Sunday, January 15, 2023

මර(ම)ණයේ නගරය


 මර(ම)ණයේ නගරය

පාන්දර පහුවෙලා ඉර නැගෙන්න වෙලාව ආවත් මේ ගම්බද නගරය පුරාම තවම අන්ධකාරය පැතිරිලා. වැහිමන්දාරමත් එක්ක එන නත්තල් සීත සුළං වෙන දවස්වල අමුතු ප්‍රබෝධ ජනක හැගීමක් ගෙනාවත් අද ඒ සුළග මුළු නගරයම මූසල අන්ධකාරයක ගිල්වල. මීදුම ඉරාගෙන පුරුදු විදිහට උදේ CTB බස් එක පහලට පල්ලම් බහිනව. ඉස්කෝල නිවාඩු හින්ද වෙනද වගේ සෙනග නැති වුනත් ෂීට් ගාණට වගේ වෙන්න සෙනග ඉන්නව. වෙනද වගේ උදෑසන සුභ පැතුම් නත්තල් සුභ පැතුම් නැති වුණාට හැමෝම පුරුද්දට වගේ එකිනෙකාට සුභපතා ගත්ත. බස් එක නගර මායිම පහුකරමින් ගෙවල් අඩු පැත්තක් හරහා ගමන් කරමින් ඉන්න අතරතුර ඈතින් කවුරුන් හෝ යටිගිරියෙන් කෑගසමින් බසය වෙත දුවමින් එන්න ගත්ත. හැමෝම තේරුම්ගත්ත එයාල භය වෙලා හිටිය දේ අදත් සිද්ධවෙලා කියල. කෑගහමින් ආව කෙනා බස් එකට නැගල හිස්වෙලා තිබුණ ඩ්‍රයිවර් ගාව ෂීට් එකේ වාඩිවෙනවත් එක්කම බස් එක ඉස්සරහට යන්න ගත්ත. හැමෝම තුෂ්නිම්භූතවෙලා එක වචනයක්වත් කතා කලේ නෑ. අර කෑගහන් ආපු මන්ස්සයගෙන් ඇයි කියල ඇහුවෙත් නෑ. ඒ මනුස්සය මොකද කියල කිව්වෙත් නෑ. බස් එක හෙමිහිට පල්ලම් බැහැල ගියා.

වැහිබරගතිය ගණන් නොගෙනම නත්තල් දේව මෙහයෙයට වගේම සෙනගක් පල්ලියට ටික ටික එකතුවෙන්න ගත්ත මේ විශේෂ දේව මෙහෙයට. මුලු නගරයම වෙලාගත්ත මේ යක්ෂ උවදුරෙන් ගැලවීමට දෙවියන් ඉදිරියේ යාඥා කිරීම හැර ඔවුන්ට වෙනත් විසදුමක් සිතාගත නොහැකිව තිබුණ. ඒ ඝාතනයන්ගේ රුදුරු බව නිසාම සියලු දෙනාම තැතිගෙන තිබුණ. කාන්තාවන්ගේ තනියට පිරිමින් නොව පිරිමින්ගේ තනියට කාන්තාවන් යන විකාරරූපී ස්වාභාවයක් ඇතිවී තිබුණා. දේවමෙහෙය පටන්ගන්න කිට්ටුව ශාලාව පුරාම නිහඩබව පැතිරිලා තිබුණ. ඒ නිහඩ බව ප්‍රමාණවත්වුණා පන්සලේ පිරිත් හඩ ඇහෙන්න. සමහරු දේව මෙහෙය ඉවරවෙලා පන්සල පැත්තෙ ගිහින් පිරිත් ටිකකුත් අහලයි යන්නෙ. මේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙන්න කියල. පන්සලෙත් මේ දවස්වල හැමදාම පිරිත් කියනව. මේ අමනුෂ්‍ය දෝෂය යන්න රතන සූත්‍රය සජ්ඣායනා කර කර මුලු පලාතෙම යන්න ලොකු හාමුදුරුවො ලෑස්තිවෙලා තියෙන්නේ. මේ වෙද්දි ජංගම පිරිත් මණ්ඩපයක් බණ මඩුවෙ කඩිමුඩියෙ හැදෙමින් තිබුණ. ඒකට පූර්ණ අනුග්‍රහය ඒ පැත්තේ පොළීසියෙන්.

හොරකමක්, ගංජා ටිකක් ඉදල හිටල වෙච්ච මංකොල්ලයක් වගේ දෙයක් ඇරෙන්න මෙහෙ පොලිසියට මේ වගේ දරුණු අපරාධ සම්බන්ධයෙන් ඒ තරම් අත්දැකීමක් නැහැ. ඊටත් වඩා පොලීසියෙ වැඩි දෙනෙකුත් විශ්වාස කලේ මේක මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක වැඩක් කියල. මහේෂ් එක්ක විශේෂ පොලිස් ඒකකයක් මෙහෙට එවන්නෙ මේ ඝාතනයන් ගැන විමර්ශනයෙ කිසිම ප්‍රගතියක් ඉහලට වාර්තා නොවුන හින්දයි. මාස දෙකක් ඇතුළත එකම ආකාරයේ මිනීමැරුම් හතක්. ඒ හැම ඝාතනයක්ම ඉතාම අමානුෂික විදිහටයි සිදුවෙලා තිබුණෙ. වින්දිතයින් හත්දෙනාම පිරිමි වගේම ඔවුන්ව ඝාතනය කරල තිබුණෙ ඔවුන්ගේ පුරුෂ ඉන්ද්‍රිය කපා දැමීම මගිනුයි. එම ඝාතනයේ ස්වාභාවය අනුවම වින්දිතයින්ට හිමිවෙලා තිබුණෙ පහසු මරණයක් නොවෙයි. විමර්ශනයට අදාල ගොනුවෙ මුල් පිටු දෙක කියවද්දිම මහේෂ්ට තමන්ගෙ අත්දැකීම් වලින් තේරුම් ගියා තමන්ට මේ පාර හැප්පෙන්න වෙලා තියෙන්නෙ දක්ෂ වියරු දාම ඝාතකයෙක් එක්ක කියල. ඝාතකයව ලුහුබදින්න කිසිම සාක්ෂියක් ඉතුරු කරල නැහැ. ඒ වගේම ඝාතකය කිසිම භයක් සැකක් නැතුව තමන්ගෙ ගොදුරු හබා ගිහිල්ල තියෙනව.

අමල්ට කරදරයක් වෙලා කියන ආරංචිය එක්ක දිලිනිට හැම හුස්මක්ම ගිණි අරන් වගේ දැනෙන්න ගත්ත. ගින්දර ආශ්වාස කරල පෙනහලු හරහා මුලු ඇගම ගිණිතියමින් පැතිරෙනව වගේ දැනෙන්න ගත්ත. පොඩි එකාවත් එල්ලගෙන මහා විනාශයක ඉවට පාර දිගේ පහලට දුවන්න ගත්ත. ගෙවල් වැඩිපුර නැති හරියක පාර ගාව ඉදන් ටිකක් ඇතුලට කැළේට වෙන්න මිනිස්සු එකතුවෙලා ඉන්නව පේනවා. දිලිනි ඒ පැත්තට යන්න හැදුවට මිනිස්සු ඒක නැවැත්තුව. ඒ අයට තේරුම්ගියා දිලිනිවත් දරුවවත් ඒ දේ දකින්න සුදුසු නෑ කියල. අමල්ව කට බැදල ගහක එල්ල තිබුණ, ඔහුගේ පුරුෂ ඉන්ද්‍රිය කපා දාල තිබුණ. පැය ගාණක් ඒ විදිහට ඉදල නොලැබිය යුතු ආකාරයේ මරණයක් අමල්ට ලැබිල තිබුණෙ. ඒ වෙලාවෙ මිනිස්සු කම්පා වුණා, හැමෝම කල්පනා කලා කවුද මොකටද අමල්ට මෙහෙම දෙයක් කලේ කියල. ඒ තමයි මේ ඝාතනයන්ගේ ආරම්භය. සතියකට සැරයක් විතර කොහේ හරි තිබිල මේ විදිහටම මරාදැමුණු පිරිමි මළ සිරුරු හම්බවුණා. මියගිය අයගෙ රස්සාවල්, සමාජ පසුබිම මේ කිසිම දෙයක කිසිම සම්බන්ධයක් සමානකමක් තිබුණෙ නැහැ ඒ හැම දෙනාම හොදට උස මහත මිනිස්සු වෙච්ච එක හැර.

නිමාලි SPA එකේ උඩතට්ටුවෙ බැල්කනියට වෙලා පහල ටවුම දිහා බලන් හිටියෙ කිසිම හැගීමක් නැති ඇස් දෙකකින්. මේ දවස්වල වෙන දේවල් එක්ක නිමාලිලට ගණුදෙනුකාරයො ගොඩක් අඩුයි. මිනිස්සු රෑ ගමන් බිමන් පුලුවන් තරම් නවත්තල. කොහොමත් නිමාලිලට වැඩ වැඩි රෑට. නිමාලිත් එක්ක තවත් ළමයි හයදෙනෙක් ඉන්නව මෙතන. නිමාලිලගෙ තැන ටිකක් ප්‍රසිද්ධයි. වෙන නගර වල ඉදලත් මිනිස්සු එනව මෙතන්ට. දේශපාලන හයියකුත් එක්ක මෙතන ආරක්ෂාව ගැන ගැටලුවක් නැති එක තමයි ගොඩක් දෙනෙක් මෙතන්ට ඇදෙන්න හේතුව. ඒ කොහොම උනත් අනිත් තැන්වල වගේම මෙතන වැඩ කරන ගෑණු ළමයි ගැන මුලු ටවුමම බැලුවෙ වෙනස් විදිහට. කඩේකට ගියත් පාරෙ ඇවිදන් ගියත් පිමින්ගේ ගිණිගන්න ඇස්වල රස්නෙත් ගෑණු අයගෙ පිළකුල ඉරිසියාව පිරුණ ඇස්වල ගදත් එයාලට දැනුන. SPA එක තියෙන පාරට හැරෙන්නවත් මිනිස්සු කැමතිවුණේ නැහැ. ඇත්තටමනම් ඒ පාරට හැරෙන්න මිනිස්සු ගොඩක් කැමතිවුණා. ඒත් එයාල සමාජෙ ඉස්සරහ නඩත්තු කරන් යන ව්‍යාජ සදාචාරවාදී ජීවිතයට ඒකෙන් කැළලක් වෙයි කියල මිනිස්සු භයවුණා. නිමාලිල ගාවට එන ගණුදෙනු කාරයො වුනත් නිමාලිල ඉස්සරහ වීරයො වුනාට ඉවර වෙලා යන්නෙ කවුරු හරි දකියි කියල භයේ මූණ හංගගනෙ. ඇත්තටම හරක් මස් කඩයකට නැත්තන් අවසර නැති බාර් එකත් එක්කත් ගේම ඉල්ලන මේ ටවුමෙ නිමාලිලගෙ තැන කිසිම ගැටලුවක් නැත්ව පවතින්න ඔය කාගෙ කාගෙත් මුල් එහෙන් මෙහෙන් නිමාලිල ගාවට ඇදිල තිබුණ එක තමයි එකම හේතුව වුනේ.

සිරිපාල පොල්කඩන එක, වතු සුද්දකරන එක වගේ වැඩ කරල ජීවත්වෙච්ච මනුස්සයෙක්. කාටවත් කරදයක් නැතුව පාඩුවෙ තමන්ගෙ දුව නෙත්මියි නෝන යසෝමයි එක්ක ජීවත්වුණේ. හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තෙ දවසක් කුළියට මිල්ටන්ගෙ වත්ත සුද්ද කර කර ඉද්දි සිරිපාලට නයෙක් ගහනවත් එක්ක. වටේ පිටේ හිටපු අය එකතුවෙලා අමාරුවෙන් පෙට්‍රල් තියෙන ත්‍රීවිල් එකක් හොයාගෙ සිරිපාලව ළගම ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඒත් ඒ වෙද්දි ඒ ඉස්පිරිතාලෙවත් පළාතෙ වෙන කොහෙවත් නයි විසට දෙන්න බෙහෙත් තිබ්බෙ නෑ. කට්ටිය බෙහෙත් හොය හොය දගලන අස්සෙ සිරිපාල මේ ලෝකෙ අතඇරල යනව. ඊට පස්සෙ සිරිපාලගෙ නෝන කුළී වැඩ කරකර බොහොම අමාරුවෙන් නෙත්මිට උගන්නනව. නෙත්මිත් නිවාඩු දවස්වලට පුලුවන් විදිහට අම්මට උදව් වෙනවා. නෙත්මිලව අර්බුදයේ පතුලටම ගිලෙන්නෙ ඊළගට. නෙත්මිගෙ අම්ම අසනීප වෙනවත් එක්කයි. අම්මව ජීවත් කරවන්න ඉක්මනට ඔපරේෂන් එකක් කරන්න වෙනව කියල ඩොක්ටර්ස්ල කියනව. ඒකට ලොකු වියදමක් යනවත් කියනව. නෙත්මිගෙ ඉස්කෝලෙ ගමනත් එහෙම්ම නතරවෙනවා. දැන් නෙත්මි කොහොමද අම්මව හොද කරන්න සල්ලි හොයන්නෙ?

ජීවිතය අයදිමින් පාරක් පාරක් ගානේ ගෙදරක් ගෙදරක් ගාණේ ඇවිදින ගැහැණු ළමයෙක්. නගරයේ හැමදේම ඉස්සරහාට ගියා. ඒත් එක ගෑණු ළමයෙක් නතරවෙලා ජීවිතය ඉල්ලුව. ඒ කෙල්ලගෙ ජීවිතයට මේ නගරයම වගකියන්න ඕනෙ කියල කාටවත් හැගීමක් තිබුන් නෑ. දෙවියන් සහ යක්ෂයාත් යහපත හා අයහපතත් දෙකක් නොව එකම දෙයක මුහුණත් දෙකක් කියල කාටවත් හැගීමක් තිබුණෙ නැහැ. දෙසැම්බර් මාසෙ හීතලවත් නෙත්මිට විවේකයක් ගන්න හේතුවක්වුනේ නැහැ. ඇය උපකාරයක් අයදිමින් ඇවිද්ද. මේ අතරයි ඇයට දෙවියෙක්ව හම්බෙන්නෙ ඇයට උදව් කරන්න ඉදිරිපත්වෙන. ඒ දෙවිය ඇයගෙ අතින් අල්ලගෙන අර නගරයට එන පාර දිගේ පල්ලම් බැස්ස. ගෙවල් අඩු පාලු හරියෙදි දෙවියො ඇයවත් අරන් කැළේ දිහාට ගියා. කැලේ ඇතුලෙදි දෙවියො එයා අතුලෙම ඉන්න යක්ෂයා එළියට ගන්නව නෙත්මි බලාගෙන හිටිය. ටික වෙලාවකින් පස්සෙ ආපහු දෙවියො කැලෙන් එළියට ඇවිත් දිගටම ඇවිදන් ගියා. නෙත්මි නතරවෙලා හිටිය. එතනින් පස්සෙ ගොඩක් දෙවියො සාන්තුවරු නෙත්මි හම්බෙන්න ආව. නගරය ඉස්සරහට ගියා නෙත්මි නතරවෙලා හිටිය.

ඒ යසෝමගෙ මළගෙදර, හැමෝම අවිල්ල නෙත්මිට තමන්ගෙ කණගාටුව ප්‍රකාශ කලා. නෙත්මි හැමෝම එක්ක හිනාවුනා. යක්ෂයින්ගෙන් ටිකෙන් ටික සල්ලි දොවනකන් ඉන්න තරම් කාලයක් යසෝමට තිබිල නෑ. ගුණවර්ණනා, ස්තුති කතා ඉවරකරල කට්ටියම එකතුවෙලා යසෝම එක්කම නෙත්මිවත් උස්සන් ගිහින් වළලල දැම්ම. එදා රෑ මළබතට ටවුමෙම සෙනග එකතුවෙලා යක්ෂයාගෙ පෙකනි වැල කපල එළියට ගත්ත.

යක්ෂයා නැගී සිටින විට තමන්ගේ ගොදුර හාවෙක්ද වෘකයෙක්ද කියල හොයන් නෑ. යක්ෂයාගේ නැගී සිටීමට දායකවූවන්ද නරඹන්නන්ද කියල හොයන් නෑ. ජීවිතය අයදිමින් කුඩා ගැහැණු දරුවෙකු ඇවිද ගිය මාවත් දිගේ අන්ධකාරය පැතිර යන්නට ගත්ත. නායයන කන්දක තමන්ගේ ගෙදරට වෙලා අනිත් ගෙවල් ගිලා බහින විදිහ බකන්නිලන් බලන් හිටපු නගර වැසියො එහි විපාක ගෙවමින් ඉන්නව. සති කිහිපයක් ගතවුනත් මහේෂ්ට හොයා ගන්න පුලුවන් වුන එකම හෝඩුවාව වුනේ මේ හැම ඝාතනක් වෙච්ච තැනක් කිට්ටුවකම තරුණියක් හිටිය බව විතරයි. මේක ආරංචි වෙච්ච නගර වැසියො මේක මෝහිණීගෙ වැඩක් කියල විශ්වාස කරන්න ගත්ත. හැබැයි මේ මෝහිණීට දරුවෙක් හිටියෙ නෑ. සුදු සාරියක් වෙනුවට පාට පාට ගවුමක් ඇදන් හිටියෙ. කොහොම නමුත් මහේෂ් තමන්ගෙ විමර්ශනය ඉස්සරහට අරන් ගියා.

මානසික රෝහලේ විශේෂ රැදවියන් සදහා වෙන්කරන ලද කොටසේ වසර කිහිපයක සිට රදවා තබා සිටි මිනීමැරුම් දහයකට චෝදනා ලැබූ තරුණියක් හදිසියේම මියගොස් තිබුණ. මිනිසුන් දහදෙනෙකු වධදී මරදමා තිබූ ඇය සිටි කුටියට ආහාර පාන ලබාදීමට හෝ රෝහලේ සේවකයින් ගියේ චකිතයකින්. කොහොම වුනත් මේ වගේ කුඩා තරුණියකට එවැනි දෙයක් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය සියලු දෙනාටම තිබුණ. රෝහලේ සිටි කාලය පුරාවටම ඇය කිසිවෙකු සමග කතා බහ කලේ නැහැ. ප්‍රතිකාර කිරීමට පැමිණි වෛද්‍යවරුන් සමග හෝ ඇය අදහස් ප්‍රකාශ කලේ නැහැ. ඇය ගුප්ත නිහඩ බවක් දරාගෙන මරණය වෙත ගමන් කලා. ඒ තරුණියගෙ මරණය මේ කතාවෙ ආරම්භයවත් අවසානයවත් නෙවෙයි. ඒක නිකම්ම නිකන් අතරමග නැවතීමක් විතරයි.

ටවුමෙ ඉදන් එන CTB බස් එකේ අද සෙනග පිරිල. ඉස්කෝලත් පටන් අරන් හින්ද ඇගිල්ලක් ගහන්න ඉඩක් නැහැ. දොරේ ඉදන් එල්ලිලා සෙනග. බස් එක පහලට බහිද්දි නගර මායිමේ අන්තිම හෝල්ට් එකෙන් ගෑණු ළමයෙක් බස් එකට නැග්ග. අනිත් ළමයි වගේ එයා ඉස්කෝල ඇදුම ඇදල හිටියෙ නැහැ. ඒ ළමය සෙනග මැද්දෙන් රිංග රිංග ගිහින් මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලුව. හුස්මක් ගන්නවත් ඉඩක් නැතුව හිරවෙලා උන්න මිනිස්සුන්ට ඒ ළමය ගැන හිතන්න පුලුවන් කමක් තිබුණ් නෑ. ඒ වෙනුවට එයාලට ඒක වදයක්වුණා. අන්තිමට කොන්දොස්තර ඒ ළමයව බස් එකෙන් බැස්සුව. බස් එක පල්ලම් බැහැල ඉස්සරහට ගියා. අර ගෑණු ළමය බස් එකෙන් බැස්සුව තැනට වෙලා දිගටම බස් එක ගිය දිහා බලන් හිටිය.

 

රිවිහාර පින්නදුව

No comments:

Post a Comment