Monday, May 11, 2015

බුදුරුවක් වෙච්ච කළුගලක්


බුදුරුවක් වෙච්ච කළුගලක්


දස අතින් මහ සෙනග
ඇවිත් මට වදිනවා
සුවද මල් සුවද දුම්
මගේ පාමුල පිදෙනවා
සුදු පිරුවට පොරව
රජවරුන් මැතිවරුන්
තවත් නෙක මහතුන්
ඇවිත් සාදු යැයි කියනවා
හේවිසි හොරණෑ හඩ මැද
මගේ කළුගල් හදවත
හීන් ස්වරයෙන් ඉකිබිදිනවා
සොච්චමකට කුළියට ගත්ත
බුදුන් උපන් දේශයෙන් ආනයනික
මා එක්ක හැප්පුණ
ඒ දුහුවිලි මිනිසුන්
ඇටකටු හමින් වැසුණු
කෙසග අත්වලින්
සිහිකොට පොඩි එවුන්
කරදිය වළල්ලෙන් ඔබ්බෙහි අඩන
ගල් කටුව මිටිය
වදින විට මගෙ සිරුර මත
හිතුන මට කුඩුවෙන්න
හැකිවුණිනම් මැටි කදක් ලෙස
උන්ගෙ දහදියෙන්
තෙත් වෙද්දි මගෙ සිරුර
මොන තරම් සනීපද
ඒ සුවද ඒ සිසිළ
මං එක්ක ඔට්ටු වී
රූ තිස්සෙ රිදුම් පිරිමැද
උන් නැගූ කෙදිරිල්ල
දෝංකාරදෙයි තවම
කළු ගලක් තුළ සොවින
කළු ගලක් බුදුරුවක්
වෙච්ච විශ්මය
ඒත් උන්ගෙ ජීවිත
තවම තිබ්බ තැන්වලම
උන් දුන්නු ඇස් හෙළා පහළට
මල් අසුන දෙස
බලා ඉන්නවා මං
උන් වෙනුවෙන් හිරු නැගෙන්නට
නව ලොවක හීනයක් අද්දර
රතු මල් පොකුරු අරගෙන
දොවා දහදිය කදුළින් ලෙයින්
මේ මල් අසුන මත තබන්නට
නුඹල මෙහි එනතුරු

(රිවිහාර පින්නදූව)

( https://www.facebook.com/photo.php?fbid=829499737126778&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )


Monday, May 4, 2015

පන්හිදෙහි පණ නසමි


පන්හිදෙහි පණ නසමි


දෙගොඩ තලා ඉවුරු බිද
සිලේරස් ගග ගලනවා
පෙරදා සුවද දුන්
මල් ගොමු මුලිනුපුට
ඔච්චම් සිනහ අර නගනවා
ඇරීනාවක දළු දමපු පේ‍්‍රමය
අද වද පීදිලා
සුමුදු මල් පැතූ අතීතය
නිරුත්තර වී ගොළුවෙලා
යදම් බැමි බිදි
සටන් අතරෙක
කදුළු සීරාව අඩු නොවෙනවා
සුරත රැදි අසිපත
පවා හෙමිහිට වෙව්ලනා
සෙවණැල්ල සේම නුඹ
ළගින් ඉන්නවා දැයි
සිත නිතර සොයනවා
සතුරන් මත හෙළන
අසිපතින්
මටම ඇණගන්න විටෙක මට හිතෙනවා
සුසුම් තද කොට
හිරිවැටුණු හදවතින්
ලේ වැකි සටන් බිම මත
පය තබා ඇවිද යමි
රෝම අදිරදය
වනසා ගෙන එන්න
සිනා කැන් හැම මුවග
ඒ උනත් මේක
ස්පාටකස් කතාවකි
හිස්තැනක් ඉතිරිවුණ
හීනයක් සේ ගෙවුණු 
වසරක් අවසන
මතකයන් නමින් ලියැවෙන
අන්තිම පද පේළි
මේ ලෙසින් නිමා කරණෙමි
නුඹ නමින් කවි ලීව
පන්හිදෙහි පණ නසමි

(රිවිහාර පින්නදූව)
https://www.facebook.com/photo.php?fbid=825317214211697&set=pb.100002002790094.-2207520000.1430751725.&type=3&theater