Tuesday, February 28, 2017

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

කාලෙක ඉදන් ලියන්න කියල හිතන් උන්නු කතාවක් මේ විදිහට ලියන්න හිතුවෙ පහුගිය දවසක සගයෙක් බුකියෙ පළවෙලා තිබුණ ති‍්‍රමා හා ධම්මික පෙරේරා අතර යම් සන්සන්දනයක ස්වරූපයේ අදහස් දැක්වීමක් මගේ අවධානයට යොමුකිරීමත් එක්කයි. ඇත්තටම ඒ සටහනේ තියෙන කරුණු සාමාන්‍යයෙන් පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදයේදී එක්තරා සමාජ ස්ථරයක් වෙතින් බහුලව පැවසෙන අදහස්. නමුත් ඒ ලේඛනයට ආකර්ෂණයක් ගෙනෙන්නෙ එය ධම්මික පෙරේරා හා පද්මසිරි තී‍්‍රමාවිතාන අතර කෙරෙන සංසන්දනය නම් අලංකරණය එයට එකතුවීමත් සමගයි. මේ ලිවීමට එය පදනම් කරගන්නෙ එහි ලියුම්කරු සමග තියෙන තරහක් හින්ද නෙමෙයි. එමගින් ඒ අදහස් නිශ්චිතව පෙළගස්වා ගන්න තියෙන පහසුව හින්දයි.
මෙහි පළවෙනි කාරණය පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් මිනිස්සු ඉගෙනගෙන රස්සා කරල ජීවිතේ ගොඩදාගන්නව රටටත් සේවයක් කරණව ඉතිං ඇයි ඒ මිනිස්සු ඉගෙනගත්තම තියෙන වැරැද්ද කියන කාරණය. ඒ එක්කම ති‍්‍රමාලගෙ අරගල වගේ දේවල් නොතිබෙන්න පුද්ගලික අධ්‍යාපන අවස්ථා පුළුල් වෙලා තවත් ගොඩක් දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාගන්න තිබුණ වගේම ඒ හරහා රටට අවශ්‍යය වෘත්තිකයන් ගොඩක් බිහිකරගන්න තිබුණ කියන අදහස. නිකන් කියවන් යද්දි හිතෙනව ඇත්තනෙ කියල. මෙතනදි මං අධ්‍යාපන අර්බුදය කියන චිත‍්‍රයෙ තවත් කොටසක් දිහාට අවධානය අරන් යනව. පහුගිය කාලය ඇතුළෙ අපිට අහන්න ලැබෙනව ඉස්කෝලෙ යන්න සපත්තු නැතුව එල්ලිලා මැරුණ ළමයෙක් ගැන, ඉස්කෝලෙ තීන්ත ගාන්න පොල් හොරකම් කරන්න වෙච්ච ළමයෙක් ගැන, ගෙදට්ට හොරෙන් ඉස්කෝලෙ ඇරිල ඇවිත් අහළ පහල පිරිමි එක්ක ලිංගික ශ‍්‍රමික වෘත්තියෙ යෙදිල සල්ලි හොයාගත්ත ළමයෙක් ගැන, අළුත් පාසල් වාරයට පොත් අරන් දෙන්න සල්ලි නැතුව නිල්වලා ගගට පැන්න අම්ම කෙනෙක් ගැන මේ විදිහට දවස ගාණෙ මේ වගේ සිදුවීම් ගැන අපිට අහන්න ලැබෙනව. ආණ්ඩුව කියන විදිහට ගත්තත් පහුගිය කාල සීමාව තුළ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමයින් පනස් දහසකට වැඩියෙන් පාසල් හැර ගිහින් තියෙනව. මහත්වරුනි මේ උසස් අධ්‍යාපනය නෙමෙයි නාමිකව හෝ නිදහස් අධ්‍යාපනය තියෙන රටක මූලික අධ්‍යාපනයට අදාල ඛේදවාචකයයි. දැන් උසස් අධය්‍යාපනයේ පටන් මේ විදිහට පිළිකාවක් වගේ පැතිරිලා තියෙන අධ්‍යාපනයේ අර්බුදයට පිළියම මොකක්ද? මෙතනදි ජනපි‍්‍රය තර්කය පුද්ගලික අධ්‍යාපනය යන්නයි. නමුත් අධ්‍යාපනයේ අර්බුදයේ වැඩිම පීඩාවට පත්වෙච්ච නැතිනම් මේ අර්බුදයෙන් අධ්‍යාපන අයිතිය දරුණු ලෙසම උල්ලංඝනය වුණ සමාජ කණ්ඩායම් වෙත හැරුනොත් ඒ කිසිවෙක්ට පුද්ගලික අධ්‍යාපනය විසදුම්ක් නෙමෙයි. එහෙනම් රනිල්ල පාගමන් ගිය විදිහට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම වගේ කි‍්‍රයාමාර්ග හරහා මූලික අධ්‍යාපනයේ සිට අධ්‍යාපන අවස්ථා පුලූල් කොට අධ්‍යාපනය ලැබීම අයිතියක් ලෙසින් තහවුරු කිරීමේ අවශ්‍යයතාවය පවතිනව. මෙතනදි මගේ මූලික තර්කය වෙන්නෙ සමස්ථයක් ලෙසින් ගත්තම අපි මුහුණ දෙන අධ්‍යාපන අවස්ථා අහිමිවීමේ ගැටළුවට අධ්‍යාපනය වෙළදපල ප‍්‍රවණතාවයන්ට නිරාවරණය කිරීමෙන් උත්තර ලැබෙන් නැහැ කියන කාරණයයි.
ඒ එක්කම නැගෙන තර්කය අධ්‍යාපන අවස්ථා අහිමිවීමට සමස්ථයක් ලෙස පුද්ගලික අධ්‍යාපනයෙන් විසදුමක් ලැබුන් නැතිවුණාට යම් පිරිසකට හරි ඒකෙන් ඉඩක් ලැබෙනව, ඇයි ඒකට විරුද්ධ වෙන්නෙ කියන කාරණය. ඒ තර්කයටම එකතුවෙනව පුද්ගලික අධ්‍යාපනය තිබුණට රාජ්‍යය අධ්‍යාපනයට හානියක් වෙන්නෑ කියන මතය. මෙතනදි කියන්න වෙන්නෙ ධම්මික පෙරේරල බබාලා නෙමෙයි කියලයි. මොකද යමක් වෙළද පලට විවෘත කළාට පස්සෙ ඒක එක තැන පල්වෙන්න දෙන්න විදිහක් නෑ ඒකට පැතිරෙන්න වෙනව ඒකෙ අනිවාර්ය තත්වයක් වෙන්නෙ රාජ්‍ය ව්‍යවසායන් යටතෙ නැත්තන් ලාභ අරමුණු කරනොගත් ආයතන යටතේ තියෙන අවකාශයන් අත්පත්කර ගන්න වෙනව. පුද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෙළද පල දිහා බැලූවොත් මේක පැහැදිලි වෙනව. මුලින් සල්ලි තියෙන යම් පිරිසකගෙ තෝරා ගැනීමක් වෙච්ච ඒක අද වෙද්දි සල්ලි තිබුණත් නැතත් ගෙවල් දොරවල් උගස් කරල හරි විවිධ පරීක්ෂණ ආදියට පුද්ගලික ආයතන වෙත යන්න වෙන එක අනිවාර්ය කාරණයක් වෙලා. ඒකෙ සමාජ යථාර්තය මොන තරම් අමිහිරිද කියන එක බස් එකක කෝච්චියක ගියහම වෛද්‍ය සහතික උස්සගෙන බෙහෙත් ගන්න සල්ලි හිගාකන මිනිස්සු ගාණෙන් පැහැදිලි වෙනව. ඒ හින්ද වෙළදපල අහිංසක පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් කරන් ඉන්න එකක් නෙමෙයි. පුද්ගලික පාසල් ප‍්‍රවණතාවය හින්ද රජයේ පාසල් ස්වාභාවික මරණයන් කරා ගමන් කරමිකන් තිබෙන ආකාරය, ටියුෂන් වැනි වෙළදපල ස්වාභාවයන් හින්ද උසස් අධ්‍යාපන අවස්ථාවන් වැනි කුසලතාව මත තීරණය වන කාරණන්ගේ සමාන ප‍්‍රවේශය අහිමිවී ඇති අකාරය වගේ අධ්‍යාපනයට අදාල උදාහරණයන්ගන්ද මේ කාරණයට අදාල ඉගි දැනටමත් පළවෙමින් තියෙනව. රාජ්‍ය අධ්‍යාපනයෙන් අවම ආවරණයක් වෙන සමහර ක්ෂේත‍්‍ර ඇතුළෙ තවම ඊට අදාල වෙළදපල සම්පූර්ණයෙන් ග‍්‍රහණය කරගන්න ව්‍යාප්ත වෙන්න බැරිවෙලා තියෙන තත්වයන් ඇතුළෙ අපිට අධ්‍යාපනය වෙළද පලට විවෘත කරණ එක අවුලක් නෑ වගේ හිතුනට එතන ඉදිරියෙදි ඛේදවාචකයක් වෙන්න නියමිත අවුලක් තියෙනව.
ගෑණු ළමයෙක් ඉන්නව, එයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි. හැබැයි මුහුණ විරූපියි. දැන් මං එයාගෙ ලස්සන ඇස් දෙකට ආසවෙලා එයාව කසාද බදිනවනම් ලස්සන ඇස්දෙක එක්ක විතරක් විවාහ වෙන්න බැහැනෙ විරූපී මුහුණත් ඒ එක්කම එනව. ඒ වගේ තමයි, අධ්‍යාපන අවස්ථා සීමිතවීම නිසා පීඩාවට පත්වෙන සමහර කෙනෙක්ට පෞද්ගලික අධ්‍යාපනය නිසා අස්වැසිල්ලක් නැත්නම් ජීවිතේ ගොඩදාගන්න පාරක් හැදෙනව වෙන්න පුලූවන්. ඒත් ඒක මත පදනම් වෙලා ඒ වෙළදපල කි‍්‍රයාවලියම සුජාතකරණය කරන්න බැහැ. ඒකෙන් කියවෙන් නැහැ ඒ හරහා අධ්‍යාපන අවස්ථාවන් ලබාගන්න අයට අධ්‍යාපන අවස්ථා අහිමි වෙන්න  ඕනෙ කියල. කියන්න තියෙන්නෙ ඒ ප‍්‍රශ්නෙට උත්තරය  ඕක නෙමෙයි. හිට්ලර්ගෙ පාලන කාලෙ සිරිපාල කියල සුද්දෙක් ජර්මනියෙ හිටිය. රැුකියා අවස්ථා අහිමිකමින් සිරිපාල ගොඩක් පීඩා වින්ද. ඔය අතර හිට්ලර්ගෙ වධකාගාරයක මරණ යුදෙව්වන්ව වළදාන්න සිරිපාල ඇතුළු පිරිසකට රැුකියාව ලැබෙනව. දැන් සිරිපාලලට රස්සාවක් ලැබෙන එක අවුල්ද? නෑ ඒක නියමයි. ඒත් එහෙමයි කියල හිට්ලර්ට වධකාගාර හදන්න ඉඩදෙන්න  ඕනෙද? සිරිපාලලට රස්සා ලැබෙනව කියන කාරණට දිහා විතරක් බලල හිට්ලර්ගෙ පාලනය ගැන තීරණයක් ගන්න එක හරිද? සිරිපාලලට රස්සා ලැබිය යුතුයි ඒත් ඒ හිට්ලර්ගෙ වධකාගාර හරහා නෙමෙයි.
ඊළග කාරණය කෙටියෙන් කව්වොත් ලංකාවෙ සමාජය ඇතුළෙ වෙළදපලට විරුද්ධ මතවාදයක් තහවුරුවෙලා තියෙනව ඒ හින්ද සයිටම් අහෝසි කරනු කියන කාරණය සමාජගත කරන්න ලේසියි. ති‍්‍රමා හරහා වන ඇගවුම්කාරකය සමාජය තුළ අධිපතිමතය කියන කාරණය. ඒ අදහසට යම් මට්ටමකින් එකගවෙන්න පුලූවන් ලක්ෂණ පැවතුනත් වෙළදපලවාදය සමාජය ඇතුළෙ කිදා බැහැල තියෙන්නෙ. ඒක එහෙම නොවෙන්න සයිටම් වගේ සටනක් උස්සගන්න අන්තරයට මෙච්චර කාලයක් මෙච්චර කට්ටක් කන්න  ඕනෙ වෙන්න නැහැ. පාරවල් ගාණෙ ගුටිකකා ගමින් ගමට මිනිස්සු දැනුවත් කර කර ඉන්න  ඕනෙ වෙන්නෙ නැහැ. අද ඇතිවෙලා තියෙන මේ සංවාද හෝ කතිකාවන් මීට අවුරුදු දෙක තුනකට කළින් මේ විදිහට තිබුණෙ නැහැ. සයිටම් හරහා මතුවෙන සංවාදය වෙළදපල ක‍්‍රමය වෙනුවෙන් පෙනී ඉන්න අයට උනත් ලේසියෙන් මගහැරයා හැකි අනිවාර්ය නොවන කාරණයක්ව පැවතුනේ. නමුත් පසුගිය කාලය පුරාම අතහරින් නැතුව සමාජය වෙත කරපු අඛණ්ඩ බලපෑම ඇතුළෙයි මේ වගේ කතාබහක් පවා ඇතිවෙන්න බලපාන තත්වයන් ගොඩනැගෙන්නෙ.
ඇත්තටම ආගම්වාදී ඇදහීමක් මේ මොහොතේ පවතින්නේ වෙළදපල ක‍්‍රමය සම්බන්ධවයි. අද පවතින් වෙළද සමාජයෙන් එහාට වූ සමාජ පැවැත්මක් නැහැ කියන වෙළදපල සම්බන්ධ අනුරාගී බැතිමත්භාවයකින් වැඩකරණ මිනිසුන්වයි අපි දකින්නෙ. අධ්‍යාපනය අයිතියක් ඒක වෙළදපලට විවෘත කරන්න බැහැ කියල කියද්දි කොහොමද එහෙම කියන්නෙ වගේ අදහසක් එක පාරට නැගෙන්නෙ ඒකයි. මේ සියල්ල කරන්නෙ දෙවියන් වහන්සේ එතනින් එහාට දෙයක් නැහැ වගේ ප‍්‍රශ්න කිරීමකින් තොරවයි මේ ක‍්‍රමය පිළිගන්නෙ වගේම ඊට වඩා වෙනස් ක‍්‍රමයක් ගැන අදහස් ප‍්‍රතික්ෂේප කරන්නෙත්. මේක හොදට කිරල මැන ගන්න පුලූවන් තැනක් තමයි අපි පොඩි ළමයින්ට ලොකු උනහම කවුරු වගේද වෙන්න කියන්නෙ කියන කාරණයෙන්. ඉස්සරම ගමේ ඉස්කෝලෙ මහත්තය, වෙද මහත්තය වගේ චරිත පරමාදර්ශවුණා. එවගෙ සමාජ පිළිගැනීම වගේ කාරණයන් එක්ක ඒ අදාළ පුද්ගලයින්ට ආරෝපණය කරපු යම් යම් මානවීය ගුණයන් තිබුණ. ළමයින්ට බල කෙරුනෙ ඒ වගේ කෙනෙක් වෙන්න. ඒත් අද දොස්තර කෙනෙක් වෙන්න නැත්තන් ඉංජනේරුවෙක් වෙන්න හරි වෙන මොකෙක් හරි වෙන්න හරි කෙරෙන බල කිරීම පිටිපස්සෙ තියෙන්නෙ අදාල වෘත්තිකයන්ට අදාල මානවීය ගුණයන් හරි වෙන මොකක් හරි නෙමෙයි ඒ අය සමාජයෙ අනිත් අයට සාපේක්ෂව වෙළද භාණ්ඩ වැඩියෙන් පරිභෝජනය කරණව. ඉතිං අරය වගේ වෙන්න මෙයා වගේ වෙන්න, එයානම් හරිම සාර්ථක මනුස්සයෙක් මේ වගේ කතා හැම එකක් පිටිපස්සෙම තියෙන්නෙ වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කරණ මිනිහෙක් වෙන්න කියන කාරණය. ඒ අනුව ජීවිතේ සතුට අරමුණ මේ හැමදේම වෙන්නෙ පුළුවන් තරම් වෙළද භාණ්ඩ පරිභෝජනය කරණ එක. පුළුවන් තරම් නැහිල ඉගෙනගන්නව කියල වෘත්තීය සුදුසුකම් හදාගෙන රැුයක් දවාලක් නැතුව නැහිල හම්බකරල පුලූවන් තරම් භාණ්ඩ ගොඩගහගන්න කියන වෙළද පලට අවශ්‍යය මනුෂ්‍යයව හදන කි‍්‍රයාවලියෙන් බැහැරට ඒ ජීවිත වල මොනවද තියෙන්නෙ? නව යොවුන් ගෑණු ළමයෙක්ගෙ තමන්ගෙ අනාගත ස්වාමිපුරුෂයා ගැන තියෙන චිත‍්‍රය ගත්තොත් ඒක සමාන වෙන්නෙ ධම්මික පෙරේරගෙ ස්වරූපයකට මිසක් ගෙවුණු බාට දාන වේලිච්ච තීන්ත පැල්ලම් වලින් අවපැහැවුණු අත් තියෙන ති‍්‍රමාට නෙමෙයි.
වෙළදපල ක‍්‍රමයේ බැතිමතුන්ට කියන්න තියෙන්නෙ ඒ මවන ස්වර්ගය වෙළදපල ක‍්‍රමයේ ශුද්ධවූ භූමීන් තුළ පවා පහුගිය දශකයක පමණ කාලය තුළ ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න අරන් තියෙන්නෙ. අසූව දශකය අග භාගයේ ඔබ විසින් අතුගා දමන ලද වාමාංෂික මිථ්‍යාදෘෂ්ඨික අවතාර වෙනස්වූ ආකෘතීන් හා ස්වරූප සොයමින් මතුවෙන්න අරන් තියෙනව. ඒ නිසා ඉතිහාසයේ ඒ තනි අශ්වයාගේ තරගය එය විසින්ම නිමාකරගනිම්න් ඇත. අන්තිමට ව්‍යතිරේඛ සාමාන්‍යකරණය කිරීම හරහා ඔප්පුවෙන මොකුත් නැහැ. ධම්මික පෙරේරා කියල සාමාන්‍ය මනුෂ්‍යයෙක් මේ වෙළදපල ඇතුළෙ ගේම ගහල සාර්ථකවෙද්දි ඒ එක මනුස්සය පිටිපස්සෙ ඒ ගේම ගහල කෙළ වෙලා වකුගඩුවත් විකුණන්න වුන සෝමදාසල, තමන්ගෙ අකමැත්තෙන් රැුයක් දවාලක් නැතුව තැන තැන එක එක මිනිස්සු එක්ක බුදියන්න වෙච්ච සෝමලතාල සිය දහසක් ඉන්නව කියන යථාර්තය අපිට මගහරින්න බැහැ. ධම්මික පෙරේරලගෙ පැවැත්ම රදාපවතින්නෙ මේ ගේම ෆේල් වෙන සෝමදාසල, සොමලතාල මත. එහෙම නැත්නම් ඒ මවන රූපය අනුව මහන්සිවෙලා පිස්සු කෙළින් නැතුව ගේම ගැහුවොත් මේ රටේ මිලියන 20ටම ධම්මික පෙරේරල වෙන්න පුලූවන් වෙද්දි රටේ ගැරඩින්ට පිහාටු එනවලූ. ඒ කාලෙට අහසෙ ලවක් දෙවක් නැතුව ගැරඩි පියාඹනවලූ. ඇත්තමයි... සත්තයි... නෙවිල් ප‍්‍රනාන්දු පල්ලා...

(රිවිහාර පින්නදුව)

Monday, February 27, 2017

අපි ගෙවල් ගාව හන්දියෙ ගස් ඔට්ටු සෙල්ලන් කළා ෆිදෙල


අපි ගෙවල් ගාව හන්දියෙ

ගස් ඔට්ටු සෙල්ලන් කළා ෆිදෙල


ඉස්සර පත්තර පිටු කප කපා
බිත්තිවල ඇලෙව්වා මතකයි
චේ එක්ක ඔයත් ඉන්නවා දැක්කයි
සියරා මස්ට‍්‍රාවත් ගොළුවෙලා ඇතිනේද
ග‍්‍රැන්මාවෙ මතකයන්
සිහිකරල ඉකිබිදිනවා ඇති සුලග
ඉතිං ෆිදෙල් උඹ යන්න ගිහින්
ගොඩක් ඈත රටක
පුංචි කොල්ලෙක්
මොන තරම් ආදරෙන් කියෙව්වද
උඹල ගැන පොත් පත්තර කෑලි
උඹ දන්නෙ නැතුව ඇති
උඹලගෙ රූප ගහගත්තු පක්ෂෙකට
උඹල හින්දම ඡුන්දෙ දෙන්නට
18 පනිනකන් ඌ බලන් උන්නු හැටි
ඒ වීරයොත් උඹල වගේ
මෙහෙ විප්ලවේ කරන හැටි
ඌත් ඒකට බොක්කෙන්ම සෙට් වෙන හැටි
හවානාව වගේ කොළඹ වටකරණ හැටි
අනේ ඇත්තට ඌ හීන දැක්ක හැටි
කතරගම යන්න හිතන්
අපි ගෙවල් ගාව හන්දියෙ
ගස් ඔට්ටු සෙල්ලන් කළා ෆිදෙල්
ඒව මොනවා උනත්
තාමත් ආදරෙයි උඹලට
වෙර සිදෙන දවසක
අත හරින්නම හිතෙන මොහොතක
දිරි දෙනව මතකයන් අතීතෙක
ඉතිහාසයට ඉතිරිකර උඹලා ගිහින්
උඹලගෙන් පන්නර අරන්
අපිට යන්න වෙනව
උඹලව පහුකරන් ෆිදෙල්
නැත්තන් අර උඹලගෙ රූප තිබ්බ
පරණ පත්තර වගේ අපේ හීනත්
කාවො කාවි බලන් ඉද්දිම
ඒත් ඒව පැත්තක තියල
උඹල ගිය පාර හරහට
ඉටිකොළ එළන්
චේ එක්ක උඹවත්
විකුණනව ෆිදෙල්
ඉරි ගසා එක යුගයක නිමාව
උඹ සමුඅරන් ජීවන ගං තොටින්
ඒත් ඒ පැතුමන් දරාගෙන
තාමත් ඒ පොඩි එකා
පුලූවන් විදිහට ලූහුබදිනව
රතු මල් පිපෙන වසන්තය හොයාගෙන
ඉතිං සුභ ගමන් ෆිදෙල්
රිවිහාර පින්නදුව