Saturday, August 24, 2024

මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?


 මේ ප්‍රභූ දේශපාලනයේ මර(ම)ණයද?

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීම ගැන යම් කතාබහක් ඇතිවෙලා තියෙනව. මොනම තත්වයක් යටතේ වුනත් ඒක ගොඩක් වටිනවා. ලංකාවෙ ප්‍රාදේශීය සභාවක නැත්තන් සමූපකාරෙක ඉදලම දේශපාලන ආකෘති ඇතුලෙ ආධිපත්‍ය අරන් තියෙන්නෙ ප්‍රභූ සමාජ ස්ථරයක්. ( පහල ස්ථරවල අය ඇත්තෙම නෑ කියල නෙමෙයි කියන්නෙ) මේකෙ යම් තරමක හරි වෙනසක් දැක්කෙ ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ(වෙනම ශිෂ්‍ය කියල දේශපාලනයක් නෑ මේ කියන්නෙ ඒ ආකෘතිය ගැන) . ශිෂ්‍ය දේශපාලනය ඇතුලෙ බොහෝ දුරට මූලිකත්වය අරන් ඉන්නෙ ග්‍රාමීය පහල ප්‍රාන්තික තරුණයින්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ මොනතරම් අඩුපාඩු සීමාකම් මැද වුනත් ශිෂ්‍ය දේශපාලනය වාමාංශික නැඹුරුවක් සහ විකල්ප සංස්කෘතික අභ්‍යාසයක් සමග ක්‍රියාත්මක වෙන නිසයි.

පහුගිය කාලෙ මේ ක්‍රමයේ අර්බුදයත්, පාලකයන්ගේ අසමත්කමත් නිසා පවතින ක්‍රමවේදය ගැනම මිනිස්සු අතර කලකිරීමක් ඇතිවුනා. "225 ම එපා" වගේ වචන වලින් ප්‍රකාශවුනේ ඒ දේ. ජනාධිපතිවරයාට රටත් දාල යන්න වෙන තත්වයක් ආව. මේ දේවල් එක්ක ගම් වල තිබ්බ ප්‍රභූ දේශපාලන ආධිපත්‍ය සෙලවීමකට ලක්වුනා. සාම්ප්‍රදායික දේශපාලන බලකදවුරු වලින් බැහැරව ජාතික ජනබලවේගය වැනි පාර්ශවයන්ට පුලුල් අවස්ථාවන් විවර වෙන්නේ මේ අවකාශය ඇතුලෙයි.

දැන් ප්‍රශ්නයට අමුවෙන් ආවොත් ප්‍රභූ දේශපාලනය පරද්දනව කියන්නෙ මොකක් හරි පුටුවක ප්‍රභූ සමාජ ස්ථරයෙන් බැහැර කෙනෙක් වාඩි වෙන එකද? ( ඒකත් වෙන්න ඕනෙ) ඒක එහෙමනම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවුනහම ඒක වෙන්න ඕනෙ. ඇත්තටම අපි කතා කරන ප්‍රභූ දේශපාලනය පවතින ආර්ථික හා සමාජ ක්‍රමයත් එක්ක බද්ධවෙලා තියෙන්නෙ. ඇත්තටම ප්‍රභූ දේශපාලනයේ සැබෑ සාරය, සැබෑ අරමුණ තියෙන්නෙ මේ ආර්ථික ක්‍රමය ඇතුලෙ. එහෙමනම් මේ සමාජ ආර්ථික ක්‍රමයන් වල යම් ආකාරයක රැඩිකල් වෙනසක් නොකර මේ ප්‍රභූ දේශපාලනයේ මරණයක් හෝ පරාදයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

අප තේරුම්ගත යුතු අනෙක් සත්‍යනම් ප්‍රභූ දේශපාලනය සම්බන්ධයෙන් මේ මතුව ඇති විරෝධයේ උත්සන්නිය තාවකාලික හා නුදුරු අනාගතයේදී එම දේශපාලන ස්ථරයට යම් දුරකට පෙර පැවති තත්වයට පත්කර ගැනීමේ හැකියාවක් ඇති බවය. 2022 අරගලය අවසන්වූ ආසන්න කාලයේ සහ දැන් ඇති සමාජයේ නැමියාවන් කියවා ගතහොත් මෙය තේරුම්ගත හැකියි. කොටින්ම රාජපක්ෂ දේශපාලනය පවා තව වසර පහකින් හෝ දශකයකින් ගිලිහුනු බලය නැවත ලබාගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නගමින් තිබෙනවා. එහෙනම් පීඩනය උඩ ගොඩනැගිල තියෙන මේ සමාජ විරෝධය දේශපාලනිකව වෙනත් තලයකට ඔසවා තැබීමකින් තොරව ඒ විරෝධය මත වෙනත් දේශපාලන ව්‍යාපාරයන්ට යා හැකි ගමන ඉතා කෙටියි. එ් අනුව අප බොහෝ දෙනෙකුගේ සිහින මාළිගාවන් එළැඹෙන මැතිවරණයෙන් හෝ ඊට පසු කෙටි කාලයකින් බිද වැටීමට නියමිතයි.

එහෙනම් සමාජයේ ගොඩනැගී තියෙන මෙම විරෝධය සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විරෝධයක් දක්වා ඔසවා තැබීමේ අවශ්‍යාතාවයක් තියෙනව. අපි වෙනසක් බලාපොරොත්තු වෙනවනම් එය අනිවාර්යයක්. නමුත් මේ පවතින තත්වය තුල ජන අරගල සන්ධානය හැරෙන්නට වෙනත් කිසිදු පාර්ශවයක් එය සිදුකරන බවක් පෙනෙන්නට නැහැ. ඒ අනුව ජනඅරගල සන්ධානයේ මෙම මැතිවරණය තුල භූමිකාව වන්නේ ඡන්ද ලබාගැනීම හෝ ඡන්ස සංඛ්‍යාව පමණක් නොව මෙම විරෝධය සමාජ ගතකිරීමයි. එසේ නොවන්ට මැතිවරණයත් සමගම IMF හෝ එම ආර්ථික ක්‍රියාවලිය විකල්ප නොමැති දේවභාෂිත බවට සමාජය හමුවේ භෞතීස්ම වන්නට නියමිතයි.

මේ මොහොතේ ජාතික ජන බලවේගය මෙම සමාජ ආර්ථික වෙනස්කම් සම්බන්ධ කාරණය මගහරිමින් සිටිනව හරියට සජිත් අනුර එක්ක විවාදය මගහරිද්දි NPP එක ආර්ථික කමිටු අතර විවාදය මග ඇරිය වගේ. මේ වෙලාවෙ ආන්දෝලනාත්මක දේවල් කියන් නැතුව ෂේප් එකේ ඡන්දෙ ගොඩ දාන එක එයාලගෙ උපක්‍රමය කියන එක පැහැදිලියි සහ ඒක ඔවුන්ගේ තෝරාගැනීම. ඒත් අපේ මිතුරන් විශ්වාස කරන විදිහට NPP එක දිනල එයාල ඇත්තටම මේ ප්‍රභූ දේශපාලනය අවසන් කරන්න හිතනවනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාලට සිද්ධවෙනව මේ මගඅරිමින් සිටින කලාපයට පය තියන්න. එහෙම වෙනවනම් ඒකට අවම හෝ අවකාශයක් විවර වෙන්නෙ ජනඅරගල සන්ධානය විසින් මේ මොහොතේ සමාජගත කරන මතවාදයන් සමගයි. එහෙම නොවෙන්නට ඔවුන් මැතිවරණය තුල හැසිරෙන ආකාරයට ප්‍රභූ දේශපාලනය නැතිනම් එම ආර්ථික සමාජ ක්‍රමයට එරෙහිව ඔවුන් තියන පළමු පියවරේදිම ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩු බලය පවා අස්ථාවර වෙන්න පුලුවන්. (මේ ඔක්කොම එයාල හිතන් ඉන්න විදිහට දිනුවොත්)

දැන් මේ රටේ ප්‍රභූ දේශපාලන ස්ථරය දිහා බැලුවොත් එයාල ඉතිහාසයේ ගතකරපු අමාරුම කාලයක් ගතකරල මේ එයාලගෙ පැත්තෙන් ඉහ ගහගෙන එන කාලෙ. ඇත්තටම එයාලට ඕනෙ මේ කාලෙ ටයිම් පාස් කරල දාන්න. කලින් කිව්ව වගේ පුද්ගල චරිත ගැන විරෝධය එයාලට ඉක්මනට ගොඩදාගන්න පුලුවන් ඉස්සරහදි. ඒත් විරෝධය එයාලගෙ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගොඩනැගුනොත් ඒක එයාලට අමාරු වෙනවා.

එහෙමනම් ප්‍රභූ දේශපාලනයේ පරාජයක් ගැන හිතනවනම් මේ වෙලාවෙ කලයුතු වන්නේ පීඩනය තුලින් ප්‍රභූ දේශපාලඥයින් ගැන ගොඩනැගී තිබෙන විරෝධය අවබෝදය තුලින් එය ප්‍රභූ ආර්ථික සමාජ ක්‍රම විරෝදයක් දක්වා ඔසවා තැබීමයි. යම් මොහොතක ප්‍රභූ දේශපාලනය තීරණාත්මක පරාජයක් ලබන්නේනම් ඒ මෙම දුෂ්කර ව්‍යායාමයේ සාර්ථකත්වය මත පමණයි.

 

රිවිහාර  පින්නදුව