මද සිනහවක සීමාඉර නොපැන
රෑ යමේ හොර හොරෙන්
ඇලවෙද්දි පෝස්ටර්
තාප්ප බාල්දිත් උස්සන්
හුරු පුරුදු මුහුණක් හදිසියේ
මතුවුණේ වංගුවෙන්
අතීතය හෙණ ගසන කළ
මුවට මුව බලාගෙන
වසර ගණනක් දිග
තත්පර ගණනක් අපි ගෙව්ව
සිනාසුණු රණ්ඩුවුණු
සුන්දරම මතකයන්
ලොරි ගණන් ඇත
අප අතර අඩු නැතුව
කාර්්‍යාලෙ එක පැදුරෙ බුදියෑව
කාලයක් අපි දෙන්න
ගාණක් නැතුව
එක දත් බුරුසුවෙන් දත් මැද්ද
138 පාරෙ තාප්ප ලයිට් කණු
අදුනනව අපි දෙන්නව හොදට
මැයි දිනද විරු සමරු
රතුපාට වේදිකා
සිහිනයට අත වැනුව
පිකට් එකක් කොතනද
හැමදාම මග හිටින
බයික් එකත් වත්තන් කරන්
අපි හිටියෙ එක ළගම
මගෙ හුස්ම සැක උනත්
සැක නැතුව ළග උන්නු උඹ
දැන් කොච්චරනම් දුරද
මාවත් දෙකක අපි
ලූහුබදිනවා තවම
ඒ හුරුපුරුදු හීනයම
කෙම් බිමක කවදාද
හමුවන්නෙ අපි දෙදෙන
ආයෙම හොරාට අඩියක් ගසන්නට
හිත් රිදුණු තැන් බෝම
වචන වෙඩි සැර සේම
බෙහෙත් කොට ගොඩදමන්නට
බැරි නෑ නේද සහෝදරකම
අහන්නට හිතුනාට
ඉස්සර පුරුද්දට
සහෝ ප්ලේන්ටියක් ගහමුද
ගොළුවතින් අපි
දෑසින් බදා වැළදගෙන
මද සිනහවක සීමා ඉර නොපැන
හංදියෙන් දෙපැත්තට
හැරිල ගියා ඉස්සරහටම
රිවිහාර පින්නදුව
No comments:
Post a Comment