Tuesday, June 7, 2016

කාක බෝ සමිදු පිහිටයි


කාක බෝ සමිදු පිහිටයි


මලසුනක් නැති
සුවද දුම් කට්ටකුමංජල් නැති
හන්දියෙ වැඩ ඉන්න කාක බෝ සමිදු
ටවුමෙ පිස්සු හිගන්නි විතරක්ම
උදේ හවස මල් පුදන
පිරිත් වෙනුවට හැන්දෑවට
බීල වෙරිවුණ ඇන්ටන් අයියගෙ
තනු කැඩුණු ජෝතිපාලගෙ සිංදු ඇහෙන
හැමදාම හැඩ මවන
කාක් බෙටි පින්තාරුව මත
බුලත් කෙළ මල් රටා
ඉර මැරුණු කළුවරේ
ගාණ අඩු දෙවගනන්
සළු උනා බෝධිය පිටිපස්සෙ
බත් පැකට් එකක ගල් භාගෙක
නිවන් පතා
බෝධි පූජා තියන
තවත් දවසකට
කොල්ලො සෙට් එකට
අභ්‍යවකාශ මධ්‍යස්ථානය
රොකට් නැතුව හදට යන
අපල දුරුවෙන්න
වෘත්තීය සමිතියෙ පෝස්ටර්
නිතර ඇළවෙන
හදිස්සියට මිනිස්සු
කවර් වෙලා හුජ්ජ කරණ
උදේ හවස
ඉබාගාතෙ දුවන
දහසක් දෙන දෙස
අකම්පිතව බලා සිටින
රන්වැටක් නැති
කාක බෝ සමිදු
සෙවණ දෙනවාද අපිට
සල්ලි මරගනන් පැරද
නව ලොවක සිහිනයෙන්
අරහත් වෙන්නට
තී‍්‍රවිල් බජාර් එකේ සෙට් එක
ජෝගියට පාක් එකේ එල්ලූව
බෝඞ් එක
හිතයි මට අපේ ගෙදරත් ගහන්නට
කාක බෝ සමිදු පිහිටයි
සාධු කාක් සාධු කාක් සාධු කාක්

(රිවිහාර පින්නදුව)



1 comment: