Saturday, November 26, 2016

සයිටම් ජාතිවාදියෝ

සයිටම් ජාතිවාදියෝ


ජාතිය කියන්නෙ එක්තරා අනන්‍යතාවයක්. හුදෙක්ම ජනවර්ගයක් පමණක් නෙමෙයි ආගම්, කුලය, ප‍්‍රදේශ මේ ආදී විදිහට වෘත්තීන් තුළ දක්නට ලැබෙන ස්වාභාවයන් දක්වා විවිධ ස්වරූපයන්ගෙන් විවිධ තලවල මේ තත්වය අපිට දකින්න පුලූවන්. මෙහිදී අදාළ කණ්ඩායමට විවිධ පොදු අනන්‍යතාවයන් පවතිනවා. කතා කරණ භාෂාව, අදින පළදින විදිහ, ආහාර, සිරිත් විරිත් මේ ආදී විදිහට එම අනන්‍යතාවයන්ගේ ස්වරූපය පවා විවිධයි. ආසියානු පසුගාමීත්වයන්ද පවතින ලංකාව ඉංදියාව වැනි සමාජවල මෙවන් ප‍්‍රවණතාවයන් වැඩියි. ඒ වගේම නවලිබරල්වාදයේ ව්‍යාප්තියත් සමගම සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදය වැනි කරුණු එක්ක යම් මට්ටමකින් ලිබරල්වාදය විසින් මෙවැනි ප‍්‍රවණතා නැති කරණවා වැනි මතයක් පැවතියත් එක් මට්ටමකින් එහාට එයම එය පෝෂණය කරණ ආකාරය හදුනාගන්න පුළුවන්. මීට බලපාන ආර්ථික හේතූන් ආදිය ගැනත් ඒ ගැන තේරුම් ගැනීමේදී අවදානය යොමුකරන්න අවශ්‍යයයි. ජනපි‍්‍රය පාසල්වල බිග් මැච් සමයේ හා ඒ ආශි‍්‍රතව නඩත්තුවෙන මනෝභාවයන්, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක හෝ  එවැනි වෙනත් පීඨයක ශිෂ්‍යයාවක් සාමාන්‍යයෙන් කලා පීඨයේ ශිෂ්‍යයෙකු සමග පේ‍්‍රම සබදතාවක් ඇතිකර නොගැනීම, කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමය අවකාශයන් තුළ ඉංග‍්‍රීසි උගත් නාගරික බුද්ධිමතුන්ගෙන් බාහිර අයෙකුගේ මතවාදයන් කෙරෙහි දක්වන හෙළා දකිනා ස්වරූපයේ නොසැළකිල්ල මේ ආදී බොහෝ හැසිරීම් අපිට මෙහිදී මෙම එකම මූලයක් සමග සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති ආකාරය හදුනාගත හැකිය. ආස්වාදනීයම කාරණය මෙම එක වර්ගයක ජාතිවාදයක් ප‍්‍රතික්ෂේප කරණ එය නැති කිරීමට තීරණාත්මකව මැදිහත්වෙන පිරිස්ම තවත් තැනක ජාතිවාදයේ වෙනත් ස්වරූපයකින් ආතුරවීමයි.
පසුගිය සමයේ ගොඩනැගුනු මුස්ලිම් විරෝධී සිංහළ බෞද්ධ අන්තවාදයට එරෙහිව ප‍්‍රගතිශීලීව මැදිහත්වූ මගේ මිතුරෙක්ම පාසලේ ක‍්‍රිකට් තරග හෝ වෙනයම් අවස්ථාවන්ට අදාළව නඩත්තුවෙන අනිත් අය මොක්කුන්ද අපි තමයි පොරවල් පන්නයේ මනෝභාවයට ගොදුරුවීම හා එය නඩත්තු කිරීමට දායකවීම, සමාජ තත්වයන් හා ආර්ථික කරුණු මත වෙනස් කොට සැළකීමට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ පෙනී සිටින මගේ මිතුරෙක්ම බොදු බල සේනාව වැනි සංවිධාන වල මතවාදයන් නියෝජනය කිරීම, ශිෂ්‍ය සංගමය මගින් පෙන්වන චිත‍්‍රපටයක් නරඹා ඒ තුළින් මතුවෙන අතීත සමාජයේ කුල පීඩනය ගැන කතා කරණ වෛද්‍ය පීඨයේ මගේ මිතුරියකට කලා පීඨයේ සොයුරෙකුගේ පෙම් ඇරයුම විහිළුවක් වීම ආදී අපිට ජීවිතයේ හමුවෙන බොහෝ එකිනෙකට පරස්පර හැසිරීම් අප තේරුම් ගතයුත්තේ මේ අනුවය. මෙහිදී අප සියල්ලන් එකම මඩගොහොරුවක විවිධ තැන්වල එරී අනෙකා මඩ නාගෙන සිටිනු බලමින් සිනහසෙන තත්වයක් නිර්මාණයවී ඇත. ඒ අනුව එක් අවස්ථාවක යම් අන්තවාදයකට විරුද්ධව පෙනී ඉන්නා අයෙකුගේ මැදිහත්වීම ඔහු වෙනත් තැනක වෙනත් ස්වරූපයක අන්තවාදයකට එකගවීම තුළ නිශේධවී යයිද?
එලෙස පාරිශුද්ධ මැදිහත්වීමක් පමණක් වලංගුවන්නේනම් එවැන්නක් කළ හැක්කේ ආගම් වල හමුවෙන දෙවියන් වහන්සේ කෙනෙකුට හෝ අරහත් තත්වයට පත්වූ කෙනෙකු වැනි අයට පමණක් වනු ඇත. එබැවින් යම් අයෙකුගේ එවැනි මැදිහත්වීමක් අප භාරගත යුතු අතර නැවත වෙනත් තැනකදී ඔහු සම්බන්ධවන ජාතිවාදයකට අදාළව ඔහුට විරුද්ධ අන්තය ගැනීමටද අපිට සිදුවනු ඇත. එලෙසම අනෙක් අයෙකුගේ එවැනි අන්තවාදයකට විරුද්ධවීම තුළ ඔහුට ඔහු තුළ සිටින අන්තවාදී යක්ෂයන් හා සටන් කිරීමට ඔහුටද සවිය ලැබෙනු ඇත. එසේම මෙම විවිධ ජාතිවාදයන්ගෙන් ජනනයවන සමාජමය හානිය විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට අදාලව වෙනස් වෙයි. 83 කළු ජූලියට ආසන්න කාල සීමාව තුළ සිංහළ දෙමළ ජාතිවාදයන් තීරණාත්මක විය. පසුගිය ආසන්න කාල සීමාව තුළ මතුවූ තත්වයන් තුළ සිංහළ මුස්ලිම් ජාතිවාදයන් තීරණාත්මක විය. සියළු අකාරයේ එවන් ජාතිවාදයන්, අන්තවාදයන්ට එරෙහි වන අතර එවැනි සුවිශේෂී තත්වයන්ට අදාල අපගේ මැදිහත්වීම අපට තීරණය කිරීමට සිදුවනු ඇත.
මුදල් මත පදනම්ව සමාජයේ ස්ථරයන් අතර ඇතිවන වෙනස් කොට සැළකීම් හුදු ජාතිවාදයකට ගොනු කිරීම ලියුම්කරුට ගැටළු සහගතය. නමුත් ඒ තුළත් අප පෙර සදහන් කළ ජාතිවාදමය ස්වරූපය පවතින බැවින් ඒ පිළිබදව මූලික අවධානය යොමු කරමි. සයිටම් වගේම භීඊඵ වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ටද අදාළව තියෙන කාරණය තමයි නිශ්චිත ආදායම් මට්ටමක් පෙන්නල ඒ සීමාවට උඩ අයට විතරක් එන්න දෙන එක. මේක අසාධාරණයි කියල කිව්වහම සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ වෙන්නෙ දුප්පත් අයට යන්න රජයේ විශ්වවිද්‍යාල  ඕන තරම් තියෙනවනෙ සල්ලි තියෙන අයට යන්න ඒ වගේ ඒව තිබ්බම මොකද?, රජයට හැමෝටම උසස් අධ්‍යාපන අවස්ථා දෙන්න බැහැ ඉතිං ඒකට පුද්ගලික ආයෝජකයන්ගෙ උදව්වත් ගන්න  ඕනෙ වගේ උත්තර. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම යන කාරණයත් එක්ක ඔය කාරණයන්ගෙ යථාර්තය ගැන මේ ලිපියෙ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මේ සාකච්ඡුාව ඇතුලෙ එක් කාරණයක් මතුකරන්න උත්සහ ගන්නව. නිකමට හිතන්න උසස් අධ්‍යාපන අවස්ථා සීමිත හින්ද රජය විශ්වවිද්‍යාලයක් හදල ඒකට එක ජාතියක අය විතරක් හරි ආගමක අය විතරක් එන්න කිව්වොත් ඒක සාධාරණ වෙයිද? අනිත් ආගම් වල අයට නැත්තන් ජාතීන් වල අයට පොදුවේ යන්න වෙන විශ්වවිද්‍යාල තියෙන්නෙ එහෙම එකේ මෙහෙම එකක් හදල ඒ මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න දුන්නට මොකද? වගේ දෙයක් උත්තරයක් විදිහට අපිට භාරගන්න පුළුවන්ද? විශේෂයෙන්ම පාලකයින් ප‍්‍රතිපාදන කප්පාදු කරල පොදුවේ අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාවන් තව තවත් අහිමි කරණ තත්වයක එහෙම විශ්වවිද්‍යාලයක් හැදුවොත් මොකක් වෙයිද? අදාල ජාතියේ ජාතිවාදී ස්ථරයන් හැරෙන්න හැමෝම කියයි උසස් අධ්‍යාපන අවස්ථා සීමත වෙන එකේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ ජාතියෙ අයට විතරක් නෙමෙයි හැමෝටම. අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවල ඒ අවස්ථාවන් පුළුල් කරන් නැතුව එක ජාතියක අයට විතරක් යන්න විශ්වවිද්‍යාල හදන එක වැරදියි. ඒවට හැමෝටම යන්න ඉඩහදල දෙන්න කියල.
අපිට අර කළින් කතා කරපු ජාතිවාදයන්ගේ විවිධ ස්වරූප අතර ගැටුම හම්බෙන්නෙ මෙතනදි. කළින් කිව්ව කල්පිත විශ්වවිද්‍යාලය හැදුවොත් ඒකට විරුද්ධව මරාගෙන මැරෙන්න ලෑස්තිවෙන සමහර අයට භීඊඵ එකේ මුදල් සීමාවක් දාල එක්තරා ස්ථරයකට විතරක් එන්න කියද්දි ඒක මාර වැඩක් වෙනව, සයිටම් එකට විරුද්ධ වෙන එක පසුගාමී කුහකයන්ගෙ වැඩක් වෙනව. (දැන් ඉතිං ලක්ෂ අටේ ශිෂ්‍ය ණය තියෙන හින්ද හැමෝටම සමාන අවස්තා තියෙනව වැනි ව්‍යවහාර භාෂාවේ ගොන් ජෝක් වලින් මෙයට පිළිතුරු නොලැබෙනු ඇත) NSBM එකේ වෙළද දැන්වීමක එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පහසුකම් ගැන විස්තර දකිද්දී මට මතක්වූයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල සහෝදරයින් කොරිඩෝවල පවා මෙට්ට පැදුරු එළාගෙන රැය ගතකරණ ආකාරයයි. ආර්ථිකමය සාධක මත සමාජ කණ්ඩායම් දෙකකට කරණ වෙනස් කොට සැළකීම මෙමගින් පැහැදිලි වෙයි. (එහෙනම් අධ්‍යාපනය විකුණන එකට විරුද්ධ නොවී ඒවට වැඩිපුර පහසුකම් ඉල්ලූවහම හරිනෙ වැනි අදහසක් හිතට නැගේනම්, පිලිතුර අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමෙන් ඇතිවන අර්බුදය සම්බන්ධ සංවාදයන් තුළ හමුවෙනු ඇත. මෙම ලිපිය තුළ අධ්‍යාපනයේ අර්බුදය නොව සමාජය තුළ ඇති මුදල මත වෙනස් කොට සැළකීම ගැන අවධානය යොමු කරයි)
අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු හැම කාරණයක් තුළම මෙම වෙළද පල සමාජය තුළ මුදලේ ජාතිවාදය කි‍්‍රයාත්මක වෙයි. එහි හැඩය තේරුම් ගැනීමට මෙවර අයවැය සියුම්ව නිරීක්ෂණය කිරීම ප‍්‍රමාණවත් වෙයි. එය ආර්ථිකය හසුරුවන වෙළද පැලැන්තියක් මත පදනම්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙටි කාලීනව හා දිගුකාලීවනව තෘප්ත කිරීම පදනම් කරගනිමින් ගොඩනැගී ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට මුං ඇටවල මිළ අඩු කරණවා වැනි ලොලි පොප් ලබාදී ඇත. ඒ අර්ථයෙන් මෙය ජාතිවාදී අයවැයකි. යම් මූල්‍ය ශක්‍යතාවයක් සහිත ස්ථරයක් වෙනුවෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගා අපි අධ්‍යාපන අවස්ථා පුළුල් කරණවා යැයි බෙරිහන් දෙන අතර සමාජයේ සාමාන්‍ය ස්ථරයන්ගේ පිරිස් උසස් අධ්‍යාපන සම්මත අවස්ථාවන් අහිමි වන විට එයට විකල්පයක් ලෙස භාවිතා කරණ බාහිර උපාධි අවස්ථාවන් කප්පාදු කරයි. පහුගිය කාලයේ ආණ්ඩුවෙන් යෝජනා වුණු මන්දිර බද්ද, සුපිරි වාසි බද්ද වැනි බදු ආණ්ඩුව හකුලා ගන්නා අතර අගමැතිවරයා විසින් එයට හේතුව ලෙස දක්වන්නේ විවිධ පිරිස් එයට විරුද්ධවූ නිසා එය අහෝසි කළ බවයි. අපි එම බදු අහෝසි කරන්නට කළ එකදු උද්ඝෝෂණයක්, පාගමනක් දුටුවේ නැත. එසේවත් නොකර අගමැතිවරයාගෙන් කරණු ලැබූ හුදු ඉල්ලීමකින් ඔහු එය අහෝසි කර ඇත. දැන් මට මතක්වන්නේ සරසවි ඉදිරියේ මාස ගණනක් තිස්සේ තියෙන සත්‍යග‍්‍රහයන්ය, සයිටම් අහෝසි කිරීම හා අධ්‍යාපනය විකිණීමට එරෙහි පාගමන් හා ඒවාට එල්ලවූ ප‍්‍රහාරයන්ය, එවායේදී තුවාල ලද සොයුරන් හා සිරගතවූ අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සොයුරන්ය. ඔවුන්ගේ ඉල්ලීම් වලට අගමැතිවරයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ශිෂ්‍ය නායකයින්ට  ඕනෙ විදිහට නටන්න ලෑස්ති නෑ කියමිනි. එම විරෝධය ගොනු වන්නේ සමාජයේ පොදු ජනයාගෙනි නැත්නම් එක් ස්ථරයකිනි. මන්දිරබදු විරෝධය එන්නේ තවත් සුළුතර ස්ථරයකිනි. අගමැතිවරයා තමන් නටන්නේ කාගේ උවමනාවන්ට අනුවද යන්න අපට පැහැදිලි කරදී ඇත. මේ අනුව මුදල් මත පදනම්වූ සමාජයේ විවිධ ස්ථරයන්ට වෙනස් කොට සැළකීමේ ජාතිවාදයක් කි‍්‍රයාත්මකවෙයි. එම ස්ථරයට අවැසි ලෙස සියල්ල තීරණය වෙයි. සයිටම් අර්බුදය තුළද තවත් බොහෝ දෑ අතර මේ ජාතිවාදයේ ස්වරූපයන් අපට හදුනාගත හැකිය. ඉතිං අද දවසේ දේශපාලනයේ ප‍්‍රගතිශීලීත්වය මනිනුයේ ස්පාටකස් ටෙලිනාට්‍ය මාලාව නරඹන අතර තුර වහල් හිමියන්ට බැනීමෙන් හෝ රොබින් හුඞ් නරඹන අතර ෂෙරීෆ්ලාට බැනීමෙන් නොවන අතර මුදල් මත පදනම්වූ මෙකී ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්නා මට්ටම අනුවය.

( රිවිහාර පින්නදුව )

Monday, October 17, 2016

වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


අපේ ආච්චි අම්මා පොඩි කාලෙ මට වෛද්‍යවරයෙක් වෙන්න කියල කිව්වෙ එහෙම උනොත් රස්සාව කරණ ගමන් පිං කරන්නත් පුලූවන් කියල. හැබැයි ඒ ආච්චි අම්මම අන්තිම දවස්වල රෝහලේ නවත්තන්න ගියහම මුලින් වාට්ටුවෙ වෛද්‍යවරයගෙ පුද්ගලික ප‍්‍රතිකාර කරණ තැනට ගිහින් සල්ලි ගෙවල කථා කරල ඊළගට තමයි රෝහලට ඇතුලත් කරන්නෙ. නැත්තන් හොදට බලන්නෙ නැහැලූ. පිං කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ මව්පියන් සිහිකරන අයනම් එම වාට්ටුවේදී මට හමුවිය. වෛද්‍යවරුන්ගේ භූමිකාවේ හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටළුව ගැන සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමතුන් යැයි හදුන්වන පිරිස් ටොකු අනිමින් පවසන්නට අවැසි නැත. එය ඔවුන් අත්දැකීමෙන්ම දනී. වෛද්‍යවරුන්ගේ මෙවැනි තවත් බොහෝ අඩුපාඩු ගැන සංවාදය ඇරඹෙන්නේ සයිටම් අහෝසි කිරීමේ අරගලය තීව‍්‍රර වීමත් සමගය. මේවන විට සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරුන් පිළිබදව සමාජයේ ඇති මෙම අදුරු චිත‍්‍රයට මුවාවෙමින් සයිටම් විරෝධී අරගලයෙන් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීමේ කුමන්ත‍්‍රණයකි. අප එය නිවැරදිව කියවා ගත යුතුව ඇත.
සල්ලි තියෙන අයට යන්න පුද්ගලික රෝහල් තිබුණට මොකද වැනි අදහසකින් ආරම්භවී අද වන විට සල්ලි තිබුණත් නැතත් විවිධ පරීක්ෂණ හා තවත් බොහෝ දේට පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවී ඇත. එය අපේ රටේ සෞඛ්‍ය අංශවල කරේ තබා නිදහස් වෙන්නට උත්සහ කළද වෙළද පල ක‍්‍රමය තුළ යථාර්තය මෙය බව ලෝකයම සාක්ෂි දරයි. එවැනි ක්ෂේත‍්‍රයක වෘත්තිකයන්ද එහි ගොදුරු බවට පත්ව ලාභය පසු පසම එළවන තැනට වැටීම පුදුම වීමට දෙයක් නොවෙයි. කවුරුන් හෝ එහි වැරැුද්දක් දකීනම් කළ යුත්තේ මෙවැනි දොස්තරලා අපේ සල්ලි වලින් බිහිවෙනවට වඩා එයාලම ගෙවල හැදුනම හොදයි, ප‍්‍රයිවට් ෆැක්ටිස් හොදයි ප‍්‍රයිවට් කැම්පස් තමයි නරක මුන්ගෙ කුහකකම සයිටම් එක වහන්න හොද නැහැ වගේ කතා කියමින් සිටීම නොව කළ යුත්තේ සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් බවට පත්වීම නිසා තමන් අත්විදින යථාර්තය හෙට දවසෙ ඒ විදිහට අධ්‍යාපනයට අදාලව අත්විදින්න වෙන්න දෙන් නැතුව සයිටම් එකටත්, අධ්‍යාපනය යම් පිරිසකගේ ලාභය වැඩි කරණ මාර්ගයක් කරගන්න ඉඩ හදන පාලකයන්ගෙ ප‍්‍රතිපත්තියටත් විරුද්ධවෙන එකයි.
වෛද්‍ය පීඨයක ඉගෙන ගන්නා මගේ මිත‍්‍රයෙක් සරසවියට ගිය අළුත දිනක් පැවසුවේ ”අපේ බැජ් එකේ ඩොක්ටර්ස්ල වෙන්න ආපු තුන්දෙනෙක් ඉන්නවා” කියාය. වෛද්‍ය පීඨයකට වෛද්‍යවරයෙක් වීමට හැර වෙන ඇතුල්වීමට හේතුවක් නැති බැවින් එය විමසද්දී ඔහු පැවසුවේ අනෙක් සියළු දෙනාම  ඕලෙවල් හොදට පාස් හින්ද හැමෝම තෝරගන්න නිසා ජීව විද්‍යාව තෝරගත්ත අය බවය. වෙනත් විෂයන්ට වෘත්තීන්ට කැමැත්තෙන් සිටි එනමුදු සමාජීය තෙරපුම නිසා වෛද්‍යවරයන් ඉංජිනේරුවන් වීමට යොමුවූ බොහෝ දෙනෙකු අපිට මුණ ගැසෙයි. තරගකාරී අධ්‍යාපනය තුළ සිසුවෙකුට තම ළමා කාලයේ සෙල්ලම් බත් උයන එක පැත්තකින් තබා අමතර පංති යාමට සිදුවේ. යොවුන්වියේ ආදර සබදතා වැනි දේ පසක තබා දිවා ? පාඩම් කිරීමට සිදුවෙයි. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ පිටුපස කලාතුරකින් අයෙකුට හැර මෙවැනි අහිමිවූ දෑ බොහෝය. එසේම සරසවිය තුලද ආතතිකාරී ඉගෙනුම් කි‍්‍රයාවලියක් පවතින අතර සිසුන් සියදවි නසාගැනීම වැනි තත්වයන් කරා පත්වන්නේ හේතු රහිතවම නොවෙයි. මෙහිදී තමන් ස්වාභාවයෙන් කැමති විෂයන් වෘත්තීන් අතහැර මේ විෂයන් වෙත යොමුවන සිසුන්ගේ පීඩාව අධික වෙයි. අවසන රැුකියාවට පැමිණි කල වෛද්‍යවරයෙකුවීමේ ආසාව නැති බහුතර ශිෂ්‍යයින් රෝගීන්ට ප‍්‍රතිකාර කර ආස්වාදයක් නොලබන අතර එම තැනට පැමිණීමට ඔවුන් ජීවිතේ බොහෝ දේ ගෙවා දමා ඇති තත්වයක් තුළ ඉවක් බවක් නැතිව මුදල් සොයමින් තම සිහින තුළ මවා ඇති ලොකු ගෙයක් හොද කාර් එකක් පසුපස ඔවුන් ඉබාගාතේ දිවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එලෙසම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පඩි වැඩි කරණ විට එහෙමනම් පඩි අතර පරතරය තියාගන්න අපෙත් වැඩි කරන්න  ඕනෙ වගේ තර්කයන් ඔවුන් වෙතින් ගොඩනැගීමද අපට තේරුම් ගත හැකිය. මන්දයත් ජීවිතයම කැපකොට තමාට අදාල නොවන, තෘප්තියක් නොලබන වෘත්තියකට ඇතුල්වීමට බලකෙරුණ ඔවුන් එවැනි සමාජයේ විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වීම සිතාගත හැකිය. එසේ නොවේනම් ඔවුන්ට තමන්ගේ ජීවිතේ සාදාගත් රිත්තකයන්ට පිලිතුරක් නොලැබෙනු ඇත.
දැන් මේ අර්බුදයට විසදුම කුමක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සමගම කියන සටන් පාඨයක් වන අධ්‍යාපනයේ නිදහස යන්න තුළ මීට පිලිතුරු ඇත. එම සංවාදය තවම සමාජය වෙත ගෙන ඒමට හැකියාව ලැබී නැත. ඒ පිලිබදව මේ ලිපියේම කතා කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. කෙසේ නමුත් එම එකදු කාරණයකටවත් විසදුම සයිටම් එකට ඉඩදීම හෝ අධ්‍යාපනයට වෙළද පලට විවෘත කිරීමෙන් නොලැබෙන බවත් එමගින් අර්බුදය තවත් සංකීර්ණ වන බවත් අප පැහැදිලි කරගත යුතුය. වෛද්‍යවරුන්ට පාඩමක් උගන්වන්නට සයිටම් එකට ඉඩදිය යුතු බවට එන තර්කයේදී මෙලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්වීමෙන් පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ස්ථරයන්හි ජනතාවය. බොහෝ විට වෛද්‍යවරුන්ට කෙලෙස හෝ මේ අධ්‍යාපනයට නියම වෙන මිළ ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. සයිටම් වැනි ආයතන සාදා පුලූවන් තරම් වෛද්‍යවරුන් බිහිකර වෛද්‍යවරුන්ගේ සංගමයේ ආධිපත්‍ය බිදදැමිය යුතුයැයි යමෙක් සිතයිනම්, එලෙස බිද දැමුවත් එහි වැඩවසම් ලක්ෂණ අවම වී නවලිබරල් නරුමත්වය එම වෘත්තියට දැනටත් වඩා රිංගන එක හැරෙන්නට එමගින් ප‍්‍රගතිශීලී වෙනසක් ඇතිවේ යැයි බලාපොරොත්තු තැබීම විහිළුවකි. ඉංදියාව වැනි අපට සමාන ආර්ථික හා සමාජීය තත්වයන් ඇති රටක තත්වය මෙහිදී අවධානයට ගත හැකිය. වෛද්‍යරුන් සමග පවත්නා තරහකට ඔවුන්ට ටොක්කක් ඇනීමට අධ්‍යාපනයට මෙතරම් හානියක් වන තීරණයකට එළඹිය යුතුද යන්න සිතා බැලිය යුතුය.
එසේනම් මෙම වෙද බමුණු කුලය බිද දමන්නේ කෙසේද? අධ්‍යාපනය සිල්ලරට විකුණන්නට ඉඩදීමෙන් එය සිදුනොවේ. එය සිදුවිය යුත්තේ වෛද්‍ය වෘත්තිකයින් තුළින්මය. ඔවුන් සමග කරණ දේශපාලනයක් හරහාය. එය සරළව මෙසේය, අද වන විට පුද්ගලිකව වෛද්‍ය සේවාවන් සැපයීම පිළිබදව වෛද්‍ය පීඨ තුළ සංවාදයක් ඇතිවී ඇත. නිදහස් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොකළ යුතුයි කියන අප සෞඛ්‍ය වෙළදපලකරණයේ දංගෙඩියට දැක්වීමට දායකවීම යුක්ති සහගත නොවන බවට ඔවුන් අතර සංවාදයක් ඇතිවෙමින් ඇත. හුදු වෛද්‍ය සිසුවාගේ අනෙන්‍යතාවයෙන් ඔබ්බට ගිය දේශපාලනිකව දියුණු සහෝදර සහෝදරියන් වෛද්‍ය පීඨ තුලින් බිහිවෙමින් ඇත. මෙම සහෝදර සහෝදරියන් හෙට දින සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් කිරීමටද එරෙහිව පෙනී සිටිනු ඇත. වෙනත් ශ්‍රේණි වල පඩි වැඩි කිරීමේ අරගලයන්ට එරෙහි නොවනු ඇත. සෞඛ්‍ය වෙළද මාෆියාවන්ගෙන් ගළවා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් විසින් පවතින වෙද බමුණු කුලය බිද දමනු ඇත. සත්‍ය ලෙසම එය බිද දැමිය යුත්තේ එලෙසය. ඒ සදහා වෙද සිසුන් සමග උරනුර ගැටී කරණ දුෂ්කර දේශපාලන අභ්‍යාසයක් අපට ඇත. එය පත්තරයකට ලිපියක් ලියනවා, සම්මන්ත‍්‍රණයක කතාවක් කරණවා වැනි පහසු දෙයක් නොවනු ඇත. එනමුදු සැබෑ විසදුම ඇත්තේ එතනය.

(රිවිහාර පින්නදුව)
දේශය
2016.09.18


Sunday, September 25, 2016

ජීවිතේට ඕනෙලූ ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ

ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ
ඔයා ළග හිනැහෙන්න
මතකයේ පිටු අතර
රෝස පෙති අලවන්න
හිත් කොනක් කොනිත්තන්
පොඞ්ඩක් තරහවෙන්න
ආදරෙන් ආයෙමත්
උණුසුමේ ගුලිවෙන්න
ජීවිතේ තනුවත් පදවැලත්
ඔබවෙන්න
පේ‍්‍රමයේ සිතාරයන්
සංගීතය දෙන්න
අහස දෙස බලාගෙන
මන්දාකිණියෙ කෙළවර හොයන්න
පිච්ච මල් අතුරල
ඉරට පාරක් හදන්න
පාර පේන් නැත්තන්
කණාමැදිරියන්ට අපි එක්ක
එන්න කියන්න
මැක්ඩොනල්ඞ් එකට ගිහින්
බොම්බයිමොටයි කන්න
මගෙ ඩයරිය පීරල
ඔයාගෙ නමත්
තැනින් තැන ලියන්න
ආයෙ හම්බෙන දවසට
ඒ පුරුදු ගස් සෙවණට
ආදරේ අරගෙන එන්න

(රිවිහාර පින්නදුව)


Saturday, September 24, 2016

කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි
කොඩියක ළෙලෙන
වනයක හඩ දෙන
සිංහයෝ වන්නෙමු අපි
කොල්ලූපිටියේ වේලෙන
මුහුදු රළ පිස නැගෙන
ලූණු රහයි ජීවිතේ
ඒකත් සතුටක් අපිට
මෙලෝ රහක් නැති
මිනිස් ජීවිත අතර
දිවා රෑ නියොන් එළි අද්දර
නිළංකාර දෑස් රිද්දන
ගද ගගහ කුණුවෙන නගරෙක
ආයෙ අපි මොනව කරන්නද ලස්සන
තුන්තිස් පැයේ නිදි නැතිව
නැගෙන වාහන හඩ
තවත් දහසක් ඝෝෂා මැද
තිබුණ හද කීරි ගැහෙනා නිහඩ බව
උන් ඇවිත් හඩනගා
බිදදමන සද
විකුණන්න එපා මොරදුන්නට
තේරේවිද මේ ටවුමට
විකිණීමම ස්වර්ගයද නිවනද වූ කල
තවත් සිය දහසක් ඇහැරවන්නට
ගිගුම් දුන් දසදහසක් හඩවල්
දුම් වලා මැද කදුළු
සිනහ නැගුනා සිංහ මුවගට
සිමෙන්තියෙන් සැදුණු බව අමතකව
වෙර දැරුව පාද සොලවන්න
කඩා පනිනට බැරියර් මතට
ආයෙ එනවැයි සපථ කොට
උන් ගියා සමුගෙන
ඉතිං නූඹලා කවදාද ආයෙ එන්නෙ
අපි ඉන්නෙ බලාගෙන
මියැදුණු හංදියක
මොහොතකට ජීවත් වෙන්න
සිංහයෝ අපි
කොල්ලූපිටියේ වේලෙන

(රිවිහාර පින්නදුව)



Thursday, September 22, 2016


නිල් අහස් තලේ අගේ

වැට් හින්ද වැඩි වෙලා


හෝඩි පොතෙ අකුරු ගලවා
විකුණන්නෙ සිල්ලරට
”අ” යන්නේ අම්මා මෙච්චරයි
”ආ” යන්නෙන් ආච්චි
අඩු කළා මේ උත්සව සමයට
අකුරු දෙකක් ගත්තොත්
එකක් දෙනවා නිකන්
පමා නොවන්න
මහත්වරුනි තොග සීමිතයි
සාමා අමර සල් ගසත් එක්කම
පැකේජ් එක වාසියි
තව කීයක් හරි දුන්නොත්
නයනවත් ගතහැකි
නිල් අහස් තලේ අගේ
වැට් හින්ද වැඩි වෙලා
පළවෙනිද ඉදන්
කෝම්පිට්ටු මිළ ඉහළට
පහසු ගෙවීමේ ක‍්‍රමයට
අපෙන් ගන්න චක්කරේ

(රිවිහාර පින්නදුව)


Wednesday, September 21, 2016

මං ඉපදිලා තියෙන්නෙ උන්ට ලාභ හොයල දෙන්න


මං ඉපදිලා තියෙන්නෙ

උන්ට ලාභ හොයල දෙන්න


මං ඉපදුණේ පුද්ගලික රෝහලක
අම්ම ලෝන් එකක් දාලයි
ගෙවල තිබුණෙ ඒකට
මොළේ වැඩෙන්න
අහවල් දේ තියෙන
කිරිපිටි පැකට් ගන්න
බැරිමරගාතෙ තාත්ත  ඕටී කරලයි
ගෙව්වෙ ඉස්කෝලෙට
අපේ වෙඩින් එක
අර ටීවී එකේ පෙන්නුව විදිහට
ෆොටෝ ෂූට් සෙටි බැක්
නහුතයක් දේවල්
තාම අපි ණය ගෙවනවා
හරිම සන්තෝෂයෙන්
ලොකු ගෙයක් හදන්න
හොද කාර් එකක් ගන්න
මහන්සියට ටිකක් නවතින්න
ඉඩක් නෑ ජීවිතේ
වස උනත් කන දේ
හිතන්න එපා කන්න
ලෙඩ උනාට භයවෙන්න එපා
අත ළගම ඉස්පිරිතාලෙ
සල්ලි ගෙවන පරක්කුවට
බෙහෙත් දෙන හිත පිරෙන්න
මරණයත් ලස්සනට තියෙන්න  ඕනෙ
හොද මිනී පෙට්ටියක් එහෙම
අන්තිමට ජීවිතේ
හර බැර කරල ගත්තම
අපි ඉපදිලා තියෙන්නෙ
උන්ට ලාභ හොයල දෙන්න

(රිවිහාර පින්නදුව)


Friday, July 29, 2016

මස්තිෂ්ක අන්ධකාරය

මස්තිෂ්ක අන්ධකාරය


මිනිස්සු සිය ගණනින් මැරෙන්න ගන්නවත් එක්කම රට පුරා හිදිසි තත්වයක් ප‍්‍රකාශ කරනව. විද්‍යාගාරවල පරීක්ෂණවල ඉදන් බලි තොවිල් වෙනකම් හැම විදිහකින්ම මිනිස්සු උත්තරයක් හොයන්න මහන්සි ගන්නව. නගර පිටින් පාළුවෙලා ඒ භයානක හැගීම් විරහිත අන්ධකාරෙ ගිලෙද්දි වෙන කරන්න දෙයක් නැති තැන නගර ගම් පිටින් මරණයට හුදෙකලා කරන්න තීරණය වෙනව. කවුරුත් විශ්වාස කරයිද මේ අන්ධකාරය පටන් ගන්නෙ ආලෝකමත් පුංචි සුන්දර ගමකින් කියල. සමහර විට අන්ධකාරය හරිම තැනින් පැතිරෙන්න පටන් ගත්ත වෙන්න ඇති, ඒ තමන්ගෙ ප‍්‍රතිපක්ෂය වෙච්ච ආලෝකය තුළින්ම ඒ අන්ධකාරයට ඉපදෙන්න දීල.
    ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
ගම සුන්දරයි නගරය කැතයි කියන කතාව ඇත්තද බොරුද කියන්න මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව ගමේ තවම මොකක්දෝ සාමූහිකත්වයක් තියෙනව, ඒකෙන් ගමට ඔය වෙල් එළිවල තියෙනවයි කියන ලස්සනට වඩා ලස්සනක් ගේනව. ගම කතාබහේදි මොන තරම් උඩින් උස්සල තිබ්බත් අවුරුද්දට ගිහින් එන්න යනව මිසක් ඔච්චර හොදයි කියන ගමේ නවතින්න කවුරුත් කැමති නෑ. කොහොම හරි නිවාඩුවට කැම්පස් එකේ යාළුවො දෙන්නෙක් එක්ක පොඩි මාමලගෙ ගමට යන්න හිතුවෙ වෙනසකටත් එක්කයි. ඒ ගම මේ වගේ කාලෙක හොයා ගන්න අමාරු විදිහෙ හුදෙකලා වෙච්ච බිමක්. ළගම තියෙන බස් එකක් යන පාරට එන්නත් ඒ මිනිස්සු ගොඩක් දුර පයින් එන්න  ඕනෙ. ඒ හින්දමද කොහෙද ඒ මිනිස්සුන්ගෙ ලෝකය ගමෙන් එහාට පැතිරෙන්නෙ හරිම අඩුවෙන්. මේ හුදෙකලා බව නිසාම ගමට අනෙන්‍යය වෙච්ච සංස්කෘතික ලක්ෂණ ගොඩක් තියෙනව. කොහොම උනත් ඒ මිනිස්සු හරිම මිත‍්‍රශීලී වගේම විනෝදකාමීයි. රටේ අනිිත් මිනිස්සුන්ට වගේ පාරට බස් එකක් නැති එක, විදුලිය නැති එක වගේ දේවල් එයාලට හිතන්න තරම්වත් දෙයක් නෙමෙයි ඒ හින්ද මොන තරම් අඩුපාඩුකම් මැද උනත් ඒ මිනිස්සු සැහැල්ලූවෙන් උන්නා. ගම මැද්දෙ සතියට සැරයක් දෙසැරයක් පැදුරු සාජ්ජයක් තියෙනව. ගමට කවුරු හරි අමුත්තො ආව දවසට ඒක අනිවාර්යයි. ගමේ හැම ගෙදරකම දොර හැම කෙනෙක්ටම විවෘතයි. ගමේ කොල්ලො ටිකත් හරිම මිත‍්‍රශීලියි. දකින දකින තැන ඇවිත් කතා කරනව. යාළුවො දෙන්නත් එක්ක මෙහෙ එන්න හිතුවෙ වෙනසකටත් එක්කයි.
ටවුමෙ ඉදල සෑහෙන දුරක් බස් එකේ ඇවිත් පන්සල පහුවෙලා ටිකක් ගියහම තියෙන නුග ගහ ගාවින් බහිද්දිම මට හරිම අමුත්තක් දැනුන. එතනින් ගමේ අය දෙතුන් දෙනෙකුත් බැස්ස. මෙතනින් බහින්නෙ ගමට යන්න කියල හැමෝම දන්නව ඉතිං මෙතනින් බහින කෙනෙක්ගෙන් කවුද කින්ද මන්ද කියල අහන්න, බඩු මොනව හරි තිනෙවනම් උස්සන් යන්න, ගමේ අලගිය මුලගිය තැන් ඔක්කොම යනකම් කියන්න මේ මිනිස්සුන්ට ඒ එන අමුත්තව කළින් අදුනගෙන ඉන්න  ඕනෙ නෑ මං දන්න තරමින්. ඒත් අද ඒ මිනිස්සු හරිම නිහඩයි. මං කළින් ගමට ආව පාර මේ ගොඩක් දෙනෙක් මාව හොය හොය ඇවිත් කතා කරපු හින්ද ඇදුනුම් කමට නිකමට හිනාවුනා විතරයි.  ඒ හිනාවත් උදේට ජොගින් පාත් එකේ දුවන මිනිස්සු මූණට හම්බෙන අයට ගුඞ් මෝනිං කියනව වගේ හරිම ව්‍යාජයක්. පැය එක හමාරක විතර පයින් ගමන පුරාම තිබ්බෙ ගුප්ත නිහඩ බවක්. ඒත් මං දන්න ගමේ මිනිස්සුනම් හැම තිස්සෙම ළග ඉන්න අයත් එක්ක මොනව හරි ආගිය තොරතුරු කතා කරණව. මෙතන මිනිස් කට හඩකට ඇහුනෙ අපි තුන්දෙනා මොනව හරි කුටු කුටු ගාපු එක විතරයි. පුරුදු නැති හින්ද පාරෙ සමහර තැන් වලදි බෑග් උස්සන් අපිට යන්න් අමාරු වෙද්දි එයාල උදව් කළා. ඒත් ඒ උදව් කරල පුරුද්දට මිසක් හැම වෙලේම අපි අතර ලොකු දුරක් දැනුනෙ.
ඒ ඇත්තටම මං දන්න පොඩි මාම නෙමෙයි. කළින් පාර බස් එකෙන් බහින තැනට පැය ගානකට කළින් ඉදන් ඇවිත් ඉදල මාව එක්කගෙන ගිය පොඩි මාමගෙන් අද හම්බවුණේ කොහොමද පුතා කියල වචන දෙක තුනකට සීමා වෙච්ච රාජකාරිමය පිළිගැනීමක්. පොඩි මාමගෙ දුව පොඩි කෙල්ල ගිය පාර ආපු වෙලාවෙ අයියෙ අයියෙ කියල මගෙ පස්සෙමයි. කියවනව කියවනව ඉවරයක් නෑ. ඒකට අද ඒ කෙල්ල ගොළුවෙලා නෑ කියල දැනගන්න මට පැය ගාණක් ගියා. අමුත්තෙක් ආව කියල ගමේම මිනිස්සු යනින් එනින් ගමන් ගෙට ගොඩවෙලා අදුනගෙන යනව වෙනුවට ගාණක්වත් තිබුන් නෑ කාටවත්. නිකන් අපි පොඩි මාමලගෙ ගෙදර කාමරයක් කුළියට අරන් නැවතිලා වගෙයි. ගමේ කොල්ලො ටික පේන්නවත් හිටියෙ නැති හින්ද මං උන් ටි‍්‍රප් එකක්වත් ගිහින් කියල හිතුවට උන් ඔක්කොම ගෙවල් අස්සට වෙලා උන්නා. වෙනද ගම මැද්දෙ තිබුණ පැදුරු සාජ්ජ දැන් කෙරෙන් නෑ කියලම් පැහැදිලියි. වෙනද ගමේම කොල්ලො මාත් එක්ක ඇවිදින්න ආවට මේ පාර අපිට උදව්වට පාර පෙන්නන්න කෙනෙක් හොයා ගන්න නැතිවුණා. ගමේ ඉස්කෝලෙ වහලද කියලත් මට හිතුන, වෙනද හැතැම්මක් තියා පොඩි උන්ගෙ කෑගැහිල්ල. ගිය පාර මං කැම්පස් එකේ කියල ආරංචි වෙලා ඉස්කෝලෙ ටීචර් මාව එක්කන් කරන් ගිහින් ළමයින්ට කතා කරන්න කිව්ව. ආයෙ ආවොත් අනිවාරෙන්ම ඉස්කෝලෙ පැත්තෙ එන්නත් කිව්ව. මං අද ඉස්කෝලෙටම ගිහින් මගෙ යළුවන්වත් අදුන්නල දීල කතා කළාට හිනාවුණා ඇරෙන්න ටීචර්ගෙන් වෙන කිසිම ප‍්‍රතිචාරයක් ලැබුන් නෑ. ගිය පාර මං එද්දි සිංදු කිය කිය, ළමයි එක්ක සෙල්ලම් කර කර ඉගැන්නුව ඇය අද පුටුව උඩට වෙලා පාඩම කියවනව.
මගෙ යාළුවො දෙන්න අපහු එන ගමනම ආවෙ මට බැන බැන. ඒක හරිම සාධාරණයි. සතියක් ගමේ නතර වෙලා ඉන්න ගියපු අපි දවස් තුනෙන් ආපහු ආව. ඇත්තටම ඒ දවස් තුනත් අපි ගෙව්වෙ හරිම අසහනෙන්. ඇත්තටම අපිට දැනුනෙ මළවුන් මැද්දෙ ජීවත් වෙනව වගේ හැගීමක්. අපි ගමට ආපු එක වගේම ගිය එකත් කාටවත් අදාල වුණේ නැහැ. මාමනම් නිකන් නමට වගේ අපිව ඇරලවන්න ටික දුරක් මගටත් ආව. ගිය පාර වගේ උස්සගෙන යන්න බැරි තරම් බඩු ගොඩවල් යද්දි ගමේ මිනිස්සු ගෙනත් දුන්නෙ නෑ. මං ආයෙ එනකම්ම පැය ගාණක් කල්පනා කළේ ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ කියල. ටවුමට ආවට පස්සෙ ටවුමෙ පොඞ්ඩක් අපි ඇවිද්ද එතනදි අපි ගමට ගිහින් එන ගමන් කියල කිව්වම එතන හිටපු මනුස්සයෙකුත් කිව්ව ගමේ මිනිස්සු දැන් වෙනද වගේ නෙමෙයි හරිම අමුතුයි කියල. ඇත්තටම පොඩි මාමලට මොකක් හරි කියාගන්න බැරි කරදරයක්වත් වෙලාද? මට කීප සැරයක්ම අහන්නම හිතුනත් පස්සෙ අන්තිමට අහන් නැතුව හිටිය. කොහොම හරි කැම්පස් එක ආයෙ පටන් අරන් වැඩ වැඩි වෙද්දි මේ දේවල් මතකයේ පල්ලන් බැස්ස. ඔය අතර දවසක් මගෙ අර යාලූවො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ පෙම්වතිය මාව හොයන් ඇවිත් අඩ අඩ කියන්න ගත්තෙ මගෙ යාලූව දැන් ගොඩක් වෙනස් වෙලා හරියට කතා කරන්නෙවත් නෑ කියල. එතකොටයි මට කල්පනා වෙන්න ගත්තෙ ඒ මනුස්සය අපි එක්කත් දැන් එහෙමයි කියල. ළගදි ඩ‍්‍රාමා එකක් බලන්න යන්න එන්න කිව්වම වෙනද ඒවට අපිවත් ඇදගෙන දුවන මනුස්සය මහන්සියි කියල හොස්ටල් එකට වෙලා හිටිය. මගෙ යාලූව විතරක් නෙමෙයි එයාගෙ රූම් එකේ සෙට් එකම දැන් වැඩි කතා බහක් නෑ වෙනම ලයින් එකක් දෙන්නෙ කියල කැම්පස් එකේ තැන තැන කතා කරන්න ගනිද්දියි මට පොඩි මාමලගෙ ගම මතක්වුණේ. මෙතන මොකක් හරි අවුලක් තියෙනව.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

කැම්පස් එකේ ළමයින්ගෙ හැසිරීම අසාමාන්‍ය විදිහට වෙනස් වෙලා කියල අපිට පරීක්ෂා කරන්න ආව. වෙනද වගේ කැම්පස් එකේ අරගල මොකුත් තිබ්බෙ නෑ. කලා උළෙලවල් වගේ දේවල්, තැන තැන පෙම් සුව විදින පෙම්වතුන් මේ හැමදේම අඩුවෙන්න ගත්ත. මේ අසාමාන්‍යකම ටික කාලයක් යද්දි රටේ තැනින් තැන මතුවෙන්න ගත්ත. ඒ හැම තැනක්ම මොන විදිහකින් හරි කැම්පස් එකේ කාට හරි සම්බන්ධ වෙලා තිබුණ. ඒක වසංගතයක් ලෙඬේ මොකක්ද කියලවත් අපිට තේරෙන්නෙ නැති. අපේ පරීක්ෂණ වලට රජය දිගටම මැදිහත්වුණා. ඒව කෙළින්ම රජයේ භාරයට ගත්තා. ඈත ගමක මිනිස්සු හදුනා නොගත් මොළේ ඉදිමීමේ රෝගයකින් මැරෙන්න ගන්නවත් එක්කම හැමදෙයක්ම එළිවෙන්න ගත්ත. ඇත්තටම මොළය ඉදිමෙනව කිව්වට ඒක මොළේ කුණු වෙනව කිව්වොත් හරි. ඊළගට කැම්පස් එකේ ළමයිනුත් ඒ ලෙඩෙන්ම මැරෙන්න ගන්නවත් එක්කම රටම අසහනයට පත්වුණා. රජයේ රහසිගත පරීක්ෂණාගාර වලට ඒක නවත්තන්න බැරි වෙද්දි ආපහු අපිව මේ වැඩ වලට සම්බන්ධ කරගත්ත. මුළින් අපිට හරියටම තොරතුරු නොදී අපි ලවා වැඩකරගන්න හැදුවත්, ඒ දේවල් හංගන් ඉන්න බැරිවුණා වැඩි දවසක්. අන්තිමට ඒ යක්ෂයාගේ පරීක්ෂණය එළිවුණා.
පාලකයන්ට අවශ්‍යය වෙනවා මිනිස්සුන්ව තමන්ට  ඕනෙ විදිහට පාලනය කරගන්න. ඒත් ආර්ථික අර්බුද එද්දි මානව සමාජය එහි හරයන්ගෙන් අභාවයට යද්දි මිනිස්සු ඒවට විරුද්ධව නැගී සිටින එක වළක්වන්න බැරිවෙනව. පොළිසිය, උසාවිය, ජනමාධ්‍ය මේ විදිහට පාලකයන්ට තියෙන හැම ආයුධයක්ම පාවිච්චි කළාට පස්සෙත් අර්බුදයේ උච්චතම නිමේෂයන් වලදි මිනිස්සුන්ගේ මේ නැගිටීම් නවත්තන්න ඔවුන්ට බැරි වෙනව. ඒකට ඔවුන්ට සාම්ප‍්‍රදායික උත්තර වලට වඩා වෙනස් උත්තරයක්  ඕනෙ වෙනව. ඒකට ඔවුන් හොයාගන්න ආයුධය පනුවො. පනුවො කිව්වට ඇත්තටම ක්ෂුද්‍ර ජීවියෙක් මොළයෙ ජීවත්වෙන. උන් ජීවත්වෙන්නෙ මොළයෙ නියුරෝන වල ප‍්‍රබල ආවේග වලින් නිපදවෙන ශක්තිය උරාගෙන. ඒකෙන් මිනිස්සුන්ට ආදරය, සහෝදරකම් වගේ ප‍්‍රබල මානවීය හැගීම් නැතිවෙලා යනව. නැතිවෙලා යනව කිව්වට ඒව ඇතිවෙනව ඒත් ඒ ආවේගයන් අර ක්ෂුද්‍ර ජීවීන් උරාගන්නව. එතකොට අපිට ඒ හැගීම් දැනෙන් නෑ. ඒ අය පරීක්ෂණයට යොදාගන්නෙ සමාජෙන් හුදෙකලා වෙලා ඉන්න ඈත පිටිසර ගමක්. ඒ පරීක්ෂණය සාර්ථකව අවසානයට ළංවෙමින් තියෙනව ඒ ගමට හදිස්සියෙම නිවාඩුවකට කැම්පස් එකේ ළමයි වගයක් එනකන්.
ඒ රෝගය මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්නෙ නැති විදිහටයි හදල තිබිල තියෙන්නෙ. ඒත් අර ආපු ළමයි අතරින් කෙනෙක්ගෙ ජාන සැකැස්මෙ මොකක් හෝ වෙනසක් නිසා ඔහු මේ රෝගය මිනිසෙක්ගෙන් බෝවුණු පළවෙනි රෝගිය වෙනව විතරක් නෙමෙයි, එයාගෙ ශරීරය ඇතුළෙ මේ ක්ෂුද්‍ර ජීවිය වර්ධනය වෙනව මිනිහෙක්ගෙන් තවත් මිනිහෙක්ට පැතිරෙන්න පුලූවන් විදිහට. ඒකයි කැම්පස් එක ආශ‍්‍රයෙන් මේ ලෙඬේ හැම තැනම පැතිරෙන්න ගන්නෙ. ඔය අතර පරීක්ෂකයො නොහිතපු තවත් දෙයක් වෙනව. ඒ මේ ක්ෂුද්‍ර ජීවීන්ගේ කි‍්‍රයාකාරීත්වය හින්ද ටිකෙන් ටික මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වෙන්න ගන්නව. සරළව මොළය මිය යනව. අන්තිමට ඒ භයානක පරීක්ෂණය මානව ඛේදවාචකයක් වෙනව. මේ ගතවෙන තත්පරේදිත් අපි ඒක වළක්වන්න ක‍්‍රම හොයනව. දැනට අපිට නිරෝගී අයට ඒක බෝවෙන එක වළක්ව ගන්න ක‍්‍රමයක් තියෙනව. රෝගය වැළදුනු අය බේරගන්න ක‍්‍රමයක් තමයි තවම නැත්තෙ. අපිට මේ විද්‍යාගාර ඇතුළෙ ඒකට කොහොම හරි උත්තර හොයාගන්න ලැබෙයි හැබැයි පාලකයන්ටනම් එයාලගෙ ප‍්‍රශ්නෙට අර්බුදයට යන්න දෙනවා ඇරෙන්න උත්තරයක් හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ.

(රිවිහාර පින්නදුව)