Tuesday, June 14, 2016

කණ්නාඩි ත්‍රස්තවාදියෝ


කණ්නාඩි ත්‍රස්තවාදියෝ


ජීවිතේ සිදුවෙන සමහර අහඹු දේවල් ජීවිතේම වෙනස් කරණව. හැබැයි ඒ අහඹුව අපි ඉස්සරහට එද්දි අපි ඒක භාරගන්න ලෑස්ති වෙලා හිටියෙ නැත්තන් ඒකත් ජීවිතේ හැම විනාඩියක් ගානෙම වෙන කෝටි ප්‍රකෝටි ගාණක් දේවල් ජීවිවලින් තවත් එකක් විතරක් වෙයි. හරියට බස් එකක යද්දි පහු කරන් යන ලයිට් කණුවක් වගේ. තවත් වෙලාවකට මට හිතෙනව මේ දේවල් ඇත්තටම අහඹුවක්ද? නැත්තන් කවුරු හරි කරපු දෙයක්ද? කාලය ගැන මං මේ තරම් සවිඥාණික වෙච්ච දවසක් මට මතක නෑ. ගතවෙන හැම තත්පරයක් තත්පරයක් ගාණෙම මං ජීවත් වෙනව. ඒ හැම තත්පරේකටම මට වටිනාකමක් තියෙනව. ජීවිතේ වැදගත්ම නිමේෂෙකට ළං වෙමින් ඉද්දි එහෙම වෙන එක පුදුමත් නෑ. මං හරිම ලෝබ කමින් හුස්ම ගන්නව. මේ තරම් හුස්මක ආස්වාදයක් මට කවදාවත් ලැබිල නෑ. ජීවිතේ පළවෙනි පාරට පෙම්වතියකගෙන් හාදුවක් ලැබෙද්දිවත් මං මේ තරම් ආස්වාදයක් විදල නෑ. ඒක රමණයටත් එහා ගිය උන්මාදනීය ආස්වාදයක්. මං ආලෝකයත් අදුරත් අතර නිමේෂයක් ගතකරමින් ඉන්නෙ. කොහෙන්දෝ පටන් ගත්ත මතකයන් මගෙන් එළියට ඇවිත් මං ඉදිරියේ අවකාශයේ හැසිරෙන්න ගත්ත. මං අම්මගෙ කුසෙන් එළියට එන හැටි, දණ ගාන හැටි, මුළින්ම ඇවිදපු දවස, පළවෙනියට ඉස්කෝලෙට ගිය දවස මේ හැම දෙයක්ම. ඇත්තටම මේ මතකයන් ටික අකුළගෙන ගිහින් වෙන කාගෙ හරි ඉස්සරහ දිග ඇරියොත් එයාටත් වැඩි අමුත්තක් දැනෙන එකක් නෑ. මොකද එහෙන් මෙහෙන් වෙච්ච මග ඇරීම් ඇරෙන්න ලොකුවට වෙනසක් කියල කියන්න දෙයක් අපේ මතකයන් අතර නෑ ඒ දවස එනකම්. ඔව් මේ හැම වෙනසකටම මුල කණ්නාඩියක්. සත්තකින්ම නිකම්ම නිකන් මූණ බලන කණ්නාඩියක්.
කණ්නාඩිය, පුංචි කාලෙ ඉදල අපිට හරිම අරුම පුදුම දෙයක්. ඒ ගැන එක එක කතා අපි අහල තියෙනව. කොහොම හරි අපේ හිත් වලට කාවද්දල තිබුණෙ කණ්නාඩිය කියන්නෙ භයානක නපුරු දෙයක් කවදහරි හමුබවුණොත් ඒකෙන් පුළුවන් තරම් ඈත්වෙන්න කියල. ඉස්සර මිනිස්සු කණ්නාඩියෙන්ලු මූණ බැලුවෙ. දැන් කණ්නාඩි වෙනුවට හැමෝම ගාව තියෙන ෆෝන් වල ඉස්සරහ කැමරාව තියෙනව. ගෙවල් වලත් බිත්තියෙ ලොකු තිරයක් තියෙන මේ වගේ මූණ බලන උපකරණ හයි කරල තියෙනව. දුප්පත් ගෙවල් වල වතුර භාජනයක් තියල තියෙනව. ඉස්සර මිනිස්සු ගමනක් යද්දි බෑග් එකේ සාක්කුවෙ එහෙමත් මේ භයානක කණ්නාඩිය දාගෙන යනවලු. ඒ දවස් වල කණ්නාඩියත් නිකන් පෑනක් පොතක් පැන්සලක් වගේම තවත් දෙයක් විතරයි. කාලෙකට පස්සෙ ඒ හැම දෙයක්ම වෙනස්වුණා. මිනිස්සුන්ට කණ්නාඩි වලින් යක්ෂයො පේන්න ගත්ත. ඒ දවස්වල හැමදේම අවුල් වුණාලු. ගොඩක් මිනිස්සු භයවෙලා ඉස්පිරිතාල වලටත් ගේන්න අරන්. අන්තිමට හැම තැනම තිබුණ කණ්නාඩි එකතු කරල විනාශ කරල තියෙනව. කණ්නාඩි හදන එක තහනම් කරල. තහනමෙන් ටික කාලයක් යනකන් මිනිස්සු අතර එහෙන් මෙහෙන් ඉතුරුවුණු කණ්නාඩි තිබිල තියෙනව. ඒත් පස්සෙ ඒවගෙනුත් සැරෙන් සැරේ මිනිස්සු භය වෙන්න ගත්ත හින්ද කණ්නාඩි ළග තබා ගන්න එක අපරාධ වරදක් කළා. අන්තිමට වසූරිය වෛරසේ වගේම කණ්නාඩිත් මේ මහ පොළවෙන් තුරන් කරල තියෙනව. අන්තිම කණ්නාඩියත් විනාශ කරල පොලව කණ්නාඩිවලින් තොර බිමක් කරපු දවස අදටත් අපි සමරනව. මේ දේවල් වෙද්දි අපේ පරම්පරාව ඉපදිලත් නෑ. අපේ තාත්තටත් යන්තම් අවුරුදු  හතරක් පහක් විතර ඇතිලු. තාත්තටනම් යාන්තමින් වගේ මතකයිලු කණ්නාඩිය කියන එක ගැන. ඉස්සර සීය ඉන්න කාලෙනම් මහගෙදර තිබුනු කණ්නාඩි මේසයක් ගැන, ආච්චි අම්මට සීය තරුණ කාලෙ තෑගි දීපු පොඩි කණ්නාඩියක් ගැන, බාබර් සාප්පු වල බිත්තියෙ හයිකරල තිබුණ ලොකු කණ්නාඩි ගැන මේ විදිහට දහසකුත් කතා කියනව. ආච්චි අම්ම පුංචි කාලෙ බිත්තියෙ එල්ලල තිබුණු කණ්නාඩියක් ගලවන්න ගිහින් ඒක ඇගට වැටිල, බිදිල ඒකට කැපිල වෙච්ච තුවාල කැලලක් ආච්චි අම්මගෙ කකුලෙ තිබුණ. දෙක වසරෙ සිංහල අච්චු පොතෙත් තිබුණ කණ්නාඩිය කියල පාඩමක්. මං ටිකක් ලොකු වෙද්දි සීය කණ්නාඩිය ගැන වෙනස් විදිහෙ දේවල් එහෙන් මෙහෙන් මට කියන්න ගත්ත. මට ලොකුවට ඒ කියපු දේවල් තේරුණෙත් නෑ. ඒත් සීය හැම තිස්සෙම කිව්ව දෙයක් තමයි කණ්නාඩි නෙමෙයි වැරදි කියල. එහෙමනම් මොකක්ද, කවුද වැරදි? කොහොම හරි ආච්චි අම්මයි අපේ අම්මයි හැමෝම සීයට කෑගහන්න ගත්ත පොඩි එකාගෙත් ඔළුවත් අවුල් කරන්න එපා කියල. පස්සෙ සීයත් ඒ කතා අඩු කළා.
සීයගෙ අවසන් කටයුතු ඉවරවෙලා ටික කාලෙකින් මහ ගෙදර කඩල එතන අලුතින් ගෙයක් හදන්න අපේ ගෙදර අය ලෑස්ති වුණා. මහ ගෙදර තිබුණ බඩු ඔක්කොම අපේ ගෙදර පිටිපස්සෙ තිබ්බ ගබඩා කාමරේට ඇද්ද. කුළු ගෙඩි පාරවල් එකින් එක වැදිල මහගෙදර බිමට සමතලා වෙද්දි මොකක්දෝ බරක් පපුවට දැනුනෙ මගෙ විතරක් නෙමෙයි කියල තේරුණේ පිටිපස්ස බලද්දි ගෙදර අනිත් අයගෙත් මූණවල් දකිද්දියි. හැන්දෑවෙලා ඒ වැඩ ඔක්කොම ඉවර කරල ගෙදර කට්ටිය ආගිය කතා කතා කර කර තේ බොද්දි මං මගේ තේකත් අරගෙන ගබඩා කාමරේට ආව. මේ පොළවෙ එක පරම්පරාවක් ඇස් අයාගෙන මං දිහා බලන් ඉන්නව වගේ හැගීමක් මට කාමරේ ඇතුලෙදි දැනුණ. ඒ පීඩනේට ආපහු යන්න දොර දිහාට හැරුනම අදුරු කාමරයත් ආලෝකවත් දොරත් අතර මං අතරමං වුණා. ටික වෙලාවක් ඉද්දි මට තේරුණේ මේ කාමරෙන් පැනල යනවට වඩා දෙයක් මෙතන තියෙනව කියල. මේ හැම මේසයක් පුටුවක්ම හුස්ම ගන්නව මට දැනුණ. ඒව මට කොහෙට හරි පාර කියනව වගේ. ඔය අතරෙයි කාමරේ කෙළවරම තිබුණ පරණ පෙට්ටගම මං දැක්කෙ. සීය ඉන්නකන් කාටවත් ඕකට ළං වෙන්න දුන් නෑ. ඊට පස්සෙත් ඕකෙ දාල තිබුණ ආච්චි අම්මගෙ රත්තරන් බඩු වගයක් ගන්න ඇරිය ඇරෙන්න කාටවත් ඒ පරණ පෙට්ටගම ගැන වගේ වගක් තිබුණ් නෑ. යතුරත් යතුරු කටේම තිබුණ හින්ද මං අමාරුවක් නැතුව පෙට්ටගම ඇරගත්ත. පරණ සාරි වගයක්, පොඩි පිත්තල බඩු වගයක් ඔය විදිහට එක එක දේවල් තිබුණ. ඒත් එහෙමටම කියල දෙයක් නෑ. ඒත් හදිස්සියෙම හම්බුන දෙයින් මගෙ ඇග හිරි වැටුණ ඒ කණ්නාඩියක වටේ ආවරණයක් මං හිතන විදිහට. සමහර විට ඒක වෙන්න ඇති සීය අර ආච්චි අම්මට තෑගි දුන්නයි කියපු එක. ඒකෙ කණ්නාඩිය අයින් කරල මිටකුත් එක්ක බෑග් එකක වගේ දාගෙන යන්න පුළුවන් පොඩි එකක්. ඒකෙ මිටේ ලස්සනට ලියවැල් කැටයම් වගේකුත් තියෙනව. ඒව ලස්සන වුණාට එතිල එතිල හරියට කණ්නාඩිය ගැන අපි අහපු කතා වගේම පැටලෙවිල. ඒක ආයෙම පෙට්ටගමේ පතුලෙම තියල මං එලියට ආව. ඒත් මට දැනුන මොකක්දෝ අඩුවක්. ආයෙ ගිහින් පෙට්ටගමේ තිබුණු හැම දෙයක්ම එළියට ගත්ත. ඒත් කිසිම අමුතු දෙයක් තිබුන් නෑ. එහෙම වෙන්න බෑ. බඩු අස්සෙ තිබුණු පිරිත් පොත අතට ගත්තෙ නිකමට. සීය කවදාවත් මේ පොත බලනව මං දැකල නෑ හැබැයි හැමදාම හවසට සීය පිරිත් කිව්ව. එතනත් මට නොතේරුන දෙයක් තිබුණ, වෙසක් පෝයටවත් පන්සල් නොයන, ආච්චි අම්ම දෙවිය ලෝකෙ අපාය ගැන කියද්දි ඇත්තටම ඕව තියෙනවද කියල උඹ කොහොමද දන්නෙ කියල අහන සීය ඇයි හැමදාම පිරිත් කිව්වෙ? මං පිරිත් පොත පෙරළල බැලුව පරණ වෙච්ච අදුරු පැහැ ගැහුණු කඩදාසි පිටු අතර කණ්නාඩියක් දිළිසෙන්න ගත්ත.
මිනිස්සු තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න භාෂාව හදාගත්ත, වඩා තියුණු හැගීම් දනවන්න ඒ භාෂාව ටික ටික දියුණු කළා. ඒත් අපිට දැනෙන හැම හැගීමකටම වචන දෙන්න තවම අපිට පුළුවන් වෙලා නෑ. මං හිතන්නෙ ඒ වෙලේ දැනුණ හැගීමත් එහෙම එකක් වෙන්න ඇති. ඒ කණ්නාඩිය ඇතුළින් මං දැක්කෙ යක්ෂයෙක්. ඒ පෙනුම භයානක වගේම අප්‍රිය ජනකයි. කණ්නාඩිය ආපහු පිරිත් පොත ඇතුළටම ගියා. මට මතක විදිහට මං පෙට්ටගම තිබුණ විදිහටම හැදුව, අමාරුවෙන් ඇවිදන් ගෙදරට ආව සිහිය එද්දි හිටියෙ ඉස්පිරිතාලෙ. දවස් ගාණක්ම අඩුවෙන් නැතුව උණ ගැනිල උන්න. හැමදාම රෑ හීනෙන් භයවෙලා කෑගහන්න ගත්ත. ඉස්සර කණ්නාඩි තිබුණ කාලෙ මේ වගේ ලෙඩක් හැදුණ ගමන් කණ්නාඩියක් දැකල කියල හිතනව. ඒත් දැන් දන්න කියන කාලෙකින් කවුරුත් කණ්නාඩියක් දැකල ලෙඩවෙලා නැති හින්ද කවුරුත් එහෙම හිතුවෙ නැහැ. අම්මලනම් මං සීයගෙ අවතාරෙ දැකල භයවෙලා කියල හිතල ගෙදර පිරිතකුත් කියන්න ලෑස්ති වුණා. හැබැයි පිරිත් කියන්න කියන්න මගෙ ලෙඬේ වැඩිවුණා. එතකොට අම්මල හිතුව මට සීයගෙ අවතාරෙ වැහිල කියල ඊට පස්සෙ කට්ඨඩියෙක් ගෙන්නල තොවිලෙකුත් කළා. ටික දවසකින් උණ අඩුවෙලා ගියා. ඊට පස්සෙයි මං නිවී සැනසිල්ලෙන් උනේ මොකක්ද කියල හිතන්න ගත්තෙ. ඒක කණ්නාඩියක්, පුංචි කාලෙ ඉදන් මාව කුතුහලයෙන් පිරෙව්ව ඒක කණ්නාඩියක්. මොන තරම් දේවල් උනත් මොකක්දෝ හේතුවක් හින්ද මම කණ්නාඩිය ගැන කාටවත් කියන්න ගියෙ නෑ. වෙලාවකට හිතුන ඒක මං හිතෙන් මවා ගත්ත විකාරයක්ද කියලත්. ඒ හින්දම මාස දෙක තුනකට පස්සෙ ආයෙත් මං ගියා ගබඩා කාමරේට ඔව් ඒ යක්ෂයෙක් ඌ මං දිහා බලන් හිටියෙ හරිම පෙරේත බැල්මකින්. මට ආයෙත් උණ ගැනුණ වුනාට මේ පාර දවසෙන් දෙකෙන් බැහැල ගියා. ඔය විදිහට තවත් කාලයක් ගතවුණා. ඒ මුළු කාලෙම මං මේ ගැන හිතුව. මට මේ කණ්නාඩිය ගැන කට හරි කියන්න පුළුවන්, ඊට පස්සෙ පොළිසියෙන් ඇවිත් ඒක අරන් ගිහින් විනාශ කරල දායි. ආයෙ පත්තරවල කණ්නාඩි ගැන විශේෂාංග ලිපි දෙක තුනක් යයි. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද? මං ආයෙම ගබඩා කාමරේට යන්න තීරණය කළා. මේ පාර යන්න කළින් හොදට කල්පනා කරල හිත හදාගෙන ගියෙ. කොච්චර භයානක උනත් මේ පාර මං කණ්නාඩියෙ ඉන්න යක්ෂය දිහා ටිකක් බලන් උන්න. ටිකක් බලන් ඉද්දි මට උගෙ හුරු කමක් දැනෙන්න ගත්ත. දෙවියො කියල එකෙක් ඉන්නවනම් උගෙ නාමෙට ඒ යක්ෂය වෙන මොකෙකවත් නෙමෙයි ඒ මං. දැනුයි මට සීය පොඩි කාලෙ කිව්ව කතාව තේරෙන්නෙ කණ්නාඩිය වැරදි නෑ, කණ්නාඩිය හරි. අපිටයි වැරදිලා තියෙන්නෙ. කණ්නාඩියෙන් පේන්නෙ මගෙ ඇත්තම ප්‍රතිබිම්බයම තමයි. ඒ කියන්නෙ ඇත්තටම මම යක්ෂයෙක්.
මගෙ ජීවිතේම එදා ගබඩා කාමරේ ඇතුළෙදි වෙනස් වුණා. ඇත්තටම අපි යක්ෂයො කියන එක අපෙන් හංගල අපේ ඇත්ත විදිහ අපිට පේන හින්ද කණ්නාඩි නැතිකරල. අපි යක්ෂයො වුන එකට උත්තරේ කණ්නාඩි නැති කරල ඒ ප්‍රශ්නය මග අරින එක නෙමෙයි. ඒ ඇත්තට මුහුණ දෙන එක. ඒ හැන්දාවෙ මං ඒ හැන්දෑ කළුවරත් එක්කම මුහුවෙලා ගබඩාකාමරෙන් එළියට ආව. මං සුළගක් වුණා, එහෙම නැත්තන් මට එහෙම වෙන්න ඕනෙ වුණා. හඹාගෙන යන්න ඕනෙ වුණා හැම මිනිහෙක් ගාවටම, ගිහින් කියන්න උඹල මිනිස්සු නෙමෙයි යක්ෂයො කියල. කොහොමද මං මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනියන්නෙ? ඒකට මං මුහුණ දුන්නු අහඹුව අනිත් අයටත් මුණ ගස්වන්න ඕනෙ වෙනව. මගෙ පුංචි කාලෙ ඉදල හොදම යාළුව ඉන්නෙ අපේ ගෙවල් ගාවමයි. දවසක් මං එහෙට කයියක් ගහන්න ගිය වෙලාවක එද්දි එයාගෙ කාමරේ කොට්ටෙ යටින් අර කණ්නාඩිය තියල ආව. පහුවෙනිද උදේ ෆෝන් එකට කාඞ් එකක් දාගන්න හන්දියට ආවමයි තවත් යාළුවෙක්ගෙන් දැනගත්තෙ අර යාළුවට සනීප නෑ කියල. මං ඉක්මනට ඒ පැත්තට ගියා, මොකද මං දැනන් හිටිය එයාට මට කියන්න ලොකු කතාවක් තියෙනව කියල.
එහා ගමේ රොමේෂ්ගෙ මාමට අයිති වත්තක් තිබුණ අතඇරල දාපු, අපි මුළින්ම කණ්නාඩි හදන්න පටන් ගත්තෙ එතනින්. වැඩි කාලයක් යන්න කළින් කණ්නාඩි ආපහු තැනින් තැන හම්බෙන්න ගත්ත. ඒක රටේ හැම තැනටම පැතිරෙන්න ගන්නවත් එක්කම හමුදාව පොළිසිය මේ හැම එකකම ප්‍රධාන වැඬේ කණ්නාඩි හොය හොය විනාශ කරණ එක වුණා. ඒත් විනාශ කරන්න කරන්න තව තවත් කණ්නාඩි හැදෙන්න ගත්ත. ඊට පස්සෙ කණ්නාඩි එක්කම ඒව හදන බෙදන අයවත් විනාශ කරන්න පටන් ගත්ත. මිනිස්සු උදේ ඇහැරිලා දොර අරිද්දි දොර ඉස්සරහ කණ්නාඩි තියල ගිහින් තිබුණ. එළිවෙද්දි හන්දි වල ලයිට් කණු වල හැමෝටම පේන්න කණ්නාඩි හයි කරල ගිහින් තිබුණ. කැම්පස් වල පොත් අස්සෙ අතින් අත පොඩි කණ්නාඩි මාරු වෙන්න ගත්ත. අල්ල ගන්න කණ්නාඩි බෙදන මිනිස්සු ප්‍රසිද්ධියෙ එල්ලල මරන්න නියම වුණා. සිය ගණනක් මැරුවත් කණ්නාඩි දවසෙන් දවස හැම තැනම පැතිරෙන්න ගත්ත. පත්තර වලට අලුත් වචනයක් එකතුවුණා. ඒ “කණ්නාඩි ත්‍රස්තවාදියො”.
අපේ කණ්නාඩි හදන තැන් ගොඩක් හමුදාවට අහුවුණා. ඒ මොනව උනත් කණ්නාඩි බෙදන එක නතර වුන් නෑ. මිනිස්සු මුල්ම දවස් වල කණ්නාඩියක් දැක්කම භයේ දිව්වට පස්සෙ ඒව තියෙන තැන් හොයන් යන්න පටන් ගත්ත. හමුදා කදවුරු ඇතුළටත් කණ්නාඩි එන්න ගන්නවත් එක්කම අපිට එරෙහි මර්දනය දෙකෙන් එකක් බේර ගන්න තීරණාත්මක තැනකට ආව. නිකන් කණ්නාඩි ගිහින් තැන තැන තිබ්බටම හරි ගියෙත් නෑ. කර්මාන්ත ශාලා ඇතුළට ව්‍යාපාරෙ අය සේවකයො විදිහට රස්සා ඉල්ලන් ගිහින් මාස ගණන් එතන වැඩ කරණ ගමන් ටික ටික තමයි වැඬේ කරන් ගියෙ. සමහර ගෙවල් ඉස්සරහ කණ්නාඩි තියල යන පාරක් ගානෙ ඒ මිනිස්සු ඒක බිදල දානව. හත් අට සැරේ එහෙම කළාට පස්සෙ තමයි සමහරු ඇත්තටම මෙච්චර නහින්න මොකක්ද මේ කියල බලන්නෙ. සමහර පැති වල මිනිස්සු ප්‍රසිද්ධියෙ කණ්නාඩි වෙනුවෙන් පෙනී ඉන්න ගත්ත. මුළින් ගම් පිටින් අල්ලන් ගියාට දිගටම එහෙම වෙන්න ගත්තම ඒක නවත්ත ගන්න බැරිවුණා. ඒ ගම්වල මිනිස්සු ගමට ඇතුල්වෙන තැන ලොකු කණ්නාඩියක් හයි කළා. ඒ වගේම පාරවල් වල හැම තැනම.
මං නම් දහයකින් විතර සැරින් සැරේ පෙනී හිටිය. ව්‍යාපාරෙ වැඩවලට රටේ හැම තැනම යන්න වුණා. ඒ කරවල වාඩියක් මැද්දෙ අළුතින් හදපු කණ්නාඩි හදන තැනක වැඩ පටන් ගන්න දවස. අලුතින් සම්බන්දවෙච්ච ධීවරයො කට්ටියකුත් හිටිය. අපි ටිකක් ලොකුවට හදපු කරවල වාඩියක් ඇතුලෙ සාකච්ඡා කර කර හිටියෙ. කොහොම හරි මේ වැඬේ ගැන ඔත්තුවක් ගිහින්, හමුදාවෙන් මේ පැත්තට එනවා කියල පණිවිඬේ ආවෙත් හමුදාවෙන්ම තමයි. හැමෝම විසිරෙන්න තීරණය කළා. අපි ටික දෙනෙක් බෝට්ටුවක නැගල ධීවරයො වගේ එතනින් එන්න ආව. ඒත් බෝට්ටු තොටුපළින් බහිද්දි එතන්ට හමුදාව ඇවිත්. මාළු අල්ලන්න ගියා වගේ රගපාල එතනින් හෙමින් මාරු වෙන්න හැදුවත් හරි ගියේ නෑ. ගෙම්බො ඇහිදින්න වගේ අපි එක එක්කෙනාව අල්ල ගත්ත. ජීප් එකට නග්ගද්දියි මං දැක්කෙ අත් දෙකට මාංචු දාල බිම බලාගෙන ඉන්න කදවුරේ උන්නු අපේ මනුස්සයව. එතනින් එහාට මගෙ කටේ දත් දෙකක් නැති වෙච්ච එකයි වම් අත තැන් දෙකකින් කැඩිච්ච එකයි විතරයි වැඩි අමාරුවක් වුණේ නැහැ අනිත් අයට වුණ දේවල් එක්ක. අධිකරණයෙන් තීන්දුව ආව මාව එල්ලල මරන්න. මේ දවස් වල කණ්නාඩි ත්‍රස්තවාදියෙක් කියල උසාවියට ගේන අයට මරණ දඩුවම දෙන්නෙ නිකන් ගං වතුර ආධාර බෙදන්නා වගේ. පත්තර වලට ටීවී වලට හොදට රහ කරන්න නිව්ස් එකක් ලැබුණ. හෙට උදේ මගෙ මරණය වාර්තා කරන්න හැමෝම බලාගෙන ඇති. දැන් ඒ පණිවිඩය යන්න ඕනෙ දුර ගිහින්. ඒ හින්ද මං ගියාට කමක් නෑ.
කවුරු උනත් මේ හිර ගෙදර හදපු මනුස්සයට ස්තුති කරන්න ඕනෙ නැගෙනහිර පැත්තට කවුළුවක් දැම්මට. උස වැඩි හින්ද එළිය බලන්න බැරි වුණාට ඒකෙන් ඉර එළිය ඇතුලට ආව හොදට. උදේ ඉර එළියෙ විටමින් ඩී විතරක් නෙමෙයි අපේ ජීවිත ඇතුළෙ හිස්තැන් පුරවන මොකක්දෝ මන්ද නොදන්නා සංඝටකයකුත් තියෙනව මං හිතන විදිහට. උණුසුම් ආස්වාස වාතය මගෙ නහර වැල් දිගේ ආත්මයම උණුසුම් කරමින් ගලනව. හදවත ගැහෙන හඩ මට හොදට ඇහෙනව ඇත්තටම ඒක තනුවක්, හරි අපූරුයි. ඉස්සර මගෙ හදවතේ ගැස්මට මෙහෙම තනුවක් තිබ්බෙ නැහැ. ඔහෙ ඉබාගාතෙ හදවත ගැහුණ. ඒත් ඒ තනුව ඇහෙන කාලය අවුරුදු මාස සති ගෙවිල මිනිත්තු ගාණට ඇවිත්. හෙමිහිට මගෙ හිර කුටියෙ දොර ගාවට ආවෙ බන්ධනාගාරෙ ඉන්න අපේ කෙනෙක්. තියෙන ආරක්ෂාවත් එක්ක එයාලට මාව මෙතනින් බේරගන්න විදිහක් නෑ කියල මට හොදටම පැහැදිලියි. මේ අය එහෙම වෙන එක ගැන හිටියෙ හරිම වරදකාරී හැගීමකින්. යකඩ කූරු අතරින් ඒ ඇගිලි මං තදින් මිරිකගෙන හිනාවුණේ ඒ අය හිතින් විදවන්න ඕනෙ නැති හින්ද. මාව මෙතනින් එළියට ගන්න බැරිවුණාට එයාලට මගෙ අන්තිම කැමැත්ත ඉෂ්ඨ කරන්න පුලුවන් වෙලා. ඒ සීයගෙ කණ්නාඩිය.
             ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
කණ්නාඩිය මගෙ අතින් ගන්නවත් එක්කම ඔහු වෙනම ලෝකෙක තනිවුණා. ඔහු කණ්නාඩිය දිහා බලාගෙන හිනාවෙන්න ගත්ත. ඇස් වලින් මතුවෙච්ච කදුළු බිංදු දෙකක් හරිම ආසාවෙන් ඒ අසහාය මනුෂ්‍යයාගෙ කම්මුල් සිප ගනිමින් පහළට ඇදුණ. එක මොහොතකට මට විශ්වාස කරන්නත් අමාරු වුණා අපි පුරාවෘතයක් වගේ අහළ තියෙන ඒ මනුෂ්‍යමද මේ ඉන්නෙ කියල. ඇත්තටම ඔහු හරිම සාමාන්‍ය කෙනෙක්. කණ්නාඩිය තුළින් ඔහු බලන් ඉන්න ඔහුගෙ ප්‍රතිබිම්බය මම දැක්කෙ ඒ වෙලාවෙයි. ඒක විශ්වාස කරන්න අමාරුයි. ඒ මනුස්සයෙක්. තවත්නම් සැක කරන්න කිසිම දෙයක් නෑ. වැරැද්ද කණ්නාඩි වල නෙමෙයි අපෙයි. ඒ  එක්කම ඔහුව අරන් යන්න කට්ටිය ආව. යන ගමන් මං ළගදි මට ඇහෙන නෑහෙන ගාණට ඔහු කිව්ව “කිසිම දෙයක් අහඹු නෙමෙයි කවුරු හරි ඔයා ඉස්සරහට ගෙනත් අත ඇරිය දේවල් ඒ”  කියල. ඔහුගෙ මරණය වුණ විදිහ පියවරෙන් පියවර විස්තර කරන්න තරම් හිතක් මට නෑ. ඒත් එක දෙයක්, මරණමංචකයෙදිත් ඔහුගෙ දෙතොලෙ වචන දස දහස් ගණනකින්වත් කියා ගන්න බැරි පණිවිඩයක් ගුලිවුණු විශ්මිත මදහසක් තිබුණ මතක් කරණ පාරක් ගාණෙ මාව හිරි වැටෙන. අන්තිමට කාලෙකට පස්සෙ මේ පොළවෙ මනුස්සයෙක් අවසන් හුස්ම හෙළුව.



(රිවිහාර පින්නදුව)

4 comments:

  1. ඉතාමත් විශ්මිත කතාවක්. හොඳට ප්‍ප්‍රතිරුපකයක් එක්ක යථාර්ථය ගලපලා තියනවා.

    ReplyDelete
  2. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ලස්සන කතාවක්....

    ReplyDelete