Monday, October 17, 2016

වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


වෙද බමුණු කුලය බිද දැමීමට සයිටම් අහෝසි කරමු


අපේ ආච්චි අම්මා පොඩි කාලෙ මට වෛද්‍යවරයෙක් වෙන්න කියල කිව්වෙ එහෙම උනොත් රස්සාව කරණ ගමන් පිං කරන්නත් පුලූවන් කියල. හැබැයි ඒ ආච්චි අම්මම අන්තිම දවස්වල රෝහලේ නවත්තන්න ගියහම මුලින් වාට්ටුවෙ වෛද්‍යවරයගෙ පුද්ගලික ප‍්‍රතිකාර කරණ තැනට ගිහින් සල්ලි ගෙවල කථා කරල ඊළගට තමයි රෝහලට ඇතුලත් කරන්නෙ. නැත්තන් හොදට බලන්නෙ නැහැලූ. පිං කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ මව්පියන් සිහිකරන අයනම් එම වාට්ටුවේදී මට හමුවිය. වෛද්‍යවරුන්ගේ භූමිකාවේ හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටළුව ගැන සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමතුන් යැයි හදුන්වන පිරිස් ටොකු අනිමින් පවසන්නට අවැසි නැත. එය ඔවුන් අත්දැකීමෙන්ම දනී. වෛද්‍යවරුන්ගේ මෙවැනි තවත් බොහෝ අඩුපාඩු ගැන සංවාදය ඇරඹෙන්නේ සයිටම් අහෝසි කිරීමේ අරගලය තීව‍්‍රර වීමත් සමගය. මේවන විට සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරුන් පිළිබදව සමාජයේ ඇති මෙම අදුරු චිත‍්‍රයට මුවාවෙමින් සයිටම් විරෝධී අරගලයෙන් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීමේ කුමන්ත‍්‍රණයකි. අප එය නිවැරදිව කියවා ගත යුතුව ඇත.
සල්ලි තියෙන අයට යන්න පුද්ගලික රෝහල් තිබුණට මොකද වැනි අදහසකින් ආරම්භවී අද වන විට සල්ලි තිබුණත් නැතත් විවිධ පරීක්ෂණ හා තවත් බොහෝ දේට පුද්ගලික රෝහල් වෙත යාමට සිදුවී ඇත. එය අපේ රටේ සෞඛ්‍ය අංශවල කරේ තබා නිදහස් වෙන්නට උත්සහ කළද වෙළද පල ක‍්‍රමය තුළ යථාර්තය මෙය බව ලෝකයම සාක්ෂි දරයි. එවැනි ක්ෂේත‍්‍රයක වෘත්තිකයන්ද එහි ගොදුරු බවට පත්ව ලාභය පසු පසම එළවන තැනට වැටීම පුදුම වීමට දෙයක් නොවෙයි. කවුරුන් හෝ එහි වැරැුද්දක් දකීනම් කළ යුත්තේ මෙවැනි දොස්තරලා අපේ සල්ලි වලින් බිහිවෙනවට වඩා එයාලම ගෙවල හැදුනම හොදයි, ප‍්‍රයිවට් ෆැක්ටිස් හොදයි ප‍්‍රයිවට් කැම්පස් තමයි නරක මුන්ගෙ කුහකකම සයිටම් එක වහන්න හොද නැහැ වගේ කතා කියමින් සිටීම නොව කළ යුත්තේ සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් බවට පත්වීම නිසා තමන් අත්විදින යථාර්තය හෙට දවසෙ ඒ විදිහට අධ්‍යාපනයට අදාලව අත්විදින්න වෙන්න දෙන් නැතුව සයිටම් එකටත්, අධ්‍යාපනය යම් පිරිසකගේ ලාභය වැඩි කරණ මාර්ගයක් කරගන්න ඉඩ හදන පාලකයන්ගෙ ප‍්‍රතිපත්තියටත් විරුද්ධවෙන එකයි.
වෛද්‍ය පීඨයක ඉගෙන ගන්නා මගේ මිත‍්‍රයෙක් සරසවියට ගිය අළුත දිනක් පැවසුවේ ”අපේ බැජ් එකේ ඩොක්ටර්ස්ල වෙන්න ආපු තුන්දෙනෙක් ඉන්නවා” කියාය. වෛද්‍ය පීඨයකට වෛද්‍යවරයෙක් වීමට හැර වෙන ඇතුල්වීමට හේතුවක් නැති බැවින් එය විමසද්දී ඔහු පැවසුවේ අනෙක් සියළු දෙනාම  ඕලෙවල් හොදට පාස් හින්ද හැමෝම තෝරගන්න නිසා ජීව විද්‍යාව තෝරගත්ත අය බවය. වෙනත් විෂයන්ට වෘත්තීන්ට කැමැත්තෙන් සිටි එනමුදු සමාජීය තෙරපුම නිසා වෛද්‍යවරයන් ඉංජිනේරුවන් වීමට යොමුවූ බොහෝ දෙනෙකු අපිට මුණ ගැසෙයි. තරගකාරී අධ්‍යාපනය තුළ සිසුවෙකුට තම ළමා කාලයේ සෙල්ලම් බත් උයන එක පැත්තකින් තබා අමතර පංති යාමට සිදුවේ. යොවුන්වියේ ආදර සබදතා වැනි දේ පසක තබා දිවා ? පාඩම් කිරීමට සිදුවෙයි. වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ පිටුපස කලාතුරකින් අයෙකුට හැර මෙවැනි අහිමිවූ දෑ බොහෝය. එසේම සරසවිය තුලද ආතතිකාරී ඉගෙනුම් කි‍්‍රයාවලියක් පවතින අතර සිසුන් සියදවි නසාගැනීම වැනි තත්වයන් කරා පත්වන්නේ හේතු රහිතවම නොවෙයි. මෙහිදී තමන් ස්වාභාවයෙන් කැමති විෂයන් වෘත්තීන් අතහැර මේ විෂයන් වෙත යොමුවන සිසුන්ගේ පීඩාව අධික වෙයි. අවසන රැුකියාවට පැමිණි කල වෛද්‍යවරයෙකුවීමේ ආසාව නැති බහුතර ශිෂ්‍යයින් රෝගීන්ට ප‍්‍රතිකාර කර ආස්වාදයක් නොලබන අතර එම තැනට පැමිණීමට ඔවුන් ජීවිතේ බොහෝ දේ ගෙවා දමා ඇති තත්වයක් තුළ ඉවක් බවක් නැතිව මුදල් සොයමින් තම සිහින තුළ මවා ඇති ලොකු ගෙයක් හොද කාර් එකක් පසුපස ඔවුන් ඉබාගාතේ දිවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එලෙසම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පඩි වැඩි කරණ විට එහෙමනම් පඩි අතර පරතරය තියාගන්න අපෙත් වැඩි කරන්න  ඕනෙ වගේ තර්කයන් ඔවුන් වෙතින් ගොඩනැගීමද අපට තේරුම් ගත හැකිය. මන්දයත් ජීවිතයම කැපකොට තමාට අදාල නොවන, තෘප්තියක් නොලබන වෘත්තියකට ඇතුල්වීමට බලකෙරුණ ඔවුන් එවැනි සමාජයේ විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වීම සිතාගත හැකිය. එසේ නොවේනම් ඔවුන්ට තමන්ගේ ජීවිතේ සාදාගත් රිත්තකයන්ට පිලිතුරක් නොලැබෙනු ඇත.
දැන් මේ අර්බුදයට විසදුම කුමක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සමගම කියන සටන් පාඨයක් වන අධ්‍යාපනයේ නිදහස යන්න තුළ මීට පිලිතුරු ඇත. එම සංවාදය තවම සමාජය වෙත ගෙන ඒමට හැකියාව ලැබී නැත. ඒ පිලිබදව මේ ලිපියේම කතා කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. කෙසේ නමුත් එම එකදු කාරණයකටවත් විසදුම සයිටම් එකට ඉඩදීම හෝ අධ්‍යාපනයට වෙළද පලට විවෘත කිරීමෙන් නොලැබෙන බවත් එමගින් අර්බුදය තවත් සංකීර්ණ වන බවත් අප පැහැදිලි කරගත යුතුය. වෛද්‍යවරුන්ට පාඩමක් උගන්වන්නට සයිටම් එකට ඉඩදිය යුතු බවට එන තර්කයේදී මෙලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත්වීමෙන් පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ස්ථරයන්හි ජනතාවය. බොහෝ විට වෛද්‍යවරුන්ට කෙලෙස හෝ මේ අධ්‍යාපනයට නියම වෙන මිළ ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. සයිටම් වැනි ආයතන සාදා පුලූවන් තරම් වෛද්‍යවරුන් බිහිකර වෛද්‍යවරුන්ගේ සංගමයේ ආධිපත්‍ය බිදදැමිය යුතුයැයි යමෙක් සිතයිනම්, එලෙස බිද දැමුවත් එහි වැඩවසම් ලක්ෂණ අවම වී නවලිබරල් නරුමත්වය එම වෘත්තියට දැනටත් වඩා රිංගන එක හැරෙන්නට එමගින් ප‍්‍රගතිශීලී වෙනසක් ඇතිවේ යැයි බලාපොරොත්තු තැබීම විහිළුවකි. ඉංදියාව වැනි අපට සමාන ආර්ථික හා සමාජීය තත්වයන් ඇති රටක තත්වය මෙහිදී අවධානයට ගත හැකිය. වෛද්‍යරුන් සමග පවත්නා තරහකට ඔවුන්ට ටොක්කක් ඇනීමට අධ්‍යාපනයට මෙතරම් හානියක් වන තීරණයකට එළඹිය යුතුද යන්න සිතා බැලිය යුතුය.
එසේනම් මෙම වෙද බමුණු කුලය බිද දමන්නේ කෙසේද? අධ්‍යාපනය සිල්ලරට විකුණන්නට ඉඩදීමෙන් එය සිදුනොවේ. එය සිදුවිය යුත්තේ වෛද්‍ය වෘත්තිකයින් තුළින්මය. ඔවුන් සමග කරණ දේශපාලනයක් හරහාය. එය සරළව මෙසේය, අද වන විට පුද්ගලිකව වෛද්‍ය සේවාවන් සැපයීම පිළිබදව වෛද්‍ය පීඨ තුළ සංවාදයක් ඇතිවී ඇත. නිදහස් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොකළ යුතුයි කියන අප සෞඛ්‍ය වෙළදපලකරණයේ දංගෙඩියට දැක්වීමට දායකවීම යුක්ති සහගත නොවන බවට ඔවුන් අතර සංවාදයක් ඇතිවෙමින් ඇත. හුදු වෛද්‍ය සිසුවාගේ අනෙන්‍යතාවයෙන් ඔබ්බට ගිය දේශපාලනිකව දියුණු සහෝදර සහෝදරියන් වෛද්‍ය පීඨ තුලින් බිහිවෙමින් ඇත. මෙම සහෝදර සහෝදරියන් හෙට දින සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් කිරීමටද එරෙහිව පෙනී සිටිනු ඇත. වෙනත් ශ්‍රේණි වල පඩි වැඩි කිරීමේ අරගලයන්ට එරෙහි නොවනු ඇත. සෞඛ්‍ය වෙළද මාෆියාවන්ගෙන් ගළවා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් විසින් පවතින වෙද බමුණු කුලය බිද දමනු ඇත. සත්‍ය ලෙසම එය බිද දැමිය යුත්තේ එලෙසය. ඒ සදහා වෙද සිසුන් සමග උරනුර ගැටී කරණ දුෂ්කර දේශපාලන අභ්‍යාසයක් අපට ඇත. එය පත්තරයකට ලිපියක් ලියනවා, සම්මන්ත‍්‍රණයක කතාවක් කරණවා වැනි පහසු දෙයක් නොවනු ඇත. එනමුදු සැබෑ විසදුම ඇත්තේ එතනය.

(රිවිහාර පින්නදුව)
දේශය
2016.09.18