Saturday, December 19, 2015

පේ‍්‍රමයේ ලියුකේමියාව


පේ‍්‍රමයේ ලියුකේමියාව


හැකිවේනම් ගණින්නට තත්පර
ඇසෙන තුරු කටහඩක්
ඇසට කාන්සිය ඇත්නම්
දකිනතුරු එක රුවක්
ඉඩ ලැබෙන ඇසිල්ලක
මවයිනම් සිහින කප්පරක්
ඉතා දිගු විනාඩි
ඉතා කෙටි පැය
කාලය සාපේක්ෂයි
සිහිකරයිනම් අයින්ස්ටයින්
ඉතිං ඔබ ආසාදිතයි
ඒ සොදුරු රෝගයෙන්
කොච්චර තිත්ත කසාය බිව්වත්
බෙහෙත් ඇඟට පත්තියන් නොවෙන
සිරුරම රුපියල් සත වලින්
කිරා මැන බැලෙන කල
ඒ රෝගයට
සිරවෙන්න දිය හැකිද
බෙහෙත් තුණ්ඩු බිල්පතක
සූරලා ඉවත ලන
හෙම්බිරිස්සාවක් නොවී
පේ‍්‍රමයට ඉඩදෙන්න
ලියුකේමියාවක් වෙන්න
ලේ ඇට මිදුළු විනිවිදින

(රිවිහාර පින්නදුව)

Sunday, December 13, 2015

කවියන් නොවේ කෙරුමන්


කවියන් නොවේ කෙරුමන්


කවියෙක්දැයි නොදන්නෙමි
එනමුදු ලියන්නෙමි
ලියන උන් කවියන්නම්
මමත් කවියෙක්මි
විවේක සුව වරප‍්‍රසාදයක්
ගළපා වෙනස් වචනයක්
තවරා සාහිත රසයක්
මහා ලොකු කෙරුමක් නොවේ
සගයිනි ඒකත්
ලෙයින් දහඩියෙන් සැදුණ පොළවක
වපුල කවි බිජුවක්
ඵල දැරූවත් මා නමින්
පැළවන්න පොළවක් නොවේනම්
අරුතක් තියේවිද
පොළවක් මඟ ඇරුණු ගහකට
පෙම්වතිය ගැන
ඇගේ පේ‍්‍රමය ගැන
විප්ලවය ගැන 
ලෙළෙන රතු ධජ ගැන
ලියූ දහසක් කවි කැටි කොට
හිලව් කරනෙමි
අරගල බිමක හෙළන
එක දහඩිය බිඳුවකට
සමාජ ජාලා පුරා
මහා බර වදන්
ලයික් ගොඩ ගැහුවට
ක්ෂණික වීරයින් බිහි කෙරුවට
පැසසුම් නොලඹනා වීරයින්
ඇත මේ අවකාශයෙන්
එපිට සොයුරනි එමට
වර්ණනා අභියස
නොලැබිය යුක්තක් ලබන
අපුලක් දැනේ ඉඳ හිට
උන් යන මගට
දහිරිය දෝතක් රැගෙන යනු මැන
එයම වේ අසෙනිය පූජාව
වීරයන් නමට
පරමාදර්ශ මියැදුනද
තවමත් වීරයින් ඇත
උන් අපි වැනිම මිනිසුන්ය
අත හරින්නට බල කෙරෙන
නිමේෂෙක තව තවත්
ආදරෙන් සිහිනයන් වැළඳගන්නා
ඉතිං කිව යුතුයි සගයිනි
ඉඩක් ලද මොහොතක
බුකියේ මොකක් හරි කුරුටු ගානා
කවියන් රැඩිකලූන් ප‍්‍රාඥයින්
නොවේ සගයිනි කෙරුමන්

(රිවිහාර පින්නදුව)

පුරුද්දට බැලෙනවා


පුරුද්දට බැලෙනවා
නැද්ද මග ඇරුණු ඇමතුමක්
කෙටි පණිවිඩයක්
දෙදරද්දි ෆෝන් එක
මෙහොතකට හද පිරී තුටින්
දැක නුඹෙන් නොවන වග
මුකුලිතව හදවත
ඉතිං නුඹ අමතන්න
පාළුයි මට නෙමෙයි
ජංගම දුරකථනයට

රිවිහාර පින්නදූව

Wednesday, December 9, 2015

විහඟුන් අයිති අහසට


විහඟුන් අයිති අහසට


අමතක කරන්නට
බැරි මතක කෝටියක්
සුසුමකට හැකිවේද
පිටකර හරින්නට
කදුළුවල බරකිරා
හැකිවේද රත්තරනින් ගෙවන්නට
සා පැටව් මරු විකලෙන්
උනුන් මරාගන්නා කලෙක
වෘකයින් පාඩුවේ
ගොදුරු අනුභව කෙරුව
වැරදුණේ අපි හැමෝටම
හීනවලට ගිණිබින්ද
විහගුන් සිරකෙරුව
ඒ ලේ තැවරිච්ච පිංකමට
අපිත් බැති සිතින්
සාධුකාර දුන්නු
ඉතුරුවුණු ක්ලේමෝ
පුපුරන්නෙ හදවතක
උන්ට තවත් මෝටාර්
ගහන්නේ මොකටද
පොල් රුප්පා යට
වැළලූව සමනළ කෝෂ
තාමත් තටු දිගහරින්නට
පෙරුම් පුරනවා රහසෙම
තල් අරණෙ විහඟ කැදලි
ගිණි අරන් මේ දැනුත්
විහඟුන් අයිති අහසට
දැන්වත් යදම් බිඳ
උන්ට පියඹන්න ඉඩදෙන්න

(රිවිහාර පින්නදුව)




Thursday, October 29, 2015

ඇවන්ගාඞ් පේ‍්‍රමය


ඇවන්ගාඞ් පේ‍්‍රමය


ඇවන්ගාඞ් 
නුඹ කොයිතරම් සුන්දරද
මං දන්නෙ නෑ ඇවන්ගාඞ්
මට තේරෙන් නෑ ඇවන්ගාඞ්
ඇයිද මේ තරම් පේ‍්‍රමයක්
පත්තර පිටු වසන්
මාධ්‍ය ගුවන් ගැබ අරා
නුඹ යාත‍්‍රා කරනවා
වතුර විස උන මිනිස්සු බැඳගිරිය
වකුගඩු නරක්වුණු ගොවියො රජරට
තවත් දහසක් දෙන
දහසක් දේ
සැමට වැඩියෙන් නුඹ ගැනම
උන් කතා කරණවා
හීනෙනුත් ඒ නමම දොඩනවා
ඇවන්ගාඞ් ඇවන්ගාඞ්
මං දන්නෙ නෑ ඇයි කියා
නැවකට මුවා කල
බොහෝ දේ ඇත ඇවන්ගාඞ්
රළ පෙරළි විත් නුඹ සිපගන්න නිමේෂෙක
කරදිය සුළඟ සමඟින් මුසුව
මේ හමන්නේ
හිවල් දේශපාලන
පිළී ගඳ නොවෙද ඇවන්ගාඞ්

රිවිහාර පින්නදූව

Saturday, October 24, 2015

දැන් පොත් හරි ගණන්


දැන් පොත් හරි ගණන්


අකුරු සුවඳට ඉගිකර
සැහැල්ලූ වෙච්ච පර්ස් එකට රව රව
අපිත් ගියා පොත් සංදර්ශනයකට
පොත් වලට අත ගහල සාධු කියන්න
ගේට්ටුව ළග ඉදන්
ප්‍රොමෝෂන් අපේ උන්
”අයියෙ සිම් එකක් ගන්නකො”
කෑම කඩවල බීම හට්වල
දන්න හදුණන මූණවල් හිනාවෙන
දවසෙ කුළියට මුදලාලිල
”මල්ලි පොත් ගත්තද?”
”නෑ අයියෙ 
මේ ස්ටෝල් එක බලා ගන්නෙ අපි”
බනින්නෙ කොහොමද මුන්ට
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නද?
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නනෙ
උන් අච්චර හොයද්දි
උඹලත් කීයක් හරි
හම්බකර ගත්තම මොකද
සතියක් හමාරක් බඩකට පුරවගන්න
ෆෝන් කාඞ් එකට
ප්ලේන්ටියට සිගරට් එකට
හැමදාම වැඩ කළොත්
අන්තිම දවසෙ පොඩි අඩියකට
කොත්තු මී කකා
නෙස්ක කැෆේ බොනකොට
සෙල්ෆියක් ගහල
හරි ජොලිනෙ අපි සෙට් එකම
ගත්ත පොත් ලිස්ට් එකම 
බුකියෙ දානකොට
මොන තරම් ඉරිසියද අපට
කියවනවලූ පොත් ගොඩක්
154 හිරවෙලා
ගෙදර යනකොට
මරදානෙ මගී පාලම උඩ
වැඩ ඇරිල දුවන
දහසක් මුහුණු
පුස්තකාලයකි මට
කියවන්න
සමාජය ජීවිතය සහ මාව

(රිවිහාර පින්නදූව)

Sunday, October 18, 2015

මේ බැරියර් පෙරළන්න


මේ බැරියර් පෙරළන්න


ඉපදුනානම් ඉතිං
ලෑස්තිවෙන්න මොන්ටිසෝරි යන්න
හැංගිමුත්තන් කරල කොහොමද
ශිෂත්වෙ පාස් වෙන්නෙ
ඕලෙවල් ඒලෙවල්
කොහෙද අපිට වෙලාවක්
පෙනහළු පිරෙන්න 
නිදහසේ හුස්ම ටිකක් ගන්නවත්
ළමා කාලය යොවුන් විය
කොහෙද අපිට සුන්දර
ටාගට් කවර් කරණව විතරයි
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

පුළුවන් තරම් දුර ඉගෙන ගන්න
හොද රස්සාවක් හොයාගන්න
ලස්සන ගෙයක් හදන්න
වාහනයක් ගන්න
හොද තැනකින් කසාදයක්
දරුවො ටිකක්
අන්තිම කාලෙ
අනේ අපි පන්සල් යන්න
කවුදෝ හදපු තනුවක්
අපි හතිදාගෙන ගහන එකද
ජීවිතය කියන්නෙ
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

හුස්ම පොද විස කෙරුව
වතුර ටික මිළ කෙරුව
මිනිස්කම සතපවා
නරුමකම අල්තාරයේ ඉන්දුව
තව කොච්චරනම් කලක්
නව ලිබරල් ධනේෂ්වර ශීලය
අපි සමාදන් වෙනවද
මේ ක‍්‍රමයෙ බැතිමතුන් වෙනවද
ලාභෙට වන්දනාවෙ යනවද
බැංකු ගිණුමෙන් නිවන් දකිනවද
වෙනසක් ඕනෙ නැද්ද
ඒකට දහිරිය නැද්ද
සමනළ සිහින දකින
දෙබරෙක් වෙන්න
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

රිවිහාර පින්නදූව