හුදෙකලාව අහිමිව
එලාම් එක පුරුදු විදිහට වදිනව. මං වගේම ඔරලෝසුවත් දන්නෙ නැහැ ඌ මොකටද මේ වැඬේ කරන්නෙ කියල ඒත් ඌ හැමදාම උදේට කෑගහල මාව ඇහැරනව. අදත් ඇදේ මං ළගින් කවුද නිදාගෙන තියෙනව. මං දවස් ගාණක්ම ? තිස්සෙ නැගිට නැගිටත් බැලූව, කවුරුවත් නෑ හැබැයි කවුරු හරි ඉදල තියෙනව. පුරුදු විදිහට ඇද ළග මේසෙ උඩ උදේ තේක හදල. හැමදාම උදේ මං ඇහැරෙන්නෙම මේ උභතෝකෝටිකයත් එක්ක. ඇත්තටම කවුද මේව කරන්නෙ. මගෙ ඇදුම් හිටපු ගමන් හේදිලා වැල් වල තියෙන්නෙ කොහොමද? මං ඔෆිස් ගිහින් එද්දි ගෙවල් දොරවල් අතුගෑවිලා අස්පස් වෙලා තියෙන්නෙ කොහොමද? ඇත්තම මේක අගක් මුලක් නැති ප‍්‍රශ්නයක්, මං ඔෆිස් යන එකේ ඉදන්ම. දන්න කියන කාලෙක ඉදන් මේ ලෝකෙ ඉන්නෙ මං විතරයි. අනිත් මිනිස්සුන්ට මොකද වුණේ? කොච්චර මතක් කළත් මතක් වෙන් නැති අතීතෙක ඒ හේතුව වැළලිලා. මට මේ ලෝකෙ අන්තිමට මිනිස්සු හිටිය මතක මීට අවුරුදු පහළවකට වගේ කළින් දවසක. මට ඡුායාවල් වගේ මතකයි මං යාළුවො වගයක් එක්ක මුහුදු වෙරළෙ සිංදු කිය කිය ඉන්නව. එදා තමයි මේ ලෝකෙ අන්තිමට මිනිස්සු හිටියෙ. ඒ අය මැරිලද? නැත්තන් වෙන ලෝකෙකට ගිහින්ද? එහෙමත් නැත්තන් මාව මේ වෙන සමාන්තර ලෝකෙකට ඇදිල ගිහිල්ලවත්ද? නැත්තන් කවුරු හරි පිස්සු විදඥාඥයෙකුගෙ පරීක්ෂණාගාරෙකද මං මේ ඉන්නෙ? හැම දෙයක්ම ප‍්‍රශ්න විතරයි. කවදාවත් උත්තර නෑ. පුරුදු විදිහට ලෑස්තිවෙලා පහළට එද්දි මේසෙට උදේ කෑම ඇරල. කටට දෙකට පාන් කෑල්ලක් කාල පොඩි උන් දෙන්නෙක්ගෙ ඉස්කෝල බෑග් දෙකකුත් අරන් මං කාර් එකට නැග්ග. කාර් එකට නගිද්දි වැහිල තිබුණු ගේට්ටුව නැගල බලද්දි ඇරල. හැමදාම ඔෆිස් එකට ගිහින් බලද්දි අර පොඩි ළමයින්ගෙ බෑග් දෙක නෑ. හැබැයි ගෙදරට හවස එද්දි ඒව සාලෙ සෙටිය උඩ තියෙනව. පුරුද්දට ළමයි නැති ඉස්කෝලෙ ගාව ටිකක් වාහනේ නතර කරන් ඉදල ඔෆිස් එකට ආවෙ. පැමිණීමේ ලේඛනේ අදත් කට්ටිය අත්සන් කරල. මං මගෙ කැබින් එකට ගිහින් ටිකකින් ආයෙ ඇවිත් බලද්දි මගෙ නමට යටිනුත් තවත් අය අත්සන් කරල. ඒත් කවුරුත් නෑ. ටික වෙලාවකට ආපු ගමන් ෆේස් බුක් ගියා. සිය ගණනක් යාළුවො එක එක ඒව ෂෙයාර් කරණව, මගෙ ඒවට ලයික් කරණව, හිටපු ගමන් මාවත් ටැග් කරණව. ඒත් කවුරුත් නෑ. දැනට විනාඩි දෙක තුනකට කළින් මගෙ එහා පැත්තෙ කැබින් එකේ ඉදන් ගහල අප්ලෝඞ් කරපු සෙල්ෆියක්. මං දුවගෙන ගිහින් ඒ කැබින් එකේ බැලූව, කවුරුත් නෑ. හැබැයි මං යද්දි කලබලේට අරන් ගිය ලියුමටනම් අත්සනක් ඇවිත් කොහෙන් හරි.
හැමදාම උදේට අළුතින් ෆයිල් ටිකක් මගෙ මේසෙට එනව ගිණුම් වාර්තා තියන්න. දවල් කෑම වෙලාව වෙනකන් මට ඔළුව උස්සන්න වෙලාවක් ලැබෙන් නෑ. දවල්ට කන ගමනුයි මට ටිකක් හිතන්න වෙලාවක් ලැබෙන්නෙ. මං ඒ වෙලාවට ගොඩක් කල්පනාවෙන් ඉන්නෙ, මොකද මට දෙතුන් දවසක්ම මිනිස්සු වගයක් හිනාවෙවී කතා කරනව ඇහුන මං ළගින්ම. එක දවසක් හදිස්සියෙම මං ඉස්සරහ පුටුවෙ මිනිහෙක් ඉන්නව පෙනිල නොපෙනී ගියා වගේ වුණා. සමහර විට ඒ හැම දෙයක්ම මගෙ හිතේ ඇදුන මනස්ගාත වෙන්න ඇති. වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක් වෙන්න ඇති භය හිතෙන ඇහැරුණාම හැමදේම හරියයි කියල. ඒත් ඒක එහෙම නෑ. මගෙ මේසෙ උඩට එකපාරට කොහෙන්ද තේ කෝප්පයක් ආවහමයි මට මතක් වුණේ තව ටිකකින් යන්න ඕනෙ කියල. මං ළග එක ෆයිල් එකක් තියෙනව ඒකෙ තියෙන්නෙ බෝඞ් මීටින් වල වාර්තා. ඒකට අනුව ඊයෙත් මං ඒකෙ කතා කරල තියෙනව. ටිකක් වේලාසන ඔෆිස් එකෙන් ඇවිත් මං හෝටල් කාමරේකට වෙලා පැය දෙක තුනක් නිදාගෙන උන්නා. මං සතියකට දෙකකට සැරයක් මේ විදිහට හෝටල් කාමරේට ඇවිත් ඉදල යනව. ඒකෙන් මගෙ හිතට පොඩි සැහැල්ලූවක් වගේ දෙයක් දැනෙනව. ආයෙම ගෙදරට යන්න පාරට ආව. ගෙවල් ගාව බිල්ඩිමක් හදනව මං හැමදාම ඒක දිහා හොදට බලන් යන්නෙ දවසෙන් දවස ඒ බිල්ඩිම හැදෙනව. ඊට ටිකක් එහායින් ෆිල්ම් හෝල් එක. හිටපු ගමන් දවසක මං ඒකට ගිහින් ෆිල්ම් එකක් බලල එනව. මං එහෙම දවසක් ගිහින් ඇවිත් සාක්කුව බලද්දි ටිකට් හතරක් තිබිල හම්බුණා. හදිස්සියෙම තාප්පෙක ලොකුවට ලියල තියෙනව දැක්කා ඔයාට හුදෙකලාවවත් නෑ කියල. මං මීට කළින් දවසකුත් වෙන තැනක මේ විදිටම ලියල තියෙනව දැක්ක හැබැයි දවසකට පස්සෙ ඒක එතන තිබුණ් නෑ. මං වාහනේ පාරෙ පත්තකින් නවත්තල එතන්ට ගිහින් බැලූව. ඒකෙ පොඩියට ලියල තිබුණ අපි ඔයාව හොයන් එන්නම් කියල. එතනම දාල තිබුණ අගුරු කෑල්ලකින් මාත් ඒකට යටින් මගෙ ලිපිනය ලිව්ව.
මං අළුත් බලාපොරොත්තුවකින් දවසක් දෙකක් සතියක් බලන් හිටිය. ඒත් මොකුත් වුණේ නැහැ හැමදේම පරණ විදිහමයි. ඉරිදට මං ගෙදර ඉන්නෙ. ඉරිද හවසට යනව මුහුදු වෙරළට. ගිහින් ඇවිදිනව හවස් වරුවම. වෙරළ කෙළවර තියෙනව බංකු වගයක් මං ගිහින් ඉර බැහැල යනව බලන් ඉන්නව එතන්ට වෙලා. මං ඒ හැමදාම ඉස්සො වඬේ කනව. ඒ කොහොමද කියල මට අදහසක් නෑ. එදත් වෙරළට ගිහින් ඇවිත් නාගෙන මං ප‍්‍රවෘත්ති බල බල හිටියෙ. එ්ව මට කොහොමද අදාල වෙන්නෙ කියල මට අදහසක් නැතිවුණාට මං හැමදාම අනිවාර්්‍යයෙන් ප‍්‍රවෘත්ති බැලූව. ඔය අතරයි ගෙදර බෙල් එක වැදෙනව ඇහුණෙ. මගෙ හෘදස්පන්ධනයත් වැඩිවුණා, රුධිරය වේගෙන් ගලන් ඇවිත් හදවත ඇතුළෙ තෙරපෙනව මට හොදටම දැනෙන්න ගත්ත. දොර ගාවට තියන අඩියක් ගානෙ පපුව ගැහෙන එක වැඩි වෙන්න ගත්ත. මං දොර අරිද්දි දොර ඉස්සරහ මගෙ වයසෙ විතර මනුස්සයෙක් හිනාවෙවී හිටගෙන ඉන්නව. ඒ මනුස්සය මාව හොදට අදුනනව වගේ මගෙ සැප දුක අහන ගමන් ගෙට ඇවිත් වාඩිවුණා. තාප්පෙ ලියල තිබුණු ලිපිනෙ හොයාගෙනලූ ආවෙ. අවුරුදු නෙමෙයි දශක ගාණකට පස්සෙ පණ තියෙන මිනිහෙක් මං ඉස්සරහ. මේ වෙනකම් ජීවිතේ පිරෙව්ව ප‍්‍රශ්න ගොන්නක් මට ඒ මනුස්සයගෙන් අහන්න තියෙනව. එයා කොහෙන්ද ආවෙ? මේ ලෝකෙ අනිත් මිනිස්සුන්ට මොකද වුණේ?
ඒත් මං වචන නැතුව එයා ඉබාගාතෙ කියන දේවල් අහන් උන්න. මේ ඔයාගෙ වයිෆ් වෙන්න ඕනෙ කියල එයා කිව්ව විතරයි එතනට තේ අරගෙන ගෑණු කෙනෙක් හිනාවේගෙන ඇවිත් තේ ටික එතනින් තියල මං ළගින් වාඩිවුණා. එතකොට මෙයාද මගෙ බිරිද? අර ඇදේ එහා පැත්තෙ මං ළගින් නිදාගෙන තියෙන්නෙ මෙයාද? එතකොට එක පාරට කොහෙන්ද මතුවුණේ? මේ අපේ පොඞ්ඩ කියල ඇය මගෙ කකුල් දෙක ළග උන්නු පොඩි එකෙක් වඩාගෙන අමුත්තට පෙන්නද්දි මං පළවෙනි පාරට ඒ ළමයව දැක්කෙ? තව ටිකක් ලොකු ගෑණු ළමයෙක් බිත්තියට මුවා වෙලා අපි දිහා බලන් ඉන්නව මං දැක්ක. ඒ අය ටිකක් එහාට වෙනකන් ඉදල අමුත්ත වටේ කැරකැවි කැවී උන්නු කතාව පටන් ගත්ත. ”මං දන්නව ඔයා මොන තරම් කලබල වෙලාද ඉන්නෙ කියල. මටත් පළවෙනි දවසෙ ඔහොම දැනුණ. ඔයාට මගෙන් අහන්න ගොඩක් දේවල් ඇති ඒත් ඒවට ඔයාම උත්තර හොයාගනී. ආයෙ දවසක අපි ඉක්මනට හම්බෙමු. මං නම්බර් එක දීල යන්නන්. මං ඉන්නෙත් මේ කිට්ටුව” මං ඔහුත් එක්කම දොර ගාවට යනකම් ගියා. යන්න කළින් එක ප‍්‍රශ්නයක් අහන්න තිබුණ මට. ඔයාට හුදෙකලාවවත් නෑ කියන එකේ තේරුම මොකක්ද? ”අපිට අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හුදෙකලා වෙන්න පුළුවන් ඒත් අනිත් මිනිස්සු කියල කට්ටියක් නැත්තන් එතන හුදෙකලාවවත් නෑ. එතන තියෙන්නෙ දරුණු රික්තකයක් විතරයි” ඔහු පාර දිගේ ඇවිදන් ගිහින් නොපෙනී ගියා. පාරෙ හැම තැනම මිනිස්සු.
මගෙ හොදම යාළුව කතා කරල අද පරිස්සමට ගෙදර ආවද කියල ඇහුව. ලබන සතියෙත් වෙරලෙ ඇවිදින්න එන්න කිව්ව. ඇය උයල දුන්නු බත් එකත් අරන් පොඩි උන් දෙන්නත් එක්ක ඉස්කෝලෙට ගහින් එයාලව එතනින් බැස්සුව. හැම තැනම සුදු ඇදගත්ත පොඩි උන්. වාහන තදබදේ මැද්දෙම අමාරුවෙන් ආව ඔෆිස් එකට. කැබින් එකට යනකන් දෙපැත්තෙ හැමෝටම මෝනින් කිය කිය ආව. වැඩ පටන් අරන් ටික වෙලාවකින් ආව ගෑණු කෙනෙක් මේක එදා දාල ගිහින් තිබුණ කියල පෑනක් මේස උඩ තියල අමුතු විදිහට හිනාවෙලා ගියා. සතියකට දෙකකට සැරයක් මං හෝටල් කාමරේකට යන්නෙ මොකද කියලත් මට දැන් පැහැදිලියි. හවස ගෙදර එන ගමන් තවත් තාප්පෙක ඔයාට හුදෙකලාවත් නෑ කියල ගහල තියෙනව මං වගේම තව කෙනෙක් ඒක ඉස්සරහ හිටගෙන කියවනව. ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු අතර අපි හැමෝම තනි තනි හුදෙකලා ලෝකවල. ඇත්තටම බැලූවොත් හුදකලාවත් අහිමි ලෝකවල. මූණකට හෝදගෙන එළියට බැස්සෙ මගෙ ආගන්තුක මිත‍්‍රයා හම්බෙන්න යන්න. එයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් මට තියෙනව. මාව පහුකරන් දන්න නොදන්න මිනිස්සු සිය ගාණක් යනව. ඒ හැම කෙනෙක්ම තමන් විතරක් ඉන්න ලෝකවල. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් නැති භයානක හිස් කමක් ඒ ඇස් වල පිරිල. මං හිතන්නෙ මට වෙලාව ඇවිත්. මාව පහුකරන් ගිය නන්නාදුනන මනුස්සයෙක්ගෙ පිටට අත තියල මං ඇහුව ටිකක් කතා කරන්න පුලූවන්ද කියල. පුදුමයෙන් ආතුර වෙච්ච ඒ ඇස් මනුස්සයෙක්ව දැක්කෙ අවුරුදු ගාණකින් කියල මං දන්නව. දැන් මං මේ මනුස්සයට ඒ කකාව කියන්න ඕනෙ ”ඔයාට හුදෙකලාවත් නෑ”.
(රිවිහාර පින්නදුව)
No comments:
Post a Comment