Friday, October 31, 2014

නේමාර් විතරමද වීරයා.................





නේමාර් විතරමද වීරයා.................


රියෝදජනයිරෝවට ඉහළින්

නෙත් යොමා සිටින පිළිරුව
තවත් කොච්චර කල්
බලන් ඉන්නවද ජේසුනි
පාරෙ වෙඩි කාල මළ
පුතෙකුගෙ මරණයට
අම්මෙක්ගෙන් සාක්ෂි
ඕනෙමද පොළීසියකට


සල්ලි පොම්ප කර

හදපු පිට්ටනියක
පිටිපස්සෙ මුඩුක්කුවෙ
පොඩි එවුන් ටින් බෙලෙක්කෙකින්
ගහනව ෆුට් බෝල්
මන් නේමාර් ඔයා ඩැනී අල්වෙස්
අරයා තියාගෝ සිල්වා
සිලි බෑග් අත් වැසුම් දාගෙන
දැක්කද ජුලියෝ කේසර්


ලෝක කුසලානෙ එපා කියල

අධයාපනේ දෙන්න කියල
කොල්ලො කෙල්ලො
ගුටි කාගෙන දිව්වා
මාවත් පහු කරන්
ඇත්තට........
මන් උන්ට පහු වෙලා


කම්හලේ මැෂිමකට

ජීවිතේ දිය කරණ
මිනිසුනේ බෝලෙකට
නාහෙන් අඩන්නේ කුමට
උඹලටම ආදරෙන්
පාරට බැස්ස
ඒ හින්දම වෙඩි කෑව
මගෙ පුතුගෙ මළගමටවත්
එන්න අමතකද උඹලට
නේමාර් විතරමද වීරයා


අනිත් උන්

කහ කොඩි අරන්
පිට්ටනිය ඇතුළට යද්දි
මගෙ එකා හිටියෙ එළියෙ
රතු කොඩියක් අරන්
අන්තිමට ගෙදරින් ආපු දවසෙ
මතකයි කිව්වා
උන්ගෙ උන ලෝකයක
අපිට කොයින්ද කුසලාන...............


( රිවිහාර පින්නදූව )


https://www.facebook.com/photo.php?fbid=674008732675880&set=pb.100002002790094.-2207520000.1414744369.&type=3&theater

ප්‍රජාතන්ත්‍රවාදයෙ දොරටුව අපිට ලොක්.............









       ප්‍රජාතන්ත්‍රවාදයෙ දොරටුව අපිට ලොක්............. 

සැපට හැදි කදවල්

බඩ මහත මහතුන්

නුරාගිණි දල්වයි

මන්ත්‍රී නළගණන්

අපි වෙනුවෙන් දුක් විදින
දියවන්නාව මැද දෙවොල එයයි
ලෙවකන්නවත් මදි
දෙදහස් පන්සීය
ඇයි අනේ විකුණන්නෙ
අකුරකට ඇති අයිතිය
කොච්චරනම් ගැහුවද
දැන්වත් නවත්තනවද
අවනඩුව අරගෙනයි
අව්කට්ටෙ වේලෙමින්
පයින්මයි අපි ආවෙ
කදුළු හළන්නනමනම් ඕනෙ
ගෑස් මොකටද අපිට
හේතු දහසක් ඇත
ඇස් අගිස්සක නළියන
කලබලේට ගැළවිල විසිවුණ
මගෙ පරණ බාට දෙක
රජතුමනි අය වැයත් අරන් වඩිනකොට
දැක්කොතින් පැත්තකින් අහුලල තියන්න
වැහි අදුර මැද්දෙන්
වැහි ලිහිණි පියඹන
මොන තරම් තෙමුණත්
නිවෙන් නෑ අදිටන
ගිණි අවුළුවා මිසක
අද දවසෙ ආපහු හැරුණට
දවසක් ඒවි අයෙම
අපෙ හඩින්
උඹලගෙ පදනමෙත් ඉරි ඇදෙන
ප්‍රජාතන්ත්‍රවාදයෙ දොරටුව
ඇයි අපිට ලොක් වෙලා....................

( රිවිහාර පින්නදුව )
 ( https://www.facebook.com/photo.php?fbid=732281936848559&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

Wednesday, October 22, 2014

අපි හතුරෝ නොවේ...........




අපි හතුරෝ නොවේ...........


කම්හලේ වැඩපලේ
වගුරනා දහඩිය
එක්කලා දියවෙන්නෙ

මේ අපේ ජීවිත
දුක් විදින එවුන්මයි
දුක දන්නෙ අනිකාගෙ
ඉතින් අපි දන්නව
කදුළක බර උඹලාගෙ
වධකාගාර හිට්ලර්ගෙ
තාමත් මතකයන් ගිණිතියන
ඇයි අපිට අමතක
මරණයක වේදනාව
අපේ මහ පාලකයො
කියනව නුඹලයි හතුරො
නුඹලගෙ එවුනුත්
කියනව ඇති එහෙම
ඒත් සහෝදරය
වේලකට දුක් විදින
හාමතේ දින ගණින
අපි කොහෙද හතුරො
අපේ සාරය උරන්
යස ඉසුරු වළදනා
උන්ට තියමු ෂෙල් වෙඩි
අදිටනේ ධ්‍රයිරයේ
ඈත් කරනවනම් අපි
කුරණය බයිබලය
පොඩි උන්ට දෙමු
කොළ කඩා රොකට් හදන්නට
කූඩාරමක සිරවෙච්ච
දහ දුක් වළදනා
නුඹලගෙ හිස් මත
වෙඩි උණ්ඩ වගුරනා
අපි ආව වීදියට
පා කරමු යුදෙව්වන්ගෙ ආදරය
සුළගේ හමායන්නට
ගිණි ගත්ත ගාසා තීරයට
මොරදෙමු ලෝකයට
පීඩතයින්ගෙ පණිවිඩය
අපි හතුරෝ නොවේ...........

( ගාසාතීරයේ පීඩතයින්ට එරෙහිව ගෙනයන ප්රදහාර වලට එරෙහිව ඊශ්රායලයේ කම්කරුවෝ වීදි බසියි ) 

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=723040301106056&set=pb.100002002790094.-2207520000.1414998445.&type=3&theater )

චේ නුඹව අල්‍තාරයෙන් පන්නමි..............







චේ නුඹව අල්‍තාරයෙන් පන්නමි..............


ලොකු අයිය අම්මට හොරෙන්
  ඇද යට තියන් කියවපු පත්තරේක
තාමත් මතකයි ඒ කුළුදුල් හමුවීම
ඇග හිරිවැටෙන බැල්මට
අපිළිවෙල කොණ්ඩෙට රැවුලට
බැන්ද ප්‍රේමය සත්තට
මොනතරම් වාසනාවන්තද නුඹෙ පෙම්වතිය
නිකමට හිතුන මට
පුන්චි ඉරිසියාවකුත් ඒ අස්සෙම
ෂාරුක් ඛාන් එක්කම
ඉන්න ආව නුඹ මගේ පොත් අස්සට
නුඹවන් කොණ්ඩ රැවුල් වැව්ව උන්
කුඩු කාරයො වගේ කියා හිනැහුනද
හොරැහින් බැලුව උන් දිහා
මාව සිරකළ
සන්ස්කෘතික යදමට දෙස්දිදී
උන්ව දුර කළ මගේ දිවියට
දහය වසරෙ සුදු දිග කළිසම්
කුළුදුල් ආදරේටත් මන් කිව්ව
ලොකු උනාම චේ වගේ රැවුල වවන්න
පොඩි කෙල්ල ලොකු වෙද්දි
නුඹ ගැන පොත් හොයන් කියවද්දි
කැම්පස් එකේදි අල්ලගත්ත ලොකු අත්තක්
එක්ක අයිය බැදල යද්දි
ගෙදර දාල ගිය සමාජවාදෙ
පරණ පත්තරගොඩවල් අවුස්සද්දි
දැනුන ෂාරුක් වගේ නෙමෙයි නුඹ
කාලෙන් කාලෙට
තාප්පවල පිට්ටනි වහන්
නුඹට වැද පුදද්දි
හන්දියෙ ඇපල් විකුණන අයියත්
නුඹ වගේ වෙද්දි
ඒ මිනිහ බස් එකේදි
මගෙ පස්ස මිරිකද්දි
මට දැනුන
කොහේ හරි වැරදිලා
චේ වගේ රැවුලක් තිබුණට
චේ ගැන කප්පරක් පොත් බැලුවට
ඇති තරම් පඩි වදන් දෙඩුවට
මහ පොළවෙ අරගලය අතහරිනදා
ඊළග දවසෙ උදෑසන
චේ නවතින්නෙ ලැට් වලේ
දැන් දනිමි කාරණය
චේ නුඹේ භාවිතය
දෙවියෙකු නොවේ නුඹ
මිනිසෙකුය මහ පොළවෙ
අයුක්තියෙ රුදු සතුරන්ට
එරෙහිව අවි දරන්නට හෙට දින
හර්දසාක්ෂිය මිසක යහමින
රැවුලක් කුමට කට වට
ඒ උනත් ඇත්තයි
නුඹ රුවට තවමත් ආදරෙයි
නුඹෙ මානව ප්‍රේමය තවමත්
සියරා මස්ට්‍රාවෙ සුළගෙ තැවරෙයි
චේ ඉතින් අල්තාරය අතහැර
සරසවියෙ වැඩබිමේ
අරගල බිමට නුඹව ගෙනයමි
අල්තාරයේ නොසිටියට කම් නොමැත
මා තුළින් මම නුඹව
කෙසේ හෝ අද දවසෙ දකින්නෙමි
දැන් ඉතින් වෙලාවයි
චේ නුඹව අල්තාරයෙන් පන්නමි.....
( ගිණිසිළුව )
( රිවිහාර පින්නදූව)
( https://www.facebook.com/photo.php?fbid=724919287584824&set=pb.100002002790094.-2207520000.1414998445.&type=3&theater )