Thursday, September 2, 2021

හැගීම් වංකගිරියක අතරමංව


 හැගීම් වංකගිරියක අතරමංව

මෙය ඝාතකයෙකුගේ කතාවකි. ඔබ වඩා කැමති මා මේ කතාව කියනවටද? නැතනම් ඝාතකයාගේ කෝණයෙන්ම ඒ කතාව අහන්නද? අපි ඝාතකයාට කතාව කියන්න දෙමු ඒත් ඔයාම මේ කතාව ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින තරම් පැහැදිලිව කාටවත් කතාව කියන්න බැරිවෙයි. ඔහු මේ වෙලාවෙ ගොඩක් කලබල වෙලා ඉන්නෙ. සමහර දේවල් මගඇරේවි. ඒත් අපි බාධා නොකර අහන් ඉමු.

මං අහල තියෙනව අයිස් වැසි ගැන, මාලු වැසි ගැන ඒත් මේ මං දකිනවමයි ලේ වැස්සක්. තාමත් රස්නෙවත් නොගිය මිනිස් ලේ වැස්සක්. වැහි ලේ පුංචි දොළ පාරවල් හදාගෙන මගෙ කකුල් අස්සෙන් ගලනව. වැස්සට තෙමුනම මිනිස්සුන්ට කිවිසුම් යනව, හෙම්බිරිස්සාව හැදෙනව සමහර වෙලාවට උණ ගැනෙනව. ඒත් ලේ වලට තෙමුනම මිනිස්සුන්ට ඉකි ගැහෙනව, වචන වලට හරවන්න බැරි වේදනාවකින් භයකින් පපුව හිර කරනව. අන්තිමට ආතක් පාතක් නැති හැගීම් වංකගිරියක අතරමං වෙනව. අකුණු ගහනව වගේ ලේ පෙරාගත්ත සදුන්ගෙ රූපය මං ඉස්සරහ ඇස් නිලංකාරකරගෙන මතුවෙලා නැතිවෙලා ගිහින් තත්පරයක් යද්දි ගොරවන හඩ ඇහෙනව. හොදට අහන් හිටියොත් තේරෙනව ඒ සදුන්ගෙ විලාපය කියල. පුංචි කාලෙ ගොරවද්දි අම්ම ගාවට දිව්ව වගේ අදත් මං දුවනව ඒත් කොහෙටද කියල දන් නැතුව දුවනව. ලේ වැස්සට තැනින් තැන ලේ පිරුණු මතක වළවල් හැදිල ඒවගෙ වැටෙන් නැතුව දුවන්න ඕනෙ. ඒත් එක වළකටවත් වැටෙන් නැතුව දුවන්න බැහැ. ධාරානිපාත වැස්ස ගැන වගේ වගක් නැතුව වේදනාවේ වැහි ළිහිණි අහස පුරාම පියාඹනව. වැහි අන්ධකාරය රෑ දවාල ගැන හැගීම් නැති කරල දාල. ඇටමිදුලු වෙනකන් කිදා බහින හීතලක් ඇරෙන්න කිසිම දෙයක් නෑ.

තවම මට හීනයක් වගේ, පුංචි කාලෙ මදුරුවෙක් මගෙ අතින් මැරුණත් අයියෝ ගාපු මං මනුස්සයෙක්ව පිහි පහරවල් දහයක් ඇනල මරල දානව. පිහියක් තවත් මිනිහෙක්ගෙ ඇග ඇතුලට කිදා බහිද්දි අනින මනුස්සයට මොන වගේ හැගීමක් දැනෙනවද කියල පිහි පාරවල් දහයක් ඇනලත් මං තාම දන්නෙ නැහැ. ඒක නිකන් උදේ ඇහැරෙද්දි අමතකවෙලා ගිය භය හිතෙන හීනයක්වගේ, මොකකට හරි භයවුණා කියල විතරයි දන්නෙ. සදුන් අපේ ගෙදර ඉස්සරහ කාමරේ කුළියට අවෙ දැනට අවුරුදු දෙකක විතර ඉස්සර. සදුන් හැමවෙලේම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒත් කිසිම වැදගැම්මකට නැති මනුස්සයෙක්. බොරුවට කාලෙ කකා ඉන්නව. හැමදාම රෑට සදුන්ගෙ ගිටාර් සද්දෙයි එයා සිංදු මුමුණන සද්දෙයි ඇහෙනව. රෑට ඔෆිස් එකේ වැඩකරන වෙලාවට මං නිමාලිත් එක්ක සදුන්ට බැන්නට වැඩක් නැත්තන් වද නොදී නිදා ගන්න දැනගන්න ඕනෙ කියල, නිමාලිනම් තනියම ඇදට වෙලා හරිම ආසාවෙන් ඒ සිංදු අහන් හිටිය. සමහර දවස්වලට උදේ ඒ සිංදු නිමාලිත් මුමුණනව. ඒත් ඉතිං එතන ලොකුවට කලබල වෙන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ.

ටික කාලයක් යද්දි මට නිමාලිගෙ වෙනසක් දැනෙන්න ගත්ත. මං එක්ක හිටියට නිමාලි හිතින් වෙන කොහෙ හරි ඉන්නව වගේ හැගීමක් මට දැනෙන්න ගත්ත. මං හැමදාම පාන්දරම වැඩට ගිහින් ඕටීත් කරල රෑ වෙලා ගෙදර එනව. ඉදල හිටල ගෙදර හිටපු දවසට මං දකිනව සදුන් දවල් වෙලා ගෙදරින් යනව. ඒක ගෙදරට එන වෙලාව කියල එකක් නැහැ. මට ඒව ගැන හිතන්න කාලයක් තිබ්බෙ නැහැ. මට ඊට වඩා හිතන්න දේවල් තිබුණ. මගෙ ඊළග ප්‍රමෝෂන් එක ලබන අවුරුද්දෙ ඒකට මං මහන්සිවෙලා වැඩකලා. නිවාඩු දවසක මං කාමරේට වෙලා වැඩකර කර ඉන්නකොට මට ඇහුන සදුනුයි නිමාලියි මිදුලට වෙලා කතා කර කර ඉන්නව. ඒ දෙන්න හරිම සතුටින් සැහැල්ලුවෙන් කතා කර කර ඉන්නව. හරියට අපි දෙන්න යාලු වෙලා හිටපු කාලෙ වගේ. නිමාලියි මායි අන්තිමට ඒ වගේ කතා කර කර හිටපු දවසක් ගැන මට මතකයක්වත් නැහැ. චරිත්‍රානුකූල විවාහයක් වගේ අපේ සම්බන්ධකමුත් චාරිත්‍රානුකූල වෙලා. මාත් ටිකක් ළං වෙලා එයාල මොනවද කතා කරන්නනෙ කියල අහන් හිටිය. ටී20 වර්ල්ඩ් කප් එකට සෙල්ලන් කරයි කියල හිතන අපේ ටීම් එක ගැන, ළගදි රිලීස් වෙච්ච ෆිල්ම් එකක් ගැන මේ විදිහට එකකට එකක් අදාල නැති තේරුමක් නැති ගොඩක් දේවල්. කිසිම තේරුමක් ජීවිතේ අරමුණක් නැති කාලකණ්ණි ජීවිත.

සාලෙ එක බිත්තියක නිමාලිගෙයි මගෙයි වෙඩින් ෆොටෝ එකයි තව ඉස්සර ගත්ත ෆොටෝස් එල්ලල තියෙනව. ඒවගේ හැම තිස්සෙම දුවිලි බැදෙනව. නිමාලි ගොඩක් මහන්සි ගන්නව හැමදාම ඒව පිහදාල කළින් වගේ තියාගන්න ඒත් ඒක හරියන්නෙ නැහැ. අපි මේ ගෙදරට මුලින්ම එද්දි ඕනෙම බඩු ටිකක් ඇරෙන්න මොකුත් තිබුණෙ නැහැ. හදිස්සියෙ කවුරු හරි ආවොත් වාඩි වෙන්න දෙන්න දෙයක්වත් තිබුණෙ නැහැ. ඒ හින්දම ගේ ඇතුලෙ ඉඩ ඕනෙ තරම් තිබුණ හැබැයි අපේ හිත් පිරිල තිබුණ. ඊට පස්සෙ අපි ගෙවන්න එක එක දේවල් ටික ටික ගෙදරට ගත්ත. දැන්නම් ගේ පිරෙන්නම බඩු හැමතැනම. ඒත් හිතේ නම් ලොකු ඉඩක් හිස්වෙලා වගේ දැනෙනව, ඉදල හිටල රෑට නින්ද යන එක පරක්කුවුණු වෙලාවට. හැබැයි ඒ ගැන දිගටම වද වෙන්න ඕනෙ වුනේ නැහැ. මොකද දවල්ට වෙන වද වෙන්න වෙන දේවල් ඕනෙ තරම් තිබුණ.

සමාවෙන්න මං පොඩ්ඩක් මැද්දෙන් පනිනවා. අපේ ඝාතකයයි නිමාලියි යාලුවුනේ කොහොමද කියල තත්පරයක් අරන් අහගත්තොත් මෙතනදි හොදයි කියල හිතනව. මං හිතන්නෙ ඒක අහගන්න හොදම කෙනා නිමාලි.

“එයා කැම්පස් එකේ අපිට උඩ බැජ් එකේ, හැබැයි වෙන ෆැකල්ටියක. කැම්පස් එකේදි මුලින්ම මම එයාව දකින්නෙ මොකක් හරි ෆැකල්ටියෙ වැඩකට අපේ කැන්ටිමේ එයාල සිංදු කියන්න ආව. එයා ගිටාර් එක ගගහ මේසයක් උඩ නැගල සිංදු කියපු හැටි මං කට ඇරන් බලන් හිටියෙ. මාත් ටිකක් කලාව පැත්තට බරයි. කොහොම හරි එයත් එක්ක මුලින්ම කතා කරන්න ලැබුනෙ කැම්පස් එකේදි නෙමෙයි. මහජන පුස්තකාලෙ තිබුණ පොත් එළි දැක්වීමකදි. මං එයාව දැක්කෙත් නෑ. වැඩේ ඉවර වෙලා තේ බොද්දි නංගි ඔයා අපේ කැම්පස් එකේ නේද කියල එයා අපේ කතාව පටන් ගත්තෙ. එතනින් එහාට කැම්පස් එක ඇතුලෙ එළියෙ අපි දෙන්න ගොඩක් තැන්වල ඇවිද්ද, ගොඩක් දේවල් කතා කලා, ගොඩක් දේවල් කලා. අන්තිමට කැම්පස් අවුට් වෙලා අවුරුදු දෙකකට පස්සෙ අපි දෙන්න කසාද බැන්ද”

එදා නිමාලි අසනීපෙන් වගේ කියල ගෙදර හිටිය. මට හදිස්සියෙම රෑ ප්‍රසන්ටේෂන් එකක් වැටුණ ඒ හින්ද ඒකට ලෑස්තිවෙලා යන්න මං වේලාසන ගෙදර ආව. මං ඉස්සරහ දොර ඇරගෙන කෙළින්ම කාමරේට ආව, එතනින් කුස්සියට ගියා කොහෙවත් නිමාලි නැහැ. පස්සෙ මට සදුන්ගෙ කාමරෙන් කතාකරනව ඇහුන. හිතන්නෙ බලන්නෙ නැතුව මගෙ කකුල් වැඩකරා. මං එක පාරටම කඩා වැදුණ කාමරේට. නිමාලියි සදුනුයි ඇදට වෙලා කතා කර කර ඉන්නව. ඒක නිකන් හැගීම් සැලඩ් එකක්. දුක,වෛරය,ලැජ්ජාව,කළකිරීම මේ විදිහට හැගීම් සිය ගාණක් ඔලුව අතුලෙ කැරකෙන්න ගත්තා. වැව් බැම්ම කැඩිල ගියාට පස්සෙ සොරව්වෙන් මොනව පාලනය කරන්නද? මං දිහාට දුවගෙන ආපු නිමාලිගෙ කනට එකක් ගැහුව හරි තල්ලු කරල දැම්ම හරි මට මතක නැහැ. මට ඇරියස් එක තිබුණෙ සදුන එක්ක.

සදුන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව භයවෙලා හිටිය. මං ගහන්න ගත්ත, උපන්දා සිට අහල තියෙන කුණුහරුප ඔක්කොම කිව්ව ඒත් ඒ මොකක්වත් ප්‍රමාණවත්වුනේ නැහැ. ඇත්තටම මුන් දෙන්නට අඹ කන්න වෙන දවසක් තිබුණෙම නැද්ද? ඒකත් මේ වෙලාවෙම? අඹ කපන්න ගෙනාපු පිහිය ඇද ගාව ටීපෝවෙ ඉදල අනේ මාව වඩා ගන්න කියල කෑ ගහන්න ගත්ත. ඒ විලාප සද්දෙ කවද හරි මං මැරෙනකම් මගෙ කන් දෙක ඇතුලෙ දෝංකාරදේවි. මුලු කාමරේම සදුන්ගෙ ලෙයින් පෙගෙනවත් එක්කම මේ ලේ වැස්ස පටන් ගත්ත. සිහිය නැතුව වැටිල හිටිය නිමාලිට ටික ටික සිහිය එන්න ගත්ත. මං එළියට පැනල ලේ වැස්සෙම දුවන්න ගත්ත. දුවන අතරෙ මට ඇහුන නිමාලිට සිහිය ඇවිත් කෑ ගහනව.

මහ ලේ වැස්ස මැද්දෙ මට හොදටම දාඩිය දාල. කවද වෙනකන් මෙහෙම දුවන්නද? මං අන්තිමට ගෙදරට ආයෙම එන්න හිතුව. මෙහෙට පොඩ්ඩක්වත් වැහැල නෑ. ඒත් මාව ලේ වැස්සෙන් තෙතබරිත වෙලා. ලෙයින් නෑවිච්ච මාව දකින හැමෝම කලබල වෙයි කියල හිතුවට කාටවත් ගාණක් නෑ. හමෝම තම තමන්ගෙ වැඩවල. මේ වෙද්දි අපේ ප්‍රාර්ථනා ලේන් එක ගිණි අරන් ඇති කියල හිතුවට කිසිම හැල හොල්මනක් නෑ. තාම පොලිසියවත් ආපු පාටක් පේන්න නැහැ. අල්ලපු ගෙදර ඇල්බට් අන්කලුත් මූණටම හම්බුනා. කිසිම වෙනසක් නෑ මිනිහ මාත් එක්ක පුරුදු විදිහට ඉවරයක් නැතුව ඕපදූප කියවන්න ගත්ත. වීරසේකර අන්කලුයි ඇන්ටියි අද උදේ දාගත්ත වලිය ගැනත් මට කිව්ව. එච්චර ඇලට් එකේ ඉන්න මනුස්සය තාම අපේ ගෙදර වෙච්ච මිනීමැරුම ගැන දන් නැත්තෙ කොහොමද? ගේට්ටුවත් වහල, දොරත් වහල කිසිම හැල හොල්මනක් නෑ. ඒත් ගේ ඇතුලෙ ටීවී එක දාල. මට මොකුත් තේරෙන් නෑ. දොර අරින්න හැදුවට ලොක් කරල. දොර අරින්න හදපු සද්දෙ ඇහිල නිමාලි ඇතුලෙ ඉදල කවුද? කියල ඇහුව, මට මොකුත් කියා ගන්න බැරුව ගොලුවුණා. එයා ජනේලෙන් බලල දොර ඇරිය.

මොකද මේ අද වෙලාසනම? කෝ කාර් එක?

සදුන්, ඇයි ඔයා කතා කරන් නැත්තෙ?

ඔයාට මොකුත් අසනීපයක්ද?

- නිමාලි, මගෙ ගිටාර් එක කෝ?

අර ඉස්සරහ කාමරේ තියෙන්නෙ, මොකද එක පාරටම. පුදුමයි, කාලෙකින් ඔයා ඒක ඇල්ලුවෙවත් නෑ.

අඩුම ගාණෙ ඒ කාමරේටවත් ගියෙවත් නෑ

එදා රෑ ප්‍රාර්ථනා ඇවනිව් එකේ කාලෙකට පස්සෙ ආයෙත් ගිටාර් එකත් එක්ක සදුන්ගෙ කටහඩ ඇහෙන්න ගත්ත.


රිවිහාර පින්නදුව

( අපිට අපේම ඝාතකයො වෙන්න වෙලා. අපිට අපිවම මරා දාන් නැතුව සාර්ථක වෙන්න බැරි සමාජයක්. ඇත්තටම අපිම මරාගත්ත අපි ජීවත්වුණානම් මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන තැනක් වෙන්න තිබ්බා)


1 comment:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete