Saturday, April 25, 2015

පෙම්වතියට පෙම් කවියක්


පෙම්වතියට පෙම් කවියක්


දකින්නට පෙරුම් පුරන
ඇසිල්ලක හද සසළ කරනා
අනන්තෙට සිත පාව ඇදෙනා
‍නුඹේ සිනහවක්
අකුරු කරණට
පොත් පිටු ගණන්
මං කොච්චර ආසද
ලියන්නට පෙම් කවියක්
ඒත් රත්තරනෙ
දහස් ගණන් පොඩි එවුන්
බඩසයින් අඩනවනෙ

නුඹේ අත අල්ලගෙන
පරිස්සමට ලෝභකමින්
හෙමි හෙමිහිට අඩි තියන්න
ඔට දෑසට එබී
විදසුන් වඩන්නට
ප්රේුමයේ මාර්ග ඵල ලබන්නට
විශ්වයම නතරවෙන ඇසිල්ලක
සීරුවට ජීවයේ සාරයම
නු‍ඹෙ දෙතොලෙ තවරන්න
රෑ ගණන් නිදි මරා
ඒ හැගුම කවියකට දමන්නට
මං කොච්චර ආසද
ඒත් රත්තරනෙ
ධනයේ වෘකයින් ඇහැරිලා

පන්හිදම තුරුළු කොට දෑතට
ගිණි අවිය කොට එයම
අකුරු වෙඩි උණ්ඩ වස්සන්න
පෙරමුණේ සටන් කරණා සොයුරන්ට
පුංචිම උදව්වක් හරි වෙන්න
කඩු කිණිසි මැද උන් එක්ක
රෝස මල් ගෙන ඇවිදින්න
මල්ටි බැරල් එන දෙසට
හදවත දමා ගසන්නට
පුපුරලා හැමෝම
සෙනෙහසින් බරපතළ තුවාල ලබන්නට
රත්තරනෙ අපිත් යමුද
උණුසුමට තුරුළු වී
ලෙයින් පෙගුණු
පිච්ච මල් පූදින සටන් බිම වෙත
එබිම කොහේ හෝ කොනක
ලියන්නෙමි පෙම් කවිය නුඔ නමින්
නොමැකෙන්න ලොකුවට
හරිම සරළව
එකම වදනකින්
"ආදරෙයි"

(රිවිහාර පින්නදූව)

( https://www.facebook.com/photo.php?fbid=822917227785029&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

Friday, April 17, 2015

අවුරුද්ද සුභයි මට



අවුරුද්ද සුභයි මට


බඩසයින් හඩන
හැම මිනිහෙක්ම හොයන් ගොස්
කිරිබත් කටක් කවන්නට
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

ජාතියක් ආගමක්
නමින් ඉරි අදින
පැළුණු හදවත් දාර මත
සෙනෙහසක් ගල්වන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හදවතට ඉඩදී තටු සළන්නට
අනන්තය වෙත නෙත් යොමන්නට
වෙරළ ඉම හුදෙකලා ඇසිල්ලක
ප්‍රේමයේ දැහැනට සමවදින්නට
දිග පළල මනින්නේ නැතිව
කෙනෙක් මුව සිපගන්න
ඉතිං හැකිනම්
සුභයි මට අවුරුද්ද

අට්ටාල මත ගුලිවෙලා
සටන අතනෑර
කිරිබත් කැවුම් අතහරින
සොයුරන් නගා ජය ඝෝෂා
අතින් අල්ලන්
මග බලන් ඉන්න අම්මලව
බලන්නට ගමට එක්කන් යන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හෙට දළුලනා හීනයක
අද සටන් කරණා මිනිසුන්ට
ජවය දෙන කවියක්
ඔවුනොවුන් මුවග මුමුණන්න
ලියා පාකර හරින්නට
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි මට

හමුවෙනා හැම නෙතග
ආදරේ තවරන්න
ජීවිතේ යදම් බිද
නිදහසක් මොරදෙන්න
රක්ත වර්ණිත ධජ
මේ අහස සරසන්න
ඉතිං හැකිනම්
අවුරුද්ද සුභයි අපිට

( රිවිහාර පින්නදූව )

( https://www.facebook.com/photo.php?fbid=818562614887157&set=pb.100002002790094.-2207520000.1429255425.&type=3&theater )

Saturday, April 4, 2015

71 පණිවිඩය


පුතේ උඹ දන්නවද..............


පුතේ උඹ දන්නවද
එරබදු ගහේ මල්
රතු පාට ඇයි කියල
කොවුලන් ගයන ගී
කාටද කියල

එකෝමත් එක කාලෙක
නෙමෙයි ඒ 71
රජ කුමරුවන් හෙම නෙමෙයි
උන් ගමේ කොල්ලො ටික
චේ ගු ආ කාරයෝ
ඒ උන්ගෙ නම්බුව
ආණ්ඩුවෙ ඉස්කෝලෙන්
අකුරු ටික ඇහිදගත්තු
අප්පච්චිල වගේ
වළව්වට කඹුරන්න
බෑ කිව්ව උන්

පන්සලේ පොඩි නමත්
එක්කලා කසු කුසුව
රතු පාට පොත් නිතර
එහෙ මෙහේ මාරු වෙන
වැහි කෝඩෙ ආව හැටියට
අපි හිතුව වහින බව
ඒත් උන් කිව්වෙ නෑ
දැන් මොකක් වෙන්න යන

ගහ පුරා මල් කැකුළු
වසන්තෙට ඉගි මැරුව
සුවද මකරන්ද
ඉව කරණ සමනළකෝෂ
අළුත් උපතක් පතා
සැරසිලා මග බැලුව
බක් මහේ අකුණකින්
කරටියම කැබලි වී
මහ දවල් රෑ වුණා
ඇස් නිලන්කාරව
අපි ඔහේ බලන් උන්න

මහ දවල් දිවි පුරා
අපි නිදන් ඉන්නැද්දි
පුතේ උන් අරුණටත්
කලියෙන් ඇහැරුණා
වෙනසක සිහිනයෙන්
ඒ දෑස් දැල්වුණා
පැතූ ලොව අභියසදි
අමු සොහොන ඉදිවුණා
නව ලොවක් පැතු වරදට
අනේ උන් වැළලුවා

වඩා යහපත් ලොවක
අධිටනක් සිත දැරුව
උන් වතින් ගලා ගිය
රුධිරයෙන් එරබදු මල්
රතු පැහැය ගැන්වුණා
එදා ඉදන් කොවුලන්
ගී ගයනව බක් මහට
71 පණිවිඩය
තමයි ඔය කියන්නේ
ඒ ගීය උඹලටයි
උන්ට වැරදුණු තැන් හදාගෙන
පුතේ උඹ දන්නවද
නව ලොවක් හෙට දවසෙ
ගොඩනගන්නේ උඹලයි.............

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=626757620734325&set=pb.100002002790094.-2207520000.1428163765.&type=3&src=https%3A%2F%2Fscontent-sin.xx.fbcdn.net%2Fhphotos-xaf1%2Ft31.0-8%2F10010397_626757620734325_6246984261578456906_o.jpg&smallsrc=https%3A%2F%2Fscontent-sin.xx.fbcdn.net%2Fhphotos-xaf1%2Fv%2Ft1.0-9%2F1507922_626757620734325_6246984261578456906_n.jpg%3Foh%3Dfdd4cc90e808ffa0c5d4ecd29b2ea38f%26oe%3D559B4993&size=1920%2C1200 )

Wednesday, April 1, 2015

අධි පීඩන මල් වැස්ස යටින්........


අධි පීඩන මල් වැස්ස යටින්........


අම්මගෙ ආදරේ
කිරි පිටි පැකට් එකක හිර කරපු
තාත්තගෙ රැකවරණය
රක්ෂණ ඔප්පුවෙන් මනින
ලස්සන කරන්නම දගලන
කැතම කැත නගරෙක
Macdonald ළගින්
KFC පහු කරන්
අපි යනව පෙළපාලි
ODEL එක ගාවදි
ඇස් කඩන් යන දැන්වීම් පුවරැ යට
උගුර ලේ රහ කරන්
මොර දෙන සටන් පාඨය
"අධයාපනය වෙළද භණ්ඩයක් නොවේ "
අධි පීඩන මල් වැස්ස යටින්
කදුලු ගෑස් මීදුම අතරින්
ගිණියම් කාපට් පොළව
දහඩියෙන් පෙගිල මදිනම්
බැටන් පොලු සන්ග්‍රහයට
බොහෝම ස්තුතියි
එවාපන් වෙඩි උණ්ඩ
රතු ලෙයින් දෝවනය වන දාට
ටිකක්වත් මග ඇරෙයි
ආශ්චර්යයේ මළ පුලුටු ගද........

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=495503170526438&set=pb.100002002790094.-2207520000.1427893978.&type=3&theater )