Thursday, July 16, 2015

ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


අහන්බෙන් ඇස ගැටුණු මෙම පෝස්ට් එකක් හා එහි වූ කමෙන්ට් තුළින් වමට ඉගෙන ගතයුතු යමක් වේ යැයි සිතුනි. එහි තිබුණේ ජවිපෙ දිනවමු ලෙස මහා මාර්ගයේ ලියූ ප‍්‍රකාශයකි. මෙම පෝස්ට් එක දැමූ හා කමෙන්ට් කළ පිරිසට මෙය අවුලකි. ජවිපෙන් ඔවුන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවේ. මේ වගේ වැඩ කළොත් ඡන්දය දෙන එක ගැන සිතා බැලීමට වන බවත් ඔවුන් පවසයි. අනිත් අතින් ඒ පිරිස සතුටු වන ආකාරයට දේවල් පෙළ ගැසෙමින් තිබෙයි. මෙහි අදහස් දක්වන ජවිපෙ සොහොයුරන් පවසන්නේද පාක්ෂියන්ද මේ ගැන කතා කරණ බවයි. ඒ ඔවුන් අතරේද මෙය අවුලක් යන අදහස මතුව ඇති බවයි. එසේම පෙර ඡන්ද ඉලක්ක කොට වැඩ විදිහට එක රැයින් පධාන පාරවල් විතරක් නෙමෙයි අතුරු පාරවල් පවා සීනු වලින් වැසූ යුගයක් තිබූ බව අපිට මතක ඉතිහාසයේද ඇත. අද එළෙස පචාරක උපකමයක් ලෙස පබලව යොදාගන්නා අයුරු දැකගැනීමට නොහැක.
ලංකාවේ මැද පන්තියට එජාපයේ ශී‍්‍රලනිපයේ ඇති අවුල් නැති හොද ධනේෂ්වර පක්ෂයක් (හොරකන් කරන් නැති බුද්ධිමතුන් ඉන්න දියුණු ධනේෂ්වර පක්ෂ මේ ආකාරය) ඕනෑ කර ඇත තමන්ගේ ඒ උවමනාවට ඔවුන් ජවිපෙ භාවිතා කරයි. පසුගිය කාලය පුරාවට ජවිපෙ සිදුකළේද මෙම කාර්යය භාරයයි. මැද පන්තියේ ඇතැම් ආස්වාදයන් බිදහල මහින්දට එරෙහි වීම, ව්‍යවස්ථා සංශෝදන ආදියම ප‍්‍රමුඛ කර ගැනීම (මේවාද ඇතැම් තැන්වල වම කළ යුතු අතර නමුදු වැඩේ එය කරගෙන ඒ තුළ ගිලීයාම අනෙකකි) වැනි දේ තුළ ඔවුන් මෙම පිරිසට ආස්වාදය ගෙන එන ලදී. හොදින් සමාජය දෙස බැලුවොත් රජරට වකුගඩු අර්බුදයේ පටන් ජවිපෙට තම සංවිධාන හා පිරිස් බලය යොදා ඉහළට එසවිය හැකිව තිබූ පීඩිත අරගල හා සටන් පාඨ රාශියක් තිබුණු නමුත් මහින්ද එළවීම 19 සම්මත කිරීම වැන්නකට හැර ඔවුන් ඒ අරගල කිසිවක් තම ශක්‍යතාවයට සාපේක්ෂව අතට ගත්තේ නැත. අවම වශයෙන් පීඩිත සටන් කරණ බලවේග මර්දනයට හෙට යොදාගන්නා පැය 48 අත්අඩංගුවට ගැනීමේ පනත, පාසල් වලින් ගාස්තු අය කිරීමේ පනත ආදියට පාර්ලිමේන්තුව තුළ අතක් උස්සා විරුද්ධව ඡන්දයක් පාවිච්චි කරන්නට හෝ ඔවුනට උවමනාවක් නොවුණා සේම පාක්ෂිකයන් වෙතින් මෙන්ම වෙන කිසිවෙකු ඒ පිළිබදව ඔවුන් ප‍්‍රශ්න කරණු නොදුටුවෙමු. නමුදු පාරෙහි සීනු ඇදීම ප‍්‍රශ්න කෙරෙන අතරම ජවිපෙ සහෝදරවරුද අපි ගෙනෙන විවේචනයන් හමුවේ ප‍්‍රතිප‍්‍රහාර දක්වන ලෙස නොව මෙය පිළිගන්නා සෙයක් දක්වන අතර මේ පිළිබදව තමන් කතා කරන බවද පවසයි. පෙරකී පනත් නොදුටුවා සේ මගහරින විට ‍පාක්ෂිකයින් ඒ පිළිබදව පාරේ ලිවීම ගැන තරමටවත් සංවාද ගත වූවාද යන්න සිතා බැලිය යුතුය
කම්හලේ බිත්ති මත අගුරු කැටයෙන් ලීව කුරුටු ගී මගේ මහ ගී පොතයි යැයි කීවේ නන්දාය මේ දෘෂ්ඨියෙන් බැලුවොත් එය තමන් සේවය කරණ තැන ලස්සනට තියෙන බිත්ති කැත කරණ අවුල් වැඩකි. පසුගිය කාලයේ ලලිත් කූගන් සහෝදරවරු අතුරුදහන් කළ විට හා කුමාර් සහෝදරයාගේ දේශපාලන නිදහස අහිමි කළ විට මෙම උපක‍්‍රමය පෙසප භාවිතා කරණ ලදී. සමාජවාදී තරුණ සංගමයෙන් ඉස්සර චේ ගේ මුහුණ තාප්ප පුරා ගසා ඒවා කැත කළ අතර අදද පෝස්ටර් තට්ටු ගැළවුණු වෙලාවක එහෙන මෙහෙන් චේ ගේ මුහුණ මතුවෙනවා දකිද්දී ගෙනෙන්නේ ආස්වාදයකි. වමේ සහොදරවරුන්ට කියන්නට ඇත්තේ සහෝ අපි බිත්ති තාප්ප පුරා ලියමු, ජවිපෙ දිනවමු හෝ පෙසප දිනවමු කියා නොව වමේ සඨන් පාඨ මේ හැම තැනම ලියමු. අප මැද පන්තීන් දිනාගත යුතු අතර ඒ ඔවුන්ට අවශ්‍ය දේ කර ව්‍යාපාරයේ සාරය දියකර හැරීමෙන් නොව අද ඔවුන් විකාරයක් හෝ අවුලක් සේ දකින ‍වමේ කතාවට ඔවුන් දිනාගැනීම තුළින්ය. එය ‍මේ වගේ පහසු නොවන වෙහෙසකර හා දිගු දුෂ්කර එමෙන්ම ජනපි‍්‍රය නොවන ව්‍යායාමයක් වනු ඇත. නමුදු වමේ ගමන ඇත්තේ එහිය. 
යමෙකු දියුණු ලෝකයක මේවා ග‍්‍රාම්‍ය උපක‍්‍රම ලෙස පැවසිය හැකිය. නමුදු යුරෝපය වැනි දියුණු ධනේෂ්වර රටවල පවා රැඩිකල් හා වාමාංශික කණ්ඩායම් තම සටන් තුළ මෙම වීදිවල සටන් පාඨ ලිවීමේ උපක‍්‍රමය භාවිතා කරයි. මේවා සිවිල් නීති කැඩීම් විය හැක ගැටළුවක් නැත ඒවා ඇත්තේ කැඩීමටය. (මෙය භය හිතෙන ප‍්‍රකාශයක් උවද මහත්මා ගාන්ධි පවා අනුගමනය කළ දෙයකි) අන්තරයට පා ගමන් නවතන්නට දිගින් දිගටම අධිකරණ නියෝග ගෙන එන විට ඒවා දිගින් දිගටම කඩ කළ අතර අවසන අධිකරණයම පොළිසියට නැවත මෙවැනි ඉල්ලීම් නොකරන ලෙස දැන්වීය. එම සිවිල් නීති කඩ නොකළේනම් සම සෞඛ්‍ය අරගලය ඇතුළු කිසිදු මෑතකාලීන සටනක් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නේ නැත. අවසනට සොහොයුරණි අපි මේ ලස්සන මැදට පැන වකුගඩු රෝගීන් ගැන කුණු කදු වලට යට වෙලා ජීවිත අපායක් වුණ මිනිසුන් ගැන කුරුටු ගා කැත කරමු. මේ නිහඩ බව මැදට පැන වෙළද කලාපවල නැහෙන සොයුරියො ගැන අධ්‍යාපනය විකුණන් කන එක ගැන බෙරිහන් දෙමු. ඔය ලස්සන කියන ඇස් නිලංකාරවෙන ෆැන්ටසියෙ තියෙන්නෙ ලේ කදුළු වලින් හැදුණු මානව ඛේදවාචකයක් මිසක් වෙන මොකුත් නෙමෙයි. එ් හින්ද ඕව කැත කරණ එකම තමයි කරන්න ඔනෙ.

(රිවිහාර පින්නදූව)

Friday, July 10, 2015

කලාවට සදළුතලාවෙ ඉන්නදෙමුද?


කලාවට සදළුතලාවෙ ඉන්නදෙමුද?


ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරය නිරන්තරයෙන් විවිධ පොත් එළි දැක්වීම්, සම්මන්ත‍්‍රණ ආදියට වෙන් වෙයි. කවි සංවාද, සිනමා රසාස්වාදන වැඩසටහන්, ජාත්‍යන්තර සිනමා උළෙලවල් මේ ආදී කලාවට අදාල සංවාද තලයේ යම් යම් දේ කොළඹ කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙයි. නමුත් මේ සංවාද වල සහභාගීත්වය මෙන්ම එහි විෂය පරාසයන්ද යම් නිෂ්චිත සීමාවක් තුළට කොටු වී ඇති බව අපට හදුනාගත හැකියි. මේ හැම තැනකම කැරකවෙන්නේ කොළඹ ආශි‍්‍රත නාගරික තරුණයින් කේන්ද්‍ර කරගත් එකම මුහුණු ටිකක්ය. මෙවැනි සංවාද වලටම සහභාගීවී ඔවුන් සියල්ලෝම එකිනෙකා හදුනන මිතුරු කව බවට පත්ව ඇත. නමුත් ලාංකීය කලාවේ හෝ කලා රසිකයා ගැන නිවැරදි කියවීමක් මේ තුළින් අපට ලබා ගත හැකිද? මේ ගැන සරළ අදහසක් ගන්න සිදුවීමක් පසුගිය වසරෙ කොළඹ අන්තර් අන්තර් ජාතික සිනමා උළෙල කාලෙ මං අත්වින්ද. සිනමා උළෙලෙ සිනමා ශාලා බොහොමයක් තිබුණෙ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් පයින් යන දුරින්. සිනමා උළෙල නරඹන්න නොමිළේ ප‍්‍රවේශපත් ඒ ආසන්නයේම පදනම් ආයතනයේදී වගේම සිනමා ශාලා අසළත් ලබා ගන්න පුළුවන්කම තිබුණ. නමුත් එහෙන් මෙහෙන් මේ මොකක්ද බලන්න ආපු කෙනෙක් ඇරෙන්න එතනත් වැඩි හරියක් තිබුණෙ පුරුදු මූණු ටිකමයි. කොළඹ ඉන්න ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාව වැඩි පිරිසක් එකට එකතු වුණ තැනක් තමයි කොළඹ විශ්ව විද්‍යාලය. ඒ ආසන්නයේම මෙවැනි ජාත්‍යන්තර චිත‍්‍රපට ප‍්‍රදර්ශනයක් තිබුණත් එහි උණුසුම විශ්ව විද්‍යාලය ඇතුළට දැනුනෙ හරිම අඩුවෙන්. එහෙන් මෙහෙන් කෙනෙක් දෙන්නෙක් මිසක් සාමූහිකව ඒ අවස්ථාවට සහභාගිවෙන්න උනන්දුවක් ඔවුන් තුළ තිබුන් නෑ. සත්‍ය ලෙසම ඔවුන් නියෝජනය කරන්නෙ හුදෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නොව මේ රටේ බහුතර සාමාන්‍ය ජනතාවගේ රුචිකත්වයයි, රසවින්දනයයි.
අපේ රටේ ජනපි‍්‍රය කතාවක් තමයි දැන් හැදෙන ළමයි අමරදේවගෙ නන්දා මාලිනීගෙ සිංදු අහන් නෑ මේ අය අහන්නෙ බාතිය සංතුෂ්ගෙ ඉරාජ්ගෙ සිංදු කියන එක. ඒත් අපේ රටේ තරුණය වැඩියෙන්ම කැමති භාතිය සංතුෂ්ලගෙ ඒ සංගීතයටද? පහුගිය සිකුරාද දවසක හැන්දෑවෙ මං කොටුවෙ පදික වේදිකාවෙ ඇවිදිමින් ඉන්නාවිට එහි ක්‍ෘ අළෙවි සැල් අවට සති අන්තයේ නිවෙස් වලට යාමට පෙර තරුණයින් ගෙදර රැුගෙනයාමට ක්‍ෘ පට මිළදී ගණිමින් සිටිය. ඔවුන් වැඩි දෙනෙක් මිළට ගත්තෙ චිත‍්‍රපට හෝ වෙනයම් දෙයක් නොවෙයි ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්වල සජීවී සංගීත ප‍්‍රසංග වල වීඩියෝ දර්ශන. බස් රථවල නිරන්තරයෙන් ප‍්‍රචාරණය වන්නෙත් මෙම ගීතය. නාගරික තරුණයාගෙන් බැහැරව ග‍්‍රාමීය තරුණයින්ගේ ප‍්‍රධානම රසවින්දන මාධ්‍යය වී ඇත්තේ මෙම සංගීත ප‍්‍රසංගය. ”මේ සතියෙ කොහෙවත් සංගීතයක් නැද්ද?” ”සංගීතෙ ගහන්නෙ කවුද?” මේවා මිතුරන් පිරිසක් එකතුවූ විට සුලභ වදන්ය. මිතුරන් එකතුවී ? යතුරුපැදිවල නැගී කෑගසමින් එද භූමියට යන ගමනේ සිට සංගීතයට සවන් දීම, නර්තනය හා මත් ද්‍රව්‍ය භාවිතය ඇතුළු සාමූහික කි‍්‍රයාකාරකම් රැුසක් මීට අයත්ය. මේ සංගීත සම්ප‍්‍රදායට ග‍්‍රාමීය තරුණ තරුණියන් ආකාර්ෂණයට හේතු කිහිපයක් උපකල්පනය කළ හැකිය. 
මේ සංදර්ශන බොහෝමයක් නොමිළේ පැවැත්වීම, නැතිනම් ඉතා අඩු මුදලකට පැවැත්වීම නිසා ඔවුනගේ දුෂ්කර ආර්ථික ජීවිතයට මෙය එතරම් අමතර බරක් නොවෙයි. මෙය අප සංසන්දනය කළ යුත්තේ නෙළුම් පොකුණේ මහසමයම නැරඹීමට හෝ ලයනල් වෙන්ට් රඟහලේ ෙවිදිකා නාට්‍යයක් නැරඹීමට ප‍්‍රවේශ පතකට වැය වන මිළත් සමඟය. වේදිකා නාට්‍ය,වෙනත් සංගීත ප‍්‍රසංග ආදිය බොහෝ  විට පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමින්ය. එබැවින් ඈත ප‍්‍රදේශවල සිටින පිරිස් වලට මෙවැනි අවකාශයන්ට ප‍්‍රවේශවීම අපහසු වෙයි. නමුත් මෙම එළිමහන් සජීවී සංගීත ප‍්‍රසංග රටපුරා හැම තැනකම පැවැත්වෙයි. තම ගමේ පාසලේ කී‍්‍රඩා පිටියේ, ආසන්න නගරයේ නිතර මෙවැනි සංදර්ශන සංවිධානය වෙයි. රාතී‍්‍ර කාලයේ පැවැත්වෙන බැවිනුත් බොහෝ විට සති අන්තයේ පැවැත්වෙන බැවිනුත් තම දෛනික කටයුතු වලට බාධාවක් කර නොගෙන සහභාගීවීමට අවස්ථාව ලැබෙනව. ඒ වගේම මේක සාමූහික කි‍්‍රයාකාරකමක් හැමෝම එකට එකතුවෙලා යන්නෙ නටන්නෙ ගැටුම් ඇතිකරගත්තත් එතනත් යම් විදිහක සාමූහික කි‍්‍රයාකාරීත්වයක් තියෙනව. දහස් ගණනක් සෙනග මැද්දෙ දහඩිය පෙරාගෙන නටමින් ලබන ඒ අත්දැකීම වාහනයකින් පැමිණ වායුසමනය කළ ශාලාවක ලබන දියුණු සංගීතමය අත්දැකීමකට වඩා වෙනස්. 
මීළගට මේ ගීත දිහාවට අවධානය යොමු කළොත් ඉතා සරළ පදවැල් මෙහි පොදු ලක්ෂණයක්. සරළ කිව්වද එය සරළ බවටත් වඩා වචන සංස්කරණයකින් තොරව නැතිනම් ව්‍යවහාර භාෂාවෙන් පැවසුවහොත් අමුවෙන් අදහස් ඉදිරිපත් කරනු දැකගත හැකිය. ඒ බොහොමයක් විරහව වැනි කරුණු මුල් කරගෙන රචනා වී ඇති අතර මව්පිය ගුණ කියවෙන ගීතද ඉහළ ආකර්ෂණයක් හිමිකර ගන්නා අයුරු දැකගත හැකිය. සංකීර්ණ තනු දියුණු සංගීත සංයෝජනයන් වෙනුවට යම් ආකාරයක ඒකාකාරී බවක්ද මෙම ගීත තුළ දැකගත හැකියි. මෙහිදී සමහර වියතිරේඛයන් පවතින බවද අමතක නොකළ යුතුයි. මොවුන් මෙම ගීත වලට මෙතරම් ආකර්ෂණය වන්නේ මන්ද යන්න සිතන විට මා හට මුහුණ දුන් තවත් අත්දැකීමක් මතකයට නැගෙයි. මා මිතුරන් කිහිප දෙනෙකු සමග මිතුරෙකුගේ බෝඩිමකට වී විභාගයකට සූදානම් වෙමින් සිටින අතර තුර දිනක් අප හා කතා බහට එක්වූ එම බෝඩිමේ අයිතිකාරය තම මිතුරාට පැවසුවේ ”මචං මුන් බලන ෆිල්ම් බැලූවම ඔළුව විකාර වෙනව. මටනම් කල්පනා කරන්න ජීවිතේ ඇති තරම් ප‍්‍රශ්න තියෙනව ඔය වෙලාවත් මොනවගෙන් හරි ඔළුව පුරවගෙන බර කරගන්නෙ මොකටද? මටනම්  ඕනෙ එ වෙලාව ජොලියෙන් ඉන්න”. ඔහුගේ කතාව ඉතා සාධාරණය. ජීවිතේ පුරා වෙහෙස වී හෙම්බත් වී සිටින මිනිසුන්ට අවැසි වන්නේ සැහැල්ලූවකි. තම ආතතීන් සමනය කර ගැනීමට මගකි. 
මේ දිහා විමසිලිමත්ව බලන විට පැහැදිලිවන කාරණයනම් කලාවේ උසස්ම නිර්මාණයන් රසවිදීමේ අවස්ථාව මෙන්ම ඒවා රස විදීමේ වින්දන හැකියාවද ඇත්තේ ධනපතීන් හා යම් තාක් දුරකට මැද පන්තියෙහි පිරිස් අතෙහිය. කලා කරුවන් සිටින්නේද එම සමාජ ස්ථරයන් තුළය. එම කාරණය පැහැදිලිය. කලා නිර්මාණකරනයට මෙන්ම ඒවා රසවින්දනයටද යම් නිදහසක් හා අධ්‍යන හැකියාවක් තිබිය යුතුය. එම ශක්‍යතාවය මුළු කාලයම එදා වේල හොයා ගැනීමට දිය කරන මිනිසුන්ට ලබා ගැනීමට අපහසුය. මේ කරුණ එදා සෝවියට් රුසියාවේද විවාදයට ලක්වූ කාරණයකි. කලාව ජනතාව උදෙසා විය යුතුය යන සමාජ සත්තා යථාර්තවාදී දෘෂ්ඨියෙන් තර්ක කල ඇතමුන් පැවසුවේ පීඩිත ජනතාවගේ කලාවක් ගොඩනැගිය යුතුය යනුවෙනි. ට්‍රොස්කි මෙහිදී පැවසුවේ සෑම විටම කලාව දියුණුවූයේ බලය හිමි පංතිය වටාය. මානව සමාජය මේ වන විට යම් තැනකට රැුගෙන පැමිණ ඇත. ඒ අනුව කල යුත්තේ එය පීඩක පංතියේ කලාව ලෙසින් ප‍්‍රතික්ෂේප කිරීම නොව එම කලාව පීඩිත පංතිය වෙත දිනා ගැනීමයි. මම මේ මතයන් දෙක ඔබ හමුවේ විවෘතව තබමි.
කලාව ජනතාව අතරට ගෙනයන්නේ කෙසේද? ඔවුන් පුළුල් රසවින්දනයක් වෙත ළගා කරන්නේ කොහොමද? මෙය විකල්ප දේශපාලන අදහස් දරණ කලා කරුවන් පුළුල්ව ප‍්‍රවේශ විය යුතු ප‍්‍රශ්නයකි. විශේෂයෙන්ම කොළඹ ආශි‍්‍රතව විකල්ප ගීත ඇතුළු සම්මත ධාරාවෙන් බැහැර කලා කරුවන්ටද මෙම බහුතරය වෙත ප‍්‍රවේශ වීම අපහසුය. මන්දයත් ඔවුන්ගේ ආමන්ත‍්‍රණය මෙම පිරිසට බොහෝ දුර බැවිනි. අනිත් අතට කලා කරුවන් නිර්මාණකරනයේ යෙදෙනවා විනා එය නිශ්චිත දේශපාලන අරමුණු තුළ සිරකල යුතුද යන්න පිළිබදවද විවාදයක් පවතී. කෙසේ නමුදු බහුතර ජනතාවගේ කලා රසිකත්වය පිලිබද මෙගා බලල බුදියගන්න මිනිස්සු වැනි හුුදු විවේචනයකින් ඔබ්බට ගොස් එම කලා අවකාශයට ප‍්‍රවේශ වීමටත් ඔවුන් දියුණු රසිකත්වයක් වෙත ගෙන ඒමට මං සෙවිය යුතුය. 

රිවිහාර පින්නදුව
   



Thursday, June 25, 2015

දෙවියො අල්ලස් ගන්නවා


දෙවියො අල්ලස් ගන්නවා


හැමෝම යන හින්ද
හොරු අල්ලන්න
කොමිසමට අල්ලස්
මටත් හිතුන යන්න
පැමිණිල්ලකුත් අමුණන්
විභාග හොරට
පාස් කරල දෙනව ඇත්තමයි
වැඬේ කරන්න 
කළින් ගාණයි
පස්සෙ ගාණයි
ලෙඩ හොදකරන්න
රස්සා ගන්න
කසාද හරියන්න
එච්චරක්නම් බැරියැ
අත පය කඩන්න
හැදිගෑවිලා යන්න
දහසකුත් දේ වෙනව
එකම වහළක් යටින
වැඬේට විතරක් නෙමෙයි
පස්සෙ එක එක දේට
ආයෙ ආයෙත්
ගෙවන්න වෙනව
සල්ලි විතරක් නෙමෙයි
පළතුරු වට්ටි මල් මාල
තවත් එක එක දේ
අල්ලසට ගන්නවා
ඇත්තමයි
මුළු ගමම සාක්කියි
දේවාලෙ කපුව
ඉස්සරහට දාලයි
වැඩ ඔක්කොම වෙන්නෙ
කොමසාරිස්තුමනි
ලියාගන්න මගෙ පැමිණිල්ල
අපේ ගමේ දේවාලෙ
දෙවියො අල්ලස් ගන්නවා

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=847515471991871&set=pb.100002002790094.-2207520000.1435217603.&type=3&theater )

Friday, June 19, 2015

සමාජ ජාල අවකාශය, කවිය හා කලාව


සමාජ ජාල අවකාශය, කවිය හා කලාව 


අතීත පරම්පරාවල කවියො තමන් පත්තර වල කවි පිටු වලට කවි ලියල ඒව පළවෙනකන් බලන් හිටපු හැටි, එහෙම පල උනහම සතුටු උන හැටි කියනව අහල තියෙනව. ඒත් වර්තමාන පරම්පරාවට එද්දි අද දවසෙ තරුණ කවියො සම්පූර්ණයෙන්ම නැතත් බොහෝ දුරට පුවත් පතක තම කවිය පලකරගන්න ඉස්සර තරම් උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. හේතුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, එදා නවක කවීන්ට තම නිර්මාණ සමාජයට ගෙනියන්න තිබ්බෙ මාධ්‍ය දෙකයි. එකක් පොතක් විදිහට මුද්‍රණය කරන එක, අනික පුවත් පතක, සඟරාවක පලකරන එක. ඒත් අද දවසෙ කවීන්ට හරි ඒ ධාරාවේ නිර්මාණකරුවන්ට තමන්ගෙ නිර්මාණ සමාජය සමඟ බෙදා ගන්න ක‍්‍රමවේදයන් විවර වෙලා තියෙනව. මූලිකවම ඒ සමාජජාල මාධ්‍ය හරහායි. වෙහෙස මහන්සි වෙලා ප‍්‍රකාශකයො හොයාගෙන පොත් ප‍්‍රකාශ කරන්නත් ඔවුන් අතර එතරම් උනන්දුවක් නෑ.  මොකද නිර්මාණ කරුවෙක් විදිහට ඔවුන් තම නිර්මාණ ඊට වඩා පහසුවට රසිකයින් අතරට ගෙනියනව මෙම සමාජජාල මාධ්‍ය හරයා. පත්තරයක කවියක් පල උනත් ඊට වඩා තෘප්තියක් එම පත්තර පිටුව තමන්ගේ සමාජජාල අවකාශන් තුළ පල කිරීමෙන් ඔවුන් ලබනව. මෙතනදි පුවත් පත් ලෙස සතුටු වෙන්නත් කාරණයක් නැතුවම නොවෙයි, ඔවුන් එම පුවත් පත් පිටු ෆේස් බුක් වැනි අවකාශයන් තුළ පලකිරීමෙන් සතුටුවෙන්නෙ මගෙ කවි පත්තරවලත් යනවා යන්න සමාජයට ප‍්‍රකාශ කිරීම හරහායි. ඒ අනුව පුවත් පත් කවි පිටුවලට තවමත් සමාජයේ වටිනාකමක් පවතිනව කියන කාරණයත් ඔප්පු වෙනව.
සමාජ ජාල මාධ්‍ය අවකාශය කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ සුවිශේෂීයි. මේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට අසීමිත නිදහසක් ලබාදෙනව. ව්‍යාකරණ සීමා, සංස්කෘතික සීමා, ඉඩකඩ සීමා මේ ආදී සියල්ල අභිබවමින් තමන්ට රිසි පරිදි තම හැගීම් වචන, රූප කරන්නට ඔවුන්ට ඉඩකඩ විවරවෙනව. තාක්ෂණයේ දියුණුවත්, එම තාක්ෂණය සුළභවීමත් එක්කම මේ සමාජ ජාල අවකාශය භාවිතා කරණ පිරිසත් පුළුල් වෙන්න ගත්ත. ඊට සාපේක්ෂ මේ අවකාශයෙ නිර්මාණකරුවන් ප‍්‍රමාණයත් වේගයෙන් ඉහළ ගියා. ඒ තුළ සයිබර් අවකාශයේ කවීන්ගේ සංගම් වැනි දේවල් ඇතිවුණා. සමාජ ජාල වෙබ් අඩවි හරහා හදුනාගත් ඔවුන් පසුව සුහද හමු වැනි දේ සංවිධානය කරමින් එකතුවුණා. කවි සංවාද වැඩසටහන්, කාව්‍ය සංග‍්‍රයන් එළිදැක්වීම් වැනි විවිධ කටයුතු මේ සාමූහිකයන් හරහා සිදුවුණා. සාමාන්‍ය කවි පොතක්, පත්තර කවි පිටුවක් වගේ නෙමෙයි මෙහිදී කවියට සෘජුවම තම රසිකයින්ගෙ ප‍්‍රතිචාර ලැබෙනව වගේම ඔවුන් සමග සංවාදගත වෙන්නත් අවකාශය උදාවෙනව. 
මෙහිදී කවියට අමතරව විවිධ නිර්මාණාත්මක අදහස් දැක්වීම්, සරළ කෙටි චික‍්‍රපට වැනි විවිධ කලාත්මක අත්හදා බැලීම් මෙම අවකාශය තුළ දැකගත හැකියි. ”ගප්පියා” වැනි ප‍්‍රධාන මාධ්‍ය වලින් බැහැරව මෙම සමාජ ජාල අවකාශය හරහාම තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගනිමින් ජනපි‍්‍රයවූ නිර්මාණකරුවන් අපට හමුවන්නේ මෙම අත්හදා බැලීම් තුළින්ය. මෙම නිර්මාණ කරුවන් අතර එම සමාජ ජාල අවකාශයටම අනන්‍යය විවිධ වදන්, රූප, කාටුන් චරිත ආදිය පවතින අතර නිර්මාණකරුවන් මේවාද තම නිර්මාණයන් සදහා දායක කරගනී. මීළග නිර්මාණය පලවෙනතුරු බලා සිටින රසික ප‍්‍රජාවන්ද ඇතැම් නිර්මාණකරුවන් වටා එක් වී සිටී. 
මෙම සමාජ ජාල අවකාශය දෙස බලන කල සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදයද මැනවින් පැහැදිලි වේ. බොහෝ දෙනෙකු (හැමෝම අඩු වැඩි වශයෙන්) කවි හා වෙනත් නිර්මාණ මෙහි පලකරන්නේ අන් කිසිවකට නොව තමන් කියාද කෙනෙකු සිටින බවට බාහිර සමාජයට අගවන්නටය. සරළව පොරක් වීමටය. මෙහිදී තම නිර්මාණ තුළ විප්ලවීයත්වය, රැුඩිකල්කම, රස්තියාදු උපසංස්කෘතික ලක්ෂණ, මත් ද්‍රව්‍ය භාවිතය පෙන්වීමට මෙම බොහෝ දෙනෙක් උත්සුක වෙයි. එය අසාර්ථක නැත. එම වෙනස් බවට බොහෝ දෙනෙකු නිතැතින්ම ආකර්ෂණය වෙයි. නමුත් මේ බොහෝ දෙනෙකු සංවාද තුළ අදහස් දක්වද්දී වගේම පෞද්ගලික ජීවිත වලට එබී බලන විට පැහැදිලිවන කාරණයනම් ඔවුන් බොහෝ විට අතිශය ගතානුගතික බවයි. තවද ඒ විකල්ප භාවිතයන් අප සමඟ එක්ව කි‍්‍රයාකාරීත්වයට නගන්නට අප යෝජනා කරණ විට ඒ බොහෝ දෙනෙක් විවිධ තර්ක, හේතු දක්වමින් අපව මගහරී. යථාර්තයනම් එම බොහෝ නිර්මාණකරුවන් පිටුපස එම නිර්මාණ හරහා ආකර්ෂණයක් ලබා ගැනීමෙන් ඔබ්බට අන් යමක් නොමැති බවයි.
කෙසේ නමුදු මෙම අවකාශයේ කලා කරුවන් විකල්ප අදහස් සමාජ ගත කිරීමේදී සාධනීය කාර්්‍යය භාරයක් ඉටුකරයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ආශ‍්‍රයෙන් ගොඩනැගෙන සංවාදයන්ද බැහැර කල නොහැක. එසේම දේශපාලනිකව මෙම අවකාශය භාවිතා කිරීම පිළිබදව විකල්ප ධාරාවේ දේශපාලනය තුළ සිටින පක්ෂ හා සංවිධාන විශේෂයෙන් අවධානය යොමුකළ යුත්තේ එම මාධ්‍ය අවකාශය දිනෙන් දින දියුණු වෙමින් අද වන විට එදිනෙදා ජීවිතයේ අංගයක් බවට එය පත්වෙමින් ඇති බැවිනි. මිනිසුන් තොරතුරු ලබා ගැනීමට මෙන්ම තම සමාජ සම්බන්ධතා පවාත්වාගෙන යාම සදහාත් මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීම තුළ එදිනෙදා ජීවිතයේ ඔවුන්ට සමීපතම මාධ්‍යය බවට එය පත්ව ඇත. එබැවින් කවිය මෙන්ම අනෙකුත් කලා මාධ්‍යන් වෙතද එය දැඩිව බලපානු ඇත. 

(රිවිහාර පින්නදුව)


Friday, June 12, 2015

පෙම්වතුනි පෙරළා පහර දෙන්න


පෙම්වතුනි පෙරළා පහර දෙන්න


ආදරය මානව ශිෂ්ටාචාරයේ සුවිශේෂී වචන කණ්ඩයකි. එම හැගීම අත්නොවිදි අයෙක්, සිත්ගත් ඔහු හෝ ඇය ගැන එම හැගීම ඇතිවූ මොහොත නැවත නැවත සිහිකරමින් ආස්වාදය නොකරන්නෙක් මනුෂ්‍ය වර්ගයා අතර නොමැත. මමත් මෙය සටහන් කරණ පරිඝණකයත් අතර මා විශ්වාස කරන ලෙෂ ඇති මූලිකතම වෙනස ආදරයයි. ආදරය ගැන කතා කරන්න හිතුනෙ සිදුවීම් දෙකක් හින්ද. එකක් පෙම්වතුන් යුවළක් දියළුමෙන් පහළට පැනල සියදිවි නසාගැනීමයි. අනික පෙම්වතෙක් තම පෙම්වතියට පිහියෙන් ඇන තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කිරීමයි. මෙතනදි මේ අවස්ථාවන් දෙකේදිම පොදු තත්වයක් දකින්න පුළුවන් ඒ තමයි ඒ අවස්ථා දෙකේදිම පෙම්වතුන් ජාතීන් දෙකකට අයත් වීමත් මෙම මරණයන් පිටුපස එය පැවතීමත්ය.
දියලූම ඇල්ලට අදාල ඉතිහාස පුරාවෘත්තයක් ඇත. එහි සදහන් ආකාරයට ජනවර්ග දෙකකට අයත් තරුණ යුවළක් පෙමින් වෙළෙන අතර සුපුරුදු පරිදි නෑදෑ පාර්ශවයන් එරෙහිවන අතර ඔවුන්ට දියළුමෙන් පහළට පැන සියදිවි නසාගැනීම හැර ආදරය රැුක ගැනීමට විකල්පයක් නැති තැනට තත්වයන් පෙළගැසේ. කම්පාවට පත්වෙන දෙවියන් එම කදු බෑවුමට සදාකාලිකව අඩන්නට නියම කරයි. දියළුම ඇල්ල සෑදෙන්නේ එම කතා පුවත අනුව එලෙසය. ඒ වසර දහස් ගණනක් පැරණි පුරාවෘත්තයකි. එවැන්නක් ජනවහරට එන්නට එකළ මේ හා  සමාන සිදුවීම් සිදුවන්නට ඇත. එදා මෙදා තුළ අපි අනන්තවත් ජාතීන් දෙකකට අයත් පෙම්වතුන්ගේ පේ‍්‍රම වෘත්තාන්තයන් අසා ඇත්තෙමු. කලාතුරකින් මිසක් ඒ සියළු පේ‍්‍රම කතා අවසන්වනුයේ ජාතියේ, වර්ගයේ, ග්‍රෝත‍්‍රයේ විෂබීජ ආසදනය වූ සමාජය එම පේ‍්‍රමයේ පණ නසා ඔවුන් වෙන් කිරීමෙන් හෝ ඔවුන්ට පෙරසේම පේ‍්‍රමයේ නාමයෙන් සියදිවි නසාගන්නා තැනට තල්ලූකර ඒ කතාවන් සියල්ලේ අවසන් පර්ච්ෙඡ්දය රචනා කරණ ලදී. 
දිනේෂ් හා ෆාතිමාගේ කතාවද එසේමය. උත්පැන්නේ ජාතීන් දෙකක නම් කවුදෝ සදහන් කළ වරදට ඔවුන්ගේ ආදරයට එරෙහිව සමාජය නැගීසිටි අතර පීඩනය දරාගැනීමට නොහැකි ෆාතිමා පේ‍්‍රමසබදතාව නතරකිරීමට උත්සහ කරයි.  එය දරාගැනීමට නොහැකිවෙන දිනේෂ් ඇයව මරාදමා තමන්ද සියදිවි නසාගනී. අපි අද ජීවත්වනනේ දියුණු සමාජයක යැයි අපිම කියමු. හැමෝම ගාව දියුණු ජංගම දුරකතන ඇත. අපි ගාලූ යන්නේ අධිවේගයෙනි, නෙළුම් කුළුණක් ඇත, කොටුවෙ අසසෙ ඇත. එහෙත් ජාතීන් දෙකක පෙම්වතුන් ආදරය කිරීම මහා වරදක් සේ දකින අපේ සිත් තවම ගල් යුගයේය. වසර දහස් ගණනකට පෙර මෙන්ම අදද දියළුමෙන් පැන පෙම්වතුන් මියයයි. තවම අප මානව සමාජයක් ලෙස පේ‍්‍රමය දිනා ගැනීමට අසමත්ව ඇත. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර (බොහෝ දුරට) ලිංගිකත්වය මත පදනම්ව ඇතිවෙන ආදරය නම් මානව බැදීම මානව සබදතා තුළ උත්තරීතරය. එය දිනා ගැනීමට පෙම්වතුන්ට කැරළි ගැසීමට කාලය උදාවී ඇත. 
ඔබ දෙවියන් විශ්වාස කරයි නම් මට ඔබට පැවසීමට ඇත්තෙ වෙනත් දෙවියෙකු හෝ ධර්මයක් විශ්වාස කරන ඔහුට හෝ ඇයට පෙම් කිරීමට එම දෙවියන් හෝ ධර්මය එරෙහිවේනම් ඔබ නොපමාව එම දෙවියන් හෝ ධර්මය අතහරින්න. මානව පේ‍්‍රමය වැනි මනුෂ්‍යත්වය තුළ ඇති වටිනා හැගීමක් තේරුම් ගැනීමට නොහැකි දෙවියන්ගෙන් හෝ ධර්මයෙන් ඇති ඵලය කුමක්ද? නැතිනම් අප දෙවියන් හෝ ධර්මය තේරුම් ගෙන ඇත්තේ වැරදි ලෙසටය.
වෙලාවකට ආගම හෝ ජාතිය මත පේ‍්‍රමයට හරස්වීම කොහෙවත් තියෙන ග‍්‍රහලෝක මත පේ‍්‍රමයේ මරණ සහතික ලියනවාට වඩා යහපත් යැයි සිතෙයි. ඔබ හා ඇය හෝ ඔහු මොනතරම් පෙම්කලත්, මොනතරම් ගැළපුනද ඵලක් නැත. සෙනසුරු හරියට නොතිබ්බොත් බ‍්‍රහස්පති වැරදි තැනක හිටියොත් ඔක්කොම හමාරය. කේන්දර නොගැළපීම මත වෙන් වෙන්න වුණ, හඩන දොඩන පෙම්වතුන් අපට  ඕනෑ තරම් හමුවෙයි. මං බලන් ඉන්නෙ විශාල වල්ගා තරුවතක් වැනි දෙයක් පැමිණ සෙනසුරුගේ ගැටී එය විනාශ වී හෝ ගමන් මාර්ගය සම්පූර්ණයෙන් වෙනස් වන තුරුය. ඒ අනුව පොළවේ අපේ ජීවිත හරිනම් උඩුයටිකුරු විය යුතුය. තරුණයෙකු හා තරුණියක පේ‍්‍රමයෙන් වෙලී ඔවුන්ගේ අනාගතය ගැන, දරුවන් ගැන අහිංසක හීන දකින අතර එම හීන අතරට කඩා පැන තොපිලගෙ අහවල් අහවල් ග‍්‍රහයො කොහෙද ඉන්නේ යැයි ඇසීම මටනම් ග්‍රෝති‍්‍රක නරුමවාදයකි.
මේ බාධක මැඩගෙන ඉදිරියට ආවද ඔබට තව කඩුළු පනින්නට ඇත. එකක් නම් ආර්ථික හා සමාජ තත්වයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ගැළපෙනවාද යන්න තීරණයට පවුල් දෙකේ ගෙවල්වල ප‍්‍රමාණය, පාවිච්චි කරණ වාහනයේ වර්ගය, ඉඩකඩම් ප‍්‍රමාණය සංසන්දනය කරනු ඇත. එය හරියට පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමට චෙස් අදින්නට දෙනවා වැනි වැඩකි. මෙහිදී පුදුම වන්නට දෙයක් නැත. අප සිටින්නේ මුදල් මත පදනම්වුුණු ඒ තුල අනෙකුත් සියළු වටිනාකම් හිරිවැටුණු සමාජයකය. ඒ තුළ මානව සබදතා පවා වෙළද ගණුදෙනු විනා අන් යමක් නොවෙයි. පුවත්පත් වල මංගල දැන්වීම් තීරු පරීක්ෂා කළහොත් මෙය පැහැදිලි වනු ඇත. මන්දයත් ලූහුඩු දැන්වීම් පිටුවේ දේපළ වෙළදාම් කොටසේ දැන්වීම් හා මෙම මංගල දැන්වීම් වෙනස් වන්නේ අගට එන මනාලයෙකු හෝ මනාලියක දෙමාපියන් හොයයි යන කොටසින් පමණි. ස්ති‍්‍රයක හා පුරුෂයෙකු අතර මානව බැදීමක් ඇතිකර ගැනීමෙ සුදුසුකම මෙලෙස වෙළද ගිණුමක හර බැර සමබර කරන ආකාරයට තීරණය කිරීම විකෘතියකි. මෙම මිනිසුන්ට මොනවා හෝ කැවිලය. බඩ යන්නට විරේක බෙහෙතක් දී මෙය සුවවේදැයි බැලිය යුතුය. එහිදී පරිස්සම් විය යුතුය. මන්දයත් මේවන දේවල් දෙස බලන විට මස්තිෂ්කයද ඒ සමගම වැසිකිළි පෝච්චියට වැටිය හැකි බැවිනි. එක් අතකින් එයද කම් නැත, වැසිකිළි පෝච්චියක දමා හෝ එය සෝදා ගැනීම මීට වඩා යහපත්ය.
පෙම් කිරීමද කළ යුත්තේ රීති ගොඩක් මැදය. ටියුෂන් පංති අවසන් වී බස් නැවතුන් වල තැන තැන දොඩමළුවෙන පෙම්වතුන් සොයමින් දඩයමේ යන පොළිස් මහතුන් අප දැක ඇත. මැරයින්, කුඩු මුදලාලිල ළග රබර් කෂේරුකාවන් ඇති මොවුන් මේ පුංචි පෙම්වතුන් ළග සිංහ සෙයියාවෙන් මොරදෙයි. ලොව ලොකුම අපරාධය කළ එවුන්ට ලෙස නගරය මැද බැන වදී. මෙලෙස අපහාස දරා ගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා ලද අවස්ථාද අසන්නට ලැබෙයි. පෙම්වතුන් යුවළක් සිප වැළද ගැනීම මහා සදාචාර ඛේදවාචයක් ලෙස සළකන මෙම සමාජය, මන්තී‍්‍රන් ගැහැණු ළමුන් දූෂණය කොට පාටි දමා අත්අඩංගුවට ගත්විට ඔහුට සෙත් පතා පන්සල් වල බෝධි පූජා පවත්වයි. ඒ මෙත් පැතූ කටවල් වලින්ම ගේට්ටු ඉබ්බෙක් කැඩුවා කියා සරසවි සිසුන් සිරගත කරණ විට  ඕකුන්ට හොද වැඬේ කියයි. දිනපතා දහස් ගණනක් ගැහැණු ළමුන් ලිංගික ශ‍්‍රමිකයින් නොව වහළුන් ලෙස සිල්ලරට අළෙවි වන විට ගල් පිළිම සේ නොදැක්කා නොඇසුනා සේ තාප්පෙන් වට නළ ගෙදර සිටින දියණියට ලොලි පොප් රැුගෙන ගෙදර යයි. පඩි දවසට වගේ හිරිමල් රසයන් සොයා ඇදෙයි. එහෙව් සමාජයක පෙම්වතුන් යුවළක් බස් නැවතුමක පෙම් කිරීම මාර අවුලකි. මේ සමාජයේ ඊනියා සදාචාරවාදය රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. පෙම්වතුනි ළගම ඇති ජනාකීර්ණම නගරයට පැමිණ අපි සැවොම ප‍්‍රසිද්ධියේ සිප වැළදගමු.
ඉතිං පෙම්වතුනි, මානව බැදීම් නිෂ්ක‍්‍රීය කළ සමාජයක සැබෑ ආදරය අනිවාර්යයෙන්ම ක‍්‍රම විරෝධී භාවතයකි. මානව සමාජයේ පේ‍්‍රමය උදෙසා අරගල කිරීමට කාලය එළඹ ඇත. එවිට සමාජය ඔබට එරෙහිව නැගී සිටින් ඇත. අවශ්‍යයවන්නේ ඒ සමග ගැටීමට ධෛර්්‍යය ලබා ගැනීමය. ඇයගේ, ඔහුගේ දෑසට මොහොතකට එඹෙන්න, ඒ දෑස් තුල ඔබට අවැසි ධෛර්්‍යය සැගවී පවතිනු ඇත. අදහස් අතින් ඔබ ශක්තිමත් විය යුතුයි. මේ සරුව පිත්තල දිස්නයෙන් ඇස් නිළංකාරවන අන්ධකාරය තුළ ඔබ මංමුලා විය හැක. අවසාන වශයෙන් ඒ පේ‍්‍රමයේ පොදු සතුරාට එරෙහිව අප තනි තනිව නොව එක්ව සටන් කළ යුතුය. ඒ ආදරය දිනාගන්නා විට මේ ක‍්‍රමයෙහිද පවුරු පදනම්වල ඉරි ඇදෙනු ඇත. ආදරය පැහැදිලිවම ක‍්‍රම විරෝධී අරගලයකි. ඒ වඩා යහපත් සමාජයක් උදෙසා පේ‍්‍රමයේ අරගලය අද අප හමුවේ මගහැර යා නොහැකි සත්‍යයක් ලෙස නැගී සිටී. ඉතිං පෙම්වතුනි පෙරළා පහර දෙමු.

( රිවිහාර පින්නදුව )


Thursday, June 4, 2015

වීරය නුඹයි අදටත් පුරවරට........


වීරය නුඹයි අදටත් පුරවරට........


රීඩ් මාවත අද හරි පාලුයි
පුරවර බිම ළග හදවත
හරි බරයි
කළ ගුණ නොදත් අපි ගැන
සිත දොස් කියයි
සමාවෙන්න අයියේ මා අසරණයි

කිසිදා නොදුටු අප හට ආදරය කෙරෑ
ප්‍රේමයේ මුල් පොත විය පුරවරට
නිවටුන් රජයනා ලොව දීන
වීරය නුඹයි අදටත් පුරවරට

අයුක්තියට එරෙහිව නැගි අසිපතය
ඝනදුරැ මග දැල්වූ ගිණි සිළුව
කලා පීඨයේ ලෙලදුන් රතු ධජය
රෝහණ අයිය නැති අද පාලුයි සරසවිය

ඔහු වැනි යෝධයින් බිහිකළ
පුරවර අම්මෙ නුඹේ කුසින්
අපි වැනි කුහුඹුවන්
කුමටද පුරවරට

නුඹ ගිය මග සුවදයි 
තවමත් සරසවියේ
ඒ මග යන්න දිරිගමු
අපි අද දිනයේ
වෙර බල සිදී ඇද වැටෙනා කළ
සටන් බිමේ
රහසින් ඇවිත් පවසනු
නැගිටපන් පුතේ......

( රිවිහාර පින්නදුව )
( කොළඹ විශ්වවිදයාලය )
(2013.06.21)

( නිදහස් අධ‍යාපනයත් අධයාපනයේ නිදහසත් වෙනුවෙන්වූ සටනේදී 1984 ජූනි 21 දින තමන් නොදන්නා පරපුරක අධ‍යාපන අයිතිය වෙනුවෙන් මරණයේ මග තෝරාගත් ආදරණීය රෝහණ රත්නායක සහෝදරයාගේ අසීමාන්තික ප්‍රේමයත් වීරත්වයත් අමතක කරණ ලද හා අමතක කරවන ලද වත්මන් පරම්පරාවට සිහිකර දෙනු වස්........ )

https://www.facebook.com/photo.php?fbid=488474044562684&set=pb.100002002790094.-2207520000.1433470591.&type=3&theater 

පේ‍්‍රමයේ අභියාචනය


පේ‍්‍රමයේ අභියාචනය


ස්වාමීනි මා ඇයට පෙම්කලා
නීතියේ කන්‍යාවියගෙ
කන්‍යා පටලය පල්ලා
නඩු තීරණ නැතත් පෙර
සාක්ෂිකාරයො මෙන්න

ඇගේ මුව දැකගන්න
අහන්බෙන් මෙන් හමුවෙන්න
ඩේ ස්කූල් තියෙන හැමදාම
උදේම දතුත් මැදගෙනයි
මං ආවෙ පාළම ළගට
විවෘතයෙ කුණු ඇළ සාක්ෂියි

පැය ගණන් රෑ පුරා
පෙම්බස් දෙඩුව මම
ඇති තරම් නිදි මැරුව මම
බෝඩිමේ මදුරුවො සාක්ෂියි

එයා කිව්ව හින්දම
කොණ්ඩෙ කැපුව මම
ඇදුනුත් හේදුව
මටමම පුදුමයි
මගෙ ඩෙනිම සාක්ෂියි

එක බත් එකක් පැය ගාණක්
අපි කෑව බව
තුරුළුවෙලා හොරාට
හාදු දුන්න බව
කුණු බක්කියගාව උන්නු
කපුට සාක්ෂියි

ආලෙන් මත්වෙලා
මං පිස්සු කෙළිය බව
විරහවෙන් ආතුරව
නන්නත්තාර වෙච්චබව
එයා එxඅම් ගොඩයද්දි
මං ඇන ගත්ත බව
රිසල්ට් ෂීට්එක සාක්ෂියි

අපි මේක නවත්තමු
ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්
තීරණයක් ආපු බව
අභියාචනා අයදුම්පත්
විභාග නොකරම
ඉවතදාපු බව
මට හොරෙන් ඇය ලැම්බට් උන බව
යට බැජ් එකේ ජුන්ඩ සාක්ෂියි

(රිවිහාර පින්නදුව)

( https://www.facebook.com/photo.php?fbid=840848805991871&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )