Friday, April 17, 2015

අවුරුද්ද සුභයි මට



අවුරුද්ද සුභයි මට


බඩසයින් හඩන
හැම මිනිහෙක්ම හොයන් ගොස්
කිරිබත් කටක් කවන්නට
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

ජාතියක් ආගමක්
නමින් ඉරි අදින
පැළුණු හදවත් දාර මත
සෙනෙහසක් ගල්වන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හදවතට ඉඩදී තටු සළන්නට
අනන්තය වෙත නෙත් යොමන්නට
වෙරළ ඉම හුදෙකලා ඇසිල්ලක
ප්‍රේමයේ දැහැනට සමවදින්නට
දිග පළල මනින්නේ නැතිව
කෙනෙක් මුව සිපගන්න
ඉතිං හැකිනම්
සුභයි මට අවුරුද්ද

අට්ටාල මත ගුලිවෙලා
සටන අතනෑර
කිරිබත් කැවුම් අතහරින
සොයුරන් නගා ජය ඝෝෂා
අතින් අල්ලන්
මග බලන් ඉන්න අම්මලව
බලන්නට ගමට එක්කන් යන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හෙට දළුලනා හීනයක
අද සටන් කරණා මිනිසුන්ට
ජවය දෙන කවියක්
ඔවුනොවුන් මුවග මුමුණන්න
ලියා පාකර හරින්නට
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හමුවෙනා හැම නෙතග
ආදරේ තවරන්න
ජීවිතේ යදම් බිද
නිදහසක් මොරදෙන්න
රක්ත වර්ණිත ධජ
මේ අහස සරසන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි අපිට

( රිවිහාර පින්නදූව )

( https://www.facebook.com/photo.php?fbid=818562614887157&set=pb.100002002790094.-2207520000.1429255425.&type=3&theater )

4 comments:

  1. අැත්ත.... ඔබටත් සුභ අලුත් අවුරුද්දක් පතනවා..

    ReplyDelete