Saturday, August 24, 2024

මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?


 මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීම ගැන යම් කතාබහක් ඇතිවෙලා තියෙනව. මොනම තත්වයක් යටතේ වුනත් ඒක ගොඩක් වටිනවා. ලංකාවෙ ප්‍රාදේශීය සභාවක නැත්තන් සමූපකාරෙක ඉදලම දේශපාලන ආකෘති ඇතුලෙ ආධිපත්‍ය අරන් තියෙන්නෙ ප්‍රභූ සමාජ ස්ථරයක්. ( පහල ස්ථරවල අය ඇත්තෙම නෑ කියල නෙමෙයි කියන්නෙ) මේකෙ යම් තරමක හරි වෙනසක් දැක්කෙ ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ(වෙනම ශිෂ්‍ය කියල දේශපාලනයක් නෑ මේ කියන්නෙ ඒ ආකෘතිය ගැන) . ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ බොහෝ දුරට මූලිකත්වය අරන් ඉන්නෙ ග්‍රාමීය පහල ප්‍රාන්තික තරුණයින්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ මොනතරම් අඩුපාඩු සීමාකම් මැද වුනත් ශිෂ්‍ය දේශපාලනය වාමාංශික නැඹුරුවක් සහ විකල්ප සංස්කෘතික අභ්‍යාසයක් සමග ක්‍රියාත්මක වෙන නිසයි.

පහුගිය කාලෙ මේ ක්‍රමයේ අර්බුදයත්, පාලකයන්ගේ අසමත්කමත් නිසා පවතින ක්‍රමවේදය ගැනම මිනිස්සු අතර කලකිරීමක් ඇතිවුනා. "225 ම එපා" වගේ වචන වලින් ප්‍රකාශවුනේ ඒ දේ. ජනාධිපතිවරයාට රටත් දාල යන්න වෙන තත්වයක් ආව. මේ දේවල් එක්ක ගම් වල තිබ්බ ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය සෙලවීමකට ලක්වුනා. සාම්ප්‍රදායික දේශපාලන බලකදවුරු වලින් බැහැරව ජාතික ජනබලවේගය වැනි පාර්ශවයන්ට පුලුල් අවස්ථාවන් විවර වෙන්නේ මේ අවකාශය ඇතුලෙයි.

දැන් ප්‍රශ්නයට අමුවෙන් ආවොත් ප්‍රභූ දේශපාලනය පරද්දනව කියන්නෙ මොකක් හරි පුටුවක ප්‍රභූ සමාජ ස්ථරයෙන් බැහැර කෙනෙක් වාඩි වෙන එකද? ( ඒකත් වෙන්න ඕනෙ) ඒක එහෙමනම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවුනහම ඒක වෙන්න ඕනෙ. ඇත්තටම අපි කතා කරන ප්‍රභූ දේශපාලනය පවතින ආර්ථික හා සමාජ ක්‍රමයත් එක්ක බද්ධවෙලා තියෙන්නෙ. ඇත්තටම ප්‍රභූ දේශපාලනයේ සැබෑ සාරය, සැබෑ අරමුණ තියෙන්නෙ මේ ආර්ථික ක්‍රමය ඇතුලෙ. එහෙමනම් මේ සමාජ ආර්ථික ක්‍රමයන් වල යම් ආකාරයක රැඩිකල් වෙනසක් නොකර මේ ප්‍රභූ දේශපාලනයේ මරණයක් හෝ පරාදයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

අප තේරුම්ගත යුතු අනෙක් සත්‍යනම් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් මේ මතුව ඇති විරෝධයේ උත්සන්නිය තාවකාලික හා නුදුරු අනාගතයේදී එම දේශපාලන ස්ථරයට යම් දුරකට පෙර පැවති තත්වයට පත්කර ගැනීමේ හැකියාවක් ඇති බවය. 2022 අරගලය අවසන්වූ ආසන්න කාලයේ සහ දැන් ඇති සමාජයේ නැමියාවන් කියවා ගතහොත් මෙය තේරුම්ගත හැකියි. කොටින්ම රාජපක්ෂ දේශපාලනය පවා තව වසර පහකින් හෝ දශකයකින් ගිලිහුනු බලය නැවත ලබාගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නගමින් තිබෙනවා. එහෙනම් පීඩනය උඩ ගොඩනැගිල තියෙන මේ සමාජ විරෝධය දේශපාලනිකව වෙනත් තලයකට ඔසවා තැබීමකින් තොරව ඒ විරෝධය මත වෙනත් දේශපාලන ව්‍යාපාරයන්ට යා හැකි ගමන ඉතා කෙටියි. එ් අනුව අප බොහෝ දෙනෙකුගේ සිහින මාළිගාවන් එළැඹෙන මැතිවරණයෙන් හෝ ඊට පසු කෙටි කාලයකින් බිද වැටීමට නියමිතයි.

එහෙනම් සමාජයේ ගොඩනැගී තියෙන මෙම විරෝධය සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විරෝධයක් දක්වා ඔසවා තැබීමේ අවශ්‍යාතාවයක් තියෙනව. අපි වෙනසක් බලාපොරොත්තු වෙනවනම් එය අනිවාර්යයක්. නමුත් මේ පවතින තත්වය තුල ජන අරගල සන්ධානය හැරෙන්නට වෙනත් කිසිදු පාර්ශවයක් එය සිදුකරන බවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව ජනඅරගල සන්ධානයේ මෙම මැතිවරණය තුල භූමිකාව වන්නේ ඡන්ද ලබාගැනීම හෝ ඡන්ස සංඛ්‍යාව පමණක් නොව මෙම විරෝධය සමාජ ගතකිරීමයි. එසේ නොවන්ට මැතිවරණයත් සමගම IMF හෝ එම ආර්ථික ක්‍රියාවලිය විකල්ප නොමැති දේවභාෂිත බවට සමාජය හමුවේ භෞතීස්ම වන්නට නියමිතයි.

මේ මොහොතේ ජාතික ජන බලවේගය මෙම සමාජ ආර්ථික වෙනස්කම් සම්බන්ධ කාරණය මගහරිමින් සිටිනව හරියට සජිත් අනුර එක්ක විවාදය මගහරිද්දි NPP එක ආර්ථික කමිටු අතර විවාදය මග ඇරිය වගේ. මේ වෙලාවෙ ආන්දෝලනාත්මක දේවල් කියන් නැතුව ෂේප් එකේ ඡන්දෙ ගොඩ දාන එක එයාලගෙ උපක්‍රමය කියන එක පැහැදිලියි සහ ඒක ඔවුන්ගේ තෝරාගැනීම. ඒත් අපේ මිතුරන් විශ්වාස කරන විදිහට NPP එක දිනල එයාල ඇත්තටම මේ ප්‍රභූ දේශපාලනය අවසන් කරන්න හිතනවනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාලට සිද්ධවෙනව මේ මගඅරිමින් සිටින කලාපයට පය තියන්න. එහෙම වෙනවනම් ඒකට අවම හෝ අවකාශයක් විවර වෙන්නෙ ජනඅරගල සන්ධානය විසින් මේ මොහොතේ සමාජගත කරන මතවාදයන් සමගයි. එහෙම නොවෙන්නට ඔවුන් මැතිවරණය තුල හැසිරෙන ආකාරයට ප්‍රභූ දේශපාලනය නැතිනම් එම ආර්ථික සමාජ ක්‍රමයට එරෙහිව ඔවුන් තියන පළමු පියවරේදිම ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩු බලය පවා අස්ථාවර වෙන්න පුලුවන්. (මේ ඔක්කොම එයාල හිතන් ඉන්න විදිහට දිනුවොත්)

දැන් මේ රටේ ප්‍රභූ දේශපාලන ස්ථරය දිහා බැලුවොත් එයාල ඉතිහාසයේ ගතකරපු අමාරුම කාලයක් ගතකරල මේ එයාලගෙ පැත්තෙන් ඉහ ගහගෙන එන කාලෙ. ඇත්තටම එයාලට ඕනෙ මේ කාලෙ ටයිම් පාස් කරල දාන්න. කලින් කිව්ව වගේ පුද්ගල චරිත ගැන විරෝධය එයාලට ඉක්මනට ගොඩදාගන්න පුලුවන් ඉස්සරහදි. ඒත් විරෝධය එයාලගෙ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගොඩනැගුනොත් ඒක එයාලට අමාරු වෙනවා.

එහෙමනම් ප්‍රභූ දේශපාලනයේ පරාජයක් ගැන හිතනවනම් මේ වෙලාවෙ කලයුතු වන්නේ පීඩනය තුලින් ප්‍රභූ දේශපාලඥයින් ගැන ගොඩනැගී තිබෙන විරෝධය අවබෝදය තුලින් එය ප්‍රභූ ආර්ථික සමාජ ක්‍රම විරෝදයක් දක්වා ඔසවා තැබීමයි. යම් මොහොතක ප්‍රභූ දේශපාලනය තීරණාත්මක පරාජයක් ලබන්නේනම් ඒ මෙම දුෂ්කර ව්‍යායාමයේ සාර්ථකත්වය මත පමණයි.

 

රිවිහාර  පින්නදුව

Sunday, January 15, 2023

මර(ම)ණයේ නගරය


 මර(ම)ණයේ නගරය

පාන්දර පහුවෙලා ඉර නැගෙන්න වෙලාව ආවත් මේ ගම්බද නගරය පුරාම තවම අන්ධකාරය පැතිරිලා. වැහිමන්දාරමත් එක්ක එන නත්තල් සීත සුළං වෙන දවස්වල අමුතු ප්‍රබෝධ ජනක හැගීමක් ගෙනාවත් අද ඒ සුළග මුළු නගරයම මූසල අන්ධකාරයක ගිල්වල. මීදුම ඉරාගෙන පුරුදු විදිහට උදේ CTB බස් එක පහලට පල්ලම් බහිනව. ඉස්කෝල නිවාඩු හින්ද වෙනද වගේ සෙනග නැති වුනත් ෂීට් ගාණට වගේ වෙන්න සෙනග ඉන්නව. වෙනද වගේ උදෑසන සුභ පැතුම් නත්තල් සුභ පැතුම් නැති වුණාට හැමෝම පුරුද්දට වගේ එකිනෙකාට සුභපතා ගත්ත. බස් එක නගර මායිම පහුකරමින් ගෙවල් අඩු පැත්තක් හරහා ගමන් කරමින් ඉන්න අතරතුර ඈතින් කවුරුන් හෝ යටිගිරියෙන් කෑගසමින් බසය වෙත දුවමින් එන්න ගත්ත. හැමෝම තේරුම්ගත්ත එයාල භය වෙලා හිටිය දේ අදත් සිද්ධවෙලා කියල. කෑගහමින් ආව කෙනා බස් එකට නැගල හිස්වෙලා තිබුණ ඩ්‍රයිවර් ගාව ෂීට් එකේ වාඩිවෙනවත් එක්කම බස් එක ඉස්සරහට යන්න ගත්ත. හැමෝම තුෂ්නිම්භූතවෙලා එක වචනයක්වත් කතා කලේ නෑ. අර කෑගහන් ආපු මන්ස්සයගෙන් ඇයි කියල ඇහුවෙත් නෑ. ඒ මනුස්සය මොකද කියල කිව්වෙත් නෑ. බස් එක හෙමිහිට පල්ලම් බැහැල ගියා.

වැහිබරගතිය ගණන් නොගෙනම නත්තල් දේව මෙහයෙයට වගේම සෙනගක් පල්ලියට ටික ටික එකතුවෙන්න ගත්ත මේ විශේෂ දේව මෙහෙයට. මුලු නගරයම වෙලාගත්ත මේ යක්ෂ උවදුරෙන් ගැලවීමට දෙවියන් ඉදිරියේ යාඥා කිරීම හැර ඔවුන්ට වෙනත් විසදුමක් සිතාගත නොහැකිව තිබුණ. ඒ ඝාතනයන්ගේ රුදුරු බව නිසාම සියලු දෙනාම තැතිගෙන තිබුණ. කාන්තාවන්ගේ තනියට පිරිමින් නොව පිරිමින්ගේ තනියට කාන්තාවන් යන විකාරරූපී ස්වාභාවයක් ඇතිවී තිබුණා. දේවමෙහෙය පටන්ගන්න කිට්ටුව ශාලාව පුරාම නිහඩබව පැතිරිලා තිබුණ. ඒ නිහඩ බව ප්‍රමාණවත්වුණා පන්සලේ පිරිත් හඩ ඇහෙන්න. සමහරු දේව මෙහෙය ඉවරවෙලා පන්සල පැත්තෙ ගිහින් පිරිත් ටිකකුත් අහලයි යන්නෙ. මේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙන්න කියල. පන්සලෙත් මේ දවස්වල හැමදාම පිරිත් කියනව. මේ අමනුෂ්‍ය දෝෂය යන්න රතන සූත්‍රය සජ්ඣායනා කර කර මුලු පලාතෙම යන්න ලොකු හාමුදුරුවො ලෑස්තිවෙලා තියෙන්නේ. මේ වෙද්දි ජංගම පිරිත් මණ්ඩපයක් බණ මඩුවෙ කඩිමුඩියෙ හැදෙමින් තිබුණ. ඒකට පූර්ණ අනුග්‍රහය ඒ පැත්තේ පොළීසියෙන්.

හොරකමක්, ගංජා ටිකක් ඉදල හිටල වෙච්ච මංකොල්ලයක් වගේ දෙයක් ඇරෙන්න මෙහෙ පොලිසියට මේ වගේ දරුණු අපරාධ සම්බන්ධයෙන් ඒ තරම් අත්දැකීමක් නැහැ. ඊටත් වඩා පොලීසියෙ වැඩි දෙනෙකුත් විශ්වාස කලේ මේක මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක වැඩක් කියල. මහේෂ් එක්ක විශේෂ පොලිස් ඒකකයක් මෙහෙට එවන්නෙ මේ ඝාතනයන් ගැන විමර්ශනයෙ කිසිම ප්‍රගතියක් ඉහලට වාර්තා නොවුන හින්දයි. මාස දෙකක් ඇතුළත එකම ආකාරයේ මිනීමැරුම් හතක්. ඒ හැම ඝාතනයක්ම ඉතාම අමානුෂික විදිහටයි සිදුවෙලා තිබුණෙ. වින්දිතයින් හත්දෙනාම පිරිමි වගේම ඔවුන්ව ඝාතනය කරල තිබුණෙ ඔවුන්ගේ පුරුෂ ඉන්ද්‍රිය කපා දැමීම මගිනුයි. එම ඝාතනයේ ස්වාභාවය අනුවම වින්දිතයින්ට හිමිවෙලා තිබුණෙ පහසු මරණයක් නොවෙයි. විමර්ශනයට අදාල ගොනුවෙ මුල් පිටු දෙක කියවද්දිම මහේෂ්ට තමන්ගෙ අත්දැකීම් වලින් තේරුම් ගියා තමන්ට මේ පාර හැප්පෙන්න වෙලා තියෙන්නෙ දක්ෂ වියරු දාම ඝාතකයෙක් එක්ක කියල. ඝාතකයව ලුහුබදින්න කිසිම සාක්ෂියක් ඉතුරු කරල නැහැ. ඒ වගේම ඝාතකය කිසිම භයක් සැකක් නැතුව තමන්ගෙ ගොදුරු හබා ගිහිල්ල තියෙනව.

අමල්ට කරදරයක් වෙලා කියන ආරංචිය එක්ක දිලිනිට හැම හුස්මක්ම ගිණි අරන් වගේ දැනෙන්න ගත්ත. ගින්දර ආශ්වාස කරල පෙනහලු හරහා මුලු ඇගම ගිණිතියමින් පැතිරෙනව වගේ දැනෙන්න ගත්ත. පොඩි එකාවත් එල්ලගෙන මහා විනාශයක ඉවට පාර දිගේ පහලට දුවන්න ගත්ත. ගෙවල් වැඩිපුර නැති හරියක පාර ගාව ඉදන් ටිකක් ඇතුලට කැළේට වෙන්න මිනිස්සු එකතුවෙලා ඉන්නව පේනවා. දිලිනි ඒ පැත්තට යන්න හැදුවට මිනිස්සු ඒක නැවැත්තුව. ඒ අයට තේරුම්ගියා දිලිනිවත් දරුවවත් ඒ දේ දකින්න සුදුසු නෑ කියල. අමල්ව කට බැදල ගහක එල්ල තිබුණ, ඔහුගේ පුරුෂ ඉන්ද්‍රිය කපා දාල තිබුණ. පැය ගාණක් ඒ විදිහට ඉදල නොලැබිය යුතු ආකාරයේ මරණයක් අමල්ට ලැබිල තිබුණෙ. ඒ වෙලාවෙ මිනිස්සු කම්පා වුණා, හැමෝම කල්පනා කලා කවුද මොකටද අමල්ට මෙහෙම දෙයක් කලේ කියල. ඒ තමයි මේ ඝාතනයන්ගේ ආරම්භය. සතියකට සැරයක් විතර කොහේ හරි තිබිල මේ විදිහටම මරාදැමුණු පිරිමි මළ සිරුරු හම්බවුණා. මියගිය අයගෙ රස්සාවල්, සමාජ පසුබිම මේ කිසිම දෙයක කිසිම සම්බන්ධයක් සමානකමක් තිබුණෙ නැහැ ඒ හැම දෙනාම හොදට උස මහත මිනිස්සු වෙච්ච එක හැර.

නිමාලි SPA එකේ උඩතට්ටුවෙ බැල්කනියට වෙලා පහල ටවුම දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැති ඇස් දෙකකින්. මේ දවස්වල වෙන දේවල් එක්ක නිමාලිලට ගණුදෙනුකාරයො ගොඩක් අඩුයි. මිනිස්සු රෑ ගමන් බිමන් පුලුවන් තරම් නවත්තල. කොහොමත් නිමාලිලට වැඩ වැඩි රෑට. නිමාලිත් එක්ක තවත් ළමයි හයදෙනෙක් ඉන්නව මෙතන. නිමාලිලගෙ තැන ටිකක් ප්‍රසිද්ධයි. වෙන නගර වල ඉදලත් මිනිස්සු එනව මෙතන්ට. දේශපාලන හයියකුත් එක්ක මෙතන ආරක්ෂාව ගැන ගැටලුවක් නැති එක තමයි ගොඩක් දෙනෙක් මෙතන්ට ඇදෙන්න හේතුව. ඒ කොහොම උනත් අනිත් තැන්වල වගේම මෙතන වැඩ කරන ගෑණු ළමයි ගැන මුලු ටවුමම බැලුවෙ වෙනස් විදිහට. කඩේකට ගියත් පාරෙ ඇවිදන් ගියත් පිමින්ගේ ගිණිගන්න ඇස්වල රස්නෙත් ගෑණු අයගෙ පිළකුල ඉරිසියාව පිරුණ ඇස්වල ගදත් එයාලට දැනුන. SPA එක තියෙන පාරට හැරෙන්නවත් මිනිස්සු කැමතිවුණේ නැහැ. ඇත්තටමනම් ඒ පාරට හැරෙන්න මිනිස්සු ගොඩක් කැමතිවුණා. ඒත් එයාල සමාජෙ ඉස්සරහ නඩත්තු කරන් යන ව්‍යාජ සදාචාරවාදී ජීවිතයට ඒකෙන් කැළලක් වෙයි කියල මිනිස්සු භයවුණා. නිමාලිල ගාවට එන ගණුදෙනු කාරයො වුනත් නිමාලිල ඉස්සරහ වීරයො වුනාට ඉවර වෙලා යන්නෙ කවුරු හරි දකියි කියල භයේ මූණ හංගගනෙ. ඇත්තටම හරක් මස් කඩයකට නැත්තන් අවසර නැති බාර් එකත් එක්කත් ගේම ඉල්ලන මේ ටවුමෙ නිමාලිලගෙ තැන කිසිම ගැටලුවක් නැත්ව පවතින්න ඔය කාගෙ කාගෙත් මුල් එහෙන් මෙහෙන් නිමාලිල ගාවට ඇදිල තිබුණ එක තමයි එකම හේතුව වුනේ.

සිරිපාල පොල්කඩන එක, වතු සුද්දකරන එක වගේ වැඩ කරල ජීවත්වෙච්ච මනුස්සයෙක්. කාටවත් කරදයක් නැතුව පාඩුවෙ තමන්ගෙ දුව නෙත්මියි නෝන යසෝමයි එක්ක ජීවත්වුණේ. හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තෙ දවසක් කුළියට මිල්ටන්ගෙ වත්ත සුද්ද කර කර ඉද්දි සිරිපාලට නයෙක් ගහනවත් එක්ක. වටේ පිටේ හිටපු අය එකතුවෙලා අමාරුවෙන් පෙට්‍රල් තියෙන ත්‍රීවිල් එකක් හොයාගෙ සිරිපාලව ළගම ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඒත් ඒ වෙද්දි ඒ ඉස්පිරිතාලෙවත් පළාතෙ වෙන කොහෙවත් නයි විසට දෙන්න බෙහෙත් තිබ්බෙ නෑ. කට්ටිය බෙහෙත් හොය හොය දගලන අස්සෙ සිරිපාල මේ ලෝකෙ අතඇරල යනව. ඊට පස්සෙ සිරිපාලගෙ නෝන කුළී වැඩ කරකර බොහොම අමාරුවෙන් නෙත්මිට උගන්නනව. නෙත්මිත් නිවාඩු දවස්වලට පුලුවන් විදිහට අම්මට උදව් වෙනවා. නෙත්මිලව අර්බුදයේ පතුලටම ගිලෙන්නෙ ඊළගට. නෙත්මිගෙ අම්ම අසනීප වෙනවත් එක්කයි. අම්මව ජීවත් කරවන්න ඉක්මනට ඔපරේෂන් එකක් කරන්න වෙනව කියල ඩොක්ටර්ස්ල කියනව. ඒකට ලොකු වියදමක් යනවත් කියනව. නෙත්මිගෙ ඉස්කෝලෙ ගමනත් එහෙම්ම නතරවෙනවා. දැන් නෙත්මි කොහොමද අම්මව හොද කරන්න සල්ලි හොයන්නෙ?

ජීවිතය අයදිමින් පාරක් පාරක් ගානේ ගෙදරක් ගෙදරක් ගාණේ ඇවිදින ගැහැණු ළමයෙක්. නගරයේ හැමදේම ඉස්සරහාට ගියා. ඒත් එක ගෑණු ළමයෙක් නතරවෙලා ජීවිතය ඉල්ලුව. ඒ කෙල්ලගෙ ජීවිතයට මේ නගරයම වගකියන්න ඕනෙ කියල කාටවත් හැගීමක් තිබුන් නෑ. දෙවියන් සහ යක්ෂයාත් යහපත හා අයහපතත් දෙකක් නොව එකම දෙයක මුහුණත් දෙකක් කියල කාටවත් හැගීමක් තිබුණෙ නැහැ. දෙසැම්බර් මාසෙ හීතලවත් නෙත්මිට විවේකයක් ගන්න හේතුවක්වුනේ නැහැ. ඇය උපකාරයක් අයදිමින් ඇවිද්ද. මේ අතරයි ඇයට දෙවියෙක්ව හම්බෙන්නෙ ඇයට උදව් කරන්න ඉදිරිපත්වෙන. ඒ දෙවිය ඇයගෙ අතින් අල්ලගෙන අර නගරයට එන පාර දිගේ පල්ලම් බැස්ස. ගෙවල් අඩු පාලු හරියෙදි දෙවියො ඇයවත් අරන් කැළේ දිහාට ගියා. කැලේ ඇතුලෙදි දෙවියො එයා අතුලෙම ඉන්න යක්ෂයා එළියට ගන්නව නෙත්මි බලාගෙන හිටිය. ටික වෙලාවකින් පස්සෙ ආපහු දෙවියො කැලෙන් එළියට ඇවිත් දිගටම ඇවිදන් ගියා. නෙත්මි නතරවෙලා හිටිය. එතනින් පස්සෙ ගොඩක් දෙවියො සාන්තුවරු නෙත්මි හම්බෙන්න ආව. නගරය ඉස්සරහට ගියා නෙත්මි නතරවෙලා හිටිය.

ඒ යසෝමගෙ මළගෙදර, හැමෝම අවිල්ල නෙත්මිට තමන්ගෙ කණගාටුව ප්‍රකාශ කලා. නෙත්මි හැමෝම එක්ක හිනාවුනා. යක්ෂයින්ගෙන් ටිකෙන් ටික සල්ලි දොවනකන් ඉන්න තරම් කාලයක් යසෝමට තිබිල නෑ. ගුණවර්ණනා, ස්තුති කතා ඉවරකරල කට්ටියම එකතුවෙලා යසෝම එක්කම නෙත්මිවත් උස්සන් ගිහින් වළලල දැම්ම. එදා රෑ මළබතට ටවුමෙම සෙනග එකතුවෙලා යක්ෂයාගෙ පෙකනි වැල කපල එළියට ගත්ත.

යක්ෂයා නැගී සිටින විට තමන්ගේ ගොදුර හාවෙක්ද වෘකයෙක්ද කියල හොයන් නෑ. යක්ෂයාගේ නැගී සිටීමට දායකවූවන්ද නරඹන්නන්ද කියල හොයන් නෑ. ජීවිතය අයදිමින් කුඩා ගැහැණු දරුවෙකු ඇවිද ගිය මාවත් දිගේ අන්ධකාරය පැතිර යන්නට ගත්ත. නායයන කන්දක තමන්ගේ ගෙදරට වෙලා අනිත් ගෙවල් ගිලා බහින විදිහ බකන්නිලන් බලන් හිටපු නගර වැසියො එහි විපාක ගෙවමින් ඉන්නව. සති කිහිපයක් ගතවුනත් මහේෂ්ට හොයා ගන්න පුලුවන් වුන එකම හෝඩුවාව වුනේ මේ හැම ඝාතනක් වෙච්ච තැනක් කිට්ටුවකම තරුණියක් හිටිය බව විතරයි. මේක ආරංචි වෙච්ච නගර වැසියො මේක මෝහිණීගෙ වැඩක් කියල විශ්වාස කරන්න ගත්ත. හැබැයි මේ මෝහිණීට දරුවෙක් හිටියෙ නෑ. සුදු සාරියක් වෙනුවට පාට පාට ගවුමක් ඇදන් හිටියෙ. කොහොම නමුත් මහේෂ් තමන්ගෙ විමර්ශනය ඉස්සරහට අරන් ගියා.

මානසික රෝහලේ විශේෂ රැදවියන් සදහා වෙන්කරන ලද කොටසේ වසර කිහිපයක සිට රදවා තබා සිටි මිනීමැරුම් දහයකට චෝදනා ලැබූ තරුණියක් හදිසියේම මියගොස් තිබුණ. මිනිසුන් දහදෙනෙකු වධදී මරදමා තිබූ ඇය සිටි කුටියට ආහාර පාන ලබාදීමට හෝ රෝහලේ සේවකයින් ගියේ චකිතයකින්. කොහොම වුනත් මේ වගේ කුඩා තරුණියකට එවැනි දෙයක් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය සියලු දෙනාටම තිබුණ. රෝහලේ සිටි කාලය පුරාවටම ඇය කිසිවෙකු සමග කතා බහ කලේ නැහැ. ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍යවරුන් සමග හෝ ඇය අදහස් ප්‍රකාශ කලේ නැහැ. ඇය ගුප්ත නිහඩ බවක් දරාගෙන මරණය වෙත ගමන් කලා. ඒ තරුණියගෙ මරණය මේ කතාවෙ ආරම්භයවත් අවසානයවත් නෙවෙයි. ඒක නිකම්ම නිකන් අතරමග නැවතීමක් විතරයි.

ටවුමෙ ඉදන් එන CTB බස් එකේ අද සෙනග පිරිල. ඉස්කෝලත් පටන් අරන් හින්ද ඇගිල්ලක් ගහන්න ඉඩක් නැහැ. දොරේ ඉදන් එල්ලිලා සෙනග. බස් එක පහලට බහිද්දි නගර මායිමේ අන්තිම හෝල්ට් එකෙන් ගෑණු ළමයෙක් බස් එකට නැග්ග. අනිත් ළමයි වගේ එයා ඉස්කෝල ඇදුම ඇදල හිටියෙ නැහැ. ඒ ළමය සෙනග මැද්දෙන් රිංග රිංග ගිහින් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලුව. හුස්මක් ගන්නවත් ඉඩක් නැතුව හිරවෙලා උන්න මිනිස්සුන්ට ඒ ළමය ගැන හිතන්න පුලුවන් කමක් තිබුණ් නෑ. ඒ වෙනුවට එයාලට ඒක වදයක්වුණා. අන්තිමට කොන්දොස්තර ඒ ළමයව බස් එකෙන් බැස්සුව. බස් එක පල්ලම් බැහැල ඉස්සරහට ගියා. අර ගෑණු ළමය බස් එකෙන් බැස්සුව තැනට වෙලා දිගටම බස් එක ගිය දිහා බලන් හිටිය.

 

රිවිහාර පින්නදුව

Thursday, September 2, 2021

හැගීම් වංකගිරියක අතරමංව


 හැගීම් වංකගිරියක අතරමංව

මෙය ඝාතකයෙකුගේ කතාවකි. ඔබ වඩා කැමති මා මේ කතාව කියනවටද? නැතනම් ඝාතකයාගේ කෝණයෙන්ම ඒ කතාව අහන්නද? අපි ඝාතකයාට කතාව කියන්න දෙමු ඒත් ඔයාම මේ කතාව ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින තරම් පැහැදිලිව කාටවත් කතාව කියන්න බැරිවෙයි. ඔහු මේ වෙලාවෙ ගොඩක් කලබල වෙලා ඉන්නෙ. සමහර දේවල් මගඇරේවි. ඒත් අපි බාධා නොකර අහන් ඉමු.

මං අහල තියෙනව අයිස් වැසි ගැන, මාලු වැසි ගැන ඒත් මේ මං දකිනවමයි ලේ වැස්සක්. තාමත් රස්නෙවත් නොගිය මිනිස් ලේ වැස්සක්. වැහි ලේ පුංචි දොළ පාරවල් හදාගෙන මගෙ කකුල් අස්සෙන් ගලනව. වැස්සට තෙමුනම මිනිස්සුන්ට කිවිසුම් යනව, හෙම්බිරිස්සාව හැදෙනව සමහර වෙලාවට උණ ගැනෙනව. ඒත් ලේ වලට තෙමුනම මිනිස්සුන්ට ඉකි ගැහෙනව, වචන වලට හරවන්න බැරි වේදනාවකින් භයකින් පපුව හිර කරනව. අන්තිමට ආතක් පාතක් නැති හැගීම් වංකගිරියක අතරමං වෙනව. අකුණු ගහනව වගේ ලේ පෙරාගත්ත සදුන්ගෙ රූපය මං ඉස්සරහ ඇස් නිලංකාරකරගෙන මතුවෙලා නැතිවෙලා ගිහින් තත්පරයක් යද්දි ගොරවන හඩ ඇහෙනව. හොදට අහන් හිටියොත් තේරෙනව ඒ සදුන්ගෙ විලාපය කියල. පුංචි කාලෙ ගොරවද්දි අම්ම ගාවට දිව්ව වගේ අදත් මං දුවනව ඒත් කොහෙටද කියල දන් නැතුව දුවනව. ලේ වැස්සට තැනින් තැන ලේ පිරුණු මතක වළවල් හැදිල ඒවගෙ වැටෙන් නැතුව දුවන්න ඕනෙ. ඒත් එක වළකටවත් වැටෙන් නැතුව දුවන්න බැහැ. ධාරානිපාත වැස්ස ගැන වගේ වගක් නැතුව වේදනාවේ වැහි ළිහිණි අහස පුරාම පියාඹනව. වැහි අන්ධකාරය රෑ දවාල ගැන හැගීම් නැති කරල දාල. ඇටමිදුලු වෙනකන් කිදා බහින හීතලක් ඇරෙන්න කිසිම දෙයක් නෑ.

තවම මට හීනයක් වගේ, පුංචි කාලෙ මදුරුවෙක් මගෙ අතින් මැරුණත් අයියෝ ගාපු මං මනුස්සයෙක්ව පිහි පහරවල් දහයක් ඇනල මරල දානව. පිහියක් තවත් මිනිහෙක්ගෙ ඇග ඇතුලට කිදා බහිද්දි අනින මනුස්සයට මොන වගේ හැගීමක් දැනෙනවද කියල පිහි පාරවල් දහයක් ඇනලත් මං තාම දන්නෙ නැහැ. ඒක නිකන් උදේ ඇහැරෙද්දි අමතකවෙලා ගිය භය හිතෙන හීනයක්වගේ, මොකකට හරි භයවුණා කියල විතරයි දන්නෙ. සදුන් අපේ ගෙදර ඉස්සරහ කාමරේ කුළියට අවෙ දැනට අවුරුදු දෙකක විතර ඉස්සර. සදුන් හැමවෙලේම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒත් කිසිම වැදගැම්මකට නැති මනුස්සයෙක්. බොරුවට කාලෙ කකා ඉන්නව. හැමදාම රෑට සදුන්ගෙ ගිටාර් සද්දෙයි එයා සිංදු මුමුණන සද්දෙයි ඇහෙනව. රෑට ඔෆිස් එකේ වැඩකරන වෙලාවට මං නිමාලිත් එක්ක සදුන්ට බැන්නට වැඩක් නැත්තන් වද නොදී නිදා ගන්න දැනගන්න ඕනෙ කියල, නිමාලිනම් තනියම ඇදට වෙලා හරිම ආසාවෙන් ඒ සිංදු අහන් හිටිය. සමහර දවස්වලට උදේ ඒ සිංදු නිමාලිත් මුමුණනව. ඒත් ඉතිං එතන ලොකුවට කලබල වෙන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ.

ටික කාලයක් යද්දි මට නිමාලිගෙ වෙනසක් දැනෙන්න ගත්ත. මං එක්ක හිටියට නිමාලි හිතින් වෙන කොහෙ හරි ඉන්නව වගේ හැගීමක් මට දැනෙන්න ගත්ත. මං හැමදාම පාන්දරම වැඩට ගිහින් ඕටීත් කරල රෑ වෙලා ගෙදර එනව. ඉදල හිටල ගෙදර හිටපු දවසට මං දකිනව සදුන් දවල් වෙලා ගෙදරින් යනව. ඒක ගෙදරට එන වෙලාව කියල එකක් නැහැ. මට ඒව ගැන හිතන්න කාලයක් තිබ්බෙ නැහැ. මට ඊට වඩා හිතන්න දේවල් තිබුණ. මගෙ ඊළග ප්‍රමෝෂන් එක ලබන අවුරුද්දෙ ඒකට මං මහන්සිවෙලා වැඩකලා. නිවාඩු දවසක මං කාමරේට වෙලා වැඩකර කර ඉන්නකොට මට ඇහුන සදුනුයි නිමාලියි මිදුලට වෙලා කතා කර කර ඉන්නව. ඒ දෙන්න හරිම සතුටින් සැහැල්ලුවෙන් කතා කර කර ඉන්නව. හරියට අපි දෙන්න යාලු වෙලා හිටපු කාලෙ වගේ. නිමාලියි මායි අන්තිමට ඒ වගේ කතා කර කර හිටපු දවසක් ගැන මට මතකයක්වත් නැහැ. චරිත්‍රානුකූල විවාහයක් වගේ අපේ සම්බන්ධකමුත් චාරිත්‍රානුකූල වෙලා. මාත් ටිකක් ළං වෙලා එයාල මොනවද කතා කරන්නනෙ කියල අහන් හිටිය. ටී20 වර්ල්ඩ් කප් එකට සෙල්ලන් කරයි කියල හිතන අපේ ටීම් එක ගැන, ළගදි රිලීස් වෙච්ච ෆිල්ම් එකක් ගැන මේ විදිහට එකකට එකක් අදාල නැති තේරුමක් නැති ගොඩක් දේවල්. කිසිම තේරුමක් ජීවිතේ අරමුණක් නැති කාලකණ්ණි ජීවිත.

සාලෙ එක බිත්තියක නිමාලිගෙයි මගෙයි වෙඩින් ෆොටෝ එකයි තව ඉස්සර ගත්ත ෆොටෝස් එල්ලල තියෙනව. ඒවගේ හැම තිස්සෙම දුවිලි බැදෙනව. නිමාලි ගොඩක් මහන්සි ගන්නව හැමදාම ඒව පිහදාල කළින් වගේ තියාගන්න ඒත් ඒක හරියන්නෙ නැහැ. අපි මේ ගෙදරට මුලින්ම එද්දි ඕනෙම බඩු ටිකක් ඇරෙන්න මොකුත් තිබුණෙ නැහැ. හදිස්සියෙ කවුරු හරි ආවොත් වාඩි වෙන්න දෙන්න දෙයක්වත් තිබුණෙ නැහැ. ඒ හින්දම ගේ ඇතුලෙ ඉඩ ඕනෙ තරම් තිබුණ හැබැයි අපේ හිත් පිරිල තිබුණ. ඊට පස්සෙ අපි ගෙවන්න එක එක දේවල් ටික ටික ගෙදරට ගත්ත. දැන්නම් ගේ පිරෙන්නම බඩු හැමතැනම. ඒත් හිතේ නම් ලොකු ඉඩක් හිස්වෙලා වගේ දැනෙනව, ඉදල හිටල රෑට නින්ද යන එක පරක්කුවුණු වෙලාවට. හැබැයි ඒ ගැන දිගටම වද වෙන්න ඕනෙ වුනේ නැහැ. මොකද දවල්ට වෙන වද වෙන්න වෙන දේවල් ඕනෙ තරම් තිබුණ.

සමාවෙන්න මං පොඩ්ඩක් මැද්දෙන් පනිනවා. අපේ ඝාතකයයි නිමාලියි යාලුවුනේ කොහොමද කියල තත්පරයක් අරන් අහගත්තොත් මෙතනදි හොදයි කියල හිතනව. මං හිතන්නෙ ඒක අහගන්න හොදම කෙනා නිමාලි.

“එයා කැම්පස් එකේ අපිට උඩ බැජ් එකේ, හැබැයි වෙන ෆැකල්ටියක. කැම්පස් එකේදි මුලින්ම මම එයාව දකින්නෙ මොකක් හරි ෆැකල්ටියෙ වැඩකට අපේ කැන්ටිමේ එයාල සිංදු කියන්න ආව. එයා ගිටාර් එක ගගහ මේසයක් උඩ නැගල සිංදු කියපු හැටි මං කට ඇරන් බලන් හිටියෙ. මාත් ටිකක් කලාව පැත්තට බරයි. කොහොම හරි එයත් එක්ක මුලින්ම කතා කරන්න ලැබුනෙ කැම්පස් එකේදි නෙමෙයි. මහජන පුස්තකාලෙ තිබුණ පොත් එළි දැක්වීමකදි. මං එයාව දැක්කෙත් නෑ. වැඩේ ඉවර වෙලා තේ බොද්දි නංගි ඔයා අපේ කැම්පස් එකේ නේද කියල එයා අපේ කතාව පටන් ගත්තෙ. එතනින් එහාට කැම්පස් එක ඇතුලෙ එළියෙ අපි දෙන්න ගොඩක් තැන්වල ඇවිද්ද, ගොඩක් දේවල් කතා කලා, ගොඩක් දේවල් කලා. අන්තිමට කැම්පස් අවුට් වෙලා අවුරුදු දෙකකට පස්සෙ අපි දෙන්න කසාද බැන්ද”

එදා නිමාලි අසනීපෙන් වගේ කියල ගෙදර හිටිය. මට හදිස්සියෙම රෑ ප්‍රසන්ටේෂන් එකක් වැටුණ ඒ හින්ද ඒකට ලෑස්තිවෙලා යන්න මං වේලාසන ගෙදර ආව. මං ඉස්සරහ දොර ඇරගෙන කෙළින්ම කාමරේට ආව, එතනින් කුස්සියට ගියා කොහෙවත් නිමාලි නැහැ. පස්සෙ මට සදුන්ගෙ කාමරෙන් කතාකරනව ඇහුන. හිතන්නෙ බලන්නෙ නැතුව මගෙ කකුල් වැඩකරා. මං එක පාරටම කඩා වැදුණ කාමරේට. නිමාලියි සදුනුයි ඇදට වෙලා කතා කර කර ඉන්නව. ඒක නිකන් හැගීම් සැලඩ් එකක්. දුක,වෛරය,ලැජ්ජාව,කළකිරීම මේ විදිහට හැගීම් සිය ගාණක් ඔලුව අතුලෙ කැරකෙන්න ගත්තා. වැව් බැම්ම කැඩිල ගියාට පස්සෙ සොරව්වෙන් මොනව පාලනය කරන්නද? මං දිහාට දුවගෙන ආපු නිමාලිගෙ කනට එකක් ගැහුව හරි තල්ලු කරල දැම්ම හරි මට මතක නැහැ. මට ඇරියස් එක තිබුණෙ සදුන එක්ක.

සදුන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව භයවෙලා හිටිය. මං ගහන්න ගත්ත, උපන්දා සිට අහල තියෙන කුණුහරුප ඔක්කොම කිව්ව ඒත් ඒ මොකක්වත් ප්‍රමාණවත්වුනේ නැහැ. ඇත්තටම මුන් දෙන්නට අඹ කන්න වෙන දවසක් තිබුණෙම නැද්ද? ඒකත් මේ වෙලාවෙම? අඹ කපන්න ගෙනාපු පිහිය ඇද ගාව ටීපෝවෙ ඉදල අනේ මාව වඩා ගන්න කියල කෑ ගහන්න ගත්ත. ඒ විලාප සද්දෙ කවද හරි මං මැරෙනකම් මගෙ කන් දෙක ඇතුලෙ දෝංකාරදේවි. මුලු කාමරේම සදුන්ගෙ ලෙයින් පෙගෙනවත් එක්කම මේ ලේ වැස්ස පටන් ගත්ත. සිහිය නැතුව වැටිල හිටිය නිමාලිට ටික ටික සිහිය එන්න ගත්ත. මං එළියට පැනල ලේ වැස්සෙම දුවන්න ගත්ත. දුවන අතරෙ මට ඇහුන නිමාලිට සිහිය ඇවිත් කෑ ගහනව.

මහ ලේ වැස්ස මැද්දෙ මට හොදටම දාඩිය දාල. කවද වෙනකන් මෙහෙම දුවන්නද? මං අන්තිමට ගෙදරට ආයෙම එන්න හිතුව. මෙහෙට පොඩ්ඩක්වත් වැහැල නෑ. ඒත් මාව ලේ වැස්සෙන් තෙතබරිත වෙලා. ලෙයින් නෑවිච්ච මාව දකින හැමෝම කලබල වෙයි කියල හිතුවට කාටවත් ගාණක් නෑ. හමෝම තම තමන්ගෙ වැඩවල. මේ වෙද්දි අපේ ප්‍රාර්ථනා ලේන් එක ගිණි අරන් ඇති කියල හිතුවට කිසිම හැල හොල්මනක් නෑ. තාම පොලිසියවත් ආපු පාටක් පේන්න නැහැ. අල්ලපු ගෙදර ඇල්බට් අන්කලුත් මූණටම හම්බුනා. කිසිම වෙනසක් නෑ මිනිහ මාත් එක්ක පුරුදු විදිහට ඉවරයක් නැතුව ඕපදූප කියවන්න ගත්ත. වීරසේකර අන්කලුයි ඇන්ටියි අද උදේ දාගත්ත වලිය ගැනත් මට කිව්ව. එච්චර ඇලට් එකේ ඉන්න මනුස්සය තාම අපේ ගෙදර වෙච්ච මිනීමැරුම ගැන දන් නැත්තෙ කොහොමද? ගේට්ටුවත් වහල, දොරත් වහල කිසිම හැල හොල්මනක් නෑ. ඒත් ගේ ඇතුලෙ ටීවී එක දාල. මට මොකුත් තේරෙන් නෑ. දොර අරින්න හැදුවට ලොක් කරල. දොර අරින්න හදපු සද්දෙ ඇහිල නිමාලි ඇතුලෙ ඉදල කවුද? කියල ඇහුව, මට මොකුත් කියා ගන්න බැරුව ගොලුවුණා. එයා ජනේලෙන් බලල දොර ඇරිය.

මොකද මේ අද වෙලාසනම? කෝ කාර් එක?

සදුන්, ඇයි ඔයා කතා කරන් නැත්තෙ?

ඔයාට මොකුත් අසනීපයක්ද?

- නිමාලි, මගෙ ගිටාර් එක කෝ?

අර ඉස්සරහ කාමරේ තියෙන්නෙ, මොකද එක පාරටම. පුදුමයි, කාලෙකින් ඔයා ඒක ඇල්ලුවෙවත් නෑ.

අඩුම ගාණෙ ඒ කාමරේටවත් ගියෙවත් නෑ

එදා රෑ ප්‍රාර්ථනා ඇවනිව් එකේ කාලෙකට පස්සෙ ආයෙත් ගිටාර් එකත් එක්ක සදුන්ගෙ කටහඩ ඇහෙන්න ගත්ත.


රිවිහාර පින්නදුව

( අපිට අපේම ඝාතකයො වෙන්න වෙලා. අපිට අපිවම මරා දාන් නැතුව සාර්ථක වෙන්න බැරි සමාජයක්. ඇත්තටම අපිම මරාගත්ත අපි ජීවත්වුණානම් මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන තැනක් වෙන්න තිබ්බා)


Saturday, July 3, 2021

දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව


 දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව

මේ දවස් වල බුකියෙ ජුගුස්සාජනක වලියක් දකින්න තියෙනවග වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයින් අතර මෙම ආරෝවල වෙලාවකට ජෝක් එකක් වගේ පෙනුනට ඇත්තටම ඒක අපි හැමෝම මුහුණ දෙන ගැටලූවක හරස් කඩක්. මේ වලිය කැම්පස් කාලෙ ඉදන්ම තියෙනව. අනිත් ෆැකල්ටි වල ළමයිගෙන් මෙඩිකල් එකට ගොඩක් තැන්වල තියෙන්නෙ සෑහෙන විවේචනයක්. සයිටම් අරගලය වෙලාවෙ අනිත් ෆැකල්ටි වලට මෙඩිකල් එකත් එක්ක එකට වැඩකරන්න කතා කරන්න ගියහම, තමන්ගෙ වැඬේට විතරයි එන්නෙ කියන එකේ ඉදන් කෙල්ලගෙන් බූට් එකක් කාපු කොල්ලෙක් එයා ගැන විවේචනය කරනකොට වගේ චෝදනා වැලක්. අනිත් පැත්තෙන් මෙඩිකල් ෆැකල්ටිවල ළමයින්ට තිබුණෙ අනිත් අයගෙ ඊරිසියාව වගේ විග‍්‍රහයක්. ඒත් ගැටලූව එහෙම සරලව මහන්තත්වෙටයි ඉරිසියාවටයි ලඝු කරන්න පුලූවන්ද?

පාසලේ මාත් එක්ක සාමාන්‍ය පෙළ හා ඊට පහල පන්තිවල අධ්‍යාපනය ලබපු විවිධ විෂයන්ට දක්ෂතා දැක්වුව විවිධ හැකියා තිබුණ ගොඩක් යාලූවො හිටිය. සමහර දේවල් එයාලගෙ ජීවිතේ කොටස් වගේ තිබුණෙ. එත් ඒ ගොඩක් දෙනෙක් දැන් ඉංජිනේරුවො නැත්තන් වෛද්‍යවරු එහෙමත් නැත්තන් ඒ විෂයන් ආශි‍්‍රත වෙනත් රස්සාවල. වෙනත් ක්ෂේත‍්‍රයක වැඩකාරයෙක් වෙන්න හිටපු එකෙක් වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙලා ඔහේ ජීවිතේ ටයිම් පාස් කරල දානව. තමන් ආදරය කරපු කොල්ල ඉද්දි තමන් අකමැති මනුස්සයෙක්ව බැදල දවස ගාණෙ ඌ එක්ක බුදියන්නයි, උගෙ යට ඇදුම් හෝදන්නයි වෙච්ච ගෑණියෙක් වගේ ඉන්න වෙලා. මේ ගැටලූවෙ එක පැත්තක් පටන් ගන්නෙ මෙතනින්.

සෞඛ්‍ය සේවක වර්ජනයේ රෝගීන් මුහුණ දෙන අපහසුව වගේ විවේචන ටිකකට පැත්තකින් තියල අපිට මෙතන්ට අදාල කාරණය ගත්තොත් ශ්‍රේණි අතර පරතරයන් වෙනස් කිරීමට අදාල ඉල්ලීමකට වෛද්‍යවරු බහුතරයකගෙ විරෝදය එල්ලවෙලා තියෙනව දැක්කාග ඒ කාලෙ අපි වගේ මහන්සිවෙලා පාඩම් නොකර දැන් හොර පාරෙන් අපේ මට්ටමට එන්න හදනවා වගේ විවේචන එම ඉල්ලීමට අදාලව මං දැක්කාග වෛද්‍යවරු ඉංජිනේරුවො නීතීඥයො ලියන මං ඇතුලූ හැමෝම මේ යක්ෂයාගේ අධ්‍යාපන රටාව ඇතුලෙ දැන් මේ ඉන්න තැන්වලට එන්නේ කෝම්පිට්ටු උයන්න  ඕනෙ කාලෙ ශිෂ්‍යත්ව පංති වල ටැග් ගැහිලා ලව් කරන්න වල බහින්න  ඕනෙ කාලෙ රිවිෂන් ගිහින් ජිවිතේ ඇරියස් පුරෝගෙනග :සමාවෙන්න ව්‍යතිරේකී පුද්ගලයො ඉන්න පුලූවන්ල ඒත් මං කතා කරන්නෙ පොදු තත්වයෆ අනිත් අතින් අපි බහුතරයක් කරන්නෙ අපිට අදාල නැති රස්සාල ඒ කිව්වෙ මං කලින් කිව්ව වගේ අපි ආස වෙන දේකට ඒත් අපිට රස්සාව විදිහට අපේ ජීවිතේ කරගන්න වෙලා තියෙන්නෙ තවත් දෙයක්ග තමන්ට තමන් විදිහට නැතුව වෙන කෙනෙක් විදිහට ජීවත්වෙන්න වෙලාග ඉතිං තමන් කරණ දෙයින් තමන්ට සතුටක් නෑග ඉතිං ජීවිතේ හැම මගුලක්ම උකස් කරල පොඩි කාලෙ ඉදල සාර්ථකත්වය කියල මවපු රෙද්දෙ හීනයක් පස්සෙ දුවන් ආපු අපිල දැන් පෙරේතයො කුම්බාණ්ඩයො වගේ සල්ලි හොය හොය වලිකන එකේ හරිල සමාජෙ වැඩි වටිනාකමක් නැත්තන් බමුණු කුලේ සැළකිල්ලක් බලාපොරොත්තු වෙන එකෙත් ඒක නැතිවුනහම මළපනින එකෙත් වැරැුද්දක් නැහැග මොකද අපි කියල වෙන මොනව කරන්නද?

ඊළගට අපි මහන්සිවෙලා පාඩම් කරපු නිසා මෙතන ඉන්නෙ, අනිත් අය එහෙම කරල නෑ කියන එක අමූලික සාපේක්ෂ ඇත්තක්. අපිත් එක්ක එක පංතිවල හිටපු සමහරු ගත්තු ආතල් අපි ගත්තෙ නැහැ. ඒ කැපකිරීම නිසා අපි මෙතන ඉන්නව. ඒක හරි, හැබැයි ඒක පරම සත්‍යත් නෙමෙයි කියන එක මතක තියාගන්න වෙනව. නිකමට වෛද්‍ය පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි, කලා පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි පවුල් පසුබිම් සංසන්දනය කලොත්, අපිට දකින්න ලැබෙන දෙයක් තමයි වෛද්‍ය පීඨයේ ඉන්නෙ සමස්ථයක් විදිහට යම් හෝ ආර්ථික ස්ථාවරත්වයක් ඇති පවුල්වල ලමයි කියන එක. මේ තත්වය ඉස්සරට වඩා පහුගිය දශකයක විතර කාලයක වේගයෙන් වෙනස් වෙමින් පවතිනව. [ඒ කියන්නෙ වෛද්‍ය පීඨවල දුප්පත් අම්මල තාත්තලගෙ ළමයි නෑ කියන එකවත්, කලා පීඨවල සමාජයේ ඉහළ ස්ථරවල දෙමාපියන්ගෙ ළමයි නෑ කියන එකවත් නෙමෙයි] උසස්පෙළ කියන්නෙ අධිතරගකාරී විභාගයක් වෙලා, ඉතිං ඒ තරගෙ සමාන තත්වයන් යටතේ නෙමෙයි වෙන්නෙ. ඉතිං පහළ ස්ථරයකින් තරගකාරීත්වය වැඩිම වෛද්‍ය පීඨයකට වගේ තේරෙන්නෙ එහෙමත් කෙනෙක්. අපි ඉන්න තැන තීරණය වෙලා තියෙන්නෙ, අපි පාඩම් කරපු එකෙන්ම විතරක් නෙමෙයි. යම් මට්ටමකට තාත්තගෙ පඩිය මතත් තීරණය වෙච්ච දෙයක් කියන එක නොසළකා හරින්න බැහැ.

අපි එකිනෙකාට තියෙන්නෙ එකිනෙකට වෙනස් හැකියාවන් හා නැඹුරුතාවයන්. අපේ අධ්‍යාපන ක‍්‍රමය එක් හැකියාවක් විතරක් මනින, ඒකට විතරක් වටිනාකමක් දෙන දෙයක්. ප‍්‍රසිද්ධ උදාහරණයක් ගත්තොත්, කැළේක ඉස්කෝලයක් තියෙනවා. ඒකට කැළේ සත්තු ඔක්කොම එනව ඉගෙනගන්න. කැලේ ඉස්කෝලෙ විභාගෙ විදිහට පවත්වන්නෙ උස ගහකට වේගෙන් නගින එක. ඉතිං වදුරා පළවෙනිය වෙනව. හැමෝම එයාව අගය කරනව, එයාට වටිනාකම් දෙනවා. මාලූවට ගස් නගින්න බැහැ. එයා අසමත් කියල ලේබල් කරනව. හැබැයි කොහෙන්වත් මාලූවගෙ පීනන්න තියෙන හැකියාව මනින් නෑ. ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙත් නැහැ. අපි කැමති නැත්තන් අපිට නැඹුරුතාවයක් තියෙන දෙයක් කැපවීමෙන් කරන්න අපි පෙළඹෙනවා. එත් අපිට එහෙම නැඹුරුතාවයක් නැති දෙයක් වෙනුවෙන් කැපවෙන එක, එහෙම නැඹුරුතාවයක් තියෙන දෙයක් වෙනුවෙන් කැපවෙනව වගේ ලේසි නෑ. හරියට හිතන්න, මං කි‍්‍රකට් ගහන්න ආසයිල මගෙ යාලූව රගර් ගහන්න ආසයි. ඒත් කි‍්‍රකට් ගහන එකට විතරක් වටිනාකමක් දෙනව. මං කැමති දේ හින්ද ඒ වෙනුවෙන් දාගෙන ෆැක්ටිස් කරන එක මට ඒ තරම් දෙයක් නෙමෙයි. ඒත් මගේ යාලූව කි‍්‍රකට් වලට කැමති නැහැ. ඒත් එයාට කි‍්‍රකට් ගහන්න වෙනව. මං වගේ එයා කැපවීමෙන් කි‍්‍රකට් ගහන්න පෙළඹෙන් නෑ. ඉතිං මං කි‍්‍රකට් ටීම් එකට තේරෙනව. හැමෝම කියනව මං මහන්සිවුණා, මගෙ යාලූව මහන්සිවුණේ නැහැ කියල. ඒත් ඇත්තටම කි‍්‍රකට් වලට නැතුව රගර් වලට වටිනාකම දුන්නනම්, ඔය දේම අනිත් පැත්තට කියවෙයි. ඒ හින්ද අපි මහන්සිවෙලා පාඩම්කලා, අනිත් අය කලේ නැහැ, ඒ හින්දයි මේ වෙනස. ඒකට කරන්න දෙයක් නැහැ කියන එක ඇත්ත වුනාට, ඒ කථාව සම්පූර්ණයෙන්ම සාධාරණයි කියන්න අමාරුයි.

දැන් අපි මොකද කරන්න ඕනෙ? ඇත්තටම එක් එක් වෘත්තීන්ට දීල තියෙන එකිනෙකට වෙනස් සමාජ වටිනාකම් හා මුල්‍ය වටිනාකම් නැතිකරන්න නැත්තන් සාපේක්ෂව අඩුකරන්න  ඕනෙ. එතකොට හැමෝම වෘත්තීන් කිහිපයක් පස්සෙ දුවන එක නතරවෙයි. වෛද්‍යවරයෙක් වෙන්න  ඕනෙ කෙනා වෛද්‍යවරයෙක් වෙයි, මෝටර් කාර්මිකයෙක් වෙන්න   ඕනෙ කෙනා බොරුවට වෛද්‍යවරයෙක් නොවී තමන් කැමති වෘත්තීයට අදාල උසස් අධ්‍යාපනයක් ලබාගනීවි. අධ්‍යාපනයේ තියෙන මේ අස්වාභාවික, ළමයින්ගේ ළමා කාලය මකබාවන තරගය අඩුවේවි. දැන් උසස් කියල කියන වෘත්තීන් වල අයටත් විශේෂයෙන් ඉහළයි කියල සමාජ මට්ටමක් නඩත්තු කරන්න  ඕනෙ නැතිනිසා, බොරුවට සුපෝඛභෝගී වාහනයක් ලොකු ගෙයක් අරන් ලීසිං වලට ණය වලට හිරවෙලා දගලන්නෙ නැතුව, සැහැල්ලූවෙන් ඉන්න පුල්වන් වෙයි. සරළවම තමන්ට තමන් විදිහට ජීව්ත්වෙන්න ඉඩක් තියෙන, ඒ හින්ද ඇරියස් අඩු සමාජයක් බිහිවෙයි.

දැන් ඔය කිව්ව්ට මේ දේවල් කරන්න පුලූවන්ද? ඔව් ඒක ලේසි නෑ. හැබැයි ඒකනම් උත්තරේ අපිට ඒක කරන්නම වෙනව. අනික ඇත්ත කතාව, ඒක මොකක් හරි පනතක් ගෙනල්ල පඩි අඩුකරනව හරි වැඩිකරනව වගේ හරි සරළ දෙයක් නෙමෙයි. මං කළින් කිව්ව දේවල් සමස්ථ සමාජයක වෙන වෙනසක එක් පැතිකඩක් විතරයි. අපිට අපේ චින්තනයේ සීමාවන්ගෙන් එහාට හිතන්න වෙයි. මොකද අපේ චින්තනයත් මේ සිස්ටම් එකේම කොටසක් නිසා. සචේතනිකව දේශපාලනය කරන්න වෙයි. ඒ කිව්වෙ ඡුන්දෙ දාන එක හරි ඡුන්දෙ ඉල්ලන එක හරි නෙමෙයිග [ඒවත් අයිතියි] සමාජ වෙනසක් වෙනුවෙන් වැඩකරන එක. 

රිවිහාර පින්නදුව


Saturday, June 19, 2021

පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”


 පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”

මං මූලික අධ්‍යාපනය ලැබුවෙ ගෙවල් ගාව ඉස්කෝලෙන්. ඇත්තටම ගෙවල් ගාව ඉස්කෝල දෙකක් තිබුණ, දැනට අපි ඒ දෙකට ලොකු ඉස්කෝලෙයි පොඩි ඉස්කෝලෙයි කියමු. පොඩි ඉස්කෝලෙ තිබුණෙ සාපේක්ෂව ආර්ථික මට්ටමින් පහළ බහුතරයක් ජීවත් වෙච්ච ප‍්‍රදේශයකට කිට්ටු වෙන්න, ලොකු ඉස්කෝලෙ පැත්තෙ ගොඩක් දුරට හිටියෙ සාපේක්ෂව යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණ පිරිසක්. ඉතිං ලොකු පොඩි ඉස්කෝල වල ළමයි සංයුතිය හැදුනෙ කොහොමද කියල ආයෙ අමුතුවෙන් කියන්න  ඕනෙ නැහැනෙ. මාත් ගියෙ ලොකු ඉස්කෝලෙට, ලොකු ඉස්කෝලෙ කිට්ටුවට වෙන්න ළමා නිවාසයක් තියෙනව. මං ඉස්සර ඉස්කෝලෙට යද්දි මට හම්බෙනව ළමා නිවාසෙ ළමයි පෝළිමට ඉස්කෝලෙ යනව. එයාල ලොකු ඉස්කෝලෙ පහු කරන් ඒක ඉස්සරහින්ම ඈතින් තියෙන පොඩි ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයින්ව ලොකු ඉස්කෝලෙට ගන්නෙ නැහැ. පොඩි ඉස්කෝලෙට තිබුණෙ ගොඩක් අඩු පහසුකම් වගේම ඒ ඉස්කෝලෙට යන ළමයි මේ විදිහයි කියල හැදුන මතයකුත් තිබුණ ඉතිං පොඩි ඉස්කෝලෙ කිට්ටුව හිටිය යමක් කමක් කරගන්න පුලූවන් හැමෝමත් තමන්ගෙ ළමයින්ව කොහොම හරි ලොකු ඉස්කෝලෙට දාගත්ත. මේ එකෝමත් එක කාලෙක වෙච්ච අතීත කතාව.

දැන් අපි එමු වර්තමාන කතාවට. මං ජීවත්වෙන්නෙ අර්ධ නාගරික ප‍්‍රදේශයක, ඒ වගේම මැද පංතිය කියල අපිම කියා ගන්න බහුතරයක් ඉන්න පැත්තක. දැන් අපි කලින් කතා කරපු පොඩි ඉස්කෝලෙ වැහිල ගිහිල්ලා. ඉස්කෝ්ලෙ පටන් ගන්න වෙලාවට හංදියට ගියොත් බලන්න පුලූවන් පොඩි ඉස්කෝලෙ පැත්තෙ ඉන්න ලමයිනුත් අපේ ගෙවල් පහුකරන් ලොකු ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයිනුත් දැන් යන්නෙ ලොකු ඉස්කෝලෙට. දැන් කලින් ලොකු ඉස්කෝලෙට ගිය පවුල් වල ළමයි දැන් කොහෙද යන්නෙ? ඇත්තටම පොඩි ඉස්කෝලෙට ගිය ළමයින්ටත් ලොකු ඉස්කෝලෙට යන්න පුලූවන් වෙලාද? නැත්නම් ලොකු ඉස්කෝලෙ ටික ටික පොඩි ඉස්කෝලයක් වෙන්න යනවද? එතකොට ලොකු ඉස්කෝලෙ වෙන්නෙ මොකක්ද?

අධ්‍යාපනය වගේ දේවල් වෙළද භාණ්ඩ කරන්න එපා කියල මං කියන්නෙ නැහැ මොකද ඒක ඇති වෙනකන් කියල තියෙන්නෙ. එහෙම නැතුව අපි දැනටමත් වෙලා තියෙන දේවල් ගැනත් ඒ ඇසුරෙන් සාධාරණව ඉස්සරහට වෙන්න තියෙන දේවලූත් කතා කරමු. අපේ පැත්තෙ කලින් මුදල් ගෙවල ඉගෙන ගන්න කියල තිබුනෙ ගම්පහ ටවුමෙ තිබුණ ඉන්ටර් නැෂනල් එක විතරයි. ඒකෙ නමවත් මට මතක නෑ අපි කිව්වෙ ඒකට එහෙම. ඒත් දැන් රජයේ ඉස්කෝලෙ ගාණටම පෞද්ගලික පාසල්. ළගදිම රජයෙ ඉස්කෝල හොයාගන්නවත් නැති ඒව වෙයි, මොකද දිගටම පෞද්ගලික පාසල් ඇරෙනව ඒකට සමගාමීව රජයේ ඒව වැහෙනව. රෝයල් ඉන්ස්ටිටුයුට් එකේ ලස්සන දැවැන්ත ගොඩනැගිල්ල ඉදිවෙන්නෙ අපේ ලොකු ඉස්කෝලෙ පේන මානෙ. පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකට වෙනම වටිනාකමක් ලැබෙනව. පුලූවන් හැමෝම තමන්ගෙ ළමයින්ව පෞද්ගලික පාසල් වලට දානව. තමන්ගෙ ළමය යන්නෙ ආණුඩුවෙ ඉස්කෝලෙට කියල කියන එක ලැජ්ජාවට දෙයක් වෙනව. ඉතිං බැරි අයත් බැරිමරගාතෙ තමන්ගෙ ළමයිවත් පෞද්ගලික පාසල් වලට දානව. කරකියා ගන්නම දෙයක් නැති කෙනෙක් ආණ්ඩුවෙ ඉස්කෝලෙට ඉතුරු වෙනව. එක එක මිළ ගණන් වලට එක එක බ‍්‍රෑන්ඞ් වල පෞද්ගලික පාසල් ඇරෙනව. අන්තිමට ඉස්කෝල ඇරල තිබුණ දවසක ඉස්කෝල ඇරෙන වෙලාවක මං බස් එකට නැග්ග. කළින් වගේ නෙමෙයි ඉස්කෝල වල නිළ ඇදුම් වල පාටින්ම ළමයි බෙදිල. පෞද්ගලික පාසල් වල ළමයිගෙ තිබුණ යම් ආකාරයක ආඩම්බරකාර බැල්මත් රජයේ පාසලේ ළමයින්ගෙ තිබුණ යම් විදිහක තමන් දෙවන පෙල පිරිසක් කියන පීඩාකාරී හැගීමත් මං ඒ ඇස්වල දැක්ක. ටික වෙලාවකට මං තැතිගත්ත. අපි කොහෙටද මේ යන්නෙ?

සල්ලි තියෙන අය පෞද්ගලික පාසල් යනව, නැති අය රජයෙ පාසල් වලට යනව වගේ සරළ අහිංසක දෙයක් නෙමෙයි වෙළදපල කියන්නෙ. රජයේ සුභසාධන වියදම් කප්පාදුව වගේ දේවලූත් මේ එක්ක එකතුවෙලා තියෙනව. දැන් ලොකු ඉස්කෝලෙ වියදම් රජයෙන් ලැබෙන මුදලින් කවර් කරන්න බැහැ. ඒකේ සැළකිය යුතු බරක් දෙමාපිය සංගම්, ආදිශිෂ්‍ය සංගම් දැරුව. දැන් මේ අර්බුදය පොඩි ඉස්කෝලෙ වැහිල නතරවෙන්නෙ නැහැ. ඊළග වටේ ලොකු ඉස්කෝල වලටත් එනවා. වෙනද ලොකු ඉස්කෝලෙට ආපු සමාජ ස්ථරයෙ බහුතරයකගෙ ළමයි දැන් යන්නෙ පෞද්ගලික පාසල් වලට. වෙනද පොඩි ඉස්කෝලෙ දෙමාපිය සංගමේ හිටපු අය තමයි දැන් ලොකු ඉස්කෝලෙ දෙමාපිය සංගමේ ඉන්නෙ. එයාලට ලොකු ඉස්කෝලෙ වියදම් දරන්න බැහැ. අනිත් අතට ආදිශිෂ්‍ය සංගම් පරණ යාලූවො ටික ආයෙ සෙට් වෙන එක ඇරෙන්න ගොඩක් දුරට පවතින්නෙ තමන්ගෙ දරුවව ඉස්කෝලෙට දාගන්න පදනමෙන්. දැන් ලොකු ඉස්කෝලෙ ආදිශිෂ්‍යයන්ගෙ ළමයි යන්නෙ පෞද්ගලික පාසල් වලට. ඉතිං කළින් වගේ ආදිශිෂ්‍ය සංගම් වලිනුත් පාසලට ලබෙන හයිය අඩුවෙනව. ඉතිං පොඩි ඉස්කෝල විතරක් නෙමෙයි ලොකු ඉස්කෝලත් ටික ටික අභාවයට යන්න ගන්නව. නගරබද ප‍්‍රදේශවලින් බැහැරව ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් මේ තත්වය මීට වඩා වෙනස් ස්වරූප වලින් පවතිනවා. ළගදිම ගමට නැතත් ගමට ළගම ටවුමට පෞද්ගලික පාසල් එන්න ගනීවි. දැනටමත් ගොඩක් ග‍්‍රාමීය පාසල් වැහිල තියෙනව. අපේ පොඩි ඉස්කෝලෙ වැහුන වගේ නෙමෙයි ගමේ ඉස්කෝලෙ වැහුනම ඒ ලමයිට ඉස්කෝලෙ යන්න සෑහෙන දුරක් ගෙවලා ටවුමෙ ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතිං දුප්පත් සමාජීය වශයෙනුත් පහල අඩියක ඉන්න අම්මල තාත්තලගෙ ගොවිතැනකට උදව් කරනගමන් ඉස්කෝලෙ එන ගොඩක් දෙනෙක්ගෙ පාසල් ගමනත් එහෙන්ම නතර වෙනව. පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරල තිබුණ ටවුමෙ ඉස්කෝලෙට යන්න විදිහක් නැතුව හැමදාම වහල දාල තියෙන ඉස්කෝලෙට ඇවිත් ඉදල යන දරුවෙක් ගැන, පාසලක් නැතුව සිය දිවි නසාගත්ත දරුවො ගැන. මේ අර්බුදයේ රෝග ලක්ෂණ විතරයි. සැබෑ අර්බුදය ඊට වඩා ගොඩක් භයානකයි.

අර්බුදයෙ අනිත් පැත්ත තමයි ඔය පෞද්ගලික පාසල් වලට දරුවන්ව යවන දෙමාපියන්ගෙ තත්වය. ඇත්තටම බහුතරයක් පෞද්ගලික පාසල් වලට යවන්නෙ පුලූවන් කමකට නෙමෙයි. එක පැත්තකින් රජයේ පාසල් පද්ධතිය දුර්වල වෙලා අනිත් පැත්තට පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකත් එක්ක ඇතිවෙන සමාජීය කාරණය. මං ජීවත්වන ප‍්‍රදේශයේ වගේම මගෙ වෘත්තියෙ යෙදෙන බහුතරයක් තමන්ගෙ දරුවො යවන්නෙ පුද්ගලික පාසල් වලට. මං දැකල තියෙනව පාසල් ගාස්තු ගෙවන්න වෙන කාල වලදි ඒ අය විදින පීඩාව. මේ සිස්ටම් එකේ දැනටමත් අපිට සත්තු වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සතෙක් තම ජීවිත කාලෙම ගත කරන්නෙ කන්න මොනව හරි හොයාගන්න වර්ගයා බෝ කරන්න වගේ දේවල් වලට. අපිත් කන්න බොන්න ගෙවල් හදන්න රැුයක් දවාලක් නැතුව ඉබාගාතෙ දුවනව ඇරෙන්න එතනින් එහා ජීවිතයක් තියෙනවද? දැන් මෙතනදිත් දරුවන්ගෙ ඉස්කෝලෙටත් ගෙවන්න වෙද්දි ඒකටත් එක්ක වැඩිපුර වැඩ කරන්න වෙනව. දරුවො එක්ක ඉන්න තියෙන ටික කාලෙත් කැප කරල තාත්තලට  ඕටී කරන්න වෙනවා. ජීවිතේ තවත් මේ උගුලෙ හිරවෙනවා. තවම මේ අර්බුදය පටන් ගත්ත විතරයි. පාසල් ගාස්තු ගෙවන්නෙ නැතුව ළමයින්ව පාසලෙන් අයින් කරල දරුවන්ට යන්න පාසලක් නැතුව හඩාවැටෙන දෙමව්පියන්ව මං පහුගිය කාලෙ දැක්ක.
අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දි, ආණ්ඩු ගේන එක එක පනත් වලට විරුද්ධ වෙද්දි අපිට විරුද්ධව කතා කරපු අපේ අරගල ජෝක් එකට ගත්තු අයත් හිටිය. හැබැයි ඒ අයගෙත් සීමාවක් තිබුන. මොකද ඒ අයත් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ සමහරු විශ්වවිද්‍යාල වලටත් ගියෙ නිදහස් අධ්‍යාපනයෙන්. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ ඒ හින්ද ටික කාලයක් හරි මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න  ඕනෙ කියල තමන්ට ලැබුන විදෙස් රැුකියාව අතඇරපු අය මං දැකල තියෙනව. මට මතකයි සංජීව පුෂ්පකුමාර ඉගිලෙන මාලූවො චිත‍්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත්ත වෙලාවක ඒ සම්මානය වෙනුවෙන් ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට ඒ බදු ගෙව්ව මිනිස්සුන්ට ස්තුති කරනව. ඉතිං මේ මිනිස්සුන්ගෙ නිදහස් අධ්‍යාපනයට තිබ්බ ලව් එකත් එක්ක සමහර තීරණ ආණ්ඩු වලට ගන්න බැරි වුනා. හැබැයි තව ටික කාලෙකින් පරම්පරාවක් එනව මේ පෞද්ගලික පාසල් ඇතුලින් නිදහස් අධ්‍යාපනය ගැන මෙලෝ මලදානයක් අදාල නැති. මිළ විතරක් දන්න පරම්පරාවක අනාගතය මීට වඩා යහපත් එකක් වේවිද?

ඉස්සරහට අධ්‍යාපනයේ අද අපි දකින ස්වරූපයේ තරගකාරීත්වය අඩුුවෙයි. මොකද ගෙවල ගන්න වෙන එකේ මොන තරගයක්ද? (නැත්තට නැති වෙනව නෙමෙයි) කොහොම හරි ටියුෂන් වෙළද පල අඩුවෙයි. මොකද සුපර් මාර්කට් ව්‍යාප්ත වෙද්දි සිල්ලර බඩු කඩ වැහිල යනව. තාම මේ පෞද්ගලික පාසල් අර්බුදය හරියටම මතුවෙලා නැහැ. සමහර ප‍්‍රදේශවල තවම හරියට ව්‍යාප්ත වෙලත් නැහැ. නාගරික අර්ධ නාගරික පැතිවල දැන් ටික ටික ඒ අර්බුදයේ රෝග ලක්ෂණ මතුවෙමින් තියෙනව. අපි මැදිහත්වෙලා මේක වෙනස් නොකලොත් තව කාලෙකින් සමහර ඉංදියානු චිත‍්‍රපටවල පාසල් අධ්‍යාපනය ගැන අපි දකින් විදිහෙ දේවල් අපිට දකින්න ලැබේවි. ඛේදවාචකයේ වින්දිතයින් විදිහට ගොඩක් දෙනෙක් අධ්‍යාපනයෙන් පිටමං වේවි. මං මුලින්ම ගිය පාගමන තමයි අධ්‍යාපනයට 6% ක් ඉල්ලලා අන්තරෙන් නුවර ඉදල කොළඹට ආපු පාගමන. ඒකෙ මං උස්සන් ගිය සටන් පාඨයම තමයි ආයෙමත් මෙතනත් දාන්න වෙන්නෙ  "Education not for sale"

(රිවිහාර පින්නදුව)

Friday, May 28, 2021

රසවත් බිරියානි නීරස ජීවිත හා ඇය (BIRIYANI Movie)


 රසවත් බිරියානි නීරස ජීවිත හා ඇය 

‘බිරියානි’ අපට හුරුපුරුදු මලයාලම් සිනමා නිර්මාණයන් තුළ අපි දකින සුන්දරත්වයින් වෙනස්ව යම් වේදනාකාරී යථාර්තයක් අප හමුවට ගෙන එන චිත‍්‍රපටයක්. ලිංගික දර්ශන, සත්ව ඝාතන දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක්වූ වර්ගීකරණය යටතේ නිකුත්වූ බිරියානි ඉංදියානු සාම්ප‍්‍රදායික පවුල තුළ හා එම සම්ප‍්‍රදායන් තුළ කාන්තාව පීඩාවට පත්වන ආකාරය මැනවින් නිරුපණය කරණ අතර එම තේමාව රැුගත් වෙනත් ඉංදියානු චිත‍්‍රපට අභිබවා මෙය අපව තිගැස්මකට ලක්කරයි.

චිත‍්‍රපටය ආරම්භවන්නේම කඞීජා හා ඇගේ මුල් සැමියා වන නසීර් අතර ලිංගික දර්ශනයකින් වන අතර සමස්ථ චිත‍්‍රපටයේ අර්ථය එහි නිරූපිතය. ඔවුන්ගේ ලිංගික එක්වීම හුදෙක්ම පිරිමියාගේ ආශ්වාදය සදහාම වන්නක් වන අතර ලිංගික එක්වීම තුළ ඇය මළමිනියක ස්වරුපයෙන් සිටින ආකාරයක් දැකගත හැකිය. නසීර්ගේ සුරාන්තයෙන් එම කි‍්‍රයාව අවසන් වන අතර ඇය එයින් තෘප්තියක් නොලබයි. ලිංගික එක්වීමකින් අනතුරුව ඇයට ස්වයං වින්දනයේ යෙදෙන්නට වන්නේ එබැවිනි. එම නිවසේ එළදෙනක් කෘතිමව ගැබ් ගන්වන දර්ශනයද මෙම කාරණය තවත් ගම්‍ය කරයි. මෙය හුදෙක් ලිංගික තෘප්තිය සම්බන්ධ කාරණයක් පමණක් නොව පිරිමියා කේන්ද්‍ර කොටගෙන ගොඩනැගී ඇති සම්ප‍්‍රදායන් තුළ ඇයට තම ජීවිතයේ සෑම සියළු දෑ අහිමිවෙයි. සිය සහෝදරයා උසස් අධ්‍යාපනය ලබන විට ඇයට තම අධ්‍යාපනය අතර මැද අතහැර දමා අඩු වයසින් විවාහවන්නට සිදුවන අතර මෙම කලාපයේ බොහෝ ස්තී‍්‍රන්ගේ යථාර්තය නම් විවාහය නම් නව දිවියක ආරම්භය නොව තම ජීවිතය ජීවත්වීමේ අවසානය වන බවට මෙම චිත‍්‍රපටය සාක්ෂි දරයි.

කදීජාගේ සහෝදරයා ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට පුවතක් පුවත් පතක පළවීමත් සමග මෙහි කතාව වේගයෙන් වෙනස් වන අතර ඇය ඇතුළු පවුල තම ජන කොට්ඨාෂයෙන් ඉවත් කරණ අතර පසුව මව මියගිය විට පල්ලියේ කනත්තේ ඇයව වැළලීමට හෝ අවස්ථාවක් ලබානොදෙයි. මවගේ මරණයෙන් පසුව ඇය වෙනත් විකල්පයක් නොමැතිව ලිංගික ශ‍්‍රමික වෘත්තියේ යෙදෙන අතර එහිදී ඇය පළමු වරට ඒ ආකාරයට ඇසුරක් පවත්වන කඩෙහි මුදලාලි සමග ලිංගිකව එක්වන අවස්ථාවේ ඔහු උමතුවෙන් මෙන් ඇගේ සිරුර සිපගන්නා විට ඇය එයින් තම සැමියාගෙන් නොලද ආස්වාදයක් ලබන බවක් ඇගවෙයි.  ඕෂෝගේ දාර්ශනික ආලෝකය මෙහි නිර්මාණකරුවා ලබාඇති බව බැලූබැල්මට පෙනෙන අතර චිත‍්‍රපටයේ දර්ශනයක කදීජා ආසන්න අසුනක දුම්රියේ ගමන් කරණ මගියෙකු පොතක් කියවමින් සිටින අතර එය  ඕෂෝගේ ග‍්‍රන්ථයකි.

සාත්තරකරුවෙකුගේ සාත්තරය අනුව ඇය නිසා ඔවුන්ගේ පවුල විනාශවන බව පවසන අතර ඒ අනුව කදීජා නසීර් අතහැර දමන අතර ඇයගේ පුත‍්‍රයාව බැලීමට හෝ ඇයට අවස්ථාවක් ලබා නොදෙයි. ඇය මානසික රෝගී මව සමග තනිවෙයි. ත‍්‍රස්තවාදී ලේබලය ඇළවීමත් සමග එම පවුල් වල සාමාජිකයින් මුහුණ දෙන ඛේදාන්තයද මෙහි නිරුපණයවෙයි. චිත‍්‍රපටය පුරාවට වරින් වර ත‍්‍රස්තවාදය පිළිබදව සිදුවන රුපවාහිනී සාකච්ඡුා වල දර්ශන පෙන්වන අතර එහි වියතුන් විවිධ අදහස් දක්වමින් විවාද කරන අතර අනිත් අතින් චිත‍්‍රපටය තුළ එහි සැබෑ වින්දිතයින්ගේ ජීවිතය පෙන්වන අතර එම සැබෑ මිනිසුන්ගේ හඩට එහි ඉඩක් නොලැබෙයි.

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් තුළ එනයින්ම කාන්තාව අසාධාරණයට ලක්වන අයුරු මෙහි නි?පණය වෙයි. සුභාහීර් හා කදීජා නැවත විවාහය ගැන සාකච්ඡුා කරණ විට කදීජා පවසන්නේ ‘ඔයාටනම් සල්ලි තියෙනවනම් ආයෙ හතර දෙනෙක් උනත් බදින්න පුලූවන් අනික මැරිල දෙවියලෝකෙ ගියත් දිව්‍යංගනාවො හම්බෙනව අපිට තමයි ඔය මොකුත් නැත්තෙ’ යනුවෙනි. අවසානයේ කදීජා ගැබිණියක් වන අතර සුභාහීර් ඇය සමග වාසයට පැමිණෙයි. ඇය මවගේ බලාපොරොත්තුව අනුව පියාගේ මරණ සැමරුම් දින ගමේ අයට ආහාර (දානයක්) ලබාදීමට සැරසෙයි. ඇය ගමේ පල්ලියට කෝවිලේ සාමිට, කොමියුනිට්ස් පක්ෂ කාර්්‍යාලයේ අයට ආදී සෑම සියළු දෙනාටම ආරාධනය කරයි. එම දානයට ගමේ සාමාන්‍ය ගැමියන් වෙනුවෙන් නොව ප‍්‍රභූන් වෙනුවෙන් සංවිධානය වන අතර ඒ අයට සංග‍්‍රහ කරන බිරියානි වල විශේෂත්වයක් ඇති අතර එය දැනගැනීමට චිත‍්‍රපටය නැරඹීමට අව්‍යයය.

චිත‍්‍රපටය අවසානයේ කදීජා ගගකට පැන සියදිවි නසා ගන්නා අතර ඇය පන අදින හඩ මැදින් ලිංගික එක්වීමක හඩ ඇසෙන අතර චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව වන්නේ එහි ආරම්භක ජවනිකාවේම අනිත් පස වන අතර මෙහි ඇගේ සැමියා වන නසීර් ඇදේ දිගාවී සිටින අතර ඇය සංසර්ග ඉරියව් වෙනස් කොට ඔහු මත සිටින අතර ඇය එම ලිංගික එක්වීම තුළ තෘප්තියක් ලබයි. එය සැබෑවට නොවු ඇගේ ආශාව නිරෑපනය කරන්නකි. 

(රිවිහාර පින්නදුව)


Tuesday, November 10, 2020

එයා කැමති රතු රෝස වලට

 එයා කැමති රතු රෝස වලට

ඇහැරිලා තත්පර කීපයක් යනකන් කල්පනා කලේ මං මේ කොහෙද ඉන්නෙ කියල. කි‍්‍රෂාන්ගෙ බෝඩිමේ එයත් එක්ක නතර වෙන්න ඇවිත් දැන් දවස් තුනක්, ඒ වගේම අද තමයි අන්තිම දවස. කි‍්‍රෂාන් තවම නිදි. එයා නිදන් ඉද්දි එයා දිහා බලන් ඉන්න මං හරි ආසයි. ඒත් ඒ වෙලාවට මීට අවුරුදු තුනකට කලින් අපි හම්බවෙච්ච දවසෙ ඉදල ඒ වෙලාව වෙනකන් අපි දෙන්නගෙ ජීවිතේ හයිලයිට් එකක් මට මතක් වෙන්න ගන්නවා, හැම වෙලාවෙම ඒක ඉවර වෙන්නෙ ඔලූවට බර ගතියක් ගෙනල්ලා. කාමරේ එක කෙලවරක බිත්තිය මුල්ලෙ සතියකට දෙකකට සැරයක් පහන තියන බුද්ධ ප‍්‍රතිමාව. ඇද ගාව බිත්තියෙ චේගෙ පිංතූරයක්. ඒ කි‍්‍රෂාන්ගෙ හැටි එහෙම ලොකුවට බෞද්ධයෙකුත් නෙමෙයි, පක්ෂෙට ලොකුවට වැඩකරන්නෙත් නෑ. හැබැයි වෙසක් එකකට පන්සලටයි, මැයි දිනේට රැුළියටයි යන්නනම් වරද්ද ගන්නෙ නැහැ. රෑ දාපු ෆෑන් එක තාම ඔලූව දෙපැත්තට කරකවන්නෙ ඒ තාලෙට නෙට් එක නටව නටව. සද්ද නොකර ඇදෙන් බැස්සෙ ජීවිතේ අන්තිම පාරට කි‍්‍රෂාන්ට උදේට තේකක් හදල දෙන්න. එයාගෙ අපිළිවෙලින් ලස්සන වෙච්ච මේ කාමරේ මොන තරම් ආදරයක් පිරිල තියෙනවද? ඒත් මේ කාමරෙන් එළියෙ ලෝකෙට මේ අදරේ ආක්‍යානයන් තේරුණේ නැහැ. ඒ හින්ද අපිට වුණා ඒ ආදරෙත් එක්ක මේ කාමරේ හැංගෙන්න. එත් දවසින් දවස සතුරො අපිව වටකලා. අපි තේරුම් ගත්තා තව දවසක් දෙකක් යද්දි මේ කාමරේ ආරක්ෂක ප‍්‍රකාර බිදගෙන ඒ සතුරු සේනාව අපේ ආදරේ ආක‍්‍රමණය කරනව කියල. අපිට පහුබහින්න තැනක් නෑ, උදව්වට එන්න මිතුරු සේනාවලූත් නෑ.

එයා කැමති රතු රෝස වලට, මං කැමති සුදු රෝස වලට කොහොම හරි අපි දෙන්නම කැමතියි රෝස වලට. ගිය නිවාඩුවට නුවරඑළියෙ ගිය වෙලාවෙ අපිට හමුබුණා රතු සුදු කලවං වෙච්ච මල් පිපෙන රෝස පැළයක්. අපි ඒක කි‍්‍රෂාන්ගෙ බෝඩිම ඉස්සරහ මිදුලෙ හිටෙව්ව. නුවරඑළියෙන් ගෙනාපු හින්ද පැලකරගන්න සෑහෙන්න මහන්සිවෙන්නවුණා. අපි ළමයෙක් බලා ගන්නව වගේ ඒ රෝස පැලේ බලාගත්තෙ. ඊයෙ ඒකෙ පොහොට්ටුවක් හැදිල තිබුණ අද ඒ මල පිපේවි. අන්තිම දවසෙ අපි දෙන්න ඉන්නෙ අපේ ආදරේ මතක සටහන් වල අද හැන්දෑවෙනකන් ඇවිදින්න. ඒවා ආයෙ ආයෙ මතක් කර කර හිනාවෙන්න, අඩන්න මොකක් හරි කමක් නෑ හැගීමක ගැඹුරටම කිමිදෙන්න.

ස්කූටියෙන් අපි මුළින්ම අවෙ නුගේගොඩ Fab එකට. අපි දෙන්න මුළින්ම තනියෙන් කතා කරන්න ආවෙ මෙතන්ටx එදා වගේම අදත් අපි Ice Coffee දෙකක් බිබී කතා කලා. පපුව ඇතුලෙ පුපුරන්න තියෙන ගිණකන්ද වහගෙන අපි Ice Coffee සීතල ගිණිගත්ත නහරවල රැුදෙව්ව. KFC එක Macdonald එක නුගේගොඩ කෑම කඩ එකක් ගාණෙ අපේ මතක ඇහිද ඇහිද ඇවිද්ද. අපි දෙන්නම දැනගෙන ඒත් අපි අපිටම හංගගෙන හිටිය, ඒ ඇත්ත නැමැති නිරුවත වහගෙන හිටිය විනිවිද පෙනෙන තුනී රෙදි කඩ ඉවතලා අපේ පේ‍්‍රමය නිරුවත් කර අපි දෙන්නට දකින්නට ඉඩ හදපු නාවල වැලිපාක් එකේ අපි ගොඩක් වෙලා හිටිය. එයා මට ආදරෙයි කියපු, ඔයා  ඕක කියනකන් මං බලන් හිටියෙ කියල මං කියපු අපි දෙන්නගෙ බංකුව උඩ අද තවත් කපල් එකක් වාඩිවෙලා. බැලූ බැල්මට එයාලගෙ ආදර කතාව අපේ තරම් වෙහෙසකර වෙන එකක් නැහැ, ආදරේ බේරගන්න දුවල දුවල හතිවැටෙන තරම්. 

ඇත්තටම ඒ දවස්වලත් අපිට අනිත් ආදරවන්තයොන්ට වගේ දුර ඈත හීන තිබුන් නෑ. අපි එහෙම හීන දකින්න භයවුණා. මොකද අපි දැනන් හිටිය මේ ගමන කොහෙන් හරි වැඩි දුරක් යන් නැතුව අපිට නතර කරන්න වෙනව කියල. ඒත් අපි ඇවිදන් ගියෙ කිලෝමීටර් ගාණක් වුණාට අපි දෙන්න අපි දෙන්න ඇතුලට අලෝකවර්ෂ ගාණක් කිදාබැහැල තිබුණ ආපහු හැරිල එන්න පාරක්වත් හොයාගන්න බැරිවෙන්න. හිනාවෙන එකත් පරිස්සමට හිතල බලල කරන්න  ඕනෙ අයෝජනයක් කියල හිතන මිනිස්සු, ළග ඉන්න එකෙක් මැරිල වැටුනත් මිනීපෙට්ටි සාප්පු අයිති එකෙක් ඇරෙන්න වෙන කවුරුත් හැරිල නොබලන උන් අපේ ආදරේ ගාව ඇස් උඩ ඉන්දන් බලන් ඉන්නව අපි දැක්ක. අපේ ආදරේට ඔරව ඔරව උන් ස්තී‍්‍ර දූෂකයන්ව පාර්ලිමේන්තුවට යවනව අපි දෙන්න බලන් හිටිය. අපිට මේ ලෝකෙ තේරුනේ නැහැ, ලෝකෙට අපිව තේරුනෙත් නෑ, අපිට වෙනස් වෙලා මේ ලෝකෙට තේරෙන අය වෙන්න  ඕනෙ වුනෙත් නෑ.

Galle Face එකේ ඉස්සො වඬේ වලටත් අපේ ආදර කතාවෙ වෙනමම පරිච්ෙඡ්දයක් වෙන් වෙනවා. Galle Face එකට පේන්නෙ බටහිර මුහුද. අපි දෙන්න හැන්දෑවල් ගණනාවක් ආසාවෙන් බලන් ඉදල තියෙන්නෙ ඉරේ වේදනාබර වෙන්ව යාම දිහා. අද අපිට පේනව දැනෙනව ඉරයි අහසයි දරාගෙන හිටපු ඒ වේදනාව. Galle Face එකත් හරියට අපේ ආදරේ වගේ, එක පැත්තකින් වරාය නගරය අනිත් පැත්තෙන් හතර අතේ බලන් ඉද්දි අහසට උස යන සුවිසල් ගොඩනැගිලි හැමෝම බලන් ඉන්නව Galle Face එක ගිළ ගන්න.  වේදනාවන් දරා ගන්න බැරි තැන ඉර සටන අතඇරල මුහුදෙ ගිළෙද්දි අදුර කොළඹ වහගන්න ගත්ත. නෙළුම් කුළුණෙ ලයිට් දාල. අපි දෙන්න ඒ දිහා බලාගෙන හිටිය. නෙළුම් කුළුණ ගොඩක් උසයි.

පාරට හැරෙන තැන සයිවර් කඩෙන් අපේ පුරුදු කොත්තුව කාල අපි දෙන්න බෝඩිමට ආව. බෝඩිමට ආපු ගමන්ම කවදාවත් නැතුව කි‍්‍රෂාන් බෝඩිම අස්කරන්න ගත්ත. ඒකෙන් අපිළිවෙල ලස්සන හැඩිවුණා. අපිට වෙන් වෙන්න වෙලාව ඇවිත්. අපි දන්නව තමන් ආදරේ කරන දෙයක් වෙනුවෙන් තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් සටන් වදින්න  ඕනෙ. පරාජය භාර අරගෙන පහුබහින එකෙන් මොකුත් ලැබෙන් නැහැ. ඒත් අපි දෙන්න අවුරුදු තුනක් තිස්සෙ හැප්පුනා. දැන් අපි දෙන්නටම මහන්සියි. තවත් මේක කරන්න බැහැ.  බුදු පහන පත්තුවෙද්දි බිත්තියෙ හිටපු චේ අපි දිහා බලන් ඉද්දි කි‍්‍රෂාන් එයාගෙ අන්තිම හාදුව මට දුන්න.

⋆⋆⋆⋆⋆

මං මේ කතාවට අදාලම නෑ. උදේම ආරංචිය ආවෙ පල්ලෙහා බොඩිමේ දෙන්නෙක් වහබීල මැරිල කියල. මාත් දඩිබිඩියෙ කුණු කෙළ පිටින්ම දුවන් ගියා. වැට දිගට මිනිස්සු පිරිලා පොරකනව. බෝඩිම ඉස්සරහම රෝස පැළේක  ලස්සනට රෝස මලක් පිපිල. ඒ රතු සුදු කලවම් වෙච්ච රෝස මලක්. ඒත් කවුරුත් ඒ ලස්සන රෝස මල දැක්කෙ නැහැ. හැමෝම කටවල් ඇරගෙන කම්මුල් අතේ තියාගෙන බලන් හිටියෙ වැලේ තිබුණු සයිස් දෙකක පිරිමි යට ඇදුම් දෙකක් දිහා.


රිවිහාර පින්නදුව

ප.ලි.

1. ජීවිතයෙන් පලා යාමෙන් කිසිදු ප‍්‍රශ්නයකට විසදුමක් නොලැබෙයි.

2. යම් ගැටළුවකට මුහුණ දෙන පිරිසකගේ අර්බුදය පිටතින් බලා සිට අවබෝධ කර ගැනීමේ සීමා පැවැතිය හැක.