Tuesday, November 10, 2020

එයා කැමති රතු රෝස වලට

 එයා කැමති රතු රෝස වලට

ඇහැරිලා තත්පර කීපයක් යනකන් කල්පනා කලේ මං මේ කොහෙද ඉන්නෙ කියල. කි‍්‍රෂාන්ගෙ බෝඩිමේ එයත් එක්ක නතර වෙන්න ඇවිත් දැන් දවස් තුනක්, ඒ වගේම අද තමයි අන්තිම දවස. කි‍්‍රෂාන් තවම නිදි. එයා නිදන් ඉද්දි එයා දිහා බලන් ඉන්න මං හරි ආසයි. ඒත් ඒ වෙලාවට මීට අවුරුදු තුනකට කලින් අපි හම්බවෙච්ච දවසෙ ඉදල ඒ වෙලාව වෙනකන් අපි දෙන්නගෙ ජීවිතේ හයිලයිට් එකක් මට මතක් වෙන්න ගන්නවා, හැම වෙලාවෙම ඒක ඉවර වෙන්නෙ ඔලූවට බර ගතියක් ගෙනල්ලා. කාමරේ එක කෙලවරක බිත්තිය මුල්ලෙ සතියකට දෙකකට සැරයක් පහන තියන බුද්ධ ප‍්‍රතිමාව. ඇද ගාව බිත්තියෙ චේගෙ පිංතූරයක්. ඒ කි‍්‍රෂාන්ගෙ හැටි එහෙම ලොකුවට බෞද්ධයෙකුත් නෙමෙයි, පක්ෂෙට ලොකුවට වැඩකරන්නෙත් නෑ. හැබැයි වෙසක් එකකට පන්සලටයි, මැයි දිනේට රැුළියටයි යන්නනම් වරද්ද ගන්නෙ නැහැ. රෑ දාපු ෆෑන් එක තාම ඔලූව දෙපැත්තට කරකවන්නෙ ඒ තාලෙට නෙට් එක නටව නටව. සද්ද නොකර ඇදෙන් බැස්සෙ ජීවිතේ අන්තිම පාරට කි‍්‍රෂාන්ට උදේට තේකක් හදල දෙන්න. එයාගෙ අපිළිවෙලින් ලස්සන වෙච්ච මේ කාමරේ මොන තරම් ආදරයක් පිරිල තියෙනවද? ඒත් මේ කාමරෙන් එළියෙ ලෝකෙට මේ අදරේ ආක්‍යානයන් තේරුණේ නැහැ. ඒ හින්ද අපිට වුණා ඒ ආදරෙත් එක්ක මේ කාමරේ හැංගෙන්න. එත් දවසින් දවස සතුරො අපිව වටකලා. අපි තේරුම් ගත්තා තව දවසක් දෙකක් යද්දි මේ කාමරේ ආරක්ෂක ප‍්‍රකාර බිදගෙන ඒ සතුරු සේනාව අපේ ආදරේ ආක‍්‍රමණය කරනව කියල. අපිට පහුබහින්න තැනක් නෑ, උදව්වට එන්න මිතුරු සේනාවලූත් නෑ.

එයා කැමති රතු රෝස වලට, මං කැමති සුදු රෝස වලට කොහොම හරි අපි දෙන්නම කැමතියි රෝස වලට. ගිය නිවාඩුවට නුවරඑළියෙ ගිය වෙලාවෙ අපිට හමුබුණා රතු සුදු කලවං වෙච්ච මල් පිපෙන රෝස පැළයක්. අපි ඒක කි‍්‍රෂාන්ගෙ බෝඩිම ඉස්සරහ මිදුලෙ හිටෙව්ව. නුවරඑළියෙන් ගෙනාපු හින්ද පැලකරගන්න සෑහෙන්න මහන්සිවෙන්නවුණා. අපි ළමයෙක් බලා ගන්නව වගේ ඒ රෝස පැලේ බලාගත්තෙ. ඊයෙ ඒකෙ පොහොට්ටුවක් හැදිල තිබුණ අද ඒ මල පිපේවි. අන්තිම දවසෙ අපි දෙන්න ඉන්නෙ අපේ ආදරේ මතක සටහන් වල අද හැන්දෑවෙනකන් ඇවිදින්න. ඒවා ආයෙ ආයෙ මතක් කර කර හිනාවෙන්න, අඩන්න මොකක් හරි කමක් නෑ හැගීමක ගැඹුරටම කිමිදෙන්න.

ස්කූටියෙන් අපි මුළින්ම අවෙ නුගේගොඩ Fab එකට. අපි දෙන්න මුළින්ම තනියෙන් කතා කරන්න ආවෙ මෙතන්ටx එදා වගේම අදත් අපි Ice Coffee දෙකක් බිබී කතා කලා. පපුව ඇතුලෙ පුපුරන්න තියෙන ගිණකන්ද වහගෙන අපි Ice Coffee සීතල ගිණිගත්ත නහරවල රැුදෙව්ව. KFC එක Macdonald එක නුගේගොඩ කෑම කඩ එකක් ගාණෙ අපේ මතක ඇහිද ඇහිද ඇවිද්ද. අපි දෙන්නම දැනගෙන ඒත් අපි අපිටම හංගගෙන හිටිය, ඒ ඇත්ත නැමැති නිරුවත වහගෙන හිටිය විනිවිද පෙනෙන තුනී රෙදි කඩ ඉවතලා අපේ පේ‍්‍රමය නිරුවත් කර අපි දෙන්නට දකින්නට ඉඩ හදපු නාවල වැලිපාක් එකේ අපි ගොඩක් වෙලා හිටිය. එයා මට ආදරෙයි කියපු, ඔයා  ඕක කියනකන් මං බලන් හිටියෙ කියල මං කියපු අපි දෙන්නගෙ බංකුව උඩ අද තවත් කපල් එකක් වාඩිවෙලා. බැලූ බැල්මට එයාලගෙ ආදර කතාව අපේ තරම් වෙහෙසකර වෙන එකක් නැහැ, ආදරේ බේරගන්න දුවල දුවල හතිවැටෙන තරම්. 

ඇත්තටම ඒ දවස්වලත් අපිට අනිත් ආදරවන්තයොන්ට වගේ දුර ඈත හීන තිබුන් නෑ. අපි එහෙම හීන දකින්න භයවුණා. මොකද අපි දැනන් හිටිය මේ ගමන කොහෙන් හරි වැඩි දුරක් යන් නැතුව අපිට නතර කරන්න වෙනව කියල. ඒත් අපි ඇවිදන් ගියෙ කිලෝමීටර් ගාණක් වුණාට අපි දෙන්න අපි දෙන්න ඇතුලට අලෝකවර්ෂ ගාණක් කිදාබැහැල තිබුණ ආපහු හැරිල එන්න පාරක්වත් හොයාගන්න බැරිවෙන්න. හිනාවෙන එකත් පරිස්සමට හිතල බලල කරන්න  ඕනෙ අයෝජනයක් කියල හිතන මිනිස්සු, ළග ඉන්න එකෙක් මැරිල වැටුනත් මිනීපෙට්ටි සාප්පු අයිති එකෙක් ඇරෙන්න වෙන කවුරුත් හැරිල නොබලන උන් අපේ ආදරේ ගාව ඇස් උඩ ඉන්දන් බලන් ඉන්නව අපි දැක්ක. අපේ ආදරේට ඔරව ඔරව උන් ස්තී‍්‍ර දූෂකයන්ව පාර්ලිමේන්තුවට යවනව අපි දෙන්න බලන් හිටිය. අපිට මේ ලෝකෙ තේරුනේ නැහැ, ලෝකෙට අපිව තේරුනෙත් නෑ, අපිට වෙනස් වෙලා මේ ලෝකෙට තේරෙන අය වෙන්න  ඕනෙ වුනෙත් නෑ.

Galle Face එකේ ඉස්සො වඬේ වලටත් අපේ ආදර කතාවෙ වෙනමම පරිච්ෙඡ්දයක් වෙන් වෙනවා. Galle Face එකට පේන්නෙ බටහිර මුහුද. අපි දෙන්න හැන්දෑවල් ගණනාවක් ආසාවෙන් බලන් ඉදල තියෙන්නෙ ඉරේ වේදනාබර වෙන්ව යාම දිහා. අද අපිට පේනව දැනෙනව ඉරයි අහසයි දරාගෙන හිටපු ඒ වේදනාව. Galle Face එකත් හරියට අපේ ආදරේ වගේ, එක පැත්තකින් වරාය නගරය අනිත් පැත්තෙන් හතර අතේ බලන් ඉද්දි අහසට උස යන සුවිසල් ගොඩනැගිලි හැමෝම බලන් ඉන්නව Galle Face එක ගිළ ගන්න.  වේදනාවන් දරා ගන්න බැරි තැන ඉර සටන අතඇරල මුහුදෙ ගිළෙද්දි අදුර කොළඹ වහගන්න ගත්ත. නෙළුම් කුළුණෙ ලයිට් දාල. අපි දෙන්න ඒ දිහා බලාගෙන හිටිය. නෙළුම් කුළුණ ගොඩක් උසයි.

පාරට හැරෙන තැන සයිවර් කඩෙන් අපේ පුරුදු කොත්තුව කාල අපි දෙන්න බෝඩිමට ආව. බෝඩිමට ආපු ගමන්ම කවදාවත් නැතුව කි‍්‍රෂාන් බෝඩිම අස්කරන්න ගත්ත. ඒකෙන් අපිළිවෙල ලස්සන හැඩිවුණා. අපිට වෙන් වෙන්න වෙලාව ඇවිත්. අපි දන්නව තමන් ආදරේ කරන දෙයක් වෙනුවෙන් තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් සටන් වදින්න  ඕනෙ. පරාජය භාර අරගෙන පහුබහින එකෙන් මොකුත් ලැබෙන් නැහැ. ඒත් අපි දෙන්න අවුරුදු තුනක් තිස්සෙ හැප්පුනා. දැන් අපි දෙන්නටම මහන්සියි. තවත් මේක කරන්න බැහැ.  බුදු පහන පත්තුවෙද්දි බිත්තියෙ හිටපු චේ අපි දිහා බලන් ඉද්දි කි‍්‍රෂාන් එයාගෙ අන්තිම හාදුව මට දුන්න.

⋆⋆⋆⋆⋆

මං මේ කතාවට අදාලම නෑ. උදේම ආරංචිය ආවෙ පල්ලෙහා බොඩිමේ දෙන්නෙක් වහබීල මැරිල කියල. මාත් දඩිබිඩියෙ කුණු කෙළ පිටින්ම දුවන් ගියා. වැට දිගට මිනිස්සු පිරිලා පොරකනව. බෝඩිම ඉස්සරහම රෝස පැළේක  ලස්සනට රෝස මලක් පිපිල. ඒ රතු සුදු කලවම් වෙච්ච රෝස මලක්. ඒත් කවුරුත් ඒ ලස්සන රෝස මල දැක්කෙ නැහැ. හැමෝම කටවල් ඇරගෙන කම්මුල් අතේ තියාගෙන බලන් හිටියෙ වැලේ තිබුණු සයිස් දෙකක පිරිමි යට ඇදුම් දෙකක් දිහා.


රිවිහාර පින්නදුව

ප.ලි.

1. ජීවිතයෙන් පලා යාමෙන් කිසිදු ප‍්‍රශ්නයකට විසදුමක් නොලැබෙයි.

2. යම් ගැටළුවකට මුහුණ දෙන පිරිසකගේ අර්බුදය පිටතින් බලා සිට අවබෝධ කර ගැනීමේ සීමා පැවැතිය හැක.

No comments:

Post a Comment