Wednesday, January 27, 2016

අපේ සවනට මුමුණන්න මාතලන්


අපේ සවනට මුමුණන්න මාතලන්


අන්තරේ පාගමන නිට්ටඹුවට
තිගැස්සුණු මතකයන්
දිවගියා අතීතෙට
එදත් අද වාගෙමයි
පටන් ගත්තෙ නිට්ටඹුවෙනුයි
සරසවියට ආපු කුළුදුලේ
අපි ආපු පාගමන ඒ
දෝංකාර දෙනව
ඒ වචන තාමත්
”මල්ලි අපිට කරදරයක් වෙලා”
හුරුපුරුදු මුහුණවල්
දුක පිරුණු සුසුම් වැල් 
මං හෙව්ව හැම තැනම
කවුද මේ මාතලන්
ආදරේ කරන මේ තරම්
ඒ ලයිට් කණුව පහු කරන්
අදත් අපි යනව පාගමන්
සටන් පාඨත් පිට උගුරෙ යන
මතකයන් බොහෝ ඇත
මේ මාවතේ රුහිරු තැවරුණු
කවදාවත් මුණ නොගැසුණු
උඹව මං දැන්
හොදට අදුනනව මාතලන්
මේ මාවතේ තව ගොඩක්
දුර යන්න තියෙනවා
මග නොවැරදෙන්නට
වෙහෙස දැනී
අතර මග නතර නොවෙන්නට
අපිට පුළුවන්වේවිද
වෙර සිදෙන මොහොතක
තැවරිලා මද පවනක
ඇවිත් දිරි දෙන්න
අපේ සවනට මුමුණන්න මාතලන්

(රිවිහාර පින්නදුව)


Monday, January 18, 2016

තනි මිනිහෙකුගේ අභියෝගය

තනි මිනිහෙකුගේ අභියෝගය


මාංචු දාගෙන යනකොට
කෑගල්ල උසාවියට
උස්සන්නෙ නෑ අත් උජාරුවෙන්
කුමාර් ගුණරත්නම්

පැහැරගත්තම එදා
රාජපක්ෂගෙ මිනීමරුවන්
ජේවීපී නායකයො කිව්වෙ
දන්නෙ නෑ එහෙම කෙනෙක්

‘නිදහස් කරව් කුමාර්!’ කියනකොට
බලන් හිටියා අවඥාවෙන්
සමාගම් විධායකයො, ලිපිකරුවො
චින්තනයෙන් වහල්ලූ

ඉඩක් නෑ පත්තරවල
චැනල්වල නිව්ස් කෑලි
වෙබ් නිව්ස් ගන්නෙත්
බයිට් එකටයි කුමාර්

කාටවත් කෙළින් කියන්න බැරි
මොකෙක්ද ඌ....
පැනගන්න හදන උන්ගෙ රටේ
පුරවැසිකමට මේ තරම් නහින?

කවුරුවත් දන්නෙ නැති
කවුරුවත් පෙනී නොසිටින
රටම දන්න කලූ තට්ටයා
පේමකුමාර් ගුණරත්නම්

පේරාදෙණි සරසවියෙ
මිතුරන් අතර ගුණ්ඩා
පෙරටුගාමීන්ගෙ දරුවන්ට
සිංදු කියන කලූ මාමා

උපන්නෙ කෑගල්ලෙ
සරසවිය පේරාදෙණියෙ
සටන් කළේ තිකුණාමලේ
හිරබත් කෑවෙ බෝගම්බර

සටන් කළේ රැකෙන්නත් නොවේ
හිරේ ගියෙ තනියමත් නොවේ
පැනගත්තෙ පැනගන්න නොවේ
පල ගියෙ අතහරින්න නොවේ

ඉල්ලූවේ වීසා තව කාලයක් ඉන්න
දුන්නෙ නෑ උත්තර උන්
ඉල්ලූවත් පුරවැසිකම
උත්තරයක් නෑ උන්ගෙ

කවියො ලියන්නෙත් නෑ කවි
කවියක් වගේ ජීවිතය ගැන
බෑ උන්ට ලියන්නත්
නෑ දන්නෙ එහෙම පුවතක්

කියවගන්න හිතක් නෑ
පම්පෝරි ගහන ලියන මහත්තුරුන්ට
සටන් කරන්න පනක් නෑ
කොම්පැනියෙන් දෙන තීන්තවලට

පීඩිත පරපුරක් වෙනුවෙන්
අවි අතට ගත් වරදට 
සිරගෙයි බිත්තිවල පසා කළ
මිනිසුන් අතර මිනිහෙක් කූඩුවක

නිහඩය සවේදී කලාකරුවො
බැරෑරුම් විද්වතුන් වෙනතක් බලාගෙන
සමාජ කරි වියාකාරින් දන්නෙවත් නෑ
එහෙම සිරකරුවෙක් ගැන....

මානව හිමිකම් සටන්
දේශපේරිම මී ඉල්ලීම්
පුරවැසි සංදේශ
නෑ මේ කිසිවක්

ඌ තනි මිනිහෙක්...

අරගලයෙ තනි නොවුණු
සටන් සගයෙක්
හිරගෙදරදිත් තනි වී නැති
තවත් එක් සිරකරුවෙක්
----------------------------------------------
(පේමකුමාර් ගුනරත්නම් සහෝදරයා සිරගතකර දින පනහක් ගතවීම නිමිත්තෙන්)

Saturday, January 16, 2016

ආදරේ හැටි එහෙම වෙන්නැති

ආදරේ හැටි එහෙම වෙන්නැති


බොහෝ තැන්වල
දුවන සිත නුඹ ළග
සිල් ගන්නම හදනවා
පාවයන වළාකුළු මත
හැඟුම් සිතුවම් අදිනවා
විහඟ ගීතත් වෙනස් ස්වරයෙන්
ඉතිං සවනට වැටෙනවා
මාක්ස් චේ ළඟ
නුඹේ රූපෙත්
බිත්තියේ ගහගන්නම හිතෙනවා
දහස් ගණනක් දෑස් අතරෙක
එකම දෑසක් සොයනවා
කාලයත් අවකාශයත් අතර වෙනසක්
දැන් දැන් මටත් දැනෙනවා
සිතපුරා හැමතැනම
නුඹ පා තබන හඩ
නිබඳ මට ඇහෙනවා
හද බිතෙහි හැම තැනම
නුඹේ රුව කවුරුන්ද ඇන්දේ
මම මගෙන් අහනවා
ආදරේ හැටි එහෙම වෙන්නැති
මහ දවල් ඇස් ඇරන්
හීන දකිනවා ඇති

(රිවිහාර පින්නදුව)

Tuesday, January 12, 2016

මීට හිතවත් පික් පොකට්කාරයා මං


මීට හිතවත්
පික් පොකට්කාරයා මං


පොඩි එවුන් බඩසයින්
අඩන හඩ ඇහෙනවා
හෝඩිපොතෙ පිටු කැඞී
පාවෙනව පේනවා
ඇගෙ හැට්ටෙ බොත්තම්
ගැළවෙනව වගෙ දැනෙනවා
හදවතක් ගිණි අරන්
අළු පෙනහැල්ලෙ හිරවෙනා
පඩිපතක් තුඩින් ගෙන
තුටින් කැදැල්ලට පියඹනා
විහගුන්ට නොදැනෙන්න
තටු සොරා ගන්න සද
පොඩි එකීට බෝනික්කෙක්
පොඩි එකාට කැවිලි මුලක්
මේ පාරවත් බේරගන්න
උකස් කරපු ඇගෙ කනකර
උඹේ සතුට පොඩිකරගෙන
හිනාවකට ගිණිතිබ්බට
සමාව ඉල්ලලා කුමට
පොට වැරදුණු අපෙ ජීවිත
බජාර් එකේ මුදලාළිට
කොටහ දීල ඉතුරු ටිකෙන්
බත රත්වෙයි අපේ ගෙදර
දුක තැම්බෙයි උඹේ ගෙදර
ඉතිං පාලායමි මා
පියවි සිහියෙන්
මධුවිතක දුම්වලාවක සූස්තියක
සිරකරණෙමි සිත් සමුදුර
වැරදුණේ කොහේද
කියාදෙන්න පුළුවන්ද
හන්දියේ බුදුරුවට
කවද හරි වෙඩි උණ්ඩෙක
පිහි තුඩෙක ඇමිණෙනා බව ජීවිතය
දැන දැනම කරක් ගසනෙමි
පිසාච අඩවියෙහි
වෙන කොහේනම් අපි යාද?
වතුර ටැංකිය මුදුනෙ
වැස්සට සේදිලා ගිය
රතු පාට පෝස්ටරය
කියවගන්න අමාරුයි මට
දුර වැඩියි ඒක
අයිඩින්ටි කාඞ් එක එක්ක
සල්ලි වලින් භාගයක්
එවනවා මේ එක්ක
මීට හිතවත්
පික් පොකට්කාරයා මං
උඹෙ පර්ස් එකට විද්ද

(රිවිහාර පින්නදුව)

මහත්වරුනි අපි ඔටුවොද?


මහත්වරුනි අපි ඔටුවොද?


අයවැය ගිණි අරන්
වැඩබිම් ඇවිළිලා
ආණ්ඩුව රත්වෙලා
ගිණි නිවන හමුදාව ඕනෑ වෙලා
ඉතිං තජුඞීන්
ආයෙත් උඹ පොරවෙලා
මොකද වෙන්නෙ
පොඩි එවුන් රොකට් හදනවද
රෙදි වවුචර් වලින් රෙද්ද
ඔක්කොම කතා යටයවන්
කොළ නිල් රතු
පිරවුම් හල් වලින් තෙල් ගහන්
රේඩියෝ ඉස්සරහ
ඇවන්ගාඞ් ආයෙත්
මෙන්න නැංගුරම් දාල
රැකියා විරහිත උපාධිධාරියො
දේශපාලන සිරකරුවො
වකුගඩු රෝගියො
ඕව මොනවද
මේවනෙ කතා
කට ඇරන් බලන් ඉන්න
විතරමයි අපිට තියෙන්නෙ
සගයිනි අසව්
නිවෙන්නට ඉඩනොදෙව්
දැල්වෙන ගින්නට
තව තවත් ඇවිළෙන්න
දවා අළු කරලන්න
මේ නාටක නොතේරෙන්න
මහත්වරුනි අපි ඔටුවොද?

(රිවිහාර පින්නදුව)