Sunday, November 9, 2014

ලෙයින් රත් වුණු අහස යට......................



ලෙයින් රත් වුණු අහස යට......................

පාර දිග දස අතේ
ඇවිදිමින් සොයන්නෙමි
හමුවනා හැම මුවක
බස් රියක දුමරියක
කහ ඉරක පදික වේදිකාවක
පෙට්ටි කඩේක
සුපර් මාර්කට් එකක
ලිමොසලින් එකක් ඇතුළෙ
ෆුට් සයිකලේක
**** එකේ
දර පෝරණුවක
හැම තැනම මන්
හොයනවා මිනිසෙක්

ත්‍රිපිටකය සොළව සොළවා
බයිබලය පෙරළ පෙරළා
කුරාණය උඩ දදා
භගවත් ගීතාව කිය කියා
මක්කමට දුව ගොසින්
දිය බුන් ගගහ ගන්ගා නම් ගගේ
වතිකානුව කළඹවා
සිරිමා බෝ උඩ මළුවෙ
හොයනවා මිනිසෙක්

හැන්දෑවෙ කොටුවෙ
කෝච්චියෙ හිර වෙලා
සුළන් පොදක් නැති
එක තැනම කැකෑරෙන 
දාහය ඇග දවන
වයින් කරපු ජීවිත
හෙම්බත්වුණු දෑස් වලට එබී
හොයනවා මිනිසෙක්

මග ඇරුණු ජීවිතය
මඩමෙ සොයුරියකගෙ
සාය අස්සෙන් සොයන
උපත් පාලන කොපු වන්දනය කර
සයනේ දපන
පොට වැරදිච්ච ජීවිත
සිරුර නොව ආත්මය
රමණයේ යෙදෙන මොහොතක
පැයට ගත් කාමරයක
හොයනවා මිනිසෙක්

ඉරි තැළුණු වැව් ඉහත්තාවක
වකුගඩුව සින්න වුණු
වී ටිකට මිළක් නැති
මැහි තෙල් කුප්පියක් ඇස් ගසන
ගොවියෙක්ගෙන් පාර අහන්
හොයනවා මිනිසෙක්

සතපවා ළය සයනෙ
තුරුළු කොට තෙමා මුව හාදුවක
පෙම්වතිය අද්දර
කැඩපතක් කොට ඈව
මන් ළගම මා තුළම
හොයනවා මිනිසෙක්

ලෙයින් රත් වුණු අහස යට
ප්‍රේමයක් ඉව කරණ
මිනිස් කම සොයාගෙන
උඩු ගන් බලා පීනන
සටන් බිමක හමුවේවි මට
මා සෙවූ මිනිසාව............

( https://www.facebook.com/photo.php?fbid=686687838074636&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )

No comments:

Post a Comment