Saturday, June 4, 2016

බිරිදකට ටෙන්ඩර් කැදවනු ලැබේ

බිරිදකට ටෙන්ඩර් කැදවනු ලැබේ


ඔයා මට කොච්චර ආදරේද?
ඇහුවට මං දන්නෙ නෑ කියන්නට
පත්තරයක සොසේජස් එකක
සබන් කෑල්ලක පෑන්ටියක
අර්තාපල් පන්සීයක
උපාධියක වකුගඩුවක
ගාණනම් දන්නවා
අම්මගෙ ආදරේ
ඇන්කර් පැකට් කීයද?
තාත්තගෙ රැුකවරණය
සෙලින්කෝ රක්ෂණ ඔප්පුවක ගාණට
ඇත්තටම ආදරේ
නිල්පාට චොකලට් එකක ගාණද?
මං දන්නෙ නෑ කියන්නට
දළ ජාතික නිෂ්පාදනයට
ආදරේ ගන්න බැරිද
හදිස්සියකට උගස් කරන්න
කොටස් වෙළද පල බලල
වැඩි මිළට විකුණන්න
මං දන්නෙ නෑ කියන්නට
තරහ වෙන්න එප ාමං එක්ක
මං දන්නෙ විකුණන්න විතරයි
අනිත් උන් දන්නෙත් එච්චරයි
ශිෂත්ව පංතියෙ ඉදල
අපිව පුරුදු කරල තියෙන්නෙ ඒකටයි
කැම්පස් එකට ගෙවන්න
කන්‍යාභාවය විකුණන
අද දවසෙ හොර රහසෙ
හෙට පත්තර වලත් දැන්වීම් යද්දි
අවුලක් නෑ
වෙළද පල පැතිරෙන්න
දෙන්න  ඕනෙ හැමතැනම
අස්සක තියෙන කන්‍යාපටලෙකටවත්
බේරෙන්න දෙන්න බෑ
ජීවිතය බිලිගත්ත අසහනය පීඩාව
ගුද මාර්ගෙකින් හරි පිටකරගන්න
දියුණු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල
දේශපාලනික අවබෝධයෙන් යුතු
වගකීම් සහගත පුරවැසියො
කොලූ ගැටව් සොය සොයා
හික්කඩු වැල්ලෙ පෝළිම් ගැහෙද්දි
රට ගිය අම්මගෙ අඩුව
දුවගෙන් පිරිමහගන්න එක
තාත්තලට සිම්පල් ප්ලෑන් එකක් වුණු සමාජෙක
ඉතිං අපි කතා කරමු
ආර්ථික සංවර්ධනය ගැන
වෙළදපල ආර්ථිකය ගැන
කෙස් පැළෙන තර්ක
පදුරු කුණුහරුප
ඔරේන්ජ් ජූස් බොන ගමන්
කියන්න හදපු දේ අමතකත් වෙනවා
රත්තරනෙ ඉක්මනට මට
ආදරේට ලන්සුවක් දෙන්න
ගොඩ මඩ දෑවැද්දකින්
නැත්නම් උසස් රැුකියාවකින්
බැරිමනම් ආස්වාදනීය සංසර්ගයකට
සරාගී සිරුරකින්
පරක්කු වෙන්න එපා
අම්මලත් මේ දවස්වල
බිරිදකට ටෙන්ඩර් කැදවලා

(රිවිහාර පින්නදුව)

4 comments:

  1. බ්‍රෙෂ්ට් ගේ පන්නයේ කවක් ලිව්වට තුති.

    ReplyDelete