Thursday, April 30, 2020

The Curfew Love ඇදිරි ආදරය

The Curfew Love 
ඇදිරි ආදරය


හැම අදුරු වළාවකම රිදී රේඛාවක් සැගවිලා තියෙනව කියල පොඩි කාලෙ අපි අහල තිබුණට කවුද දන්නෙ ඇදිරි නීතියෙත් ආදරයක් සැගවිලා තියෙනව කියල. ඒ අනුහසුයි දෙව්මියි, ඔයාල දන්න තවත් අනුහස්ල දෙව්මිල ඇති ඒත් මේ දෙන්න වෙන දෙන්නෙක්. නැත්තන් ඔයාල දන්න අයගෙම වෙන වර්ශන් එකක් වෙන්නත් පුලූවන්. අනුහස් කොළඹ ගබඩාවක සහාය කළමණාකරුවෙක්. බැදල ළමයෙකුත් ඉන්නව. කොහොමත් අනුහස් සාර්ථකත්වය කියල එයාගෙම අර්ථකතනයක් පස්සෙ දුවන මනුස්සයෙක්. සරළව අනුහස් අසාර්ථක වෙච්ච ගේම් කාරයෙක්. අනුහස්ගෙ කසාදෙත් අනුහස්ගෙ ඒ ගේමෙම කොටසක්. හැබැයි අනුහස් ඇතුලෙ තවත් කෙනෙක් ජීවත්වූණා මීට වෙනස්, අනුහස් පස්සෙන් දිව්ව ඉලක්කයට යන්න තමන් ඇතුලෙම බන්ධනාගාර ගත කරපු තවත් අනුහස් කෙනෙක්. පස්සෙ කාලෙක බූට් එක තිබ්බ ඒලෙවල් කාලෙ සෙට් වෙලා අවුරුදු ගාණක් සම්බන්ධයක් තිබුණ ගෑණු ළමයගෙන් ඇහුවනම් එයා කියාවි ඒ අතුරුදහන් කරපු අනුහස් ගැන. ඒ වගේම අනුහස් ඇතුලෙ ඉන්න ඊට වෙනස් අනිත් මනුස්සය ගැන ඉදල හිටල හම්බෙන බම්බලපිටියෙ ගණිකාවකගෙන් අහගන්න පුලූවන්. 

දෙව්මි කොළඹ ව්‍යපාරික ආයතනයක ප‍්‍රධානියෙකුගේ පෞද්ගලික ලේකම්වරියක් විදිහට වැඩ කරනව. එයත් එක්ක දෙව්මිගෙ තියෙන පොඩි අනියම් සම්බන්ධය ඉතිං පුදුම වෙන්න දෙයක් නෙමෙයිනෙ. ඒ වගේම ඉතිං දෙව්මිට ඉස්කෝලෙ අට වසරෙ විතර ඉදල කොල්ලන්ගෙන් අඩුපාඩුවක් තිබ්බෙත් නෑ. කොහොම හරි මේ දෙන්නම කොළඹ නැවතිල රස්සාවල් කරන්නෙ. සති අන්තෙට ගෙදර යනව. ඒ වසංගතයක් හින්ද මුලූ රටටම හදිස්සියෙ ඇදිරිනීතිය දාපු දවසක්. කොළඹින් පිටට කාටවත් යන්න බැහැ. මොනව කරන්නද හිතාගන්න බැරුව පිටකොටුවෙ නන්නත්තාර වෙච්ච සෙට් එකේ අනුහසුයි දෙව්මියිත් හිටිය. දෙව්මි හැමදාම රැුකවරණයක් හෙව්ව, බොස්ගෙන් යාලූ වෙච්ච කොල්ලන්ගෙන් දැන් ඒක දෙව්මිට පුරුද්දට ගිහින්.  එදා ?ත් දෙව්මිට ආරක්ෂාවක්  ඕනෙවුණා. හිගන්නො, යන එනමන් නැතුවුන කම්කරුවො අතර යම් තරමකට හරි දෙව්මිට ආරක්ෂිත බවක් දැනුණ ඇස් දෙකක් තිබුණෙ අනුහස්ට විතරයි. කතාව පටන් ගත්තෙ හරිම සරළ වචන ටිකකින්

”ඔයා ගාල්ලට යන්නද ඉන්නෙ?”

පාන්දර එකයි. අනුහසුයි දෙව්මියි හම්බෙලා පැය පහයි. ෆ්ලෝටින් මාර්කට් එක පහුකරන් දෙන්න ඉස්සරහට අවිදන් යද්දි මතකයන් දිගේ ආපස්සට ඇවිදන් ගියා. ඒ දෙන්නටම තේරුමක් තිබුණ් නෑ ඇයි මේ අතීතය වමාරන්නෙ කියල ඒත් දෙන්න දෙන්නට තමන්ගෙ ඉතිහාස කතාව කියන්න ගත්ත. අවුරුදු ගාණකට පස්සෙ එයාලත් එයාලගෙ අතීතයට අයෙත් ටිකක් ඇවිදල බලන්න ගියා. තමන්ගෙ අඩි සටහන් දිහා කොච්චර කාලෙකට පස්සෙද ආයෙ හැරිල බැලූවෙ කියනවනම් පළවෙනි පාරට චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් බලන්න ආව රසිකයින් වගේ එයාල එයාලගෙම අතීතයෙ ඇවිද්ද. ඒ දෙන්න කියා ගත්ත අතීත කතාවල ඇත්ත මොනවද බොරු මොනවද කියල ඒ දෙන්නටවත් තේරුමක් තිබුන් නෑ. කොහොම හරි තමන්ගෙ අතීතයෙ සමහර කොටස් තමන්ටම අමතකවෙලා ගිහින් කියල අනුහස්ටයි දෙව්මිටයි තේරුනේ මේ වෙලාවෙ. තමන්ගෙ අතීතය තමන්ට අමතක වෙලා කියන කාරණය ඒ කියන්නෙ අතීතයක් නැති මිනිහෙක් වෙන එක මොන තරම් අමාරුද කියල ඔයාලට තේරෙනව ඇති. එතකොට මේ වර්තමානයෙ ඉන්න බැරිවෙද්දි පැනල යන්න තැන් නැතුව අපිව තව තවත් අසරණ වෙනව. 

කොහොම වුනත් අතීතයේ අදුරුම කොනක හංගල දාල තිබුණ සමහර මතකයන්ට දෙන්නම අත තිබ්බෙ නැහැ. ඒව දැක්කෙ නැහැ වගේ හිටිය. ඒ මොනවද කියල අහන්න එපා. එයාල කිව්වෙ නැති හින්ද මාත් දන්නෙ නැහැ. සමහර විට දෙව්මිගෙ ඉස්කෝලෙ කාලෙ රැුයක් දවාලක් නැතුව හීන දැක දැක ආදරේ කරපු පෙම්වතා එයත් එක්ක රූම් ගියපු වීඩියෝ එකක් එළියට දානව කියල කරපු තර්ජනයට භයෙන් පෙම්වතාගෙ යාලූවො එක්ක ඉන්න වෙච්ච මතකයක් වෙන්න පුලූවන්. නැත්තන් අනුහස් පණ ඇරල ආදරේ කරපු ගෑණු ළමය එයාගෙම යාලූවෙක් එක්ක රූම් ගිහින් ඒ යාලූව ඒකෙ වීඩියෝ එකක් යාලූවො සෙට් එකට පෙන්නපු වෙලාවක් වෙන්න පුලූවන්.  ඕනෙම දෙයක්, තමන්ට ඇත්තටම වුණ ඒත් තමන්ම ඇත්ත කියල පිළිගන්න අකමැති මතකයක්. තවත් තේරෙන් නැත්තන් ඔයාගෙ අතීතෙ අදුරු සෙවණැල්ලක හංගල තියෙන මතකයක් හයියක් තියෙනවනම් එළියට අරන් බලන්න. අන්න ඒ වගේ එකක්.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

අනුහසුයි මායි ඇදිරි නීතියෙ හිරවෙලා මේ තුන්වෙනි දවස. අද ? ගෝල් ෆේස් එකේ ඉන්න තීරණය කළා. ඉස්සො වඬේ නැති, සෙනග නැති ගෝල් ෆේස් එක පාළුවට ගිහින්. තනියට ඉන්නෙ ගෝල්ෆේස් එක ටික ටික ගිළින වරාය නගරය විතරයි. කවුරුවත්ම නැති වෙලාවෙ තමන්ව ගිළින යක්ෂයෙක් විතරක් තනියට ළග ඉතුරුවෙන එකෙත් අමුතු මොකක්ද එකක් තියෙනව. අනුහස්ගෙ උරහිසට ඔළුව තියන් මායි අනුහසුයි අහස දිහා බලන් හිටිය. මුහුදෙ පසුබිම් සංගීතයට අහස නිකන් අපි දෙන්නට විශේෂයෙන් ලෑස්ති කරපු චිත‍්‍රපට දර්ශන වාරයක් වගෙයි. හය වසරෙදි වගේ මං අහසෙ තරු රටා හොයන්න මහන්සි ගත්ත. ඔරායන් දඩයක්කාරය ලේසියෙන් හොයාගන්න පුලූවන් එයාගෙ බද පටියෙන්. ඒත් මට තවම තේරෙන් නැත්තෙ එයා මොනවද දඩයම් කරන්නෙ කියල. මුලූ ලෝකෙම නතර වෙච්ච නිමේෂෙක අපි දෙන්න කිස් කරා. මට මගෙ පළවෙනි කොල්ලගෙ පළවෙනි හාදුව ඇත්තටම මතක නෑ. ඒත් එදත් දැනුණෙ මේ වගේ හැගීමක් කියලනම් මතකයි. මං හිතුවෙ නෑ මට ජීවිතේ කවදාවත් ආයෙ ඒ හැගීම දැනෙයි කියල.

මට හිතෙනව මේ හැම දෙයක්මවුනේ අපේ මේ හාදුව වෙනුවෙන් කියල. ලෝකෙම නතරවුණේ, අහසෙ චිත‍්‍රයක් වගේ තරු පායල තියෙන්නෙ මුළු විශ්වයම බලන් ඉන්න අපේ හාදුව වෙනුවෙන්. අපි දෙන්න ජීවිතේ මෙච්චර කාලයක් තැන තැන ඇවිදල තියෙන්නෙ අද මේ හාදුව වෙනුවෙන් වෙලාව එනකන්. ඒත් මේ ගමනක ආරම්භයද නැත්තන් අවසානයද? නැත්තන් අපි මේ එක් අවසානයකුත් තවත් ආරම්භයකුත් අතර සංක‍්‍රාන්තික කාලයක් ගෙවල දානවද? මං දන්නෙ නෑ.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

ඇත්තටම මම කවුද? දැන් ඉන්න මමද නැත්තන් කළින් හිටපු මමද ඇත්ත මම? දුවන ජීවිතේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පොඞ්ඩකට නවත්තල හති දාන්න වෙලා තියෙන හින්ද මට වගේම ලෝකෙ අනිත් මිනිස්සුන්ටත් එයාල කවුද කියල පැටලිලා ඇතිද? දැන් ඇදිරි නීතිය අයින් කලාට පස්සෙ ආපහු දුවන්න ගන්නෙ දැන් ඉන්න අපිද නැත්තන් පරණ අපිද? දෙව්මිට නින්ද ගිහින්. අදට සතියයි අපි කොළඹ හිරවෙලා. ඇත්තටම කිව්වොත් නිදහස් වෙලා. මට දෙව්මිව දැනෙන්නෙ නිකන් ලයිට් හවුස් එකක් වගේ. මුහුදෙ අතරමං වෙලා හිටපු අයට ගොඩබිමට එන්න පාර කියන. මෙහෙ හිරවෙච්ච හැමෝම ගෙදර යන්න දගලනව. අරහෙට මෙහෙට කෝල් කරනව, කෑ ගහනව. එත් මටනම් දැනෙන්නෙ මුහුදෙ අතරමං වෙලා හිටපු නාවිකයෙක් ලෝකෙ වටේ රස්තියාදුවෙලා ගෙදර ආව වගේ හැගීමක්. භෞතිකව අනාරක්ෂිත ඒත් ආරක්ෂිත හැගීමක්.

ගෙදරින් කතා කරද්දි මට දැනෙන්නෙ මං නිකන් වෙන කෙනෙක් වගේ රගපානව කියල. ගෙදර එන්නෙ නැද්ද කියල අහන හැම පාරම මට හිතෙන්නෙ දැන් ඉන්නෙ ගෙදර තව කොහෙ යන්නද කියල. ඇත්තටම ගිහිල්ල ගිහිල්ලම මට දැන් මහන්සියි. මං කවදාවත් හිතුවෙ නැහැ කොටුවෙ ප‍්‍රයිවට් බස් ස්ටෑන්ඞ් එක මට ලෝකෙ ආදරණීයම තැන කියල දැනෙයි කියල. හැමදාම මට හෙට ගැන ගොඩක් සැළසුම් තිබුණ. ඒත් දැන්, හෙටක් ගැන කිසිම අදහසක් නෑ. හරියට ගහත් එක්ක තිබුණ බැදීම අතඇරල සුළගට  ඕනෙ දිහාවකට ගහන් යන්න ඉඩදුන්නු කොළයක් වගේ. සැහැල්ලූයි වෙන මොකුත් නෑ, ඒ හින්දම සැහැල්ලූයි.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

- අනුහස් අර නෙළුම් කුළුණෙ ලයිට් දාල. හොස්පිට්ල් වල වැඩ කරන අයට ගෞරවයක් විදිහටලූ.

- මට හිතෙනව ඒකෙන් තරුවලට ඩිස්ටර්බ් වෙයි කියල.

- ඔයා ආස නැද්ද නෙළුම් කුළුණ වගේ අහස උඩට යන්න?

- මං හිතන් හිටියෙ මං ආස ඒකට කියල ඒත් දැන් මං ආස පොළවට.

- ඒ කිව්වෙ?

- අහසට යද්දි සීතළයි. ඒත් මට දැනෙනව මං හොයන්නෙ පොළවෙ උණුසුම. ඒ හින්ද මට  ඕනෙ අහසට      යන්න නෙමෙයි පොළවෙ සැතපෙන්න.

- නෙළුම් කුළුණටත් එහෙම හිතෙනවද දන්නෙ නෑ?

- හිතෙනව ඇති, ඒත් එයා දැන් අහසට ගිහින් වැඩියි. 

- එයාට හැමදාම ඔහොම්ම ඉන්න වෙයිද?

- නෑ.. දවසක් ඒවි හැමදේම සමතලාවෙන. එදාට එයාටත් පොළවෙ උණුසුම දැනෙන්න ගනීවි.

- එතකන් බලන් ඉන්නද වෙන්නෙ?

- නෑ.. සමතලා කරන්න වෙනව.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

අනුහස්ගෙයි දෙව්මියිගෙයි කතාවට දැන් සති දෙකක් වෙනව. සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ අහුවෙන්නෙ හරිම පුදුම වෙලාවල් වලදි. ඊළග මොහොතෙ ජීවිතේ අතඅරින්න වෙන වෙලාවක ජීවිතේ අහුවුනාම ඒක තුරුල් කර ගන්නවද ඈතට විසිකරල දානවද කියල හිතාගන්න බැරුව අපි අසරණ වෙනව. ව්‍යාජයේ ගිළෙමින් ඉන්න අපිට යථාර්තයේ ගොඩබිමට එන්න අවස්ථාවක් ලැබිල ඒ ගොඩබිමේ ඉන්න බැරිවෙද්දි අපි ව්‍යාජයේ ගැඹුරටම කිමිදෙනව යථාර්තයේ ගොඩබිමක මතකයක්වත් ඉතුරුවෙන් නැති වෙන්න.

නිව්ස් වලට අනුව හෙට උදේ 5 ට ඇදිරි නීතිය අයින් කරණවලූ. කොළඹ හිරවෙලා ඉන්න හැමෝටම ආයෙ ගෙවල් වලට යන්න පුලූවන්. ඒක දැනගත්ත වෙලවෙ ස්ටෑන්ඞ් එකේ අවතැන් වෙලා හිටපු සෙට් එක රතිඥ්ඥා දැම්මෙ නැත්තෙ රතිඥ්ඤා හොයාගන්න තිබුන් නැති හින්ද. විවේක කාලය ඉවරයි. හැමෝම ආයෙ දුවන්න ලෑස්ති වෙනව. ප‍්‍රශ්නෙ තියෙන්නෙ දුවන්න වෙන්නෙ පරණ ට‍්‍රැක් එකේමද අලූත් එකකද කියල, කාටවත් තවම අදහසක් නෑ. අනුසුයි දෙව්මියි වහළයක් නැති තැනක බිම දිගා වෙලා අහස දිහා බලන් ඉන්නව. අදත් අහසෙ ඔරායන් පායල, ඔරායන් දුන්න මානගෙන ඉන්නෙ නෙළුම් කුළුණ දිහාට.

”අනුහස් නේවි කෑම්ප් එකට කොරෝනා බෝවෙලා හින්දා ඔය කිව්වට හෙට ඇදිරි නීතිය අයින් කරණ එකක් නෑ නේද?”

ඇදිරි නීතිය අයින් කලා. කරනවයි කිව්ව දවසෙමද මං දන්නෙ නෑ, ඒත් කවද හරි අයින් කරණවනෙ. මිනිස්සු ආයෙත් ජීවිත පටන් අරන්. ඒ අලුත් ජීවිතද? පරණ එකමද? මං දන්නෙ නෑ. මං අනුවස්වයි දෙව්මිවයි හොයාගෙන ආයෙමත් කොටුවට ආව. පාළුවට ගිහින් තිබුණ පාරවල් පුරා සෙනග දුවනව. කොච්චර හෙව්වත් මට අනුහස්වයි දෙව්මිවයි හොයාගන්න විදිහක් නෑ. සමහර විට ඒ දෙන්නගෙ උපතයි මරණයයි දෙකම ඒ සති දෙක තුන ඇතුලෙ කොටුවෙදිම වෙන්න ඇති. දැන් ඒ අනුහසුයි දෙව්මියි නැතුව ඇති. ඒත් දැන් කොහෙ හරි ඉන්න අනුහස්ගෙයි දෙව්මිගෙයි හිතේ කොහෙ හරි අර මැරුණ අනුහස්ගෙයි දෙව්මිගෙයි සිතුවිලි ශුක‍්‍රානු අංශුවක් ඉතුරුවෙලා නැතුව ඇතිද? මං ෆ්ලෝටින් මාර්කට් එක පහු කරන් ස්ටේෂන් එක පැත්තට ඇවිදන් ගියා. ගොඩක් මිනිස්සු මාව පහු කරන් ගියා. මං ගොඩක් මිනිස්සුන්ව පහු කරන් ගියා.

රිවිහාර පින්නදුව

2 comments:

  1. ඒක ලස්සනයි��නවකතාවක් ලියන්න පටන් ගන්න��

    ReplyDelete