වම් ඉවුරෙ හිටගන්න
බලාපොරොත්තුවේ නියං සායෙන්
වේලිලා කරවෙච්ච පොළවට
නව ලොවක පැතුමන් දරාගෙන
පොද වැසක්ව පතිතවන්නට
එන්න සොයුරනි
ජීවිතේ හීන පැළකර
අස්වැන්න ගෙට ගන්න කළියෙන්
ණය හිලව්වට ජීවිතේ සින්නවුණු
සුසම් හෙළමින් උන්නු කාලය
අහවර කරන්නට
එන්න සොයුරනි
ජුකී මැෂිමට හාදු දෙන
ලස්සන රටා මවමින
ජීවිතේ ගෙතුම වැරදුණු
මහාමේරුව පතා ඇවිදින්
බොරළු කැටවත් නොමැතිවූයෙන්
හිනා තහනම් කලාපෙන්
මිදී ඉගිලෙන්න
එන්න සොයුරනි
ලොකු කාර් එතත ගෙයක
අජරාමර නිවනින් සැනසෙන්න
පොත් වනපොත් කරමින්
ධ්‍යාන වඩන
බුදුවෙන හීනෙක
සෝවාන් වෙන්න බැරිකොට
යශෝධරාවත් එක්කන්
දිසාපාමොක් තක්සලාවෙන්
එන්න සිදුහත්
තෝරුද මොරුද
සාලයොද හුරුල්ලොද
අපි උන්ට දැල් එලූවද
නැත්තන් කවුරු හරි
අපිට දැල එළලද
මේ දැල් ඉරාගෙන
හබල් ගා විගසින්
එන්න දියඹට
සෙල්ෆියක් ගන්නකොට හිනාවෙන
ඒත් කදුලූ නැතුව විලාප දෙන ජීවිතය
එකේ උණුසුම හොයන
කණ්නාඩියෙන් ටයි එකේ හැඩ බලන
මහවට රුහුණු කුමාරිට
හෙමි හෙමින් උදේ හවස මුමුණන
වගේ වගක් නැතුව
හතිහල හලා දුවන තරගෙන්
එන්න ජීවිතය හොයාගෙන
උඩරට කදුකර සිරියාව
හොයන්න එපා
හෙම්බත්වුණු මුහුණුවල
තේ දළු නෙළලම ගෙවුණු
ඇගිලි අතරට තුරුළුකර දහිරිය
එන්න සොයුරනි
රට කාසි ඉල්ලමට
ජීවිතේ ඔට්ටු දැමු
ගිණියම් වැලිකතර
සාරය උරාබොන
ඔය මුළුතැන්ගෙයින් දැන්
එන්න සාලෙට
ආදරෙන් වැළදගන්නට
අරගලය අතනාරිනා බව දිවුරා
ජවය ගන්නට
පාට නැති ලෝකෙට
රතුපාට සිත්තරුන්
ජීවිතේ සිතුවම් කරණ
ආරාධනා කුමටද
එන්න දැන් නුඹ
විසල් සිහින දකිනා
පුංචි මිනිසුන් එක්ක
දෙපයම පොළවේ තබා
වම් ඉවුරෙ හිටගන්න
(රිවිහාර පින්නදුව)
No comments:
Post a Comment