Sunday, November 2, 2014

බර අඩුද කදුළක දෙමළ අම්මෙක්ගෙ......................




බර අඩුද කදුළක
දෙමළ අම්මෙක්ගෙ......................

අසූනමයෙ හීතලට
තාමත් මාව වෙව්ලන
නිදහසේ සිහිනයක්
ටයර් සෑයක දැවුණු
වධකාගාරයක් අද්දර
පුතු ඉල්ලා හඩන
අම්මෙක්ගෙ කදුළක
බර කොහොම දැරුවාද
මට කියනු මහ පොළව

ගිජුලිහිණි අහස් කුස
ගොදුරු සොයා පියඹන
මිනිස් පරඩැල් ඉතිරිකර
මිනිසුන් රැගෙන ගිය කරුමය
පුතු සොයා පොල් ගහන
කතරගම දෙවියන්ට
තාත්තෙක්ගෙන් අසනු
වේදනාවක තරම

මායිමක රට මැද
සොහොයුරන් දෙපසටව
වෙඩි තියාගත්තෙ මක්කට
යුධ සැමරුම් කුමට
පැරදුම් පමණක් උරුම යුද්ධෙක
කැබිතිගොල්ලෑවෙ නන්දිකඩාල්
කෝකත් එකයි
ඔක්කොම මිනිස්සු
ඒවගේම දුප්පත්
පීඩිතයො හෙම්බත්
මායිමක් දෙපැත්තෙ
තුවක්කු ගත්තු සේරටම
කියන්න ඇත්තෙ එක දෙයයි
උඹල තුවක්කු හැරෙව්වෙ
වැරදි පැත්තට

පුතු නමින් කදුළු හුරු අම්මලම
දෙමළ අම්මෙක්ක්ගෙ කදුලකට
නිගා දෙන අරුමය
වැරදුනේ කොතැනද
මහ පොළව දිනන දා
මිනිස්කම පැරදුණිද
රද්දොළුගම ඉදන්
සමතලා කළ ආරාමය
අහින්සකයින් ළග උඩ බලන්
මට තියෙන උභතෝකෝටිකය
බර අඩුද කදුළක
දෙමළ අම්මෙක්ගෙ

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=607876972622390&set=pb.100002002790094.-2207520000.1414998806.&type=3&theater )

1 comment:

  1. මේ මියගියවුන් අතර සිටින ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැතිවුන් උදෙසා සාධාරණය ඉටුවිය යුතුයි.

    ReplyDelete