Saturday, May 28, 2016

ආදරණීය ලන්සුව

ආදරණීය ලන්සුව


කාලෙකින් වහින වැස්සට ඉස්සරනම් මං කොච්චර ආසද? පොළවට වැහි බිංදු පළවෙනි පාරට වැටෙද්දි එන සුවද මේ ලෝකෙ ඔය සුවදයි කියන කිසිම මලකින් මට දැනෙන් නෑ. ඒ සුවද නහයෙන් පෙනහැල්ල හරහා මගෙ ලේ වලට මුහුවෙලා මගෙ ඇග පුරාම යනව මට දැනෙනව. ජනේලයක් ගාවට හරි දොර ගාවට හරි වෙලා ඒ සුවද විද විද වැස්ස දිහා බලන් ඉන්නෙ මං මොන තරම් ආසාවෙන්ද? ඔය වගේ වෙලාවට අම්ම කහට එකක් හදල ගෙනත් දෙනව ඒකෙන් දැනෙන සනීපෙ කේජී පාරකින්වත් හම්බවෙන්නෙ නැහැ. ඒකට මෙහෙට වැස්ස වැටෙනව කියනවත් එක්කම දැනෙන්නෙ හරිම අපි‍්‍රය හැගීමක්. පොඞ්ඩක් පොළව තෙමෙද්දිම කුණු කාණු උතුරල පාරෙ වාහන හිරවෙලා මහා කාලගෝට්ටියක් වෙනව. එහෙමයි කියල මෙහෙ වගේ නෙමෙයි ගම හරි ෂොක් කියල කියන්න මං ලෑස්ති නෑ. මටනම් ඔය දෙකම කාලකණ්නි නවාතැන්. ජනෙල් වීදුරුවට වැටුණු වැහි බිංදු සති ගාණක් එකතුවෙලා තිබුණු ¥විලි තට්ටු හෝදගෙන පහළට වැටෙනව. ඉර නෙළුම් කුළුණට මුවා වෙලා මාත් එක්ක හැංගිමුත්තන් කරණව. ඒකට කමක් නෑ උඹ විතරක් නෙමෙයි මාත් එක්ක ඔය සෙල්ලම කරන්නෙ. නෙළුම් කුළුණ තමයි දැන් මගෙ ජීවිතේ ළගින්්ම ඉන්න කෙනා. ජීවිත කාලෙම ළගින් ඉන්නව කියල ගාමන්ට් එකේ ගේට්ටුව ගාව මග බලපු බයිසිකල් අනංගයො දෙතුන් දෙනාම ළගින් හිටියෙ හතර පස් පාරක් උන්ගෙ පුරුෂ ධාතු මගෙ ඇගේ තැන්පත් කරණකන් විතරයි. ඒකට නෙළුම් කුළුණ, මං කොහේ ගියත් එයා මං දිහා බලාගෙනමයි ඉන්නෙ. ? දෙගොඩ හරියෙ බෝඩිමේ ජනේල ගාවට ආවත් එයා ඉන්නව මං කියන දේ අහන්න බලාගෙන. මට මොනතරම් දේවල් කියන්න තියෙනවද එයාට හැමදාම. මං බලන් ඉන්නෙ දවසක් එනකන් ඔය නෙළුම් කුළුණ මේ ටවුමම පොඩිකරන් බිමට කඩාවැටෙනකන්. එදාට මටත් ඒකට යට වෙන්න තියෙනවනම් මොන තරම් වාසනාවක්ද? ඇත්තටම මිනිහෙකුට මැරෙන්න තියෙන ක‍්‍රම වලින් මොන තරම් දුර්ලභ ක‍්‍රමයක්ද නෙළුම් කුළුණකට යටවෙලා මැරෙන එක. එහෙම උනානම් නෙළුම් කුළුණෙයි මගෙයි පේ‍්‍රමය සදාකාලික වේවි. අනාගත පේ‍්‍රමවන්තයො හරිම ආස්වාදයෙන් අපේ ආදර කථාව ගැන කතා කරාවි. සමහර විට හිතේවි මට පිස්සු කියල, ඒත් ඇත්තටම මාව මේ තරම් කලක් ජීවත් කෙරෙව්වෙ ඒ පිස්සුවම තමයි. මගේ ජීවිතේ අරමුණ බලාපොරොත්තුන පරමත්වය මේ හැමදේම ඒ පිස්සුවයි.
බාත් රූම් එකේ සද්දෙ අඩුවුණා. මං හිතන්නෙ තව ටික වෙලාවයි තියෙන්නෙ මට. බල්ලෙක් බලූ කූඩුවෙන් එළියට පැනගන්න මොන තරම් ආසාවකින්ද ඉන්නෙ. ඒ වගේ මමත් ගමෙන් එළියට පැන ගන්න කොච්චර පෙරුම් පිරුවද? මං ස්වර්ගය හොයාගෙන පියාඹන කිරිල්ලියක් වෙලා හිටියෙ. ගාමන්ට් එකේ රස්සාව ලොතරැුයියක් කියල හිතුවට ඒක නිකන් මට සෙක්කුවක් වගේ ගලවගන්න බැරුව එකම තැන කැරකෙන්නවුණු හරකෙක් වගේ මම. චූ දාන්න යන්නත් අවසර ගන්නවුණු පහළොස් දාහෙ වහල් සේවෙ, බෝඩිමට කෑමට ගියාට පස්සෙ නංගිට යවන්න කියල ආයෙ අමුතුවෙන් මොකුත් ඉතුරුවෙන් නෑ. හැබැයි අපි මහන ඇදුම් එහෙදි විකුණන ගණන් ඇහෙද්දි ඇත්තටම අපි මාසෙන් දෙකෙන් අවුරුද්දක්  හොදට කාල බීල ඉන්න තරම් සල්ලි හොයල තියෙන්න  ඕනෙ. එ්කි හොදට ඉගෙන ගෙන ඉක්මනට ගමෙන් ආවොත් හොදයි මොකද එහෙම නැතොත් ගමේ හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු එකතුවෙලා ඒකිවත් ? දානෙට වළදාවි. මට හොදට මතකයි පන්සලේ අසූහාර දාහෙ පහන් පූජාව දවසෙ පොඩි කෙල්ලෙක්ගෙ විලාපයක් සාධුකාර අස්සෙ කාටවත් ඇහෙන් නැතුව දියවෙලා ගිය හැටි. අම්ම හෙණ ඉල්ලූව විදිහට  ඕව වදිනවනම් අපේ ගෙදරටත් අකුණු සන්නායක හයිකරන්න  ඕනෙ වෙනව කියල ඇත්තටම අම්ම නොදන්නවමද කියලත් මට සැකයි.
මල්ලිකා අක්කා එයාගෙ අළුත් ෆෝන් එකෙන් හැමදාම සෙල්ෆි ගන්නව, අළුත් ඇදුම් හෑන්ඞ් බෑග් සෙරෙප්පු හැමදාම පට්ට ගහන සායවල් දෙක තුනක් තියෙන අපිට ඒක හරිම පුදුමයක්. එයා කරණ පාට් ටයිම් ජොබ් එකට මාත් සෙට් වෙන්න හිතුවෙ ඒකයි. මතකයි පළවෙනි දවසෙ අතේ ගුළි කරපු දාහෙ කොළ දෙක තුනත් තද කරන් රෑ එළි වෙනකන් කොට්ටෙ බදාගෙන හොරාට ඇඩුව. ඊළග දවසෙ අඩලම උණ ගත්ත. නිවාඩු නැති හින්ද උණට වෙවුල වෙවුලම මැෂිම පෑගුව. අම්ම අසනීප වෙනවත් එක්කම ප‍්‍රශ්න වැඩි උනා පාට් ටයිම් ෆුල් යටිම් උනා. අන්තිමට මගෙ ආත්මය හිරිවැටිල වගේ මං ඔහේ ජීවත් වෙන්න ගත්ත. මං විතරක් නෙමෙයි මට හිතෙන්නෙ අනිත් හැමෝම නිර්වින්දනය වෙලා ජීවත්වෙන්නෙ. ඇත්තටම ජීවත් වෙනව කිව්වට ඒක ජීවත් වෙනවමත් නෙමෙයි මරණය හම්බෙනකන් මොනව හරි කරන්න  ඕනෙ හින්ද කාලය ගෙවල දාන එක වගේ දෙයක්. මං දැන් මිනිස්සු කීයක් එක්ක බුදියල තියෙනවද කියල මට මතකත් නෑ. අපේ අම්මට එහෙමනම් ඒ තරම් මිනිස්සු එක්ක බුදියගන්න සංසාරේ තව ගොඩක් දුර යන්නවේවි. ඒ මිනිස්සු මට කඩාපනින්නෙ හරියට වෘකයො මුවෙක්ට කඩා පනිනන වගේ. ඒත් එයාල දන් නෑ මං වගේම එයාල හැමෝමත් අපිට හරියට නොතේරෙන වෘකයෙක්ගෙ ගොදුරු කියල. ඒ වෘකය කොහෙට හරි වෙලා අපි දිහා බලාගෙන හිනාවෙනව ඇති. සමහර දවසට රෑට ඒ වෘකය උඩු බුරනව මට ඇහෙනව. ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල බැලූවහමයි තේරෙන්නෙ ඒක හැම පැත්තෙන්ම එනව කියල. හැම තැනින්ම මං ඇතුළෙත් ඌ උඩුබුරනව.
”පෑන්ටිය ඉරන්න එපා මිනිහෝ ටිකක් ඉන්න ගලවනකන්” එහා කාමරේ නංගිි කෑ ගහනව. ඒක ගලවල තියන්නත් බෑනෙ උන්ටම ඒක ගලවන්නත්  ඕනෙලූනෙ. ඉන්ටනෙට් එකෙන් එක එක ඒව බලල ඒව බලල නැති ගෑණිට කටක් ඇරල මෙහෙම කරමු කියන්න බැරි හින්ද අපිත් එක්ක ඒවගෙ තියෙන හැම මගුලම කරන්න එනව. පෑන්ටිය කියද්දිමයි මතක්වුණේ ඔය කැම්පස්වල කෙල්ලන්ගෙ ඩෙනිම් ගලවන එකට විරුද්ධව කෑගහන කී දෙනෙක් මගෙ පෑන්ටිය ගලවල ඇත්ද? දැන් එතකොට ඩෙනිම ගලවන එක නරකයි ඩෙනිමට යටින් අදින පෑන්ටිය ගලවන එක හොදයිද දන් නෑ. හැබැයි මංනම් මේ වෙනකන් එකෙක්ටවත් මගෙ පෑන්ටිය ඉරන්න දීල නෑ, කොහොම හරි පරිස්සන් කරගත්ත. අමරසිරි පීරිස්ගෙ ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ සිංදුවට පණ්ඩිත සාහිත්‍ය විචාර දෙන කීප දෙනෙකුගෙම දත් පාරවල් මගෙ ළැමේ තියෙනව. කළුවර පහළ පාරට ඇවිත් අහසෙ තරු එක දෙක පායන්න පටන් අරන්. නෙළුම් කුළුණෙ මුදුනෙ ලයිට් දාල නෙළුම් කුළුණත් තරු තරමටම උසයි කියලයි මට හිතෙන්නෙ. මේ වෙලාවටයි මතක් වෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ යාළුවෙලා උන්නු උඩ පන්තියෙ කොල්ල හොරාට දෙන ලව් ලෙටර්ස්. මායි යාළුවො දෙතුන් දෙනෙකුයි එකට ඒව කියවනව වගේම උත්තරේ ලියන්නෙත් එකට. හැමෝම එහෙන් මෙහෙන් අහුල ගන්න වචන කෑලි දාල හැමෝම ආස සිංදු කෑලි දාල ඒව නිකන් ආදරේ බඩගිහින් වගේ උනාට හරිම ලස්සනක් තිබුණෙ. අපේ සෙට් එකම බලන් උන්නෙ ඒ කොල්ල මට ලියුමක් දෙනකන්. දැන්නම් මට උගෙ මූණක්වත් මතක නෑ. දැන් ඇදට නොගියොත් මුට මළ පනිනව දෙතුන් පාරක්ම කකුලෙනුත් ඇද්ද.
මිනිස්සු රෑට නිදාගත්තට මේ ටවුමෙ සමහර දේවල් ඇහැරෙන්නෙ රෑට. අද රෑට වැඩ දෙකයි. එක වැඩක් ඉවර වෙලා හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නෑ වෑන් එක පහළ නතර කරල හෝන් ගහනව. ලොජ් එකෙන් බැහැල පාරට එද්දිම පෝස්ටර් මිටියක් උස්සන් කොල්ලො දෙන්නෙක් බයිසිකලේකින් ඇවිත් පාර එහා පැත්තෙ පෝස්ටර් අලවනව. මට උන් දෙන්නව මීට කළිනුත් දෙතුන් පාරක් හම්බෙලා තියෙනව මේ විදිහටම. හෙල්මට් දාල මූණවල් අදුනගන්න බැරි උනාට උන්ගෙ ඇස් ගිණි අරන් තිබුන් නෑ. මොනව උනත් උන් හැමදාම පෝස්ටර් අලවන්නෙ පාරෙ එහා පැත්තෙ ඉතිං අපිට පේන්නෙ නැහැ. උන් දන්නෑ අපිට පාර පැනල ඇවිත් උන්ගෙ පෝස්ටර් කියවන්න තරම් අමාරුවක් නෑ කියල. සමහර වෙලාවට විප්ලවේට සෙට් වෙන්න කෙල්ලන්ට කන්‍යාභාවය තියෙන්න  ඕනෙද දන්නෑනෙ. ඉතුරුව කුණු කානු වතුරට උඩින් පැන පැන මං වෑන් එකට නැගගත්ත.රෑ මැද්දෙ නෙළුම් කුළුණ මෙතනදිත් මං දිහාම බලන් ඉන්නව. වෙලාවකට නෙළුම් කුළුණට මං ළගට එන්න බැරුව ලොකු අසරණකමකින් ඉන්නව වගේ දැනෙනව. එක දවසක් මං ගියා නෙළුම් කුළුණ ගාවටම ඒත් එතන හිටපු කාලකණ්ණි සිකියුරිටිකාරයෙක් මට ළගට යන්න දුන් නෑ. ජාති දෙකක ආදරයක් දරා ගන්න බැරි ලෝකයක් කොහොමද ඇත්තටම මනුස්සයෙකුයි නෙළුම් කුළුණකුයි අතර තියෙන ආදරයක් දරාගන්නෙ. උන්ට තේරෙන්නෙවත් නැතුව ඇති එහෙම ආදරයක් තියෙන්න පුළුවන් කියල. අපේ බෝඩිමේ පහළ කාමරේක නපුංසකයො සෙට් එකක් නැවතිලා ඉන්නව. ඔය එකෙක් ළග ගෙදරක කොල්ලෙක්ට ලව් කළා. දැකලයින් දැකල නෑ එහෙම ආදරයක් ඌට ඒ කොල්ලගෙන් පිට ජීවිතයක් තිබුණෙම නෑ. ඉස්සර සල්ලි අඩුවක් දැනෙද්දි ඔය මොකෙක් හරි අසහනකාරයෙක් එක්ක ගිහින් කීයක් හරි හොයාගන්න එකත් ඒ ආදරේ ගැන තිබ්බ ගෞරවේට ඒක නතර කළා. අපිට කියල එක එක කෑම ජාති හද හදඅ ර මනුස්සයට යැව්ව. කොහොම හරි උන්ගෙ කාමරේ එකෙක් හංදියෙ කොල්ලො සෙට් එකත් එක්ක හුරතල් වෙන වෙලාවක මේ කතාව කියල ඒක මුළු වත්තෙම පැතිරිලා හැමෝම අර කොල්ලව බයිට් එකට ගන්න අරන්. ඌට මළපැනල අපේ එකාව හොයන් ඇවිත් බෝඩිම ඉස්සරහදිම අමු කුණුහරුපෙන් බැන බැන තඩිබෑව හොදට අපි මැද්දට පැනල නතර නොකරන්න මූ එතනම ඉවරයි. ඒකට අඩ අඩ ඒක දවස් ගාණක් බෝඩිමටම වෙලා උන්නා. එක දවසක් පොලිසිය බෝඩිමට ඇවිත් ඒක කෝච්චියට පැනල කියල කිව්ව. වළදාන්න දෙයක්වත් ඉතුරුවෙලා නෑ. මූ නපුංසකයෙක් හින්ද ගෙදරින් එළවල සෑහෙන කාලයක් අපි ඉතිං ඉස්පිරිතාලෙටම වළදාන්න කිව්ව. මට තේරෙන් නෑ මෙතනදි වැරදි අර කොල්ලද මේ කතාව වත්තෙ කොල්ලන්ට කිව්ව නපුංකයද අර කොල්ලව බයිට් කරපු කොල්ලො ටිකද නැත්තන් තමන්ගෙ වගේම අහවල් එකක් තිබුණ එකෙක්ට ලව් කරපු ඒ අහිංසකයද කියල. උගෙ ආදරේ මොකෙක්ටවත් තේරුන් නෑ. එහෙව් එකේ අපි දෙන්නගෙ ආදරේ කාට තේරෙයිද? 
පාන්දර හතරයි බෝඩිමේ ඇදට වැටෙද්දි, දන් ඉතිං නිදාගන්නනම් පුළුවන් දවල් එකොළහ දොළහ වෙනකන් උනත්. එච්චරයි ඉතිං හොදකට තියෙන්නෙ. නිදාගන්න හිතක් නැති හින්ද සිගරට් එකකුත් පත්තුකරන් ජනේලෙ ගාවට ගියෙ නෙළුම් කුළුණත් එක්ක ටිකක් නිදහසේ ඉන්න. අද දවසටම අපිට කතා කරන්න හම්බවුණේ නැහැනෙ. පහළ වැලේ වනල බේරගන්න බැරි හින්ද උඩ ජනෙල් ගාව ඇදපු රෙදි වැලේ වනපු යට ඇදුම් වලින් වතුර බේරෙනව තවම. ඒව අස්සෙන් එයා දිහා බලද්දි මොකක්ද වගේ ටිකක් එහා මෙහා කරල ඉඩ හදාගත්ත. ආයෙත් වැස්ස පටන් ගත්ත අපේ ආදරේට ඉරිසියාවෙ වගේ. තව ටිකකින් එළිය වැටේවි තවත් තෙත බරිත දවසකට මිනිස්සු එළියට බහීවි, පුරුදු විදිහටම ඉර බහිනකන් එහෙ මෙහෙ දුවාවි. රෑ වෙද්දි ගෙවල් අස්සට රිංගල ටෙලි නාට්‍යයක් බලල නිදාගනීවි. නිකන් අපේ බෝඩිම ඉස්සරහ කඩපිළේ ඉන්න කටු බල්ල වගේ ඌත් නැගිට්ට වෙලාවෙ ඉදන් කඩපිළේ වැඩ ඉවරවෙනකන් ඔහේ හතර අතේ දුවනව කොහෙද දුවන්නෙ මොකටද දුවන්නෙ කියල ඌවත් දන් නෑ. දැන් ඇති, අපි දෙන්නට තනියම කතා කරන්න  ඕනෙ. අපි දිහා බලන් ඉන් නැතුව ඔයා ඔයාගෙ ගමන දුවන්න. ඉතිං රත්තරනෙ ඔයා දන්නවද වැඩක්..........





(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment