Sunday, November 30, 2014

නුඹ දන්නවද වෙරෝනිකා.........



නුඹ දන්නවද වෙරෝනිකා.........

දුක දරා සිසිරයේ
වසන්තය එළඹිලා
අතු අගින් පුන්චි මල්
එකින් එක පිබිදිලා
ස්නේහයේ උණුසුමින්
සියරා මස්රාමව සැනසිලා
ඒ උනත්
නුඹ නොමැති වසන්තය
මට තවම සීතලයි
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

ජීවිතේ වෙර සිදුණු
අප පෙම් කළ
අහින්සක මිනිසුන්ගෙ දෑස් අග
අදිටනේ පහන් සිළු දැල්විලා
උන් නගන සිනහ හඩ අසන්නට
ගිහින් එන්නම් කියල ගිය
ඒත් කිසිදා නේන
නුඹලත් මෙතන හිටියනම්
මොනතරම් අපූරුද
සිනහවක් දියකරන්
කදුලක්ම මතුවෙලා
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අරගලය පිටදමා
හදේ ගැඹුරක සැගවූ
කිසිදා නොකියූ
රහසක් නොවුණු රහසක්
එබිකම් කොට නුඹේ දෑසට
සුසුමින් පහස ලැබ
සිත් පුරා විදි නුඹේ සුවදම
තනිවෙනා වෙරළ කොණ
ළන්වී සවනතට
පවසන්න දුටු හීනය
වරදක්ද? පාපයක්ද?
මොක උනත් කම් නොමැත
වැළලිලා හදෙහිම
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

සාන්ත ක්ලේරා වීදි කෙළවර
දන්නා හදුනන මළ සිරුරක්
අවසන් මොහොතෙත්
තුවක්කුව අතනොහැරි
නොදැක්කා සේ ඇය මතින් පැන
ඉදිරියට දුවන්නට වුණ
අසරණ පෙම්වතෙක්
හැමදාම රෑට
මන් ළගට විත්
වෙඩි තියනව හදවතට
ගිණි තියනව ආත්මයට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අපි හදපු ඉස්කෝලෙ
නුඹේ පොඩි ගෝලයින්
එයාලගෙ පුන්චි ගුරුතුමී
දස අතේ හොයනවා
විප්ලවය දිනුව අපි
පොඩිකමට එකෙක් මට කියනවා
නුඹ කියපු කතාවක
අන්තිමට මොකද උනේ
උන් මගෙන් අහනව
පොඩි එවුන් එක්ක මන්
නුඹේ මතකය සුරැකි
වන වදුළු වෙත ඇදෙනවා
මේ ගස් අතර
උඹලගෙ ගුරුතුමී ඉන්නව
නුඹ කියා හිතාගෙන
අනේ උන් ගස් වලට
ආදරෙයි කියනවා
අඩන්නේ සතුටටද
දුකටද නොදැනම මමත්
ගහකට ආදරෙයි කියනව
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

අප්රිමකාව දුර ඈත
අරගලය ඇවිලිලා
චේ එක්ක මාත්
නැව් නගිනව හෙට උදේ
කියල යන්නයි ආවෙ
සියර මස්ට්රාආවට
ඒවගේම නුඹට
පුලුවන් උනොත්
ගිහින් එන්නම්
පෙරදාක පොඩි කෙල්ල නුඹ
ඒත් දැන් නුඹ ගාව
මන් පුන්චිදැයි හිතෙනව
නුඹ නමින් කවි ලියන
පන්හිදෙන් සමුගනිමි
මතකයන් පමණක්ම
සින්නක්කරව අරන් යමි
පරමවූ ප්‍රේමයක
අරුමය දැනෙයි මට
නුඹ දන්නවද වෙරෝනිකා
අරගලය දිනුවයි
පැරදුමත් ඇත්තයි

(  https://www.facebook.com/photo.php?fbid=518166158260139&set=pb.100002002790094.-2207520000.1417401171.&type=3&theater )






Friday, November 21, 2014

ස්නේහයේ ගරිල්ලෝ.................



ස්නේහයේ ගරිල්ලෝ.............

වසන්තයෙ හිම මිදුණු
සාපලත් යුගයක
සිසිරයට උණුසුමක්
අරන් ආවේ නුඹලයි
ඝනදුරැ දවාලක
පහන් සිළක් සේ දැල්වුණ
සිහිනයම නුඹලයි
ඒ බව ඇත්තයි, ඇත්තමයි
ඒ උනත්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙර සිදුණු යටත් වුණු
එකම අච්චුවේ මුහුණු
දැකලාම හෙම්බත්ව
අධිෂ්ඨානයෙන් විකසිත
ප්‍රේමයෙන් ආතුර
අරැම මිනිස්සු වගයක් 
ඇවිල්ලා සියරා මස්ට්‍රාවට
ආරන්චි මාත්‍රයටම
තබා දිවියම පරදුවට
ආවෙමි සොයන් නුඹලාව
එදා මන් නෙමෙයි අද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

නොකපන රැවුල් කොන්ඩ
කාකි ඇදුමෙන් වැසුණු
අවි අත දැරැව
කිසිදා නෙත නොදුටු
පිළිවලක් ඇති
සුරුට්ටු උරන
අපිළිවෙල මිනිස්සු
සිනහව හරි සරලයි
කියන බස්නම් ගැඹුරැයි
මුලදි කුනු හරැප වාගෙයි
කාලය ගෙවී ඇත
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

වෙනසක් දැනුණ
අපේ ඇස් හමුවුණු පළමු දින
මතකද දොළ ගාව වාඩිය
නුඹෙ නමින් කිති කැවුණු
කිසිදා හමුනොවුණු සිතුවිලි
නුඹේ ඇස් මත ඇදුණු සිතුවමක
විප්ලවේ රතු ධජ අතර
මාවත් සිත්තම් වෙලා අස්සක
මන් දැක්ක හිටියට
නොදැක්ක සේ බොරැවට
වැසිදාට වාඩිය ගාව දොළෙන්
කර තබන් නුඹ එගොඩ කළ
ඒ පුන්චි කෙල්ල නෑ ඉතින්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

සිහිනයක් වෙනුවෙන්
දිග ඇරැණු අරගලය
අපි අපිව උරගාන
නිමේෂය ඇවිදින්
සිත පුරා ඇවිළෙන
හද පුරා කකියන
දෙතොලගින් පොපියන
ඔය වචන ටික ගිළගනින්
බර වෙච්ච හදවතින්
බෑ ළය දෙන්න එඩිතරව
උන් එවන උණ්ඩයට
අනේ... මට සමාවෙයන්
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

යනවාලු අල්ලන්න
සාන්ත ක්ලේරා හවානා
ඉන්නලු නැවතිලා
සියරා මස්ට්‍රාව බලාගෙන
පිස්සුද නුඹට
වෙරෝනිකත් ආසයි බලන්න
රතු මල් පිපුන හවානාව
සියුමැලි අතින් වුව
කොකා ගැස්සුවොත්
මනුස්සයෝ.....
පිටවෙන්නෙ වෙඩි උණ්ඩමයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

ආසයි මන් නුඹත් එක්ක
හැන්දෑවක ඇවිදින්නට
සිසිල් සුළග වෙරළ කොනක
හිස තියාන ළය මඩලට
බොළද වදන් තෙපලන්නට
හිරු සැගවෙන නිමේෂයක
දෙතොල් අගින් එක්වෙන්නට
කවදා හරි නුඹේ නමින්
මව් සිහිනය කුස දරන්න
පාගාගෙන ඒ සිතුවිලි
ඔපදමනෙමි තුවක්කු බද
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්

එමි යන්න නුඹ එක්ක
පිටිපස්සෙන් නොව එක පෙලට
වෙඩි උණ්ඩ වැසි මැද්දෙ
දළුලාවි ප්‍රේමයම
අතර මග මියදුනත්
නොනවතිමි නුඹ ගාව
නුඹෙ උණ්ඩත් ගෙන අතට
වෙඩි තබමි පෙර සේම
දිනන දා අප පැතුම
ඉකිගසා හඩන්නෙමි
කෑගසා කියන්නෙමි
මන් නුඹට ආදරෙයි
දැන් යන්න වෙලාවයි
දෙන්න මට තුවක්කුව
පරම වූ ප්‍රේමයක
අරුමය එයයි
ස්නේහයේ ගරිල්ලෝ 
මන් පුන්චි නෑ තවත්...

( https://www.facebook.com/photo.php?fbid=510069819069773&set=pb.100002002790094.-2207520000.1416634842.&type=3&theater )

ලෝක තරුණ ආතල්......................



ලෝක තරුණ ආතල්......................

මහත්වරුනි හම්බන්තොට
දැන් හරි ෂෝක් නේද
ලෝකෙම කොල්ලො කුරුට්ටො
ගෙන්නල පෙන්නුවම
ආඩම්බරයි නේද
උඩුවියන් රතුපලස්
රස භොජුන් සැරසිලි
ඇස් රිදෙන
දිව ගිලෙන
ආශ්චර්ය දැන්නම්
දැනෙනවා බොක්කටම
දවස් එකසිය පනහක් ඇත්තට
හැරිලවත් බැලුවෙ නැත
රට පුරා උපවාස බිම්වල
ප්ලේන්ටියෙන් බඩ පුරවන
සරසවියෙ තාරුණ‍යය

චූ කරන්නවත් නැගිටින්න
ඉඩක් නෑ මැෂිමෙන්
රුපියල් දහදාහක
පඩි ලබන වහලියන්
මතකද පෑන්ටි මහන
වෙළද කලාපෙ තාරුණ‍යය

පෙම්වතාට රැවටුණු
අවුරුදු දාහතරෙදිම
මොකක්ද පටලෙ ඉරුණු
පැයට දාහට විකිණෙන
මරදානෙ මඩමෙ තාරුණ‍යය

ජීවිතේ හීන කරගහන්
පොට වැරදිච්චි මාවතේ
ආත්මයම උගසට තිබ්බ
බස් එකේ හන්දියේ
මට මුණ ගැහුන තාරුණ‍යය

කැදවන්නෙ කවුද කවද්ද්ඩ සමුළුවකට
අහන්නට ඇත්තම ප්‍රශ්න
හොයන්නට විසදුම්
පරිස්සමින් මහත්වරුණි
උන් උන්ගෙම සමුළුවක්
කැදවාවි දවසක
ඔය මැදුරු පදනම්
දෙදරාවි එදවස

සීතළ කරපු මැදුරක
සාද කථාවන් පිරුණ
සිනාවෙන් සරසපු
අයිසින් කේක් කන
කූල් ඩ්‍රින්ක්ස් බොන
ලෝක තරුණ ආතල්........

( https://www.facebook.com/photo.php?fbid=642539115822842&set=pb.100002002790094.-2207520000.1416634187.&type=3&theater )

Thursday, November 20, 2014

ආදර බර පුන්චි කෙල්ල...........


ආදර බර පුන්චි කෙල්ල...........

සියරා මස්ට්‍රාවේ සුපිපි කුසුම
ඔත්තුකාර රකුසු ඇසින්
වහන් වෙවී තිරිගු ඇද්ද
චේගෙ පස්සෙ වැටුණු
ගරිල්ලාට පෙමින් බැදුණු
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ගිණියම් සටන් බිම
සැරි සරන රතු සමනළිය
වෙඩි උන්ඩ සිදුරු මත
ස්නේහයේ ඔසු ගල්වන
හැන්දෑවෙ ගිණිමැලය ළග
ගී කියන කිරිල්ලිය
ඒ ගීය මට නේද?
අසන්නේ මන් කොහොම
සටන් බිම ඇවිළිලා
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

අප සිහින සමාජය
උදෙසා මහ පොළවෙ අරගලය
චේ ඊයෙත් මට කිව්ව
සහෝදරය ජය අපිට
කියුබානු බිම පුරා
රතු ධජ ලෙළෙනා දිනෙක
ඉඩදෙනවාද මට
ආදරණීය මිනිසුන් අතර
හවානා වීදි කෙලවරක
නුඹේ මුව සිපගන්න
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

දැරැවාට ගිණි අවිය
හරි බරයි මට මේක
මේ මහා වගකීම
උර මතින් බිම තබන දින
පන්හිදම තුරුළුකොට
ලියමි කවි දහසක්
වෙරෝනික නුඹෙ නමට
ඇතැගිලි බැද නුඹත් එක්ක
ඇවිදින්නට අනන්තයට
තුරුලු කරන් ළය සයනෙට
ළන්වී ඔබෙ සවනට
රණ ගී ගැයු මුවගින්
ආසයි මට මුමුණන්නට
හරිම සරළ පෙම් කවියක්
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

වෙලාව ඇවිදින් යන්න
හැරදමා සියරා මස්ට්‍රාව
එළිමහනෙ අවදානම්
වීදියෙ සටන් බිමට
එක් වරක් මෙහෙ බලනු
කදුළු පිරි දෙනෙතින්වුව
සිනහවනු දැන්ම
මතකය අරන් යමි යන්න
තුවක්කුව පමනක් නොවේ
දැන් දැන් බර මෙමට
දිනන දා විප්ලවය
රතු ධජය ගෙන දුවන් එමි
හද බැදි සියරා මස්ට්‍රාවටම
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

ඇත්ත කටුකයි
ඒ කටුක බව ඇත්තයි
යළි නො එන්නට ඉඩ බෝමයි
වෙඩි වැදුණු දින සාය ඉර
නුඹ බැන්ද වෙළුම් පටිය
පපුව ළග උඩ සාක්කුවෙ
ඇත තාම සත්තයි
වෙරෝනිකා
ඉතින් මන් නාවොත්
සියරා මස්ට්‍රාව පාමුල
අපි හදපු පුන්චි ඉස්කෝලෙ
පොඩි උන්ට කියාපන්
එකෝමත් එක කාලෙක
අර පේන කදු අතර
රෝස මල් අතින් ගත්
මිනිස්සු වගයක් හිටිය
ඔයාලට ගොඩක් ආදරය කළ
ඒ ආදරයටම ජීවිතය දිය කළ
නුඹේ පුන්චි ගෝලයො අතර
අන්තිම පෝළිමේ කෙළවර
පොඩි එකෙක්ගෙ දෑසින්
අපි හදපු සොදුරු ලොව
මන් දකින්නම්
ඔසවන්න උන්ව ඉහලට
අපිටත් වඩා දුර ඈත
ලෝකය උන් දකින්නට
පරම වූ ප්‍රේමයක
අරුම කියනුව
වෙරෝනිකා
ආදර බර පුන්චි කෙල්ල

( https://www.facebook.com/photo.php?fbid=507355226007899&set=pb.100002002790094.-2207520000.1416543635.&type=3&theater )

ප්‍රමාද වූ කවියකි මේක..................




ප්‍රමාද වූ කවියකි මේක..................

ප්‍රමාදවූ කවියක්
ලියන්නට මම
මග ඇරුණු අකුරු අද
හොයනවා හැම තැනම
කැඩපතක් අද්දර
පැමිණිල්ල ගොනු කරන්නට
කදුළු පිරි නුඹෙ දෙනෙත යට
සිනාවක් තවරන්න
මහමෙරක ආදරේ
හකුළුවා හාදුවක
නුඹේ නළලත වැඩ ඉන්න
ප්‍රේමයේ හුස්මක්
මොනතරම් සැහැල්ලුද
පියඹමුද අපි
කිරළ පැටවුන් එක්ක
උදුපියළිය අරන්
හදේ හාවට දෙන්න
නුවර යමු කොච්චියක
ගැරඩියෙක් හොයාගෙන
අතර මැද මහන්සියට
ඉස්සො වඩයක් කමුද
මතකයන් රාමු කර
නිදහස් චතුරස්‍රෙ එල්ලමුද
බලන්නට එන අයට
වෝකර්ස් කැෆේ එකෙන්
ආප්ප දෙමු නේද
රතු පාට සිත්තම
නුඹේ පින්සල් පාරෙන්
තව තවත් හැඩ වෙන්න
සෙනෙහසක් අද්දර
අර මහා කදු ශිඛර
සමතලා වනු ඇත
ජීවිතේ වන්දනාවක
ප්‍රේමයක් මතුරමින්
එන්න යමු හොයාගෙන
සිසිළ දෙන නිම්නයක්
සැනසුම් සුසුම්
මද පවන විදින්නට
සිහිනයක් මත නැගිට
ප්‍රමාද වූ කවියකි මේක
තවම පරක්කු නැති..........

( https://www.facebook.com/photo.php?fbid=709976649079088&set=pb.100002002790094.-2207520000.1416542591.&type=3&theater )

Monday, November 17, 2014

මේ කොළඹ මන් දැක්ක ලස්සනම දසුස්න ඒකයි............



මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

විදුලි එළි ඇස් නිලන්කාරය
අපි ගිහින් කැත වෙයිද
විහාර මහාදේවි උයනත්
දැන් හරිම භයන්කාරය
බාට දාපු දෙපයට
පල නොකිය පලා බෙදන
නිදහස් චතුරස්‍රය හතරැස්ය
අහස සොයන් උස යන
මහා මන්දිර අද්දර
පොළවත් අහිමි මිනිසුන්ය
ලැම්බෝගිනි යන පාරක
ෆුට් බෝඩ් එකේ ඉඩ සොයන
මැද පන්තියේ මහතුන්ය
කොටුවත් දැන් හරිම ලස්සන
ගල් අල්ලලා පොළවට
මග ඇරුණු බදුල්ලෙ ට්‍රේන් එක
ගතටත් වඩා හිත වෙහෙස රාත්‍රිය
ගල් අල්ලන පොළවට 
අයිය වැඩ ජයටම
රෑත් නෑ නිවාඩුව
බඩගින්නෙ අඩන පොඩි උන්
ගැනම සිහිකර දිරි ගන්න
පොළව සිප ගන්න යකඩ මිටියට
දුක හිතෙන් නැද්ද උඹ ගැන
දඩියෙන් තෙමුණු මුහුණයි
කදුළක් නලියන දෑසයි
බුලත් විට කහට දත් දෙපලයි
උඩ බලන් දුවන උන්ට උව
පුදන ඔය හිනාවයි
මේ කොළඹ මන් දැක්ක
ලස්සනම දසුස්න ඒකයි............

( https://www.facebook.com/photo.php?fbid=604391259637628&set=pb.100002002790094.-2207520000.1416290071.&type=3&theater )

වමට පියවර තබමු අද අපි.....................


වමට පියවර තබමු අද අපි.....................

විඩාබර දෑසකින්
පාළුදෙන මනසකින්
මළසොහොන් හැගීමක්
කරගහන් කොහේදෝ යන්නෙ අපි
තරු කොහේ වළාකුළුත්
හොයන්නට නැති
අහස් වියන් යට
වල් පැළත් කරවෙච්ච
ගිණියම් පොළවකි මේක
ජය කණුව නැති තරගෙක
පළමුවැනියා හොයමුද
පින්තාරු සිනහවක අපි
සතුට සරුන්ගල් අරිමුද
හීන පන නහපු පොළවක
අධිටනක් දියවෙලායාවිද
වැරදිච්ච තැන් අපමණ
මොනතරම් වටිනවද හෙටකට
ඉතින් නින්දා දෙන්නෙ කුමටද
පාරම්බෑවට ඔච්චර
සරුවපිත්තල ක්‍රමයක
උත්තර ලැබුනද උඹලට
රකින්නට කොච්චර
මිනිස් පරඩැල් අතර
පියාසර හොයමු අද
අළුතින් දළු දාන
මිනිසුන් දසත
දැවුණු වනයක
අළුත් පැළ ගැන
රදවමු අපි සිහිනයක්
වෙරගෙන ඉතින් හදවතට
වමට පියවර තබමු අද අපි.........

( https://www.facebook.com/photo.php?fbid=741142465962506&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )