Saturday, April 25, 2015

පෙම්වතියට පෙම් කවියක්


පෙම්වතියට පෙම් කවියක්


දකින්නට පෙරුම් පුරන
ඇසිල්ලක හද සසළ කරනා
අනන්තෙට සිත පාව ඇදෙනා
‍නුඹේ සිනහවක්
අකුරු කරණට
පොත් පිටු ගණන්
මං කොච්චර ආසද
ලියන්නට පෙම් කවියක්
ඒත් රත්තරනෙ
දහස් ගණන් පොඩි එවුන්
බඩසයින් අඩනවනෙ

නුඹේ අත අල්ලගෙන
පරිස්සමට ලෝභකමින්
හෙමි හෙමිහිට අඩි තියන්න
ඔට දෑසට එබී
විදසුන් වඩන්නට
ප්රේුමයේ මාර්ග ඵල ලබන්නට
විශ්වයම නතරවෙන ඇසිල්ලක
සීරුවට ජීවයේ සාරයම
නු‍ඹෙ දෙතොලෙ තවරන්න
රෑ ගණන් නිදි මරා
ඒ හැගුම කවියකට දමන්නට
මං කොච්චර ආසද
ඒත් රත්තරනෙ
ධනයේ වෘකයින් ඇහැරිලා

පන්හිදම තුරුළු කොට දෑතට
ගිණි අවිය කොට එයම
අකුරු වෙඩි උණ්ඩ වස්සන්න
පෙරමුණේ සටන් කරණා සොයුරන්ට
පුංචිම උදව්වක් හරි වෙන්න
කඩු කිණිසි මැද උන් එක්ක
රෝස මල් ගෙන ඇවිදින්න
මල්ටි බැරල් එන දෙසට
හදවත දමා ගසන්නට
පුපුරලා හැමෝම
සෙනෙහසින් බරපතළ තුවාල ලබන්නට
රත්තරනෙ අපිත් යමුද
උණුසුමට තුරුළු වී
ලෙයින් පෙගුණු
පිච්ච මල් පූදින සටන් බිම වෙත
එබිම කොහේ හෝ කොනක
ලියන්නෙමි පෙම් කවිය නුඔ නමින්
නොමැකෙන්න ලොකුවට
හරිම සරළව
එකම වදනකින්
"ආදරෙයි"

(රිවිහාර පින්නදූව)

( https://www.facebook.com/photo.php?fbid=822917227785029&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

No comments:

Post a Comment