ය ඒ වගේම පරිසරය මේ දේවල් දිහා බලද්දි පැහැදිලි වන කාරණය නම් අපිට තවදුරටත් මේ විදිහට ඉස්සරහට යන්න බැහැ කියන දේයි. කොරෝනා සමහර විට අනතුරු ඇගවීමක් වෙන්න පුලූවන් මහා විනාශයකට පෙර අපිට වෙනස් වෙන්න. මේ සටහනේ අරමුණ නිදහස් සෞඛ්‍ය ගැන ආයෙමත් කතා කරන්න පටන් ගන්න කියල ඔයාලට ආරාධනය කරන්න. ඒ වෙනුවෙන් පෙනී ඉන් අඩගහන්න. 

නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු....

රිවිහාර පින්නදුව

No comments:

Post a Comment