Friday, June 19, 2015

සමාජ ජාල අවකාශය, කවිය හා කලාව


සමාජ ජාල අවකාශය, කවිය හා කලාව 


අතීත පරම්පරාවල කවියො තමන් පත්තර වල කවි පිටු වලට කවි ලියල ඒව පළවෙනකන් බලන් හිටපු හැටි, එහෙම පල උනහම සතුටු උන හැටි කියනව අහල තියෙනව. ඒත් වර්තමාන පරම්පරාවට එද්දි අද දවසෙ තරුණ කවියො සම්පූර්ණයෙන්ම නැතත් බොහෝ දුරට පුවත් පතක තම කවිය පලකරගන්න ඉස්සර තරම් උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. හේතුව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, එදා නවක කවීන්ට තම නිර්මාණ සමාජයට ගෙනියන්න තිබ්බෙ මාධ්‍ය දෙකයි. එකක් පොතක් විදිහට මුද්‍රණය කරන එක, අනික පුවත් පතක, සඟරාවක පලකරන එක. ඒත් අද දවසෙ කවීන්ට හරි ඒ ධාරාවේ නිර්මාණකරුවන්ට තමන්ගෙ නිර්මාණ සමාජය සමඟ බෙදා ගන්න ක‍්‍රමවේදයන් විවර වෙලා තියෙනව. මූලිකවම ඒ සමාජජාල මාධ්‍ය හරහායි. වෙහෙස මහන්සි වෙලා ප‍්‍රකාශකයො හොයාගෙන පොත් ප‍්‍රකාශ කරන්නත් ඔවුන් අතර එතරම් උනන්දුවක් නෑ.  මොකද නිර්මාණ කරුවෙක් විදිහට ඔවුන් තම නිර්මාණ ඊට වඩා පහසුවට රසිකයින් අතරට ගෙනියනව මෙම සමාජජාල මාධ්‍ය හරයා. පත්තරයක කවියක් පල උනත් ඊට වඩා තෘප්තියක් එම පත්තර පිටුව තමන්ගේ සමාජජාල අවකාශන් තුළ පල කිරීමෙන් ඔවුන් ලබනව. මෙතනදි පුවත් පත් ලෙස සතුටු වෙන්නත් කාරණයක් නැතුවම නොවෙයි, ඔවුන් එම පුවත් පත් පිටු ෆේස් බුක් වැනි අවකාශයන් තුළ පලකිරීමෙන් සතුටුවෙන්නෙ මගෙ කවි පත්තරවලත් යනවා යන්න සමාජයට ප‍්‍රකාශ කිරීම හරහායි. ඒ අනුව පුවත් පත් කවි පිටුවලට තවමත් සමාජයේ වටිනාකමක් පවතිනව කියන කාරණයත් ඔප්පු වෙනව.
සමාජ ජාල මාධ්‍ය අවකාශය කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ සුවිශේෂීයි. මේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට අසීමිත නිදහසක් ලබාදෙනව. ව්‍යාකරණ සීමා, සංස්කෘතික සීමා, ඉඩකඩ සීමා මේ ආදී සියල්ල අභිබවමින් තමන්ට රිසි පරිදි තම හැගීම් වචන, රූප කරන්නට ඔවුන්ට ඉඩකඩ විවරවෙනව. තාක්ෂණයේ දියුණුවත්, එම තාක්ෂණය සුළභවීමත් එක්කම මේ සමාජ ජාල අවකාශය භාවිතා කරණ පිරිසත් පුළුල් වෙන්න ගත්ත. ඊට සාපේක්ෂ මේ අවකාශයෙ නිර්මාණකරුවන් ප‍්‍රමාණයත් වේගයෙන් ඉහළ ගියා. ඒ තුළ සයිබර් අවකාශයේ කවීන්ගේ සංගම් වැනි දේවල් ඇතිවුණා. සමාජ ජාල වෙබ් අඩවි හරහා හදුනාගත් ඔවුන් පසුව සුහද හමු වැනි දේ සංවිධානය කරමින් එකතුවුණා. කවි සංවාද වැඩසටහන්, කාව්‍ය සංග‍්‍රයන් එළිදැක්වීම් වැනි විවිධ කටයුතු මේ සාමූහිකයන් හරහා සිදුවුණා. සාමාන්‍ය කවි පොතක්, පත්තර කවි පිටුවක් වගේ නෙමෙයි මෙහිදී කවියට සෘජුවම තම රසිකයින්ගෙ ප‍්‍රතිචාර ලැබෙනව වගේම ඔවුන් සමග සංවාදගත වෙන්නත් අවකාශය උදාවෙනව. 
මෙහිදී කවියට අමතරව විවිධ නිර්මාණාත්මක අදහස් දැක්වීම්, සරළ කෙටි චික‍්‍රපට වැනි විවිධ කලාත්මක අත්හදා බැලීම් මෙම අවකාශය තුළ දැකගත හැකියි. ”ගප්පියා” වැනි ප‍්‍රධාන මාධ්‍ය වලින් බැහැරව මෙම සමාජ ජාල අවකාශය හරහාම තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගනිමින් ජනපි‍්‍රයවූ නිර්මාණකරුවන් අපට හමුවන්නේ මෙම අත්හදා බැලීම් තුළින්ය. මෙම නිර්මාණ කරුවන් අතර එම සමාජ ජාල අවකාශයටම අනන්‍යය විවිධ වදන්, රූප, කාටුන් චරිත ආදිය පවතින අතර නිර්මාණකරුවන් මේවාද තම නිර්මාණයන් සදහා දායක කරගනී. මීළග නිර්මාණය පලවෙනතුරු බලා සිටින රසික ප‍්‍රජාවන්ද ඇතැම් නිර්මාණකරුවන් වටා එක් වී සිටී. 
මෙම සමාජ ජාල අවකාශය දෙස බලන කල සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදයද මැනවින් පැහැදිලි වේ. බොහෝ දෙනෙකු (හැමෝම අඩු වැඩි වශයෙන්) කවි හා වෙනත් නිර්මාණ මෙහි පලකරන්නේ අන් කිසිවකට නොව තමන් කියාද කෙනෙකු සිටින බවට බාහිර සමාජයට අගවන්නටය. සරළව පොරක් වීමටය. මෙහිදී තම නිර්මාණ තුළ විප්ලවීයත්වය, රැුඩිකල්කම, රස්තියාදු උපසංස්කෘතික ලක්ෂණ, මත් ද්‍රව්‍ය භාවිතය පෙන්වීමට මෙම බොහෝ දෙනෙක් උත්සුක වෙයි. එය අසාර්ථක නැත. එම වෙනස් බවට බොහෝ දෙනෙකු නිතැතින්ම ආකර්ෂණය වෙයි. නමුත් මේ බොහෝ දෙනෙකු සංවාද තුළ අදහස් දක්වද්දී වගේම පෞද්ගලික ජීවිත වලට එබී බලන විට පැහැදිලිවන කාරණයනම් ඔවුන් බොහෝ විට අතිශය ගතානුගතික බවයි. තවද ඒ විකල්ප භාවිතයන් අප සමඟ එක්ව කි‍්‍රයාකාරීත්වයට නගන්නට අප යෝජනා කරණ විට ඒ බොහෝ දෙනෙක් විවිධ තර්ක, හේතු දක්වමින් අපව මගහරී. යථාර්තයනම් එම බොහෝ නිර්මාණකරුවන් පිටුපස එම නිර්මාණ හරහා ආකර්ෂණයක් ලබා ගැනීමෙන් ඔබ්බට අන් යමක් නොමැති බවයි.
කෙසේ නමුදු මෙම අවකාශයේ කලා කරුවන් විකල්ප අදහස් සමාජ ගත කිරීමේදී සාධනීය කාර්්‍යය භාරයක් ඉටුකරයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ආශ‍්‍රයෙන් ගොඩනැගෙන සංවාදයන්ද බැහැර කල නොහැක. එසේම දේශපාලනිකව මෙම අවකාශය භාවිතා කිරීම පිළිබදව විකල්ප ධාරාවේ දේශපාලනය තුළ සිටින පක්ෂ හා සංවිධාන විශේෂයෙන් අවධානය යොමුකළ යුත්තේ එම මාධ්‍ය අවකාශය දිනෙන් දින දියුණු වෙමින් අද වන විට එදිනෙදා ජීවිතයේ අංගයක් බවට එය පත්වෙමින් ඇති බැවිනි. මිනිසුන් තොරතුරු ලබා ගැනීමට මෙන්ම තම සමාජ සම්බන්ධතා පවාත්වාගෙන යාම සදහාත් මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරීම තුළ එදිනෙදා ජීවිතයේ ඔවුන්ට සමීපතම මාධ්‍යය බවට එය පත්ව ඇත. එබැවින් කවිය මෙන්ම අනෙකුත් කලා මාධ්‍යන් වෙතද එය දැඩිව බලපානු ඇත. 

(රිවිහාර පින්නදුව)


2 comments:

  1. හැමෝටම රැඩිකල් වෙන්නත් බැහැ. හැමෝටම විප්ලවීය වෙන්නත් බැහැ. ඔබේ ලිපි ජනරලේ පලවෙනවා. එසේම ඔබල අනිත් අයට ඒ තැන දෙනවද? මට පෙනෙන්නේ ඔබල සංවාද කරන්නේ හා තැන දෙන්නේ ඔබල අඩංගු දේශපාලනයේ දී ඉන්නවා නම් විතරයි. ඔබ සමහර අයට ගතානුගතිකත්වය ගැන කියා කරන විවේචනය ඔබටත් බලපානවා.
    http://nelumyaya.com/?p=3236

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මටත් බලපානව. ඒවගේම මේ ලිපියෙ රැඩිකල් නොවීම නෙමේ පශ්න කරන්නෙ එළෙස ව්‍යාජ පෙනී සිටීම. ඒකත් හැමෝටම අඩු වැඩි විදිහට අදාලයි.යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් එක් වූ පිරිස් ගොඩනගන අවකාශ වල යම් මූලිකත්වයක් එම පිරිස් වල මතවාදයන්ට ලැබෙනව. මොකද එවැනි අවකාශ සෑදීමේ මූලිකම උවමනාවක් වෙන්නෙ ඔවුන් පෙනී ඉන්නා මතවාදය හැකි තරම් පිරිසක් අතරට ගෙනයාමයි. පැහැදිලිවම ගැටළු ඇති නමුත් අපේ අවකාශයන් තුළ විශේෂයෙන්ම ජනරළ තුළ වෙනත් අදහස් වලටත් ඉඩක් වෙන්වුණා අපව විවේචනය කරණ සමහර අදහස් වලට පවා. මගේ අදහස් වලට ඔබගේ මාධ්‍ය අවකාශයෙහි ‍අවස්ථා ගණනාවකදීම ඉඩ ලබාදුන් බව සතුති පූර්වකව සිහිකරමි

      Delete