Saturday, March 21, 2015

ඉතිං රසද යහපාලන ලොලි පොප්..........


ඉතිං රසද යහපාලන ලොලි පොප්..........


ඉස්සර කෑම කවද්දි අම්මල හද මාමා කිරියි පැණියි ගෙනත් දේවි වගේ ගොඩක් කථා කියනව හැබැයි වැඬේ කරව ගත්තට පස්සෙ අන්තිමට තාත්ත වැඩ ඇරිල එද්දි ගේන ටොෆියක් ලොලි පොප් එකක් වගේ දේකට වැඩියෙන් දෙයක් ලැබෙන් නෑ. ලංකාවෙ මහේශාඛ්‍ය දේශපාලනය ඇතුළෙ තරුණයට අත් වෙලා තියෙන්නෙ ඒ වගේ ඉරණමක්. හැමදාම කිරියි පැණියි දෙන්නම් කියනව ඒත් වෙන්නෙ ලොලි පොප් උරව උරව ඉන්න. 
මැතිවරණයෙන් පස්සෙ තිබ්බ රූපවාහිණී සාකච්ඡුාවකදි ජනාධිපතිවරය කියනව එයාගෙ ජයග‍්‍රහණයට තරුණයන්ගෙන් විශාල සහයක් ලැබුන විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල තරුණයන්ගෙන් විශාල මෙහෙයක් උනා කියල. විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුළිනුත් ඊට බාහිරවත් සංවිධානය වෙන තරුණ බලවේග දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ තීරණාත්මක සාධකයක් බවට පත්වෙන ආකාරය ලංකාවෙත් ඉන් පිටත් අපිට දිගින් දිගිටම දැක ගන්න ලැබුන. මේ අයගෙ විශේෂත්වයක් වුනේ සංවිධිත දේශපාලන ව්‍යාපාරයන් සමග සම්බන්ධ නොවී හුදෙක්ම පෞද්ගලික මට්ටමින් සකී‍්‍රය වීමයි. ලංකාවෙත් ආසන්න දේශපාලන අත්දැකීම තුළ යහපාලනය උදෙසා වුණ තරුණ පෙළගැස්ම තුල මෙම ලක්ෂණය දකින්න ලැබුන. මේ තත්වයේ නිවැරදි හරස් කඩක් ඒ දවස්වල ෆේස් බුක් වෙබ් අඩවියේ ගැවසුනානම් දැක ගන්න ලැබුණ. මහින්ද මෛතී‍්‍ර විවාදය ඇතුළෙ වීරයන් වුනේ මෛතී‍්‍ර හිතවාදී පිරිස්. විශේෂයෙන්ම මහින්දගේ හා ඔහුගේ හිතවතුන්ගේ ග‍්‍රාම්‍ය හැසිරීම් මෙම පිරිසගේ පිළිකුලට භාජනය වුණා. දේශපේ‍්‍රමය, කුඩා ළමුන් වඩාගෙන සිප වැළද ගැනීම වගේ දේවල් සාමාන්‍ය ජනතාවට පොදුවේ යම්තාක් දුරකට තවදුරටත් වළංගු උනත් මේ කොට්ඨාෂය තුළ එය ඔවුන්ගේම භාෂාවෙන් කියනවානම් ගොන් පාට් වී තිබුණි. මේ පිරිස ඉතා අවංකව යහපාලන සිහිනය දුටු අතර මහින්ද හිතවාදීන් හුදෙකලා වෙන තත්වයක් ඇතිවිය. එනමුදු සිංහළ බෞද්ධ ජාතිකවාදී පදනමකින් මහින්ද හිතවාදී, නිවැරදිවම පැවසුවහොත් මහින්දවාදී විශාල තරුණ පිරිසක් සිටි බවද අමතක නොකළ යුතු කරුණකි. වමේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් වැනි විකල්ප නියෝජනය කළ පිරිස් මේ අයට පෙනුනෙ මේ වෙලාවෙ කරන්න  ඕනෙ දේ කරන් නැතුව වැඩකට නැති දේවල් කරණව,  ඕකෙන් මහින්දට උදව්වක් වෙන්නෙ වගේ විදිහට. පස්සෙ ඔවුනුත් ටික ටික තරහ කාරයො බවට පත්වුණා .
තරුණ පිරිස කළමණාකරනය අධිපති දේශපාලනය තුළ ඉතා වැදගත් කාරණයක් විය. තරුණයින් ක‍්‍රම විරෝධී භාවිතයකට නොගොස් තමන්ට පාලනය කළ හැකි සීමාවක් තුළ ඔවුන්ව රදවා ගැනීමට පාලකයින්ට අවශ්‍යය. ඒ සදහා ඔවුන්ගේ ආවේගයන් පිට කර ගැනීමට ඉඩ සදා දීම මේ තුළම සිදුවෙයි. එය උදාහරණයක් විදිහකට වැවක වැව් බැම්ම ආරක්ෂාකර ගැනීමට එම පීඩනය කළමණාකරනයට පිටවානක් සාදනවා වැනි දෙයකි. අනාගත ජීවිතය පිලිබද අස්ථාවරත්වය, හිමිකර ගන්න ඉඩක් නැති ඔළුව උඩ ගොඩ ගැහුව මහා බර හීන, ළමා කාලය තරුණ කාලය අහිමි කරගෙන උපන් දවසෙ ඉදන් දුවන තරගෙක තමන්ට තමන් අහිමිවුණ ජීවිතයක අපිටවත් නොතේරෙන අපි ඇතුළෙ පැසව පැසව තියෙන පීඩාව මේ හැම දේකම ආතතියන් මහින්ද විරෝදය වගේ තැනකට ගොනු කරන්නට ඔවුන් සමත් වුණා. මේ ප‍්‍රශ්න වලට සැබෑ විසදුම් හොයන්න තරුණ පරපුර යොමුවුණානම් පාර්ලිමේන්තුවෙ මොන පැත්තෙ හිටියත් පාලකයො හැමෝටම ඒක තර්ජනයක් වෙනව. උදාහරණයකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත්තොත් අධ්‍යාපනයට ආලව සරළ රැුවටීම් වලින් ඔබ්බට සැබෑ විසදුම් දිසාවට සැළකිය යුතු දුරකට ශිෂයින්ව පෙළගස්වන්න ඔවුන් සමත් වෙලා තියෙනව. අසාධාරණයන් හමුවේ ශිෂ්‍යයින් තුළින් මතුවෙන ආවේගයන් පාලකයින්ගෙ කේවල් කිරීම් ඇතුළෙ දියවෙන්නට දෙන් නැතුව සැබෑ විසදුම් ලැබෙන දීර්ඝකාලීන අරගලයන්හි දිසාවට එම නැගිටීම් යොමුකරවීමට ඔවුන් උත්සහ ගන්නව අපට දැකගත හැකිවිය. මේ භාවිතාව එම ප‍්‍රශ්න වල හරයන් ආමන්ත‍්‍රණය කරයි. එලෙසම එම අරගල තුළ බලවේග පෝෂය වෙයි. ලංකාවේ නූතන තරුණයාට පසුගිය සමය තුළ මග ඇරුණේ මෙම භාවිතාවයි.
ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි සමාජය වෙනස් කරන්න  ඕනෙ ඒක හරි ඒත් මේ වෙලාවෙ මහින්ද එළවල ඉමු වගේ දෙයක්. අනිත් පැත්තෙන් දේශපේ‍්‍රමී මිථ්‍යාවත් කි‍්‍රයාත්මක වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාවෙදි පන්දු යවන්නෙකුගෙන් දුර්වල පන්දුවක් ලැබුනම ඒ අවස්ථාවෙන් ප‍්‍රයොජන අරන් ලකුණු රැස් කරන්න  ඕනෙ මොකද දක්ෂ පන්දු යවන්නෙකුගෙන් ඒ වගේ පන්දු නිතරම ලැබෙන් නෑ. තරුණයින් තුළ ඇතිවෙච්ච යම් ආකාරයක අවදිවීම අන්තිමට කොතන්ටද ලඝුවුණේ? සරළවම අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා බලය අහිමිව සිටි එජාපය ගොඩ දැමීම වගේ තැනකට එය සීමාවුණා. සමාජ වෙනසක් කෙසේ වෙතත් වඩා යහපත් සමාජයක් දිසාවට වූ අරගලයකට තරුණයන් ගොනුකරගන්න, ඔවුන් දියුණු කරන්න, ඔවුන්ව සකී‍්‍රය කරන්න මේ ගොඩනැගුණු දේශපාලන වටපිටාව ප‍්‍රබලව යොදා ගැනීමට ඉඩතිබුණ. ඒත් එදාට ගිහින් ඡන්දය දාල උදම් ඇනීමෙන් පස්සෙ ඔවුන් නැවත ක‍්‍රමිකව ෆේස් බුක් එකේ බල්ලන් පූසන් ෂෙයාර් කරමින් පුරුදු අකී‍්‍රයත්වයටම නැවත ගමන් කරමින් තිබෙනව. යම් කෙනෙකුට මේ මේ අය විදිහට ඇතමුන්ව පෙන්වන්න පුළුවන් උනාට අපි බලන්න  ඕනෙ තරුණයින් බලවේගයක් විදිහට දියුණුවක් අත් කර ගත්තද කියන කාරණයයි. අළුත් පරපුර වගේ සංවිධාන වල කි‍්‍රයාකාරීත්වය සාධනීය විදිහට දකින්න පුළුවන්. නමුත් එම කි‍්‍රයාකාරකම් තුළ තියෙන විනෝදයෙන් ඔබ්බට කල් පවත්නා සමාජ ප‍්‍රගමනයක් වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ගැටළු සහගතයි. ඒ වගේම ඒ ආමන්ත‍්‍රණය සීමිත නාගරික තරුණ ප‍්‍රජාවක් වෙතට පමණක් සීමා වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එතනින් ඔබ්බට මේ සීමිත සංවාද අවකාශයෙන් බැහැර තරුණ පිරිස් වෙත ප‍්‍රවේශය කොහොමද කරන්නෙ?
මෙවර මැතිවරණයෙදිත් තරුණයින්ට සරුව පිත්තල පොරොන්දු ලැබුණ. නොමිළේ විෆි පහසුකම් දෙනව කිව්ව ඒත් අද ඒක දුන්නත් දුම්රිය ස්ථාන වලට සීමා වෙන ස්වාභාවයක් දකින්න පුළුවන්. එයත් කොළඔ ප‍්‍රධාන දුම්රිය ස්ථාන වලට. අධ්‍යාපනයට අදාලව 6% අචාර්යවරුන් ඇතුළු පිරිස් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට අදාලව ප‍්‍රධාන පොරොන්දුවක්. නමුත් සිදුවුණේ කුමක්ද? එය ප‍්‍රතිපත්තියක් විදිහට නාමිකව අතුරු අයවැයට ඇතුළත්වුණා පමණයි. මහා සටනක් දිනුවා සේ බොහෝ විශ්ව විඉාල සිසුක් ඇතුළු පිරිස් සමාජ ජාල වෙබ් අඩවි පුරා ජය සැමරුව. නමුත් සැබෑ ප‍්‍රතිපත්තිය හෙළිවෙන්නෙ කි‍්‍රයාකාරීත්වය ඇතුළෙයි. විවෘත විශ්ව විඉාලයෙ සිසුන් ගාස්තු 120% කින් වැඩි වීමට එරෙහිව දින 100කට ආසන්න කාලයක ඉදන් සත්‍යග‍්‍රහයක නිරතවෙනව. ඊළග අයවැයෙන් අධ්‍යාපනයට 6% වෙන් වෙනවනම් අද අධ්‍යාපනයට වෙන් කරණ මුදලත් එක්ක හාස්‍යට මෙන් සංසන්දනය කළොත් අද ලියාපදිංචියෙදි සිසුන් ගාස්තු ගෙවනව වගේ එහෙම වුණොත් වෙන් වෙන මුදලෙ වැඩි වෙන ප‍්‍රමාණයත් එක්ක බැලූවොත් ලියාපදිංචියෙදි ශිෂ්‍යයින්ගෙ අතට ගාණක් දෙන්නත් පුළුවන්. ඒත් යථාර්තය ඇතුළෙ යහපාලන ආණ්ඩුව ඇතුළෙත් එම සත්‍යග‍්‍රහය දින 50ක් ගතවෙලා. තාම පාලකයො ගාස්තු අඩු කරන්න නෙමෙයි නව අධ්‍යන වසරට වැඩි කරන් නැතුව ඉන්න එක සම්බන්ධයෙනුත් මුනිවත රකිනව. පාසල් වලට මුදල් අය කිරීම නීත්‍යානු කර ගැනීමට පනත් සම්මත කරණව. 6% වෙනුවෙන් කථා කරපු සමහර අයගෙන් කන් කෙදිරියකට වඩා දෙයක් මේවට ඇහෙන් නෑ.
බොහෝ අඩහැරයන්ට තර්ක විතර්ක වලට පසු ඉතිහාසය තුළ පුරුදු පරිදිම ධනේෂ්වර පාලකයන්ගේ උගුලකට, රැවටීමකට අප හසුව ඇත. සුනඛයෙකුට අළුත් දම්වැලක් ලැබුන විට විදින සතුටක් අපිද විද ඇත. කිරියි පැණියි හද මාම දේවි කියල බත් කවා ගත්ත වගේ මෙවරත් තරුණයින් ලැබී ඇත්තේ උර උර ඉන්නට ලොලි පොප්ය. සිහිනයන්ගෙ අවදිව සැබෑ විසදුම ඇති දුෂ්කර මාවත දෙසට අද අදම එක පියවරක් හෝ තැබිය යුතුව ඇත.
( රිවිහාර පින්නදුව )
    ජනරළ


No comments:

Post a Comment