Thursday, April 30, 2020

The Curfew Love ඇදිරි ආදරය

The Curfew Love 
ඇදිරි ආදරය


හැම අදුරු වළාවකම රිදී රේඛාවක් සැගවිලා තියෙනව කියල පොඩි කාලෙ අපි අහල තිබුණට කවුද දන්නෙ ඇදිරි නීතියෙත් ආදරයක් සැගවිලා තියෙනව කියල. ඒ අනුහසුයි දෙව්මියි, ඔයාල දන්න තවත් අනුහස්ල දෙව්මිල ඇති ඒත් මේ දෙන්න වෙන දෙන්නෙක්. නැත්තන් ඔයාල දන්න අයගෙම වෙන වර්ශන් එකක් වෙන්නත් පුලූවන්. අනුහස් කොළඹ ගබඩාවක සහාය කළමණාකරුවෙක්. බැදල ළමයෙකුත් ඉන්නව. කොහොමත් අනුහස් සාර්ථකත්වය කියල එයාගෙම අර්ථකතනයක් පස්සෙ දුවන මනුස්සයෙක්. සරළව අනුහස් අසාර්ථක වෙච්ච ගේම් කාරයෙක්. අනුහස්ගෙ කසාදෙත් අනුහස්ගෙ ඒ ගේමෙම කොටසක්. හැබැයි අනුහස් ඇතුලෙ තවත් කෙනෙක් ජීවත්වූණා මීට වෙනස්, අනුහස් පස්සෙන් දිව්ව ඉලක්කයට යන්න තමන් ඇතුලෙම බන්ධනාගාර ගත කරපු තවත් අනුහස් කෙනෙක්. පස්සෙ කාලෙක බූට් එක තිබ්බ ඒලෙවල් කාලෙ සෙට් වෙලා අවුරුදු ගාණක් සම්බන්ධයක් තිබුණ ගෑණු ළමයගෙන් ඇහුවනම් එයා කියාවි ඒ අතුරුදහන් කරපු අනුහස් ගැන. ඒ වගේම අනුහස් ඇතුලෙ ඉන්න ඊට වෙනස් අනිත් මනුස්සය ගැන ඉදල හිටල හම්බෙන බම්බලපිටියෙ ගණිකාවකගෙන් අහගන්න පුලූවන්. 

දෙව්මි කොළඹ ව්‍යපාරික ආයතනයක ප‍්‍රධානියෙකුගේ පෞද්ගලික ලේකම්වරියක් විදිහට වැඩ කරනව. එයත් එක්ක දෙව්මිගෙ තියෙන පොඩි අනියම් සම්බන්ධය ඉතිං පුදුම වෙන්න දෙයක් නෙමෙයිනෙ. ඒ වගේම ඉතිං දෙව්මිට ඉස්කෝලෙ අට වසරෙ විතර ඉදල කොල්ලන්ගෙන් අඩුපාඩුවක් තිබ්බෙත් නෑ. කොහොම හරි මේ දෙන්නම කොළඹ නැවතිල රස්සාවල් කරන්නෙ. සති අන්තෙට ගෙදර යනව. ඒ වසංගතයක් හින්ද මුලූ රටටම හදිස්සියෙ ඇදිරිනීතිය දාපු දවසක්. කොළඹින් පිටට කාටවත් යන්න බැහැ. මොනව කරන්නද හිතාගන්න බැරුව පිටකොටුවෙ නන්නත්තාර වෙච්ච සෙට් එකේ අනුහසුයි දෙව්මියිත් හිටිය. දෙව්මි හැමදාම රැුකවරණයක් හෙව්ව, බොස්ගෙන් යාලූ වෙච්ච කොල්ලන්ගෙන් දැන් ඒක දෙව්මිට පුරුද්දට ගිහින්.  එදා ?ත් දෙව්මිට ආරක්ෂාවක්  ඕනෙවුණා. හිගන්නො, යන එනමන් නැතුවුන කම්කරුවො අතර යම් තරමකට හරි දෙව්මිට ආරක්ෂිත බවක් දැනුණ ඇස් දෙකක් තිබුණෙ අනුහස්ට විතරයි. කතාව පටන් ගත්තෙ හරිම සරළ වචන ටිකකින්

”ඔයා ගාල්ලට යන්නද ඉන්නෙ?”

පාන්දර එකයි. අනුහසුයි දෙව්මියි හම්බෙලා පැය පහයි. ෆ්ලෝටින් මාර්කට් එක පහුකරන් දෙන්න ඉස්සරහට අවිදන් යද්දි මතකයන් දිගේ ආපස්සට ඇවිදන් ගියා. ඒ දෙන්නටම තේරුමක් තිබුණ් නෑ ඇයි මේ අතීතය වමාරන්නෙ කියල ඒත් දෙන්න දෙන්නට තමන්ගෙ ඉතිහාස කතාව කියන්න ගත්ත. අවුරුදු ගාණකට පස්සෙ එයාලත් එයාලගෙ අතීතයට අයෙත් ටිකක් ඇවිදල බලන්න ගියා. තමන්ගෙ අඩි සටහන් දිහා කොච්චර කාලෙකට පස්සෙද ආයෙ හැරිල බැලූවෙ කියනවනම් පළවෙනි පාරට චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් බලන්න ආව රසිකයින් වගේ එයාල එයාලගෙම අතීතයෙ ඇවිද්ද. ඒ දෙන්න කියා ගත්ත අතීත කතාවල ඇත්ත මොනවද බොරු මොනවද කියල ඒ දෙන්නටවත් තේරුමක් තිබුන් නෑ. කොහොම හරි තමන්ගෙ අතීතයෙ සමහර කොටස් තමන්ටම අමතකවෙලා ගිහින් කියල අනුහස්ටයි දෙව්මිටයි තේරුනේ මේ වෙලාවෙ. තමන්ගෙ අතීතය තමන්ට අමතක වෙලා කියන කාරණය ඒ කියන්නෙ අතීතයක් නැති මිනිහෙක් වෙන එක මොන තරම් අමාරුද කියල ඔයාලට තේරෙනව ඇති. එතකොට මේ වර්තමානයෙ ඉන්න බැරිවෙද්දි පැනල යන්න තැන් නැතුව අපිව තව තවත් අසරණ වෙනව. 

කොහොම වුනත් අතීතයේ අදුරුම කොනක හංගල දාල තිබුණ සමහර මතකයන්ට දෙන්නම අත තිබ්බෙ නැහැ. ඒව දැක්කෙ නැහැ වගේ හිටිය. ඒ මොනවද කියල අහන්න එපා. එයාල කිව්වෙ නැති හින්ද මාත් දන්නෙ නැහැ. සමහර විට දෙව්මිගෙ ඉස්කෝලෙ කාලෙ රැුයක් දවාලක් නැතුව හීන දැක දැක ආදරේ කරපු පෙම්වතා එයත් එක්ක රූම් ගියපු වීඩියෝ එකක් එළියට දානව කියල කරපු තර්ජනයට භයෙන් පෙම්වතාගෙ යාලූවො එක්ක ඉන්න වෙච්ච මතකයක් වෙන්න පුලූවන්. නැත්තන් අනුහස් පණ ඇරල ආදරේ කරපු ගෑණු ළමය එයාගෙම යාලූවෙක් එක්ක රූම් ගිහින් ඒ යාලූව ඒකෙ වීඩියෝ එකක් යාලූවො සෙට් එකට පෙන්නපු වෙලාවක් වෙන්න පුලූවන්.  ඕනෙම දෙයක්, තමන්ට ඇත්තටම වුණ ඒත් තමන්ම ඇත්ත කියල පිළිගන්න අකමැති මතකයක්. තවත් තේරෙන් නැත්තන් ඔයාගෙ අතීතෙ අදුරු සෙවණැල්ලක හංගල තියෙන මතකයක් හයියක් තියෙනවනම් එළියට අරන් බලන්න. අන්න ඒ වගේ එකක්.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

අනුහසුයි මායි ඇදිරි නීතියෙ හිරවෙලා මේ තුන්වෙනි දවස. අද ? ගෝල් ෆේස් එකේ ඉන්න තීරණය කළා. ඉස්සො වඬේ නැති, සෙනග නැති ගෝල් ෆේස් එක පාළුවට ගිහින්. තනියට ඉන්නෙ ගෝල්ෆේස් එක ටික ටික ගිළින වරාය නගරය විතරයි. කවුරුවත්ම නැති වෙලාවෙ තමන්ව ගිළින යක්ෂයෙක් විතරක් තනියට ළග ඉතුරුවෙන එකෙත් අමුතු මොකක්ද එකක් තියෙනව. අනුහස්ගෙ උරහිසට ඔළුව තියන් මායි අනුහසුයි අහස දිහා බලන් හිටිය. මුහුදෙ පසුබිම් සංගීතයට අහස නිකන් අපි දෙන්නට විශේෂයෙන් ලෑස්ති කරපු චිත‍්‍රපට දර්ශන වාරයක් වගෙයි. හය වසරෙදි වගේ මං අහසෙ තරු රටා හොයන්න මහන්සි ගත්ත. ඔරායන් දඩයක්කාරය ලේසියෙන් හොයාගන්න පුලූවන් එයාගෙ බද පටියෙන්. ඒත් මට තවම තේරෙන් නැත්තෙ එයා මොනවද දඩයම් කරන්නෙ කියල. මුලූ ලෝකෙම නතර වෙච්ච නිමේෂෙක අපි දෙන්න කිස් කරා. මට මගෙ පළවෙනි කොල්ලගෙ පළවෙනි හාදුව ඇත්තටම මතක නෑ. ඒත් එදත් දැනුණෙ මේ වගේ හැගීමක් කියලනම් මතකයි. මං හිතුවෙ නෑ මට ජීවිතේ කවදාවත් ආයෙ ඒ හැගීම දැනෙයි කියල.

මට හිතෙනව මේ හැම දෙයක්මවුනේ අපේ මේ හාදුව වෙනුවෙන් කියල. ලෝකෙම නතරවුණේ, අහසෙ චිත‍්‍රයක් වගේ තරු පායල තියෙන්නෙ මුළු විශ්වයම බලන් ඉන්න අපේ හාදුව වෙනුවෙන්. අපි දෙන්න ජීවිතේ මෙච්චර කාලයක් තැන තැන ඇවිදල තියෙන්නෙ අද මේ හාදුව වෙනුවෙන් වෙලාව එනකන්. ඒත් මේ ගමනක ආරම්භයද නැත්තන් අවසානයද? නැත්තන් අපි මේ එක් අවසානයකුත් තවත් ආරම්භයකුත් අතර සංක‍්‍රාන්තික කාලයක් ගෙවල දානවද? මං දන්නෙ නෑ.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

ඇත්තටම මම කවුද? දැන් ඉන්න මමද නැත්තන් කළින් හිටපු මමද ඇත්ත මම? දුවන ජීවිතේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පොඞ්ඩකට නවත්තල හති දාන්න වෙලා තියෙන හින්ද මට වගේම ලෝකෙ අනිත් මිනිස්සුන්ටත් එයාල කවුද කියල පැටලිලා ඇතිද? දැන් ඇදිරි නීතිය අයින් කලාට පස්සෙ ආපහු දුවන්න ගන්නෙ දැන් ඉන්න අපිද නැත්තන් පරණ අපිද? දෙව්මිට නින්ද ගිහින්. අදට සතියයි අපි කොළඹ හිරවෙලා. ඇත්තටම කිව්වොත් නිදහස් වෙලා. මට දෙව්මිව දැනෙන්නෙ නිකන් ලයිට් හවුස් එකක් වගේ. මුහුදෙ අතරමං වෙලා හිටපු අයට ගොඩබිමට එන්න පාර කියන. මෙහෙ හිරවෙච්ච හැමෝම ගෙදර යන්න දගලනව. අරහෙට මෙහෙට කෝල් කරනව, කෑ ගහනව. එත් මටනම් දැනෙන්නෙ මුහුදෙ අතරමං වෙලා හිටපු නාවිකයෙක් ලෝකෙ වටේ රස්තියාදුවෙලා ගෙදර ආව වගේ හැගීමක්. භෞතිකව අනාරක්ෂිත ඒත් ආරක්ෂිත හැගීමක්.

ගෙදරින් කතා කරද්දි මට දැනෙන්නෙ මං නිකන් වෙන කෙනෙක් වගේ රගපානව කියල. ගෙදර එන්නෙ නැද්ද කියල අහන හැම පාරම මට හිතෙන්නෙ දැන් ඉන්නෙ ගෙදර තව කොහෙ යන්නද කියල. ඇත්තටම ගිහිල්ල ගිහිල්ලම මට දැන් මහන්සියි. මං කවදාවත් හිතුවෙ නැහැ කොටුවෙ ප‍්‍රයිවට් බස් ස්ටෑන්ඞ් එක මට ලෝකෙ ආදරණීයම තැන කියල දැනෙයි කියල. හැමදාම මට හෙට ගැන ගොඩක් සැළසුම් තිබුණ. ඒත් දැන්, හෙටක් ගැන කිසිම අදහසක් නෑ. හරියට ගහත් එක්ක තිබුණ බැදීම අතඇරල සුළගට  ඕනෙ දිහාවකට ගහන් යන්න ඉඩදුන්නු කොළයක් වගේ. සැහැල්ලූයි වෙන මොකුත් නෑ, ඒ හින්දම සැහැල්ලූයි.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

- අනුහස් අර නෙළුම් කුළුණෙ ලයිට් දාල. හොස්පිට්ල් වල වැඩ කරන අයට ගෞරවයක් විදිහටලූ.

- මට හිතෙනව ඒකෙන් තරුවලට ඩිස්ටර්බ් වෙයි කියල.

- ඔයා ආස නැද්ද නෙළුම් කුළුණ වගේ අහස උඩට යන්න?

- මං හිතන් හිටියෙ මං ආස ඒකට කියල ඒත් දැන් මං ආස පොළවට.

- ඒ කිව්වෙ?

- අහසට යද්දි සීතළයි. ඒත් මට දැනෙනව මං හොයන්නෙ පොළවෙ උණුසුම. ඒ හින්ද මට  ඕනෙ අහසට      යන්න නෙමෙයි පොළවෙ සැතපෙන්න.

- නෙළුම් කුළුණටත් එහෙම හිතෙනවද දන්නෙ නෑ?

- හිතෙනව ඇති, ඒත් එයා දැන් අහසට ගිහින් වැඩියි. 

- එයාට හැමදාම ඔහොම්ම ඉන්න වෙයිද?

- නෑ.. දවසක් ඒවි හැමදේම සමතලාවෙන. එදාට එයාටත් පොළවෙ උණුසුම දැනෙන්න ගනීවි.

- එතකන් බලන් ඉන්නද වෙන්නෙ?

- නෑ.. සමතලා කරන්න වෙනව.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

අනුහස්ගෙයි දෙව්මියිගෙයි කතාවට දැන් සති දෙකක් වෙනව. සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ අහුවෙන්නෙ හරිම පුදුම වෙලාවල් වලදි. ඊළග මොහොතෙ ජීවිතේ අතඅරින්න වෙන වෙලාවක ජීවිතේ අහුවුනාම ඒක තුරුල් කර ගන්නවද ඈතට විසිකරල දානවද කියල හිතාගන්න බැරුව අපි අසරණ වෙනව. ව්‍යාජයේ ගිළෙමින් ඉන්න අපිට යථාර්තයේ ගොඩබිමට එන්න අවස්ථාවක් ලැබිල ඒ ගොඩබිමේ ඉන්න බැරිවෙද්දි අපි ව්‍යාජයේ ගැඹුරටම කිමිදෙනව යථාර්තයේ ගොඩබිමක මතකයක්වත් ඉතුරුවෙන් නැති වෙන්න.

නිව්ස් වලට අනුව හෙට උදේ 5 ට ඇදිරි නීතිය අයින් කරණවලූ. කොළඹ හිරවෙලා ඉන්න හැමෝටම ආයෙ ගෙවල් වලට යන්න පුලූවන්. ඒක දැනගත්ත වෙලවෙ ස්ටෑන්ඞ් එකේ අවතැන් වෙලා හිටපු සෙට් එක රතිඥ්ඥා දැම්මෙ නැත්තෙ රතිඥ්ඤා හොයාගන්න තිබුන් නැති හින්ද. විවේක කාලය ඉවරයි. හැමෝම ආයෙ දුවන්න ලෑස්ති වෙනව. ප‍්‍රශ්නෙ තියෙන්නෙ දුවන්න වෙන්නෙ පරණ ට‍්‍රැක් එකේමද අලූත් එකකද කියල, කාටවත් තවම අදහසක් නෑ. අනුසුයි දෙව්මියි වහළයක් නැති තැනක බිම දිගා වෙලා අහස දිහා බලන් ඉන්නව. අදත් අහසෙ ඔරායන් පායල, ඔරායන් දුන්න මානගෙන ඉන්නෙ නෙළුම් කුළුණ දිහාට.

”අනුහස් නේවි කෑම්ප් එකට කොරෝනා බෝවෙලා හින්දා ඔය කිව්වට හෙට ඇදිරි නීතිය අයින් කරණ එකක් නෑ නේද?”

ඇදිරි නීතිය අයින් කලා. කරනවයි කිව්ව දවසෙමද මං දන්නෙ නෑ, ඒත් කවද හරි අයින් කරණවනෙ. මිනිස්සු ආයෙත් ජීවිත පටන් අරන්. ඒ අලුත් ජීවිතද? පරණ එකමද? මං දන්නෙ නෑ. මං අනුවස්වයි දෙව්මිවයි හොයාගෙන ආයෙමත් කොටුවට ආව. පාළුවට ගිහින් තිබුණ පාරවල් පුරා සෙනග දුවනව. කොච්චර හෙව්වත් මට අනුහස්වයි දෙව්මිවයි හොයාගන්න විදිහක් නෑ. සමහර විට ඒ දෙන්නගෙ උපතයි මරණයයි දෙකම ඒ සති දෙක තුන ඇතුලෙ කොටුවෙදිම වෙන්න ඇති. දැන් ඒ අනුහසුයි දෙව්මියි නැතුව ඇති. ඒත් දැන් කොහෙ හරි ඉන්න අනුහස්ගෙයි දෙව්මිගෙයි හිතේ කොහෙ හරි අර මැරුණ අනුහස්ගෙයි දෙව්මිගෙයි සිතුවිලි ශුක‍්‍රානු අංශුවක් ඉතුරුවෙලා නැතුව ඇතිද? මං ෆ්ලෝටින් මාර්කට් එක පහු කරන් ස්ටේෂන් එක පැත්තට ඇවිදන් ගියා. ගොඩක් මිනිස්සු මාව පහු කරන් ගියා. මං ගොඩක් මිනිස්සුන්ව පහු කරන් ගියා.

රිවිහාර පින්නදුව

Sunday, April 5, 2020

සිහිනයට වෙඩි වදින කල පේ‍්‍රමයට පියඹන්නට ඉඩදිය යුතුය


සිහිනයට වෙඩි වදින කල පේ‍්‍රමයට පියඹන්නට ඉඩදිය යුතුය


අපිට අපේ ජීවිත වල යථාර්තය සිනමාව හෝ වෙනයම් නිර්මාණයක් තුල දකින්නට එතරම් කැමැත්තක් නැත. ඒ වෙනුවට තිරය මත දිවෙන ෆැන්ටසියක් දෙස බලා සිටින්නට ආසා කරන්නෙමු. Carnival Row ෆැන්ටසිය දෙස බලා සිටින අපිට සමාජ යථාර්තයන් ඇගට පතට නොදැනී අභිමුඛ වෙයි.
සත්වයන්ගේ යම් යම් අංග ලක්ෂණ සහිත වෙනස් මනුෂ්‍යය කොට්ඨාෂයන් ජීවත්වෙන ප‍්‍රදේශයන් සතුරන් ආක‍්‍රමණය කිරීමත් සමග එම පිරිස් Burgue නගරය වෙත සරණාගතයන් ලෙසින් සංක‍්‍රමණය වන්නට වෙයි. මෙම සුළු ජාතික මනුෂ්‍යය වර්ග නගරයේ සුළු රැුකියාවන්ගේ නිරතවෙයි. ඔවුන් නිරන්තරයනේ වෙනස් කොට සැළකීම් වලට භාජනය වන අතර දිනෙන් දින එම පිරිස ඉහළ යෑමත් සමග ඔවුන්ට එරෙහි විරෝධයද උස්සන්න වන්නට වෙයි. එම අර්ධ මනුෂ්‍යයින් විරෝධී ව්‍යාපාරයන් පවා ඇතිවන අතර එම අර්ධ මනුෂ්‍යයින්ට පහරදීම්, ඝාතනයන් නගරයේ තැනින් තැන වාර්තා වන්නට වන අතර ඔවුන් අර්ධ මනුෂ්‍යයින් වන බැවින් එම ඝාතනයන්ට එතරම් අවදානයක් යොමු නොවෙයි. මේ අතර එම අර්ධ මනුෂ්‍යය කොට්ඨාෂයන් අතරද අන්තනවාදී ව්‍යාපාර ඇතිවන අතර මිනිසුන්ගෙන් වන වෙනස්කම් අර්ධ මනුෂ්‍යයන් මෙවැනි අන්තවාදී සංවිධාන වෙත වේගයෙන් තල්ලූකර දමන ආකාරය නාට්‍යය තුල හමුවන චරිත හරහා මැනවින් නිරූපණය කෙරෙයි.
නගරය තුල පියෑඹීම තහනම්ය. තටු සහිත මිනිසුන්ගේ අනෙන්‍යතාවය පියෑඹීම වන අතර නගරය තුල සිටිනවානම් ඔවුන්ට ඔවුන් නොවී වෙනත් තැනැත්තන් ලෙසින් ජීවත්වීමට බල කෙරෙයි. නමුත් තටුවක අගක මතුපිට වෙනස අභිබවා හදවත් තුල සැගව සිටි වෙනසක් නැති මනුෂ්‍යයා පේ‍්‍රමය තුලින් උපත ලබන ආකාරය Agreus හා Imogen ගේ ආදරය අපට කියා දෙයි.  
තටු තියෙන මිනිසුන්, අං තියෙන මිනිසුන් මේ කල්පිතයන් යටින් දිවෙන්නේ මෑත කාලීන යුරෝපය තුල ඇතිවූ දේශපාලන යථාර්තයි. තම දේශපාලන බලය තහවුරු කර ගැනීම සදහා පාලකයින් ජාතිවාදය යොදාගන්නා ආකාරයත් ඒ තුළ උපක‍්‍රමිකව ව්‍යාජ සතුරෙක් නිර්මාණය කරන ආකාරයත් නාට්‍යය තුළ මෙන්ම අපි අපේ ජීවිත තුලත් අත් දැක හා අත්දකිමින් සිටී. වෙනස ඇත්තේ තටු ඇති මිනිසුන් තටු නැති මිනිසුන් වෙනුවට සැබෑ ලොව එය සිංහළ හා දෙමල හෝ සිංහල හා මුස්ලිම්වීම පමණි.
නාට්‍ය පුරාවට Philo හා Vingette ආදර කතාව දිව යන අතර අතුරු කතා හා චරිත සියල්ල අවසානය වන විට ආකර්ෂණීය ලෙස එකිනෙක බැදෙයි. මනුෂ්‍යය වර්ග අතර යුද්ධයකට අවැසි වටපිටාවක් නිර්මාණය වන වාතාවරණයක පළමු කතා මාලාව අවසන් වෙයි.

රිවිහාර පින්නදුව

Saturday, March 7, 2020


හසලක ගාමිණීට තිලීපන් හම්බුන් නැති කරුමය

(තිලීපන්ට හසලක ගාමිණී හම්බුන් නැති කරුමය)


අපි කවුරුත් දන්න නමක් තමයි හසලක ගාමිණී නැත්තන් කෝප‍්‍රල් ගාමිණී කුලරත්න. තමන්ගෙ හමුදා කදවුරට එල්ලවන ප‍්‍රහාරයකදි LTTE සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය පුරවපු බුල්ඩෝසරයක් කදවුරේ ආරක්ෂක කපොලූ බිදගෙන කදවුර ඇතුල්වෙන්න උත්සහ කරනව. බුල්ඩෝසරය කදවුර ඇතුලට ආවොත් තමන්ගෙ කදවුර සතුරන් අතට පත්වෙනව කියල ගාමිණී තේරුන් ගන්නව ඔහුට තත්පර කිහිපයක් තුළ තීරණයක් ගන්න වෙනව. ඔහු බෝම්බ දෙකක් අත් දෙකට අරන් අර බුල්ඩෝසරයට පනිනව. බුල්ඩෝසරය නතරවෙනව අලිමංකඩ කදවුර බේරෙනව ඒ එක්කම ගාමිණී කුලරත්න හසලක වීරය වෙනව. ඔහුගෙ නමට සිංහලෙන් කවි සිංදු ලියවෙනව, පිළිම හැදෙනව, පහුගිය දවස්වල තාප්ප වල චිත‍්‍ර අදින ටෙ‍්‍රන්ඞ් එක වෙලාවෙ තාප්පවලත් හසලක ගාමිණීවත් ඇදෙනව. දකුණට ගාමිණී  වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.

අපි වැඩි දෙනෙක්ට එච්චරම හුරු නැති හුරු උනත් වැඩිය දන්නෙ නැති නමක් තමයි යාපනේ තිලීපන්. ඉංදු ලංකා ගිවිසුමත් සමග ඉංදියානු හමුදාවට ආරක්ෂක කටයුතු භාරදීල ලංකාවෙ හමුදාව උතුරෙ මෙහෙයුම් වලින් අයින් වෙනවත් එක්කම ඇතිවෙන ඉංදියානු හමුදාවේ ම්ලේඡ්චය හැසිරීමට එරෙහිව ඉංදියානු හමුදාව උතුරෙන් ඉවත් කරන්න බලකරමින් තිලීපන් 1987 සැත්තැම්බර් 15 නල්ලූර් කෝවිල අසළ මාරාන්තික උපවාසයක් ආරම්භකරනව. ඒක ලෙමන් පෆ් කකා කරපු ෂෝ එකක් නෙමෙයි ඇත්තම මාරාන්තික උපවාසයක්. දිනෙන් දින දුර්වල වෙමින් දින 12ක් පුරාවට මේ මාරාන්තික උපවාසය දිගහැරෙනව. කවුරුත් තිලීපන්ට තැඹිලි වතුර පොවන්න එන්නෙ නෑ. තිලීපන් තමන්ව රෝහලකට ගෙනියන්න දෙන්නෙ නැහැ. අන්තිමට තමන් විශ්වාස කල අරමුණක් වෙනුවෙන් තිලීපන් සිය ජීවිතය පුදනව. තිලීපන් නමට දෙමළෙන් කවි සිංදු ලියවෙනව, නල්ලූර් කෝවිල ගාව පිළිමයක් හදනව (2010 දි ඒක කඩනව). උතුරට තිලීපන් වීරයෙක් වෙන එක පුදුමයක් නෙමෙයි.
 ඔය වීරයො දෙන්නම සමුඅරන් දශක දෙකකට විතර පස්සෙ දවසක හැම තැනම රතිඤ්ඤා පත්තුවෙන්න ගත්තා, අපි ජාතික කොඩි අරන් අපි පාරවල් ගාණෙ දිව්වා. හංදියක් ගාණෙ කිරිබත් උයල කෑව, කැව්වා. අපේ මෙච්චරක් උන්ගෙ මෙච්චරක් මැරිල උන්ගෙ ගාණ මෙච්චරකින් වැඩියි, මතකයි අපි ගණන් හැදුව, එක වීරයෙක්වත් හිටියෙ නෑ කියන්න ඔය ඉලක්කන් ගාණට කොහෙ හරි අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ පපුව ගිණි අරන් කියල. ගාමිණියි තිලීපනුයි වගේ හම්බෙන්න හිටපු, ආදරෙන් එකිනෙකා වැළදගන්න හිටපු මිනිස්සු කී දාහක් එකිනෙකා හමුනොවීම දෙපැත්තට වෙඩිතියාගෙන සමුගන්න ඇතිද? විජේවීරට ඇයි බැරිවුනේ ගාමිණීටයි තිලීපන්ටයි මැයි දිනේට කොළඹට එන්න කියන්න. එහෙම වුනානම් උන් දෙන්නා එකට ජාත්‍යන්තර ගීතය කියන්න තිබුණ. 

ගාමිණීල තිලීපන්ල විජේවීරල දහස් ගාණක් මේ පොළවෙ වැළලූනාට පස්සෙ අද දවසෙ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නෙ? අපි කොහෙටද යනනෙ? ඒ මැරිච්ච මිනිස්සුන්ගෙ සිරුරු දිරල පොළවට පොහොර වෙනවට වඩා ඒ මරණවලට අපිට දෙන්න පුලූවන් සාධාරණත්වයක් නැද්ද? සරළව දැන්වත් ගාමිණයිි තිලීපනුයි එක පැත්තකට ඇවිත් හරි පැත්තට වෙඩි තියන්න ලෑස්තිද? ඒ දෙන්නට එකතු වෙන්න තැනක් හදන්න විජේවීර ලෑස්තිද? උඹ මම අපිත් තිලීපන්ව හම්බෙන් නැතුවම මැරිල යන්න  ඕනෙද? විජේවීර පාර කොයි පැත්තෙන්ද? ගාමිණී වරෙන් තිලීපන්ව හම්බෙන්න යන්න.

රිවිහාර පින්නදුව

Wednesday, April 17, 2019

හියුමරාන් [සින්ඩරෙල්ලගෙ අවජාතක පුතාගෙ කතාව]


හියුමරාන්

සින්ඩරෙල්ලගෙ අවජාතක පුතාගෙ කතාව


මධු සමය කියන්නෙ තරුණියකගෙ ජීවිතේ සුන්දරම රාති‍්‍රයට. පොඩි දේකටත් තරහ යන රජකෙනෙකුගෙ කෝකියෙක් රජතුමාට කන්න කෑමක් හදද්දි ලූණු තුනපහ මොන තරම් සීරුවට පදමට දානවද ඒ වගේ පේ‍්‍රමයත් අනුරාගයත් පදමට ගොනුවෙච්ච සීතල පරිසරයක උණුසුම් සයනකයක ගතකරන ආදරණීය රාති‍්‍රයක්. තමන්ගෙ පෙම්වතා සමග ආදරෙන් බැදිච්ච දවසෙ ඉදල හීන දකින රාති‍්‍රය නොදන්නා මනුස්සයෙකුගේ විකෘතිවූ කාමාශාවන්ට බිලිදෙන්නට සිදුවුණ තරුණියක හදවතේ මොන තරම්වූ වේදනාවේත් වෛරයේත් ගිනි දළු ඇවිළේද? තමන්ගෙ පෙම්බරිය මධු සමයේ රාති‍්‍රයේ වෙනත් මිනිසෙකු හා නිදිවැද එනතුරු බලාසිටීමටවූ තරුණයෙකුගේ හදවතේ මොන තරම්වූ වේදනාවේත් වෛරයේත් ගිනි දළු ඇවිළේද? මේ කතාව පටන් ගන්නෙ මෙතනින් නෙමෙයි. ඒත් මේ කතාවෙ කතාව පටන් ගන්නෙ මෙතනින්. ඒ වෛරයේත් වේදනාවේත් ගිනි දළු මතින්.

වෙසේරියාව කියන්නෙ අගනුවරට ඈතින් තිබුණ ගම්බද ප‍්‍රාදේශීය පාලන ඒකකයක්. රජතුමාට නෑකම් කියන කෙනෙක් තමයි රජතුමා වෙනුවෙන් පාලනය කළේ. බදු විදිහට මිනිස්සුන්ගෙ සාරයම සූරල අරන් මදිවගේ හින්දද කොහෙද තමන් දකින දකින කැමති කැමති ගෑණු තමන්ගෙ මන්දිරයට හොදින් හෝ නරකින් ගෙන්න ගන්න එක අකේසියස්ගෙ පුරුද්ද. එයිනුත් විවාහ මංගල්‍යයක් ගැන ආරංචිවුනොත් මනාලිව ගෙන්න ගන්න ගොඩක් කැමතියි. ඒ හින්දම දැන් මේ පලාතෙ විවාහ උත්සව කියල දේවල් ඇත්තෙම නැති තරම්. රහසෙන් මූලිකම චාරිත‍්‍ර ටිකක් ඉටු කරනව විතරයි. වෙසේරියාවෙ විතරක් නෙමෙයි මුලූ රටේම තත්වෙ ඔහොම තමයි. රජතුමත්, රජතුමා ගාව දැවටෙන රදළයො ටිකත් මිනිස්සුන්ගෙ ජීවිත අපායෙ පැසවෙන ලෝදිය වලින් උන්ගෙ දෙවියලෝකෙ සුවද විලවුන් හදමින් ජීවත් වෙනව.

ඔලිවර් ජීවත්වෙන්නෙ එයාගෙ අම්මත් එක්ක. ඇය අගනුවර උසස් පවුලක කෙනෙක්, සින්ඩරෙල්ලා. මොකක් හරි හේතුවකට අගනුවරින් පැනල ඇවිත් මේ පලාතෙ ජීවත් වෙනව. ඇය ඒ කාලෙ රජකුමාරයගෙ අනියම් බිරිදක් විදිහට තියාගෙන හිටියයි කියල කතාවක් තියෙනව. කොහොම හරි රජකම ගන්න රජකුමාරයව මරල දානවත් එක්ක සින්ඩරෙල්ල මෙහෙට පැනල ආවයි කියන්නෙ. ඔලිවර්ගෙ තාත්ත කවුද වගේ අනවශ්‍ය ප‍්‍රශ්න අහන්න එපා. ඔලිවර් ඇග්නස් එක්ක විවාහ ජීවිතය පටන් ගත්තෙ ජීවිතේ කවදාවත් නැති කරන්න බැරි රික්තකයක් එක්ක. මංගල රාති‍්‍රයෙදි තම පෙම්වතිය රැුකගන්න කිසිම දෙයක් කරගන්න බැරුව අසරණවුන පෙම්වතෙකුගෙ හැගීම් විස්තර කරන්න භාෂාවෙ වචන හොයන්න මං බොරුවට මහන්සි වෙන්නෙ නැහැ. ඔලිවර්ගෙ විතරක් නෙමෙයි රටේ හැම කෙනෙකුගෙම ජීවිත වල යථාර්තය මීට වඩා වැඩි වෙනසක් නෑ. ඒත් කවුරුත් මේ පාලනයට විරුද්ධව මොකුත් කරන් නෑ. කාලෙකට කලින් හියුමරාන් කියල වීරයෙක් කැරළි ගහල ඒ කාලෙ හිටිය පාලකයන්ට අභියෝගයක්වුණා කියල කතාවක් තියෙනව. හැමෝම ලොකු විශ්වාසෙකින් ඉන්නෙ ආයෙත් හියුමරාන් ඇවිත් මේ පාලකයන්ව එළවල සාධාරණ පාලනයක් හදාවි කියල. ඒත් ඒ කවදද? හියුමරාන් කොහෙද ඉන්නෙ? කවුරුවත් දන්නෙ නැහැ.

මල්ලකට වතුර පුරවද්දි, සීමාවකින් එහාට මල්ලෙ කොහෙන් හරි සිදුරක් හදාගෙන වතුර පිටවෙනව. පීඩාවේ උපරිමය පුපුරායෑමකින් අවසන් වෙන්න නියමිතයි. ඒත් වෙඩි බෙහෙත් බැරල් ගණන් තිබුණත් පිපුරුමකට එක ගිණි පුලිගුවක්  ඕනෙ. එතකන් වෙඩි බෙහෙත් වලට ඉන්න වෙනව. ඔලිවර්ල වෙඩි බෙහෙත් වගේ, එයාල හොයනව ගිණි පුලිගුවක්, ඒ හියුමරාන්. ඒත් කෝ හියුමරාන්? හිරු පායනකන් බලන් ඉදල ඇතිවුන තැන ඔලිවර් තීරණය කලා හිරු හොයාගෙන යන්න. ඔලිවර්ගෙ අසල්වාසිය වගේම පොඩි කාලෙ ඉදල හොදම යාලූව වුනේ ඇලඩින්. ඇලඩින් පරණ බඩු කඩයක් දාගෙන ජීවත්වුනේ අම්මත් එක්ක. ඇලඩිනුත් එකගවුණා තවත් බලන් ඉන්න බෑ කියන කාරණයත් එක්ක. දෙන්නත් එක්ක හියුමරාන්ව හොයාගෙන යන්න කතාවුණා. හැමෝගෙම විශ්වාසයක් තිබුන රජතුමාගෙ පාලනයෙන් යම් සීමාවකට ස්වාධීනව පාලනය වෙන කදුකර ප‍්‍රාන්තය පැත්තෙ හියුමරාන් සූදානම් වෙමින් ඉන්නව කියල. පහුවදා උදේම ඔලිවර් ඇලඩින් එක්ක ගියා රොබින් කියන වයසක මනුස්සයව හම්බෙන්න. රොබින් එදා ඉදලම කලේ කැලේ ගහක් දෙකක් කපාගෙන ඇවිත් පුටු මේස හදන එක. හැම තිස්සෙම කැලේ ඉන්න හින්දමද කොහෙද මිනිස්සු රොබින්ට කිව්වෙ රොබින් හුඞ් කියල. මොනව උනත් රොබින්ට තමයි මේ දේවල් ගැන වැඩියෙන්ම දැනුමක් තිබුනෙ. ලොකු ඇස් දිගටි නහය එක්ක නළලෙ වම් පැත්තෙ ලොකු උපන් ලපය හියුමරාන් අදුන ගන්න තියෙන හැමෝම දන්න ශරීර අංග. හැමෝම කියනව රොබින්ගෙ ශරීර ලක්ෂණ හියුමරාන්ට ගොඩක් දුරට සමානයි කියල. ඒ ඇරෙන්න හියුමරාන් ඉන්න පුලූවන් පැත්ත ගැන රොබින්ගෙන් හැම දෙයක්ම ඔලිවර්ල අහගත්ත.

පහුවදාම ඔලිවර්, ඇලඩිනුයි තවත් තරුණයො දෙතුන් දෙනෙකුයි එක්ක හියුමරාන් හොයාගෙන පිටත්වුණා. ඒ ගමන ලේසිවුනේ නැහැ. සත්තු, මංකොල්ලකාරයො වගේ ඉවරයක් නැති අනතුරු මැදින් කණ්ඩායම කදුකර ප‍්‍රාන්තතයට ආව. ප‍්‍රධාන නගරයට ඇතුල්වෙන තැනම කාව හරි එල්ලල මරල දාල. දවස් ගාණක් ගෙවිල තිබුණත් කවුරුවත් මිනිය බාන්නවත් හදල තිබුණෙ නෑ. අකේසියස්ටත් වැඩිය දරුණු පාලකයෙක් මෙහෙ පාලනය කරන්නෙ කියල ඔලිවර්ලට තේරුණා. සමහර විට හියුමරාන්ලගෙ කි‍්‍රයාකාරකම් හින්ද ඒව මර්දනයට මේ වගේ දැඩි නීති කි‍්‍රයාත්මක කරනව ඇති. ඒ මිනිස්සුන්ව දැක්ක ගමන් ඔලිවර්ට තවත් දෙයක් තේරුණා. ඒ මිනිස්සුන්ගෙ ඇස්වල ඔලිවර්ලගෙ තරම්වත් බලාපොරොත්තුවක් ඉතුරුවෙලා තිබුනෙ නැහැ. දවස් ගාණක් කට්ටිය මුලූ ප‍්‍රාන්තය පුරා හියුමරාන් ගැන ආරංචියක් හෙව්ව, ඒත් කිසිම හෝඩුවාවක් හම්බවුනේ නැහැ. ඔය අතර ප‍්‍රාන්ත පාලකය අගනගරෙදි ජනතාව අමතන දවස ආව. ඒක සම්ප‍්‍රදායක් විදිහට කෙරෙන දෙයක්. ඔලිවර්ලත් මිනිස්සු එක්ක එතන්ට ගියා. ඇත්තටම ඒ වෙද්දි ආපහු ගමට යනව ඇරෙන්න කරන්න දෙයකුත් ඔලිවර්ලට ඉතුරු වෙලා තිබුනේ නැහැ. පාලකය සදළුතලයට ආව. හේවායන්ගෙ අණට භයෙන් මිනිස්සු ව්‍යාජ පී‍්‍රති ඝෝෂා පැවැත්වුවා. ඒ පාලකයට තිබුනෙ ලොකු ඇස්, දිගටි නහය, නළලෙ උපන් ලපය, ඒ හියුමරාන්.

හදිස්සියෙම අකේසියස්ගෙ බදු එකතු කරන්න ගිය නිළධාරියෙක් හා හමුදා භටයෙක් මරා දැමෙනව. ඒක අහබු දෙයක් වගේ සැළකුවත් පස්සෙ ඒ වගේ සිදුවීම් නිතර වෙන්න ගන්නව. ඒ එක්කම ඒ හැම තැනම හියුමරාන්ගෙ සළකුණ තියල තියෙනව. හියුමරාන් ඇවිත් කියන පණිවිඩය ගම් නගර පුරා පැතිර ගියෙ නියගයෙන් පීඩා විදින ගොවි ගම්මානයකට ඈතින් ඒ දිහාට එන වැහි වළාවක් ගැන ආරංචියක් වගේ වේගෙන් වගේම දස අතේ වැළලිලා තිබුණ හීන වලට ආයෙම පණ දෙන ගමන්. කැළෑවල හියුමරාන් යටතේ සෙනග සංවිධානය වෙන්න ගත්ත. ඒත් හියුමරාන් වැඩිය මිනිස්සු අතරට ආවෙ නැහැ කැළෑවෙ හැංගිලා හිටියෙ. ඒක මිනිස්සුන්ට අදාල නෑ. එයාලට හියුමරාන් ආයෙ ඇවිත් කියන පණිවිඩයම ඇති. අන්තිමට වෙසේරියාවෙ පාලනය හියුමරාන් අල්ල ගන්නවත් එක්කම මුලූ රටම සළිතවුණා. හියුමරාන් ගැන විශ්වාසයෙන් පිට පළාත්වල ඉදන් මිනිස්සු හියුමරාන්ට එකතු වෙන්න වෙසේරියාවට ආව. රජතුමා මේ විෂ බීජය පටන් ගත්ත තැනම නැතිකරල දාන්න දැවැන්ත ආක‍්‍රමණයක් වෙසේරියාවට එල්ල කළා. හියුමරාන්ගෙ සෙබළු අභීතව සටන් වැදුණත් ඒ ආක‍්‍රමණයට මුහුණ දෙන්න තරම් ඒ වෙද්දි හියුමරාන්ගෙ හමුදාව ශක්තිමත් නැහැ. වෙසේරියාව අත ඇරල ඉතුරු වෙච්ච සේනාව වනයට පසු බැස්ස.

රජතුමා හිතුව වැරදියි, ඒ වෙද්දිත් ගිනි දළු නැගිල ඉවරයි. කොයි තරම් නිවන්න හැදුවත් එක තැනක් නිවද්දි තව තැනක ගින්න ඇවිළෙනව. වනයට ඇවිත් හියුමරාන්ගෙ සේනාව සමූලඝාතනය කරන්න රජතුමා උත්සහ කළත් ගොවියන්ගෙන් හා අනිත් කැළෑව ගෙදර වගේ වුණ හියුමරාන්ගෙ සේනාවෙ මිනිස්සු එක්ක කැළේ ඇතුලෙ හැරෙන්නවත් රජතුමාගෙ හමුදාවට බැරිවුණා. අන්තිමට කැළේ ඇතුළට ගිහින් හියුමරාන් මරණ එක සියදිවි නසාගන්නව වගේ වැඩක් කියල රජතුමා තේරුම් ගත්ත. හියුමරාන් හොයාගෙන මිනිස්සු දිගින් දිගටම කැළෑවට එන්න ගත්ත. ටික කාලලෙකින් එකින් එක ගම්බද ප‍්‍රදේශ හියුමරාන්ගෙ සේනාව අල්ල ගත්ත. ඔය අතරෙ හියුමරාන්ගෙන් ජවය ලබපු වෙනත් ප‍්‍රදේශවල තරුණයිනුත් කැරළි ගහන්න ගත්ත හියුමරාන්ගෙ සහයට. ඒව ගොඩක් වෙලාවට ගරිල්ලා කණ්ඩායම්. හියුමරාන්ගෙ සේනාව ඒ ප‍්‍රදේශ ආසන්නයට එද්දි ඒ කණ්ඩායම් එහෙම්ම හියුමරාන්ගෙ හමුදාවට එකතුවුණා. අන්තිමට හියුමරාන්ගෙ සේනාව අගනුවර වටලෑව. දෙපැත්තෙම සේනාවන් අවසන් මහා සංග‍්‍රාමයට සූදානම්වුණා. කවදාවත් බිදවැටෙන් නැහැයි කියන නගර ප‍්‍රකාරය බිදින්න ඒ විශ්වාසය දරපු මිනිස්සුම හරිම විශ්වාසෙන් ආව. ඔලිවර්ල ඇලඩින්ල හැමෝම හියුමරාන්ට එකතුවුනා. රොබිනුත් ගමෙන් අතුරුදහන්වෙලා, ඒ මනුස්සයත් හියුමරාන් ගාවට යන්න ඇති කියලයි හැමෝම කියන්නෙ.

ඒ උදෑසන හරිම අමුතු උදෑසනක්, මරණයේ අන්ධකාරයත් බලාපොරොත්තුවේ ආලෝකයත් එකට එක්වෙච්ච උදෑසනක්. මේ සංග‍්‍රාමය කොහොම ඉවරවුණත් ඒ එක්ක එක යුගයක් ඉවර වෙනව, ඒ වගේම ඒ අවසානයම තවත් යුගයක ආරම්භයවේවි. දහස් ගණන් සෙනග නගර ප‍්‍රකාරය දිහාට ඇදෙන්න ගත්ත, හියුමරාන්ගෙ ළගම සෙනෙවියොවුන ඔලිවර්, ඇලඩින් ඇතුලූ පිරිස ඉස්සරහින්ම ආව. ප‍්‍රාකාරය උඩට වෙලා සෙනග දිහා බලන් හිටපු රජතුමාට මහා ආශ්චර්යක් දකින්න ලැබුන. කෙසග නගර කම්කරුවො එක පාරටම නයිට්වරු බවට පත්වවෙලා රණ හඩ දෙමින් ප‍්‍රාකාරය දිහාට එන්න ගත්ත. දුප්පත් ගොවියො මකරු වෙලා ගිණි පිඹිමින් ප‍්‍රාකාරය දිහාට පියාඹගෙන එන්න ගත්ත. පැය ගාණක් ප‍්‍රාකාරය අද්දර ගැලූම් දහස් ගාණක රුධිරයෙන් සේදුණාට පස්සෙ ප‍්‍රකාරයෙ ප‍්‍රධාන දොරටුව අන්තිමට බිද වැටුණ. රජතුමා ඇතුලූ සෙනෙවිවරු අන්තිම ප‍්‍රහාරයට සූදානමින් බලන් ඉද්දි දහස් ගාණක් සෙනග ප‍්‍රාකාර දොරටුවෙන් පොරකමින් නගරයට කඩා වැදුණ. රජතුමා අන්තිම මොහොතෙ තවත් පුදුමයක් දැක්ක, ඒ හැම කෙනෙක්ගෙම ඇස් ලොකුයි නහය දිගයි නළලෙ වම් පැත්තෙ උපන් ලපයක් තියෙනව. ඒ ඔක්කොමල හියුමරාන්ල.....

රිවිහාර පින්නදුව



Monday, November 12, 2018

මද සිනහවක සීමාඉර නොපැන


මද සිනහවක සීමාඉර නොපැන


රෑ යමේ හොර හොරෙන්
ඇලවෙද්දි පෝස්ටර්
තාප්ප බාල්දිත් උස්සන්
හුරු පුරුදු මුහුණක් හදිසියේ
මතුවුණේ වංගුවෙන්
අතීතය හෙණ ගසන කළ
මුවට මුව බලාගෙන
වසර ගණනක් දිග
තත්පර ගණනක් අපි ගෙව්ව
සිනාසුණු රණ්ඩුවුණු
සුන්දරම මතකයන් 
ලොරි ගණන් ඇත
අප අතර අඩු නැතුව
කාර්්‍යාලෙ එක පැදුරෙ බුදියෑව
කාලයක් අපි දෙන්න
ගාණක් නැතුව
එක දත් බුරුසුවෙන් දත් මැද්ද
138 පාරෙ තාප්ප ලයිට් කණු
අදුනනව අපි දෙන්නව හොදට
මැයි දිනද විරු සමරු
රතුපාට වේදිකා
සිහිනයට අත වැනුව
පිකට් එකක් කොතනද
හැමදාම මග හිටින
බයික් එකත් වත්තන් කරන්
අපි හිටියෙ එක ළගම
මගෙ හුස්ම සැක උනත්
සැක නැතුව ළග උන්නු උඹ
දැන් කොච්චරනම් දුරද
මාවත් දෙකක අපි
ලූහුබදිනවා තවම
ඒ හුරුපුරුදු හීනයම
කෙම් බිමක කවදාද
හමුවන්නෙ අපි දෙදෙන
ආයෙම හොරාට අඩියක් ගසන්නට
හිත් රිදුණු තැන් බෝම
වචන වෙඩි සැර සේම
බෙහෙත් කොට ගොඩදමන්නට
බැරි නෑ නේද සහෝදරකම
අහන්නට හිතුනාට
ඉස්සර පුරුද්දට
සහෝ ප්ලේන්ටියක් ගහමුද
ගොළුවතින් අපි
දෑසින් බදා වැළදගෙන
මද සිනහවක සීමා ඉර නොපැන
හංදියෙන් දෙපැත්තට
හැරිල ගියා ඉස්සරහටම

රිවිහාර පින්නදුව

Tuesday, November 6, 2018

ආදරේ practice කරන්න


ආදරේ practice කරන්න


fail වුණු ලෝකයක
fail වෙන එකම
පස්ස් යැයි සමරන
මැණික ඉතිං
අපිට පුලූවන්ද
ආදරේ practice කරන්න
තරුත් නැති අහසක
හද කොහොම උනත්
අඩුම තරමේ
උල්කාපාතයක්ව කඩාවැටෙන්නට
අපිට පුලූවන්ද
පහන් තරුවක් වෙන්න
පුරන්වූ කුඹුරක
රන්වන් ගොයම් කරලක්ව
පැසෙන්නට හැකිවේද
පෙද පාසිවත් නැති විලක
නෙළුමක්ව විකසිත වෙන්න
හැකිවේවිද අපිට
සවන් අහිමි ලෝකයක
දනන් මුසපත් කරමින්
සිතාරය වයන්නට
ඉතිං අපි සිපගමුද
හති වැටෙන තුරු දෙතොල
ඉතිං අපි මොරදෙමුද
ආදරෙයි ආදරෙයි කියා
ජින්තු යන තුරු උගුරෙ
නෙත් බැල්මට සමවැදී
මැණික ඔයත් එනවද
ආදරේ practice කරන්න

(රිවිහාර පින්නදුව)


Monday, October 22, 2018

ගිණිසිළුව අන්තරේ


ගිණිසිළුව අන්තරේ


හීන ගල්වුණු ලෝකෙක
චේ ත් කිචවී විකිණෙන
රතු පාට ජෝක් අද්දර
අතනාරිනා අරගලයක
පාවා නොදෙන දිවුරුම
උන් වළිකෑව පැළ කරන්නට
ඉරි තැලී වියළුණු පොළවක
ලෙයින් දහඩියෙන් දෝවනය කර
දහසක් අවලාද ගල් මුල්
කදුළු ගෑස් ටිං ගාණට
මඩ බැරල් පෙරළුණු
ඉවසන්න බැරි හින්ද
අඩහැරය අන්තරේ
ආතල් කැඩෙන හින්ද
නවලිබරල් සීලයේ
සමාජෙක කුණු කසළ
ගොඩගහල කර මතට
කොල්ලො කෙල්ලන්ගෙන්
දාර්ශනික අප්පල
මස් රාත්තල ඉල්ලූව
අරන් වරෙව් සගයිනි
විශ්වාසය පොළවට
මොරදියව් සටන් පාඨ
කිදාබහිනතුරු අරගලය
සමාජෙක ඇටමිදුළු වලටම
බැරියර් මත මල් පිපී
හිනැහෙනා හීනයට
අතවනා යා යුතුය
තවත් බෝ දුර අපි
ප‍්‍රාර්ථනාවේ කෙම්බිම සොයාගෙන
වෙළදපල හීනයට
ගල් ගහන මන්තරේ
නිමානැති අරගලයෙ
ගිණිසිළුව අන්තරේ

(රිවිහාර පින්නදුව)