Saturday, June 19, 2021

පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”


 පෞද්ගලික පාසල් ”යක්ෂාවේශය”

මං මූලික අධ්‍යාපනය ලැබුවෙ ගෙවල් ගාව ඉස්කෝලෙන්. ඇත්තටම ගෙවල් ගාව ඉස්කෝල දෙකක් තිබුණ, දැනට අපි ඒ දෙකට ලොකු ඉස්කෝලෙයි පොඩි ඉස්කෝලෙයි කියමු. පොඩි ඉස්කෝලෙ තිබුණෙ සාපේක්ෂව ආර්ථික මට්ටමින් පහළ බහුතරයක් ජීවත් වෙච්ච ප‍්‍රදේශයකට කිට්ටු වෙන්න, ලොකු ඉස්කෝලෙ පැත්තෙ ගොඩක් දුරට හිටියෙ සාපේක්ෂව යම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණ පිරිසක්. ඉතිං ලොකු පොඩි ඉස්කෝල වල ළමයි සංයුතිය හැදුනෙ කොහොමද කියල ආයෙ අමුතුවෙන් කියන්න  ඕනෙ නැහැනෙ. මාත් ගියෙ ලොකු ඉස්කෝලෙට, ලොකු ඉස්කෝලෙ කිට්ටුවට වෙන්න ළමා නිවාසයක් තියෙනව. මං ඉස්සර ඉස්කෝලෙට යද්දි මට හම්බෙනව ළමා නිවාසෙ ළමයි පෝළිමට ඉස්කෝලෙ යනව. එයාල ලොකු ඉස්කෝලෙ පහු කරන් ඒක ඉස්සරහින්ම ඈතින් තියෙන පොඩි ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයින්ව ලොකු ඉස්කෝලෙට ගන්නෙ නැහැ. පොඩි ඉස්කෝලෙට තිබුණෙ ගොඩක් අඩු පහසුකම් වගේම ඒ ඉස්කෝලෙට යන ළමයි මේ විදිහයි කියල හැදුන මතයකුත් තිබුණ ඉතිං පොඩි ඉස්කෝලෙ කිට්ටුව හිටිය යමක් කමක් කරගන්න පුලූවන් හැමෝමත් තමන්ගෙ ළමයින්ව කොහොම හරි ලොකු ඉස්කෝලෙට දාගත්ත. මේ එකෝමත් එක කාලෙක වෙච්ච අතීත කතාව.

දැන් අපි එමු වර්තමාන කතාවට. මං ජීවත්වෙන්නෙ අර්ධ නාගරික ප‍්‍රදේශයක, ඒ වගේම මැද පංතිය කියල අපිම කියා ගන්න බහුතරයක් ඉන්න පැත්තක. දැන් අපි කලින් කතා කරපු පොඩි ඉස්කෝලෙ වැහිල ගිහිල්ලා. ඉස්කෝ්ලෙ පටන් ගන්න වෙලාවට හංදියට ගියොත් බලන්න පුලූවන් පොඩි ඉස්කෝලෙ පැත්තෙ ඉන්න ලමයිනුත් අපේ ගෙවල් පහුකරන් ලොකු ඉස්කෝලෙට යනව. ළමා නිවාසෙ ළමයිනුත් දැන් යන්නෙ ලොකු ඉස්කෝලෙට. දැන් කලින් ලොකු ඉස්කෝලෙට ගිය පවුල් වල ළමයි දැන් කොහෙද යන්නෙ? ඇත්තටම පොඩි ඉස්කෝලෙට ගිය ළමයින්ටත් ලොකු ඉස්කෝලෙට යන්න පුලූවන් වෙලාද? නැත්නම් ලොකු ඉස්කෝලෙ ටික ටික පොඩි ඉස්කෝලයක් වෙන්න යනවද? එතකොට ලොකු ඉස්කෝලෙ වෙන්නෙ මොකක්ද?

අධ්‍යාපනය වගේ දේවල් වෙළද භාණ්ඩ කරන්න එපා කියල මං කියන්නෙ නැහැ මොකද ඒක ඇති වෙනකන් කියල තියෙන්නෙ. එහෙම නැතුව අපි දැනටමත් වෙලා තියෙන දේවල් ගැනත් ඒ ඇසුරෙන් සාධාරණව ඉස්සරහට වෙන්න තියෙන දේවලූත් කතා කරමු. අපේ පැත්තෙ කලින් මුදල් ගෙවල ඉගෙන ගන්න කියල තිබුනෙ ගම්පහ ටවුමෙ තිබුණ ඉන්ටර් නැෂනල් එක විතරයි. ඒකෙ නමවත් මට මතක නෑ අපි කිව්වෙ ඒකට එහෙම. ඒත් දැන් රජයේ ඉස්කෝලෙ ගාණටම පෞද්ගලික පාසල්. ළගදිම රජයෙ ඉස්කෝල හොයාගන්නවත් නැති ඒව වෙයි, මොකද දිගටම පෞද්ගලික පාසල් ඇරෙනව ඒකට සමගාමීව රජයේ ඒව වැහෙනව. රෝයල් ඉන්ස්ටිටුයුට් එකේ ලස්සන දැවැන්ත ගොඩනැගිල්ල ඉදිවෙන්නෙ අපේ ලොකු ඉස්කෝලෙ පේන මානෙ. පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකට වෙනම වටිනාකමක් ලැබෙනව. පුලූවන් හැමෝම තමන්ගෙ ළමයින්ව පෞද්ගලික පාසල් වලට දානව. තමන්ගෙ ළමය යන්නෙ ආණුඩුවෙ ඉස්කෝලෙට කියල කියන එක ලැජ්ජාවට දෙයක් වෙනව. ඉතිං බැරි අයත් බැරිමරගාතෙ තමන්ගෙ ළමයිවත් පෞද්ගලික පාසල් වලට දානව. කරකියා ගන්නම දෙයක් නැති කෙනෙක් ආණ්ඩුවෙ ඉස්කෝලෙට ඉතුරු වෙනව. එක එක මිළ ගණන් වලට එක එක බ‍්‍රෑන්ඞ් වල පෞද්ගලික පාසල් ඇරෙනව. අන්තිමට ඉස්කෝල ඇරල තිබුණ දවසක ඉස්කෝල ඇරෙන වෙලාවක මං බස් එකට නැග්ග. කළින් වගේ නෙමෙයි ඉස්කෝල වල නිළ ඇදුම් වල පාටින්ම ළමයි බෙදිල. පෞද්ගලික පාසල් වල ළමයිගෙ තිබුණ යම් ආකාරයක ආඩම්බරකාර බැල්මත් රජයේ පාසලේ ළමයින්ගෙ තිබුණ යම් විදිහක තමන් දෙවන පෙල පිරිසක් කියන පීඩාකාරී හැගීමත් මං ඒ ඇස්වල දැක්ක. ටික වෙලාවකට මං තැතිගත්ත. අපි කොහෙටද මේ යන්නෙ?

සල්ලි තියෙන අය පෞද්ගලික පාසල් යනව, නැති අය රජයෙ පාසල් වලට යනව වගේ සරළ අහිංසක දෙයක් නෙමෙයි වෙළදපල කියන්නෙ. රජයේ සුභසාධන වියදම් කප්පාදුව වගේ දේවලූත් මේ එක්ක එකතුවෙලා තියෙනව. දැන් ලොකු ඉස්කෝලෙ වියදම් රජයෙන් ලැබෙන මුදලින් කවර් කරන්න බැහැ. ඒකේ සැළකිය යුතු බරක් දෙමාපිය සංගම්, ආදිශිෂ්‍ය සංගම් දැරුව. දැන් මේ අර්බුදය පොඩි ඉස්කෝලෙ වැහිල නතරවෙන්නෙ නැහැ. ඊළග වටේ ලොකු ඉස්කෝල වලටත් එනවා. වෙනද ලොකු ඉස්කෝලෙට ආපු සමාජ ස්ථරයෙ බහුතරයකගෙ ළමයි දැන් යන්නෙ පෞද්ගලික පාසල් වලට. වෙනද පොඩි ඉස්කෝලෙ දෙමාපිය සංගමේ හිටපු අය තමයි දැන් ලොකු ඉස්කෝලෙ දෙමාපිය සංගමේ ඉන්නෙ. එයාලට ලොකු ඉස්කෝලෙ වියදම් දරන්න බැහැ. අනිත් අතට ආදිශිෂ්‍ය සංගම් පරණ යාලූවො ටික ආයෙ සෙට් වෙන එක ඇරෙන්න ගොඩක් දුරට පවතින්නෙ තමන්ගෙ දරුවව ඉස්කෝලෙට දාගන්න පදනමෙන්. දැන් ලොකු ඉස්කෝලෙ ආදිශිෂ්‍යයන්ගෙ ළමයි යන්නෙ පෞද්ගලික පාසල් වලට. ඉතිං කළින් වගේ ආදිශිෂ්‍ය සංගම් වලිනුත් පාසලට ලබෙන හයිය අඩුවෙනව. ඉතිං පොඩි ඉස්කෝල විතරක් නෙමෙයි ලොකු ඉස්කෝලත් ටික ටික අභාවයට යන්න ගන්නව. නගරබද ප‍්‍රදේශවලින් බැහැරව ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් මේ තත්වය මීට වඩා වෙනස් ස්වරූප වලින් පවතිනවා. ළගදිම ගමට නැතත් ගමට ළගම ටවුමට පෞද්ගලික පාසල් එන්න ගනීවි. දැනටමත් ගොඩක් ග‍්‍රාමීය පාසල් වැහිල තියෙනව. අපේ පොඩි ඉස්කෝලෙ වැහුන වගේ නෙමෙයි ගමේ ඉස්කෝලෙ වැහුනම ඒ ලමයිට ඉස්කෝලෙ යන්න සෑහෙන දුරක් ගෙවලා ටවුමෙ ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතිං දුප්පත් සමාජීය වශයෙනුත් පහල අඩියක ඉන්න අම්මල තාත්තලගෙ ගොවිතැනකට උදව් කරනගමන් ඉස්කෝලෙ එන ගොඩක් දෙනෙක්ගෙ පාසල් ගමනත් එහෙන්ම නතර වෙනව. පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරල තිබුණ ටවුමෙ ඉස්කෝලෙට යන්න විදිහක් නැතුව හැමදාම වහල දාල තියෙන ඉස්කෝලෙට ඇවිත් ඉදල යන දරුවෙක් ගැන, පාසලක් නැතුව සිය දිවි නසාගත්ත දරුවො ගැන. මේ අර්බුදයේ රෝග ලක්ෂණ විතරයි. සැබෑ අර්බුදය ඊට වඩා ගොඩක් භයානකයි.

අර්බුදයෙ අනිත් පැත්ත තමයි ඔය පෞද්ගලික පාසල් වලට දරුවන්ව යවන දෙමාපියන්ගෙ තත්වය. ඇත්තටම බහුතරයක් පෞද්ගලික පාසල් වලට යවන්නෙ පුලූවන් කමකට නෙමෙයි. එක පැත්තකින් රජයේ පාසල් පද්ධතිය දුර්වල වෙලා අනිත් පැත්තට පෞද්ගලික පාසල් වල බ‍්‍රෑන්ඞ් නේම් එකත් එක්ක ඇතිවෙන සමාජීය කාරණය. මං ජීවත්වන ප‍්‍රදේශයේ වගේම මගෙ වෘත්තියෙ යෙදෙන බහුතරයක් තමන්ගෙ දරුවො යවන්නෙ පුද්ගලික පාසල් වලට. මං දැකල තියෙනව පාසල් ගාස්තු ගෙවන්න වෙන කාල වලදි ඒ අය විදින පීඩාව. මේ සිස්ටම් එකේ දැනටමත් අපිට සත්තු වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ සතෙක් තම ජීවිත කාලෙම ගත කරන්නෙ කන්න මොනව හරි හොයාගන්න වර්ගයා බෝ කරන්න වගේ දේවල් වලට. අපිත් කන්න බොන්න ගෙවල් හදන්න රැුයක් දවාලක් නැතුව ඉබාගාතෙ දුවනව ඇරෙන්න එතනින් එහා ජීවිතයක් තියෙනවද? දැන් මෙතනදිත් දරුවන්ගෙ ඉස්කෝලෙටත් ගෙවන්න වෙද්දි ඒකටත් එක්ක වැඩිපුර වැඩ කරන්න වෙනව. දරුවො එක්ක ඉන්න තියෙන ටික කාලෙත් කැප කරල තාත්තලට  ඕටී කරන්න වෙනවා. ජීවිතේ තවත් මේ උගුලෙ හිරවෙනවා. තවම මේ අර්බුදය පටන් ගත්ත විතරයි. පාසල් ගාස්තු ගෙවන්නෙ නැතුව ළමයින්ව පාසලෙන් අයින් කරල දරුවන්ට යන්න පාසලක් නැතුව හඩාවැටෙන දෙමව්පියන්ව මං පහුගිය කාලෙ දැක්ක.
අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දි, ආණ්ඩු ගේන එක එක පනත් වලට විරුද්ධ වෙද්දි අපිට විරුද්ධව කතා කරපු අපේ අරගල ජෝක් එකට ගත්තු අයත් හිටිය. හැබැයි ඒ අයගෙත් සීමාවක් තිබුන. මොකද ඒ අයත් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ සමහරු විශ්වවිද්‍යාල වලටත් ගියෙ නිදහස් අධ්‍යාපනයෙන්. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගත්තෙ ඒ හින්ද ටික කාලයක් හරි මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න  ඕනෙ කියල තමන්ට ලැබුන විදෙස් රැුකියාව අතඇරපු අය මං දැකල තියෙනව. මට මතකයි සංජීව පුෂ්පකුමාර ඉගිලෙන මාලූවො චිත‍්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත්ත වෙලාවක ඒ සම්මානය වෙනුවෙන් ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට ඒ බදු ගෙව්ව මිනිස්සුන්ට ස්තුති කරනව. ඉතිං මේ මිනිස්සුන්ගෙ නිදහස් අධ්‍යාපනයට තිබ්බ ලව් එකත් එක්ක සමහර තීරණ ආණ්ඩු වලට ගන්න බැරි වුනා. හැබැයි තව ටික කාලෙකින් පරම්පරාවක් එනව මේ පෞද්ගලික පාසල් ඇතුලින් නිදහස් අධ්‍යාපනය ගැන මෙලෝ මලදානයක් අදාල නැති. මිළ විතරක් දන්න පරම්පරාවක අනාගතය මීට වඩා යහපත් එකක් වේවිද?

ඉස්සරහට අධ්‍යාපනයේ අද අපි දකින ස්වරූපයේ තරගකාරීත්වය අඩුුවෙයි. මොකද ගෙවල ගන්න වෙන එකේ මොන තරගයක්ද? (නැත්තට නැති වෙනව නෙමෙයි) කොහොම හරි ටියුෂන් වෙළද පල අඩුවෙයි. මොකද සුපර් මාර්කට් ව්‍යාප්ත වෙද්දි සිල්ලර බඩු කඩ වැහිල යනව. තාම මේ පෞද්ගලික පාසල් අර්බුදය හරියටම මතුවෙලා නැහැ. සමහර ප‍්‍රදේශවල තවම හරියට ව්‍යාප්ත වෙලත් නැහැ. නාගරික අර්ධ නාගරික පැතිවල දැන් ටික ටික ඒ අර්බුදයේ රෝග ලක්ෂණ මතුවෙමින් තියෙනව. අපි මැදිහත්වෙලා මේක වෙනස් නොකලොත් තව කාලෙකින් සමහර ඉංදියානු චිත‍්‍රපටවල පාසල් අධ්‍යාපනය ගැන අපි දකින් විදිහෙ දේවල් අපිට දකින්න ලැබේවි. ඛේදවාචකයේ වින්දිතයින් විදිහට ගොඩක් දෙනෙක් අධ්‍යාපනයෙන් පිටමං වේවි. මං මුලින්ම ගිය පාගමන තමයි අධ්‍යාපනයට 6% ක් ඉල්ලලා අන්තරෙන් නුවර ඉදල කොළඹට ආපු පාගමන. ඒකෙ මං උස්සන් ගිය සටන් පාඨයම තමයි ආයෙමත් මෙතනත් දාන්න වෙන්නෙ  "Education not for sale"

(රිවිහාර පින්නදුව)

Friday, May 28, 2021

රසවත් බිරියානි නීරස ජීවිත හා ඇය (BIRIYANI Movie)


 රසවත් බිරියානි නීරස ජීවිත හා ඇය 

‘බිරියානි’ අපට හුරුපුරුදු මලයාලම් සිනමා නිර්මාණයන් තුළ අපි දකින සුන්දරත්වයින් වෙනස්ව යම් වේදනාකාරී යථාර්තයක් අප හමුවට ගෙන එන චිත‍්‍රපටයක්. ලිංගික දර්ශන, සත්ව ඝාතන දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක්වූ වර්ගීකරණය යටතේ නිකුත්වූ බිරියානි ඉංදියානු සාම්ප‍්‍රදායික පවුල තුළ හා එම සම්ප‍්‍රදායන් තුළ කාන්තාව පීඩාවට පත්වන ආකාරය මැනවින් නිරුපණය කරණ අතර එම තේමාව රැුගත් වෙනත් ඉංදියානු චිත‍්‍රපට අභිබවා මෙය අපව තිගැස්මකට ලක්කරයි.

චිත‍්‍රපටය ආරම්භවන්නේම කඞීජා හා ඇගේ මුල් සැමියා වන නසීර් අතර ලිංගික දර්ශනයකින් වන අතර සමස්ථ චිත‍්‍රපටයේ අර්ථය එහි නිරූපිතය. ඔවුන්ගේ ලිංගික එක්වීම හුදෙක්ම පිරිමියාගේ ආශ්වාදය සදහාම වන්නක් වන අතර ලිංගික එක්වීම තුළ ඇය මළමිනියක ස්වරුපයෙන් සිටින ආකාරයක් දැකගත හැකිය. නසීර්ගේ සුරාන්තයෙන් එම කි‍්‍රයාව අවසන් වන අතර ඇය එයින් තෘප්තියක් නොලබයි. ලිංගික එක්වීමකින් අනතුරුව ඇයට ස්වයං වින්දනයේ යෙදෙන්නට වන්නේ එබැවිනි. එම නිවසේ එළදෙනක් කෘතිමව ගැබ් ගන්වන දර්ශනයද මෙම කාරණය තවත් ගම්‍ය කරයි. මෙය හුදෙක් ලිංගික තෘප්තිය සම්බන්ධ කාරණයක් පමණක් නොව පිරිමියා කේන්ද්‍ර කොටගෙන ගොඩනැගී ඇති සම්ප‍්‍රදායන් තුළ ඇයට තම ජීවිතයේ සෑම සියළු දෑ අහිමිවෙයි. සිය සහෝදරයා උසස් අධ්‍යාපනය ලබන විට ඇයට තම අධ්‍යාපනය අතර මැද අතහැර දමා අඩු වයසින් විවාහවන්නට සිදුවන අතර මෙම කලාපයේ බොහෝ ස්තී‍්‍රන්ගේ යථාර්තය නම් විවාහය නම් නව දිවියක ආරම්භය නොව තම ජීවිතය ජීවත්වීමේ අවසානය වන බවට මෙම චිත‍්‍රපටය සාක්ෂි දරයි.

කදීජාගේ සහෝදරයා ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට පුවතක් පුවත් පතක පළවීමත් සමග මෙහි කතාව වේගයෙන් වෙනස් වන අතර ඇය ඇතුළු පවුල තම ජන කොට්ඨාෂයෙන් ඉවත් කරණ අතර පසුව මව මියගිය විට පල්ලියේ කනත්තේ ඇයව වැළලීමට හෝ අවස්ථාවක් ලබානොදෙයි. මවගේ මරණයෙන් පසුව ඇය වෙනත් විකල්පයක් නොමැතිව ලිංගික ශ‍්‍රමික වෘත්තියේ යෙදෙන අතර එහිදී ඇය පළමු වරට ඒ ආකාරයට ඇසුරක් පවත්වන කඩෙහි මුදලාලි සමග ලිංගිකව එක්වන අවස්ථාවේ ඔහු උමතුවෙන් මෙන් ඇගේ සිරුර සිපගන්නා විට ඇය එයින් තම සැමියාගෙන් නොලද ආස්වාදයක් ලබන බවක් ඇගවෙයි.  ඕෂෝගේ දාර්ශනික ආලෝකය මෙහි නිර්මාණකරුවා ලබාඇති බව බැලූබැල්මට පෙනෙන අතර චිත‍්‍රපටයේ දර්ශනයක කදීජා ආසන්න අසුනක දුම්රියේ ගමන් කරණ මගියෙකු පොතක් කියවමින් සිටින අතර එය  ඕෂෝගේ ග‍්‍රන්ථයකි.

සාත්තරකරුවෙකුගේ සාත්තරය අනුව ඇය නිසා ඔවුන්ගේ පවුල විනාශවන බව පවසන අතර ඒ අනුව කදීජා නසීර් අතහැර දමන අතර ඇයගේ පුත‍්‍රයාව බැලීමට හෝ ඇයට අවස්ථාවක් ලබා නොදෙයි. ඇය මානසික රෝගී මව සමග තනිවෙයි. ත‍්‍රස්තවාදී ලේබලය ඇළවීමත් සමග එම පවුල් වල සාමාජිකයින් මුහුණ දෙන ඛේදාන්තයද මෙහි නිරුපණයවෙයි. චිත‍්‍රපටය පුරාවට වරින් වර ත‍්‍රස්තවාදය පිළිබදව සිදුවන රුපවාහිනී සාකච්ඡුා වල දර්ශන පෙන්වන අතර එහි වියතුන් විවිධ අදහස් දක්වමින් විවාද කරන අතර අනිත් අතින් චිත‍්‍රපටය තුළ එහි සැබෑ වින්දිතයින්ගේ ජීවිතය පෙන්වන අතර එම සැබෑ මිනිසුන්ගේ හඩට එහි ඉඩක් නොලැබෙයි.

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් තුළ එනයින්ම කාන්තාව අසාධාරණයට ලක්වන අයුරු මෙහි නි?පණය වෙයි. සුභාහීර් හා කදීජා නැවත විවාහය ගැන සාකච්ඡුා කරණ විට කදීජා පවසන්නේ ‘ඔයාටනම් සල්ලි තියෙනවනම් ආයෙ හතර දෙනෙක් උනත් බදින්න පුලූවන් අනික මැරිල දෙවියලෝකෙ ගියත් දිව්‍යංගනාවො හම්බෙනව අපිට තමයි ඔය මොකුත් නැත්තෙ’ යනුවෙනි. අවසානයේ කදීජා ගැබිණියක් වන අතර සුභාහීර් ඇය සමග වාසයට පැමිණෙයි. ඇය මවගේ බලාපොරොත්තුව අනුව පියාගේ මරණ සැමරුම් දින ගමේ අයට ආහාර (දානයක්) ලබාදීමට සැරසෙයි. ඇය ගමේ පල්ලියට කෝවිලේ සාමිට, කොමියුනිට්ස් පක්ෂ කාර්්‍යාලයේ අයට ආදී සෑම සියළු දෙනාටම ආරාධනය කරයි. එම දානයට ගමේ සාමාන්‍ය ගැමියන් වෙනුවෙන් නොව ප‍්‍රභූන් වෙනුවෙන් සංවිධානය වන අතර ඒ අයට සංග‍්‍රහ කරන බිරියානි වල විශේෂත්වයක් ඇති අතර එය දැනගැනීමට චිත‍්‍රපටය නැරඹීමට අව්‍යයය.

චිත‍්‍රපටය අවසානයේ කදීජා ගගකට පැන සියදිවි නසා ගන්නා අතර ඇය පන අදින හඩ මැදින් ලිංගික එක්වීමක හඩ ඇසෙන අතර චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව වන්නේ එහි ආරම්භක ජවනිකාවේම අනිත් පස වන අතර මෙහි ඇගේ සැමියා වන නසීර් ඇදේ දිගාවී සිටින අතර ඇය සංසර්ග ඉරියව් වෙනස් කොට ඔහු මත සිටින අතර ඇය එම ලිංගික එක්වීම තුළ තෘප්තියක් ලබයි. එය සැබෑවට නොවු ඇගේ ආශාව නිරෑපනය කරන්නකි. 

(රිවිහාර පින්නදුව)


Tuesday, November 10, 2020

එයා කැමති රතු රෝස වලට

 එයා කැමති රතු රෝස වලට

ඇහැරිලා තත්පර කීපයක් යනකන් කල්පනා කලේ මං මේ කොහෙද ඉන්නෙ කියල. කි‍්‍රෂාන්ගෙ බෝඩිමේ එයත් එක්ක නතර වෙන්න ඇවිත් දැන් දවස් තුනක්, ඒ වගේම අද තමයි අන්තිම දවස. කි‍්‍රෂාන් තවම නිදි. එයා නිදන් ඉද්දි එයා දිහා බලන් ඉන්න මං හරි ආසයි. ඒත් ඒ වෙලාවට මීට අවුරුදු තුනකට කලින් අපි හම්බවෙච්ච දවසෙ ඉදල ඒ වෙලාව වෙනකන් අපි දෙන්නගෙ ජීවිතේ හයිලයිට් එකක් මට මතක් වෙන්න ගන්නවා, හැම වෙලාවෙම ඒක ඉවර වෙන්නෙ ඔලූවට බර ගතියක් ගෙනල්ලා. කාමරේ එක කෙලවරක බිත්තිය මුල්ලෙ සතියකට දෙකකට සැරයක් පහන තියන බුද්ධ ප‍්‍රතිමාව. ඇද ගාව බිත්තියෙ චේගෙ පිංතූරයක්. ඒ කි‍්‍රෂාන්ගෙ හැටි එහෙම ලොකුවට බෞද්ධයෙකුත් නෙමෙයි, පක්ෂෙට ලොකුවට වැඩකරන්නෙත් නෑ. හැබැයි වෙසක් එකකට පන්සලටයි, මැයි දිනේට රැුළියටයි යන්නනම් වරද්ද ගන්නෙ නැහැ. රෑ දාපු ෆෑන් එක තාම ඔලූව දෙපැත්තට කරකවන්නෙ ඒ තාලෙට නෙට් එක නටව නටව. සද්ද නොකර ඇදෙන් බැස්සෙ ජීවිතේ අන්තිම පාරට කි‍්‍රෂාන්ට උදේට තේකක් හදල දෙන්න. එයාගෙ අපිළිවෙලින් ලස්සන වෙච්ච මේ කාමරේ මොන තරම් ආදරයක් පිරිල තියෙනවද? ඒත් මේ කාමරෙන් එළියෙ ලෝකෙට මේ අදරේ ආක්‍යානයන් තේරුණේ නැහැ. ඒ හින්ද අපිට වුණා ඒ ආදරෙත් එක්ක මේ කාමරේ හැංගෙන්න. එත් දවසින් දවස සතුරො අපිව වටකලා. අපි තේරුම් ගත්තා තව දවසක් දෙකක් යද්දි මේ කාමරේ ආරක්ෂක ප‍්‍රකාර බිදගෙන ඒ සතුරු සේනාව අපේ ආදරේ ආක‍්‍රමණය කරනව කියල. අපිට පහුබහින්න තැනක් නෑ, උදව්වට එන්න මිතුරු සේනාවලූත් නෑ.

එයා කැමති රතු රෝස වලට, මං කැමති සුදු රෝස වලට කොහොම හරි අපි දෙන්නම කැමතියි රෝස වලට. ගිය නිවාඩුවට නුවරඑළියෙ ගිය වෙලාවෙ අපිට හමුබුණා රතු සුදු කලවං වෙච්ච මල් පිපෙන රෝස පැළයක්. අපි ඒක කි‍්‍රෂාන්ගෙ බෝඩිම ඉස්සරහ මිදුලෙ හිටෙව්ව. නුවරඑළියෙන් ගෙනාපු හින්ද පැලකරගන්න සෑහෙන්න මහන්සිවෙන්නවුණා. අපි ළමයෙක් බලා ගන්නව වගේ ඒ රෝස පැලේ බලාගත්තෙ. ඊයෙ ඒකෙ පොහොට්ටුවක් හැදිල තිබුණ අද ඒ මල පිපේවි. අන්තිම දවසෙ අපි දෙන්න ඉන්නෙ අපේ ආදරේ මතක සටහන් වල අද හැන්දෑවෙනකන් ඇවිදින්න. ඒවා ආයෙ ආයෙ මතක් කර කර හිනාවෙන්න, අඩන්න මොකක් හරි කමක් නෑ හැගීමක ගැඹුරටම කිමිදෙන්න.

ස්කූටියෙන් අපි මුළින්ම අවෙ නුගේගොඩ Fab එකට. අපි දෙන්න මුළින්ම තනියෙන් කතා කරන්න ආවෙ මෙතන්ටx එදා වගේම අදත් අපි Ice Coffee දෙකක් බිබී කතා කලා. පපුව ඇතුලෙ පුපුරන්න තියෙන ගිණකන්ද වහගෙන අපි Ice Coffee සීතල ගිණිගත්ත නහරවල රැුදෙව්ව. KFC එක Macdonald එක නුගේගොඩ කෑම කඩ එකක් ගාණෙ අපේ මතක ඇහිද ඇහිද ඇවිද්ද. අපි දෙන්නම දැනගෙන ඒත් අපි අපිටම හංගගෙන හිටිය, ඒ ඇත්ත නැමැති නිරුවත වහගෙන හිටිය විනිවිද පෙනෙන තුනී රෙදි කඩ ඉවතලා අපේ පේ‍්‍රමය නිරුවත් කර අපි දෙන්නට දකින්නට ඉඩ හදපු නාවල වැලිපාක් එකේ අපි ගොඩක් වෙලා හිටිය. එයා මට ආදරෙයි කියපු, ඔයා  ඕක කියනකන් මං බලන් හිටියෙ කියල මං කියපු අපි දෙන්නගෙ බංකුව උඩ අද තවත් කපල් එකක් වාඩිවෙලා. බැලූ බැල්මට එයාලගෙ ආදර කතාව අපේ තරම් වෙහෙසකර වෙන එකක් නැහැ, ආදරේ බේරගන්න දුවල දුවල හතිවැටෙන තරම්. 

ඇත්තටම ඒ දවස්වලත් අපිට අනිත් ආදරවන්තයොන්ට වගේ දුර ඈත හීන තිබුන් නෑ. අපි එහෙම හීන දකින්න භයවුණා. මොකද අපි දැනන් හිටිය මේ ගමන කොහෙන් හරි වැඩි දුරක් යන් නැතුව අපිට නතර කරන්න වෙනව කියල. ඒත් අපි ඇවිදන් ගියෙ කිලෝමීටර් ගාණක් වුණාට අපි දෙන්න අපි දෙන්න ඇතුලට අලෝකවර්ෂ ගාණක් කිදාබැහැල තිබුණ ආපහු හැරිල එන්න පාරක්වත් හොයාගන්න බැරිවෙන්න. හිනාවෙන එකත් පරිස්සමට හිතල බලල කරන්න  ඕනෙ අයෝජනයක් කියල හිතන මිනිස්සු, ළග ඉන්න එකෙක් මැරිල වැටුනත් මිනීපෙට්ටි සාප්පු අයිති එකෙක් ඇරෙන්න වෙන කවුරුත් හැරිල නොබලන උන් අපේ ආදරේ ගාව ඇස් උඩ ඉන්දන් බලන් ඉන්නව අපි දැක්ක. අපේ ආදරේට ඔරව ඔරව උන් ස්තී‍්‍ර දූෂකයන්ව පාර්ලිමේන්තුවට යවනව අපි දෙන්න බලන් හිටිය. අපිට මේ ලෝකෙ තේරුනේ නැහැ, ලෝකෙට අපිව තේරුනෙත් නෑ, අපිට වෙනස් වෙලා මේ ලෝකෙට තේරෙන අය වෙන්න  ඕනෙ වුනෙත් නෑ.

Galle Face එකේ ඉස්සො වඬේ වලටත් අපේ ආදර කතාවෙ වෙනමම පරිච්ෙඡ්දයක් වෙන් වෙනවා. Galle Face එකට පේන්නෙ බටහිර මුහුද. අපි දෙන්න හැන්දෑවල් ගණනාවක් ආසාවෙන් බලන් ඉදල තියෙන්නෙ ඉරේ වේදනාබර වෙන්ව යාම දිහා. අද අපිට පේනව දැනෙනව ඉරයි අහසයි දරාගෙන හිටපු ඒ වේදනාව. Galle Face එකත් හරියට අපේ ආදරේ වගේ, එක පැත්තකින් වරාය නගරය අනිත් පැත්තෙන් හතර අතේ බලන් ඉද්දි අහසට උස යන සුවිසල් ගොඩනැගිලි හැමෝම බලන් ඉන්නව Galle Face එක ගිළ ගන්න.  වේදනාවන් දරා ගන්න බැරි තැන ඉර සටන අතඇරල මුහුදෙ ගිළෙද්දි අදුර කොළඹ වහගන්න ගත්ත. නෙළුම් කුළුණෙ ලයිට් දාල. අපි දෙන්න ඒ දිහා බලාගෙන හිටිය. නෙළුම් කුළුණ ගොඩක් උසයි.

පාරට හැරෙන තැන සයිවර් කඩෙන් අපේ පුරුදු කොත්තුව කාල අපි දෙන්න බෝඩිමට ආව. බෝඩිමට ආපු ගමන්ම කවදාවත් නැතුව කි‍්‍රෂාන් බෝඩිම අස්කරන්න ගත්ත. ඒකෙන් අපිළිවෙල ලස්සන හැඩිවුණා. අපිට වෙන් වෙන්න වෙලාව ඇවිත්. අපි දන්නව තමන් ආදරේ කරන දෙයක් වෙනුවෙන් තමන් විශ්වාස කරන දෙයක් වෙනුවෙන් සටන් වදින්න  ඕනෙ. පරාජය භාර අරගෙන පහුබහින එකෙන් මොකුත් ලැබෙන් නැහැ. ඒත් අපි දෙන්න අවුරුදු තුනක් තිස්සෙ හැප්පුනා. දැන් අපි දෙන්නටම මහන්සියි. තවත් මේක කරන්න බැහැ.  බුදු පහන පත්තුවෙද්දි බිත්තියෙ හිටපු චේ අපි දිහා බලන් ඉද්දි කි‍්‍රෂාන් එයාගෙ අන්තිම හාදුව මට දුන්න.

⋆⋆⋆⋆⋆

මං මේ කතාවට අදාලම නෑ. උදේම ආරංචිය ආවෙ පල්ලෙහා බොඩිමේ දෙන්නෙක් වහබීල මැරිල කියල. මාත් දඩිබිඩියෙ කුණු කෙළ පිටින්ම දුවන් ගියා. වැට දිගට මිනිස්සු පිරිලා පොරකනව. බෝඩිම ඉස්සරහම රෝස පැළේක  ලස්සනට රෝස මලක් පිපිල. ඒ රතු සුදු කලවම් වෙච්ච රෝස මලක්. ඒත් කවුරුත් ඒ ලස්සන රෝස මල දැක්කෙ නැහැ. හැමෝම කටවල් ඇරගෙන කම්මුල් අතේ තියාගෙන බලන් හිටියෙ වැලේ තිබුණු සයිස් දෙකක පිරිමි යට ඇදුම් දෙකක් දිහා.


රිවිහාර පින්නදුව

ප.ලි.

1. ජීවිතයෙන් පලා යාමෙන් කිසිදු ප‍්‍රශ්නයකට විසදුමක් නොලැබෙයි.

2. යම් ගැටළුවකට මුහුණ දෙන පිරිසකගේ අර්බුදය පිටතින් බලා සිට අවබෝධ කර ගැනීමේ සීමා පැවැතිය හැක.

Tuesday, August 4, 2020

සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න..... ඇවිත් පිපෙන්න....



සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න..... ඇවිත් පිපෙන්න....


මෙය මා ලියන වෙලාව වන විට බොහෝ දෙනෙකු ඡුන්දය දෙන්නට යාම සදහා දත් මදිනවා විය යුතුය. කිසිදු වෙනසක් සිදුනොවනු ඇත. පුරුදු මුහුණත් තහඩු ටිකෙන්ම පාර්ලිමේන්තුව සැරසෙනු ඇත. කෙසේ නමුත් මැතිවරණ ආසන්න කාලය තුල සුපුරුදු පරිදි මාගේ මිතුරන් බොහෝ දෙනෙකු දේශපාලනිකව සකී‍්‍රයව සිටිනු මට දැකගත හැකිවිය. නමුත් එම දේශපාලනික ආශ්වාදයේ පරමත්වයට අද ඔබේ ඡුන්දය පෙට්ටියට දැමීමෙන් පසු හෝ හෙට ප‍්‍රතිඵල ඇසීමෙන් අවසන් වෙනවානම් එය හුදු දේශපාලනික ස්වයංවින්දනයක්ම වනු ඇත. කිසිදු නව දේශපාලනික ජනිතයක් එයින හට නොගැනෙනු ඇත. මේ ගෙවෙන්නේ මෙම නාටකයේ පොතේ ගුරු භූමිකාවයි. සැබෑ රංගනය ආරම්භවන්නේ හෙටින් පසුවයි. එබැවින් තිරය ඇරුණු සැනින් වේදිකාවෙන් බැස යන්නට සූදානම් නොවන්න.

දැනටත් එහෙන් මෙහෙන් මතුව ඇති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ඵක්‍ක්‍ ගිවිසුම, අවශේෂ වනාන්තර සම්බන්ධ නීති ආදී දහසකුත් එකක් දේ හෙටින් පසුව සැබෑ යක්ෂයා ලෙසින්ම පැමිණ අපව අරගලයට කැදවනු ඇත. මා හට හැගෙන යථාර්තය නම් මෙම මැතිවරණයෙන් කිසිදු වෙනසක් සිදුනොවන අතරම තත්වය තවත් භයානක කරනු ඇත. එසේනම් හෙට අපට පිළතුරු සොයන්නට වෙන්නේ අරගල බිම් වලය. ඒ හැර විකල්පයක් නොවනු ඇත.

යම් මට්ටමකින් හෝ අරගලයන් සමග සම්බන්ධවී ඇති අයෙක් බැවින් මගේ බොහෝ මිතුරන් මා හමුවූ විට එය සිදුකල යුත්තක් බව පවසා මා හට සුභ පතයි. අරගලයන්ට සම්බන්ධ අනෙකුත් සගයින්ගේ අත්දැකීමද මීට සමානය. එම මිත‍්‍රත්වයේ සුභ පැතුම් ආදරයෙන් වැළදගන්නා අතරම පැවසිය යුත්තේ අරගලය යනු අපගේ උපන්දිනය හෝ විවාහ මංගල්‍යය නොවන බවයි. අද මැතිවරණය තුල දේශපාලනිකව සකී‍්‍රය වන බොහෝ මිතුරන් හෙටින් පසු සැබෑ ගැටළුව අප ඉදිරියට පැමිණෙන විට ගැලරියට ගොස් පොප් කෝන් කන්නට පටන් ගන්නා අතර ඇතමෙක් ගැලරියෙන් හෝ සොයා ගැනීමට නොහැකිවෙයි. එබැවින් හෙට අරගලයට සුභ පතන්නන් නොව අරගලකරුවන් අවැසිව ඇත. මේ යථාර්තය තුල අනාගතය තීරණය වන්නේ අද ඡුන්දයෙන් නොව (එහි තීරණය වන්නට දැන් දෙයක් නැත. වෙන දේ අප සැවොම දනී* හෙට අරගලයෙන්ය. සාලයේ මල් බදුන් මතට නොව පරාගනය වී ඵල දරන්නට වනාන්තරයේ ගස් මතට මල් අවැසිව ඇත. එන්න... ඇවිත් පිපෙන්න...

රිවිහාර පින්නදුව

Friday, May 15, 2020

තරගයේ වීරයා කවුද?


තරගයේ වීරයා කවුද?


මේ දවස්වල කට්ටිය කොරෝනා තරගයේ වීරයා තෝරනව. ගෝඨාභයද? මහින්දද? පවිත‍්‍රාදේවිද? ජනමාධ්‍යත් කොරෝනා වල අපේ සාර්ථකත්වය ගැන වාර්තා කරන්නෙ හරියට ඉස්සර ක‍්‍රීඩා පුවත්වල අපේ කි‍්‍රකට් කණ්ඩායම තරගාවලියක් දිනපුවහම කියනව වගේ. ඒත් මේ දේවල් අස්සෙ මතුකරගන්න  ඕනෙ වැදගත්ම සාකච්ඡුාවක් අපිට මග ඇරෙනව කියල හිතෙනව. ඒ තමයි සෞඛ්‍යය නැත්නම් නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය.

පහුගිය දශක තුන හතරක කාලය අපි වෙළදපල මෝහනය ඇතුලෙ ගෙවල දැම්ම. කඩයකට ගියහම ඇස් නිළංකාර වෙන්න එක එක දේවල් පිරිල. ටීවී එකේ පාරවල් දිගට වෙළද දැන්වීම් නිකන් පැණි රස කඬේක අතරමංවුණු ඇඹලයො වගේ අපිත් කොහෙද යන්නෙ මොකද කරන්නෙ වගේ වගක් නැතුව ඔහේ දිව්ව. කඩවල් වල බඩු පුළුවන් තරම් ගෙදර ගෙනල්ලා පුරව ගත්ත. අපි ගෙදරට බඩු ගේන්න ගේන්න කඬේට තවත් අලූත් බඩු එන්න ගත්ත. ඒව ගන්න වැඩි වැඩියෙන් සල්ලි හොයන්න අපි තවත් හයියෙන් දුවන්න ගත්තා. හති දාන්නවත් නතරවෙන්නෙ නැතුව අපි දිව්වා. මේ තරගෙ දිනන්න,  ඕන මගුලක් කරන්න පුරුදු වුනා. සොම්බි ෆිල්ම් එකක මොකක් හරි සද්දයක් අවම ඔහේ ඒ පැත්තට දුවන සොම්බි වගේ අපිත් දිව්ව. ඉස්සරහින්ම දිව්ව සොම්බියට අපි සාර්ථකයි කිව්ව. අපි විකුණුව  ඕන දෙයක්,  ඕන කෙනෙක්,  ඕන හැගීමක් අපි විකුණුවා කිසි කැතක් නැතුව.

මිනිස් සමාජෙ අපි අද භුක්ති විදින හැම දෙයකටම ඉතිහාස කතාවක් තියෙනව. ඒ කියන්නෙ අද අපි දකින හැම දෙයක් පිටිපස්සෙම ඉතිහාසයක් තුල මිනිස්සු හෙලූව ශ‍්‍රමයක් තියෙනව. ඒක ටිකක් සරළ කුණු හරුපෙකින් කිව්වොත් අද අපි දකින ගොඩක් දේවල් අද මේ තියෙන තත්වයට එන්න ඉතිහාසයෙ ගොඩක් මිනිස්සු මහන්සිවෙලා තියෙනව. ඔය කතාව මුලින්ම කැම්පස් එකේදි මට කිව්ව සහෝදරය ගත්ත උදාහරණයම ගත්තොත් මුලින්ම කවුරු හරි මිනිහෙක් නැත්තන් වානරයෙක් ගින්දරෙන් වතුර උණු කරන්න පටන් ගන්න ඇති, පස්සෙ කවුරු හරි ඒකට අඩුවක් තිබුණොත් හොදයි කියල හිතන්න ඇති, තවත් කෙනෙක් අත පිච්චෙන් නැති වෙන්න අඩුව තාප සන්නයනය අඩු දේකින් හදන්න ගන්න ඇති, තවත් කෙනෙක් තාපය පිට නොවෙන්න ආවරණය වෙච්ච භාජනයක් පාවිච්චි කරන්න ඇති, තවත් කෙනෙක් දැන් වගේ කේතලේට කටක් දාන්න හිතන්න ඇති, ඊටත් පස්සෙ ඒක ලිපක තියන් නැතුව විදුලියෙන් පාවිච්චි කරන්න විදිහක් හදන්න ඇති. මේ විදිහට අද අපි දකින කේතලය වෙනකන් කේතලය දියුණු කරන්න ඉතිහාසයක් ඇතුලෙ මිනිස්සු ගොඩක් දෙනෙක් මහන්සි වෙලා තියෙනව. මේක සමහර අයටනම් විස්තර කරන්න දෙයක් නැති හොදට දන්න සරළ දෙයක් වෙන්න ඇති. ඒත් මං මේක ලියන්නෙ තණමල්විල කොල්ලෙක් බලල ඒක ගැන සමාජ දේශපාලනික පසුබිම් ලියන අයට නෙමෙයි දෙවෙනි ඉනිම බලල අනුහස්ගෙ ආදරේ ගැන වදවෙන අයටයි.

කේතලයක් හදා ගන්න මිනිස්සු පරම්පරා ගාණක් ඒ තරම් මහන්සිවුණානම් වෛද්‍ය විද්‍යාව වගේ දෙයක් අද තියෙන තත්වයට ගන්න මොන තරම් ශ‍්‍රමයක් හෙළන්න ඇතිද කියල අපිට හිතාගන්න පුලූවන්. අත්හදා බැලීම් කීයක් ඉතිහාසය ඇතුලෙ වරදින්න ඇතිද? ජීවිත කීයක් අනාගතයක් වෙනුවෙන් කැපවෙන්න ඇතිද? වෛද්‍යවරුන් වෙනුවෙන් හිප්‍රොක‍්‍රටික්ස් සහ හෙද සේවය වෙනුවෙන් නයිටිංගේල් වැනි පරමාදර්ශයන් බිහිවන්නේද එම ෙඓතිහාසික කැපකිරීම් තුලයි. ඒ අනුව මෙම වෛද්‍ය ක්ෂේත‍්‍රය පිටුපස ඇත්තේ සමාජීය ශ‍්‍රමයකි. ඒකියන්නෙ හිතන්න ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ගමට එන්න පාරක් හදනව, දැන් ඒක එක් ආකාරයක සමාජීය ශ‍්‍රමයකි. ඒ වගේම ඒ පාර ගමේ හැමෝටම අයිතියි. කවුරුවත් කාගෙන්වත් ඒ පාරෙ යන්න අවසර ගන්න  ඕනෙ නැහැ. සමාජීය ශ‍්‍රමයක ප‍්‍රතිලාභද සමාජීය වියයුතුයි.

පහුගිය දශක හතරක කාලය ඇතුලෙ වෙළදපල පූජනීයත්වයට පත්වීම ඇතුලෙ අධ්‍යාපනය සෞඛ්‍යය වගේ දේවල් වලටත් වෙළදපල භෞතීස්මය දෙන්න පටන් ගත්ත. අධ්‍යාපනයට අදාලව ගත්තොත් කවුරු මොනව කිව්වත් ජෝගියට ගත්තත් අන්තරේ උන් පාරෙ පාරෙ ගුටිකාපු හින්දම (අනිත් බලවේගවල උදව් ඇතුව* අධ්‍යාපනය විශේෂයෙන් උසස් අධ්‍යාපනයෙ සමහර ක්ෂේත‍්‍රයන් වෙළදවලකරණයට විවරවුනේ සාපේක්ෂව අඩුවෙන්. හැබැයි සෞඛ්‍යයට අදාලව ඒ වගේ කැපී පෙනෙන විරෝධයක් එල්ලවුනේ නැහැ. ඒකෙ ප‍්‍රතිඵල අපි දකිනව රජයේ රෝහල් සමහර වෙලාවට අර සුපිරි වෙළද සංකීර්ණයක මැද විවෘත අවකාශෙ බංකු දාල බඩු ගන්න එන මිනිස්සුන්ට විවේක ගන්න හදල තියෙන තැන් වගේ. රජයේ රෝහල වටේ පෞද්ගලික රෝහල්, රසායනාගාර, බෙහෙත් ශාලා නිකන් අර සූර පප්ප කතාවෙ පප්පන්ගෙ ගම වටේ රෝමන් කාරයන්ගෙ කදවුරු හදල වගේ. දැන් සුපිරි වෙළද සංකීර්ණෙ විවෘත අවකාශෙට එන මිනිස්සු ඊළගට විවිධ බඩු ගන්න වටේ තියෙන සාප්පු වලට යනව වගේ රජයේ රෝහලට බෙහෙත් ගන්න කවුරු හරි එක්ක එන කෙනෙකුටත් වෙනව අර වටේ රෝමන් කදවුරු වගේ තියෙන පෞද්ගලික ආයතන වලට ගිහින් රුධිර පරීක්ෂණ කරන්න, බෙහෙත් අරන් එන්න. මේක නිකම්ම රාජ්‍ය අංශයක අකර්යක්ෂමතාවයක් නෙමෙයි යම් ක්ෂේත‍්‍රයක් වෙළදපලට විවෘත කිරීම ඇතුලෙ ඇතිවෙන්නට නියමිත අනිවාර්ය තත්වයක්. පෞද්ගලික පාසල් ව්‍යාප්තියත් එක්ක නුදුරු අනාගතයක ලංකාවේ පාසල් පද්ධතියටත් මේ ඉරණම අත්වීමේ අවදානම තියෙනව.

ලෝකය පුරාමත් තත්වය මේකයි. අවිආයුධ වෙළදාමටත් වඩා ලාභ දායක වෙළදාමක් වෙලා ෙඖෂධ වෙළදාම. විවිධ අර්බුද කාලවල අනෙකුත් වෙළදාම් විටින් විට කඩාවැටුනත් ෙඖෂධ වෙළදාමට එවැනි අර්බුද ආශිර්වාදයක් වෙනව මිසක් කඩා වැටෙන් නෑ. කොරෝනා පැතිරුනත්, ලෝක යුද්ධයක් ආවත් එයාලගෙ බිස්නස් එක දුවනව හොදට. මේ ෙඖෂධ මාෆියාව ලෝකය පුරා ප‍්‍රකෝටිපතියන් බිහිකරන ආකරයක් බවට පත්වෙද්දි ලොව පුරා දිළින්දන් මිලියන ගණනින් මරණය වෙත ගෙනයන සාපයක් බවට පත්වෙනව. දැන් මේ සමාගම් සමාජයක් විදිහට වසර දහස් ගණනක් තිස්සෙ මිනිස්සු ගොඩනගපු දැනුම තමන්ගෙ ප‍්‍රාග්ධනය යොදාගෙන අත්පත් කොටගෙන තිබෙනව. හිපොක‍්‍රටිස්ගෙ නැත්නම් ඊටත් පෙර ඉදන් විවිධ මිනිස්සු තමන්ගෙ ජීවිතයන් පවා කැපකරමින් මෙම දැනුම ගොඩනැගුවෙ සමාජයක් සුවපත් කරන්න වුනාට දැන් ඒ සියළු කැපකිරීම් බහුජාතික සමාගම් කිහිපයක ලාභය වෙනුවෙන් භාවිතා වෙද්දි. ඒ දැනුමේ උරුමකරුවන් වෙච්ච අපි‍්‍රකානු ආසියානු කලාප වල මිනිස්සු මිලියන ගණනින් ෙඖෂධ සමාගම් වල ගබඩාවල තොග ගණනින් අදාල ෙඖෂධ ගබඩාකරල තියෙද්දි මැරෙනව. මේක අතිශෝක්තියක් නෙමෙයි ලෝකෙ සෑම වසරකම ෙඖෂධ තියෙන, සුවකල හැකි රෝගවලින් ෙඖෂධ නොමැති නිසා මිය යන පිරිස ගණින්න වෙන්නෙ මිලියන ගණන් වලින්.

ලංකාවත් ඔය ජාවාරමේ ගොදුරක් වෙනවට අමතරව පහුගිය ආසන්න කාලය පුරාවටම දැඩි ෙඖෂධ හිගයක් පවතිනව. පාලකයො හැමෝම අරයට මෙයාට ඇගිලි දික්කරනව. ඒත් අපි හැමෝම දන්න ඇත්ත මේ ජාවාරම්කාර සමාගම්වල සෙවණැලි ඔය කොතනත් තියෙනව. එක බහුජාතික සමාගමක කෘෂි රසායන මාෆියාවට වකුගඩු දෙක නරක්වෙලා ඒකට බෙහෙත් ගන්න තවත් සමාගමකට තමන්ගෙ සේසතම දෙන්න වෙච්ච ගොවි ගම්මාන පිටින් අපිට රජරටින් හොයාගන්න පුලූවන්. තමන්ගෙ ගෙවල් දොරවල් නැතිවෙලා දරුවන්ටත් දුක්විදින්න වෙයි කියල බෙහෙත් නවත්තල ඔහෙ මැරෙන්න බලන් ඉන්න මිනිස්සු  ඕන තරම් මේ රටේ හොයාගන්න පුලූවන්. මහරගම පිළිකා රෝහලේ මෑත දවස්වල ඇතිවෙච්ච ෙඖෂධ හිගය තමන්ගෙ දුව පුතා පිළිකා රෝගයට ගොදුරුවෙලා ගිණිගත්ත ගෙවල් කීයකට ප්‍රෙට්රල් බෝම්බ විසිකරන්න ඇත්ද?
කොරෝනාත් ලෝකයට ඔප්පු කලා සෞඛ්‍ය වගේ දේවල් වෙළද භාණ්ඩ කරගෙන ලෝකයට ඉස්සරහට දුවන්න බැහැ කියන කාරණය. අපේ රටේ පහුගිය කාලෙ මහ ඉහළින් අගය කරපු නිදහස් සෞඛ්‍යට විකල්ප විදිහට ලෝකෙ අත්හදා බලපු සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයන්ගේ අසාර්ථකත්වය හෙළිවෙන්න ගත්ත. සෞඛ්‍ය රක්ෂණාවරණය අහිමිව රෝහල් වලට නොගොස් නිවසේ සිට මියගිය කොරෝනා ආසාදිතයින් ගැන පුවත් අපට පහුගිය කාල සීමාව පුරා දියුණු රටවලින් අහන්න ලැබුනා. 

සෞඛ්‍ය ඒ වගේම පරිසරය මේ දේවල් දිහා බලද්දි පැහැදිලි වන කාරණය නම් අපිට තවදුරටත් මේ විදිහට ඉස්සරහට යන්න බැහැ කියන දේයි. කොරෝනා සමහර විට අනතුරු ඇගවීමක් වෙන්න පුලූවන් මහා විනාශයකට පෙර අපිට වෙනස් වෙන්න. මේ සටහනේ අරමුණ නිදහස් සෞඛ්‍ය ගැන ආයෙමත් කතා කරන්න පටන් ගන්න කියල ඔයාලට ආරාධනය කරන්න. ඒ වෙනුවෙන් පෙනී ඉන් අඩගහන්න. 

නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු....

රිවිහාර පින්නදුව

Wednesday, May 13, 2020

ආත්මීයව දැනුණු අනාත්මවූ පේ‍්‍රමය


ආත්මීයව දැනුණු අනාත්මවූ පේ‍්‍රමය


සංසාරෙ දුකක්වුව
මේ නැවතුමෙහි සතුටක් 
ඉතිං එහු සොයන්නැති
අනාත්මවූ පේ‍්‍රමය
ආත්මීයව දැනෙන්නැති
ති‍්‍රපිටකයෙ හංගන්
බොද මීදුම් විදින්නැති
බණ පදත් කොටස්කර විකුණන
ඒ ආනුභාවෙන් මන්දිර තැනෙන
බඩ මහත දායකයන්ට මුල් තැන ලැබෙන
ඒ කළ පිනෙන්
බොධියේ වැට රන් පැහැයට හැරෙන
පන්සලට වඩා ඇගේ පැල
අල්පේඡ්ය බවක් දැනෙන්නැති
පන්සලේ හොදම දායිකාව
සිරියාවතීගේ දුව
ගමෙන් අතුරුදහන් වෙද්දි
පොඩි හාමුදුරුවන්ගෙ කුටියෙ
සිවුරක් තනිවෙලා තිබුණ
පන්සලේ මේසන් වැඩකරපු
සෝමෙගෙ ඩෙනිමක්
වැලේදිම අරහත්වෙලා තිබුණ
ඉතිං මේ දුර සංසාරෙ
ඈ ගාව පොඞ්ඩක් නවතින්න
ඔහුට හිතෙන්නැති

(රිවිහාර පින්නදුව)

Monday, May 11, 2020

එන්න හුස්ම ගන්න ශරීර ඇතුලෙ මැරෙන්න

එන්න හුස්ම ගන්න ශරීර ඇතුලෙ මැරෙන්න


අපි ජීවිතේ ආගන්තුක අත්දැකීම් ගොඩකට මේ දවස් වල මුහුණ දෙමින් ඉන්නව. ගේ ඇතුලට වෙලා ඉන්නව ඇරෙන්න තව වෙනස් දෙයක් මං සමාජ මාධ්‍ය වල දකිනව. මගේ සමහර මිතුරන්ට ලස්සනට සිංදු කියන්න පුලූවන් කියල මං දන්නෙ දැන්. ගිටාර් ගහනව, චිත‍්‍රපටි බලල ඒව විචාරය කරණව, පොත් කියවල උපුටා ගැනීම් දානව, තණමල්විල කොල්ලෙක් බලල සංවාද කරණව. කොරෝනා හින්ද අපි එකිනෙකාගෙන් ඈත් වෙලා ඉන්නව කියනව ඒත් කවදාවත් නැති තරමට හැමෝම ළංවෙලා ඉන්නව කියලයි මට දැනෙන්නෙ. මැසෙන්ජර්, වට්ස් අප්, තව එක එක අලූත් ඇප් හොය හොය කට්ටිය චැට් කරණව පරණ ඉස්කෝලෙ යාළුවො, කැම්පස් එකේ යාලූවො සමහරු උන්නද මළාද දැනගන්නෙත් කාලෙකට පස්සෙ දැන්. මේ අලූත් මිනිස්සු මෙච්චර කල් කොහෙද හිටියෙ? 

ඇත්තටම මේ තමයි ඇත්ත අපි. සිංදු කියන, ගිටාර් ගහන, යාලූවො එක්ක පැය ගණන් පච හලන්න ආස ඇත්ත අපි. ඒත් කළින් අපි සිංදු කිය කිය, කයිය ගගහ හිටියනම් අපි අසාර්ථක මිනිස්සු වෙනවා. අපි හැමෝටම තිබ්බ අපේ මොකක්ද එක ඉරාගෙන පස්සෙන් එළවන්න සාර්ථකත්වයක් නැත්නම් හීනයක්. වෙලා තියෙන්නෙ ඒ හීනය වෙනුවෙන් අපිට අපිවම අතඅරින්න වෙලා. මෙතන තියෙන භයානකම දේ මේ තරම් මිළක් ජීවිත වලින් ගෙවල අපි හැබෑ කරගන්න දගලන්නෙ අපේ හීනයක්ද නැත්නම් ඇත්තටම අපිට  ඕනෙ කරණ සාරථකවත්ය කියල වර නගන දෙයක්ද? ඔයාට කොළඹ ඉදල කුරුණෑගලට යන්න  ඕනෙනම් කිසිම ප‍්‍රශ්නයක් නෑ යන්න. ඒත් ඇත්තටම ඔයාට ගාල්ලට යන්න  ඕනෙකම තියෙද්දි වෙන කාට හරි කුරුණෑගලට යන්න  ඕනෙ වෙනව, එයා ඔයාට ඒත්තු ගන්නව ඔයාට යන්න  ඕනෙ කුරුණෑගලට කියල. ඉතිං ඔයා හිතනව ඔයාට කුරුණෑගල යන්න  ඕනෙ කියල, ඔයා කුරුණෑගල යනව, අර මනුස්සය ඔයාගෙ වාහනේ එල්ලිලා එයාගෙ ගමන යනවා. මෙන්න මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. අපි අපේ ජීවිතය පුරාවට ගාල්ලට යන්න  ඕනෙකම තියෙද්දි දණගාගෙන බඩගාගෙන කුරුණෑගලය යන්න දගලනව. අපිට අදාල නැති ගමනකට ජීවිතේ කියනව.
මේ සිස්ටම් එක දුවවන්න අපේ පණ කඩන් දුවන දිවිල්ල  ඕනෙ. ලීස් කරල කාර් එකක් ගන්න ඒකෙ වාරික භාගයක් විතර ගෙවල ඉවර වෙද්දි ඒක විකූණල තව එකක් ගන්න ලෝන් එකක් දාල ලොකු ගෙයක් හදන්න, ඊලගට ඒවගෙ වාරික ගෙවන්න රැුයක් දවාලක් නැතුව වැඩ කර කර නහින්න. ඔයා මට අලූතින් ලීස් කරල කාර් එකක් ගන්න  ඕනෙ නෑ කියල තීරණය කරන තැන ලීසිං ගෙවන්න නැති හින්ද හතරෙන් පස්සෙ  ඕටී කරන්න  ඕනෙ නෑ ගෙදර ගිහින් පුතත් එක්ක කි‍්‍රකට් ගහනව කියල තීරණය කරන තැන මේ ප‍්‍රාග්ධනය ගොඩ ගැසීමේ සිස්ටම් එක අවුල් යනවා. 

දැන් එතකොට අපි මොකද කරන්නෙ? මෙහෙන්ම ගෙදරට වෙලා ඉන්නවද? වනගත වෙනවද? ඇත්තටම කාලෙකට කළින් ජාත්‍යන්තර කම්කරු දිනය නම්කරන්න හේතු වෙච්ච හේමාකට් අරගලයෙදිත් කම්කරුවන් ඉල්ලූවේ මේ දේ, ඒ කියන්නෙ ජීවිතය, ඒ කිව්වෙ පැය 08ක වැඩ දිනයක්.  අපි හැමෝම වැඩ කරන්න  ඕනෙ, ඒ අපේ ජීවිතය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් එහෙම නැතුව කාගෙ හරි ලාභ ඉලක්කයක් වෙනුවෙන් නෙමෙයි. මේක නිකන් වැඩකට නැති වාමාංශික ටෝක්ස් ටිකක් කියල දැනෙනව ඇති. ඒත් අපි මේ බිත්තර කටුව ඇතුලෙ ඉන්නකන් අපි ලෝකය දකින්නේ ඒක කියව ගන්නේ මේ බිත්තර කටුවේ සීමාවන්ට යටත්ව. ඒත් අපිට ඇත්තටම ජීවිතය දකින්න  ඕනෙනම් බිත්තර කටුව කඩාගෙන එළියට එන්න වෙනවා.  ඕව කරන්න පුලූවන්ද? හීන විතරයි වගේ ගොඩක් දේවල් අපිට දැනෙන්නෙ අපි මේ බිත්තර කටුව ඇතුලෙ ඉන්න නිසා. බිත්තරේ ඇතුලෙ කොහොමත් ගොඩක් දේවල් කරන්න බැරි හීන විතරයි හැබැයි මේ ලෝකෙ හැමදාම ඉස්සරහට ගියෙ මිනිස්සු මේ බිත්තර කටුව කඩාගෙන එළියට ආපු වෙලාවල් වලයි.

මං දැක්ක කෝටිපති ව්‍යාපාරිකයෙක් අපිට මේ අර්බුදෙන් ගොඩ එන්න මහන්සි වෙලා වැඩකරන්න කියල කියනව. මට මතක්වුනේ එයාගෙ ෆැක්ටරියක උදේ ඉදන් ? වෙනකන්  ඕටී ත් එක්ක වැඩ කරල පුලූවන්නම් වෙන අහල පහල ෆැක්ටරියක නයිට් ෂිෆ්ට් එකත් ඇදල දාන මගෙ මිතුරෙක්ව. ඇත්තටම කළින් අපි කිසිම වැඩක් නොකර උඩ බලන් හිටියද? එහෙන් මෙහෙන් කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අපි ගොඩක් දෙනෙක් ජීවිතේ කියල වැඩ කරන එක තමයි කළේ. ජීවිතේම මොකක් හරි කම්පැනියකට කඹුරන එක කරගත්තු මිනිස්සු තව අමුතුවෙන් මොනව මහන්සි වෙලා වැඩකරන්නද?

දැන් ආයෙ අපි ටික ටික අපේ පුරුදු ජීවිත වලට යනව. ඒ කියන්නෙ අපි ආයෙ සිංදු කියන් නැද්ද? ගිටාර් ගහන් නැද්ද? අපිට තේරුන් ගන්න වෙනවා මැරිච්ච ශරීර හුස්ම ගන්න එකට නෙමෙයි ජීවිතය කියන්නෙ කියල. අපිට වෙනව ඒ අහිමි කරපු ජීවිත වෙනුවෙන් අරගල කරන්න. එහෙම නැත්තන් හුස්ම ගන්න ශරීරයක් ඇතුලෙ මැරෙන්න. තියෙන තත්වයත් එක්ක හෙට ලෝකය ආයෙමත් ජාතිකවාදයේ අදුරු ලෙන් තුළට ගාල්වෙලා පරණ ඇටකටු ලෙවකන්න ගනීවි. හැබැයි ඒ අතර කොමියුනිට්ස් සමාජක‍්‍රමයන් වගේ දේ ගැනත් මිනිස්සුන්ට අලූතින් හිතන්න ඉඩක් ලැබේවි. මොකද දැන් මිනිස්සුන්ට වගේම පෘථුවියටත් මහන්සි දැනිලා තියෙන්නෙ.

(රිවිහාර පින්නදුව)