ගන්න කූල් වතුර බෝතලයක්
ජීවිතේ කොහෙද සීතළ
රත්වෙලා ගිණිගන්නව
හැමදාම හැමතැනම
රෑට ගෙදර යද්දි
පොඩි උන්ගෙ බඬේ ගින්දර
උන්ගෙ බඩ බොකු විතරක් නෙමෙයි
මගේ පපු කැවුත්තත් පුච්චන
සින්නවෙන අම්මගෙන් ලැබුණු රන් මාලය
ඉවරවුණු ගෑස් එක
ඇගේ හීල්ලිල්ලෙන්
රෑ සයනයම ගිණිගත්ත
ඒ රස්නෙ හින්දම නින්ද දුරගිය
අපි දෙන්න කතා නැතුව
සිවිලිමේ වතුර බේරුණු පාරවල්
හැඩ බලන
ඉස්කෝලෙට ගෙවන්න
ටියුෂන් එකේ මේ මාසෙ
කාඞ් එක ගන්නට
පොඩියි කියල නෑ
උන් ඉන්නෙත් ගින්දරින්
ලයිට් බිල් වතුර බිල්
ගෙවල් කුලී තව හුගක්
මාසෙ අන්තිමට
ගිණි ගන්නව නෙමෙයි
බෝම්බ පුපුරනව සාලෙ මැද්දෙම
ඉතිං වැඩ ඇරිල
ගෙදර යන
කෝච්චියෙ හිරවෙලා රත්වෙන
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
හුස්මක් ගන්න ඉඩක් හොයන
උඹලව තලාගෙන
කෝච්චියෙ උඩ පහළ යන
මං දන්නව හොදට
උඹලත් පිච්චෙනව
මං වගේම ගින්දරින්
ඒත් අනේ මගෙ ගින්දර
ටිකක් හරි නිවිල යන්න
සීතළ වතුර බෝතලයක් අරන්
කීයක් හරි දෙන්න
තරගෙට වඬේ විකුණන මල්ලි
පනහට සීයට වඬේ ඔතනව
රතු පත්තර පිටුවල
තව බෝතලයක් දෙකක් විකිණුනොත්
මමත් පනහක වඬේ
අරන් යනව රතු පත්තර පිටුවක ඔතපු
අහුවෙන හැමදේම කියවන
පොඩි එකා කියවනව ඒකත්
අපි වගේ ගින්දරට
සීතළ වතුර විකුණන් නැතුව
උන්වත් හොයාවි
ගින්දර නිවන විදිහක්
(රිවිහාර පින්නදුව)
අදුරගන්නකන් මාත් හිතුවෙ ඔහොම තමයි.
ReplyDeleteඒත් මචං උන් අපිට වඩා සතුටින්
හිටිය යාලුවෙක් තොග මිලට කූල් වතුර ඇවිදින වෙලන්දන්ට
දවසක් දෙකක් මාත් කැරකුණා ඒපැත්තෙ ගෙදර ඉන්න කම්මැලි කමට
ඇත්තම කියනව නම් උන් (මෙහෙම කීවට උන් තරහ වෙන්නෙ නෑ) A/C කාමරේ කැරකෙන පුටුවක නොහිටියට හොයනම මාසෙකට අපි වගේ 3න් 4තර ගුනයක්.
ඇත්තටම උන් අපිට වඩා සතුට්න්ග. අමතත උනා කියන්න හැම හවසකම උන් ඇහුව මගෙන් ගහමුද මචං බියර් එකක්.